අසත්‍ය පුවත් පාලනයට ගෙනා නව නීතිය මාධ්‍යට වැට බඳී ?


අන්තර්ජාලය මඟින් සිදු කෙරෙන අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂා වීමට අවශ්‍ය නීති පැනවීමට අදාළ පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහසට ඉතාමත් අහිතකර එකක් විය හැකි බවට අනතුරු අඟවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම තීරණය ගැන සිය අප්‍රසාදය පළ කර සිටී. අධිකරණ අමාත්‍යවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්ව 2021 අප්‍රේල් 20 දින පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය මේ අනුමැතිය ලබා දී ඇත.

අන්තර්ජාල මාධ්‍ය මඟින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හා වෛරී ප්‍රකාශ නිසා සමාජය අතර බෙදීම් ඇතිවීම, ආගමික, ජනවාර්ගික ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කිරීම මෙන්ම සමාජ යහපත වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයන් හා කණ්ඩායම් ද අවාදානමට ලක් කිරීම සිදු කළ හැකිය. ඒවා සිදුවීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා දැනට සිදුවන  නියාමනයන් ගැන විවාදයක් නැත. නමුත් නියාමනය වෙනුවට රජයක් මැදිහත් වී මර්දනකාරී නීති ගෙන ඒමෙන් සිදු වන්නේ බලධාරීන්ට අවශ්‍ය ආකාරයට ‘’අසත්‍ය පුවත් යන්න’’ අර්ථකතනය කර මාධ්‍ය මර්දනය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට ඉඩ සැලසීමකි. ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට අසත්‍ය පුවත් යොදා ගන්නා බව කැබිනට් මණ්ඩලයේ තීරණය සම්බන්ධයෙන් දැනුම් දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එයින් පෙනී යන්නේ රජයේ හෝ වගකිවයුතු පුද්ගලයන්ගේ අකටයුතුකම්, අක්‍රමිකතා විවේචනය කිරීම අසත්‍ය පුවත් ලෙස නිර්වචනය කොට මාධ්‍යවේදීන් හෝ සමාජ ක්‍රියාකාරිකයන් හෝ මර්දනය කිරීමේ හැකියාව පවතින බවයි. 

අන්තර්ජාල මාධ්‍ය හරහා සිදුවන අසත්‍ය හෝ වෛරය ඇති කරන පුවත් නියාමනයක් එම මාධ්‍ය ජාලා මඟින් යම් දුරකට සිදු වේ. දැනට පවතින නියාමනය යනු එයයි. එමෙන්ම  එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය  නීතිද රට තුළ පවතී. විශේෂයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ සමහර ප්‍රතිපාදන ඇතත් එය අවිචාරවත් ලෙස අවභාවිත කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථා  සම්බන්ධ අත්දැකීම් ද පවතී. එවැනි තත්ත්වයක් තුළ  තවත් අලුත් නීති අදහස් ප්‍රකාශ කිරීම පාලනයට ගෙන ඒම ඉතා අවදානම් තත්ත්වයකි.

2002 වසරේ අහෝසි කරන ලද සාපරාධී අපහාස නීතිය යටතේ ද මාධ්‍යවේදීන්ට හිරිහැර සිදු විය. අන්තර්ජාල මාධ්‍ය පාලනයට ගෙන එන නීතියක් එතැනින් නිතර වේයැයි විශ්වාස කළ නොහැකිය. අනෙකුත් සම්ප්‍රදායික මාධ්‍යයට ද ඒ මර්දන හස්තය දිගු නොවේයැයි සිතන්නට කාරණා නැත. අන්තර්ජාල මාධ්‍යවලින් මෙන්ම අනෙකුත් සියලු මාධ්‍යවලින් වගකීම් සහගත හැසිරීමක් බලාපොරොත්තු වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු මාධ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ  ගෙන ඒමට සූදානම් මෙම නව නීතිය වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසයි.