ජෙනරාල්ව 22032 අංකය යටතේබන්ධනාගාරයේ ලේඛන ගතකෙරේ



ජනාධිපතිවරයා විසින් බරපතල වැඩ සහිතව මාස 30ක සිර දඩුවමක් පමණුවනු ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා 22032 අංකය යටතේ ඊයේ ලේඛණ ගතකල බව වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.  බන්ධනාගාරය තුළදී පුද්ගලයින් හඳනුවනු ලබන්නේ නමින් හෝ තරාතිරමින් නොව "ඉලක්කමකිනි" (අංකයකිනි).


නාවික හමුදා රැඳවුම් භාරයේ සිටි ජෙනරාල්වරයාව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසුව සිර ඇඳුමක් (ජම්පරයක්) ලබාදුන් බවත් ඔහුගේ ප්‍රයෝජනය සඳහා පැදුරක්, කොට්ටයක්, ඛෙලෙක් පිගානක් හා ඛෙලෙක් කොප්පයක්ද වැසිකිලියට ජලය ගෙනයෑම සඳහා ටින් එකක්ද ලබාදී තිබේ. ජෙනරාල්වරයාට ඊයේ උදෑසන ආහාරය ලෙස ලබාදී ඇත්තේ බත් හා පොල්සම්බෝල ස්වල්පයකි. එය තමන්ට හුරුපුරුදු ආහාරයක් බව ජෙනරාල්වරයා බන්ධනාගාර නිලධාරීන් හා සුහදව සිනාසෙමින් ප්‍රකාශ කර ඇත.


ජෙනරාල් සරත් ෆොන්සේකා මේ වනවිට රඳවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ "එස්" වාට්ටුවේය. දේශපාලන සිරකරුවෙකු ලෙස විජය කුමාරතුංග මහතාද රඳවා සිට ඇත්තේ මෙම "එස්" වාට්ටුව තුළය.
ජෙනරාල්වරයා එම ස්ථානයේ රැඳවීමට පෙර මිනී මැරුම් චෝදනාවක සැකකරුවෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා එහි රඳවා සිට ඇත.


පවුලේ ඥාතීන්ට හා හිතවතුන්ට ජෙනරාල්වරයා හමුවිය හැක්කේ මාසයේ එක් දිනයකදී පමණි. එහෙත් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළහොත් පමණක් මසකට සිව් වතාවක් ඔහු බැලීමට අවසර දිය හැකි බව, ජෙනරාල්වරයාගේ පෞද්ගලික එදිරිවාදියෙකු වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.


හිටපු හමුදාපතිවරයාගේ ආරක‍ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු පමණක් යොදවා ඇති බවත්, ඔහුට වෙනත් විශේෂ ආරක‍ෂාවක් සලසා නැති බවත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලක්බිම පුවත්පතට ප්‍රකාශ කර තිබේ. අධිකරණයෙන් දැනුම්දෙන්නේනම් පමණක් විශේෂ ආරක‍ෂාවක් ලබාදීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර ඇත. Tell a Friend