දකුණෙන් උතුරට පාපැදියකින් ගිය දකුණේ මිනිසා


බෙංගමුවේ නාලක හිමි


අතීතයේ අපේ රටේ පැවැති නිදහස මෙන්ම ශීලාචාරකම කියාපෑමට කවුරුත් පාහේ දන්නා ප්‍රකාශයක්‌ ඇත. එනම් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට සූසැට අබරණින් සැරසුණු නව යොවුන් තරුණියකට පයින්ම යා හැකි වාතාවරණයක්‌ එදා තිබුණු බවයි. මට සිතෙන හැටියට නම් ඒ තත්ත්වය වෙනස්‌ වීම ඇරඹුණේ අපේ රටට 1505 පෘතුග්‍රීසින් පැමිණීමෙන් පසුවයි. පෘතුග්‍රීසි ලන්දේසි හා ඉංග්‍රීසි වසර 443 තිස්‌සේ අප රටට ජාතියට සංස්‌කෘතියට මෙන්ම ආර්ථිකයට ද සිදු කළ හානිය කොපමණ දැයි කිව නොහැකි තරම්ය. 1948 ඉංග්‍රීසින් රට අතහැර ගියේ රට තුළ බෙදීම් රාශියක්‌ ඇති කරමින්ය. මහජාතිය හා සුළුජාතිය යන බෙදීම ඉන් එකකි. මුස්‌ලිම් හා දෙමළ ජනයා සුළු ජාතින් ලෙස සැලකුණි. ඔවුන් මහ ජාතිය ලෙස සැලකු සිංහලයන්ගේ බලය බිඳීමට දෙමළ හා මුස්‌ලිම් ජනයාට වැඩි සැලකිලි දැක්‌වූහ. ඔවුන් අතර දෙමළ ජනයා වැඩි වූ හෙයින් ඔවුන් තුළ වෙනම ජාතියක්‌ වෙනම රටක්‌ පිළිබඳ සංකල්පය ගොඩ නැගුණි. ඉංග්‍රීසීන් මුද්‍රණය කළ ඉතිහාස පොත්වල උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ප්‍රදේශ ලෙස (ඕපසක aරුa) නමින් හඳුන්වා තිබිණි.


මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ දෙමළ ත්‍රස්‌තවාදයක්‌ බිහිවී උතුරු හා නැගෙනහිර වෙන් කරගෙන වෙනම දෙමළ රාජ්‍යයක්‌ පිහිටුවීමට අර ඇඳීමයි. අපේ පාලකයන්ගේ හා තානාපතිවරුන්ගේ වැරැදි නිසා ඔවුන්ට ලෝකය පුරා ප්‍රචාරක ජාලයක්‌ ඇතිකරගෙන ලෝකයෙන් අනුකම්පාව හා සහාය ලබාගැනීමට හැකිවිය. දෙමළ ත්‍රස්‌තවාදය ත්‍රස්‌තවාදයක්‌ ලෙස නොසලකමින් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් අපේ රටේ වීරෝදාර හමුදාවන්ට ද එම ත්‍රස්‌තවාදය මැඬලීමේ ක්‍රියාදාමය සඵල කර ගැනීමට බොහෝ කල් ගතවිය. එහෙත් එය බෙදුම්වාදයක්‌ මෙන්ම ත්‍රස්‌තවාදයක්‌ ලෙස හඳුනාගත් 2005 නොවැම්බර් 18 වැනිදා ජනාධිති ධුරයට පත් ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එම ත්‍රස්‌තවාදය මැඬලීමට නිසි පරිදි ක්‍රියා කිරීම නිසා 2009 මැයි 19 වැනිදා වන විට මුළුමනින්ම අවිගත් දෙමළ ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීමට අපේ රණවිරුවන්ට හැකිවිය. එදා සිට මෙරට මිනිසුන්ට මරණ බියෙන් තොරව ජීවත්වීමට හැකි වී ඇත.


දෙණියායේ සිට 2010.08.17 වැනි දින පිටත්ව පා පැදියෙන් යාපනයට ගොස්‌ ආපසු පිටත්ව යන අතරතුර මල්ලවාරච්චිගේ රත්නපාල නමැති දකුණේ මිනිසා කැලණියේ අප විහාරස්‌ථානයට පැමිණියේය. දුටු පමණින් ඔහු එතරම් හපන්කමක්‌ කිරීමට සමත් කෙනෙකැයි සිතිය නොහැක. වැඩකාරයන් පෙනුමෙන් වැඩ නොපෙන්වන බව සත්‍යයකි. ඔහුගෙන් ආගිය තොරතුරු විමසීමි අගෝස්‌තු 17 වැනිදා දෙණියායෙන් පිටත් වන විට තරුණයන් දෙදෙනකු ඔහු සමඟ පැමිණ ඇත. එහෙත් කළුතරදී දෙපා රිදෙන බව කියා ඔවුන් ගමන නවතා ඇත. එවිටයි මා ඔහුගෙන් වයස විමසුවේ. ඔහුගේ වයස අවුරුදු 60 කි. දරුවන් හතරදෙනකුගේ පියෙකි. ඔහුගේ මව හා පියා තවම ජීවතුන් අතර සිටිති. පියාගේ වයස අවුරුදු 110 කි.


