The Most/Recent Articles

Showing posts with label columnists. Show all posts
Showing posts with label columnists. Show all posts

දෙයියන්ටත් කෙලින මාර කපුවෝ

රත්නපුරේ සමන් දේවාලය, කතරගම දේවාලය, දෙවිනුවර හි විෂ්ණු දේවාලය, මුන්නේෂ්වරම් භද්‍රකාලි අම්මාන් දේවාලය, නවගමුවේ පත්තිනි දේවාලය, ගාල්ලේ සීනිගම දේවාලය, මෝදර කාලි දේවාලය ආදි මොන දේවාලකටත් වඩා මෙරට දේවාල ලොව අග රජු වන්නේ කතරගම දේවාලයයි. එහෙත් මෙහෙව් අනුහස් ඇතැයි ගෞරවාදරයට පත්වූ කතරගම දේවාලයේ කපුවන් කෝටි 12කට ආසන්න මුදලක් පසුගිය මාස තුනක කාලයකදී තම නිවෙස්වලට රැගෙන යෑමේ පුවතක් පසුගිය සතියේ වාර්තා විය.

වජිර ලියනගේ

කතරගම කඳසුරිඳුන් හඳුන්වන්නේ යුද්ධයට අධිපති දෙවියන් ලෙසය. සුරඅසුර යුද්ධයේදී අසුරයන් පරාද කිරීම දැඩි අපහසුවක් විය. මෙහිදී ඊශ්වර දෙවියන් අසුරයින් පරාජය කිරීමට කඳ සුරිඳුන් මැවී බව හින්දු ජන විශ්වාසයකි. මේ අනුව කඳසුරිඳුන් උප්පත්තිය ලැබුවේ හයදෙනකුගේ ශක්තිය ඇතිවය. අසුරයන් මුළුමනින් විනාශ කර සුරයින් දිනවීම නිසා කඳකුමරුන්ට සේනාධිපති පදවියකින් පුදනු ලැබීය. මෙවැනි සේනාධිපති දෙවියකුගේ ඇස් වසා කෝටි 12ක් වංචා කළේ නම් ඒ කපුවන් එසේ මෙසේ කපුවන් විය නොහැකිය.

1931 දී හඳුන්වා දුන් විහාර දේවාලම් පනත යටතේ පෞරාණික සිද්ධස්ථානවලට බස්නායක නිලමේවරුන් පත්කිරීම සුද්දාගේ කාර්යයක් බවට පත්විය. ඒත් සුද්දාට කතරගම දේවාලයට අත පෙවීමට නොහැකි වූයේ පරවේණිගත උරුමය ඊට හරස් වූ නිසාය. ඒත් මෙරට දේශපාලන යාන්ත්‍රණයට කතරගම බස්නායක නිලමේ තනතුර නතුවන්නේ 1989දී එවක ඇමැතිවරයකු වූ ධර්මදාස බණ්ඩා කතරගම බස්නායක නිලමේ වීමෙනි. 1989 කතරගම පෙරහරට එල්ල කළ බෝම්බ ප්‍රහාර නිසා ජනතාව මියයෑම ගැන උරණ වූ ජනපති ප්‍රේමදාස දේශපාලඥයන් බස්නායක තනතුරට පත්වීමට එරෙහිව පාර්ලිමේන්තුවේ සංශෝධනයක් සම්මත කර ගත්තේය. ඒත් කපුවන්ගේ කෙරුවාවල් ජනපති ප්‍රේමදාසට ද නවත්වා ගැනීමට හැකි වූයේ නැත.

කතරගම කපු මහතා යනු ප්‍රබල චරිතයකි. කතරගම දේවාලයෙහි ඇති කපුවාට ඇති සුපිරි බලතලවලට අභියෝග කරන්න රටේ විධායක ජනාධිපතිටවත් හැකියාවක් නැත. ඒ නිසාම ඔවුන් කතරගම දෙවියන්ට පුදපූජා පැවැත්වීමට තමන්ට රිසිසේ සුපිරි ගණන් අය කරති. එමෙන්ම ඒවා හිතුමනාපේ ගෙදර ගෙන යති. මේ ගැන විහාර දේවාලගම් පනත තුට්ටුවකට නොතකමින් කටයුතු කිරීමේ පහසුව ඇත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ මැදිහත් වීම මත කිසිදු ගිණුම් කටයුත්තක් ගැන ක්‍රමවත් විගණනයක් සිදු නොවන නිසා විය යුතුය.

