පොල් මිල ඉහලට ඇයි?

 ආචාර්ය එච්. ඒ. ජයන්ත ගුණතිලක

පොල්, අප රටේ ප්‍රධාන වැවිලි බෝගයයි. වගා කර ඇති බිම් ප්‍රමාණය අක්‌කර දශ ලක්‍ෂය ඉක්‌ම වුවද, වාර්ෂික පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 2700 - 2900 අතර පවතී. වසරේ පොල් අවශ්‍යතාවය ඒකාකාර නොවූවද වසරකට අවශ්‍ය සමස්‌ත පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 4000 කි. අවම තරමින් මෙම ප්‍රමාණය ගෙඩි මිලියන 3500 දක්‌වා කඩිනමින් වැඩි කළ යුතුව ඇත.

පොල්, අපනයන සහ කර්මාන්ත බෝගයක්‌ ලෙස හැඳින්වීම කළද, එය අපට නම් "ආහාර බෝගයකි". එක්‌ පුද්ගලයෙක්‌ වසරකට පොල් ගෙඩි 115 ක්‌ කෑමට ගන්නා අතර, කෑමට පමණක්‌ වසරකට අවශ්‍ය පොල් ප්‍රමාණය ගෙඩි මිලියන 2000 කි. එබැවින් කපාපු පොල්, අමු පොල් වැනි නිෂ්පාදන අපනයනයට ඉතිරි වනුයේ වසරකට ගෙඩි මිලියන 700-900 ක්‌ වැනි සුළු ප්‍රමාණයකි.

අපට සහල් හැරුණු විට වැදගත්ම ආහාරය පොල් වේ. එබැවින් පොල් වගාව දෙවැනි වනුයේ වී වගාවට පමණි. පොල් ආහාරයට ගැනීම නිසා අපගේ ශක්‌ති අවශ්‍යතාවයෙන් 22% ක්‌ ද ප්‍රොaටීන්වලින් 10% ක්‌ සහ තවත් වැදගත් ඛනිජ සහ විටමින්ද ලැබේ. එබැවින් නිරෝගීමත් බවට පොල් පරිභෝජනය වැදගත්ය. පොල් මිල, පාරිභෝගිකයාට දැරිය හැකි විය යුතු අතර, සාධාරණ මිලක්‌ පාරිභෝගිකයාට මෙන්ම පොල් වගාකරුවාටද පැවතිය යුතුය.

මීට ඉහතදී නම්, ඉහළ පොල් මිල පිළිබඳව දේශපාලන වේදිකාවෙන්ද, පාර්ලිමේන්තුවෙන් ද අසන්නට ලැබිණි. "පොල් බෑය" පිළිබඳව රසවත් කථා ද ඒa අතරේ වේ.


සාධාරණ පොල් මිල......

මේ සඳහා පොල් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයටම සාධාරණ විය යුතුය. එක්‌ අතකින් පොල්, වගා කිරීමට තරමක්‌ අපහසු සහ ආදායමක්‌ ලබාගැනීමට ඉතා කල් ගත වන බෝගයකි. ප්‍රමාණවත් මිලක්‌ පොල් වගාකරුවාට නොලැබෙන විට, පොල් ඉඩම් නඩත්තු කිරීමද අඩුයි. ජාතික පොල් නිෂ්පාදනය වැඩි නොවීමට ප්‍රධානම හේතුව මෙයයි. තවද, පොල් මිල "අපනයන මාපියාවකට" යටත් වී ඇතැයි සඳහන් කිරීම ද වරදක්‌ නොවේ. එම වරද මේ වනවිට පොල් මිල අසාමාන්‍ය ලෙසට ඉහළ යැමෙන් පෙන්නුම් කරයි.

මෙරට පාරිභෝගිකයා ගැනද අප සැලකිලිමත් විය යුතුය. පොල් වගාකරුවාට ඇති ඉහළම වෙළෙඳපොල, "දේශීය පොල් පරිභෝගිකයා" බව අමතක කළ යුතු නැත. පොල්තෙල් පාරිභෝජනයට ගැනීමට අප ඉතා කැමැත්තක්‌ දක්‌වන අතර, එය ආනයනය කරනු ලබන පාම් තෙල් සඳහා යටපත් කළ යුතු නොවේ. තවද, පොල් සම්බෝලය සහ කිරිහොද්ද අපගේ ජනප්‍රියම ආහාර වර්ග දෙකකි.

