The Most/Recent Articles

Showing posts with label university. Show all posts
Showing posts with label university. Show all posts

ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගතකිරීමෙන් තවත් පහලට වැටීමේ අවදානමක්

l අමිල ගුණරත්න

අධ්‍යාපනික ගුණාත්මකභාවය අතින් දැනට ලෝකයේ ඉතාම පහළම දර්ශකයක් දරන ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වර්තමානයේ සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා තවදුරටත් පහල වැටීමේ අවදානමක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු විසින් පවසයි. තවමත් මෙම අර්බුධය සමථයකට පත් වී නොමැති නිසා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් මෙම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. එසේම එමෙන්ම මෙවර පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමටද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර ඇත.

2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල උගන්ඩාවේ, ඝානාවේ , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරයි. සාක්ෂරතාවය අඩු අසමත් අප්‍රිකානු රාජ්‍යවල විශ්ව විද්‍යාල පවා මේ අනුව අධ්‍යාපනික ගුනත්මකභාවෙන් ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පරාජය කොට තිබේ. වර්තමාන සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා මෙම දර්ශකය තවදුරටත් පහත වැටීමට ඉඩ තිබේ.

2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකික විද්‍යාල සහ අප්‍රිකානු විශ්ව විද්‍යාල වල තත්වය පහත දැක්වේ (උපුටා ගැනීම http://www.webometrics.info/top12000.asp Ranking Web of World Universities 2012 January )

Sri Lankan Universities World Rank

University of Colombo 1447

University of Peradeniya 1909

University of Moratuwa 2794

University of Sri Jayewardenepura 3078

University of Kelaniya 4434

Open University of Sri Lanka 5012

University of Ruhuna 5071

University of Jaffna 7940

Sabaragamuwa University 8627

Rajarata University 9145

African Universities World Rank

Makerere University 1,177
(Uganda)

University of Khartoum 1,216
(Sudan)

Kwame Nkrumah University 1,338
(Ghana)

Addis Ababa University 1,367
(Ethiopia)

මහින්ද චින්තනයට උසස් අධ්‍යාපන අර්බුදයට සවදේශීය විසඳුමක් තිබේද?

සරසවි ඇදුරු සංගම් - ජනාධිපති ලේකම් හමුව:

l කුමුදු කුසුම් කුමාර

ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ඉදිරි පියවරක් තබමින් ජනාධිපතිලේකම් වරයා සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡාවට පිවිසීම දූරදර්ශී පියවරකි. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිලේකම් වරයා ගත් සුහදශීලී එළඹුම රජයක් තමන් බලයට පත්කළ පුරවැසියන්ට සැළකිය යුතු ආකාරය ගැන කදිම නිදසුනකි. සරසවි ආචාර්යවරුන් තම ඉල්ලීම් වල පසුබිම ඉදිරිපත් කරමින් වත්මන් උසස් අධ්‍යාපන අර්බුදයේ ලක්ෂණ පැහැදිළි කරද්දී ජනාධිපතිලේකම් වරයා ඊට සවන් දුන් ආකාරය දේශපාලනඥයන්ට ආදර්ශයක් සපයයි. මෙහිදී සරසවි ආචාර්යවරුන් ජනාධිපතිලේකම් වරයාට අවධාරණය කොට සිටියේ තම ගැටලු සම්බන්ධයෙන් රජය විසින් පසුගිය වසර කිහිපය තුළ දැක්වූ ආකල්පය හේතුවෙන් රජය පිළිබඳ තම සාමාජිකයන්ගේ විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති හෙයින් එය යලි ගොඩනඟාගැනීමට රජයට ඉමහත් උත්සාහයක් ගැනීමට සිදුවනු ඇති බවයි. උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීමේදී රජයත් සරසවි ආචාර්ය ප්‍රජාවත් අතර සංජානනමය වශයෙන් පවත්නේ විශාල පරතරයකි. මෙම පරතරය යා කිරීමට නම් සරසවි ආචාර්යවරුන්ගේ එළඹුම පසමිතුරු ලෙස සළකනවා වෙනුවට එය වටහා ගැනීමට රජය උත්සාහ කල යුතු බව ඔවුන්ගේ යෝජනාවයි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය උග්‍ර ලෙස දේශපාලනීකරණයවීම වත්මන් උසස් අධ්‍යාපන අර්බුදයට ප්‍රධාන හේතුවක් වශයෙන් දකින විශ්ව විද්‍යාල ආචාර්යවරු එය නැවැත්වීමට වහා පියවර ගත යුතු බව අවධාරණය කර සිටියහ. ඔවුන් තව දුර කියා සිටියේ තම පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම් වස් රජයට පක්ෂපාතීත්වය පෙන්වමින් රජය නොමඟ යවන විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙකු සතුටු කරනවා වෙනුවට සමස්ත විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාවේ අතිමහත් බහුතරය නියෝජනය කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය සමඟ උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කිරීමට රජය ට අවස්ථාව තිබෙන බවයි. ආචාර්යවරුන්ගේ අදහස් වලට සාධනීය ප්‍රතිචාරයක් දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් සහ රජයේ නියෝජිතයන්ගෙන් සමන්විත වන කමිටුවක් ජනාධිපතිලේකම් වරයාගේ යෝජනාවෙන් පත් කොට තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකරගැනීමට බාධාවක් ලෙස දකින විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාවේ ඇතැම් පුද්ගලයන් මෙම උත්සාහය අසාර්ථක කිරීමට උත්සාහ ගනු ඇත. ජනාධිපතිලේකම් වරයා ක්‍රියාත්මක කරන මෙම වැඩ පිළිවෙල තුලින් තමනට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාවලියට පස්සා දොරින් රිංගා ගැනීමට ඔවුන් උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ. එම උත්සාහයන් සාර්ථක වී මෙම වැඩ පිළිවෙළ අවුල් වී යාමට රජය ඉඩ තැබුවහොත් එය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරණයවීම පිළිබඳ ආචාර්යවරුන්ගේ සම්මේලනය නැඟූ චෝදනාව යලිත් වරක් සනාථවීමක් වනු ඇත.

ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී සරසවි ආචාර්යවරුන් මතුකළ වැදගත් කරුණක් නම් රජයට උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති කමේ ගැටළුවයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ‘දැක්ම‘ හෝ ‘දූත මෙහෙය‘ වශයෙන් ප්‍රකාශ කොට ඇති අදහස් හෝ උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසමේ චක්‍ර ලේඛ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වශයෙන් භාර ගත නොහැකිය. උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් යනු දේශපාලනඳයන්ගේ හෝ නිලධාරීන්ගේ හෝ හිතලු අනුව හිටි අඩියේ ගන්නා ක්‍රියාමාර්ග වල එකතුවක් විය නොහැකිය. මෙබඳු අතිශය ජාතික වැදගත් කමක් ඇති ප්‍රතිපත්තියක් සකස් කිරීම ජාතික මට්ටමේ දීර්ඝ මහජන සාකච්ඡාවක ප්‍රථිපලයක් වශයෙන් සිදුවිය යුත්තකි. ඒ සඳහා රජය විසින් සරසවි ආචාර්ය ප්‍රජාව සහ සිසුන්ගේත් වෙනත් විද්වතුන්ගේත් රටේ මහජනයාගේත් උනන්දුවක් දක්වන අන් සියලු සමාජීය කණ්ඩායම් වලත් අදහස් ගැඹුරින් විමසිය යුතුය. එසේ කිරීමෙන් සකස් කරගන්නා ප්‍රතිපත්තියක් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගත යුතුය. මේ සඳහා ආරම්භයක් වශයෙන් රජයට මහජන සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපනය පිළිබඳ ‘හරිත පත්‍රිකාව‘ක් ඉදිරිපත් කළ හැකිය. නිශ්චිත ප්‍රතිපත්ති විසඳුමක් සැපයීම අරමුණු කොට ගත් ‘ධවල පත්‍රිකාව‘ක් පළමුව මහජන අදහස් නොවිමසා ඉදිරිපත් කොට ඊට විරෝධය පළවුවහොත් ඉල්ලා අස්කරගන්නවාට වඩා මහජන අදහස් විමසීම අරමුණ කරගත් ‘හරිත පත්‍රිකාව‘ක් පළමුව ඉදිරිපත් කිරීම සාධනීය වෙයි.

මෙරට පශ්චාත් නිර්බාධීකරණ යුගයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ද රජය අනුගමනය කර ඇත්තේ නිර්බාධීකරණ ප්‍රතිපත්තියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැණවුනු ‘ව්‍යුහාත්මක සැකැසුම් වැඩ පිළිවෙළ‘ එනම් මූලිකව ආර්ථිකයේ සියලු අංශ වෙළෙඳ පොළ තර්කනයට යට කිරීමේ නව ලිබරල්වාදී එළඹුම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන්නේ ලෝක බැංකුව ඒ සම්බන්ධයෙන් සම්පාදනය කෙරෙන ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපාදන මත ය. ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග සමයේ සිට මෙරට රජයයන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් සිට ඇත්තේ ලෝක බැංකුව සම්පාදනය කළ ප්‍රතිපත්ති ය. ලෝක බැංකුවසම්පාදනය කළ නිසාම ඒවා අයෝග්‍ය යැයි මා මෙහිදී කිසිසේත්ම යෝජනා කරනවා නොවේ. ගැටලුව වන්නේ මෙම ප්‍රතිපත්ති කොතෙක් දුරට අපගේ ජාතික අවශ්‍යතාවන්ට ගැළපෙන්නේ ද යන්න පිළිබඳ ගැඹුරු මහජන සාකච්ඡාවක් අප සමාජයේ ඇති කිරීමට සාර්ථක සංවිධිත පියවර ගැනීමට අප කොතෙක් දුරට සමත් වී ඇත්ද යන්නයි. වරින් වර විවිධ ජාතික අධ්‍යාපන කොමිසම් පිහිටුවා තිබෙන නමුත් ඒවා අධ්‍යාපනය පිළිබඳ ගැඹුරු මහජන සාකච්ඡාවක් ඇති කරන්නට සමත් වීද යන්න විමසුමට ලක් විය යුතුය. මේ සඳහා වඩා යෝග්‍ය එක් ක්‍රමයක් වන්නේ සාමාන්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වත්මන් රජය යටතේ පත්කොට ඇති පාර්ලිමේන්තු කමිටු සභාවයි. අනෙක් ක්‍රමය වචනයෙන් පමණත් නොව සැබෑ ලෙසම ස්වාධීන විද්වත් කොමිසම් සභාවක් පත්කිරීම යි. මගේ යෝජනාව උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටු සභාවක් හෝ ස්වාධීන විද්වත් කොමිසමක් පත් කිරීම තව දුරටත් පමා නොකළ යුතු බවයි. සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එබඳු ක්‍රියාමාර්ගයක ප්‍රමුඛව නියෝජනය විය යුතුය. එබඳු උත්සාහයක අරමුණ විය යුත්තේ වත්මන් උසස් අධ්‍යාපන අර්බුදය හඳුනා ගැනීම, ඊට හේතු විශ්ලේෂණය කිරීම සහ ඒ මත පිහිටා උසස් අධ්‍යාපන අර්බුදයට ස්වදේශීය විසඳුමක් සම්පාදනය කිරීම යි.

