The Most/Recent Articles

Showing posts with label news. Show all posts
Showing posts with label news. Show all posts

'The Kandos Shop' 14 වෙනි අලෙවිසැල කළුබෝවිල දී දැන් විවෘතයි...

දශක හයක් පුරා දේශීය චොක්ලට් නිෂ්පාදනයේ ජාතික සන්නාමය බවට පත්ව ඇති KANDOS නිෂ්පාදන රැසක් ඇතුළත් 14 වෙනි අලෙවිසැල ඉකුත් 3 දාට යෙදී තිබුණු සුභ මොහොතින් කළුබෝවිල රෝහල පාර අංක 130/A (කීල්ස් සුපිරි වෙළඳ සංකීර්ණය අසල) දී විවෘත විය. (Shop Map Link) 


වර්ග අඩි 1300කින් සමන්විත නවීන පහසුකම් ආදියෙන් යුත් මෙම වෙළඳසැලට පිවිසීමේදී රටක් රසගැන්වූ KANDOS නිෂ්පාදන වන විවිධ වර්ගයෙන් සහ හැඩයන්ගෙන් යුත් අතින් නිමවන ලද කැන්ඩොස් චොක්ලට් වර්ග, චොක්ලට් අතුරුපස වර්ග, චොක්ලට් කප් කේක් ඇතුළු කැන්විටා (Kanvita) සිසිල්/උණුසුම් බීම මිලදී ගැනීමට සහ එම ස්ථානයේ සිටම රස විඳීමේ පහසුකම්  පාරිභෝගික ජනතාවට උදා වන අතර සැබෑ චොක්ලට් රසය මෙන්ම චොක්ලට්  පිළිබඳ නැවුම් අත්දැකීම් රැසක් ද අත්විඳීමේ හැකියාව දැන් ඔබට උදා වී ඇත.

සමාරම්භක උත්සවයට සඳහා සමූහ කළමනාකරණ අධ්‍යක්ෂක නිමල් වෙල්ගම මහතා, අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, ප්‍රධාන විධායක නිලධාරී P.K.D.S සමන්ත මහතා ඇතුළු කළමනාකරුවන් සහ විධායක නිලධාරීන් සම්බන්ධ විය.

IMF ගිවිසුම අනුව ජනපති කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්න



ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (මාර්තු 22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල එකඟතා ලියැවිල්ල පාර්ලිමේන්තුවේදී සභාගත කරනු ලැබීය. එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව නව ගමනකට යොමු වී ඇති බව ත් එහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු බව ත් ය.

රටේ සාර්ථකත්වයේ පදනම නිර්මාණය වන්නේ එතැනින් බව ඔහු අවධාරණය කළේ ය. ඒවායින් ඇතැම් ප්‍රතිසංස්කරණ 2022 අතුරු අයවැය සහ 2023 අයවැය මගින් යෝජනා කර, දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී සඳහන් කළේ ය. 

රජය ආදායම වැඩි කර ගැනීමේ සැලසුම ....

2025 වන විට ප්‍රථමික හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 2.3ක් බවට පත් කර ගැනීම.

2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක් දක්වා වැඩි කර ගැනීම.

වැට් බදු සඳහා ලබා දී ඇති නිදහස් කිරීමේ ක්‍රමානුකූල අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම සහ SVAT ක්‍රමය අහෝසි කිරීමට පියවර.

2025 වසරේදී අවම බදු නිදහස් කිරීමක් සහිතව දේපළ බදු ක්‍රමයක් වෙනුවට ධන බද්ධක් හඳුන්වා දීමටත් තෑගි සහ බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර.

රාජ්‍ය වියදම් කළමනාකරණය ...

විධිමත් වියදම් කළමනාකරණය ඔස්සේ රජයේ වියදම් සඳහා ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර.

උද්ධමනයට සරිලන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැලපීමට අපේක්ෂා කිරීම. (“නමුත් මෙම ගැලපීම සිදු කරන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ සීමා තුළ.”)

රාජ්‍ය ව්‍යවසාය සහ බලශක්ති මිල ...

ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම. ඉන්ධන මිල තීරණය කිරීම 2018 වසරේ හඳුන්වා දුන් මිල සූත්‍රය අනුව පමණයි.

අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම සය මසකට වරක් ම විදුලි බිල ගැලපීමට පියවර.

මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතනවල ශේෂපත්‍ර යළි සකස් කිරීම.

කල් ඉක්ම වූ ස්වෛරිත්ව ඇපකර මත ලබා ගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීමට කටයුතු කිරීම.

මිල ස්ථායිතාව සහ මූල්‍ය ප්‍රතිපත්ති ....

උද්ධමනයේ අනුපාතය 4% – 6% අතර අනුපාතයකට නැවත ගෙන ඒමට කටයුතු කිරීම.

2023 වසර මැද භාගය වන විට උද්ධමනයේ අනුපාතය තනි අගයක් දක්වා ගෙන ඒමට උත්සහ කිරීම.

මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන කාලවකවානුව තුළදී මුදල් අච්චු ගැසීමෙන් ක්‍රමානුකූලව බැහැර වීම.

අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමෙන් තොරව ආදායම් උපදවා ගැනීමට මෙමගින් මහා භාණ්ඩාගාරයට සිදු වීම.

දැනට පවතින විදේශ විනිමය සීමා කිරීම් හා නියාමන ක්‍රමයෙන් ඉවත් කරමින් විදේශ විනිමය වෙළෙඳපොළේ කටයුතු වෙළෙඳපොළ නිර්ණායක මත තීරණය වීමට යළිත් ඉඩ ලබා දීම.

තීරණය කරන ලද ඉලක්ක අනුව විදේශ සංචිත ගොඩනැගීම සඳහා විදේශ මුදල් මිල දී ගැනීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබීම.

යහපාලනය

දේශීය විශේෂඥයින්ගේ අදහස් සැලකිල්ලට ගෙන IMF සංවිධානය විසින් රාජ්‍ය දුර්වලතා පිළිබඳව වාර්තාවක් සකස් කරනු ලැබ ඇතැයි ජනාධිපතිවරයා පැවසීය. දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් රජය හා ආයතනික රාමුව තුළ අඩුපාඩු හඳුනා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන බව ඔහු එහිදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණය මැඩලීමේ නීති සම්පාදනය කිරීම.

අහිමි වූ වත්කම් යළි ලබා ගැනීමේ ප්‍රතිපාදන 2024 වසරේ මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුළු කිරීමට ද අපේක්ෂා කිරීම.

ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් කෙටුම්පත් කිරීම.

සහනයදායි බදු පදනම මත වාහන ආනානය කිරීමේ බලපත්‍ර ලබා ගත් පුද්ගලයින්, ආයෝජන මණ්ඩලයේ බදු, සහන බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීම.

විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳව විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම.

වර්ධනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩසටහනේ ප්‍රතිසංස්කරණ ඔස්සේ මධ්‍යම පරිමාන හා දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය වැඩිදියුණු කිරීම ඇතුළත් බව ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව;

වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමට අදාළ ක්‍රියාමාර්ග, කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය වැඩිදියුණු කිරීමේ පියවර, කුසලතා සංවර්ධනය, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මගින් අකාර්යක්ෂමතාව සහ පිරිවැය අඩු කර ගැනීමට පියවර.

කාලගුණ වෙනස් වීම මත සිදුවන වෙනස්කම් ද මෙහිදී සැලකිල්ලට ගැනීම.

ඉදිරි ක්‍රියාමාර්ග

IMF සැලසුමට ඔබ්බෙන් යන බහුවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වීම.

අර්ටිකය විවෘත කිරීම සහ ඩිජිටල්කරණය ඔස්සේ තිරසර ප්‍රතිජීවනයක් ලබා ගැනීම ද මධ්‍ය හා දීර්ඝ කාලීන ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ද අරමුණු කිරීම.

ඒත් සමග ද්විපාර්ශිවක ණය හිමියන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කිරීම.

ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේද ඔස්සේ ඉදිරියට යමින් විවෘත හා විනිවිදව පෙනෙන අයුරින් ඔවුන් සමග සාකච්ඡා ඉදිරියට ගෙන යාම.

ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති කර ගන්නා කොන්දේසි පිළිබඳව අවසන් තීරණ ගැනීමට පෙරාතුව සියලු ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඒ ගැන දැන ගැනීමට හැකි වන ආකාරයේ විවෘත ක්‍රමවේදයක් අනුගමනය කිරීම.

අනෙකුත් විදේශ ණය හිමියන් සම්බන්ධයෙන් ද එම පිළිවෙත අනුගමය කිරීම.

එහිදී සියලු ණය හිමියන්ට සාධාරණ වන අයුරින් ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වීම.

ශ්‍රී ලංකාවේ ණය ගැතිභාවයන් පිළිබඳ වාර්තා නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ රටේ ණය පිළිබඳ කිසිදු තොරතුරක් වසන් නොකිරීම.

බදු බර සහ උද්ධමනය හේතුවෙන් සාමාජය පීඩා වින්ද ද දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලින් ඈත් වීමට මෙම අවස්ථාවේ හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළ මාස 6කට වරක් සමාලෝචනය කිරීමට රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටුයුතු කරන බව ය. ඒ අනුව, එළෙඹෙන ජූනි මාසයේදී පළමු සමාලෝචනය සිදු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

දැනට ක්‍රියාත්මක කෙරෙන බදු ක්‍රමය සංශෝධනය කිරීම සඳහා දැනටමත් රජයේ අවධානය යොමු වී ඇතැයි ද ඔහු එහිදී සඳහන් කළේ ය.

“මහා භාණ්ඩාගාරය සංශෝධිත යෝජනා සකස් කරමින් යනවා. ඒ වගේ ම විවිධ විද්වතුන් ආර්ථික විශේෂඥයින් මේ සම්න්බන්ධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් සියලු දෙනා සමග සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසු පොදු එකඟතාවකට එළඹෙන්න අපිට පුළුවන් වේවි.”