මා දකින ලෙසට වර්තමාන වගා වියදම් සලකා පොල් වගාකරුවාට, වෙසක්‌ මුර කාලයේදී ගෙඩියට රු. 22/- ක්‌ ද පොල් හිඟය පවතින මේ කාලයේදී ගෙඩියකට රු. 25/- ක්‌ ද ලැබිය යුතුය. පොල් පාරිභෝගිකයාට පොල් ගෙඩිය රු. 30/- - 35/- අතර පැවතිය යුතුය.

වර්තමාන පොල් මිල......

මේ වනවිට, පොල් ගෙඩියක්‌ රු. 28/- 30/- ට අලෙවි කළ හැකිව තිබේ. ඔක්‌තෝබර් 28 දින පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක උපරිම අලෙවි මිල රු. 37/- ක්‌ විය. එමෙන්ම පොල් ගෙඩියක්‌, පාරිභෝගිකයා මිලදී ගන්නා මිල රු. 45/- හෝ රු. 50/- ඉක්‌මවා ඇත. ප්‍රධාන නාගරික ප්‍රදේශ සහ උඩරට ප්‍රදේශවල ඉහළ පොල් මිල නිසා, මේ වනවිට එම පාරිභෝගික ජනතාව ඉමහත් අසීරුතාවකට පත්ව ඇත.

එබැවින් ඔක්‌තෝබර් 27 වැනි දින, පොල් තෙල් මිල කිලෝවක්‌ රු. 270/- ක්‌ ද, ආනයන පාම් තෙල් කිලෝවක්‌ රු. 220/- ක්‌ ලෙසටද වාර්තා විය. අඩුම තරමින් මෙම සියලු තෙල් වර්ගවල මිල කිලෝවට රු. 200/- ඉක්‌මවිය යුතු නැත. මෙම මිල ගණන් අනුව, පොල් මිල අසාමාන්‍ය ලෙසට පැවතීම, දිගුකාලීනව පොල් වගාවට මෙන්ම, පොල් වගාකරුවාට ද අයහපත් වේ. ඒ සමහරවිට පොල් පාරිභෝගිකයන්, පොල් භාවිතයෙන් යම් තරමක්‌ දුරට දිගුකාලීනව ඉවත් විය හැකි බැවිනි. එවැනි තත්ත්වයක්‌ යටතේ, විකල්ප ක්‍රම පාරිභෝගිකයන් අතරට පැමිණීම සිදුවිය හැකි බැවිනි.


පොල් හිඟයට හේතූන්.....

පොල් ඵලදාව යහමින් ලබාදෙනුයේ අප්‍රේල් - අගෝස්‌තු (වෙසක්‌ මුරය) කාලය තුළයි. එය සමස්‌ත ඵලදාවෙන් 50% ක්‌ පමණ වේ. ඉතිරි 50% ප්‍රමාණය ලැබෙනුයේ, ඉතිරි මාස 08 ක කාලය තුළයි. ඉතා අඩුම පොල් ඵලදාවක්‌ ලැබෙනුයේ, නොවැම්බර් - ජනවාරි කාලය තුළදීයි. මේ වසරේදී සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා පොල් ඵලදාව අඩුවීමක්‌ පෙන්නුම් කරයි. ඊට ආසන්නම හේතුව විය හැක්‌කේ වසර 2009 ජනවාරි - මාර්තු කාලය තුළ දින 60 ඉක්‌මවූ දිගු නියඟයක්‌ හා අධික උෂ්ණත්වයක්‌ ප්‍රධාන පොල් වගා ප්‍රදේශ තුළ පැවතීමයි. එබැවින් පොල් ඵලදාවේ අඩුවීමට අමතරව පොල් ගෙඩියක ප්‍රමාණය ද සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා වී තිබේ.

