සිරිල් ට 80යි



ඉනෝකා පෙරේරා බණ්ඩාර 


ඔබ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ප්‍රවීණයෙක්. ජ්‍යෙෂ්ඨයෙක්. උපහාර උලෙළකට ඇයි මේ තරම් පමා වුණේ...

ඒ ගැන මං වැඩිය හිතන්නෑ. පළමු වතාවට හරි මෙහෙම දෙයක් වෙන එක ගැන සතුටුයි.

අවුරුදු 80 ක් කියන්නෙ බොහො දිගු කාලයක්. කලා ක්ෂේත්‍රයේත් ඔබ අඩසිය වසක් සපුරනවා.

...ඒ හැම දේම ගැන හිතල වෙන්න ඇති දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය මේ දේ සංවිධානය කළේ. මං මේ ජාතික ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක්. 2004 අපි මේ සංවිධානය පිහිටුවා ගත්තෙ රට ගැන හිතල. ඒ අයට ඕනෙ වුණා මගේ කලා ජීවිතය අළලා යමක් කරන්න. 26 දාට යෙදෙන උපන් දින දවස ඔවුන් තෝරා ගත්තේත් ඒ නිසයි.

ඔබේ කලා ජීවිතය ඇරැඹෙන්නෙ 1960 න්.

1960 දී මං ප්‍රසිද්ධ වේදිකාවට ආවෙ ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ මූදු පුත්තු නාට්‍යයෙන්. එවැනි ප්‍රබල චරිතයක් කරන්න ඒ වෙනකොට මං නැටුම් හා සංගීතය කරල තිබුණා. ෆීලික්ස් ප්‍රේමවර්ධනගෙ මිනිස් ගතිය වගේ නාට්‍යවල රඟපෑමෙන් යම් ආභාසයක් ලබල තිබුණා. මූදු පුත්තු නාට්‍ය චරිතය ගොඩනඟන්නත් එය සාර්ථක වෙන්නත් මේ අත්දැකීම බෙහෙවින් ඉවහල් වුණා.

පසු කාලෙක ඔබ වේදිකාවට නැතිව බැරි චරිතයක් වුණා.

හෙන්රි ජයසේනගෙ ‘කුවේණි,’ ‘තවත් උදෑසනක්,’ පී. වැලිකලගේ දවසක වෙනස, බලන කපොල්ල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ පබාවති වගේ උසස් ගුණාත්මක නාට්‍ය කරුවන්ගේ නාට්‍ය 25 ක පමණ මට රඟපාන්න අවස්ථාව ලැබුණා.

‘හඳහන’ ඔබේ සිනමා සම්ප්‍රාප්තිය...

‘හරමා’ කියන හොරෙකුගෙ චරිතයෙන් තමයි මං සිනමාවට ආවේ.

සිනමාවේ සදා සලකුණක් තැබූ ‘සත් සමුදුරෙන්’ ඔබ ප්‍රධාන චරිතයකට ප්‍රවිෂ්ට වෙනවා.

‘සත් සමුදුර’ මගේ ජීවිතයේ නොමැකෙන සිහිවටනයක්. තරුණ කාලෙ රංගන ජීවිතය ගොඩනඟා ගෙන එන කාලෙ එවැනි චරිතයක් ලැබීම ඇත්තටම සතුටක්. මූදුකරුවෝ එක්ක කතා බහ කරමින්, ගැවසෙමින් මූදු යමින් මීගමු පිටිපන වැල්ලෙ ගත කළ ඒ තුන් මාසය තවදුරටත් අමතක නොවන කාල පරිච්ඡේදයක්.

අපි නැවතිලා හිටියෙ ඩොක්ටර් ලීනස් දිසානායක ගෙ පෞද්ගලික බෙහෙත් ශාලාව තිබූ නිවසෙම. ඔහු මේ චිත්‍රපටයෙ නිෂ්පාදකයා. සත් සමුදුර චරිතයට බද්ධ වූ බොහෝ සැබෑ චරිත ඒ පිටිපන වැල්ලෙදි අපිට මුණ ගැහුණා.

ඇඟපතින් එතරම් උස් මහත් නොවුණට ඔබේ කතා බහ - කට හඬේ තිබෙන බරසාර ගතිය චරිත එක්ක අපූරුවට පෑහෙනවා...

අපි තෝරා ගන්න ඕනෙ අපිට කරන්න පුළුවන් චරිත. ඒවා වයසට පෙනුමට ගැළපෙන්න ඕන. අනික අපි ගැමියො. අපේ ගම් වල කතා කරන විලාසයක් තියෙනවා. සම්ඵප්‍රලාප කතා කරනවා අඩුයි. වචන පාවිච්චි කරන්නෑ අර්ථයක් නැතිව. ජෝටත් තියෙනවා ඔය කියන ගතිය. කුරුණෑගල කොහිල ගෙදර ගමේ උපන් මං කොහේ ගියත් ඒ ගමේ ක්‍රම අත්හැරියෙ නෑ.