ජූනි මාසයේදී සිදු කරන සමාලෝචනයේදී මෙම බදු සංශෝධන රජයේ සැලසුමට ඇතුළත් කිරීමට IMF සංවිධානය සමග සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

IMF එකඟතා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අප්‍රේල් 3 වන සතියේ පැවැත්වීමට දින නියම කිරීම සඳහා කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

පාස්කු චෝදනාවෙන් ගැලවෙන්න මෛත්‍රී දැමූ පෙත්සම විභාගයට දින නියම වේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජූලි 31 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (මාර්තු 17) නියෝග කර තිබේ.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, අදාළ පෙත්සම ජූලි 31 සහ අගෝස්තු මස 9 වන දා විභාගයට ගන්නා බවට විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය නොසලකා හැර සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබිණි.

ඒ අනුව, අදාළ සිතාසිය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව ත් එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ත් ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

නැන්සි පොලොසිගේ චීන තායිවාන සංචාරය පිළිබඳ චීනයේ දැඩි විරෝධය



ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා නැන්සි පෙලොසිගේ චීන තායිවාන ප්‍රදේශ‍යේ

සංචාරය කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරන බව චීන ආරක්ෂක

අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක  වූ ක්වැන් පවසයි. එම සංචාරය පිළිබඳව

හෙතෙම ඊයේ (2) අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබේ.


එම සංචාරයෙන් ඇති විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව චීනය බොහෝ

වරක් පෙන්වා දී ඇත. නැන්සි පොලොසි එය නොසලකා හිතාමතාම අර්බුදයක් ඇති

කරමින් එකම චීන මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිල නිවේදන තුන

දැඩිව උල්ලංඝනය කර ඇති අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ දේශපාලන

පදනම හා දෙරටේ හමුදා සබඳතාවන්ට ද හානි සිදු කර තිබේ. 

ඇමරිකාවේ එම ක්‍රියාවලිය තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥාවක් නිකුත් කරන අතර

තායිවාන් සමුද්‍ර සන්ධියේ උණුසුම් තත්ත්වය උග්‍ර කර ඇත. තායිවාන

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය බාහිර බලවේගය සමඟ අවුල් කරමින් නැන්සි පොලොසි තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීමට ආරාධනා කිරීම භයානක වන අතර එය අනිවාර්යයෙන්ම බරපතළ ප්‍රතිවිපාකවලට ලක් වන ක්‍රියාවකි. 

චීන මහජන විමුක්ති හමුදාව ඕනෑම තත්ත්වයකට මුහුණදීමට දැඩි සීරුවෙන්

සිටින ඇති අතර හමුදා මෙහෙයුම් මාලාවක් දියත් කරනු ඇත. ජාතික

ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව නොසැලී ආරක්ෂා කරන අතර, බාහිර

මැදිහත්වීම් සහ තායිවාන බෙදුම්වාදී කුමන්ත්‍රණයන් අධිෂ්ඨානශීලීව පරාජය

කරනු ඇත.

ජිප්සීස්, මංගල, මහරාජා සහ එලියන්ත වයිට්



ගත වූ මාස දෙක තුනක කාලය තරම් ස්වභාව ධර්මය සමග මට ආරෝවක් ඇති වූ වෙනත් කාලයක් නැති තරම්. 


ස්වභාව ධර්මය යනු, අයුක්තිය වෙනුවෙන්, අසාධාරණය වෙනුවෙන් සහ අමානුෂිකත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සේවය කරන බළල් අතක් විය යුතු යැයි මට සිතුණි. ඒ නිසා, ස්වභාව ධර්මයේ ගහකොළ සහ ඉර හඳ ගැන පවා අනියත කලකිරීමක් මගේ පුහුදුන් හිතේ මෝදු වන්නට විය. මහරාජා, මංගල සහ ජිප්සීස් සුනිල් අකාලයේ මෙලොවින් තුරන් කිරීම ගැන කෙසේ නම් ස්වභාව ධර්මයට සමාව දෙන්නද! 


පසුගිය 21 දා (පසළොස්වක දා) පැරිසියට උඩ අහසේ පුරහඳ වෙනදාට වඩා ලොකුවට පායා තිබුණි. ස්වභාව ධර්මය ගැන කෝන්තරය එවිට මටත් හොරා මොහොතකට හිතෙන් තුරන් විය. හේතුව, හඳේ සිරියාවට හිත ගිය බැවිනි. එහෙත් ඊළඟ මොහොතේ මම නැවත හිත හදාගතිමි. ඒ, ස්වභාව ධර්මය කෙරෙහි මොදු වෙමින් තිබූ අර කෝන්තරය යළි යළිත් අවුළුවා ගන්නට ය. එහෙත් ඊට පසුව දා, එම කෝවිඩ් රකුසාටම එලියන්ත වයිට් නමැති ‘රාජකීය’ fදාස්තරත් බිළි වී ඇතැයි ආරංචි වීමත් සමග මගේ ඒ ප්‍රයත්නය ව්‍යර්ථ විය. 


කිලී මහරාජා මට හමු වී ඇත්තේ එක වරක් පමණි. ඒ, නැවත පදිංචිය සඳහා මා ලංකාවට පැමිණි 2007 වසරේදී ය. ‘සිරස’ මාධ්‍ය ජාලයේ යම් තනතුරක් ගැන වික්ටර් අයිවන් සමග කිලී මහරාජා කතා කොට තිබුණි. ඒ තනතුර සඳහා වික්ටර් අයිවන්ගේ නිර්දේශය වී තිබුණේ මා ය. ඒ අනුව, කිලී මහරාජාගෙන් මට කැඳවීමක් ලැබුණි. ඔහුගේ නිවසේදී සිදු වූ ඒ හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්වුණි. එහෙත්, කිලී මහරාජා මට කැමති නොවුණි. ඔහුට අවශ්‍ය කෙළේ ජවසම්පන්න තරුණයෙකි. අපේ සාකච්ඡාව අවසානයේ තේ පැන් සංග්‍රහයකින් පසු ඒ බව ඔහු මට කෙළින්ම කීවේය.


ඊට කාලයකට පසුව ‘සිරස’ නාලිකාවේ විවිධ සංවාද වැඩසටහන් සඳහා මට නිතර කැඳවීම් ලැබුණි. එසේ තිබියදී එක් ‘අවාසනාවන්ත’ සිදුවීමක් ඇති විය. 2019 යම් දවසක ‘පුරවැසි බලය’ විසින් කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැත්වූ එක් මාධ්‍ය සාකච්ඡාවකදී යම් මාධ්‍යවේදියෙක් දිගින් දිගටම මහබැංකු බැඳුම්කර වංචාව ගැන ප්‍රශ්න අසන්නට විය. මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණේ වෙනත් මාතෘකාවක් වෙනුවෙන් නිසාත්, මහබැංකු බැඳුම්කර වංචාව ගැන ‘පුරවැසි බලය’ අනන්තවත් සිය නිර්දය විවේචන ඉදිරිපත් කොට ඇති නිසාත්, නැවත නැවතත් එකම ප්‍රශ්නය ඇසීමෙන් වළකින්නැයි ඒ මාධ්‍යවේදියාට මම කීවෙමි. එහෙත් ඔහු දිගින් දිගටම එම ප්‍රශ්නයේම එල්ලී සිටිද්දී තරමක් රළු ආකාරයෙන් ඔහුට පිළිතුරු දීමට මට සිදුවිය. මා කීවේ මෙයයි: “මාධ්‍ය වෘත්තිය ගණිකා සේවයේ යොදවන්න එපා!”


එදා රෑ සිට මා ‘සිරස’ රූපවාහිනියේ හතුරෙකු බවට පත් විය. ඒ කෙතෙක්ද යත්, ඊට දින දෙකකට පසු උදෑසන මට පහර ගැසීම සඳහාම වෙනම පැය භාගයක ‘පැතිකඩ’ වැඩසටහනක් වෙන් විය. ඒ වැඩසටහන මෙහෙයවූ බන්දුල ජයසේකර සිය සම්පත්දායකයා වශයෙන් කැඳවා තිබුණේ මා සමග ආරෝව ඇති කරගත් අර කැමරා මාධ්‍යවේදියා ය. ඔහු ලුනුඇඹුල් ඇතිව මගේ ‘තර්ජනය’ අතිශයෝක්තියට නැඟුවේය.

 

සත්තකින්ම ඔහු ‘සිරස’ මාධ්‍ය ජාලයේ කැමරාකරුවෙකැයි මේ සිද්ධිය වෙන අවස්ථාවේ මම දැන නොසිටියෙමි. එසේ දැන සිටියේ නම් එවැනි රළු ආකාරයකින් ඔහුට කතා කිරීමට මා නොපෙළඹෙනු ඇත. එහෙත් ඒ ගැන ‘සිරස’ පාලනාධිකාරියට කරුණු පැහැදිලි කරදීමේ උවමනාවක් මට නොවුණි. මා වාරණයට ලක්කරනු ලැබීමේ නෝක්කාඩුව එසේම තිබියදීත්, ‘සිරස’ පිළිබඳ මගේ අගැයීමේ වෙනසක් නොවුණි. හේතුව ඉතා සරලයි. අඩු වශයෙන් ගත වූ දශක දෙකකට ආසන්න කාලය තුළ, එනම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩිම අනතුරුදායක අවදානමකට මුහුණදී සිටි කාලයක තමන්ගේ මාධ්‍ය වගකීම වෙනුවෙන් නිර්භයව පෙනී සිටි එකම මාධ්‍ය ජාලය ‘සිරස’ ය. එය උඩුගං බලා පිහිනීමකි. ඔවුන්ගේ කුමන සීමාකම් මධ්‍යයේ වූවත් ඒ වනාහී මාධ්‍ය ආයතනයක් විසින් සිය සමාජ වගකීම ප්‍රශස්ත මට්ටමකින් ඉටු කරන සැටි දැකගැනීමට ලැබුණු දුර්ලභ අවස්ථාවකි. විවිධ කෙනහිලිකම්, පහර දීම් සහ ගිනි තැබීම් මධ්‍යයේ පවා ‘සිරස’ නොනැමුණි. ඒ මුදුනේ සිටි කිලී මහරාජා කෝවිඩ් බිල්ලක් වීම මහා හෙනයකි. ස්වභාව ධර්මය පළිගන්නේත් දේශපාලනික ඕනෑඑපාකම් අනුවදැයි එදා මට සිතුණි.