ක්‍රමයෙන් වර්ධනය වන පොල් ඉඩම් කැබැලිකරණය කලින් පැවැති අඩු පොල් මිල නිසා, පොල් වගාකරුවන්ගේ ඉඩම් සහා පොහොර යෙදීම වැනි නිසි ඉඩම් නඩත්තු කටයුතු අඩුවෙන් සිදු කිරීම ද ඵලදාව අඩුවීමට අනෙකුත් හේතූන් අතර වේ.

පොල් මිල ඉහළ ගියේ ඇයි?......

ප්‍රධාන වශයෙන් පොල් මිල ඉහළ යැමට හේතුව, "පොල් සැපයුම" අඩුවීමයි. මේ බව ඔක්‌තෝබර් 28 වැනි දින පැවැති කොළඹ වෙන්දේසියෙන්ද සනාථ වේ. සාමාන්‍යයෙන් මෙම වෙන්දේසිය සඳහා පොල් ගෙඩි ලක්‍ෂ 12 ක්‌ ඉදිරිපත් වන නමුත්. මෙවර ඉදිරිපත් වී තිබුණේ පොල් ගෙඩි ලක්‍ෂ හතහමාරක්‌ පමණි.

පොල් මිල ඉහළ යැමට තවත් හේතුවක්‌ වනුයේ, දේශීය වෙළෙඳපොළෙහි මෙන්ම විදේශ වෙළෙඳපොළෙහි පොල් තෙල් මිල ද ඉහළ යැමයි. ඒ බව පහත වගුවෙන් පෙන්වයි.

ඉහත අනුව පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේ පැවැති මිලට වඩා මේ වසරේදී ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි පොල් තෙල් මිල ඇ. ඩොලර් 1410 ක්‌ වීමෙන් පෙනී යනුයේ එය 62% න් වැඩිවී ඇති බවයි. පොල්තෙල් සඳහා ආදේශක තෙල් වර්ග වන පාම් මද තෙල්aද 86% න් වැඩිවී ඇත. අනෙක්‌ පාම් තෙල් වර්ගවල මිලද 79% න් වැඩිවීමෙන් පෙනී යනුයේ, පොල් මිල වඩාත් ඉහල යාමට හේතුව වනුයේ පොල් තෙල් මිල ඉහළ යාම බවයි. මේ අනුව පොල්a තෙල් කිලෝවක්‌ මේ වනවිට රු. 270/- ක්‌ ද, එනම් පොල් තෙල් බෝතලයක්‌ රු. 200/- ඉක්‌මවා ඇත.

එමෙන්ම කපාපු පොල් අපනයන මිලද වැඩි වී ඇත. එය පසුගිය අගෝස්‌තු මාසයේදී කිලෝවට රු. 153/- වූ නමුත්. මේ වනවිට රු. 230/- ක්‌ වී ඇත. කපාපු පොල් මිල සෑමවිටම රදා පවතිනුයේ, පොල් තෙල් මිලට සාපේක්‍ෂවයි. කපාපු පොල් නිමි අපනයන භාණ්‌ඩයක්‌ වුවද, එහි වටිනාකම අනුව සාධාරණ මිලක්‌ විදේශ වෙළෙඳපොළේදී නියම නොවේ. සෑමවිටම පොල් තෙල් මිල ඉහළ යනවිට, කපාපු පොල්වල මිල ඉහළ යන අතර, පොල් තෙල් සඳහා අඩු මිලක්‌ ලැබෙන විට නිරතුරුවම කපාපු පොල් මිලද පහත වැටීම කනගාටුවට කාරණයකි. එබැවින් කපාපු පොල් සඳහා ස්‌ථාවර ඉහළ මිලක්‌ ඇතිවීම, පොල් වගාකරුවන් දිරිමත් කරන අතර, එය දිගු කාලීනව පොල් ඵලදාව වැඩි කිරීමට ද හේතුවනු ඇත.

ඉහතින් විස්‌තර කළ පරිදි පොල් තෙල් සහ පාම් තෙල් වර්ගවල මිල ගණන් ඉහළ යැමට තවත් වැදගත් හේතූන් කිහිපයකි. ලෝක ආර්ථික තත්ත්වය යහපත්වීම මත නැවතත් බටහිර රටවල් එළවලු තෙල් තොග රැස්‌ කිරීම, ජීව ඩීසල් සඳහා මෙම තෙල් වර්ග යොදා ගැනීම ඉහළ යාමද ඒ අතර වේ.


