කඳවුරේ සිට ලියමි


කඳවුරේ පළමු දවස




මැණි‍කේ

අවුරුදු ගානක් පාඩම් කරලා ඒ ලෙවල් පාස් වෙලා ඔන්න අපිත් ආවා හමුදා කඳවුරු වලට නායකත්ව පුහුණුව ලබන්න.

මෙහේ තොරතුරු කාට හරි කියන්න ලැබෙන එකත් සැනසීමක්. ඉරිදා අම්මයි තාත්තයි කුලියට වෑන් එකකුත් අරගෙන මාව මෙහේ බස්සලා ගියේ හරිම දුකෙන්. කඳවුරට ආපු අනෙකුත් සියළුම ළමයි අම්මලා තාත්තලා බදාගෙන අඩපු විදිය මට හැම වෙලේම මැවිලා පේනවා.

මේ පුහුණුව ගැන කිසිම පෙර සූදානමක් තිබුණු බව පේන්න නෑ. ආපු දවසේ ඉදන් පෝලිම් විතරයි. අද දවසටම කළේ ජනාධිපති තුමාගේ කතාවක් අහපු එක.

ඒ විතරක් නෙමෙයි. වැසිකිළි වල ලයිට් නෑ. වතුර නෑ. මේ පුහුණුවට ස්ව කැමැත්තෙන් ආපු කිසිම කෙනෙක් හොයා ගන්න නෑ. මෙඩිකල් අරගෙන ආපු ළමයින්වත් මෙහෙදි පරීක්ෂා කරලා බලලා පුහුණුවට ගත්තා. ඒ ගොඩක් දෙනා ඇවිත් හිටියේ මෙඩිකල් එක පෙන්නලා ගෙවල් වලට යන්න. නමුත් හමුදාවේ වෛද්‍ය වරු එයාලට යන්න දු‍න්නේ නෑ. හැමෝම ඇවිත් තියෙන්නේ කැම්පස් යන්න බැරි වෙයි කියලා බයට. මමත් ආවේ ලියුමේ මේ පුහුණුව අනිවාර්යයි කියලා තිබුණු හින්දා.

හමුදාවේ නිලධාරීන්ටත් මේ පුහුණුව කරදරයක් වෙලා තියෙන බවයි පේන්නේ. එයාලා හැම තිස්සෙම කියන්නේ “ කවදා මේ ළමයි මෙහෙන් යයිද ? මේක මහ කරදරයක්”කියලා. සමහර වෙලාවට හමුදාවේ අය අපිට සැරෙන් කතා කරනවා. ළමයි හැමෝම ඉන්නේ අඬා ගත්තු ගමන්.

සමරහ විට මෙහේ සූදානම් කරලා තියෙන්න ඇත්තේ ඇත්තට මිලිටරි පුහුණුවක් වෙන්න ඇති කියලා අපිට හිතෙනවා. මොකද වෙන කිසිම වැඩසටහනකට පෙර සූදානමක් ‍පේන්න නැති නිසා. අද දවසම කළේ පෝලි‍ම් වල ඉන්න එක විතරයි. මේ පුහුණුව ගැන මානව අයිතිවාසිකම් නඩුවක් දාපු එක සහ එළියේ ඇති වෙලා තියෙන උද්ඝෝෂණ නිසා ඔවුන්ගේ මිලිටරි සැළැස්ම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න ඇති කියලා මට හිතෙනවා.

නිල ඇදුම් ඇද ගත්තු හමුදා නිලධාරීන් දිහා කට ඇරගෙන බලා ගෙන ඉන්න තමයි අපට තියෙන්නේ. මේ කඳවුරේ 1000 කට වැඩිය ළමයි ඉන්නවා. මෙහේ ඉන්න හමුදා නිධාරීන්ට මේ තරම් ළමයි ප්‍රමාණයක් පාලනය කරන්න බෑ. ඒ තරම් ප්‍රමාණයකට සෑහෙන්න වැසිකිළි පහසුකම්වත් නෑ. ඉතින් කෙහොමද නායකයින් පුහුණු කරන්නේ?

24 වෙනිදා නඩුව දිනුවොත් නම් හොදයි. අපිට ගෙදර යන්න පුළුවන්. ඔන්න ආයිත් කතා කරනවා. යන්න කලින්, මේක කියවන ඔයාලත් තමන්ට පුළුවන් විදියට නඩුව දිනන්න සහය වෙන්න කියලා මම ඉල්ලන්න කැමතියි.

කඳවුරේ විස්තර පුළුවන් විදියට ඔයාලට කියන්නම්.




Tell a Friend