එලෙස ස්වදේශීය විසඳුමක් ගොඩ නඟා ගැනීමට ඇති ප්‍රධාන බාධාව වන්නේ ලෝකය වෙනස් වීම අපට බලපාන ආකාරය පිළිබඳ අප තුළ ඇති ආකල්පය යැයි සිතමි. ගෝලීයකරණය යටතේ මුලු ලොවම දැනුම් ආර්ථිකයක් බවට පත් වී ඇති බවත් අපත් එයට හැඩ ගැසිය යුතු බවත් ජගත් දැනුම් ආර්ථිකයේ රැකියා සඳහා අපගේ උපාධිධාරීන් පුහුණු කළ යුතු බවත් බොහෝ දෙන නිතර කියනු අපට අසන්නට ලැබේ. අප අවධානය යොමු නොකරන කරුණ වන්නේ මෙය ලොව සිදුවන වෙනස්කම් පිළිබඳ සත්‍යය නොව එක් දෘශ්ටියක් පමණක් බවයි. ගෝලීයකරණය යටතේ දැනුම් ආර්ථිකය පිළිබඳ හෝ ‘ව්‍යුහාත්මක සැකැසුම් වැඩ පිළිවෙළ‘ යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකෙරෙමින් පවතින වෙනස්කම් පිළිබඳ සත්‍යය වටහා ගැනීම මෙම වෙනස් වීම් අනිවාර්ය ලෙස සළකා ඒවාට අනුගතවීමෙන් ඇති කර ගත නොහැකිය. ඒ සඳහා අප මෙම සිදුවීම් පිළිබඳ ජාත්‍යන්තරව පවතින පුලුල් සහ ගැඹුරු විවාදයන් හැදෑරීමට යොමු විය යුතුය. දේශපාලනඥයන්ට කෙසේ වෙතත් තමන් ශාස්ත්‍රවන්තයන් ලෙස සළකන අයට මෙම වගකීමෙන් නිදහස් විය නොහැකිය. අපක්ෂපාතී ශාස්ත්‍රීය පර්යේෂණය ඔවුන්ගේ කාර්යය විය යුතු හෙයිනි. ශාස්ත්‍රීය ගවේෂණය සදහා ඇවැසි විවේකය තමනට නොතිබුණද ප්‍රතිපත්ති සම්පාදනයේදී මැදිහත් සහ විමසුම් සිතින විචාරශීලී ශාස්ත්‍රවන්තයන් ගේ උපදෙස් පැතීම නිලධාරී තන්ත්‍රයේ වගකීම යි. අද උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අප රජයෙන් අපේක්ෂා කරන්නේ ලෝක ප්‍රවණතා අන්ධානුකරණයෙන් වැළදගැනීම නොව මහින්ද චින්තනයේ පොරොන්දුවට ගැළපෙන පරිද්දෙන් ලොව සිදුවන වෙනස්කම් හමුවේ උසස් අධ්‍යාපන අර්බුදයට ස්වදේශීය විසඳුමක් සම්පාදනය කිරීමට ‍යොමුවීමයි. මේ සඳහා ආරම්භයක් ගැනීමට චිකාගෝ විශ්ව විද්‍යාලයේ ලෝ පතළ කීර්තියක් ඇති මහාචාරිණී මාර්තා නුස්බෝම් ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන අර්බුදය පිළිබඳ රචනා කළ Not for Profit නමැති කෘතිය අපට කියැවිය හැකි යැයි මම යෝජනා කරමි. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය

l කුමුදු කුසුම් කුමාර

ජනතා විමුක්ති පෙරමුණෙ (ජවිපෙ) න් කැඩී ‘ජන අරගල කණ්ඩායම‘ ලෙස මෙතෙක් කටයුතු කළ පිරිස පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් මෙම සතියේ මහජන දේශපාලනයට පිවිසීම පිළිබඳ මෙරට වාමාංශික ජනයාගේ සුභාශිංසන හිමිවනු නිසැකය. සමාජයට අලුත්, සාධනීය දේශපාලන හඬක් එකතුවීම හැම විටමත් යහපත් දෙයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවේ අප පසු කරමින් සිටින මෙම අවස්ථාව ට කළ හැකි දායකත්වය පිළිබඳ ලංකාවේ වාමාංශික ජනයා, විශේෂයෙන්ම තරුණ කොටස් බලාපොරොත්තු සහගතව සිටිති.

’71 ජීව ගුණය යළි පුබුදු කිරීම

පැරණි වාමාංශික පක්ෂ ගිය පාරේම යමින් ජවිපෙ ත් තවත් එක් සම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්‍ෂයක් බවට විපරිණාමය වී ඇති අවස්ථාවෙක ’71 ජීව ගුණය යළි මෙරට තරුණ පරපුර තුළ අවදිකරන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමත් වුවහොත් එය ලාංකේය දේශපාලනයට නව ජීවයක් සපයනු හැකිය. ’71 ජීව ගුණය යැයි මා කියන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනීම ඉලක්ක කොට ගත් ආයුධ සන්නද්ධ අරගලය නොවේ. ’71 ජීව ගුණය ලෙස මා දකින්නේ 1971 දී ජවිපෙ වටා එක් වූ තරුණ තරුණියන් තුළ දකින්නට ලැබුණු, සමාජයේ පොදු යහපත වෙනුවෙන් දේශපාලනයට කැපවී, ඒ මගින් තමන්ට සක්‍රීය පුරවැසි චරිතයක් ගොඩ නඟා ගන්නට තිබූ ඉමහත් උනන්දුවයි. විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යාපනය ද, රැකියා වල නියුතු වූවන් රැකියා ද, මැද පංතික තරුණ පිරිස් තම සුරක්ෂිත කුටුම්භයන් ද හැර පියා දේශපාලන සංඝයක සාමාජිකයන්ව බහුජන සුවය සහ යහපත පතා දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නඟමින්, ගම් නියම් ගම් සැරිසැරීම ට ජවිපෙ වටා රොද බැඳීම සංකේතවත් කළේ ’71 ජීව ගුණයයි. එය රාජ්‍ය බලය අල්ලා ගැනීමේ සන්නද්ධ අරගලයට යොමු කිරීමෙන් ජවිපෙ නිර්මාතෘ සහ නායක රෝහණ විජේවීර කළේ මහත් විනාශයකි. රාජ්‍ය මර්ධනය තමන් විනාශ කරනු ඇතැයි යනුවෙන් මුල සිටම විජේවීර තුළ තිබූ ස්වාභිමතාර්ථසාධනමය අනාවැකියක ප්‍රථිඵලයක් ලෙස ජවිපෙ ට සම්බන්ධ යැයි කියැවුණු විශාල තරුණ පිරිසක් දෙවරක්ම විනාශයට පත් කැරුණි.

ලෙනින්වාදී පක්ෂයක්?

රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ව්‍යාපෘතියෙන් සහ න්‍යායයෙන් සන්නද්ධ හෙයින් තමන් ජනතාවට ඉදිරියෙන් සිටින, සමාජ විපර්යාසයේ පෙරටුගාමී බලඇණිය වන්නේය යන ලෙනින්වාදී මධ්‍යගත පක්ෂය පිළිබඳ සම්ප්‍රදායික මාක්ස්වාදී දේශපාලන දෘෂ්ටිවාදයෙන් ද මිදී ජනතාවගේ හෘදය සාක්ෂ්‍යය ලෙසින් ක්‍රියාකරන්නට නව පක්ෂයට හැකි වුවහොත් එය ලාංකේය සමාජයට යහපතක් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ පක්ෂයේ නායකයන් සහ සාමාජිකයන් සියල්ල රහසිගත වැඩ ශෛලියෙන් මිදී මහජන තලයේ ප්‍රසිද්ධියේ පෙනී සිට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරත වීමයි. සමාජය පිළිබඳ වෛරයෙන් හෝ ඉහළට නැඟ ගැනීමේ සහ ස්වාර්ථ සාධනයේ බූර්ෂුවා අපේක්ෂාවෙන් මිදුණු ‘ 71 ජීව ගුණය යළි මෙරට තරුණ පරපුර තුළ අවධි කිරීම තුළින් මෙරට සමාජයට යහපතක් කිරීමට අවස්ථාව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ට ලැබී තිබේ.

ලාංකේය සමාජය ජය ගන්නට වැර දරමින් සිටින මෙම අවස්ථාව මූලිකවම අපගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් රැකගෙන තහවුරු කර ගැනීමේ අවස්ථාවකි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීම සඳහා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ක්‍රියාත්මක කළ ව්‍යාපාරය හේතුවෙන් සහ පසුගිය වසර තිහක් තිස්සේ ප්‍රධාන කොටම යුද්ධය හේතුවෙන් උතුරු-නැගෙනහිර ජනතාව ප්‍රමුඛ ලාංකේය ජනතාවට අහිමි වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යළි ස්ථාපිත කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය දී ඇති පොරොන්දුව ඉටු කරවා ගැනීම‍ට ජනතා උද්යෝගය වැඩි වැඩියෙන් අවදි වනු පෙනෙයි. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මූලික වැඩ කොටසක් ඉටුකළ හැකිය.

මෙම ලිපියේ අරමුණ අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් රැක ගැනීමේ කටයුත්තට කැප වීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තම සංවිධානය අභ්‍යන්තරයේ කර ගත යුතු නිවැරදි කිරීමක් කෙරෙහි අවධානය යොමු කිරීම යි. මෙම නිවැරදි කිරීම කළ යුතු වන්නේ සරසවි නවක වධය පිළිබඳ ය. එයට අදාළ මගේ අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රවිශ්ඨයක් වශයෙන් නවක වධය පිළිබඳ කතා බහට සම්බන්ධ මා තරමක මෑත දී අත්දුටු සිදුවීම් තුනක් පළමුව සඳහන් කරනු කැමැත්තෙමි.

සරසවි නවක වධය: සිදුවීම් තුනක්

පළමුවැන්න, සරසවි නවක වධය පිළිබඳ විශ්ව විද්‍යාලයක පැවැති රැස්වීමක දී හෙළිදරවු කැරුණු කරුණක් පිළිබඳ ය. ඉන් කියැවුණේ වෙනත් කරුණු අතර, නවක ශිෂ්‍යයන් මත තම නායකත්වය පවත්වා ගෙන යාමට ඇති අවශ්‍යතාව සහ තමන් නවක වධය ක්‍රියාත්මක නොකළහොත් වෙනත් විශ්ව විද්‍යාල වල සිසුන් තමන් ‘අලයන්‘ යැයි තමනට චෝදනා එල්ල කරණු ඇති හෙයින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් නවක වධය පවත්වා ගෙන යන බව ඔවුන් කියා සිටින බවයි. (තමන් නවක වධයේ යෙදෙන්නේය යන්න පිළිගැනීම දැන් ප්‍රතික්ෂේප කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් මෙම කටයුත්තට දෙන කෝමල වදන ‘පරිවාස කාලය‘ යන්නයි. ) අලයන් යනු සම්ප්‍රදායිකව ඊනියා දක්ෂිණාංශික නැතහොත් බූර්ෂුවා දිශානතියක් ඇති ශිෂ්‍යයන් හැඳින්වීමට යෙදූ පදයයි. මෙම පදය උකහා ගන්නේ ‘ජෙප්පන්‘ එනම් ජවිපෙ ට සම්බන්ධ ශිෂ්‍යයන්ට ප්‍රතිපක්ෂ වය.

පළමුවැන්න ට ආසන්න පසු කාලයකදී සිදුවූ දෙවැනි සිදුවීම, කොළඹ සාමයික කේන්ද්‍ර යේදී ‘විරුද්ධ පක්ෂ මොකටද?‘ යන මැයෙන් පැවැත්වූ මහජන රැස්වීමකදී සිදුවූ අදහස් හුවමාරුවක් හා සම්බන්ධය. මා ද සහභාගී වූ එම රැස්වීමේ මගේ මැදිහත්වීමේදී, එහි සිටි තවත් ආරාධිත කථිකයෙකු වූ ජන අරගල කණ්ඩායමේ නායකයකු වන සහ ජවිපෙ ශිෂ්‍ය සංවිධානයක් ලෙස පොදුවේ පිළිගැනෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවෙකුව සිටි චමීර කොස්වත්ත ගෙන් මා ඉල්ලා සිටියේ ඔවුන් සැබෑ ලෙසම මානුෂීය සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් තමන් සරසවි නවක වධයට විරුද්ධ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන ලෙසයි. ඉන් පසුව සිදුවූ අදහස් හුවමාරුවේදී එහි සිටි තවත් ආරාධිත කථිකයෙකු වූ ශිරාල් ලක්තිලක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තම දේශපාලන ව්‍යාපාරයට කාඩර් වරුන් බඳවා ගැනීම සඳහා නවක වධය ක්‍රියාත්මක කරන හෙයින් නවක වධයට එරෙහි වීමට ඔවුනට නොහැකි යැයි චමීර කොස්වත්තට යෝජනා කළ විට ඊට චමීර ගේ පිළිතුර වූයේ එය භාරගන්නා බව ඇඟවෙන මඳ සිනහවකි.

දෙවැන්නට ආසන්නව පසු කළෙක සිදුවූ තෙවැනි සිදුවීම, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වත්මන් කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහජන සභාවකදී කළ පැවසීමක් හා සම්බන්ධ ය. උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කොළඹ වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ මූලස්ථානයේ දී පැවැත්වුණු මහජන සාකච්ඡාවේදී සභාවෙන් මතු කෙරුණු ප්‍රශ්නයකට ආරාධිත කථිකයකු ලෙස පිළිතුරු දෙමින් සංජීව බණ්ඩාර කියා සිටියේ තම සංවිධානය විශ්ව විද්‍යාලවල නවක වදය පැවැත්වීම අනුමත නොකරන බවත් අනාගතයේදී නවක වදය ලංකාවේ විශ්ව විද්‍යාලවල වලින් තුරන් කිරීමට කටයුතු කරන බවත් ය.

සංජීව බණ්ඩාරට සභාවෙන් මතු කෙරුණු ප්‍රශ්නය පහත සඳහන් ආකාරයේ එකකි: “වර්ථමානයේ උසස් අධ්‍යාපන ඇමති, රජය සහ ඇතැම් උපකුලපතිවරු විශ්ව විද්‍යාල සම්බන්ධව ප්‍රතිපත්ති අනුගමනය කිරීමේදී නවක වධය සම්බන්ධ ගැටලුව විශාල වාසියක් බවට පත්කරගෙන තිබෙනවා. උදාහරණයක් දැක්වුවොත් නායකත්ව පුහුණුව පවා උසස් අධ්‍යාපන ඇමති සමාජගත කරන්නේ නවක වධයෙන් සිසුන් ආරක්ෂා කිරීමේ ක්‍රමයක් ලෙසයි. මේ නිසා නවක වධය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ඔබේ ස්ථාවරය කුමක් ද?“

ඊට සංජීව බණ්ඩාරගේ පිළිතුර වූයේ මෙවැන්නකි: “අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ නවක වධය අතර කිසිදු සම්බන්ධයක් නැහැ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ වීමට ප්‍රථම නවක වධය ලංකාවේ විශ්ව විද්‍යාලවල ආරම්භ වෙලා තිබුණෙ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නවක වධය අනුමත කරන්නේ නැහැ. ඇතැම් සුළු සිද්ධීන් විශ්ව විද්‍යාලවල සිදුවෙනවා. එම සිදුවීම් නවක වධය කියා මාධ්‍ය මගින් විශාල සිදුවීම් ලෙස ප්‍රචාරය කරනවා. ඇත්තටම දැන් නවක වධය කියලා දෙයක් නැහැ. අපි පිළිගන්නවා යම් යම් සුළු සිදුවීම් තිබෙන බව. එම සිදුවීම් අවම කිරීමට අපි ශිෂ්‍ය සංවිධානයක් ලෙස කටයුතු කරමින් සිටිනවා.“

ඉහත සිදුවීම් තුන අතුරෙන් පළමු සිදුවීම වාර්තා වූයේ තම පීඨයෙන් නවක වධය නමැති අශෝභන භාවිතාව අහෝසි කොට ඇතැයි මීට වසර කිහිපයකට පෙර වන තුරුත් ආචාර්යවරුත් ශිෂ්‍යයනුත් සාඩම්බරයෙන් යුතුව එක සේ ප්‍රකාශ කොට සිටි විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨයකිනි. ඊට පෙර මෙම පීඨයේ නවක වධය බහුලව ක්‍රියාත්මක වූ විට සාමාන්‍යයෙන් එයට වගකීම පැවරුණේ ‘ජෙප්පන්‘ට නැතහොත් ජවිපෙට ය. නමුත් මෑත කාලයේදී විවිධ හේතු මත මෙම පීඨයෙන් ජවිපෙ දේශපාලනය අතුගා දමනු ලැබ ඇතැයි සළකණු ලැබිණි. ඉතින්, එවැනි තත්වයක් යටතේ, තම ශිෂ්‍ය නායකත්වය රඳවා ගැනීමට සහ වෙනත් විශ්ව විද්‍යාල වලින් එල්ල වන බලපෑම් හමුවේ නවක වධය ක්‍රියාත්මක කරන්නට මෙම පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පෙළඹෙන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක් ද?

නවක වධය තුරන් කිරීම

මේ වන විට දිවයිනේ දෙකක් හැරුණු කොට අන් සියළු විශ්ව විද්‍යාල වලින් නවක වධය තුරන් කොට ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කොට තිබේ. ඇමතිවරයා මේ කියන්නේ ඔහු සඳහන් කරන විශ්ව විද්‍යාලවල ජවිපෙ නායකත්වය ලත් ශිෂ්‍ය කණ්ඩායම් තව දුරටත් ක්‍රියාත්මක නොවන්නේය යන්න යැයි සිතමි. නමුත් ජවිපෙ බලපෑම් අහෝසි කළේ යැයි සැළැකෙන එම විශ්ව විද්‍යාල පීඨ වල යලිත් නවක වධය ක්‍රියාත්මක වන්නේ නම් ඉන් කියැවෙන්නේ පීඨයක දෘශ්‍යමාන ජවිපෙ බලපෑම් ඉවත් කිරීමෙන් ම එහි නවක වධය අහෝසි නොවන බව නොවේද? ජවිපෙ බලපෑම් තාවකාලිකව ඉවත් කරනු ලැබුවත් එය නැවත විශ්ව විද්‍යාල තුළ පැණ නැඟීම වළක්වා ලිය නොහැකි බව නොවේද?

