ගල්ලෙන බ්‍රෝකන් - ලෙන්දොර ඕපන්’ --- සින්දුව හැදුවේ කවුද?

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ සිංහල නාට්‍ය වංශයේ එදා මෙදා තුර රචනා වී නිෂ්පාදනය වූ අති විශිෂ්ටතම නාටකය ලෙස දැන් විචාරකයෝ ඒකමතිකව පිළිගනිති.

‘සිංහබාහු’ මුලින් ම වේදිකාගත වී මේ අවුරුද්දට පනස් වසරක් සපිරේ. එය මුල් වරට රංගගත කරන ලද්දේ 1961 අගෝස්තු මස 31 වැනි දින පේරාදෙණි වි...ශ්ව විද්‍යාලයයේ එළිමහන් රංග පීඨයේ දී ය. සරසවි සිසුන් විසින් ‘වළ’ යනුවෙන් හඳුන්වනු ලබන මේ රංග පීඨය දැන් (1983 සිට) නම් කර ඇත්තේ ‘සරච්චන්ද්‍ර රඟමඬල’ ලෙසිනි.

‘සිංහබාහු’ නාටකයේ ඓතිහාසික මංගල දැක්ම නැරඹූ ප්‍රවීණ නාට්‍ය කලා විද්වතකු වන මහාචාර්ය තිස්ස කාරියවසම් මෙසේ තම මතකය අවදි කරයි.

“ඒ මොහොත මට හොඳට මතකයි. එදා තද වැසි දවසක්. සිංහයාට රඟපාපු මාත් ඇන්ටනී ප්‍රනාන්දු වේදිකාව උඩ ලිස්සලා වැටෙන්නත් ගියා.”

‘සිංහබාහු’ ලිවීම සඳහා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට නිමිත්ත වූයේ එතුමා කලකට ඉහත කියැවූ විනය පිටකයේ මහාවග්ග පාලියයි. බුදුන් වහන්සේ ශුද්ධෝදන පියරජුගේ නිවෙසට වැඩි කල පිය රජතුමා උන් වහන්සේට මෙසේ කියයි.

“ස්වාමීනි, පුතු ප්‍රේමය සිවිය සිඳී, සිවිය සිඳ හම සිඳී, හම සිඳ මස සිඳී, මස සිඳ නහර සිඳී, නහර සිඳ ඇට සිඳී, ඇට සිඳ ඇට මිදුලු තුළට වැද නවතී.”

සුද්ධෝදන රජුගේ වචන තමාගේ සිතෙහි රැව් දෙමින් අවුරුදු ගණනාවක් පැවතුණු බවත් පිය පුතු සෙනෙහස තේමා කරගෙන නාට්‍යයක් රචනා කිරීමට තමාට සිතුණේ ඒ දිනවල බවත් මහාචාර්ය සරච්චන්ද්‍ර කියා ඇත.

ඊට මහාවංශයේ එන ‘සිංහබාහු’ කතාව ඉතා යෝග්‍ය බව එතුමාට පෙනී ගියේ ය. ‘සිංහබාහු’ නාටකය බිහි වූයේ එපරිද්දෙනි.

මේ නාටකයේ එක් තැනක මෙසේ කියැවෙයි.

එය කියන්නේ ගායක පිරිසයි. ඒ අවසාන ඉන්නිස ගීතයේ ය.

පුතු සෙනේ පිතු හද තුළම මිස

නැත පුතුන් හද තුළ රඳන්නේ

ඇට තුළට වැද ඇට මිදුලු මත

සදා කල් නැත දුක් දෙවන්නේ

‘සිංහබාහු’ මංගල දර්ශනයෙන් පසු එය තලාතුඔය, මැණික්දිවෙල වැනි ප්‍රාදේශීය නගරවල වේදිකාගත කළ අතර එය කොළඹට රැගෙන ආවේ ඉනික්බිතිව ය. 1961 සැප්තැම්බර් 29 හා 30 දිනවල එය ‘සිංහබාහු’ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකාගත කෙරිණි.

‘සිංහබාහු’ නාටකය එක්වූයේ ‘මනමේ’ නාටකයට සම්බන්ධව නොසිටි අලුත් ම නළු නිළි පිරිසකි. ටෙරන්ස් රණසිංහ පොතේ ගුරු වූයේ ය. මාක් ඇන්ටනි ප්‍රනාන්දු සිංහයා ලෙස ද මාලිනි ද සිල්වා (පසුව රණසිංහ) සුප්පාදේවි ලෙස ද චාලි ජයවර්ධන සිංහබාහු ලෙස ද මාලිනි පෙරේරා සිංහ සීවලී ලෙස ද භූමිකා නිරූපණය කළ හ.

