විශ්ව ව්ද්‍යාල අර්බුදය: මෙන්න ඇත්ත

ඒ. දිල්හාන් මධුරංග

දිනක්‌ කැලණිය විශ්වවිද්‍යාලය අසල පිහිටි බෝඩිමෙන් පිටත් වුණු මම, තවත් මිතුරන් තිදෙනකුද කැටුව යතුරු පැදි දෙකකින් කොළඹ බලා පිටත් වූයේ අසනීප වූ මිතුරකු බැලීමේ අවශ්‍යතාව නිසායි. වේලාව රාත්‍රී 9.00 ට පමණ ඇත. මාර්ග බාධකයකින් අප යතුරු පැදිය නවතනු ලැබිණි. මම අවශ්‍ය ලියවිලි ද රැගෙන පොලිස්‌ නිලධාරියා හමුවට ගියෙමි. මිතුරාද මා සමගය. "කොහෙද ඉන්නෙ?" ඔහු ඇසුවේය. "කැලණියෙ" මම කීවෙමි. මොකද කරන්නේ "කැලණිය කැම්පස්‌ එකේ" පිළිතුරු දුන්නේය. පොලිස්‌ නිලධාරිහූ අප දෙස හිස ඔසවා බැලූහ. අවඥාසහගත සිනාවකින් අපට සංග්‍රහ කළ ඔවුන් "ආ........ තමුසෙල නේද අපිට ගහන්නෙ?" අපි නිරුත්තර වීමු.

මා මේ ලිපිය ලියන්නේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නියුතු වන්නකු, කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධරයකුටත් වඩා මේ දිනවල අසන්නට දකින්නට ලැබෙන සංසිද්ධීන් පිළිබඳව සංවේගයට පත් වූවකු ලෙසය. සිදු වන දෑ පිළිබඳව විවේචන ගෙන ඒමට, හරි වැරදි, වාද කිරීමට මට වුවමනා නැත. එහෙත් සමස්‌තයක්‌ ලෙස විශ්වවිද්‍යාල සිසුන්, කාලකණ්‌නින්, රස්‌තියාදුකාරයින්, අයි. ආර්. සී කාරයන්, දේශපාලන හිවලුන් බල්ලන් අවජාතකයන් ලෙස හංවඩු ගැසෙන ප්‍රවණතාවක්‌ උඩ මුළු සමාජයෙන්ම කොන් වෙන අවස්‌ථාවකදී ඔවුන් ගැන අපගේ විශ්වවිද්‍යාලවල කීර්ති නාමයට වන විපත දැක්‌මෙන් උපන් සංවේගයෙන් මෙය ලිවීමට සිතුවේ විශ්ව විද්‍යාල සිසුන් දිමි ගොට්‌ටකට සමාන නොකරනු මැනවැයි යන ඉල්ලීමද සිතේ රඳවා ගනිමිනි.

විශ්වවිද්‍යාලයක ගැටුමක්‌ ඇති වුවහොත් එය දවසේ ප්‍රවෘත්තිය වෙයි. එහෙත් විශ්වවිද්‍යාල වලින් සිදුවන "හොඳ වැඩක්‌" ප්‍රසිද්ධ කර ගැනීමට විඳිය යුතු දුක්‌ ගැහැට මම දනිමි. (එසේ ප්‍රසිද්ධ වෙන්නේම නැතිද යන ගැටලුවද පවතී.) එහෙත් ඒ ගැන වාදකිරීමට චෝදනා කිරීමට මම අදහස්‌ නොකරමි. ඒ වෙනුවට විශ්වවිද්‍යාලවලින් සිදුවන සද්කටයුතු කිහිපයක්‌ ගැන සඳහන් කිරීමට කැමැත්තෙමි. මේවා කැලණිය විශ්වවිද්‍යාලය පාදක කොට ගෙන ලියවෙන්නේ එය මාගේ විශ්වවිද්‍යාලය බැවින්ය.

