ජීවිත වේදිකාවෙන් බැසගිය අසඩක්‌!

සචිත්‍ර නේරංජන ඇල්වලගේ

ශ්‍රී ලාංකේය කලා කෙතෙහි පහළ වූ ප්‍රතිභාසම්පන්න මහා කලාකරුවකු වූ ඔහු වරෙක ගම්පෙරළියේ පියල්, බැද්දේගම ආරච්චි, හුනුවටයේ අසඩක්‌ ලෙසත් තවත් වරක "හඳයා" හි පෙරේරා මහත්තයා, හංසවිලක්‌ හී ඩග්ලස්‌ ලෙසත් අප හමුවට පැමිණියේය. මේ හැමටම වඩා නූතන පරපුර හොඳින් හඳුනාගත් "දූ දරුවෝ" ටෙලි නාට්‍යයේ "සුදුසීයා" වූ අග්‍රගණ්‍ය කලාකරු හෙන්රි ජයසේනයන් මෙරට කලා රසික ප්‍රජාව තනිකොට ජීවන ගමනට සමුදී මෙම මස 11 වැනිssදාට වසරක්‌ සපිරේ.

දෙයක්‌ වේ නම් එය සුදුස්‌සාටම අයිතිවිය යුතු යෑයි නිතර පසක්‌ කළ ආචාර්ය හෙන්රි ජයසේනයන් නික්‌ම ගොස්‌ වසරක්‌ ගතවෙද්දී ඒ අහිමි වීමෙන් කලා ලොව තුළ දැවැන්ත හිඩැසක්‌ නිර්මාණය වී ඇතැයි යන්න අපගේ හැඟීමයි.

බෙන් සිරිමාන්නගෙන් පසු දෙවැනි මනමේ කුමරු ලෙස රංගාභිෂේකය ලැබූ හෙන්රි ජයසේනයන් මෙරට නාට්‍ය කලාවේ ප්‍රගමනයට කැපවූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන සහ සුගතපාල ද සිල්වා වැනි දැවැන්තයන් සමගින් එක පෙළට ගැනෙන ප්‍රමුඛයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. 1931 ජූලි 06 වැනිදා ගම්පහ බැණ්‌ඩියමුල්ල ග්‍රාමයේ උපන් හෙන්රි රුද්‍රිගු ජයසේන කලා ලොව මුලකුරු කියෑවූයේ ගුවන් විදුලියේ සිරි අයියාගේ ළමා තීරයෙනි.

නාලන්දාවේ ආචාර්ය මණ්‌ඩලයේ සිටි සිරි අයියා (යූ. ඒ. එස්‌. පෙරේරා) නිෂ්පාදනය කළ "හරිශ්චන්ද්‍ර" නාට්‍යයේ රෝහිත කුමරුගේ චරිතය හෙන්රිගේ මුල්ම රංගනය විය. හෙන්රිගේ එම රංගනය දුටු එදවස රට පිළිගත් මහා වියතෙකු වූ ගුණපාල මලලසේකරයන් මෙසේ පැවැසීය.

, ඔයසි ඉදහ ය්s a ටදදා Fමඑමරු as aජඑදරගගග,

පාසල් අධ්‍යාපනයෙන් පසු කොළඹ රෙජිස්‌ට්‍රාර් ජනරාල් කාර්යාලයේ ලිපිකරුවෙකු හා සෙවුම් නිලධාරියකු ලෙස සේවය කළ ජයසේනයන් ඉන් අනතුරුව 1950 දී නුවරඑළිය දිසාවේ පදියපැලැල්ල දෙහිපේ ප්‍රාථමික පාසලේ ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේය. ඇල්බට්‌ රොඩි්‍රගෝ ජයසේනගේ පුත්‍රයෙකු මෙන්ම සහෝදර සහෝදරියන් පස්‌දෙනෙකුගේ බාල සොහොයුරා වූ හෙන්රි, ගම්පහ ලෝරන්ස්‌ කොලීජියෙන් සහ කොළඹ නාලන්දාවෙන් ලැබූ අධ්‍යාපනික හැකියාවන් මෙන්ම ප්‍රගුණ කළ නාට්‍ය කුසලතාවන් දෙහිපේ නමැති දුෂ්කර ගම්මානයේ දරු පරපුර වෙනුවෙන් කැපකළේය. 1951 දී තම ප්‍රථම නාට්‍ය නිර්මාණය ලෙස "ජානකී" කරළියට ගෙන ආවේ දෙහිපේ දරු දැරියන් වෙනුවෙනි. පසු කලෙක ගුරු වෘත්තියෙන් සමුගත් හෙන්රි ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ලිපිකරු සේවයට එක්‌විය. ඒ අතරවාරයේ හෙන්රි 1953 දී තම ප්‍රථම අනුවර්තනය වන "මනමාලයෝ" ද, 1954 දී "වැදගත්කම" සහ "ඇත්ත කුමක්‌ද" 1959 දී "පව්කාරයෝ" වේදිකාවට ගෙන ආවේ සිංහල නාට්‍ය වංශයේ දැවැන්තයකු බිහිවීමේ පෙරමග සලකුණු තබමිනි.

