දිස්‌ත්‍රික්‌ 7ක ලක්‌ෂ 3ක ජනතාවක්‌ විපතේ

වසර 18කට පසු මිලිමීටර් 440.2 ක වර්ෂාපතනයක්‌
දිස්‌ත්‍රික්‌ 7ක ලක්‌ෂ 3ක ජනතාවක්‌ විපතේ

කථානායක බෝට්‌ටුවක නැගී පාර්ලිමේන්තු යයි

ගස්‌කොළන් කඩා වැටේ, විදුලිය බිඳ වැටේ,
පාරවල් යටවේ, පාසල් වසා දැමේ

තුෂාරි කළුබෝවිල, සිරිමන්ත රත්නසේකර, ප්‍රභාත් විතාන, ශිරාන් රණසිංහ සහ ලසිත දුමින්ද

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් දිස්‌ත්‍රික්‌ක හතක ලක්‍ෂ පහකට ආසන්න ජනතාවක්‌ ඊයේ (11 වැනිදා) පෙරවරුවේ දැඩි පීඩාවට පත්වූ බව අපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

වසර 18 කට පසුව කොළඹ දිස්‌ත්‍රික්‌කයේ වැඩිම වර්ෂාපතනය ඊයේ වාර්තා වූ අතර එය මිලි මීටර් 440.2 ක්‌ ලෙස සටහන්වි තිබේ. දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරි කලාපය වර්ධනය වීම (දිවයින හරහා ගමන් ගන්නා සුළං ධාරාවේ කැළඹිලි ස්‌වභාවය වැඩිවීම) හේතුවෙන් පෙරේදා (10 වැනිදා) සවස 5.00 සිට ඊයේ (11 වැනිදා) පෙරවරු 8.00 පමණ වන තෙක්‌ කොළඹ, කළුතර, ගාල්ල, කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ, රත්නපුර දිස්‌ත්‍රික්‌කවලට ධාරානිපාත වැසි ඇතිවූ බව කාලගුණ විද්‍යාඥ ගයනා හෙන්දවිතාරණ මහත්මිය  පැවසුවාය.

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ කොළඹ කොටුව, කොටහේන, හෙට්‌ටියාවත්ත, බ්ලුමැන්ඩල්, ආමර්වීදිය, කොස්‌ගස්‌හන්දිය, නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස්‌, මාදම්පිටිය, රත්මලාන, මොරටුව, පානදුර, බොරලැස්‌ගමුව, කැස්‌බෑව, පිළියන්දල, මඩපාත, බෝකුන්දර, මහරගම, කඩවත, ජාඇල ආදී ප්‍රදේශ රැසක්‌ මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ගද ඊයේ පෙරවරුවේ ජලයෙන් යටවී තිබිණි. කොළඹ, හොරණ මාර්ගයේ පොල්ගස්‌ඕවිට හන්දිය මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය ඊයේ පෙරවරුවේ මුළුමනින්ම නවතා තිබිණි. වාහන රැසක්‌ ජල ගැල්මට හසුවීම නිසා මහ මග සිරවී තිබිණි.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ කළුතර, මතුගම, වල්ලාවිට, ඉංගිරිය, අගලවත්ත, බදුරලිය, බුලත්සිංහල ප්‍රදේශද හොරණ - කළුතර, හොරණ පාදුක්‌ක, බණ්‌ඩාරගම - කළුතර, නාගොඩ - කළුතර ප්‍රධාන මාර්ගද ජලයෙන් යට විය.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේද රත්නපුර ඇතුළුප්‍රදේශ සක්‌ද කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ හා මාර්ග රැසක්‌ද ජලයෙන් යටවී තිබිණි.

මාර්ග කිහිපයකට ගස්‌ කඩාවැටීම නිසාද ඊයේ පෙරවරුවේ ගමනාගමන කටයුතුවලට බාධා සිදුවිය.

මේ අතර පෙරේදා පස්‌වරුවේ සිට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 33501 කට අයත් පුද්ගලයන් 156345 ක්‌ ඊයේ දහවල් වන විට විපතට පත්ව සිටි බවත් ඔවුන් වෙනුවෙන් අවතැන් කඳවුරු 11 ක්‌ ස්‌ථාපනය කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. කොළඹ අවතැන් කඳවුරු 3 ක්‌, කෝට්‌ටේ අවතැන් කඳවුරු 8 ක්‌ සහ රත්මලානේ අවතැන් කඳවුරක්‌ වශයෙන් අවතැන් කඳවුරු ස්‌ථාපනය කර ඇත.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 2234 කට අයත් පුද්ගලයන් හයදහසක්‌ පමණද කළුතර දිස්‌ත්‍රික්‌කයේ පවුල් 200 කට අයත් පුද්ගලයන් හයසීයක්‌ පමණද විපතට පත්වී ඇත.

ඊයේ දහවල් වන විට පුද්ගල මරණ හෝ අතුරුදන්වීම් කිසිවක්‌ තම මධ්‍යස්‌ථානයට වාර්තා නොවූ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පැවසීය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි රැහැන් පද්ධතියටත්, ජල සැපයුමටත් දුරකථන පද්ධතිවලටත් හානි සිදුවී තිබුණු අතර ඊයේ පෙරවරුවේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ කාර්යාල ගණනාවක සේවා කටයුතුවලටද දැඩි ලෙස බාධා සිදුවිය.

කොළඹ නගරයේ හටගත් ජල ගැල්ම නිසා ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් විදුලි උප පොළවල් ජලයෙන් යටවීමෙන් ඊයේ (11 වැනිදා) සවස්‌වන තුරුම කොළඹ ස්‌ථාන රැසක විදුලිය විසන්ධිවී තිබිණි.

ග්‍රෑන්ඩ්පාස්‌ විදුලි උප පොළ ඇතුළු තවත් ප්‍රාථමික විදුලි උප පොළවල් හතරක පමණ විදුලිය විසන්ධි කිරීම නිසා විදුලි බලය ප්‍රදේශ කිහිපයකට නොලැබුණ බව විදුලිබල මණ්‌ල ප්‍රකාශකයෙක්‌  පැවසීය.

කොළඹ නගරයේ ජල ගැලීම් සිදුවන විට ඇතැම් විදුලි උප පොළවල් ස්‌වයංක්‍රීයවම විසන්ධි වන අතර අනෙක්‌ ඒවා ආරක්‍ෂාව වෙනුවෙන් විසන්ධි කරන බවද එම ප්‍රකාශකයා කීවේය.

කෙසේ වෙතත් වතුර බැස යැමත් සමගම යළි ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලිබලය ලබාදුන් බවත්, කොටහේන ග්‍රෑන්ඩ්පාස්‌, මාළිගාවත්ත, මරදාන, වරාය අවට ප්‍රදේශ මෙන්ම කොල්ලුපිටිය, බම්බලපිටිය ප්‍රදේශවල මෙම විදුලි බිඳවැටීම් සිදුව තිබූ බවද හෙතෙම කියා සිටියේය.

පැවැති අයහපත් කාලගුනික තත්ත්වය නිසා ඊයේ බස්‌නාහිර පලාතේ පාසල් පවත්වාගෙන යනවාද? නැද්ද? තීරනය කිරිමේ බලය අධයාපන අමාත්‍යවරයා විසින් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවරන ලදී. පාසල් කිහිපයක්‌ම ජලයෙන් පිරී තිබුණු බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය ක්‍රමයෙන් අඩුවී ගියත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හවස්‌ කාලයේ ගිගුරුම් සහිත වැඩි ඉදිරි දිනවලද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීම සඳහා ක්‍රියා කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පෙරේදා රාත්‍රියේ සිට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බොරලැස්‌ගමුව, පිල්ලෑව, රත්තනපිටිය, දිවුල්පිටිය, 120 බස්‌ මාර්ගය, නුගේගොඩ, නාවල පාර 176 මාර්ගය ජලයෙන් යටවීම නිසා ඊයේ (11 වැනිදා) පෙරවරුවේ සිට දහවල්වනතුරුම වාහන ගමනාගමනයට මෙන්ම ජන ජීවිතට දැඩි බාධා එල්ල විය.

මෙම මාර්ග අඩි හතරක්‌ පමණ උසට ජලයෙන් යටවී තිබිණි. මාර්ගයේ ධාවනයවූ මෝටර් රථ, ත්‍රිරෝද රථ ඇතුළු කුඩා වාහන යාන්ත්‍රික දෝෂවලට ලක්‌ව නතරව තිබෙන ආකරය දැකගන්නට ලැබිණි.

මීට අමතරව රාජගිරිය ආයුර්වේද රෝහල අසල ඇති ඇළ, කෝට්‌ටේ නගර සභාව අසල ඇති ඇළ උතුරා යැම නිසා නිවාස 200 කට අධික ප්‍රමාණයක්‌ ජලයෙන් යටවී තිබිණි.

මේ අතර රත්මලාන, අත්තිඩිය, දෙහිවල, ගල්කිස්‌ස ආදී ප්‍රදේශවල දෙදහසකට අධික පිරිසක්‌ දැඩි අපහසුතාවකට පත්වී සිටිති.වසම් කිහිපයක්‌ සඳහා අපහසුතාවට පත් ජනතාව දෙහිවල - ගල්කිස්‌ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නිමල් විමලරත්න, ස්‌ටැන්ලි ඩයස්‌, ග්‍රාම නිලධාරි නිරෝෂන් මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ සහන සලසමින් කටයුතු කරති.

උන්හිටිතැන්වලට සිදුවූ දැඩි හානිය, මංමාවත් ජලයෙන් යටවිම, ආහාර ප්‍රශ්න ආදී ප්‍රශ්න රැසකට මෙම ප්‍රදේශවල ජනතාව පත්වී සිටිති.

දැනට අත්තිඩිය ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කීපයක්‌ සඳහා අපහසුතාවට පත් ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ග්‍රාම සේවා නිලධාරී මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ කටයුතු කරති.

මේ අතර මතුගම, රත්නපුර, කලවාන, පැළෑඳ මගුර ආදී මාර්ග ගණනාවක්‌ ජලයෙන් යටවී තිබිණි. පැය හතරකට අධික කාලයක්‌ තිස්‌සේ වර්ෂාව ඇහැළුණු අතර එම වර්ෂාව නිසා ප්‍රදේශයේ ගම්

රැසක්‌ද ජලයෙන් යටවී ගියේය.

හැඩිගල්ල, මෝල්කාව, කෙළින්කන්ද, දිගන්න ආදි ගම්වල බස්‌ කණ්‌ඩි තැනින් තැන කැඩී ගොස්‌ ඇත.

අකුරැස්‌ස ප්‍රදේශයට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා නිල්වලා ගඟ පිටාර මට්‌ටමට පැමිණ ගංවතුර ඇතිවීමේ අවදානමක්‌ ඇතිවී තිබිණි.

කුඹුරු වපුරා තිබුණ නිසා පැවති අධික වර්ෂාවෙන් ඒවා විනාශවී ගොස්‌ ඇති අතර ගොවීන් ගැටලු රැසකට මුහුණපා ඇත.

සුපුරුදු පරිදි අකුරැස්‌ස - කඹුරුපිටිය මාර්ගය අඩියක්‌ පමණ ජලයෙන් යටවී තිබූ අතර ගමනාගමනයට බාධා ඇතිවිණි.

මාතර ස්‌ථාපිත කර ඇති වැඩි ජලය ඉවත් කිරීම් පොම්පාගාර ක්‍රියාත්මක නොකිරීම නිසා ගොවීන්ට දැඩි අලාභහානි සිදුව ඇත.

පසුබිම් වාර්තා


(ධර්මසේන වැලිපිටිය, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු, බදුරලිය - දයානන්ද ජයනෙත්ති, පානදුර - සමන් කාරියවසම්, අකුරැස්‌ස - සමන් උපුල් පිණිදිය.)
Tell a Friend