අධ්‍යාපනය යනු කිසිවෙකුට සොරාගත නොහැකි ධනයකි. විශ්වවිද්‍යාලවල විශේෂවේදී සිසුන් (මෙන්ම සාමාන්‍යවේදී සිසුන්ද) තම අවසන් වසර සඳහා කරන පර්යේෂණ රාශියකි. පෙට්‍රල් වෙනුවට විකල්ප ඉන්ධනයක්‌ සොයා ගැනීම වැනි පර්යේෂණ ඇසෙන්නේ අඩුවෙන් වුවත් එලෙස කිරීමට දස්‌කම් ඇති යවුන් කොතෙක්‌ සිටිතත් අවශ්‍ය සම්පත් ප්‍රාග්ධනය තබා ක්‍ෂේත්‍ර කටයුත්තක්‌ සඳහා පවා අනුග්‍රහය දක්‌වන්නන් ඉතා විරල බවද විශ්වවිද්‍යාල සිසුන්/ගුරුභවතුන් දන්නා රහසකි. ඔවුහු විද්‍යාවේ කලාවේ, දර්ශනයේ හා කළමනාකරණයේ වැදගත් පර්යේෂණ සිදු කරති. මේවා වාර්ෂිකව පර්යේෂණ පත්‍රිකා ලෙස විවිධ සඟරාවල පළවන බවත් සමහර පර්යේෂණ විදේශවල පවා ප්‍රයෝජනයට ගැනෙන බවත් බොහෝ දෙනෙක්‌ නොදනිති.

තම පශ්චාත් අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වන විද්‍යා සිසුන් (උපාධිධාරීන්) ඒ රටවලදී වටිනා සොයා ගැනීම් කරමින් එහි ආචාර්යවරුන්ගේ නොමඳ ප්‍රසාදයට පත්වන බවද ශ්‍රී ලංකාවේ විද්‍යා උපාධිධාරීන් ලොව ඕනෑම රටක විද්‍යා උපාධිධාරීන් සමග කරට කර සිටියවුන් බවටද, අපි නිසි අයුරින් නොදනිමු. (ඔවුන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට ගන්නේ බටහිරයන් නොවේද යන ප්‍රශ්නයද පවතී)

තම දැනුම තම සහෘදයන්ටත් රටටත් බිඳකින් හෝ බෙදා දීමේ අරමුණින් විශ්වවිද්‍යාල සිසුන් විවිධ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ වලටද සහභාගි වෙති. දැයට කිරුළ මුල් ප්‍රදර්ශන දෙකෙහිදී ද විශ්ව විද්‍යාල පරිශ්‍රයන් හිදී පවත්වන විවිධ තාක්‍ෂණික ප්‍රදර්ශන, වෛද්‍ය හා කලා ප්‍රදර්ශනද ඔවුන්ගේ මහත් පරිශ්‍රමයෙන් එළිදකියි. ඔeජයබද හා ෂබබදඩ්එදර වැනි ජාතික තලයේ වෙළෙඳ ප්‍රදර්ශන වලදී ද අපේ සිසුන් හරඹ දක්‌වයි. මෙම ප්‍රදර්ශන භාණ්‌ඩ සූදානම් කිරීමට (විශ්වවිද්‍යාල භූමියේදී නම් මුළු ප්‍රදර්ශනයම සංවිධානය කිරීමට) විශ්වවිද්‍යාල සිසුන් සති ගණන් නිදිවර්ජිතව වෙහෙසෙමින් රැය පහන් කරති. උගුර ලේ රහ වෙනතුරු බාල ළමා වැඩිහිටි මහලු සෑම දෙනෙක්‌ටම තේරුම් ගත හැකි අයුරින් පැහැදිලි කරති. අවසානයේ එයින් ලැබෙන තෘප්තිය පමණක්‌ උරුම කර ගනිති.

ශිෂ්‍ය සංගම් හරහා කෙරෙන්නේ අරගල කිරීමම නොවේ. දීප ව්‍යාප්ත කලා, නර්තන, සංගීත, නාට්‍ය තරග (බිහිදොර අභියස) කලා සති කළමනාකරණ වැඩමුළු දීප ව්‍යාප්ත විද්‍යා ප්‍රබන්ධ තරග වැනි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් සහභාගි කරගෙන පවත්වන්නාවූ සමාජ කටයුතු සඳහා ඔවුන් මුදල් සපයා ගන්නේ බස්‌ රථ වල, පාරවල් වල ටිකට්‌, පෑන්, බුක්‌ මාර්ක්‌ විකිණීමෙනි. එලෙස දහදිය හලා උපයන මුදලින් ගන්නා පුංචි ත්‍යාගය/සහතිකය පාසල් සිසු සොයුරකු අත තබා ඔවුන් සතුටු වෙති.