 

මේ කාලයේ තවත් ‘සම්මුඛ සාකච්ඡාවකට’ මම ගියෙමි. එය පැවතියේ ටිරාන් අලස් සමගයි. ඒ, ‘ඉසුර’ ගුවන් විදුලියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ය. ඒ වෙනුවෙන් මැදිහත් වුණේ මංගල සමරවීරයි. (එකල ටිරාන් අලස් සහ මංගල සමරවීර අඹයාළුවන් ය). එවර සාකච්ඡාව සාර්ථක විය. ‘ඉසුර’ ගුවන් විදුලියේ අවුරුද්දක් සිටීමට මට හැකි විය. පසුව, ශ්‍රීපති සූරියආරච්චිගේ සගයෙකු ‘ඉසුර’ ගුවන්විදුලියේ පාලනාධිකාරය තුළට ගෙන ඒමට ටිරාන් අලස් පියවර ගැනීමෙන් පසු මම ඉල්ලා අස්වීමේ ලියුම භාර දුනිමි. 


මංගල සමරවීර නමැති සොඳුරු මිනිසා මට මුලින්ම හමුවන්නේ 1989 දවසක, ‘ශ්‍රාවස්තිය’ නමින් එකල හැඳින්වුණු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි එස්. බී. දිසානායකගේ නිවසේදී ය. තවත් මන්ත්‍රීවරයෙකු වූ නන්දිමිත්‍ර ඒකනායකත් එදා එහි සිටියේය. (ඔහු පදිංචිව සිටියේ ඊට අල්ලපු නිවසේ විය යුතුය). අප බීමෙන් සප්පායම් වන අතරේ, ‘සාගත මල්ලක්’ කරේ දාගෙන, හම්පඩ සෙරප්පු කුට්ටමක් දාගෙන, දාඩිය පෙරාගෙන කාමරයට ඇතුළු වූ මංගල සමරවීරගේ බොහිමියානු රූපය තාමත් මගේ මතකයේ ඇඳී පවතී. අපේ ආ-ගිය කතා කෙතරම් සජීවී විණිද යත්, ඔහු රෑ කෑමටත් නැවතුණි. (ඉඳිආප්ප සහ පොල් සම්බෝල සමග කුකුල් මස්).. නිවාඩුවකට ලංකාවට ගොස් සිටි මා ප්‍රංශය ගැන බීමතින් කයිවාරු ගහන්නට ඇති. ඔහුත් එංගලන්තය ගැන ඔහුගේ අත්දැකීම් කීවා මට මතකයි. එහෙත් අපේ සම්බන්ධය එතැනින් එහාට ගියේ නැත.


ඊට බොහෝ කලකට පසුව ඔහු මට දීර්ඝකාලීනව සමීප වන්නේ, ඔහුගේ ආත්මීය සගයෙකු මෙන්ම මගේ සමීප මිතුරෙකුද වන රුවන් ෆර්ඩිනන්ඩිස්  මාර්ගයෙනි. රුවන් යනු, ලංකාවේ දේශපාලනික බල ව්‍යුහයේ අපූරු දැතිරෝදයකි. ඔහු නැති තැනක් නැත. නොදන්නා කෙනෙකු නැත. 80 දශකයේ ජනතා විමුක්ති පෙරමුණු ප්‍රචණ්ඩ දේශපාලනයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ/එක්සත් ජාතික පක්ෂ ලිබරල් දේශපාලනය දක්වා පමණක් නොව, ‘එක්ස්’ කණ්ඩායම වැනි විකල්ප සිවිල් මතවාද කණ්ඩායම් දක්වාද ඔහුගේ අඬුපඬු විහිදී තිබුණි. සාහිත්‍ය ලෝකයේ මට සිටි සමීපතම මිතුරෙකු වූ දිවංගත ගාමිණී විජේතුංගයන් විසින් මට හඳුන්වා දෙන ලද සහෘදයා ඔහු ය. 2007 මා ලංකාවට ආ දා පටන්, මංගල සමරවීර සමග මගේ සමීප සම්බන්ධයේ කර්තෘකාරකයාද ඔහු ය.  


මංගල යනු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනය තුළ මා දුටු එකම නිර්භය කැරලිකරුවා ය. මොන අර්ථයකින් ගත්තත්, ඒ පොදු ප්‍රවාහයේ එකම ලිබරල්වාදියාද ඔහු ය. ලංකාවේ සමාජ දේහය රෝගී කළ ප්‍රධාන විෂබීජ ද්වය වන ජාතිය සහ ආගම සම්බන්ධයෙන් පමණක් නොව, ඊනියා සදාචාරය සහ ලිංගිකත්වයේ කුහකත්වය නිරාවරණය කිරීමටත් ඔහු කළ අයෝමය පෙනී සිටීම අපේ වැනි චිරාගත සමාජයක සත්තකින්ම වීරත්වයකට ආසන්න වන්නකි. 


තමා සමලිංගික වන බව ප්‍රසිද්ධියේ කියා සිටීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම බටහිර ලෝකයේ නම් මේ වන විට මහ බක්කක් නොවේ. එහෙත් ලංකාව වැනි රටක මංගල සමරවීරට ඒ ‘(අප)කීර්තිය’ පැවරීම ගැන පවා මගේ පැරණි මිතුරෙකු මුහුණුපොතේ විරෝධය දක්වා තිබුණි. ඔහුගේ තර්කය වුණේ, මංගලට කලින් ලංකාවේ ඒ වෙනුවෙන් පෙනී සිටි වෙනත් අයවළුන් සිටි බවයි. ඊට එක් උදාහරණයකට දක්වා තිබුණේ ලයනල් වෙන්ඩ්ට් ය. මෙය, නිශ්චිත ප්‍රස්තුතය සහ නිමිත්ත, අදාළ සන්දර්භය තුළින් උගුල්ලා, හුදු නාමකරණයේ ඡායාව මත පමණක් ආදේශ කිරීමට තැත් කිරීමකි. මෙහිදී නාමකරණය යනුවෙන් මා අදහස් කරන්නේ සමලිංගිකත්වය නමැති සංසිද්ධියයි. දාර්ශනිකයෙකුට, කලාකරුවෙකුට (ලයනල් වෙන්ඩ්ට්) හෝ වෙනත් නිර්නාමික පුද්ගලයෙකුට ඒ හුදු සංසිද්ධිය වෙනුවෙන් පෙනී සිටීමට සාමාන්‍යයෙන් වැය වන්නේ සුළු වියදමකි. සමහරවිට කිසි වියදමකින් තොරව පවා ඒ වෙනුවෙන් පෙනී සිටිය හැකිය. එහෙත් ලංකාව වැනි රටක ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනඥයෙකුට ඒ සඳහා දැරීමට සිදුවන පාඩුව සුළුපටු නොවේ. අපේ රටවල දේශපාලනඥයා යනු, ජනතාවට ඉදිරියෙන් යන පුද්ගලයෙකු නොව, ජනතාවට පසුපසින් හොම්බෙන් ගාටන කෙනෙකි. එනම්, ජනතාව කැමති දෙය පමණක් කිරීමට සැදී පැහැදී සිටින කෙනෙකි. ඡන්දයෙන් තේරී පත්වීමට නිතරම බලන නිසා එසේ හැසිරීමට දේශපාලනඥයාට සිදුවෙයි. ලයනල් වෙන්ඩ්ට් සහ මංගල සමරවීර අතර මේ කාරණයේදී වෙනස සටහන් වන්නේ එතැන ය. මංගල සමරවීරගේ පෙනී සිටීම වෙනුවෙන් විශාල වියදමක් දැරීමට ඇති ඉඩකඩ බොහෝ ය. ඉහත කී මගේ පැරණි මිතුරා, ඩබ්. දහනායක සහ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි චරිත පවා තමාගේ තර්කය සනාථ කිරීම සඳහා දක්වා තිබුණි. එහෙත් ඒ කිසි කෙනෙකු තමන් සමලිංගික හෝ ද්විලිංගික වන බවක් ප්‍රසිද්ධියේ කියා ඇති බවක් හෝ ප්‍රසිද්ධියේ ඒ වෙනුවෙන් ප්‍රතිපත්තියක් වශයෙන් පෙනී සිට ඇති බවක් හෝ අප දන්නේ නැත. ඉතිං, සීසර්ගේ දේ සීසර්ට දීමට අප මැළි වන්නේ ඇයි? 


මංගලගේ අභාවය මා අරභයා දැඩි ‘පියේහි විප්පයෝගෝ දුක්ඛො’ තත්වයක් ඇති වීමට තුඩුදුන් අනිත් හේතුව වන්නේ මංගල මා කෙරෙහි තැබූ ළෙන්ගතු විශ්වාසයයි. 2015 ජනාධිපතිවරණයෙන් දින දෙකකට පසු, එනම් ජනවාරි 10 වැනිදා උදේ රුවන් ෆර්ඩිනන්ඩ් හදිසියේ අපේ ගෙදරට ආවේය. ඒ, රූපවාහිනියේ සභාපති තනතුරේ වැඩ බාර ගැනීම සඳහා මා එක්කරගෙන යාමට ය. මේ වන විට මා, ‘පුරවැසි බලය’ සංවිධානයේ සම-කැඳවුම්කරුවෙකි. ඉතිරි කැඳවුම්කරුවන් හතර දෙනා වුණේ, කේ. ඩබ්. ජනරංජන, ජෝසප් ස්ටාලින්, සමන් රත්නප්‍රිය සහ ධර්මසිරි බණ්ඩාරනායකයි. අප අතරේ එදා පොදු එකඟතාවක් තිබුණි. එනම්, යහපාලන රජය බලයට පත්වුවහොත්, වැටුප් හෝ වෙනත් දීමනා ලබන රජයේ තනතුරක් බාර ගැනීමෙන් අප කිහිප දෙනා වැළකී සිටිය යුතුය යන්නයි. (අපේ සෙසු සාමාජිකයන්ට එය වලංගු නොවුණි). එසේ හෙයින් මංගල සමරවීරට ස්තුතිවන්ත වෙමින් ඒ තනතුර ප්‍රතික්ෂේප කිරීමට මට සිදු විය. (පසු අවස්ථාවක, විශේෂ පසුබිමක් තුළ, ධර්මසිරි බණ්ඩාරනායක ජනාධිපති කාර්යාලයේ කලා/සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ තනතුර භාරගැනීම අපේ එකඟත්වය සහ අනුමැතිය මත සිදුවූවකි).  


