විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට හමුදා පුහුණුව- අන්තරේ විරෝධය

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග කළ සාකච්ඡාවකි.


ආණ්ඩුව උත්සාහ කරනවා විශ්ව විද්‍යාල සංස්කෘතියට බලපෑම් කරන්න. නමුත් අපි කියලවා විශ්ව විද්‍යාල සංස්කෘතියට බලපෑම් කරන්න ආණ්ඩුවට බැහැ කියලා. නමුත් වෙන්න පුළුවන් දෙය තමයි මේ හමුදා කඳවුරු ඇතුළේදී ශිෂ්‍යයන්ගේ ජීවිත වලට බලපෑම් එල්ල වීම. හමුදා ආධිපත්‍ය යොදාගෙන ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ දරයි. ඒ හරහා ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න උත්සහ දරයි. ඒ වගේම ගැටුම් ඇති කරලා විශ්ව විද්‍යාල ක්‍රියාකාරිත්වය අවුල් කරන්න වැඩපිළිවෙල සකස් කරයි. පවත්නා සාමූහිකත්වය බිදින්න උත්සහ දරයි. නමුත් විශ්ව විද්‍යාල තුළ තියෙන පොදු සංස්කෘතිය බිදින්න ඔවුන්ට බැහැ.
පබා දේශප්‍රිය

1.විශ්ව විද්‍යාල නවක ශිෂ්‍යවන්ට ලබා දීමට තීරණ කර තිබෙන නායකත්ව පුහුණව පිළිබද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දරන්නේ කුමන අදහසක්ද?

මේ තීරණයට අප මුළුමනින්ම විරුද්ධයි. මෙය මිලිටරි බලහත්කාරය යොදවා විශ්ව විද්‍යාල සිසුන් හමුදා කඳවුරු වලට ගාල් කර දේශපාලන ගැති භාවය ඇති කිරීමේ වැඩ පිළිවෙළක්.

මේ හරහා ශිෂ්‍ය ජීවිත වලට‍ විශාල හානියක් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. මොකද හමුදා කඳවුරු වල නායකත්ව පුහුණුව ලබා දෙන්න බැහැ. ලෝකයේ කොහෙවත් හමුදා කඳවුරු තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුව ලබා දෙන්නේ නැහැ. මෙය කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් කර ගෙන එක ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමේ ප්‍රයත්නයේ තවත් පියවරක් විදියට තමයි අපි මෙය දකින්නේ. මේ නායකත්ව පුහුණුව සාර්ථක වෙන්නේ නැහැ කියලා අපි දන්නවා නමුත් සංකල්පයක් විදියට අපි මෙයට විරුද්ධ වෙන්නේ මෙය ආණ්ඩුව විසින් දියත් තරන මර්දනයේම කොටසක් නිසා.

2. ඔබ විශ්වාස කරනවද විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුවක් අවශ්‍යයි කියලා?

අපට තියෙන ගැටළුව තමයි විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුවක් අවශ්‍ය ද සහ එසේ අවශ්‍ය නම් එය හමුදාවට ලබා දිය හැකිය කියන එක. අපි විශ්වාස කරනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් තුළ නායකත්ව ලක්ෂණ තියෙන බව. මේ විශ්ව විද්‍යාල නායකත්වය, හමුදාවේ වගේ ඉහලින් පත් කරන නායකත්වයක් නෙවෙයි ප්‍රජාව අතරින් පත් වන නායකත්වයක්. මේ රටේ සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරු, ගුරුවරු, රාජ්‍ය අංශයේ විවිධ තනතුරු දරන මෙන්ම ‍පෞද්ගලික අංශයේ ඉහල නිලධාරීන්වද විශ්ව විද්‍යාල තුළින් බිහි කරලා තියෙනවා. මේ තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්වය නැහැ කියන්නේ බොරුවක්.

ඒ වගේම මෙතැන ප්‍රශ්නය මම යලිත් කියනවා හමුදාවට පුළුවන්ද නායකයන් පුහුණු කරන්න. හමුදාව කියන්නේ විචාර බුද්ධියට අවස්ථාවක් නැති බලහත්කාරය මත සියළු දේ තීරණය වන ආයතනයක්. නමුත් විශ්ව විද්‍යාලය කියන්නේ ප්‍රජාත්නත්‍රවාදී ආකාරයන්ට එකඟතාවයන් ගොඩ නගා ගන්නා ආයතනයක්.

එස්.බී. දිසානායක අමාත්‍යවරයා කියලා තිබුණා මේ හමුදා කඳවුරු ඇතුළේ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ උදේට නැගිටින්න, දත් මදින්න, වෙලාට කන්න ආදී දේවල් කියලා. එහිදී මතු වන ප්‍රශ්නය තමයි ඒකද නායකත්වය කියන්නේ කියන එක.