බෞද්ධ ශිෂ්‍ය සංගම් වැනි ශිෂ්‍ය එකමුතු හරහා දුෂ්කර පාසල් වලට ගොස්‌ තම වියදමින් මුද්‍රණය කරන ලද ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා දෙමින් අපොස සා/පෙළ, උසස්‌ පෙළ සම්මන්ත්‍රණ පවත්වා සිසුන් දැනුවත් හා දිරිමත් කරන්නටද විශ්වවිද්‍යාල සිසුන් උත්සාහ ගන්නා වගට එම විද්‍යාලවල විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා සිසුන් කෘතවේදීව සාක්‍ෂි දරනු ඇත.

මායිම් ගම්මානවල (එවන් ගම්මාන අද නැති නිසා අපි සතුටු වෙමු.) ආදරණීය නංගිලාට, මල්ලිලාට පාසල් උපකරණ, පොත්පත් ලබා දීමට බස්‌රථ වලින් ශ්‍රී ලංකාවේ ඈත ගමන් කිරීමත්, අවම පහසුකම් යටතේ, කුස අඩක්‌ පුරවාගෙන, මදුරුවන් මැස්‌සන් මැද නිදි නොමැතිව, වතුර බිඳු කීපයකින් සිය ගණනකට තිබෙන වැසිකිළි 2 කින් තුනකින් තම අවශ්‍යතා පිරිමසා ගැනීමත් විශ්වවිද්‍යාල සිසුනට කන් කෙඳිරි ගෑමටවත් ල-ජා වීමටවත් හේතුවක්‌ වුණේ නැත.

කැන්ටිමේ තිබෙන අවරස, කුසට නොපිරෙන බත් පිඟානේ ශක්‌තියෙන් උපදවාගන්නා පුංචි ලේ බිඳුව බිඳුව එක්‌ කර රට රකින රණවිරුවා වෙනුවෙන්, රෝගීව සුසුම් හෙළන රටේ දෙමව්පියන් සොයුරු සොයුරින් වෙනුවෙන් ලේ දන්දීම සඳහා වසරකට කිහිප වරක්‌ පැය ගණන් පෝළිමේ සිටිනුයේ ඇඟ කසනවාට දැයි යන්න සරසවි සිසුවාට ඇඟිල්ල දිගු කරන්නන් තේරුම් ගත යුතුය.

සංකර බටහිර සිතිවිලි වලින් වළලා දැමීමෙන් පැවතෙන දේශීය උරුමයන් සොයා යැමේදී විශ්වවිද්‍යාල සිසුවා ගවේශකයකු වන්නේ නිරායාසයෙනි. අවුරුදු පහක්‌ තිස්‌සේ වසරක්‌ පාසා දිවයිනේ අතිශය පිටිසර ගම්මානයන් හි දින 3,4 ගතකරමින් අපේ ඉතිහාසය, වෙදහෙදකම, ගහකොළ සතා සිවුපාවා පිළිබඳවත්, පාරම්පරික නැටුම්, ගැයුම් සටන් කර්මාන්ත ආදිය ද සාහිත්‍යය, කලා හා සංස්‌කෘතික උරුමයන් සොයා යමින් ගම්වාසීන් සමග සුහදව ජීවිතය බෙදාගනිමින් තම දැනුමද අත්දැකීම්ද පුළුල් කර ගන්නා විශ්වවිද්‍යාල සිසුවා එම අපේ උරුමයන් මතු පරපුරට උරුම කර දෙනු වස්‌ වසරක්‌ පාසා කුඩා පොත් පිංචකින් එම දැනුම සුරක්‍ෂිත කර තබන්නටද පියවර ගනී. එපමණකින් නොනැවතී එම ලෙන්ගතු බවට කෘතගුණ සලකනු පිණිස නැවත දිනක එම දුර බැහැර ගෙවා ගොසින් එම වැඩිහිටියන්ට උපහාර පිදීමටත් එම ගම්බිම් වල දරුවන්ට විශ්වවිද්‍යාල සිසුන්ගේම දෑතින් නිමැවුණු පාසල් ඉගෙනුම් ආධාරක මෙන්ම පොත්පත් උපකරණ යනාදියද විභාග සම්මන්ත්‍රණ, සංස්‌කෘතික සංදර්ශන ආශ්‍රිත දැනුමද පුදකරමින් ලයෙහි බැඳුණු කෘතවේදීතාව සනිටුහන් කිරීමටද ඔවුහු අමතක නොකරති.

