සිසුන් 60,000 ක් එලොව යැවූ යුඑන්පිය සරසවි අවුල මඩින හැටි කියාදෙයි

විශ්වවිද්‍යාල පද්ධතියේ ඇතිවී තිබෙන අර්බුදයේදී ආණ්‌ඩුව මෙන්ම ශිෂ්‍යයන්ද දරදඬු නොවිය යුතුයිලු

වර්තමානයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කර ගැනීමට නම් ශිෂ්‍යයන් මෙන්ම ආණ්‌ඩුවද දරදඬු තීරණවලට යොමු නොවිය යුතු බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (26 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.

මෙම අර්බුදය දුරදිග යැමට ඉඩ හැරියොත් එය නරක පූර්වා දර්ශයක්‌ විය හැකි බව හෙතෙම අනතුරු අඟවා සිටියේය. විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (26) දහවල් පැවැති පුවත්පත් සාකච්ඡාවකදී විශ්වවිද්‍යාලවල උද්ගතව ඇති අර්බුදය සම්බන්ධව එ. ජා. ප. ස්‌ථාවරය කුමක්‌දැයි මාධ්‍යවේදියකු නැගුව පැනයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ තිස්‌ස අත්තනායක මහතා මෙම අර්බුදය විසඳ ගැනීමට නම් දෙපාර්ශ්වය තුළම නැමියාවක්‌ තිබිය යුතු බව පෙන්වා දුන්නේය. 


විශ්වවිද්‍යාල සිසුන් වශයෙන් ආචාර්යවරුන්ට පහරදීම, උපකුලපතිවරුන්ට පහරදීම, දේපළවලට හානිකිරීම වැනි ක්‍රියා සිය පක්‍ෂ තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර යම් ගැටලු ඇත්නම් ඒවාට ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් විසදුම් සෙවිය යුතු බව ඒ මහතා පැවසීය.

දෙමාපියන් දහසක්‌ බලාපොරොත්තු ඇතිව තම දරුවන් විශ්වවිද්‍යාලවලට යවන්නේ ඔවුන්ට යහපත් අනාගතයක්‌ උදාකර දීමට බවත් ඒ අනාගතය ගොඩ නැඟීමේදී සිසුන් මෙන්ම පාලකයන්ද වගකීමෙන් කටයුතු කළ යුතු බවත් හෙතෙම සිහිපත් කළේය.

වර්තමානයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවෙමනින් පවතින තත්ත්වය නරක පූර්වාදර්ශයක්‌ විය හැකි බවත් එවැන්නක්‌ නොවන ආකාරයට කටයුතු කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක්‌ බවත් හෙතෙම අවධාරණය කළේය. ආණ්‌ඩුවේ වැරැදි ක්‍රියාපිළිවෙත නිසා මේ වනවිට රට තුළ ප්‍රශ්න ගණනාවක්‌ නිර්මාණය වෙමින් පවතින බව පෙන්වා දෙන ඒ මහතා මේ තත්ත්වය වහා නවත්වා රට ප්‍රජාතන්ත්‍රවාදී මගට යොමු කළ යුතු බව පෙන්වා දුන්නේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 18 වැනි සංශෝධනය හරහා සියලු කොමිෂන් සභා අහෝසිකර රාජ්‍ය සේවය පොලිසිය ඇතුළු සියලු ආයතන දේශපාලනීකරණයට නතුකර ඇති බවට චෝදනා කළේය. ආණ්‌ඩුව වරදාන, වරප්‍රසාද ලබාදී විපක්‍ෂයේ මන්ත්‍රීවරු බිලි බා ගනිමින් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි පෙන්වා 18 වැනි සංශෝධනය සම්මතකර ගත්තද ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයේ අනිසි ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුව තිබෙන්නේ ද මෙරට ජනතාවට බව අත්තනායක මහතා පැවැසීය.
මේ ආණ්‌ඩුව අනුගමනය කරන අකාර්යක්‍ෂම ආර්ථික ක්‍රියා පිළිවෙත නිසා අද වන විට රටේ සමස්‌ත ජනතාව දැඩි ආර්ථික පීඩාවන්ට මුහුණපා සිටින බවට චෝදනා කරන හෙතෙම ජනතාවගේ ආදායම් මාර්ග අඩාල කරමින් බඩු මිල පමණක්‌ කිහිප ගුණයකින් ඉහළ දමා ඇති බව සිහිපත් කළේය.

බැංකුවල මුදල් තැන්පතු කරුවන් තම මුදල් පිළිබඳව වගකීම ඔවුන්ම බලාගත යුතු බවට මහ බැංකුව කර ඇති ප්‍රකාශය සිය පක්‍ෂය තරයේ හෙළාදකින බව අත්තනායක මහතා කීය.

යම් වාණිජ බැංකුවක්‌ ශ්‍රී ලංකාවේ. පිහිටුවනු ලබන්නේ මහ බැංකුවේ නීතිරීතිවලට හා උපදෙස්‌වලට යටත්ව බව පෙන්වා දෙන ඒ මහතා බැංකු ආඥපනතට අනුව මහ බැංකුව මෙම බලපත්‍රලාභී හා වාණිජ බැංකු මෙන්ම ඒවායේ තැන්පත් කර තිබෙන මුදල් සම්බන්ධව සම්පූර්ණ වගකීම දැරිය යුතු බව අවධාරණය කළේය.

වගකීමෙන් මිදී මහ බැංකුව කර තිබෙන මෙම ප්‍රකාශය නිසා තැන්පත්කරුවන් දැඩි නොසන්සුන් තත්ත්වයකට පත්ව සිටින බවත් මෙම ප්‍රකාශය පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සැලසුම්කර තිබෙන බවද අත්තනායක මහතා වැඩිදුරටත් කීය.
Tell a Friend