කතරගම දේවාලය අභ්‍යන්තරය විවෘත කළ හැක්කේ ජ්‍යෙෂ්ඨ කපුවන්ට පමණය. රටේ ජනාධිපති ආවත් පූජා වට්ටිය තබන තැනින් ඉහළට යා නොහැකිය. එහෙත් ප්‍රේමදාස ජනපතිවරයාට දෝෂාභියෝගය පැමිණි යුගයේ ඉන්දියාවෙන් ගෙනා බ්‍රාහ්මණයන් නිර්දේශ කොට තිබුණේ කතරගම දේවාලයේ අභ්‍යන්තරයට ගොස් පහනක් දැල්විය යුතු බවය. ඒත් දිවුරා, කන් විද, චාරිත්‍රානුකූලව සිදු කළ යුතු මේ පිළිවෙතට රණසිංහ ප්‍රේමදාසට ‘කපුවෝ‘ අවසර ලබා දුන්නේ නැත. ඒත් අද ඉන්නා කපුවන් ජනපති ප්‍රේමදාස යුගයේ සිටියා නම් ‘ජනපති ප්‍රේමදාස‘ට මේවා අපහසු නැත.

කතරගම දේවාලයේ නඩත්තු කටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් බැතිමතුන් විසින් පරිත්‍යාග කරන මුදල් සම්බන්ධයෙන් වත්මන් ‘කපුවන්ට‘ මේ චෝදනාව එල්ල වී ඇත. කතරගම කපුවන් මේ පූජාවන් සලකා ඇත්තේ කතරගම දෙවියන් පුදන්නට හෝ කතරගම දේවාලය නඩත්තුවට හෝ පෙරහර පැවැත්වීමට දරන බරපැණ වශයෙන් නොව ‘කපුවන්ට‘ දුන් දොල පිදේනියක් ලෙසින්ය. අන්තිමට වුණේ දේවාලයේ පුදපූජාවන්ට බැතිමතුන් පූජා වට්ටියේ තබන මුදල්, රත්‍රං චේන් ආදී පූජා භාණ්ඩ කපුමහතුන්ගේ ඍජු ආදායම් මාර්ගයක් බවට පත්වීමයි.

කතරගම දේවාලයේ කපුමහතකු වීම ලේසි පහසු කටයුත්තක් නොවේ. කතරගම දේවාලය කපුමහත්වරු බස්නායක නිලමේවරුන්ට විරුද්ධව අධිකරණ නියෝග ගත් අවස්ථා පවා ඇත.

2014 ඔක්තෝබර් 16 වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ පරම්පරාගත කපුරාලවරයකු ලෙස රංජිත් අධිකාරම් පත්කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවට මූලික අයිතිවාසිකම් පෙත්සම් මඟින් අභියෝග කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු පැහැදිලි කරමින් නීතිපති සාලිය පීරිස් එදා පවසා තිබේ. කතරගම දේවාලයේ කපුරාලවරයකු ලෙස පත්මසිරි රංජිත් අදිකාරම් ට අයිතියක් නොමැති බව පවසමින් ඔහු ගල්කිස්ස දිසාඅධිකරණයේ පැවරූ නඩුවක් ඔහුගේ වාසියට නඩු තීන්දුව ලෙස ප්‍රකාශයට පත්කර තිබුණි.

මෙවර කපුමහත්වරුන්ගේ සාක්කුවට කතරගම දේවාලයේ පූජා කාසි -රත්‍රන් වැටීම ගැන පැමිණිලි ඉදිරිපත් කොට ඇත්තේ කතරගම දේවාලයේ පාලන බලධාරීන් විසිනි.

පූජා වට්ටියේ තබා හෝ පින් සිතින් දේවාලයේ අභිවෘද්ධිය උදෙසා බැතිමතුන් මුදල් පරිත්‍යාග කරනවා. එම මුදල් දේවාලයේ අරමුදලට නොදී කපුමහතුන් හට නිවෙස් වෙත රැගෙන යෑම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් විය යුතුයි.”