2017 ජුනි මාසයේ දවසක මංගල මට කතා කෙළේය. ඒ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තනතුර භාරගන්නැයි ඉල්ලීමටයි. (ඒ මොහොතේ ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා සම්බන්ධයෙන් මතු වී තිබූ හදිසි ප්‍රශ්නය කුමක්දැයි මට දැන් මතක නැත). එහෙත් ‘පුරවැසි බලය’ විසින් ගෙන තිබූ ප්‍රතිපත්තිය මත පිහිටා එදාත් එය ප්‍රතික්ෂේප කිරීමට මට සිදු විය. එහෙත්, මංගලගෙන් එක වරයක් ලබා ගැනීමට මට හැකි විය. එනම්, මා වෙනුවෙන් වෙනත් කෙනෙකු ඒ සඳහා නිර්දේශ කිරීමට දවසක් කල් ගැනීමයි. ඒ අනුව, සුදර්ශන ගුණවර්ධන සමග ඒ ගැන කතා කිරීමෙන් පසුව, ඊට පසුවදා ඔහුගේ නම මම යෝජනා කෙළෙමි. සුදර්ශන සම්බන්ධයෙන් යම් කුකුසක් ජනාධිපතිවරයා තුළ තිබුණි. ඒ වන විට සුදර්ශන යම් රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු වීම ඊට හේතුවයි. එහෙත් වැඩිදුරටත් කරුණු දැක්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට මංගල සමත් විය. සුදර්ශන මොන තරම් හොඳින් ඒ තනතුරේ රාජකාරි කෙළේද යත්, පසුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයටත් මංගල ඔහුව පත්කර ගත්තේය.


(තවත් බොහෝ දේවල්වලට අමතරව) මේ සියලු තොරතුරු, පුද්ගලයෙකු වශයෙන් මංගල සහ මා අතර ඇති වූ සිද්ධීන්ට සම්බන්ධිතයි. ඒවා පිළිබඳ ස්මරණයෙන් මට මේ මොහොතේ වැළකී සිටිය නොහැක්කේ, ඔහුගේ අභාවය තුළ, පුද්ගලයෙකු සහ මනුෂ්‍යයෙකු වශයෙන් අප අතර පැවති බැඳීම විසින්, අනිත් සියලු කරුණුවලට ඉහළින් ඒවා ඉබේ ඔසවා තැබෙන බැවිනි. එසේ වන්නේ අපේ පෘථග්ජන මිනිස් ස්වභාවය නිසා ය. එහෙත්, ඒ සමීපස්ථ මිනිස් ස්වභාවයෙන් එළියට ආ විට මා දකින මංගල සමරවීර නමැති දේශපාලනඥයා ඊට වඩා තරමක් වෙනස් බව කීමටත් මම මැළි නොවෙමි. බලකාමය වෙනුවෙන් අතීතයේ ඇතැම් අවස්ථාවල ඔහුගේ ක්‍රියාකලාපයන් පිළිබඳ මට වෙනම විවේචනයක් තිබේ. එහෙත් එහිදී පවා, ඒ අතීතය පිළිබඳ ඔහුගේ හෘදසාක්ෂිය එක් අවස්ථාවකදී ඔහුටම බරක් වූ සැටි, ඔහුගේ අවසාන කාලයේ චර්යාවෙන් අගේට පෙන්නුම් කෙරුණි. සම්මත දේශපාලනයෙන් ඔහු සමුගත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ අවමංගල හසුන වෙනුවෙන් මට වැදගත් වන්නේ, ඔහුගේ ඒ අව්‍යාජ හෘදසාක්ෂිය මිස ‘කුරුඳු පොල්ල’ නොවේ. ඒ මිනිසා සදහට නිදාගෙන අදට (24) හරියටම මාසයකි.

 

මගේ අම්මා සහ තාත්තා මළ දවසේ මට හඬන්නට අවශ්‍ය විය. එහෙත් මොන විදිහකින්වත් මගේ දෑසට කඳුළු උනාගැනීමට මට එදා නොහැකි විය. ඊට හේතු වූයේ, කාලයක් තිස්සේ යාන්ත්‍රකිව ප්‍රගුණ කොට තිබූ ව්‍යාජ විප්ලවීය මනෝභාවයක් යැයි අද මට සිතෙයි. එහෙත් දැන් අවුරුදු ගණනක සිට විවිධ කරුණු සම්බන්ධයෙන් මට හැඬුම් එයි. එය වයසට යද්දී සිදුවන දෙයක්ද, නැත්නම් ඉස්සර තිබූ ගස්-ගල් මනෝභාවයෙන් නිදහස් වීමට හැකි වීමේ ප්‍රතිඵලයක්දැයි, වෙලාවක් තිබුණොත්, සොයා බැලිය යුතුය. ජිප්සීස් සුනිල්ගේ මරණය ගැන පැවති රූපවාහිනී වැඩසටහනක් බලද්දී මට හැඬුම් නතර කරගත නොහැකි විය. පුංචි සන්දියෙන් පසු, නතර කරගැනීමට ආයාසයක් නොගෙන නිදහසේ මා හැඬුවේ එදා ය.


කිලී මහරාජා සහ මංගල යන දෙදෙනාම, සම්මත බල යාන්ත්‍රණය තුළ මට හමු වූ පුද්ගලයන් ය. ඔවුන්ගේ අවශ්‍යතා සහ න්‍යායපත්‍ර කවදත් ගැටගැසී තිබුණේ බල අවශ්‍යතා සමග ය. ජිප්සීස් සුනිල් යනු, ඒ බල යාන්ත්‍රණයෙන් පිටස්තර අවකාශයක මට මුණගැසුණු උත්තම පුරුෂයෙකි. ඔහුගේ අදහස් සහ ආකල්ප සමග ඔහුගේ සැබෑ භාවිතය පෑහුණි. එය, දේශපාලනඥයන් තුළ දකින්නට නැති ලක්ෂණයකි. රටක් විනෝදවත් කිරීමට ඔහු තුළ තිබූ ලාලසාව, ඒ ආකාරයෙන්ම මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය නඟා සිටුවීමටත් ඔහු තුළ තිබීම, මා මවිතයට පත්කළ වැදගත්ම ලක්ෂණයයි. 


අලුත් සිවිල් ව්‍යාපාරයක් ගොඩනැඟීමේ අදහසක් මතුව තිබූ 2013 හෝ 2014 යම් කාලයක ඒ සඳහා ජිප්සීස් සුනිල් සම්බන්ධ කරගැනීමට අපට අවශ්‍ය විය. නැවතත් රුවන් ෆර්ඩිනැන්ඩිස්ගේ සම්බන්ධතා ජාලය ඔස්සේ ජිප්සීස් සුනිල්ගෙන් දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමට අපට හැකි විය. එදා ඔහු හමුවීමට ගියේ මාත්, වික්ටර් අයිවනුත් ය. අපට උදව් කිරීමට ඔහු කැමති වූවත්, කෙළින්ම එවැනි ව්‍යාපාරයකට මැදිහත් වීමට ඔහුගේ කැමැත්තක් නොවුණි. කෙසේ වෙතත්, තවත් කිහිප වරක් මා ගොස් ඔහු හමුවීමෙන් පසු, ‘පුරවැසි බලය’ වේදිකාවට නැඟීමට ඔහු එකඟ විය. ඒ අනුව, අනුරාධපුරය, නුවර, කෑගල්ල, කුරුණෑගල, ගම්පහ, හොරණ සහ ගාල්ල ආදී ලංකාවේ විවිධ තැන්වල පැවති ‘පුරවැසි බලය’ වේදිකාවට ඔහු ආවේය. කතා පැවැත්තුවේය. 2015 ජනාධිපතිවරණයේ අපේ අවසාන රැළිය තිබුණේ බොරැල්ලේ කැම්බල් පිටියේ ය. එහිදී ඔහු මෙසේ කීවේය: “සංගීතයට පිටස්තර කිසි දෙයක් වෙනුවෙන් වේදිකාවකට නඟින්නෙ නැහැ කියලා මං තීරණයක් අරගෙනයි හිටියේ. ඒත්, පූරුවේ කරුමක්කාරයෙක් වගේ මේ වියන්ගොඩ කියන මිනිහා මගේ පස්සෙන්ම පැන්නුවා.”


තමන් පිළිබඳ වර්ණනා කරගැනීම අශෝභනයි. ස්වයං-චරිතාපදානයකදී මිස, එය ලේඛකයෙකු නොකළ යුත්තකි. (ඒ ගැන මට ලජ්ජාවක් තිබේ). එහෙත් මේ මිනිසා ගැන මගේ හෘදයාංගම අගැයීම කියාපෑ හැකි වෙනත් ක්‍රමයක් මට සිතාගත නොහැක. ඒ තරමට ඒ බැඳීම සහෘදයි. මානුෂීයයි. හත් අවුරුද්දක අපේ ළෙන්ගතුකම, උපන් දා සිට තිබී ඇති සෙයක් මට දැනෙන්නේ ඒ නිසා විය හැකිය. 


ඔහු මියයන්නට දින හතරකට හෝ පහකට කලින් මම ඔහුට දුරකථනයෙන් කතා කෙළෙමි. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 14 වැනිදා මතකදැයි එවිට ඔහු මගෙන් ඇසුවේය. මගේ ඒ ගැන මතකයක් නොවුණි. ඔහු මට කතාව මතක් කර දුනි. 