දෙන ලද විශ්ව විද්‍යාල පීඨයක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ජාතික ශිෂ්‍ය ප්‍රජාවක සාමාජිකයෝ වෙති. තම පාසැල සහ ගම හරහා ඔවුහු මෙම ජාතික ප්‍රජාවේ කොටස් කරුවෝ වෙති, එසේ අයිතිවීමෙන් වැදගත් පොදු අනන්‍යතාවක් ලබති. ඔවුනට මෙම අවස්ථාව ලබා දෙමින් මෙම ප්‍රජාව යටින් දිවෙන හුය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යි. ඒ අනුව කිසියම් විශ්ව විද්‍යාලයක හෝ පීඨයක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් අලයන් යැයි යන චෝදනාව මත දේශපාලන තෙරපුමක් ගෙන ආ හැක්කේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයටයි. එම තෙරපුම සාර්ථක වන්නේ අලයන් යැයි චෝදනා ලබන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ප්‍රජාව අතර ශක්තිමත් පදනමක් නැති විටය. එසේ නොමැතිව ඔවුන් සැබෑ අලයන්ව ශිෂ්‍ය බහුතරයකගේ කැමැත්තෙන් ශිෂ්‍ය නායකයන්ව සිටින්නේ නම් ඔවුනට මෙම තෙරපුම ගැටළුවක් නොවනු ඇත.

ඉතින්, ඉහත පළමු සිදුවීම කියන්නේ ජවිපෙට, පසුව ජන අරගල කණ්ඩායමට සහ ඉදිරියට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට ඉමහත් බලපෑමක් කිරීමේ හැකියාව තිබෙන බවයි. නමුත් ඉහත දෙවන සිදුවීම ආශ්‍රිතව චමීර කොස්වත්ත ඉදිරි පෙළේ නායකයකු වන පෙරටුගාමී පක්ෂයට මා ඉදිරිපත් කිරීමට කැමැති ප්‍රශ්නය ‘පක්ෂයට කාඩර්වරුන් බඳවා ගැනීමේ ක්‍රමය වශයෙන් අතිශයින් ප්‍රජාතන්ත්‍රවිරෝධී වන සහ අමානුෂික ද වන නවක වධය තව දුරටත් යොදාගැනීමට කටයුතු කරන්නේද?‘ යන්නයි. එසේ වන්නේ නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට ඇති මහඟු අවස්ථාවක් මඟ හැරී යනු ඇත.

‘අලයන්‘ සහ ‘ජෙප්පන්‘ අතර ගැටුම

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් අතර පසුගිය කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවන් ලෙස ඊට නායකත්වය දුන් කිහිප දෙනෙකුම සිටිති. පසුගිය කාලයක් තිස්සේ විශ්ව විද්‍යාල වල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමට ප්‍රධාන හේතුව වශයෙන් පොදුවේ රටම ඇඟිල්ල දිගු කරණ සාධකය නම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යි. විශ්ව විද්‍යාල තුළ අතීතයේදී මෙන්ම මෑතකදීත් ‘අලයන්‘ සහ ‘ජෙප්පන්‘ අතර නිරතුරුව ප්‍රචණ්ඩ ගැටුම් ඇති වීය. මුලදී අලයන් යැයි සාමාන්‍යයෙන් හැඳින්වුණේ රාජ්‍ය බලය හිමි දේශපාලන තන්ත්‍රයට - සාමාන්‍යයෙන් ගත් කළ එක්කෝ එක්සත් ජාතික පක්ෂ නැතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකට - අයත් යැයි හඳුනාගත් ශිෂ්‍ය කණ්ඩායම් වලටය. රාජ්‍ය බලය අනුග්‍රහයෙන් ශිෂ්‍ය සංගම්වල බලය අලයන් විසින් තමන් අතට ගනු ලැබීම වැළැක්වීමට ‘ජෙප්පන්‘ විසින් ප්‍රචණ්ඩත්වය යොදා ගනු ලැබුණි. අවසානයේදී මෙම දිග් ගැස්සුණු සටනින් ඇතැම් විශ්ව විද්‍යාල වල ජෙප්පන් පරදා අලයන් ජය ගත් විට අලයන් එක් නිශ්චිත දේශපාලන මතවාදයකට අයත් නොවන මට්ටමට ලංකාවේ ජාතික දේශපාලනය වෙනස් වී තිබුණි. අලයන් කණ්ඩායමේ සිටි අය - එජාප, ශ්‍රීලනිප යනාදී - කුමන හෝ දේශපාලන පක්ෂයකට පක්ෂපාතී විය හැකි වූ අතර අලයන් ලෙස ඔවුන් එක්සත් කළේ තම ස්වාර්ථ සාධනයට ශිෂ්‍ය දේශපාලනය යොදා ගැනීමට ඔවුන් කටයුතු කිරීම සහ ජෙප්පන්ට ඔවුන් තුළ වූ පොදු විරෝධය යි. දෙන ලද අවස්ථාවේ බලයේ සිටින පාලනතන්ත්‍රයෙන් රැකියා සහ තනතුරු යනාදී පෞද්ගලික වාසි ලබා ගැනීම මෙම අලයන්ගේ ශිෂ්‍ය දේශපාලනයේ මූලික අරමුණ වීය. මෙම තත්වය මේ වනවිට ජාතික දේශපාලනයේද වර්ධනය වී තිබුණු දේශපාලන මතවාද පසෙක ලා පෞද්ගලික වාසි තකා දේශපාලකයන් බලයට පත්වන ආණ්ඩු අතර එහා මෙහා යාමේ පිලිබිඹුවක් වීය. මේ වන විට ස්වයං ඵල ප්‍රයෝජනයේ දේශපාලනය සමාජයේ හැම තැනෙකම ජය ගෙන ඇත.

මෙලෙස ජෙප්පන් මර්ධනය කෙරුනු විශ්ව විද්‍යාල පීඨ වල රජයට පක්ෂ ශිෂ්‍ය කණ්ඩායම් බිහි වී ඇති අතර ඔවුහු වාමාංශික දේශපාලනය කෙරෙහි උනන්දුවක් නොදක්වති. බලයේ සිටින දේශපාලනඥයන්ගේ ඇතුළු කව වලට පිවිසීමට සහ එමගින් රජයේ ගුරු පත්වීම හෝ සංවර්ධන සහකාර තනතුර වැනි රැකියා වලට ඉහලින් වඩා උසස් මට්ටමේ රජයේ රැකියා ලබා ගැනීමට තිබිය හැකි ඉඩ කඩට ආකර්ෂණය වී මෙම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණඩායම් තමන් සබැඳි දේශපාලනඥයන් සතුටු කොට තම අපේක්ෂාවන් ඉටු කරගැනීමේ අරමුණින් ශිෂ්‍ය ප්‍රජාව තමන්ගේ ග්‍රහණය යටතේ තබා ගැනීමට හැකි හැම වෙරම දරති.

මා දකින පරිදි ජන අරගල කණ්ඩායම යටතේ ඇති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තම ජාතික මට්ටමේ ජාලය හරහා පීඨ මට්ටමට පිවිස ඉහත කී රජයට පක්ෂ ශිෂ්‍ය කණ්ඩායම් නවක වධයේ නොයෙදෙන්නේ නම් අලයන් යැයි චෝදනා කරමින් බලපෑම් කරන්නේ ක්‍රමයෙන් මෙම පීඨවල දේශපාලන බලය යළි තමන් අතට ගැනීම සඳහා ය. මෑත කාලයේදී ඉහත සඳහන් කළ පරිදි ජවිපෙ බලපෑම ඉවත් කළේ යැයි සැළකුණු විශ්ව විද්‍යාල පීඨවලට යලිත් බලපෑම් කිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට මෙලෙස ගැම්මක් ලබා ගැනීමට හැකිවන හේතුව යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාල පණත යි. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ග්‍රාමීය හෝ නාගරික ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ඇති බියක් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට රජයේ නිල පිළි ගැනීම ලැබුණ හොත් සිංහල මාධ්‍යයෙන් උපාධිය සමත් වන ඉංග්‍රීසි නොහැකි තමන් රැකියා සඳහා වන තරඟයේදී පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුනට පරදිනු ඇති බවයි. ඔවුන් දකින්නේ මෙය තමන්ට වන බලවත් අසාධාරණයක් බවයි. මෙම සිසුන් මෙලෙස යළි තමන් වටා එක් කරගන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හැකි වීමට ඉඩ තිබේ. ඒ සඳහා වෙනත් කිසි ශිෂ්‍ය කණ්ඩායමකට පීඪ තුළ හිස එසවිය නොහැකි වනසේ නවක වධය මගින් සියලු විසම්මුතික අදහස් මර්ධනය කිරීම මෙහි ලා යොදා ගැණෙන උපාය යි. මා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අසන ප්‍රශ්නය නම් මෙලෙස ‘නවක වධය මගින් අනෙකාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහ විසම්මුතිය මර්ධනය කිරීමෙන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ තම බලය ගොඩ නංවා ගැනීම මෙරට සමාජය මානුෂීයකරණය සහ ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමේ ඔබේ ප්‍රකාශිත අරමුණත් සමග කොතෙක් දුරට පෑහේද?‘ යන්නයි. මගේ පිළිතුර නම් ‘කොහෙත්ම නැත‘ යන්නයි.

අභියෝගය ප්‍රජාතන්ත්‍රීකරණයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මොහොතේ කළ යුත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනය සහමුලින්ම ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම සඳහා කැපවීම මගින් ශිෂ්‍ය ප්‍රජාව තමන් වෙත දිනා ගැනීම යි. ඒ සඳහා ඔවුන් ගත යුතු මූලික පියවර තමන් කුමන ආකාරයක හෝ නවක වධයට සහමුලින්ම විරුද්ධ බව පක්ෂය විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීම යි.