3.මේ පුහුණුවෙන් බලාපොරොත්තු වෙන්නේ විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට පෙර විනය හැදීම කියලා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරලා තිබුණා. ඔබ ඒ ගැන දරන්නේ කුමන අදහසක්ද?

ඊළගට විනය ප්‍රශ්නය. දැන් විශ්ව විද්‍යාල ඇතුලේ විනය හැදීම තමා මේ පුහුණුවේ පරමාර්ථය. අපි අහනවා මේ ආණ්ඩුවට විනය තියෙනවද කියලා. ඒකට හොදම උදාහරණය තමා එස්.බී අමාත්‍යවරයා. අධිකරණයට අපහාස කළ නිසා හිරේ ගියේ එතුමාට විනයක් තියෙන් නිසාද? අපි විශ්වාස කරනවා විශ්ව විද්‍යාල තුළ විනය පවතිනවා කියලා. එය සාමූහිකත්වය පිළිබද සංස්කෘතියක්. අපේ සමාජයේ විනය ඉහළම තනතුරේ සිට බිද වැටිලා තියෙන අවස්ථාවක ඊට සාපේක්ෂව විශ්ව විද්‍යාල තුළ විනය තියෙනවා. මේ ආණ්ඩුවට විනයක් තියෙනවද කියන එකට හොදම උදාහරණය තමා රියැලිටි වැඩසටහනකදී මර්වින් සිල්වා අමාත්‍යවරයා තරගකාරියකගේ ලිංගික අවයව පිළිබද කළ ප්‍රකාශය. මේකද මේ ආණ්ඩුව විනය කියන්නේ. විශ්ව විද්‍යාල ඇතුලේ ගැහැණු සහ පිරිම් දෙපාර්ශවයම පවතින සීමිත සම්පත් සාමූහිකව භාවිත කරමින් සහයෝගයෙන් ඉන්නවා. මේ වගේ බාල මට්ටමේ ලිංගික බලහත්කාරය විශ්ව විද්‍යාල තුළ නැහැ.

සමාජ පැවැත්මට අවශ්‍ය විනය මේ ශිෂ්‍යයන් තුළ තියෙනවා, එය හමුදාව ලබා දිය යුතු නැහැ කියන එක තමා අපි කියන්නේ. උදාහරණයක් විදියට 5000 - 6000ක් ඉන්න විශ්ව විද්‍යාල තුළ ගැටුමක් ඇති වන්නේ කලාතුරකින්. එයත් පාලකයන් සමග මිස සිසුන් අතර නෙමෙයි. විශ්ව විද්‍යාල තුළ පොලීසියක් නැහැ. නමුත් සම්පත් බෙදා ගැනීමට නොහැකිව එකිනෙකා මරා ගැනීමේ සංස්කෘතියක් විශ්ව විද්‍යාල තුළ නැහැ.

අනෙක් කාරණය තමයි අවුරුදු දහ තුනක් පාසල් අධ්‍යාපනය ලැබූ, විභාග ගණනාවක් සමත් වුණු ශිෂ්‍ය ප්‍රජාවකට නායකත්ව පුහුණුවක් ලබා දෙනවාය කියන්නේ මේ රටේ පාසල් පද්ධතියට අසමත් කියන එකද? අවුරුදු දහතුනක් අධ්‍යාපනය ලබා දුන් ගුරුවරු අසමත් කියන එකද? එය එසේනම් අවුරුදු දහ තුනක් ලබා ගන්න බැරි වුණු නායකත්වය සති තුනකදී හමුදා කදවුරුක් තුළ ලබා දෙන්නේ කොහොමද? එහෙනම් කරන්න තියෙන හොදම දේ පාසල් නොයවා සති තුනකට හමුදාවට යවන එක.

4. ඔබ කියන විදියට නායකත්ව පුහුණුව සම්බන්ධයෙන් ප්‍රකාශිත අරමුණු වල යථාර්ථවාදී බවක් නැහැ. ඔබ දකින විදියට මෙහි වෙනත් අරමුණක් තියෙනවාද?

මේ නායකත්වය පුහුණුවේ පැහැදිළි අරමුණ තමා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාකරන ශිෂ්‍ය පිරිසක් බිහි කර ගැනීම. විශ්ව විද්‍යාලය තුළ එය කළ නොහැකියි. ඒ නිසා තමයි විශ්ව විද්‍යාලයේ පරිබාහිරව හමුදා කදවුරු තුළ මෙය සිදු කරන්නේ. මෙය සංකල්පයක් විදියට වැරදියි.