කතරගම දේවාලයට පූජා කළ කෝටි 12ක රත්‍රන් සමඟ මුදල් කපුවන් ගෙදර ගෙනයෑම ගැන මුලින්ම පැමිණිල්ලක් ලබන්නේ කතරගම පොලීසියටය. තංගල්ල අපරාධ විමර්ශන ඒකකයට ද මේ ගැන පැමිණිල්ලක් ගොනුකර තිබේ. මෙම කෝටි 12ක වංචාව ගැන ඍජුවම මැදිහත්කරුවන් වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇත. එහෙත් විහාර දේවාලගම් පනත අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ කපු මහතුන්ට යම් ප්‍රමාණවත් ගෙවීමක් සිදුකිරීම මෙතෙක් කල් පැවැති සම්ප්‍රදාය වී තිබිණි.

කතරගම දේව ආශීර්වාදය ලබාදීමට ඊට මිලක් නියම කළ නොහැකිදැයි ප්‍රශ්නයට කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා වන සොමිපාල රත්නායක ප්‍රකාශ කළේ මෙවැන්නකි.

කපුමහතතෙකුගෙන් කිසි දවසක දේවකාරියකට මිල නියම කරන්නේ නැහැ. යාතිකාවකට මෙපමණයි, පූජාවකට මෙපමණයි කියා මිල නියම කරන්නේ දෙවියන් වාණිජකරණය කරන වංචනිකයන්. දේව පිහිටක් ලබාගන්න පඬුරක් දුන්නත් නැතත් කපුමහතා සම මෙත් සිතින් සියලු බැතිමතුන්ට දේව ආශීර්වාදය ලබාදීමට බැඳී සිටිනවා.

ඔබ කියන්නේ මෙවැනි කෝටි 12ක කතරගම දේවාලයේ රත්‍රන් හා මුදල් කපුමහතුන් රැගෙන ගොස් නැත්දැයි ප්‍රධාන කපු මහතාගෙන් අප නැවත අසා සිටියෙමු.

කොරෝනා නිසා පහුගිය කාලේ දේවාලේ වැහෙන තරමට බැතිමතුන් අඩු වුණා. ඒ නිසා ආදායමත් අඩුවුණා. ඉන්ධන ප්‍රශ්නය නිසා බැතිමතුන් එන එක සෑහෙන්න අඩුවුණා. පෙරහර තිබ්බ මුල් මාසයේ වුණත් සාමාන්‍ය යෙන් ගිණුමට බැරකරන්නේ ලක්ෂ 30ක වගේ මුදලක්. කෝටි 12ක රත්‍රන් කතරගම කපුවන් ගෙදර ගෙනිහින් කියන ප්‍රවෘත්තිය පළවෙච්ච දවසේම තංගල්ල උසාවියේ නඩුවක් කැඳෙව්වා. ඒක අගෝස්තු 8 වැනිදාට කල් ගියා. මේ ප්‍රවෘත්තියට එරෙහිව මම නීති පියවර ගන්නවා”

මෙම ප්‍රශ්නයේ දී වඩාත් ගැටලු සහගත තත්ත්වය වන්නේ ප්‍රධාන කපු මහතා කතරගමට බැතිමතුන් නොඒම ගැන කරුණු කියද්දී යුද්ධ හමුදාව වාර්තා කොට ඇත්තේ ඉතිහාසේ යාපනයේ සිට වැඩිම සෙනඟක් කතරගම පුදපූජා සහ වන්දනාවට සඳහා පැමිණ ඇත්තේ මෙවර බවය. මේ කෝටි 12 ක මුදල් හා ඊට අමතර ව රත්‍රන් නිවෙස්වලට ගෙන යෑම ගැන ප්‍රවෘත්තිය ඇසූ කතරගම බැතිමතුන් බොහෝ දෙනකු අප සමඟ පවසා සිටියේ අණපනත් කෙසේ වුවත් කතරගම දේවාලය පමණක් නොව ලංකාවේ එවැනි පූජනීය ස්ථානවලට ලැබෙන රත්‍රන් මෙන්ම මුදල් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන විධිමත් නවතම රාජ්‍ය වැඩපිළිවෙළක් සැකසිය යුතු බවය.

ඊටත් වඩා කතරගම ප්‍රදේශයේ දේවාලය ආශ්‍රිත ආරංචි මාර්ග මඟින් කියැවෙන්නේ මේ කියන කපුවන්ට තට්ටු දෙක තුනේ මාළිගා වැනි ගෙවල් ඇත්තේ පිහිනුම් තටාකද සමඟ බවයි. ඔවුන් ගමන් කරන්නේ අධි සුඛෝපභෝගී වාහනවලය. ප්‍රධාන කපු මහතා පසුගිය මාසවල ආදායමක් නැතැයි කිව්වත් පසුගිය අප්‍රේල් මාසයේ පමණක් පොරොන්දු වූ ලක්ෂ 125 වෙනුවට ලක්ෂ 85ක් දී ඇත. කොරෝනා නිසා කතරගමට බැතිමතුන් ආවේ නැතැයි කිව්වත් 2019 වසරේදී ලබා දී ඇති මුදල ලක්ෂ 170කි.

දැන් කෝටි 12ක මුදල් ආරවුලක් නිසා කතරගම දේවාලය ‘රන් දෙවොලක්‘ වී හමාරය. ඕනෑම ප්‍රශ්නයකදී ඔබේ මතය, මගේ මතය හා සත්‍යය යනුවෙන් තුනක් තිබේ. මේ ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම තහවුරු කළ වත්මන් තත්ත්වය මෙසේය.

“විහාර දේවාලගම් පනතේ 31 වැනි වගන්තියට අනුව 6 මසකට වරක් බස්නායක නිලමේවරයා වාර්තාවක් එවනවා. ඒකට රත්‍රන් වැනි පුදපූජා භාණ්ඩ, මුදල් ගැන ඇතුළත් වන්නේ නැහැ. දැන් සමහර කපුමහත්වරු ලක්ෂ දෙක තුන අය කරගෙන ඔක්කොම ගෙදර ගෙනියනවා. එහෙම බෑ. මේ මුදල් භාරදෙන හැටි පනතේ විධිමත්ව සඳහන්වී තිබෙනවා. දැනට මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තකට බෞද්ධ කටයුතු ජනරාල්වරයා විදියට මාවත් පාර්ශ්වකරුවකු ලෙස නම් කර තිබෙනවා. අපට එවා ඇති සියලු දත්ත අධිකරණයේ දී ඉදිරිපත් කිරීමට බැඳී සිටිනවා.

ලංකාවේ විහාර දේවාලගම් පනත මුලින්ම පොතක් ලියා ඇත්තේ ප්‍රින්ස් ගුණසේකරය. ඉන්පසු මේ විෂය ගැනම ලක්ෂ්මන් විජේසේකර, මහින්ද රැලපනාව, විජේදාස රාජපක්ෂ සහ හේමක සේනානායක ද ග්‍රන්ථ සම්පාදනය කොට ඇත.

අප මේ කරුණ සම්බන්ධයෙන් විහාර හා දේවාලගම් පනතට අදාළ නඩු කටයුතුවලට නියැළෙන නීතීඥ හේමක සේනානායකගෙන් කරුණු විමසා සිටියෙමු.

“බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ අධීක්ෂණය යටතේ තියෙන පූජා ස්ථානවල එහෙම පූජා කරන රත්‍රන් - මුදල් අරන් යන්න බෑ. කතරගම දේවාලයත් මේ අධීක්ෂණය යටතේ තියෙන්නේ. නියම විදියට නම් මේ පූජා භාණ්ඩ ගණනය කරලා සීල් තියලා ‘ඉන්වෙන්ට්‍රි‘ ගන්නවා. නීතිය ඒකයි. මේ දේවල් ගෙදර අරන් යෑම දඬුවම් ලැබිය හැකි වරදක්.“

කතරගම දේවාලයේ දෙවියන් මැඩමවන ආසනය ‘වන පුටුව‘ නමිනි. එක් බැතිමතකු එයට පවුම් දහයක මාලයක් බාරවී එය ඉටුවූ විට එම භාරය ඔප්පුකොට කවඩි නටමින් පෙරහරේද ගමන් කොට ඇත.

වන පුටුවට පවුම් දහයේ මාලය පූජා කරන විට සිටි කපුවා පසු දින උදේට මාලය හොරකම් කොට සාක්කුවට දාගත්තේ තම බිරියට එය පැලඳවීමටය. තම බිරියට රන් මාලය පලඳවා එහි මෙෂමන්ට් එකට ඊට සමාන රිදී මාලයක් සැකසීමට කියමින් ජලයට බැස්සේ නියඟයක් පැවති යුගයකය. ඒත් එමඟින් යාහැකි වුණේ ටික දුරක් ගිය තැන වැස්සක් වැසීම නිසා හෙණපාරක් වැදි කපුවා බිම වැටී ඇත. ඒ මත ග්‍රාමීය රෝහලක් වූ කතරගම රෝහලට ඇතුළු කරන විටත් කපුවා පරලොව ගොස් හමාරය.

කතරගම දෙවියන්ගේ රටේ අකටයුතුකම් කරන කිසිවකුට යහතින් විසිය නොහැකිය. ඇතැම් කපුවන් කපුකම රජකම කරගෙන බැතිමතුන් කඳසුරිඳුන්ට පුදන රත්‍රං සහ මුදල් ජාවාරමේ නියැළුණු බව නීතියෙන් තීන්දු කළහොත් නීතිමය දඬුවමට වඩා දේවසාපයෙන් අවසානයේ උරම වන්නේ පණපිටින් අපාගත වීම බව දෙවියන් අදහස කවුරුත් මතකයේ තබාගත යුතුය.

රන්ජන්ගේ දුරකථන සංවාද තුලින් වෑහෙන ධනේශ්වර දුර්ගන්ධය

රාමනායකගේ හඬ තැටි මගින් තවත් පිලිකුල් සහගත බොහෝ දෑ අනාවරනය වීමට නියමිතය. දැනට එලිමහනට පැමින ඇති කරුනු කීපයෙන් පවා ප්‍ර‍කාශයට පත් වනුයේ, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරනය ඇතුලු‍ සමස්ත ධනපති සංස්ථාපිතයේ ආන්තික කුනු වීමයි.

පානි විජේසිරිවර්ධන විසිනි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගිය ආන්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු ව සිටි අවධිය තුල, අධිකරනයේ, පොලීසියේ සහ රජයේ විවිධ නිලතල දරන්නන් සමග කරන ලද පුද්ගලික දුරකථන සංවාදයන් හි හඬ තැටි කීපයක් සමාජ මාධ්‍යයන්ට කාන්දුවීමේ සිද්ධිය මේ දිනවල සියලු‍ ධනපති මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත.



මෙම හඬතැටිවල අඩංගු සංවාද අතරින් වඩාත් අවධානයට ලක්ව ඇත්තේ, මහාධිකරනයේ හිටපු විනිසුරුවරියක වන පද්මිනී රනවක සහ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග රාමනායක කල සංවාදයන් ය. රනවක යනු, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු‍ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ට, භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර‍ ඝාතනය සම්බන්ධයෙන් මරන දන්ඩනය නියම කල විනිශ්චය මන්ඩලයේ සභාපතිවරියයි. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල සිදු කෙරුනු සහ රාජපක්ෂ පවුලේ නම් ඈඳුනු සුප්‍ර‍සිද්ධ අපරාධ ගනනාවක් පිලිබඳ පරීක්ෂන භාරව සිටියේ අබේසේකර ය.

සිද්ධිය වහා ඩැහැගත් වත්මන් පොදුජන පෙරමුනු ආන්ඩුවේ මැති ඇමතිවරු රොත්තක්, රාමනායක අධිකරනයට සහ පොලීසියට අනිසි බලපෑම් කර ඇතිබවට හඬ තලමින්, ඔහුට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා ලෙස අධිකරනයෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින උද්ඝෝෂනයක් අරඹා ඇති අතර, එය වටා බෞද්ධ භික්ෂූන් ඇතුලු‍ සිංහල වර්ගවාදී කොටස් රොද බැඳ සිටිති.

මෙම හඬතැටි එලිමහනට පැමිනියේ, පසුගිය සතියේ, රාමනායකගේ නිල නිවාසය පොලීසිය විසින් වටලා ඔහු සතුව තිබූ ගිනි අවියක් සහ සංයුක්ත තැටි රාශියක් අත්අඩංගුවට ගැනීමත් සමගය. පොලීසියට මුද්‍රා තබා භාරදුන් එම තැටි සමාජ ජාලයන්ට කාන්දුවූයේ කෙසේදැයි රාමනායක ප්‍ර‍ශ්න කරන අතර, රාජපක්ෂ ආන්ඩුවේ මාධ්‍ය ප්‍ර‍කාශකයෝ ඒ සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් ප්‍ර‍කාශ කරති.