මේ යෝජනාව පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැනටමත් සළකා බලමින් සිටින බව අප මුලදී සඳහන් කළ තුන්වැනි සිදුවීමෙන් පෙනෙයි. සංජීව බණ්ඩාර කළ “අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නවක වධය අනුමත කරන්නේ නැහැ“ යන්න සාධනීය ප්‍රකාශයකි. නමුත් ඒ සමඟ ඔහු කරන අනෙකුත් ප්‍රකාශ, ඔහුගේ මුල් ප්‍රකාශයේ අවංක භාවය පිළිබඳ සැක පහළ කරවන සුළුය. සරසවි නවක වධයට තමන්ගේ දායකත්වය දේශපාලන හේතු මත ප්‍රසිද්ධියේ පිළිගැනීම තමන්ට දේශපාලනිකව අවාසි වන්නට හැකි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිතන්නට ඉඩ තිබේ. නමුත් ඊට වඩා අවාසි වන්නේ ‘ඇත්තටම දැන් නවක වධය කියලා දෙයක් නැහැ‘ වැනි ප්‍රකාශ ය. නවක වධය පවතින තැනක එය නැතැයි කීම අලියා පොල්කට්ටෙන් වැසීමට ගන්නා උත්සාහයක් වැනිය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය නව දේශපාලන සම්ප්‍රදායකට මුල පුරණු ඇතැයි අපේක්ෂා කෙරෙන මෙම අවස්ථාවේ ජන මාධ්‍ය ඉලක්ක කරගත් ව්‍යාජ බූර්ෂුවා දේශපාලන භාවිතාවන්ගෙන් මිදී ඔවුන් සත්‍යවාදීව දේශපාලනය කථා කරනු ඇතැයි සහ අව්‍යාජව කටයුතු කරනු ඇතැයි අපේක්ෂාකිරීම හුදු සර්ව සුභවාදී ආකල්පයක් වැළඳ ගැනීමක් වනු ඇත්ද?

අභියෝගය ප්‍රජාතන්ත්‍රීකරණය යි

කඳවුරේ සිට ලියමි

කඳවුරේ පළමු දවස

මැණි‍කේ

අවුරුදු ගානක් පාඩම් කරලා ඒ ලෙවල් පාස් වෙලා ඔන්න අපිත් ආවා හමුදා කඳවුරු වලට නායකත්ව පුහුණුව ලබන්න.

මෙහේ තොරතුරු කාට හරි කියන්න ලැබෙන එකත් සැනසීමක්. ඉරිදා අම්මයි තාත්තයි කුලියට වෑන් එකකුත් අරගෙන මාව මෙහේ බස්සලා ගියේ හරිම දුකෙන්. කඳවුරට ආපු අනෙකුත් සියළුම ළමයි අම්මලා තාත්තලා බදාගෙන අඩපු විදිය මට හැම වෙලේම මැවිලා පේනවා.

මේ පුහුණුව ගැන කිසිම පෙර සූදානමක් තිබුණු බව පේන්න නෑ. ආපු දවසේ ඉදන් පෝලිම් විතරයි. අද දවසටම කළේ ජනාධිපති තුමාගේ කතාවක් අහපු එක.

ඒ විතරක් නෙමෙයි. වැසිකිළි වල ලයිට් නෑ. වතුර නෑ. මේ පුහුණුවට ස්ව කැමැත්තෙන් ආපු කිසිම කෙනෙක් හොයා ගන්න නෑ. මෙඩිකල් අරගෙන ආපු ළමයින්වත් මෙහෙදි පරීක්ෂා කරලා බලලා පුහුණුවට ගත්තා. ඒ ගොඩක් දෙනා ඇවිත් හිටියේ මෙඩිකල් එක පෙන්නලා ගෙවල් වලට යන්න. නමුත් හමුදාවේ වෛද්‍ය වරු එයාලට යන්න දු‍න්නේ නෑ. හැමෝම ඇවිත් තියෙන්නේ කැම්පස් යන්න බැරි වෙයි කියලා බයට. මමත් ආවේ ලියුමේ මේ පුහුණුව අනිවාර්යයි කියලා තිබුණු හින්දා.

හමුදාවේ නිලධාරීන්ටත් මේ පුහුණුව කරදරයක් වෙලා තියෙන බවයි පේන්නේ. එයාලා හැම තිස්සෙම කියන්නේ “ කවදා මේ ළමයි මෙහෙන් යයිද ? මේක මහ කරදරයක්”කියලා. සමහර වෙලාවට හමුදාවේ අය අපිට සැරෙන් කතා කරනවා. ළමයි හැමෝම ඉන්නේ අඬා ගත්තු ගමන්.

සමරහ විට මෙහේ සූදානම් කරලා තියෙන්න ඇත්තේ ඇත්තට මිලිටරි පුහුණුවක් වෙන්න ඇති කියලා අපිට හිතෙනවා. මොකද වෙන කිසිම වැඩසටහනකට පෙර සූදානමක් ‍පේන්න නැති නිසා. අද දවසම කළේ පෝලි‍ම් වල ඉන්න එක විතරයි. මේ පුහුණුව ගැන මානව අයිතිවාසිකම් නඩුවක් දාපු එක සහ එළියේ ඇති වෙලා තියෙන උද්ඝෝෂණ නිසා ඔවුන්ගේ මිලිටරි සැළැස්ම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න ඇති කියලා මට හිතෙනවා.

නිල ඇදුම් ඇද ගත්තු හමුදා නිලධාරීන් දිහා කට ඇරගෙන බලා ගෙන ඉන්න තමයි අපට තියෙන්නේ. මේ කඳවුරේ 1000 කට වැඩිය ළමයි ඉන්නවා. මෙහේ ඉන්න හමුදා නිධාරීන්ට මේ තරම් ළමයි ප්‍රමාණයක් පාලනය කරන්න බෑ. ඒ තරම් ප්‍රමාණයකට සෑහෙන්න වැසිකිළි පහසුකම්වත් නෑ. ඉතින් කෙහොමද නායකයින් පුහුණු කරන්නේ?

24 වෙනිදා නඩුව දිනුවොත් නම් හොදයි. අපිට ගෙදර යන්න පුළුවන්. ඔන්න ආයිත් කතා කරනවා. යන්න කලින්, මේක කියවන ඔයාලත් තමන්ට පුළුවන් විදියට නඩුව දිනන්න සහය වෙන්න කියලා මම ඉල්ලන්න කැමතියි.

කඳවුරේ විස්තර පුළුවන් විදියට ඔයාලට කියන්නම්.

Tell a Friend

මිලිටරි නායකත්ව පුහුණුවේ යථාර්ථය

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සාකච්ඡාවකි.
‍විශ්ව විද්‍යාලය කියන්නේ සමාජයේ ආයතන ගත වී ඇති සංසිද්ධියක්. ඒ වගේ මිලිටරිය කියන්නේත් සමාජයේ පවතින ආයතනයක්. නමුත් පැහැදිළිවම කිව යුතුයි‍ මේ ආයතන දෙක දෙකක් බව. එනම් මේවායේ ප්‍රතිමාන එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට මිලිටරි එක ඉහළින් එන නියෝග කිසිදු විමසා බැලීමකින් තොරව ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විදියට යුධ භුමියකදී වෙඩි තියන්න කිව්වොත් එය නැවත ප්‍රශ්න කරන්න බැහැ. එය මිලිටරිය තුළ ති‍යන ප්‍රධානම ප්‍රතිමානයක්. නමුත් විශ්ව විද්‍යාලයේ තියෙන්නේ මේකේ අනෙක් පැත්ත. එනම් විචාරත්මක බුද්ධියෙන් විමසා බැලීම.

 පබා දේශප්‍රිය

විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට නායකත්ව පුහුණුවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු බලන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව. මෙම තීරණය පිළිබද පොදු ජනතාව තුළ පැහැදිළි  සාකච්ඡාවක් තවමත් ගොඩ නැගී නැහැ.
1.උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුවක් ලබා දෙන්න. මේ පුහුණු ව සිදු වන්නේ හමුදා කඳවුරු තුළ. ඒ වාගේම එය මෙහෙයවන්නේ හමුදාව විසින්. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස ඔබ මේ නායකත්ව පුහුණුව දකින්නේ කුමන ආකාරයටද?

දැන් මේක සාමාන්‍ය සමාජයේ දෘෂ්ඨිකෝණයෙන් බැලුවොත් හොඳයි කියලා දකින්න පුළුවන්. මොකද පොදු අදහසක් තියෙනවා විශ්ව විද්‍යාල තුළ විනය පිරිහීම් ඒ වගේම විශ්ව විද්‍යාල වලින් පිට වන අයට රැකියා ප්‍රශ්ණ මේ වගේ ගැටළු අපේ රටේ පවතිවා. ඉතින් දක්ෂතා දියුණු කර ගැනීම සඳහා මෙය හොඳ අවස්ථාවක් ලෙස සමාජය දකින්න පුළුවන්. ඒ වගේ පසුගිය කාලය තුළ පෞරුෂත්ව වර්ධනය වගේ දේවල් වඩා ජනප්‍රිය තලයේ පැවතුණා. උදාහරණයක් විදියට පෞරුෂත්ව වර්ධනය කිරීමේ පාඨමාලා පවා ආරම්භ වුණා. මෙවැනි ක්‍රියා වලට සමා‍ජයෙන් ලැබෙන අනුමැතිය ඉතා ඉහළයි.

නමුත් මෙහිදි වැදගත් වෙන්නේ කවුද මේ නායකත්වය පුහුණු කරන්නේ කියන එක. ආයුධ පුහුණව නැතත් මෙය සිදු කරන්නේ හමුදාව විසින්. එතකොට මේ හරහා සිදු වන්නේ හමුදාව තුළ තියෙන නායකත්ව ලක්ෂණ පුහුණු කිරීම.