මේ ආණ්ඩුව විසින් පහුගිය කාලය තුළ ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ශිෂ්‍යයන් අතරින් 300කට අධික පිරිසගේ පංති තහනම් කර තියෙනවා. එය කෙතරම් අවිචාරමත් විදියට කළාද කියනවානම් අපවත් වුණු භික්ෂූන් වහන්සේලාගේ පවා පන්ති තහනම් කළා. ශිෂ්‍ය මර්දනයේ ප්‍රතිඵලයක් විදියට පසුගිය 8 වෙනිදා භික්ෂු විශ්ව විද්‍යාලයේ ස්වාමීන් වහන්නේ නමක් වස පානය කර සිය දිවි හානි කර ගත්තා. රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් පොලිස් ප්‍රහාර වලින් මරණය පත් වුණා. ආණ්ඩුව නැවතත් ශිෂ්‍ය මර්දනය හරහා ඔවුන්ගේ දෑත් වල ලේ තවරාගෙන සිටිනවා. පසුගිය වසරේ ශිෂ්‍යයන් 40ක් සිර භාරයට ගෙන තිබෙනවා. ආණ්ඩුව අධ්‍යාපනයේ මතු වී තියෙන ගැටළු විසදීමට මුළුමණිනින්ම පාහේ අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව උත්සාහ කරන්නේ මර්දනය හරහා ශිෂ්‍ය අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය බිද හෙළන්න.

නවක සිසුන්ගේ ජීවිත වලට මෙය විශාල බලපෑමක්. මේ හමුදා කඳවුරු ඇතුලේ ලිංගික බලහත්කාරය පවා වෙන්න පුළුවන්. හමුදා කඳවුරු තුළ තියෙන්නේ ඒ ව‍ගේ සංස්කෘතියක්. ලෝකයේ එහෙම උදාහරණ කියෙනවා. ඒ වගේම හමුදාවේ විනය හදන්නේ වෙන විදියකට. මිලිටරි බලහත්කාරය හරහා හොඳ විනයක් ගොඩ නගන්න බැහැ. එය යුධ විනයක්. ඒ වගේම එය සිවිල් සමාජයට අදාල නැහැ. සිවිල් සමාජයේ ජීවත් වීමට අවශ්‍ය විනය හමුදාවකට දෙන්න බැහැ.

ඒ නිසා අපි මේකට විරුද්ධයි. මෙය ශිෂ්‍යයින්ගේ ජීවිත වලට බලපෑමයක් සිදුවෙනවා. අපි දෙමව්පියන්ගෙන් ඉල්ලනවා මේ උගුලට ඔබේ දරුවන්ට යවන්න එපා. මේ අත්තනෝමතික තීරණය ක්‍රියාත්මක කිරීමට නෛතික පියවර ගන්නවා. ඒ වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍ය ප්‍රජාව ඇතුළත් පුළුල් වැඩසටහනකට යනවා. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ දරුවන් හමුදා කඳවුරු වලට ගාල් කරන්න එපා කියලා.

05. මෙම නායකත්ව පුහුණුව හරහා විශ්ව විද්‍යාල තුළ පවතින සංස්කෘතියට බලපෑමක් එල්ල වෙයි කියලා ඔබ හිතනවද?

ආණ්ඩුව උත්සාහ කරනවා විශ්ව විද්‍යාල සංස්කෘතියට බලපෑම් කරන්න. නමුත් අපි කියලවා විශ්ව විද්‍යාල සංස්කෘතියට බලපෑම් කරන්න ආණ්ඩුවට බැහැ කියලා. නමුත් වෙන්න පුළුවන් දෙය තමයි මේ හමුදා කඳවුරු ඇතුළේදී ශිෂ්‍යයන්ගේ ජීවිත වලට බලපෑම් එල්ල වීම. හමුදා ආධිපත්‍ය යොදාගෙන ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ දරයි. ඒ හරහා ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න උත්සහ දරයි. ඒ වගේම ගැටුම් ඇති කරලා විශ්ව විද්‍යාල ක්‍රියාකාරිත්වය අවුල් කරන්න වැඩපිළිවෙල සකස් කරයි. පවත්නා සාමූහිකත්වය බිදින්න උත්සහ දරයි. නමුත් විශ්ව විද්‍යාල තුළ තියෙන පොදු සංස්කෘතිය බිදින්න ඔවුන්ට බැහැ.

මෙහිදී අපි වඩාත් උනන්දු වෙන්නේ විශ්ව විද්‍යාල සංස්කෘතිය වෙනස් කිරීමට ආණ්ඩුව මේ දරන උත්සාහය හරහා නවක ශිෂ්‍යයින්ගේ ජීවිත වලට තර්ජනයක් ඇතිවීම පිළිබඳවයි. නවක ශිෂ්‍යයින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි අපිට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා කියන එක අපි පැහැදිළිව ම ප්‍රකාශ කරනවා.


Tell a Friend