රාමනායකගේ හඬ තැටි මගින් තවත් පිලිකුල් සහගත බොහෝ දෑ අනාවරනය වීමට නියමිතය. දැනට එලිමහනට පැමින ඇති කරුනු කීපයෙන් පවා ප්‍ර‍කාශයට පත් වනුයේ, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරනය ඇතුලු‍ සමස්ත ධනපති සංස්ථාපිතයේ ආන්තික කුනු වීමයි. ඉහත ත්‍රිත්වය සම්බන්ධයෙන් වැඩෙමින් පැවති මහජන අවිශ්වාසය සහ පිලිකුල දැවැන්ත පරිමාවකින් ඉහල නැංවීම සඳහා සිද්ධියෙන් ඇති කෙරෙන බලපෑම කෙරෙහි ධනපති මාධ්‍ය අටුවාකරුවන් දක්වන්නේ දැඩි උත්සුකයකි.

ජනවාරි 10 දිවයින කතුවැකිය මෙසේ පවසයි: “‍හෙට දිනයේ මෙම මිසයිල කොයි දිශාවකට, කාගේ හිසකට පතිත වේ දැයි කිව නොහැක. කාගේ හිස මත පතිත වුව ද එමගින් ඇති කරන විනාශකාරී බලපෑම රාජ්‍ය ශෝධන කි‍්‍රයාවලියක් වෙත හරවා ගැනීමට ආන්ඩුව උපක්‍රමශීලීව කටයුතු කල යුතුය.”‍

ධනපති පන්තිය සහ ඔවුනගේ කුලී ලියන්නන් කිසිසේත් අපේක්ෂා නොකල මෙම හෙනගෙඩිය මගින් ඇතිකොට ඇති අර්බුදය කෙතෙක්ද යත්, එය ‘බැලැස්ටික් මිසයිලයක්’ බවට පත් වී “දේශපාලන පිටියට පතිත”‍ වෙමින් පවතින බව ඉහත කතුවැකිය පවසයි.

එකට එක සමාන නොවුනත්, මෙවන් අර්බුදයක් 2000 වසරේ එක්සත් ජනපදය තුල ඇතිවිය. එම වසරේ ජනාධිපතිවරනයේදී වැඩි ඡන්ද ලබාගත් සැබෑ ජයග්‍රාහකයා වන ඩිමොක්‍ර‍ටික් පක්ෂයේ අල් ගෝර් වෙනුවට ජෝර්ජ් බුෂ් ට ජනාධිපතිත්වය ලබා දීම ට, පාලක ප්‍ර‍භූව විසින් අධිකරනය මෙහෙයවූ අවස්ථාවේ ඇති වූ අර්බුදය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල සභාපති ඬේවිඞ් නෝර්ත් මෙසේ පැවසීය: “‍අව්‍යාජ අර්බුදයක වඩාත්ම කැපී පෙනෙන ලක්ෂනයක් වන්නේ එහි අනපේක්ෂිත බව සහ එහි රූපාකාරය පිලිබඳව අනාවැකි කිව නොහැකි වීමයි. මෙම අර්බුදය මුලුමනින්ම බලාපොරොත්තු නොවූ දෙයක් බව මින් අදහස් නොවේ. එක්සත් ජනපදයේ දේශපාලන ව්‍යූහය ගැඹුරු අක්‍රිය තත්වයකට එලඹෙමින් පවතින බව අවධාරනය කරමින් දේශපාලන විශ්ලේෂනයන් ඉදිරිපත් කල එක් වෙබ් අඩවියක් අවම වශයෙන් පැවතුනි. එය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි.”‍

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද නෝර්ත්ගේ ප්‍රකාශය මුලුමනින්ම සත්‍ය වෙයි. ලංකාවේ පාලක පන්තිය ගැඹුරු දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින බවත් එය විවිධ රූපාකාරයෙන් පුපුරා යා හැකි බවත් දිගින් දිගටම අවධාරනය කලේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනි.