‍විශ්ව විද්‍යාලය කියන්නේ සමාජයේ ආයතන ගත වී ඇති සංසිද්ධියක්. ඒ වගේ මිලිටරිය කියන්නේත් සමාජයේ පවතින ආයතනයක්. නමුත් පැහැදිළිවම කිව යුතුයි‍ මේ ආයතන දෙක දෙකක් බව. එනම් මේවායේ ප්‍රතිමාන එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට මිලිටරි එක ඉහළින් එන නියෝග කිසිදු විමසා බැලීමකින් තොරව ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විදියට යුධ භුමියකදී වෙඩි තියන්න කිව්වොත් එය නැවත ප්‍රශ්න කරන්න බැහැ. එය මිලිටරිය තුළ ති‍යන ප්‍රධානම ප්‍රතිමානයක්. නමුත් විශ්ව විද්‍යාලයේ තියෙන්නේ මේකේ අනෙක් පැත්ත. එනම් විචාරත්මක බුද්ධියෙන් විමසා බැලීම. අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේ විදියට විචාරාත්මක බුද්ධියෙන් විමසා බලනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්. කෙසේ වුවත් විශ්ව විද්‍යාලයක් තුළ විය යුත්තේ තර්කඥානයෙන් විමසා බැලීම.

ඉතින් මේ දෙක පරස්පරව ගමන් කරන ආයතන. විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගැටළුවක් තමා විශ්ව විද්‍යාලයට එන අයට මේ ලක්ෂණ නොතිබීම. පාසල් ක්‍රමයේ බිද වැටීම සහ ටියුෂන් සංස්කෘතිය නිසා ඒ තර්ක ඥානය වර්ධනය කර ගැනීමට ඇති අවස්ථාවන් හීන වී ගොස් තියෙනවා. පසුගිය දවසක එස්.බී දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා විශ්ව විද්‍යාල වලට එන්නේ හොඳම ශිෂ්‍යයන් ඒ අයව විශ්ව විද්‍යාලය විසින් විනාශ කරනවා කියලා. ඒ 3ක් ගත්තා කියලා ‘හොඳම’ වෙනවද කියන එක අතුරු කාරණයක්

කෙසේ වුවත්, විශ්ව විද්‍යාල වලට සුදුසු පරිදි එන ශිෂ්‍යයන්ව සකස් කර ගැනීම ඒ කියන්නේ විවේචනාත්මක චින්තනය ගොඩ නැගීම අපට අවශ්‍ය දෙයක්. මේ පසුබිම තුළ ගත්තම පැහැදිළිම කියන්න පුළුවන් මිලිටරි පුහුණුවක් හරහා විශ්ව විද්‍යාල වලට අවශ්‍ය මානසික වර්ධනය ලබා ගන්න බැහැ කියන එක.

පරමාදර්ශී විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රතිමාන පිළිගන්නවානම් මෙවැනි නායකත්ව වැඩසටහන් අනුමත කරන්න බැහැ. විශේෂයෙන්ම මම ඉන්නේ විශ්ව විද්‍යාල පිළිබඳ සාම්ප්‍රදායික මතයේ. ඒ කියන්නේ යුරෝපයේ සම්භාව්‍ය විශ්වවිද්‍යාල තුළ පවතින ප්‍රතිමාන තමයි මම විශ්ව විද්‍යාලයක පැවතිය යුතුයැයි දකින්නේ. ඒ අනුව ගත්තම මිලිටරි නායකත්ව පුහුණුවක් විශ්ව විද්‍යාල වලට ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම රටේ තියෙන සංයුක්ත තත්ත්වය ගත්තහම මෙය වඩා භයානකයි.

මේ පුහුණුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පුහුණු කිරීමක් නම්, දැනට විශ්ව විද්‍යාල තුළ තියෙන තත්ත්වයට ඉන් කිසිදු උපකාරයක් ලැබෙන්නේ නැහැ.

2. අපේ රට මේ ගත කරමින් ඉන්නේ පශ්චාත් යුධ අවධියක්. මේ සන්ධර්භය තුළ මෙම නායකත්ව පුහුණුව ඔබ දකින්නේ කොයි ආකාරයටද?

යුද්ධය පැවති කාලයේ විශේෂයෙන්ම යුද්ධයේ අවසාන වසර කිහිපය තුළ සමාජය මිලිටරිකරණය වුණා. ඒ වගේම යුද්ධයෙන් පසු මෙකී මිලිටරිකරණයේ ස්වභාවය වෙනස් වුණා. යුද්ධය සඳහා යොදා ගත් මානව සහ භෞතික සම්පත් රාශියක් තියෙනවා. ඒ වගේම මිලිටරි ප්‍රභු පැළැන්තියක් සහ මිලිටරි ප්‍රභූන්ව මෙහෙයවන දේශපාලන ප්‍රභූ පැළැන්තියක් තියෙනවා. මේ අයගේ අභිලාශ යුද්ධ කාලය තුළ විශාල වශයෙන් වර්ධනය වුණා. සතුරු පාර්ශවය විනාශ වුණාට මිලිටරි පදනම ඒ විධියටම තියෙනවා. ඔවුන්ගේ අභිලාෂත් එසේමයි.

අපිට පූර්වාදර්ශීව බලාපොරොත්තු වෙන්න පුළුවන් මේවා විසුරුවා හැරීම. මේ මිලිටරි පිරිස් වලට සාමාන්‍ය තත්ත්වය යටතේ ජීවත් වීමට පුහුණුවක් ලබා දීම. ඇත්තටම මිලිටරි එකෙන් විශ්ව විද්‍යාල පුහුණ කිරීම නෙමේ, විශ්ව විද්‍යාල වගේ ආයතන සම්බන්ධ වෙලා උපදේශනය ව‍ගේ දේවල් කරලා මිලිටරි ප්‍රජාවට සාමාන්‍ය සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මානසික මට්ටම ලබා දීමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා ප්‍රබුද්ධ ප්‍රභු තන්ත්‍රයක් අවශ්‍යයි. උදාරහණයක් විදියට ජර්මනියේ ෆැසිස්ට් පාල‍නයෙන් පසු පාලක ප්‍රභූන් විශාල වශයෙන් වැඩ කළා මිලිටරි සංස්කෘතියේ බලපෑම අවම කිරීමට.

අද අපේ රටේ කරන්නේ සතුරා මැරීමෙන් ශක්තිමත් වූ මිලිටරි එක තවමත් ඔවුන්ගේ අභිලාෂ ඉටු කර ගැනීමට යොදා ගන්නවා. උදාහරණයක් විදියට දැන් මිලිටිරි එක කරන්නේ නගර අලංකරණය වැනි මිලිටරිමය නොවන කාරණා. එවගේම කුණු දැමීම පිළිබඳ එන දැන්වීම් පළ කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන්. මධ්‍යම පරිසර අධිකාරයෙන් හෝ කසල සම්බන්ධ වෙනත් ආයතනයකින් නොවේ. පසුගිය කාලේ විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර පිරිසිදු කිරීම් වලට පවා මිලිටරි එක ආවා. ඒ වගේම මේ දවස් වල වෙසක් උත්සවයට මිලිටරි එක උනන්දුවෙන් වැඩ කරනවා. ඔවුන් මැදිහත් වී විශාල වශයෙන් ආගමික කටයුතු මෙහෙයවනවා. මේ මිලිටරි එකට යුධ භූමිය නැති වුණ නිසා ඊට ආදේශකයක් වශයෙන් සමස්ත ජන සමාජයම යොදා ගන්නවා. ඊට සමාජයෙන් අනුමැතියද තියෙනවා. මේ තත්තවයේ යථාර්ථය තමයි කුණු දැමීම තහනම් කියලා බෝඩ් සවි කළාට මිනිස්සු කුණු දැමීම නවත්වන්නේ නැහැ. නමුත් හමුදාවෙන් ඇවිත් කුනු දාන්න එපා කි‍ව්වොත් ඉන් පසු කවුරුත් කුණු දාන්නේ නැහැ. එයින් පෙනෙවා මේ මිලිටරි මැදිහත් වීම ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙන බව.

තවත් උදාහරණයක් තමයි, 1987/88 කාලයේ ජ.වි.පෙ ගම් වල සිටි චණ්ඩි යැයි හදුනා ගත් පිරිස් ඝාතනය කළා. මේ පුද්ගලයන් ගම් වල සොරකම්, මැරකම් ආදියට සම්බන්ධ නිසා ජනතාව අනුමත කළ මෙවැනි ඝාතන. සමාජය බලන්නේ කෙටි කාලීන ප්‍රතිඵල දෙස මිස දීර්ඝ කාලීන ප්‍රතිඵල දෙස නොවේ. මේ තත්ත්වට මිලිටරි එකට හිතකරයි. ප්‍රචණ්ඩත්වය සඳහා තියෙන ඒකාධිකාරය නිසා සමාජයෙන් අනුමැතිය ලැබෙනවා මිලිටරිමය අතපෙවීම් වලට. ඒ නිසා අද මිලිටරි එක සියළුම ආයතන වලට කඩා පනිනවා කිසිදු පැකිළීමකින් තොරව.

විශ්ව විද්‍යාල වල ප්‍රශ්න තියෙනවා විනය පිරිහීම් වැනි. මිලිටරි එකත් වැඩ රහිතව ඉන්නේ. ඒ වගේ මිලිටරි එකට සල්ලිත් තියෙනවා. මොකද යුද්ධය අවසන් වුණා කියලා මිලිටරි බජට් එක අඩු වෙලා නැහැ. හමුදාවට තවමත් බදවාගැනීම් කරනවා. ඉතින් මිලිටරි එක පවත්වා ගැනීම සඳහා සමා‍ජයේ සෙසු ආයතන වලට මැදිහත් වීම් කරන්න වෙනවා.

3. නව දැනුම බිහි කිරීම සදහා විශ්ව විද්‍යාල ස්වාධීනව පවත්වාගෙන යාම ඉතාමක් වැදගත්. එය එසේ පවත්වාගෙන යාමට මේ නායකත්ව පුහුණුව හරහා යම් කිසි බලපෑමක් ඇති වේ යැයි ඔබ සිතනවාද?