පොල් මිල අඩු කිරීමට නම්....

මේ සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන විසඳුම් රැසකි. මේ අවස්‌ථාවේදී කළ හැකි එක්‌ දෙයක්‌ වනුයේ දේශීය වෙළෙඳපොළ සඳහා රාජ්‍ය අංශ සතු පොල් ඉඩම්වල පොල් ගෙඩියක්‌ රු. 30/- ක්‌ වැනි සාධාරණ මිලකට ප්‍රධාන නගරවලට සැපයීමයි. මේ තුළ කෘත්‍රිමව පොල් මිල ඉහළ යාම අඩුවේ. ඒ සඳහා පොල් වගා කිරීමේ මණ්‌ඩලය, ජාතික පශු සම්පත් මණ්‌ඩලය සහ කුරුණෑගල හා හලාවත වැවිලි සමාගම්වලට දායක විය හැකිවේ. එබැවින් රාජ්‍ය අංශයේ පොල් මිල දායකත්වය වැදගත් වනුයේ එවන් පොල් මිල ඉතා සීග්‍රව වැඩිවීම වැනි අර්බුදකාරී අවස්‌ථාවකයි.

දැනට පාම් තෙල් සඳහා ආනයන බද්ද කිලෝවට රු. 45/- කි. මෙය යම් තරමකට අඩු කිරීමෙන් තරමක්‌ දුරට ඉහළ යන පොල් තෙල් මිල පාලනය කළ හැකි වේ. ඒ අනුව මෙම ඔක්‌තෝබර් 29 වැනි දින භාණ්‌ඩාගාරය මගින් නිකුත් කළ නියෝගය අනුව එළවළු තෙල් ආනයන බද්ද කිලෝවට රු. 45/- සිට රු. 15/- දක්‌වා අඩු කර ඇත. එබැවින් ඉහළ ගොස්‌ ඇති පොල් තෙල් මිල ඉදිරි සතිය තුළ වෙළෙඳපොළෙහි රු. 220/- පමණ දක්‌වා අඩුවනු ඇතැයි අනුමාන කළ හැකි වේ. නමුත් එම රේගු බදු අඩු කිරීම පාම් තෙල් වර්ග රැසකම "වෙනත්" යන්න අර්ථ නිරූපනය කිරීම කුළ) බාල තත්ත්වයේ පාම් තෙල් ආනයනය කිරීම තුළින් පොල් තෙල්වලට මිශ්‍ර කිරීම වැඩි කිරීමෙන්, බාල කර මිශ්‍රිත පොල්තෙල් පාරිභෝගිකයාට ලැබිය හැකිවේ. තවද, එම බදු අඩු කිරීම බල පවත්වන කාලය සඳහන් නොකිරීමට ද පොල් වගාකරුවාට අයහපත් විය හැක්‌කේ සීමාවකින් තොරව පාම් තෙල් ආනයනය කිරීම තුළ ලබන පෙබරවාරි සිට පොල් නිෂ්පාදනය යහපත් වන විට, පොල් වගාකරුවාට අසීරු වන අයුරින් පොල් මිල පහත වැටීමට ඉඩ ඇති බැවිනි. එබැවින් පෙබරවාරි සිට ඉහළ පොල් මුර ලැබෙන විට, මෙම බද්ද අවස්‌ථානුකූළව පවත්වා ගැනීම, පොල් වගාකරුවන් උනන්දු කිරීමට හේතුවේ.

සැබවින්ම පොල් තෙල් හිඟය මගහැරවීම සඳහා පොල්තෙල් මෙ. ටොන්. 20,000 ක්‌ වැනි ප්‍රමාණයක්‌ බදුඅඩු කිරීමෙන් ආනයන කිරීම ද ඵලදායී පියවරකි. සමහර දේශීය පොල්තෙල් මෝල් හිමියන් පෙන්වා දෙනුයේ සුදුසු ගුනාත්මයෙන් යුත් කොප්පරා යම් ප්‍රමාණයක්‌ ආනයනය කිරීම ද වඩාත් සුදුසු බවයි. එමගින් පොල් පුන්නක්‌කු මෙන්ම, මෙරට දේශීය පොල් තෙල් මෝල් සඳහා කොප්පරා ද ලැබෙන බැවිනි.

