කතු වැකිය: දූෂණ දර්ශකය සහ සිසු විනය

ඔවා දෙනු පරහට තම සම්මතයෙහි පිහිට සිට!
 
මේ කාලයේ රජයේ ප්‍රධාන දේශපාලකයින් ගණනාවකුත් රජයට හිතැති මාධ්‍යත් කතා කරන්නේ සිසු විනය විශ්ව විද්‍යාල තුළ ඇති කිරීම පිලිබඳවය. විශ්ව විද්‍යාල ශිෂ්‍යන් ඔවුන්ගේ ඇඳුරන් ඉදිරියේ බුලත් තියා වැඳ එකත් පසෙකට වී සිතිය යුතු කාලයක් නිර්මාණය කිරීමේ වෙරක් පවතී. මෙසේ විශ්ව විද්‍යාලද ප්‍රථමික පාසල් වල තත්වයට දමා ගැනීමට කරණ උත්සාහය තුළ ඇත්තේ සදාචාරය ගැන දැඩි උනන්දුවක්ද නැත්නම් වෙනයම් දේශපාලන ජරා මරයක්ද?

ඒ පැනය ගැන සිතා බැලීමේදී නොබෝදා නිකුත් වූ දූෂණ පිළිබඳව සංජනන දර්ශකය ඉතාමන් අදාල වේ. එහි රටවල් 180 ක් අතරින් ලංකාවට හිමිව ඇත්තේ 91 වෙනි තැනය. කොටින් කිවහොත් ලෝකයේ ඉතාමත් දූෂිත රටවල් ගණයට ලංකාවද වැටේ. රටේ දූෂණය යනු පාලනයේ දූෂණය වේ. මෙම දර්ශකය පිළිබඳව කිසිවෙකු පුදුම වන්නේ නැත. රට පුරාවම දූෂිත පාලනයක් පවතින බව කාගේත් මතයය. ඒ තත්වය ඇති කළේ මේ රජය නොවේ. මේ රජය එය වැඩි කළා විය හැකිය. කෙසේ වුවත් දූෂණය ඉහ වහා හැරීම හැර එය විසඳීමේ මාවතක් ආණ්ඩුවට නැත.

මෙයින් එක පැනයක් ඉස්මතු වේ. දූෂිත පාලකයින්ට ශිෂ්‍ය විනය ඇති කළ හැකිද? ශිෂ්‍ය විනය පමණක් නොව මොනයම් හෝ විනයක් ඇති කළ හැකිද? විනයෙහි නොපිහිටා විනය ඇතිකිරීමට උත්සහ කිරීම අප්‍රබන්සයකි.

එසේනම් මේ කතා කරණ සදාචාරය කුමක්ද? දූෂණය ගැන කතා නොකරන ඒ ගැන නොහිතන සිසු පරපුරක් ඇති කළ යුතුය යන්න මෙහි අදහසද? විචාරශීලි බවයෙන් තොර සිසු පරපුරක් ඇති කර ගැනීමද මෙහි අරමුණ?

ඇත්තෙන්ම රටෙහි විනයෙහි වෙනසක් ඇති කිරීමට නම් එය පටන් ගත යුත්තේ වෙන තැන් වලිනි. රටේ නීතිය පසිඳලීම සඳහා ක්‍රියාත්මක වන මුලික සංස්ථාව පොලිසියයි. අද පොලිසිය දූෂිත බව ජනධිපතිතුමාමද පිළිගනියි. පොලිසියට පගා නොදී වැලි ඔරුවක් එහා මෙහා කර ගැනීමට බැරි තත්වයක් රටේ පවතින බව එතුමෝම කීහ. අන් සියලුම මැති ඇමති වරුද එසේමම කියති. රටේ පොලිසියෙවත් විනයක් ඇති කර ගත නොහැකි ආණ්ඩුවක් ශිෂ්‍ය විනය ගැන කතා කරන විට කිසියම් සිහි විකල් වීමක් එවැනි සාකච්චා වල පවතින බව පෙනේ.

දූෂණ සංජනන දර්ශකය තුළින් කියවෙන්නේ හැමතැනම දූෂණය ඇති බවය. ලංකාව සිංගප්පුරුවන් කිරීම ගැන කතා කරන නමුත් අදාල දර්ශකයට අනුව සිංගප්පුරුවට ලැබෙන්නේ පළමු තැනය. එය ලෝකයේ අඩුම දූෂණය ඇති රටවල් වශයෙන් හදුනාගෙන ති ඩෙන්මාර්ක්, නවසීලන්තය හා සම තත්වයේ පවතී. මේ අනුව බලන කළ සිංගප්පුරුවේ වැනි සංවර්ධනයක් ඇති කිරීමට උතසහ කරන බව කීමත් සැබෑවක් නොවේ.

හැම තැනකම බොරු රඟ පෑම කරණ තත්වයක් රටේ ඇති වී තිබීම රටේ අභ්‍යන්තරයේම ඇති කිසියම් මහා අර්බුධයක් පිළිබඳව ඇඟවීමකි. ලංකාවේ බැංකු වල මුදල් පිළිබඳව වග කිව නොහැකි බව මහා බැංකුව නොබෝ දා ප්‍රකාශ කළේය. රට අභ්‍යන්තරයේ පවතින මේ විශාල අර්බුධය එයින් පෙන්නුම් කරයි.

ශිෂ්‍ය විනය පිළිබඳව බොරු නඩකම නටමින් අර්බුධය තව තවත් අවුල් නොකරගෙන ආණ්ඩුව තමන් දෙස හැරී බලා තමන්වම විනයෙහි පිහිටුවා ගන්නේනම් වඩාත් හොඳය. එය කිරීමට ජනාධිපතිතුමාට පුලුවන්ද? එය කිරීමට එතුමාට ඕනෑ කමක් තිබේද? 78 ව්‍යවස්ථාවේ නිර්මාතෘ වූ ජේ. ආර් ජයවර්ධන මහතාටනම් එවැනි වුවමනාවක් නොතිබුණි. ඔහු තිබුණු ප්‍රශ්න වැඩි කළේය. නැති ප්‍රශ්න ඇති කළේය. රට යුද්ධයක අවුල් ජාලයක පැටලුවේය. ජනාධිපති රාජපක්ෂ මහතාද ජයවර්ධනටත් වඩා උනන්දුවෙන් මේ පාරේම යන බව 18 වන සංශෝධනයෙන් පෙනේ.

මෙවැනි තත්වයක් යටතේ අපි ජීවත් වන්නේ කවුරු විසින් කගේ විනය ඇති කළ හැකි රටකද ?
Tell a Friend