 

2020 සැප්තැම්බර් 14 ට යෙදී තිබුණු, අපේ කල්‍යාණ මිත්‍ර විශේෂඥ වෛද්‍ය රංජිත් පතිරණගේත්, ඊට පසුවදාට යෙදෙන (‘අනිද්දා’ නියෝජ්‍ය කර්තෘ) ලසන්ත රුහුණගේගේත් උපන්දිනය අපේ නිවසේ සැමරීමට යොදාගෙන තිබුණි. ඊට මම ජිප්සීස් සුනිල්ටත් ආරාධනා කෙළෙමි. (අපේ නිවසේ නිතර සිදුවන ‘සෙට්’ වීම්වල ඔහුද නිත්‍ය සාමාජිකයෙකි). එදාට යම් සංගීත කටයුත්තක් ඇති මුත්, එය අවසන් කළ වහාම එන්නෙමැයි ඔහු පොරොන්දු විය. එදා රෑ එකොළහට පමණ ඔහු ආවේය. ඔහු ගෙට ගොඩවුණේ මෙසේ කියාගෙනයි. “ගාමිණී, මගෙත් උපන්දිනේ අද!” ඉතිං, එදා රෑ fදාළහට කේක්ගෙඩියක් කපා තුන්දෙනෙකුගේ උපන්දින අපි එක විට සැමරුවෙමු. එහෙත් ඒ, ජිප්සීස් සුනිල්ගේ අවසන් උපන්දිනය වෙතැයි සිහිනෙන්වත් අප සිතුවේද! ඒ සිද්ධිය මේ මාසයේ මුල සතියේ ඔහු මට මතක් කර දෙන විට ඔහුගේ ඊළඟ උපන්දිනයට (2021 සැප්තැම්බර් 14) තිබුණේ තව දවස් ගණනකි. එහෙත් කාලය ඊට කලින් නතර විය!


මේ තුන්දෙනාත්, තව fදාළොස් දහසකට අධික මා නාඳුනන අහිංසක මිනිසුන්ගෙන් වැඩි දෙනෙකුත් මරණයට පත්විය යුතුව සිටි මිනිසුන් නොවේ. ඒ මරණවලින් බොහොමයක් අයත් වන්නේ මිනිස් ඝාතනය නමැති අපරාධයටයි. හෙවත්, වළක්වාගත හැකිව තිබූ මරණ ප්‍රවර්ගයටයි. එලියන්ත වයිට් යනු සාපරාධී මනුෂ්‍ය ඝාතකයෙකු නොවේ නම්, අඩු වශයෙන් ඒ අපරාධයේ සක්‍රීය සහායකයෙකි. මෙය, අතිශයෝක්තියට නැඟූ චෝදනාවකැයි ඔබට සිතේද?

 

එසේ නම් වෙනත් රටක ආදර්ශයක් ගැන සඳහන් කිරීමට මට අවසර: කෝවිඩ් වසංගතය පැතිරෙන අවස්ථාවේ ප්‍රංශයේ සෞඛ්‍ය භාරව සිටියේ ලංකාවේ මෙන්ම ඇමතිවරියකි. වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇය, “චීනයෙන් කෝවිඩ් පැමිණීමේ ප්‍රායෝගික අවදානමක් ප්‍රංශයට නැතැ” යි, 2020 ජනවාරි මාසයේදී කීවාය. ඊට මාසයකට පසුවත්, “තවම සුනාමියක් ඇවිල්ලා නැහැනේ!” යි ඈ පාරම්බෑවාය. මීට සති දෙකකට කලින් ඇය අධිකරණය ඉදිරියට පමුණුවනු ලැබුණි. චෝදනාව වන්නේ, “වෙනත් අයගේ ජීවිත අවදානමට හෙලීමයි”. ඇය සමග, එදා අගමැති වශයෙන් සිටි පුද්ගලයාද අධිකරණය ඉදිරියේ මේ වන විට එම චෝදනාවට ලක්ව සිටී. මොවුන් මේ විනාශයට වගකිව යුතු බවට ප්‍රංශ පුරවැසියන් 14,500 දෙනෙක්, අද වන විට මේ විශේෂ අධිකරණය ඉදිරියේ පැමිණිලි ගොනු කර තිබේ. 


ලංකාවේ දාළොස් දහසකට අධික පිරිසකට ජීවිත අහිමි වී ඇත්තේ, බලධාරීන් විසින් විද්‍යාත්මක පිළිතුරක අවශ්‍යතාව පිළිනොගැනීමත්, නියමිත වෙලාවට එන්නත ලබා ගැනීමට යොමු නොවීමත්, කල් පසු වී හෝ ලබා ගත් එන්නත විද්‍යානුකූල ක්‍රමයකට (පළමුව වැඩිහිටි ජනතාවට ආදී වශයෙන්) ලබා නොදීමත්, ඒ සියල්ලටමත් වඩා, මිථ්‍යාව කරේ තබා ගැනීමත් (පැණි පෙවීම සහ ගඟට කළ දැමීමත්) නිසා ය.


මේවාට වගකිවයුත්තන් අපේ අධිකරණයක් ඉදිරියට පමුණුවන්නේ කවදාද? කවුරුන්ද? 



ගාමිණී වියන්ගොඩ


අන්තර්ජාලයට අදාළ නව නීති පැනවීම යුක්ති යුක්තද ?

 


අන්තර් ජාලය හරහා සිදුකරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ වලින් ආරක්ෂා වීම පිණිස අවශ්‍ය නීති පැනවීම හා බෞද්ධ ප්‍රකාශන පළකිරීම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතක් සැකසීම පිළිබඳ පසුගියදා ඉදිරිපත් වූ කැබිනට් තීරණය සම්බන්ධයෙන් සිරස 'පැතිකඩ' වැඩසටහන සමග එක්වෙමින් අදහස් දැක්වූ නීතිඥ ජගත් ලියන ආරච්චි පෙන්වා දුන්නේ මෙවැනි නීති පැනවීම පීඩාකාරී පනත් ගොන්නට මුසුවන බවත් එවැනි නීති පවතින රටක මානව හිමිකම් සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගෙන්නේ නැති බවත්ය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

''අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යම් යම් නීති පද්ධති යටතේ නියාමනය වෙලා තියෙනවා. ඊටත් එහා ගිහිං තවදුරටත් පාලනය කරන්න යනකොට ඒ නීතිය වැටෙන්නේ අනිවාර්යයෙන්ම කළු නීති ගොඩට. ඒ කියන්නේ අර පීඩාකාරී නීති ගොන්නට. එතකොට, එවැනි නීති තියෙන රටක් සම්බන්ධව මානව හිමිකම් පැත්තෙන් ගත්තම එච්චර හොඳ ප්‍රතිරූපයක් එන්නේ නැහැ. එතකොට එවැනි රටක අපිට කටයුතු කරන්නට වෙන්නේ, ඉතාම බයෙන් හා සැකයෙන් අදහස් ප්‍රකාශ කරන්න වෙන්නේ. ඒක කොච්චර දුරකට අපි දැනගෙනද ?, නොදැනගෙනද ?, සමහරවිට අපි අන්තර් ජාලයේ සැරිසරන ගමන් ෆේස්බුක් එකේ බැරිවෙලා ඇගිල්ලක් වැදිච්ච එකකින් වුණත් අපි හිරේ යන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ නීතියේ ස්වභාවය අනුව. අනිත් කාරණේ වෙන්නේ ගොඩක් වෙලාවට යම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ලවන යම් සීමා කිරීම් අසත්‍ය ප්‍රකාශන, හානිකර ප්‍රකාශන, වෛරී ප්‍රකාශන ඒවා පිටුදැකීම සඳහා ඒකට අදාළ වෙනම නීතියක් ගෙන එනවාට වඩා ලෝකේ කරලා තියෙන්නේ, ඒ විශේෂ නීති වල ඒවට අදාළ කොටස් එකතු කිරීම.

උදාහරණයක් විදියට මැතිවරණයකදී අසත්‍ය මැතිවරණ ප්‍රකාශන සිදුකිරීම තහනම් කරලා තියෙනවා. ඒ මැතිවරණ අපේ රටේ තහනම් කරලා තියෙනවා.'' යන්නයි. 



අසත්‍ය පුවත් පාලනයට ගෙනා නව නීතිය මාධ්‍යට වැට බඳී ?


අන්තර්ජාලය මඟින් සිදු කෙරෙන අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂා වීමට අවශ්‍ය නීති පැනවීමට අදාළ පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහසට ඉතාමත් අහිතකර එකක් විය හැකි බවට අනතුරු අඟවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම තීරණය ගැන සිය අප්‍රසාදය පළ කර සිටී. අධිකරණ අමාත්‍යවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්ව 2021 අප්‍රේල් 20 දින පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය මේ අනුමැතිය ලබා දී ඇත.

අන්තර්ජාල මාධ්‍ය මඟින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හා වෛරී ප්‍රකාශ නිසා සමාජය අතර බෙදීම් ඇතිවීම, ආගමික, ජනවාර්ගික ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කිරීම මෙන්ම සමාජ යහපත වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයන් හා කණ්ඩායම් ද අවාදානමට ලක් කිරීම සිදු කළ හැකිය. ඒවා සිදුවීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා දැනට සිදුවන  නියාමනයන් ගැන විවාදයක් නැත. නමුත් නියාමනය වෙනුවට රජයක් මැදිහත් වී මර්දනකාරී නීති ගෙන ඒමෙන් සිදු වන්නේ බලධාරීන්ට අවශ්‍ය ආකාරයට ‘’අසත්‍ය පුවත් යන්න’’ අර්ථකතනය කර මාධ්‍ය මර්දනය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට ඉඩ සැලසීමකි. ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට අසත්‍ය පුවත් යොදා ගන්නා බව කැබිනට් මණ්ඩලයේ තීරණය සම්බන්ධයෙන් දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එයින් පෙනී යන්නේ රජයේ හෝ වගකිවයුතු පුද්ගලයන්ගේ අකටයුතුකම්, අක්‍රමිකතා විවේචනය කිරීම අසත්‍ය පුවත් ලෙස නිර්වචනය කොට මාධ්‍යවේදීන් හෝ සමාජ ක්‍රියාකාරිකයන් හෝ මර්දනය කිරීමේ හැකියාව පවතින බවයි. 