පොල් නිෂ්පාදනය වැඩි කිරීමට නම්... .

සාධාරණ පොල් මිලක්‌ පවත්වා ගැනීමට කළ යුතු එකම දෙය, දේශීය පොල් නිෂ්පාදනය වැඩි කිරීමයි. මේ සඳහා වගාකරුවන් උනන්දු කරවන ස්‌ථාවර වැඩපිළිවෙළක්‌ අවශ්‍ය වේ. දැනට පවතින පොල් ඉඩම්වලින් තවදුරටත් ඉහළ ඵලදාවක්‌ ලබා ගැනීමට, පොහොර සහනාධාරය සහ පොල් ඉඩම් පුනරුත්තාපන සහනාධාරය වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුව ඇත.

විශේෂයෙන්ම අප්‍රේල් - මැයි කාලයේදී පොල් ඵලදාව වැඩිවීමත් සමඟ "පොල් මිල අඩු කරවන බලවේග" පාලනය කළ යුතුව ඇත. අපනයන පොල් නිෂ්පාදනවල මිල එම කාලයේදී අඩුවීම සිදුවන්නේ සැබවින්මද? යන්න සොයා බලා අවශ්‍ය පිළියම් යෙදිය යුතුවෙයි. ඒ අනුව පොල් වගාකරුවාගේ ආදායම වැඩිවීම තුළින් අඛණ්‌ඩව පොල් ඉඩම් සඳහා ආයෝජනය කිරීම තුළ පොල් නිෂ්පාදනය පහසුවෙන් වැඩි කළ හැකිව තිබේ. මේ බව මෑතකදී දේශීය සහල් නිෂ්පාදනය වැඩිවීමෙන්ද පැහැදිලි වේ.

අනෙක්‌ අතට, පොල් වගා කර ඇති වර්තමාන බිම් ප්‍රමාණය, පොල් ඉඩම් කැබැලිකරණය කිරීමෙන් වළක්‌වා පවත්වා ගත යුතුව ඇත. එබැවින් 2005 ජුලි 22 දින සම්මත කර ඇති තේ, රබර්, පොල් ඉඩම් (කැබලිකරණ පාලන) පනතෙහි විධි විධානයන් ඒ අයුරින් ම ක්‍රියාත්මක විය යුතුයි. කුඩා ගෙවතු පොල් වගාවන්, එදිනෙදා ගෙදර පොල් සැපයුමට වැදගත් වන්නා සේම, අක්‌කර 5 ට වැඩි පොල් ඉඩම්, පොල් කර්මාන්ත සඳහා පොල් සැපයීමට බෙහෙවින්ම අවශ්‍ය වේ. එබැවින් ඉහත පනතේ අවම සීමාව අක්‌කර 05 දක්‌වා අඩු කිරීම මෙන්ම, යම් හෙයකින් කැබලිකරණය කිරීම සඳහා අවසර ලබන පොල් ඉඩම් සඳහා අවම තරමින් අක්‌කරයකට රුපියල් ලක්‍ෂ තුනක බද්දක්‌ ලබාගෙන, එම මුදල කෙළිsන්ම අලුතින්ම පොල් වගා කරන නව වගාවන් සඳහා වගාකරුවන්ට ලබාදිය යුතුව ඇත.

පොල් ත්‍රිකෝණය එනම්, කුරුණෑගල පුත්තලම වැනි ප්‍රදේශවල පොල් වගා බිම් ප්‍රමාණය, වෙනත් සංවර්ධන ක්‍රියාවලීන් නිසා අඩුවෙමින් පවතී. එහෙත් පසුගිය කාලය තුළ, පොල් ත්‍රිකෝණයෙන් බැහැරව, පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර වැනි දිස්‌ත්‍රික්‌කවල පොල් වගා බිම් ප්‍රමාණය කැපී පෙනෙන අයුරින් වැඩිවී ඇත. මේ නිසා ග්‍රාමීය ප්‍රදේශවල පාරිභෝජනය සඳහා පොල් හිඟයක්‌ නොමැත.