ඔහු පදිංචිව ඉන්නේ නෙළුව සුදුවැල්ලාවේ කොස්‌වත්ත යන ගමෙහිය. එහි සිට ගමන ඇරඹුමට දෙණියායට ගියේ ඇයි දැයි විමසුවෙමි. තම මවත් පියත් දෙණියායේ සිටින බැවින් මව්පියන්ට වැද ගමනට අවසර ගැනීමට එහි ගිය බව පැවසුවේය. ගමන අතරමග දී ඔහුට කිසිදු බාධාවක්‌ නොවීමට පියාගේ ආශිර්වාදය උපකාර වූ බව පැවසුවේ මහත් ගෞරවයකිනි. ගමනට අවසර ගනිද්දී පියා ප්‍රකාශ කර ඇත්තේ "ගිsහිං එන්න කිසිම කරදරයක්‌ වෙන්නේ නෑ" යනුවෙනි. මඟ දිගේ පොලිස්‌ ස්‌ථානවලට හා හමුදා කඳවුරුවලට ගිය විට ඒ හැම තැනකදීම රත්නපාල මහතාට මහත් සැලකිලි ලැබී ඇත. ඒ ඒ තැන්වලදී ඔහුගේ ගමන් විස්‌තර පොතෙහි ඔවුන් සටහන් තබා ඇත.


පා පැදියේ ආබාධයක්‌ ඇති වුණේ නැද්දැයි මා ඇසූ විට ඔහු කීවේ "දෙණියායෙන් අලුත් ටයර් හා ටියුබ් දාගෙන ගමන පටන් ගත්තා. තවමත් ඒවා තමයි මේ තියෙන්නේ. කිසිම කරදරයක්‌ වුණේ නෑ. මේකට ඩයිනමෝ එකක්‌ තිබුණේ නෑ. හමුදාවේ මහත්වරු ඒ අඩුව දැකලා ඒකත් මට අරන් දුන්නා." යනුවෙනි. මා ඇසුවා ඔහුගේ ගමනේ අරමුණ කුමක්‌ ද කියා ඊට දුන් පිළිතුර මෙයයි.


"ජනාධිපතිතුමා රට බේර ගත්තනේ. දැන් ඉතිං ඕනෑම කෙනෙකුට රටේ ඕනැම තැනකට යන්න පුළුවන් කියලා ලෝකෙටම පෙන්නන්න ඕන. ඒකයි මේ ගමන මම ගියේ".


රත්නපාල මහතාගේ මේ ප්‍රකාශය පොතක්‌ ලිවීමට තරම් සුදුසු මාතෘකාවකි. බොහෝ දෙනාට තේරෙන නමුත් නොකියන අදහසක්‌ ඒ තුළ ඇත. මේ අහිංසක දකුණේ මිනිසාට ඒ සත්‍යය වැටහී කිසිදු කෙනෙකුගේ කිසිදු බලපෑමක්‌ නොමැතිව මෙවැනි වීරෝදාර ක්‍රියාවක්‌ කිරීමට සිතුනේ ඔහුගේ මනුස්‌සකම නිසයි. දකුණේකම ද ඊට උපකාර වන්නට ඇත. රත්නපාල මහතා තුළ මේ ගමන නිසා වෙනත් කිසිදු බලාපොරොත්තුවක්‌ නොමැත. ඔහුගේ අරමුණ ඉතා පැහැදිලිය. එම අදහස වටහා ගැනීම මෙන්ම ඊට ගරු කිරීම රටේ හැම දෙනා විසින්ම කළ යුතු දෙයකි. මෙවැනි උදාර මිනිසුන් රටට ආශිර්වාදයකි. ඔහු ගිය මාවත ඔස්‌සේ මනුස්‌සකම ද ගමන් කර ඇතැයි සිතමි. ඒ මනුස්‌සකම දකුණේ සිට උතුරටත් රට පුරාමත් තහවුරු කිරීම රටේ හැම දෙනාගේම යුතුකම හා වගකීමයි. එවන් උතුම් අදහසක්‌ ලෝකයට දුන් දකුණේ මිනිසාට මල්ලවාරච්චිගේ රත්නපාල මහතාට කළගුණ සැලකීම වගකිව යුත්තන්ගේ යුතුකමක්‌ බව ද මෙහිලා සඳහන් කරමි.
Tell a Friend