''පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා'' - අගමැති



පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර දෙකක් සපිරෙන අතර, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සභාගැබේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමකට අනුව මෙම නිහඩතාව පැවැත්වූ අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු කොමිසම මගින් හෙළිදරව් කර ගත් තොරතුරු පදනම්කරගෙන සකස් කළ වාර්තාව සහ අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. 

අධිකරණ ක්‍රියාමාර්ග සඳහා රජය මැදිහත් නොවන බව සඳහන් කළ අගමැතිවරයා එම අධිකරණ ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමසඳහා අවශ්‍ය සහාය ලබා දෙන බව සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන විමර්ෂන කටයුතු ඉතා ස්වාධීන සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සලසා දී ඇතැයිද පෙන්වාදුන්නේය.