මෙලෙස විශ්වවිද්‍යාල සිසුවා සමාජය තුළ තම ශක්‌ති පමණින් තම කුඩා මහ පොළ වාරිකයේ මුදලින්, තම බුද්ධියෙන්, දැනුම් පමණින් තම වගකීම්, යුතුකම් ඉටුකරනු පිණිස දාදිය, ශ්‍රමය කැප කරයි. තම රට ගැන සිතයි. නිර්මල බුදු දහම හඳුනාගෙන තම දිවියද එයින් පෝෂණය කරගනියි. දාන මාන පින්කම් ආදියට සහභාගි වෙයි. රට වෙනුවෙන් තම දෙමාපියන් වෙනුවෙන් සොයුරු සොයුරියන් වෙනුවෙන් අවදිව සිටියි. තමා කෙරුමෙකු, මැරයකු ලෙස නොව සමාජයෙන් බිහි වු රටේ මුදලින් හැදුණු ඵලයක්‌ ලෙසට සිතයි. මා මෙහිදී විශ්වවිද්‍යාල සිසුවා විශ්ව විද්‍යාල සිසුන් යනුවෙන් වියුක්‌ත නාමයක්‌ යොදා ගත්තේ එයින් සෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌ම වෙන වෙනම අදහස්‌ කිරීමට නොවේ. ඔවුන්ව විවේචනය කිරීමේදීත්, අනාදර්ශමත් සිසුන් කොටස විවේචනය කිරීමේදී සමාජය මෙවැනිම සමස්‌තය හඟවන වදන් භාවිතයට පෙළඹෙන බැවිනි.

මේ ලියන්නේ අත්දැකීම් සහිතවය. අප විශ්වවිද්‍යාලය තුළ කළ කී දෑ පිළිබඳව අපි නිහතමානීව අභිමානයක්‌ සහිතව සිටිමු. අප/විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම කිසිවෙක්‌ සර්ව සම්පූර්ණ නොවෙති. අපි සියල්ලෝම දුෂ්ඨයෝද නොවෙමු. එනිසා මෙය විශ්වවිද්‍යාල සිසුන් සුදනා කිරීමටත් අනෙක්‌ අයවලුත් දුදනා කිරීමටත් ගත් වෑයමත් නොවේමැයි අවුස්‌සනු ලැබූ දිමි කූඩයේ දිමියන් කීපදෙනෙකු දෂ්ට කිරීමෙන් කිපී මුළු දිමි කූඩයම පුළුස්‌සා දමා සියලුම විද්‍යාර්ථීන් මෙන්ම ඉදිරියේ විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට බලාපොරොත්තු වන සිසුන්ගේත් බලාපොරොත්තු බිඳ දමා, ලේබල් ගැසීමෙන් ඹවුන්ගේ (රටේ) අනාගතය අඳුරු නොකරන මෙන් කරන ඉල්ලීමකි. දේශීයත්වය, අපේ සභ්‍යත්වය මරා දමා වල් වැදුණු බටහිර අවශ්‍යතාවන් සමාජයට පිවිසෙන අද වන් දිනෙක කාලකණ්‌නින් ලෙස හංවඩු නොගසා ඔවුනුත් අපිත් සමාජයක්‌ ලෙස ඇත්වැල් බැඳගෙන මේ ගමන යා යුතු වෙමු.
Tell a Friend