සෙසු නළු නිළියන් වරින් වර වෙනස් වූවත් ටෙරන්ස් පොතේගුරු ලෙසත් මාලිනී සුප්පාදේවි ලෙසත් දීර්ඝ කාලයක් රඟපාමින් වාර්තාවක් ද තැබූහ. සිංහයාට රඟපෑ මාක් ඇන්ටනී ‘සිංහබාහු’ නාටකයේ රඟපෑමට පූර්වයෙන් ජීවිතයේ කිසිදිනෙක වේදිකා නාටකයක් දැක නොතිබිණි.

‘මනමේ’ මෙන් ම ‘සිංහබාහු’ හි සාර්ථකත්වයට ද එහි ආ ගීත හා සංගීතය බෙහෙවින් ම බලපෑ බව කිවයුතු ය. මෙහි එන ඇතැම් ගී තනු ‘ඉයුජින්’, ‘වෙස්සන්තර’ වැනි පැරණි නාඩගම්වල ආ රාගතාලවලින් උපුටා ගැනුණු අතර ඇතැම් තනු එච්.එච්. බණ්ඩාර විසින් අභිනවයෙන් නිර්මාණය කරන ලදී. ‘මනමේ’ නාටකයේ ජනප්‍රියම ගීතය ‘ප්‍රේමයෙන් මනරංජිතවේ’ නම් ‘සිංහබාහු’ හි ජනප්‍රිය ගීතය ‘ගල්ලෙන බිඳලා’ ය. එය එච්.එච්. බණ්ඩාරගේ සුවිශේෂි ගී තනුවකි.

‘මනමේ’, ‘සිංහබාහු’ වැනි නාටක පේරාදෙණි සරසවියේ වේදිකාගත වන්ට පෙර සරසවි සිසුන් ගේ මුවග රැව් දුන්නේ ‘ඇරපන් ලුසිය දොර මාළු කඩේ ජොරා මම’ වැනි පහත් පෙළේ ගීතය. එහෙත් ‘මනමේ’, ‘සිංහබාහු’ වෙතින් හොඳ රසඥතාවයක් සිසු පිරිස තුළ ඇතිවීමෙන් ඉනික්බිතිව ඔවුන් අතර ‘ප්‍රේමයෙන් මන රංජිතවේ’, ‘ගල් ලෙන බිඳලා’ වැනි ගීත ජනප්‍රියවන්ට පටන් ගත්තේ ය.

තමා පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ නවක වදයට මුහුණ දෙමින් ගායනා කළේ ‘ප්‍රේමයෙන් මනරංජිත වේ’ ගීතය බව වරක් මහාචාර්ය ජේ.බී. දිසානායක සරච්චන්ද්‍ර සමරු දේශනයක් පවත්වමින් කියා සිටියේ ය. සිසුන් තුළ ඇති වූ එම සංස්කෘතික විපර්යාසය පෙන්නුම් කිරීමට ඊට වැඩි උදාහරණයක් තවත් අවශ්‍ය නැතැයි මම සිතමි.

‘ගල්ලෙන බිඳලා’ ගීතය සරසවි සිසුන් අතර මොනතරම් ජනප්‍රිය වී ද කිවහොත් ඊට ඉංග්‍රීසි පද යොදා ගෙන ගායනා කිරීමේ ප්‍රවණතාවයක් ඇති වූයේ ය.

STONE CAVE IS BROKEN
CAVE DOOR IS OPEN
LION BAR

මේ ඉංග්‍රීසි වචන එවක පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයකු ව සිටි පසුකලෙක මෙරට වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා වූ ගාමිණී හත්තොටුවේගමගේ බව ප්‍රවීණ සංගීතවේදී ජයන්ත අරවින්ද පසුගිය දිනෙක මා සමඟ කියා සිටියේ ය. ‘සිංහබාහු’ නාට්‍යයේ පසු නිෂ්පාදනවලදී එහි සංගීතය තවත් රස ගන්වමින් ඊට අනුප්‍රාණය දුන්නේ ජයන්ත අරවින්ද මහතා ය.

‘සිංහබාහු’ ඉංග්‍රීසි ගීතය පසුව ශිෂ්‍යයන් විසින් තවදුරටත් මෙසේ සරල කර ගනු ලැබූහ.


ගල්ලෙන බ්‍රෝකන්

ලෙන් දොර ඕපන්

ලයන් බා - ලයන් බා


‘සිංහබාහු’ නාටකය අද හැඳීන්වෙන්නේ ‘ලිරිකල් ඩ්‍රාමා’ හෙවත් ගිත කාව්‍යමය බවින් අනූන නාට්‍යයක් වශයෙනි. එය වරක් ඉන්දියාවේ පැවති ආසියානු නාට්‍ය උළෙලකට ද ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය. මෙවන් විශිෂ්ට දෘශ්‍ය කාව්‍යයක් ශ්‍රී ලාංකේය අප සතුව පැවතීම ඇත්තටම අපට මහත් සංස්කෘතිකමය වූ අභිමානයක් නොවන්නේ ද?


සු. මි.

Tell a Friend