උතුරේ යුද්ධය නිමා වීමත් සමග ඉතා හොඳින් පොල් වගා කිරීමට හැකියාව තිබේ. උතුරේ ගැටුම්වලට පෙර, පොල් අක්‌කර 77,000 ක්‌ පමණ තිබූ අතර, ගැටුම් නිසා පොල් ඉඩම් අක්‌කර 44,000 ක්‌ පමණ විනාශ විය. උතුරු ප්‍රදේශයේ පලෙයි, පුනකරීන්, මුලතිව් යන ප්‍රදේශවල මුහුදු තීරයට ආසන්නව තවදුරටත් පොල් ඉඩම් අක්‌කර ලක්‍ෂයකට වඩා ඉතා හොඳින් වගා කළ හැකියි. එමගින් ඉදිරි වසර 5-6 තුළදී ජාතික ඵලදාව සඳහා අමතරව පොල්ගෙඩි මිලියන 300 ක්‌ පහසුවෙන් එක්‌ කළ හැකිවේ.

අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ ඕනෑම කෘෂිකාර්මික බෝග වගාවක තිරසාර සංවර්ධනය සඳහා වැදගත් වනුයේ "ගබඩා ක්‍රම" දියුණු කිරීමයි. පොල් ඵලදාව වැඩිපුර ලැබෙන කාලයේදී පොල් තෙල් සහ කොප්පරා ලෙසට සකස්‌ කර, පොල් ඵලදාව හිඟ කාලයේදී එනම්, නොවැම්බර් - පෙබරවාරි කාලයේදී එම තොග වෙළෙඳපොළ සඳහා නිදහස්‌ කිරීමෙන් පාරිභෝගිකයාට සහනයක්‌ ලබා දිය හැකිවේ. පොල් ක්‍ෂේත්‍රය සලකන විට බී. සී. සී. ආයතනයේ වගකීම වැදගත්ය. එම ආයතනය සතුව පොල් තෙල් ගබඩා කළ හැකි ටැංකි සහ පොල් තෙල් පිරිපහදු කිරීමේ පහසුකම් සියල්ල තිබේ. මීට දශක කිහිපයකට පෙර එම ආයතනය මැනවින් ක්‍රියාත්මක වුවද, අද එම කාර්යය, පොල් ක්‍ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතාවන් අනුව සිදු නොවේ. එබැවින් බී. සී. සී. ආයතනය විසින් පොල් තෙල් ඇතුළු අනෙකුත් එළවළු තෙල් වර්ග ගබඩා කර, හිඟ කාලයේදී පිරිපහදු කර වෙළෙඳපොළට නිකුත් කිරීම අවශ්‍ය වේ. සහල් මිල සඳහා වී අලෙවි මණ්‌ඩලය ක්‍රියාවට සමානව බී. සී. සී. ආනයනය නිසි පරිදි පණ ගැන්විය යුතුව තිබේ.

ඉදිරි පොල් ඵලදාව....

ලබන වසරේ පෙබරවාරි මාසයේ පටන් නැවතත් පොල් ඵලදාව යථා තත්ත්වයකට පත් වනු ඇත. ඒ අනුව පාරිභෝගිකයා සඳහා සාධාරණ මිලකට මාළු පොල් සැපයීම හැකියාව වර්ධනය වේ. මේ තත්ත්වය සඳහා විදේශ වෙළෙඳපොළෙහි පොල් තෙල් සහ අනෙකුත් එළවළු තෙල් වර්ගවල මිල ද ඉදිරි කාලයේදී දේශීය පොල් මිල කෙරෙහිද තීරණාත්මකව බලපානු ඇත.

අප විසින් අද අදම කළ යුත්තේ දේශීය පොල් වගාව නැංවීමයි. අපගේ පොල් පාරිභෝගිකයා අසීරුතාවට පත්වීම සුqදුසු නැත. එමෙන්ම පොල්, අපගේ දෙවැනි ආහාර බෝගය නිසා ජාතික ආහාර සුරක්‍ෂිත බවට පොල් වගාව මගින් සිදුවන මෙහෙවර සලකා, පොල් වගාකරුවා නගාසිටුවීම අවශ්‍යයි.

Tell a Friend