අන්තර්ජාල මාධ්‍ය හරහා සිදුවන අසත්‍ය හෝ වෛරය ඇති කරන පුවත් නියාමනයක් එම මාධ්‍ය ජාලා මඟින් යම් දුරකට සිදු වේ. දැනට පවතින නියාමනය යනු එයයි. එමෙන්ම  එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය  නීතිද රට තුළ පවතී. විශේෂයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ සමහර ප්‍රතිපාදන ඇතත් එය අවිචාරවත් ලෙස අවභාවිත කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථා  සම්බන්ධ අත්දැකීම් ද පවතී. එවැනි තත්ත්වයක් තුළ  තවත් අලුත් නීති අදහස් ප්‍රකාශ කිරීම පාලනයට ගෙන ඒම ඉතා අවදානම් තත්ත්වයකි.

2002 වසරේ අහෝසි කරන ලද සාපරාධී අපහාස නීතිය යටතේ ද මාධ්‍යවේදීන්ට හිරිහැර සිදු විය. අන්තර්ජාල මාධ්‍ය පාලනයට ගෙන එන නීතියක් එතැනින් නිතර වේයැයි විශ්වාස කළ නොහැකිය. අනෙකුත් සම්ප්‍රදායික මාධ්‍යයට ද ඒ මර්දන හස්තය දිගු නොවේයැයි සිතන්නට කාරණා නැත. අන්තර්ජාල මාධ්‍යවලින් මෙන්ම අනෙකුත් සියලු මාධ්‍යවලින් වගකීම් සහගත හැසිරීමක් බලාපොරොත්තු වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු මාධ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ  ගෙන ඒමට සූදානම් මෙම නව නීතිය වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසයි.


 

                                                               


''පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා'' - අගමැති



පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර දෙකක් සපිරෙන අතර, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සභාගැබේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමකට අනුව මෙම නිහඩතාව පැවැත්වූ අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු කොමිසම මගින් හෙළිදරව් කර ගත් තොරතුරු පදනම්කරගෙන සකස් කළ වාර්තාව සහ අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. 

අධිකරණ ක්‍රියාමාර්ග සඳහා රජය මැදිහත් නොවන බව සඳහන් කළ අගමැතිවරයා එම අධිකරණ ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමසඳහා අවශ්‍ය සහාය ලබා දෙන බව සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන විමර්ෂන කටයුතු ඉතා ස්වාධීන සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සලසා දී ඇතැයිද පෙන්වාදුන්නේය. 



20 න් මාධ්‍ය නිදහස උල්ලංඝණය වීමේ අවදානමක



සැප්තැම්බර් මස 02දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලැබී ඇති, අසීමිත ලෙස ජනාධිපති බලතල තහවුරු කරමින් ගෙන ඒමට යෝජිත 20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහසට එල්ල විය හැකි බරපතල අභියෝග සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි කනස්සල්ල පළ කර සිටී.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඇති කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහ ව්‍යුහයන් ඉවත් කර ඇති 20 වැනි සංශෝධනයට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට බරපතල අභියෝග එල්ල විය හැකි එක් ප්‍රධාන කාරණයක් වන්නේ ස්වාධීන කොමිසන් සභා තව දුරටත් ස්වාධීන නොවන තත්ත්වයකට පත්වීමය. ඒවා සඳහා සාමාජිකයන් පත් කරන ලද්දේ ව්‍යවස්ථාදායක සභාවක් හරහාය. 20 වැනි සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කොට පාර්ලිමේන්තු සභාවක් පත් කිරීමට නියමිත අතර එයට සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළත් වන්නේද නැත. දේශපාලන නියෝජිතයන් පමණක් ඇතුළත් එම සභාවට පැවරී ඇත්තේ ජනාධිපතිවරයා විසින් කොමිසම්වලට පත්කරන සාමාජිකයන්ගේ නාම යෝජනා සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූයේ ව්‍යවස්ථාදායක සභාව ඉදිරිපත් කරන නාම යෝජනා සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමයි. කෙසේ වෙතත් මෙය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට අභියෝගයක් වන්නේ එම පත්කිරීම් ජනාධිපතිවරයාගේ අභිමතයට යටත් හිතවාදී පිරිස් මිස ස්වාධීන පුද්ගලයන් නොවන නිසාය. පත්කිරීම් මෙන්ම ඉවත් කිරීමේ බලය ද ඇත්තේ ජනාධිපතිවරයාට ය.

ස්වාධීන මැතිවරණ කොමිසමට ආණ්ඩුවට හිතවාදී පුද්ගලයන් පත් කිරීමෙන් පවත්වන මැතිවරණ ස්වාධීන හා නිදහස් මුහුණුවරක් ගනීදැයි ගැටලුවකි. මැතිවරණ කාලවල මාධ්‍ය හැසිරීම් සම්බන්ධයෙන් නිකුක් කරන මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කිරීම හා ඒ අනුව ක්‍රියාත්මක වේදැයි සොයා බැලීම ස්වාධීන නොවන කොමිසමකින් තව දුරටත් සිදුවේද යන්න ගැටලුවකි. එමඟින් ජනතාවගේ මතය ප්‍රකාශ කිරීම නිදහස් වේද, මාධ්‍ය ක්‍රියාකාරිත්වය සාධාරණ  වේද යන්නද ගැටලුවකි. මැතිවරණ කොමිසම මෙන්ම රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, වැනි කොමිසන් සභාවලට ද ජනාධිපතිවරයා කැමැති පුද්ගලයන් පත්වීමෙන් ඒවා තව දුරටත් ස්වාධීන වේද යන්න ගැන සිතා බැලිය යුතුය. ඒවා ස්වාධීනව කටයුතු නොකරන්නේනම් ජනතාවගේ මතය නිවැරැදිව ප්‍රකාශ නොවේ. මාධ්‍යයට ද නිදහස්ව ක්‍රියාකිරීමේ ඉඩකඩ ඇහිරේ. පොලීස් ප්‍රධානීන් දේශපාලනික පත්වීම් සහිතනම් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම්, නිදහසේ රැස්වීම්, ගමනාගමනය යනාදී මානව අයිතීන්වලට බාධා පැමිණීම නොවැළැක්විය හැකිය. වාර්තාකරණයේදී මාධ්‍යයට බාධාකිරීම්වලට මුහුණ දීමට සිදු වනු ඇත. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් තොරතුරු දැනගැනීමේ අයිතිය 20 වැනි සංශෝධනයෙන් වෙනස් වී නොතිබුණද තොරතුරු කොමිසමට කරන පත්කිරීම් කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක් නැති වීමද ගැටලුවකි. අනෙක් කොමිසම්වලට මෙන්   ජනාධිපතිවරයාගේ නාම යෝජනා අනුව සිදු වන්නේනම්  එහි ක්‍රියාකාරිත්වය පිළිබඳවද සැකසංකා මතු කරන්නට සිදු වී තිබේ. තොරතුරු පනත භාවිතා කරමින්  මාධ්‍යවේදීන් කළ හෙළිදරව් කිරීම් හරහා ජනතාව ලබා ගත් ජයග්‍රහණ ද ඇණ හිටී.

අග්‍ර විනිශ්චයකාර තනතුර ඇතුලු විනිසුරුවරුන් පත් කිරීම සහ රටේ ඉහළම තනතුරු සඳහා සියලු පත් කිරීම්  ජනාධිපතිවරයා විසින් සිදු කරන දේශපාලන පත්වීම් බවට පත් වන විට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුලු මානව හිමිකම්වලට සහ මාධ්‍ය නිදහසට ගැටලු මතුවීම පිළිබඳ සැක සංකා ඇති වීම අහඹුවක් නොවන බවට අත්දැකීම් ඕනෑතරම් ඇත. මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කර ඇති අපරාධ සම්බන්ධයෙන් මේ වන විට ආරම්භ කර ඇති පරීක්ෂණ කිහිපය  පවා මේ තත්ත්වය යටතේ අඩපණ වනු ඇතැයි සැකයක් මතුවීම සාධාරණය. ජනතාවගේ දැනුමකින් තොරව,  පැය 24න් හදිසි පනත් ගෙන ඒමට ඉඩකඩ සලසා තිබීම ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු අංග අවදානමට ලක් කරන්නක් බව අමුතුවෙන් කිවයුතු ද නොවේ. එහෙයින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වී ඇති බරපතල අවදානම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා සුරක්ෂිත කළ යුතු  ව්‍යවස්ථාවට යෝජිත 20 වැනි සංශෝධනය තුළ අන්තර්ගත දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී කාරණා  සම්බන්ධයෙන්  වඩා විචාරශීලී ආකාරයෙන් යළි සලකා බලන ලෙස වගකිව යුතු සියලු පාර්ශ්වවලින්ද ඉල්ලා සිටී.

                                                                       

                                                                     


පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්


තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා යළිත් වරක් උසාවිය නොමග යැවීමේ උත්සාහයක නිරත වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වා සිටියි.

සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදු වූ මුදල් ගනුදෙනු කීපයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන පරීක්ෂණය ඊයේ (30) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නාටකය රඟදක්වා තිබේ. 

විශ්ව ශක්ති වෙළෙන්දා හෙවත් කැලුම් වීරසිංහ මුලින් උසාවියට කරුණු දක්වා සිටියේ තමන්ට අයත් ගිණුම්වලින් සිදු වූ ගනුදෙනු 23ක් පිළිබඳව සැක සහිත බවයි. එහෙත් අධිකරණ නියෝග මත පවත්වනු ලැබූ ස්වාධීන විගණනය මගින් අනාවරණය වූයේ කැලුම් දන්නෙවත් නැතැයි කී මෙම මුදල් ගනුදෙනු සියල්ල ගැනම ඔහුගේ ජංගම දුරකතනයට SMS පණිවුඩ ලැබී ඇති බව, මාසිකව බැංකුවෙන් ගෙදරටම එවන ගිණුම් ප්‍රකාශනයේ එම සියලු ගනුදෙනු ගැන විස්තර අඩංගු බව සහ ඊට අදාළ සියලු ලේඛන ඔහු විසින් ම අත්සන් කොට ලබා දී ඇති බවත් ය. කැලුම්ගේ පළමුවැනි බොරුව එසේ නිරුවත් විය.