විශ්ව විද්‍යාල කියන්නේ පවතින හෙජමොනියේ අවසාන පෙරමුණ. මෑතකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ගාමිණී සමරණායක ප්‍රකාශ කරලා තිබුණු අපේ රටේ විශ්ව විද්‍යාල මුදා නොගත් ප්‍රදේශ වගේ කියලා. එහි ඇත්තක් තියෙනවා. මම නම් උත්සාහ කරන්නේ එය පවත්වාගෙන යන්න. ඒ වගේම දේශපාන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් එවැනි ප්‍රකාශයක් කිරීමත් එක්තරා දුරකට වෙනම ගැටළුවක්.

විශ්ව විද්‍යාලයේ ස්වාධීනතාවය පවත්වාගැනීම අවශ්‍යයි දැනුම නිර්මාණය කිරීමට. ඒ තුළ දේශපාලනික විසම්මුතිය තියෙනවා. රටේ තියෙන දේශපාලන ආධිපත්‍යයට වඩා වෙනස් තත්ත්වයක් විශ්ව විද්‍යාල තුළ පැවතිය යුතුයි. නමුත් දේශපාලන ප්‍රභු පැළැන්තිය මෙය දකින්නේ ඔවුන්ට එල්ල වන අභියෝගයක් විදියට.

පසුගිය කාලේ ක්‍රියාකාරී ලෙස උත්සහ ගත්තා විශ්ව විද්‍යාල තුලට දේ රටේ මුඛ්‍යධාරාවේ දේශපාලන ආධිපත්‍ය විශ්ව විද්‍යාල තුළට ඇතුළු කිරීමට. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ශිෂ්‍යයන් හූ කියද්දිත් විශ්ව විද්‍යාල වලට ගියේ ඒ නිසයි. ඒ වගේම අද වන විට විශ්ව විද්‍යාල උප කුලපතිවරුන්/ වරියන් ක්‍රියා කරන්නේ පාලක පක්ෂයේ දේශපාලන සංවිධායකවරු විදියටයි. ඒ තරම්ම එය උපකුළපති තනතුර දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඔවුන්ට ඇකඩමික් ෆීඩම් කියන එක ගැන කිසිම අදහසක් නැහැ.

අපිට දේ දිස් වන විශ්ව විද්‍යාල සමාන්‍ය සමාජය යටතට ගැනීමේ උත්සහය තුළ ඉතාමත් තීරණාත්මක පියවර වන්නේ ඉහත සදහන් කළ ‘අවසන් පෙරමුණ’ විනාශ කිරීමයි. ‍මොකද ලංකාවේ දකුණේ සිදු වුණ කැරලි දේකටම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විශාල වශයෙන් දායක වුණා. විශ්ව විද්‍යාල තුළ රැඩිකල් එසේ නැතිනම් ක්‍රම විරෝධී අදහස් වලට තෝතැන්නක්. මේ තත්ත්වය වෙනස් කිරීමේ තීරණාත්මක පියවරක් විදියට තමයි මේ නායකත්ව පුහුණුව අර්ථ ගන්වන්න පුළුවන් වෙන්නේ.

4.මේ නායකත්ව පුහුණුව හරහා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ආකල්ප වලට කුමන ආකාරයේ බලපෑමක් ඇකි විය හැකිද?

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ප්‍රතිමාන සකස් වෙන්නේ මූලාශ්‍ර දෙකක් හරහා. එකක් තමයි පාසල. සාහිත්‍ය විචාරය වගේ දේවල හරහා විචාර බුද්ධිය වර්ධනය කරන්න පාසල යම් දායකත්වයක් ලබා දුන්නා. ඉතාමත් හොඳ ගුරුවරු සිටියා උසස් සිතීමේ ශක්තියක් ශිෂ්‍යයින්ට ලබා දෙන. ඒ තුළ පෙළඹවීමක් ඇති කළ නැවත ප්‍රශ්ණ කිරීම් වලට. දෙවැනි එක තමයි රැඩිකල් දේශපාලනයත් විශ්ව විද්‍යාල වල විවේචනාත්මක චින්තනය සකස් කිරීම සඳහා ඉතාමත් වැදගත් පෙළඹවීමක් ඇති කළා මේ හරහා.

නමුත් පසු ගිය කාලය තුළ එය වෙනස් ‍වුණා. ඉහත කී ගුරු භූමිකාව අද නැහැ. අද ඉන්නේ ටියුෂන් ගුරුවරු. ටියුෂන් ගුරුවරයා වෙනම වෙළද පොළ චරිතයක් මිස තර්කඥානය සඳහා සහය වන්නෙක් නෙවෙයි. ඒ වගේම රැඩිකල් වෙනුවට ආදේශ වුණා ජාතිවාදී චින්තනය. ඒ තුළ විවේචනාත්මක විමසා බැලීම නැහැ. ඒ තුළ තියෙන්නේ විශ්වාස කිරීම, අනුගමනය කිරීම වැනි විචාරයට පරස්පර එවගේම පූර්ව විචාරාත්ම අදහස්. ඒ කියන්නේ ආගම වගේ දේවල් මත පදනම් වුණු අදහස්. ඒ හරහා ජාතිවාදී දේශපාලනය බලවත් වුණා. තරුණ පිරිස් විශාල වශයෙන් මින් ආභාෂය ලැබුවා. උදාහරණයක් විදියට ජාතික ඇදුම ඇදගෙන මල් අරගෙන සැදැහි සිතින් වගේ පෙන්වමින් පන්සල් යන්න තරුණ පිරිස් පුරුදු වුණා. ඒ හරහා තමයි රැඩිකල්භාවය නැතුව යන්නේ. ඒ සඳහා මේ නායකත්ව පුහුණුව ගැල‍පෙනවා.

පහුගිය කාලේ දහම් පාසලයි - ටියුෂන් පන්තියක් කියන සංකල්පය ඇති වුණා. ටියුෂන් පන්තියේ සිල් ගන්න සංස්කෘතියක් ඇති වුණා. එයට අඩු වෙලා තිබුණේ හමුදාව. දැන් එය හරි. යුධ හමුදා කඳවුරයි - පන්සලයි.

Tell a Friend

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට හමුදා පුහුණුව- අන්තරේ විරෝධය

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග කළ සාකච්ඡාවකි.

ආණ්ඩුව උත්සාහ කරනවා විශ්ව විද්‍යාල සංස්කෘතියට බලපෑම් කරන්න. නමුත් අපි කියලවා විශ්ව විද්‍යාල සංස්කෘතියට බලපෑම් කරන්න ආණ්ඩුවට බැහැ කියලා. නමුත් වෙන්න පුළුවන් දෙය තමයි මේ හමුදා කඳවුරු ඇතුළේදී ශිෂ්‍යයන්ගේ ජීවිත වලට බලපෑම් එල්ල වීම. හමුදා ආධිපත්‍ය යොදාගෙන ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ දරයි. ඒ හරහා ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න උත්සහ දරයි. ඒ වගේම ගැටුම් ඇති කරලා විශ්ව විද්‍යාල ක්‍රියාකාරිත්වය අවුල් කරන්න වැඩපිළිවෙල සකස් කරයි. පවත්නා සාමූහිකත්වය බිදින්න උත්සහ දරයි. නමුත් විශ්ව විද්‍යාල තුළ තියෙන පොදු සංස්කෘතිය බිදින්න ඔවුන්ට බැහැ.
පබා දේශප්‍රිය

1.විශ්ව විද්‍යාල නවක ශිෂ්‍යවන්ට ලබා දීමට තීරණ කර තිබෙන නායකත්ව පුහුණව පිළිබද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දරන්නේ කුමන අදහසක්ද?

මේ තීරණයට අප මුළුමනින්ම විරුද්ධයි. මෙය මිලිටරි බලහත්කාරය යොදවා විශ්ව විද්‍යාල සිසුන් හමුදා කඳවුරු වලට ගාල් කර දේශපාලන ගැති භාවය ඇති කිරීමේ වැඩ පිළිවෙළක්.

මේ හරහා ශිෂ්‍ය ජීවිත වලට‍ විශාල හානියක් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. මොකද හමුදා කඳවුරු වල නායකත්ව පුහුණුව ලබා දෙන්න බැහැ. ලෝකයේ කොහෙවත් හමුදා කඳවුරු තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුව ලබා දෙන්නේ නැහැ. මෙය කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් කර ගෙන එක ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමේ ප්‍රයත්නයේ තවත් පියවරක් විදියට තමයි අපි මෙය දකින්නේ. මේ නායකත්ව පුහුණුව සාර්ථක වෙන්නේ නැහැ කියලා අපි දන්නවා නමුත් සංකල්පයක් විදියට අපි මෙයට විරුද්ධ වෙන්නේ මෙය ආණ්ඩුව විසින් දියත් තරන මර්දනයේම කොටසක් නිසා.

2. ඔබ විශ්වාස කරනවද විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුවක් අවශ්‍යයි කියලා?

අපට තියෙන ගැටළුව තමයි විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුවක් අවශ්‍ය ද සහ එසේ අවශ්‍ය නම් එය හමුදාවට ලබා දිය හැකිය කියන එක. අපි විශ්වාස කරනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් තුළ නායකත්ව ලක්ෂණ තියෙන බව. මේ විශ්ව විද්‍යාල නායකත්වය, හමුදාවේ වගේ ඉහලින් පත් කරන නායකත්වයක් නෙවෙයි ප්‍රජාව අතරින් පත් වන නායකත්වයක්. මේ රටේ සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරු, ගුරුවරු, රාජ්‍ය අංශයේ විවිධ තනතුරු දරන මෙන්ම ‍පෞද්ගලික අංශයේ ඉහල නිලධාරීන්වද විශ්ව විද්‍යාල තුළින් බිහි කරලා තියෙනවා. මේ තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්වය නැහැ කියන්නේ බොරුවක්.