ඔබ චිත්‍රපට 50 කට වැඩි ප්‍රමාණයක් රැගුවා. ආපහු හැරෙද්දී අමතක නොවන චරිත ගණනාවක් ඇති.

වෙස් ගත්තෝ, බඹරු ඇවිත්, සුද්දිලාගේ කතාව ඇතුළු මං රැඟූ හැම චරිතයක් ම මට සුවිශේෂයි. මං අන්තිමට රැඟුවෙ සුද්දිලාගෙ කතාවෙ.

ඒ කියන්නෙ බොහෝ කලක් ඔබ සිනමාවෙන් ඈත් වෙලා.

හේතු දෙකක් නිසා. එකක් ඊට පස්සෙ දිගටම ආ ටෙලිනාට්‍ය රැල්ල. කන්දෙ ගෙදර, ඇල්ල ළඟ වලව්ව, මැණික් නදිය ගලා බසී වගේ හොඳ ටෙලිනාට්‍ය ගණනාවක් ලැබුණා රඟපාන්න.

අනෙක් හේතුව...

අද හැදෙන චිත්‍රපටි ගුණාත්මක බවින් පිරිහුණු ඒවා. ඇත්තටම 1977 න් පසු දිගටම ඒ තියෙන්නෙ ඒ පිරිහීම. අපේ රටේ අපට අවශ්‍ය තේමාවලට නෙවෙයි. ප්‍රංශයෙ හරි පෝලන්තයෙ හරි සම්මාන උලෙළෙකට ගැළපෙන විදියට. කොයි තරම් නවක සිනමා කරුවො බිහි වුණත් චිත්‍රපටි හැදුණත් ඛේදවාචකය ඔතැනයි. ඔවුන් චිත්‍රපටි හදන්නෙ ලාංකික ප්‍රේක්ෂකයාට නෙවෙයි. කොහේ හරි රටකින් සම්මානයක් ගන්න බලාගෙන. ඔය කොයිතරම් කිව්වත් සිනමාවෙ පල්ලම් බැහීමට ලොකුම හේතුවත් ඒක.

මේ දිනවල ඔබේ ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා..

ඔව්. ජාතික රූපවාහිනියේ රෑ 9.00 ට විකාශය වන ‘වාසනා වේවා!’ ටෙලි නාට්‍යය. මේක නාලන් මෙන්ඩිස්ගෙ ටෙලිනාට්‍යයක්. ආනන්ද අබේනායකගෙ සහ සරත් ධර්මසිරිගෙ ටෙලි නාට්‍ය දෙකකට ඉදිරියේදී සම්බන්ධ වෙනවා.

ඔබ ගුරු වෘත්තියෙන් සමු අරන් දැන් සෑහෙන කලක්..

මගේ ජීවිතේ දෝලනය වුණේ කලාව සහ ගුරු වෘත්තිය අතරේ. විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරන් මං විශ්‍රාම යන තුරුම ගුරු වෘත්තියේ යෙදුණු කෙනෙක්. අන්තිමට ඉගැන්නුවේ කුරුණෑගල ලක්දාස් මහ විදුහලේ. ආර්ථික විද්‍යාව, සිංහල, නාට්‍ය හා රංග කලාව තමයි මගේ විෂයන් වුණේ.

ඔබේ දූ දරුවෝ ගැනත් යමක් කියන්න...

ලොකු දූ වත්සලා. විවාහකයි. දෙවැනි දූ දිසාලා. එයත් විවාහකයි. ඊළඟ චන්දන පුතා. එයා පොඩි කාලෙ කන්දෙ ගෙදර සහ පළිගු මැණිකේ නාට්‍යවල රඟපෑවා. දැන් විවාහවෙලා ඕස්ට්‍රේලියාවෙයි පදිංචිය. බාල පුතා ලක්ෂිත. එයා ඩුබායි වල හෝටල් ක්ෂේත්‍රයේ. එයත් විවාහකයි. මායි නෝනයි තමා දැන් ගෙදර ඉතුරු වෙලා ඉන්නෙ.

අවසාන වශයෙන් කියන්න මේ උළෙලේ විස්තර.

මගේ කලා ජීවිතය අලලා සංවිධානය වන මේ උත්සවය පැවැත්වෙන්නේ 26 වැනිදා එල්ෆින්ස්ටන් රඟහළේ සවස 3.30 ට. කැමැති කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන්.

Tell a Friend