පළමුවෙනි බොරුව නිරුවත් වීමෙන් පසුව ලැජ්ජාව වසාගැනීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වී සිටින කැලුම්ගේ පාර්ශ්වය අද දින උසාවියට පවසා ඇත්තේ තමන්ගේ සමාගමට ලබාගෙන ඇති වාහන 10කට අදාළ ණයවර ලිපි (LC) සම්බන්ධව තමන්ට සැක පවතින බව ය. ඒ ගැන වෙනම විගණනයක් කරන මෙන් විගණන ආයතනයට නියෝග කරන ලෙස ඔවුන් අද දින ඉල්ලා සිටින ලදී. හාස්‍යයට කරුණ වන්නේ කැලුම් වීරසිංහ හොර වෙදා පොලිසියට එදා මෙදා තුර ලබා දුන් එක කටඋත්තරයක වත් වාහන ගැන කිසිදු කතාවක් නැති වීමයි. එසේ නම් කැලුම් වීරසිංහට මේ වාහන 10 ගැන සැක මතුවූයේ අද උදේ උසාවි එන්න පෙර නාන කාමරයේදී දැයි අපට සිතේ. 

කැලුම් වීරසිංහ හොර වෙදා මේ කරන වැඩේ තේරුම් ගන්න නීති උපාධියක් අවශ්‍ය නැත. කැලුම් වීරසිංහ මේ කරන්නේ එක එක දවසට "අරක සැකයි, මේක සැකයි" කියමින්, උසාවියේ කාලය නාස්ති කිරීමයි. බැංකුව වෙනුවෙන් අධිකරණයට සැළ කර ඇත්තේ ගරු අධිකරණයේ නියමය පරිදි බැංකුව දැනටමත් ස්වාධීන වෝහාරික විගණනයක් සිදුකරවා අදාළ අවසාන වාර්තාව ගරු අධිකරණය වෙත ලබා දී ඇති බවත්, ඊට අමතරව විගණනයක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා සිය උපරිම සහයෝගය ලබාදිය හැකි බව සහ ඊට අදාළ සියලුම වියදම් කැලුම් වීරසිංහට දැරිය හැකි බවත් ය. 

ගරු අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ ද මේ දක්වා ඒ සම්බන්ධව කැලුම් වීරසිංහ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කොට නොමැති බවත් අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලීමක් CID වෙත කරන ලෙස සහ එකී ඉල්ලීමට අදාළව CID විසින් ගරු අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඒ සඳහා සුදුසු නියෝගයක් කිරීමට සලකා බලන බවයි. 

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තවත් ටිකක් ඕනෑ යැයි සිංහල ප්‍රස්තාව පිරුළක් ඇත්තේ නිකම් නොවේ.




විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වෙදාගේ පොළී ජාවාරම හෙළිවෙයි



විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන බවට පවසා වසර ගණනක් තිස්සේ අසරණ රෝගීන් මුළා කළ එක්තරා ජාවාරම්කරුවකුගේ තවත් හොර ජාවාරමක් හෙළිවෙමින් පවතින බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග වෙතින් දැනගන්නට ලැබේ. ඔහු නමින් කැලුම් හර්ෂ වීරසිංහය. ඒ, මේ දිනවල කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් හේතුවෙනි. සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදු වී ඇති මුදල් ගනුදෙනු කීපයක් සම්බන්ධව රහස් පොලීසිය විසින් කරගෙන යනු ලබන විමර්ශනයේදී මේ කරුණු අනාවරණය වී තිබේ.

වාර්තා වන අන්දමට මෙම පුද්ගලයා තමන්ට විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකිරීමේ බලයක් ඇති බව පවසා කලක පටන් අසරණ රෝගී ජනතාව මුලාකරමින් මුදල් උපයා ඇති අතර, එම මුදල් තැන්පත් කර තිබූ සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවද නොමඟ යවමින් අයථා මුදල් ගනුදෙනු වල නිරත වී ඇති බව වාර්තා වේ.

බැංකුව නොමඟ යවමින් බැංකුවේ වෙනත් ගනුදෙනුකරුවන්ට නිතිවිරෝධී ලෙස මුදල් පොළියට දී ඇති මෙම පුද්ගලයා කෙරෙහි ඉව වැටුණු සම්පත් බැංකුව, දිවයිනේ කීර්තිමත් ම විගණන ආයතනයක් හරහා කළ විගණනයකින් මෙම ගනුදෙනු පිලිබඳ මූලික විස්තරයක් අනාවරණය කරගෙන ඇත.

ඉන්පසුව මෙය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී තවත් ස්වාධීන විගණන ආයතනයක් විසින් කෙරුණු වෝහාරික විගණනයකින් පසුව මෙම ගනුදෙනු සම්බන්ධ තොරතුරු තහවුරු කරගෙන ඇත. 

පරීක්ෂණ වලින් හෙළිවෙමින් පවතින ජාවාරම් චෝදනා වලින් ගැළවෙනු පිණිස මෙම හොර වෙදා දැන් එම ගනුදෙනු තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුවූ ඒවා බව පවසමින් සිටියි. එහෙත්, විගණන වාර්තා අනුව ඔහු සිය ගිණුමේ සිදුවූ සෑම ගනුදෙනුවක් සම්බන්ධවම පූර්ණ ලෙස දැනුවත් වී සිටි බව සැකයකින් තොරව සනාථ වී තිබේ. ඔහු දන්නේ නැතැයි කියන සෑම ගනුදෙනුවක් ගැනම ඔහුගේ ජංගම දුරකථනයට SMS පණිවිඩයක් මගින් දැනුම් දී ඇති බවත්, ඊට අමතරව සෑම මසකම අවසානයේ ගිණුම් වාර්තා ඔහුට තැපෑලෙන් ලැබී ඇති බවටත් මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. එබැවින්, මෙම ගනුදෙනු ගැන වගකීමෙන් නිදහස් වීමට ඔහුට හැකියාවක් නැත. 

අධිකරණ උපදෙස් පරිදි පැවැත්වූ ස්වාධීන විගණන පරීක්ෂණයේ නිල වාර්තාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදහස ලබන බ්‍රහස්පතින්දා (ජූලි 30) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එමගින් මෙම කූඨ ව්‍යාපාරිකයාගේ පොළී ජාවාරම ගැන සැබෑ තතු හෙළිවීමට නියමිතය. පිටු සිය ගණනකින් යුතු දීර්ඝ වාර්තාවක් වන මේ විගණනයේ පරීක්ෂණ කටයුතු කඩාකප්පල් කරනු පිණිස මෙම ජාවාරම්කරුවා කීපවිටක්ම උත්සාහ ගෙන තිබූ බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම විගණනය අතරමඟ නවතනු පිණිස සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මෙම ජාවාරම්කරුවා විටින් විට ගරු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සිටියේ මෙම ජාවාරමට බැංකු කළමනාකාරීත්වය වගකිව යුතු නැති බවට අධිකරණයේ විශ්වාසය තහවුරු කරමිනි. 

අහිංසක මිනිසුන් රවටා මුදල් ගරාගන්නවා පමණක් නොව, එසේ උපයාගත් මුදල් පොළී කරමින් අහිංසක ජනතාවගේ දුක් ගින්දර විකුණාගෙන කන මෙවැනි කූඨ ව්‍යාපාරිකයන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබාදිය යුතු බවට අපි විශ්වාස කරමු. 

නඩුව බ්‍රහස්පතින්දා (30) යළි කැඳවේ. 




(උපුටා ගැනීම - ‘ලක් දෙරණ‘ පුවත් වෙතිනි)



ඇමරිකානූ නීතිය යටතේ ගෝඨාභයට දඬුවම් ?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට ඇති යුද අපරාධ චෝදනා වලට ඇමරිකානූ නිතීය යටතේ දඬුවම් කිරීමට ඉඩ ඇති බව දැනගැනිමට ලැබී ඇත.

ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතට ඇමරිකාවේ නිතීඥයෙකු වන රේමන් ගුඩ්මාන්  ලියා ඇති ලිපියක මේ පිළිබඳව සඳහන් කර ඇත. 1996 වසරේ ඇමරිකාවේ යුද අපරාධ නිතියට යටතේ, ඇමරිකාවේ පුරවැසියෙකු යන පදනමින් ගෝඨාභය රාජපක්‍ෂව අත් අඩංගුවට ගත හැකිය. මෙම නිතීය යටතේ ඇමරිකානූ පුරවැසියෙකු කුමන රටක යුද අපරාධ වල නිරත වුවුද ඔහුට දඬුවම් ලබාදෙනු ඇත. ගෝඨාභය රාජපක්‍ෂ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි ජීවත්වූ අතර ලොයෝලා නිති විද්‍යාලයේ පරිගණක අධ්‍යෂක ලෙසද සේවය කර ඇත.

එවැනි පසුබිමකදී ගෝඨභය රාජපක්‍ෂට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණය ඇමරිකාව විසන් සිදුකළ යුතු බවත්, එය ශ්‍රී ලංකාව කිසිවිටකත් සිදුනොකරන බවත් ඔහු තම ලිපියෙන් පෙන්වා දී ඇත.


තෙවරප්පෙරුම පොලීසියට භාර වෙයි

අගලවත්තේ යකා නැටූ එ.ජා.ප. මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පොලීසියට භාර වෙයි. එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.

අගලවත්ත ප්‍රදේශයේදී ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට පහර දී දණ ගැස්සවීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව ඔහු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක කර තිබිණි.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පහර දුන් බවට හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ජනපතිට සහ අග්‍රාමාත්‍යවරයාට ද දැනුම් දී තිබිණි.

