සැප්තැම්බර් මස 02දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලැබී ඇති, අසීමිත ලෙස ජනාධිපති බලතල තහවුරු කරමින් ගෙන ඒමට යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහසට එල්ල විය හැකි බරපතල අභියෝග සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි කනස්සල්ල පළ කර සිටී.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඇති කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහ ව්‍යුහයන් ඉවත් කර ඇති 20 වැනි සංශෝධනයට අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට බරපතල අභියෝග එල්ල විය හැකි එක් ප්‍රධාන කාරණයක් වන්නේ ස්වාධීන කොමිසන් සභා තව දුරටත් ස්වාධීන නොවන තත්ත්වයකට පත්වීමය. ඒවා සඳහා සාමාජිකයන් පත් කරන ලද්දේ ව්‍යවස්ථාදායක සභාවක් හරහාය. 20 වැනි සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කොට පාර්ලිමේන්තු සභාවක් පත් කිරීමට නියමිත අතර එයට සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළත් වන්නේද නැත. දේශපාලන නියෝජිතයන් පමණක් ඇතුළත් එම සභාවට පැවරී ඇත්තේ ජනාධිපතිවරයා විසින් කොමිසම්වලට පත්කරන සාමාජිකයන්ගේ නාම යෝජනා සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූයේ ව්‍යවස්ථාදායක සභාව ඉදිරිපත් කරන නාම යෝජනා සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමයි. කෙසේ වෙතත් මෙය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට අභියෝගයක් වන්නේ එම පත්කිරීම් ජනාධිපතිවරයාගේ අභිමතයට යටත් හිතවාදී පිරිස් මිස ස්වාධීන පුද්ගලයන් නොවන නිසාය. පත්කිරීම් මෙන්ම ඉවත් කිරීමේ බලය ද ඇත්තේ ජනාධිපතිවරයාට ය.
ස්වාධීන මැතිවරණ කොමිසමට ආණ්ඩුවට හිතවාදී පුද්ගලයන් පත් කිරීමෙන් පවත්වන මැතිවරණ ස්වාධීන හා නිදහස් මුහුණුවරක් ගනීදැයි ගැටලුවකි. මැතිවරණ කාලවල මාධ්‍ය හැසිරීම් සම්බන්ධයෙන් නිකුක් කරන මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කිරීම හා ඒ අනුව ක්‍රියාත්මක වේදැයි සොයා බැලීම ස්වාධීන නොවන කොමිසමකින් තව දුරටත් සිදුවේද යන්න ගැටලුවකි. එමඟින් ජනතාවගේ මතය ප්‍රකාශ කිරීම නිදහස් වේද, මාධ්‍ය ක්‍රියාකාරිත්වය සාධාරණ වේද යන්නද ගැටලුවකි. මැතිවරණ කොමිසම මෙන්ම රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, වැනි කොමිසන් සභාවලට ද ජනාධිපතිවරයා කැමැති පුද්ගලයන් පත්වීමෙන් ඒවා තව දුරටත් ස්වාධීන වේද යන්න ගැන සිතා බැලිය යුතුය. ඒවා ස්වාධීනව කටයුතු නොකරන්නේනම් ජනතාවගේ මතය නිවැරැදිව ප්‍රකාශ නොවේ. මාධ්‍යයට ද නිදහස්ව ක්‍රියාකිරීමේ ඉඩකඩ ඇහිරේ. පොලීස් ප්‍රධානීන් දේශපාලනික පත්වීම් සහිතනම් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම්, නිදහසේ රැස්වීම්, ගමනාගමනය යනාදී මානව අයිතීන්වලට බාධා පැමිණීම නොවැළැක්විය හැකිය. වාර්තාකරණයේදී මාධ්‍යයට බාධාකිරීම්වලට මුහුණ දීමට සිදු වනු ඇත.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් තොරතුරු දැනගැනීමේ අයිතිය 20 වැනි සංශෝධනයෙන් වෙනස් වී නොතිබුණද තොරතුරු කොමිසමට කරන පත්කිරීම් කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක් නැති වීමද ගැටලුවකි. අනෙක් කොමිසම්වලට මෙන් ජනාධිපතිවරයාගේ නාම යෝජනා අනුව සිදු වන්නේනම් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳවද සැකසංකා මතු කරන්නට සිදු වී තිබේ. තොරතුරු පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් කළ හෙළිදරව් කිරීම් හරහා ජනතාව ලබා ගත් ජයග්‍රහණ ද ඇණ හිටී.
අග්‍ර විනිශ්චයකාර තනතුර ඇතුලු විනිසුරුවරුන් පත් කිරීම සහ රටේ ඉහළම තනතුරු සඳහා සියලු පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරන දේශපාලන පත්වීම් බවට පත් වන විට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුලු මානව හිමිකම්වලට සහ මාධ්‍ය නිදහසට ගැටලු මතුවීම පිළිබඳ සැක සංකා ඇති වීම අහඹුවක් නොවන බවට අත්දැකීම් ඕනෑතරම් ඇත. මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කර ඇති අපරාධ සම්බන්ධයෙන් මේ වන විට ආරම්භ කර ඇති පරීක්ෂණ කිහිපය පවා මේ තත්ත්වය යටතේ අඩපණ වනු ඇතැයි සැකයක් මතුවීම සාධාරණය. ජනතාවගේ දැනුමකින් තොරව, පැය 24න් හදිසි පනත් ගෙන ඒමට ඉඩකඩ සලසා තිබීම ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු අංග අවදානමට ලක් කරන්නක් බව අමුතුවෙන් කිවයුතු ද නොවේ. එහෙයින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වී ඇති බරපතල අවදානම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා සුරක්ෂිත කළ යුතු ව්‍යවස්ථාවට යෝජිත 20 වැනි සංශෝධනය තුළ අන්තර්ගත දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී කාරණා සම්බන්ධයෙන් වඩා විචාරශීලී ආකාරයෙන් යළි සලකා බලන ලෙස වගකිව යුතු සියලු පාර්ශ්වවලින්ද ඉල්ලා සිටී.
Post a Comment