හෙන්රි ජයසේනයන් මෙරට සිනමාවට තාත්වික රංගනවේදය හඳුන්වාදුන් ප්‍රමුඛයකු වූවා සේම බර්ට්‍රොල්ඩ් බ්‍රෙෂ්ට්‌ගේ දුරස්‌ථකරණ රංග රීතිය මෙරට වේදිකාවට හඳුන්වාදුන් පුද්ගලයාද විය. සිනමාවටත් රූපවාහිනියටත් වඩා හෙන්රි වේදිකාවට පෙම් බැන්දේය.

"මට වේදිකාව හැර වෙනත් තැන් වැඩිය දිරවන්නේ නෑ. වේදිකාව මිනිහෙකුට මිනිහෙක්‌ හමුවෙන දහදිය ගඳ සුවඳ හොඳට හඳුනාගත හැකි තැනක්‌..." ඔහු වරක්‌ පැවසුවේය.

ඔහුගේ "හුණුවටයේ කතාව" දශක 4 ක්‌ පුරා අඛණ්‌ඩව මෙරට වේදිකාවේ රංගගත වීමත් ඊට නාට්‍ය රසික ප්‍රජාව තුළ තිබෙන නොසිඳෙන ඇල්ම හා ආකර්ෂණය ඒ බව මනාව තහවුරු කරයි. හෙන්රි ජයසේනයන් කුමන අරුතකින් එම ප්‍රකාශය කළද එතුමන්ගේ සිනමා රංගන දිවිය ඔස්‌සේ ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ අමරණීය මතකයන් රැසක්‌ සටහන් කරන්නට සමත්විය.

"මම චිත්‍රපට විසි ගණනක විතරයි රඟපෑවේ, එහෙම වුණේ මම වේදිකාවට කැපවූ මිනිහෙක්‌ වූ නිසයි." ඒ එදා හෙන්රි අපට කියූ කතාවකි. 1959 දී ශ්‍රී 296 (අධ්‍යක්‍ෂණය ප්‍රේම්නාත් මොරායස්‌) සහ "ගැහැනු ගැට" චිත්‍රපට වලින් ඔහුගේ සිනමා දිවිය ඇරඹිණි. 1964 දී ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ "ගම්පෙරළියේ" පියල් ලෙසින් ජයසේනයන් ප්‍රේක්‍ෂක ගෞරවාදරයට පාත්‍ර විය. "වෙන ස්‌වර්ගයක්‌ කුමටද, සුහද සොහොයුරෝ, හෙට ප්‍රමාද වැඩියි, දහසක්‌ සිතුවිලි, බැද්දේගම, හංස විලක්‌, සොල්දාදු උන්නැහේ, හඳයා, කලියුගය, පළගැටියෝ, අම්මයි දුවයි, සඳකඩ පහණ" වැනි සිනමා නිර්මාණවලදී ඔහු ප්‍රකට කළ ප්‍රතිභාන්විත බව සිංහල සිනමාවේ නොමැකෙන අයුරින් සටහන් වී තිබේ. "හංස විලක්‌" හි ඔහුගේ රංගනය උදෙසා 1980 දී වසරේ හොඳම සහාය නළුවාට හිමි සරසවි සම්මානය හිමිකර ගත්තේය.

තම නාට්‍ය දිවියේ සහකාරිය (කුවේණී සහ ගෲෂා) වූ මානෙල් ඉලංගකෝන්, හෙන්රි ජයසේනයන් තම සැබෑ දිවියේ සහකාරිය කරගනු ලැබුවේ 1962 දීය. මානෙල් සමග ඇරඹූ යුගදිවිය හෙන්රිගේ නාට්‍ය දිවිය නව මානයකට රැගෙන යැමට හේතුවූ බව නම් නොකියාම බැරිය. 1962 දී ජනේලය නිර්මාණය කරමින් හෙන්රි ජයසේනයන් ඇරඹූ කරළියේ පෙරළිය තුළින් බිහිවූ කුවේණී (1962), තවත් උදැසනක්‌ (1964), මනරංජන වැඩවර්ජන (1965), අහස්‌ මාලිගා (1966), හුනුවටයේ කතාව (1967), අපට පුතේ මගක්‌ නැතේ (1968), දිරිය මව සහ ඇගේ දරුවෝ (1972), මකරා (1973), සරණසියොත් සේ පුතුනි හඹායන (1975), සිරිසඟබෝ (1978) වැනි නිර්මාණ ඔස්‌සේ හෙළ කලා කෙත පෝෂණය විය. අසූව දශකයේ ආරම්භයත් සමගින් ජාතික රූපවාහිනියේ සහ ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධුර හෙබවූ ඔහු රාජකාරිය නිසි පරිදි ඉටුකළ පරිපාලකයකු විය. ඔහුගේ අව්‍යාජ නිරහංකාර ගුණය, සුහදශීලී බව ඒ සෑම තැන්හිදීම දක්‌නට ලැබිණි. පසු කලෙක හෙන්රි ජයසේනයන් තම ජීවන අත්දැකීම් ඇසුරෙන් මිනිසුන් වූ දරුවෝ (1965), කරළියක කතාවක්‌ (1993), නිම්නැති කතාවක්‌ (1996), ලාසරස්‌ (1999), නිළියකගේ කතාව, හිතට හිතෙන කවි සිංදු, කතන්දරේ හැංගිලා, රැව් පිළිරැව් වැනි නවකතා සහ කාව්‍ය ග්‍රන්ථ රැසක්‌ රචනා කළේය. 2003 සැප්. 27 වැනිදා නාලන්ද විද්‍යාලය හෙන්රි ජයසේනයන් වෙත "නාලන්දා කීර්ති ශ්‍රී" සම්මානය ප්‍රදානය කරමින් ගෞරව උපහාර දැක්‌වීය. 1999 දී පමණ රෝගාතුර වූ ජයසේනයන්ට තම ජීවන ගමනේ සහකාරිය වූ මානෙල් ජයසේන (ගෲෂා) ගේ සමුගැනීම හදිසි වියෝව දරාගත නොහැකි විය. ඔහු වඩාත් දුක්‌වූයේ තමාට පෙර මානෙල් දිවි ගමනට සමුදීමය. 2004 ජූලි 24 වැනිදා මානෙල් ගේ වියෝව සිදුවූයේ වසර 42 ක විවාහ දිවිය නිමා කරමිනි. ඔවුන් දෙදෙනාගේ එකම පුත්‍රරත්නය වන සුදාරක ජයසේන ද තම පියා වේදිකාවේ අසඩක්‌ වෙද්දී කුඩා මයිකල් කුමරුගේ චරිතයට පණ පෙවීය. පසුව සුදාරක ටෙලි නිර්මාණ රැසකට දායක විය.

කුඩා වියේදී තම නිවසේ වැඩිහිටියන්ට හොරෙන් ගොස්‌ ගම්පහ දී මිනර්වා කණ්‌ඩායම රඟ පෑ "සැගවුණු පිළිතුර" නරඹා කලාව කෙරෙහි ඇල්මක්‌ ඇතිකර ගත් හේ ගුවන් විදුලියේ සිරි අයියාගේ ළමා තිරයෙන් කලා ලොව මග විවර කරගත්තේය. අපේ පරපුරේ ආදරණීය සුදු සීයා වූ හෙන්රි ජයසේන නමැති මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා සදහටම අපෙන් වෙන්ව ගියේ 2009 නොවැම්බර් 11 වැනිදාය.


Tell a Friend