ගෝඨාගේ බලකාය සතු අවි රැසක් අතුරුදන්?


බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබු රක්නා ලංකා පුද්ගලික ආරක්ෂක සමාගමකට අයත් අවි ගබඩාවේ පවත්වාගෙන ගිය ලේඛන වලට අනුව විවිධ වර්ගයේ අවි 3473ක් තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමි වී තිබුණි. ඒ අතර බර අවිද විය. මේ එම අවි වර්ග සහ ප්‍රමාණයන්


නමුත් අද පොලිසිය විසින් අදාළ අවි ගබඩාව පරික්ෂා කිරීමේදී සොයා ගත හැකි වුයේ අවි 151කි. ඒ එම අවි වර්ග සහ ප්‍රමාණයන් පහතින් දැක්වේ.


ප්‍රථම වතාවට තමයි අපේ ගෙදර පරික්ෂා කළේ - මහින්ද

Image courtesy: Hiru FM
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (20) මහනුවරට ගොස් දළදා වැඳ පුදාගෙන පසුව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.

තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිමියන් සමඟ හිටපු ජනපති පැයක් පමණ සාකච්ඡා කළ අතර ඉන් පසුව පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනපති ඔහුගේ නිවස පරික්ෂා කිරීම ගැන මෙලෙස අදහස් ප්‍රකාශ කළා.

" 1931 වසරේ සිටම අපේ පරම්පරාව දේශපාලනය කළා.නමුත් ප්‍රථම වතාවට තමයි අපේ ගෙදර පරික්ෂා කළේ.පරික්ෂා කරලා හමුවුණු දෙයක් නැහැ.මේ අහිංසක ජනතාවට හිරිහැර නොකරයි කියා අපි බලාපොරොත්තු වෙනවා."

'බැංකු ගිණුම ගෝඨාභයගේ නෙවෙයි' - නව ආරක්ෂක ලේකම්

ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ඇති ගිණුම ආරක්ෂක අමාත්‍යංශය සතු ගිණුමක් බවත් එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමට ඇති ගිණුමක් නොවන බවත් නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතා පවසයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් කළ හෙළිදරව්වට අනුව නව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා එය පෞද්ගලික ගිණුමක් ලෙස භාවිතා කර නොමැති බවය.

තවද එම ගිණුමේ ඇති මුදල් සොයාගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් ඉඩමක් විකිණීමෙන් බවද එසේම එම මුදල් යොදාගනිමින් පැලවත්තේ නව හමුදා මූලස්ථානයක් ඉදිකරගෙන යන බවද බී.එම්.යූ.ඩී බස්නායක මහතා පැවසීය.

කෙසේ වෙතත් අදාළ ගිණුමේ ඇති මුදල් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට නැගෙන චෝදනාවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ රහසිගත හමුව

 අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් කණ්ඩායමක් 2015.01.17 වන දින කොළඹට ගොස් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් හමුවී අම්පාර දිස්ත්‍රික්කයේ වත්මන් වාතාවරණය සහ පක්‍ෂයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

දෙමළ ජනතාවගේ ගැටළු ජාත්‍යන්තර මට්ටමින් ඉදිරිපත් කර, දෙමළ ජනතාවගේ දුෂ්කර තත්වය අනාවරණය කරමින් සිටින නීතිඥයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ.සුමන්දිරන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත. අක්කරෙයිපත්තු ආලෙයියඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.රත්නවේල්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා ඇත.

අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරු, කල්මුණේ නගර සභා නියෝජිතයින් සහ පක්‍ෂයේ නියෝජිතයින් ඇතුළු බොහෝ දෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

“යුද්ධය පැවැති කාලයේ සිට මේ දක්වා අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව පැවසීමට නොහැකි දුක්පීඩා විඳිමින් සිටියි. එම දුක්පීඩා වලින් දෙමළ ජනතාව නිදහස් කරගැනීමට නම් ඔවුන්ගේ මූලික පහසුකම් ඉටුකරදීම අපගේ වගකීමකි. එය අවධානයට ගෙන ඉදිරි කාලයේදී නැගෙනහිර පළාත් සභාව අපගේ නායකත්වය යටතේ පිහිටුවන බැවින් නියත වශයෙන්ම එහි අපගේ දිස්ත්‍රික්කයටත් නිසි දායකත්වයක් ලබාදීමට ඉදිරිපත්විය යුතුය. එවිට ජනතාවගේ සිත් දිනාගෙන ඔවුන් සඳහා වන අවශ්‍යතාවයන් සපුරාලිය හැකිය.

අපගේ දිස්ත්‍රික්කයේ ජනතාව විසින් තොරාපත් කරගත් පාර්ලිමේන්තු නියෝජිතයින් තම වාසි වෙනුවෙන් රජයට එක්වීම හේතුවෙන්, අපගේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු‍කිරීමට නොහැකි විය. පසුව පැවැති මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් බහුතරයක් ඡන්දය ලබාදී පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු පත්කරගත් බව සඳහන් කල යුතුය” යනුවෙන් සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත.

එයට සාවදානව සවන්දුන් ආර්.සම්බන්ධන්, “ඔබලාගේ සියළු ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කරන අතර ඉදිරි කාලයේදී පිහිටුවීමට නියමිත නැගෙනහිර පළාත් සභාවේදී අම්පාර දිස්ත්‍රික්කයේ තත්වය පිළිබඳව ඉතා උනන්දුවකින් කටයුතු කරන්නෙමි. එයට ඔබ සියළු දෙනා සමගියෙන් කටයුතු කලයුතු අතර ඉදිරියේදීත් සමගියෙන්, කැපවීමෙන් කටයුතු කල යුතු බව ඔබලාගෙන් ඉල්ලා සිටින්නෙමි” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

පවුල් පාලනය ගැන නාමල් මෙසේ කියයි

තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති බැඳීම හේතුවෙන් යුද්ධය පවා ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එන්.ඩී.ටී.වී.රූපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී නාමල් රාජප්කෂ මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.

මෙහිදී එන්.ඩී.ටී.වී. මාධ්‍යවේදියා විමසා ඇත්තේ පවුල් පාලනය හේතුවෙන් මෙවර ජනාධිපතිවරණය පරාජයට පත්වූයේද යන්නයි.

එහිදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ තමා එම ප්‍රකාශයට එකඟ නොවන බවයි.

ඕනෑම ජනාධිපතිවරයෙකුට අවශ්‍ය විශ්වාසවන්ත පුද්ගලයෙකු ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කිරීමටත්, තමාගේ පියා සෑම විටම බුද්ධිමත් තීරණවලට එළඹුණේ අනෙකුත් නායකයින් සමඟද සාකච්ඡා කර බවත්, ඔහු එහිදි ප්‍රකාශ කර තිබේ.

තවද මැතිවරණය දින රාත්‍රියේ සිදු වීමට ගිය කටයුත්තක් සම්බන්ධයෙන් මේ දිනවල කතාබහට ලක්වෙන නමුත් එහි කිසිදු සත්‍යයතාවයක් නොමැති බවත්, ඕනෑම මැතිවරණයෙකදී රජයේ නිලධාරීන් පැමිණෙන බවත්, එය සමාන්‍ය සිදුවීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ ගොල්ලෝ අපේ සල්ලි වලින් උඩින් ගිහින් තියෙන්නේ මෙහෙමයි!

පසුගිය දෙසැම්බර් 01 සිට ජනවාරි 09ය දක්වා රාජපක්ෂ පවුල සහ එයට සමීප ප්‍රබලයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කරමින් ගමන් වාර 151ක් යොදවාගෙන ඇති බව අනාවරණය වේ.

මෙයින් මහින්ද රාජපක්ෂ ගමන් වාර 82ක්, නාමල් රාජපක්ෂ ගමන්වාර 25ක්, ශිරන්ති රාජපක්ෂ 10ක්, බැසිල් රාජපක්ෂ 07ක් සහ විමල් වීරවංශ ගමන්වාර 10ක්, සුසිල් ප්‍රේමජයන්ත ගමන් වාර 04ක්, දයාසිරි ජයසේකර ගමන් වාර 01ක්, සරත් මනමේන්ද්‍ර ගමන් වාර 01ක්, දිනේෂ් ගුණවර්ධන ගමන් වාර 01ක්, තිස්ස විතාරණ ගමන්වාර 01ක් යොදවාගෙන ඇත. ඉතිරි ගමන්වාර 09 යෙන් 02ක් ගුවන් රූගත කිරීම් සඳහා යොදාගෙන තිබේ. තවත් ගමන් වාර 07 වෙන් කටයුතු වෙනුවෙන් යොදවාගෙන තිබේ.

මේ අතරින් මහින්ද රාජපක්ෂට සහ ශිරන්ති රාජපක්ෂට මෙහෙයුම් වරප්‍රසාද යටතේ (OPS)ගුවන් ගමන් නොමිලේ සපයනු ලබයි. ඒ හැර නාමල් රාජපක්ෂ ගමන් ගත් වාර 25ට මුදල් ගෙවා නැත. අනෙකුත් සියළු දෙනාද ගුවන්ගමන් සඳහා මුදල් ගෙවා නැති බවද හෙළි වේ.

මහින්ද රාජපක්ෂ තම විධායක බලය ජනාධිපතිවරණය සඳහා ඉතාම පහත් ආකාරයට යොදාගැනීම පිළිබඳව ගුවන්හමුදාවෙන් පමණක් මෙම තොරතුරු හෙළි වේ.

Lanka Truth

තම රුව ඉවත්කරන්නැයි ජනපතිගෙන් නියෝගයක්

රට පුරා ප්‍රදර්ශනය කැර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව රැගත් පුවරු හා බැනර් සියල්ල ඉවත්කරණ ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි. එම කාර්යාලය පවසන්නේ තම රුව සහිත පුවරු මින් ඉදිරියට ප්‍රදර්ශනය නොකරණ ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග කැර ඇති බවයි.