ලංකාවේ අධිකරනයේ යම් හෝ ස්වාධීනත්වයක් පැවතියේ නම්, පසුගිය දශක කීපය තුල බලයට පැමිනි සෑම තන්ත්‍ර‍යක් විසින්ම සෘජුවම එයට අතපොවා එකී ස්වාධීනත්වය වලදමා ඇත. එවන් අතපෙවීම් අතරින් කැපී පෙනෙන කීපයක් මෙසේය:

1978 දී ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් යෝජනා කොට සම්මතකර ගත් ව්‍යවස්ථාව මගින් අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් පත් කිරීමේ පූර්න බලය විධායක ජනාධිපතිවරයා අතට පත් කෙරුනි. එතැන් පටන් සෑම ජනාධිපතිවරයෙකු විසින්ම එම තනතුරු වලට පත්කර ගැනුනේ තම සමීපතමයන් ය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1999 දී අගවිනිසුරු තනතුරට පත්කර ගැනුනේ ඇගේ සමීපතමයෙකු වන සරත් එන් ද සිල්වා වන අතර ඔහු, කුමාරතුංගගේ දේශපාලන න්‍යාය පත්‍ර‍ට අනුව සියලු‍ තීන්දු ලබාදුන් බව කුප්‍ර‍කටය.

2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිත්වයට පත්වීමෙන් පසු ද, ද සිල්වා අගවිනිසුරු තනතුරේ රඳවා සිටියේ ඔහු රාජපක්ෂගේ ද සමීපතමයෙකු බැවිනි. 2004 සුනාමියෙන් ව්‍යසනයට පත්වූවන්ට ආධාර පිනිස ක්‍රියාත්මක වූ “හෙල්පින් හම්බන්තොට”‍ ව්‍යපෘතියේ මුදල් අපයෝජනය සම්බන්ධයෙන් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කිරීම සම්බන්ධයෙන් තමා පසුතැවිලි වන බව, රාජපක්ෂ සමග විරසක වූ පසු කලෙක, ද සිල්වා ප්‍ර‍සිද්ධියේම පැවසීය.

එමෙන්ම තම දේශපාලන න්‍යාය පත්‍ර‍යන්ට අවනත නොවන විනිසුරුවරුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් ද මෙම ධනපති පාලකයන්ට ඇත්තේ කුප්‍ර‍කට වාර්තාවකි. මෙයට ආරම්භය ලබා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. 1983 දී විරෝධතාවයකට සහභාගිවූ ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වයේ දෛනෙකු වන ලෙස්ලි ගුනවර්ධන සහ විවියන් ගුනවර්ධන යන දෙදෙනා ජයවර්ධන ආන්ඩුව විසින් පොලීසිය යොදවා අත්අඩංගුවට ගැනුනි. එය නීති-විරෝධී ක්‍රියාවක් බවට අභියෝග කරමින් ගුනවර්ධන යුවල පැවරූ නඩුව විනිශ්චය කරමින්, එම ක්‍රියාව නීති-විරෝධී බවට තීන්දු කල විනිසුරුවරුන් තිදෙනාගේ නිවෙස් ඉදිරිපිට ”‍විරෝධතා”‍ දැක්වීමට ජයවර්ධන විසින් එජාප මැරයන් මෙහෙයවීය.

2012 දී, ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ, අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක පාර්ලිමේන්තු දෝෂාභියෝගයක් තුලින් තනතුරෙන් නෙරපා දැමුවේ, රාජපක්ෂ ආන්ඩුව ගෙන ආ “‍දිවිනැගුම”‍ සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ කිරීම හේතුවෙනි.

බන්ඩාරනායක තනතුරෙන් පහ කිරීමෙන් පසු අගවිනිසුරු ලෙස පත් කෙරුනු රාජපක්ෂගේ සමීපතමයෙකු වන මොහාන් පීරිස් රාජපක්ෂට අවශ්‍ය පරිදි කෙතරම් අධිකරනය නම්මා දුන්නේද යන්න, රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පත්වූ සැනින් ඔහුගේ නිල නිවසට බඩගා කල ප්‍ර‍කාශයෙන් පැහැදිලි වෙයි. “‍කියන ඕනෑම ආකාරයකට වැඩ කරන්නම්”‍ යැයි කියමින් තනතුරේ තවදුරටත් රැඳී සිටීමට ඉඩදෙන ලෙස පීරිස් ඉල්ලා සිටි බව සිරිසේන ප්‍ර‍සිද්ධියේම පැවසීය.