ඒ වගේම මෙතැන ප්‍රශ්නය මම යලිත් කියනවා හමුදාවට පුළුවන්ද නායකයන් පුහුණු කරන්න. හමුදාව කියන්නේ විචාර බුද්ධියට අවස්ථාවක් නැති බලහත්කාරය මත සියළු දේ තීරණය වන ආයතනයක්. නමුත් විශ්ව විද්‍යාලය කියන්නේ ප්‍රජාත්නත්‍රවාදී ආකාරයන්ට එකඟතාවයන් ගොඩ නගා ගන්නා ආයතනයක්.

එස්.බී. දිසානායක අමාත්‍යවරයා කියලා තිබුණා මේ හමුදා කඳවුරු ඇතුළේ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ උදේට නැගිටින්න, දත් මදින්න, වෙලාට කන්න ආදී දේවල් කියලා. එහිදී මතු වන ප්‍රශ්නය තමයි ඒකද නායකත්වය කියන්නේ කියන එක.

3.මේ පුහුණුවෙන් බලාපොරොත්තු වෙන්නේ විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට පෙර විනය හැදීම කියලා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරලා තිබුණා. ඔබ ඒ ගැන දරන්නේ කුමන අදහසක්ද?

ඊළගට විනය ප්‍රශ්නය. දැන් විශ්ව විද්‍යාල ඇතුලේ විනය හැදීම තමා මේ පුහුණුවේ පරමාර්ථය. අපි අහනවා මේ ආණ්ඩුවට විනය තියෙනවද කියලා. ඒකට හොදම උදාහරණය තමා එස්.බී අමාත්‍යවරයා. අධිකරණයට අපහාස කළ නිසා හිරේ ගියේ එතුමාට විනයක් තියෙන් නිසාද? අපි විශ්වාස කරනවා විශ්ව විද්‍යාල තුළ විනය පවතිනවා කියලා. එය සාමූහිකත්වය පිළිබද සංස්කෘතියක්. අපේ සමාජයේ විනය ඉහළම තනතුරේ සිට බිද වැටිලා තියෙන අවස්ථාවක ඊට සාපේක්ෂව විශ්ව විද්‍යාල තුළ විනය තියෙනවා. මේ ආණ්ඩුවට විනයක් තියෙනවද කියන එකට හොදම උදාහරණය තමා රියැලිටි වැඩසටහනකදී මර්වින් සිල්වා අමාත්‍යවරයා තරගකාරියකගේ ලිංගික අවයව පිළිබද කළ ප්‍රකාශය. මේකද මේ ආණ්ඩුව විනය කියන්නේ. විශ්ව විද්‍යාල ඇතුලේ ගැහැණු සහ පිරිම් දෙපාර්ශවයම පවතින සීමිත සම්පත් සාමූහිකව භාවිත කරමින් සහයෝගයෙන් ඉන්නවා. මේ වගේ බාල මට්ටමේ ලිංගික බලහත්කාරය විශ්ව විද්‍යාල තුළ නැහැ.

සමාජ පැවැත්මට අවශ්‍ය විනය මේ ශිෂ්‍යයන් තුළ තියෙනවා, එය හමුදාව ලබා දිය යුතු නැහැ කියන එක තමා අපි කියන්නේ. උදාහරණයක් විදියට 5000 - 6000ක් ඉන්න විශ්ව විද්‍යාල තුළ ගැටුමක් ඇති වන්නේ කලාතුරකින්. එයත් පාලකයන් සමග මිස සිසුන් අතර නෙමෙයි. විශ්ව විද්‍යාල තුළ පොලීසියක් නැහැ. නමුත් සම්පත් බෙදා ගැනීමට නොහැකිව එකිනෙකා මරා ගැනීමේ සංස්කෘතියක් විශ්ව විද්‍යාල තුළ නැහැ.

අනෙක් කාරණය තමයි අවුරුදු දහ තුනක් පාසල් අධ්‍යාපනය ලැබූ, විභාග ගණනාවක් සමත් වුණු ශිෂ්‍ය ප්‍රජාවකට නායකත්ව පුහුණුවක් ලබා දෙනවාය කියන්නේ මේ රටේ පාසල් පද්ධතියට අසමත් කියන එකද? අවුරුදු දහතුනක් අධ්‍යාපනය ලබා දුන් ගුරුවරු අසමත් කියන එකද? එය එසේනම් අවුරුදු දහ තුනක් ලබා ගන්න බැරි වුණු නායකත්වය සති තුනකදී හමුදා කදවුරුක් තුළ ලබා දෙන්නේ කොහොමද? එහෙනම් කරන්න තියෙන හොදම දේ පාසල් නොයවා සති තුනකට හමුදාවට යවන එක.

4. ඔබ කියන විදියට නායකත්ව පුහුණුව සම්බන්ධයෙන් ප්‍රකාශිත අරමුණු වල යථාර්ථවාදී බවක් නැහැ. ඔබ දකින විදියට මෙහි වෙනත් අරමුණක් තියෙනවාද?

මේ නායකත්වය පුහුණුවේ පැහැදිළි අරමුණ තමා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාකරන ශිෂ්‍ය පිරිසක් බිහි කර ගැනීම. විශ්ව විද්‍යාලය තුළ එය කළ නොහැකියි. ඒ නිසා තමයි විශ්ව විද්‍යාලයේ පරිබාහිරව හමුදා කදවුරු තුළ මෙය සිදු කරන්නේ. මෙය සංකල්පයක් විදියට වැරදියි.

මේ ආණ්ඩුව විසින් පහුගිය කාලය තුළ ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ශිෂ්‍යයන් අතරින් 300කට අධික පිරිසගේ පංති තහනම් කර තියෙනවා. එය කෙතරම් අවිචාරමත් විදියට කළාද කියනවානම් අපවත් වුණු භික්ෂූන් වහන්සේලාගේ පවා පන්ති තහනම් කළා. ශිෂ්‍ය මර්දනයේ ප්‍රතිඵලයක් විදියට පසුගිය 8 වෙනිදා භික්ෂු විශ්ව විද්‍යාලයේ ස්වාමීන් වහන්නේ නමක් වස පානය කර සිය දිවි හානි කර ගත්තා. රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් පොලිස් ප්‍රහාර වලින් මරණය පත් වුණා. ආණ්ඩුව නැවතත් ශිෂ්‍ය මර්දනය හරහා ඔවුන්ගේ දෑත් වල ලේ තවරාගෙන සිටිනවා. පසුගිය වසරේ ශිෂ්‍යයන් 40ක් සිර භාරයට ගෙන තිබෙනවා. ආණ්ඩුව අධ්‍යාපනයේ මතු වී තියෙන ගැටළු විසදීමට මුළුමණිනින්ම පාහේ අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව උත්සාහ කරන්නේ මර්දනය හරහා ශිෂ්‍ය අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය බිද හෙළන්න.

නවක සිසුන්ගේ ජීවිත වලට මෙය විශාල බලපෑමක්. මේ හමුදා කඳවුරු ඇතුලේ ලිංගික බලහත්කාරය පවා වෙන්න පුළුවන්. හමුදා කඳවුරු තුළ තියෙන්නේ ඒ ව‍ගේ සංස්කෘතියක්. ලෝකයේ එහෙම උදාහරණ කියෙනවා. ඒ වගේම හමුදාවේ විනය හදන්නේ වෙන විදියකට. මිලිටරි බලහත්කාරය හරහා හොඳ විනයක් ගොඩ නගන්න බැහැ. එය යුධ විනයක්. ඒ වගේම එය සිවිල් සමාජයට අදාල නැහැ. සිවිල් සමාජයේ ජීවත් වීමට අවශ්‍ය විනය හමුදාවකට දෙන්න බැහැ.

ඒ නිසා අපි මේකට විරුද්ධයි. මෙය ශිෂ්‍යයින්ගේ ජීවිත වලට බලපෑමයක් සිදුවෙනවා. අපි දෙමව්පියන්ගෙන් ඉල්ලනවා මේ උගුලට ඔබේ දරුවන්ට යවන්න එපා. මේ අත්තනෝමතික තීරණය ක්‍රියාත්මක කිරීමට නෛතික පියවර ගන්නවා. ඒ වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍ය ප්‍රජාව ඇතුළත් පුළුල් වැඩසටහනකට යනවා. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ දරුවන් හමුදා කඳවුරු වලට ගාල් කරන්න එපා කියලා.

05. මෙම නායකත්ව පුහුණුව හරහා විශ්ව විද්‍යාල තුළ පවතින සංස්කෘතියට බලපෑමක් එල්ල වෙයි කියලා ඔබ හිතනවද?

ආණ්ඩුව උත්සාහ කරනවා විශ්ව විද්‍යාල සංස්කෘතියට බලපෑම් කරන්න. නමුත් අපි කියලවා විශ්ව විද්‍යාල සංස්කෘතියට බලපෑම් කරන්න ආණ්ඩුවට බැහැ කියලා. නමුත් වෙන්න පුළුවන් දෙය තමයි මේ හමුදා කඳවුරු ඇතුළේදී ශිෂ්‍යයන්ගේ ජීවිත වලට බලපෑම් එල්ල වීම. හමුදා ආධිපත්‍ය යොදාගෙන ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ දරයි. ඒ හරහා ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න උත්සහ දරයි. ඒ වගේම ගැටුම් ඇති කරලා විශ්ව විද්‍යාල ක්‍රියාකාරිත්වය අවුල් කරන්න වැඩපිළිවෙල සකස් කරයි. පවත්නා සාමූහිකත්වය බිදින්න උත්සහ දරයි. නමුත් විශ්ව විද්‍යාල තුළ තියෙන පොදු සංස්කෘතිය බිදින්න ඔවුන්ට බැහැ.

මෙහිදී අපි වඩාත් උනන්දු වෙන්නේ විශ්ව විද්‍යාල සංස්කෘතිය වෙනස් කිරීමට ආණ්ඩුව මේ දරන උත්සාහය හරහා නවක ශිෂ්‍යයින්ගේ ජීවිත වලට තර්ජනයක් ඇතිවීම පිළිබඳවයි. නවක ශිෂ්‍යයින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි අපිට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා කියන එක අපි පැහැදිළිව ම ප්‍රකාශ කරනවා.

Tell a Friend