රාමනායකට එරෙහිව හඬ තලන මැති-ඇමති සියල්ලෝම ඉහත තන්ත්‍ර‍ නියෝජනය කරමින් අධිකරනයේ සහ පොලීසියේ ස්වාධීනත්වයට අතපෙවීම සම්බන්ධයෙන් කුප්‍ර‍කට වර්තාවන් සතු කර ගත්තෝ වෙති.

රාමනායක දඩයම් කිරීම, ජනාධිපති සමාවකින් දුමින්ද සිල්වා නිදහස්කර ගැනීම සහ පසුගිය ආන්ඩුව වඩාත් අපකීර්තියට පත් කරමින් නුදුරේ එන පාර්ලිමේන්තු මැතිවරනය තුල වාසි අත්කර ගැනීම මෙම උද්ඝෝෂනයේ අරමුනු අතර පවතින නමුත්, ප්‍ර‍ධාන අරමුන එය නොවේ.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු විධානයන් වහාම ක්‍රියාත්මක කිරීමෙන් තොරව ඉදිරියට යා නොහැක. එම කප්පාදු වලට එරෙහිව පැන නගින කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම සදහා ආඥාදායකත්වයක් දෙසට වේගයෙන් ගමන් කිරීම ආන්ඩුවේ න්‍යාය පත්‍රයේ ඉහලින්ම පවතී.

මිලිටරියේ නිලධාරීන්ගෙන් රජයේ ඉහල තනතුරු පුරවමින් සිදු කෙරෙන මිලිටරීකරන ක්‍රියාවලිය එහි අත්‍යන්ත අංගයකි. රාමනායකට එරෙහි කන් බිහිරි කරවන උද්ඝෝෂනයේ අතිමූලික අරමුන වනුයේ, ආන්ඩුවේ ප්‍ර‍හාරයන්ගෙන් සහ මිලිටරීකරන ක්‍රියාවලියෙන් මහජනතාවගේ දෑස් ඉවතට හැරවීමයි.

අධිකරනය ඇතුලු‍ සමස්ත ධනපති සංස්ථාපිතයේ පරිහානිය ලෝක පරිමාන ප්‍ර‍පංචයක් වන අතර, අතීතයේ යම් ආකාරයක ස්වාධීනත්වයක් සහිත අධිකරනයන් පැවති රටවල පවා එම තත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතී. එහි ගාමකය වනුයේ ධනේශ්වර පද්ධතියේ අභ්‍යන්තර ප්‍ර‍තිවිරෝධතාවන්ගේ පෙරනොවූවිරූ තීව්‍රතාවය යි. එවන් තීව්‍ර‍තාවයකට සමාජ ප්‍රතිවිරෝධතා වර්ධනය වී පවත්නා තතු තුල පවත්නා දේශපාලන හා ව්‍යවස්ථාමය රාමුව තුල ඒවා තවදුරටත් රඳවා තැබිය නොහැකි වෙයි.

පසුගිය දශකය තුල පාලක ප්‍රභූන් ඒකාධිපතිවාදී හා ෆැසිස්ට්වාදී පාලන විධික්‍රම කරා හැරී ගැනීම තුල ප්‍ර‍කාශයට පත්ව ඇත්තේ එයයි. “‍සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි”‍ යන හිසින්, ජනවාරි 3 වන දා ලෝසවෙඅ හි පලවූ ඉදිරි දර්ශනයෙහි මෙසේ සඳහන් වෙයි: “ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, පිලිපීනයේ රොඞ්රිගෝ දුතර්තේ, ඊස්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු, ඊජිප්තුවේ අබ්දෙල් ෆටා අල්-සිසි, බ්‍රසීලයේ ජයිර් බොල්සොනාරෝ, එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හා එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් වැනි අපරාධකාරී හා මනෝව්‍යාධික පවා පුද්ගලයන් බලය කරා නැඟීම වූ කලී, සමස්ත ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බුදය පිලිබඳ රෝග නිමිති පල කිරීමකි.”‍

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ස්ථාපිත කිරීමට නම්, පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ගෝලීය ධනවාදය පෙරලා දමා, සමාජවාදී නිශ්පාදන සබඳතා යටතේ ලෝක ආර්ථිකය ප්‍ර‍තිසංවිධානය කල යුතු වෙයි. එය කල හැක්කේ රටක් රටක් පාසා කම්කරු පන්තිය තම අතට රාජ්‍ය බලය ගැනීමෙන් පමනකි.

ඉතිහාසය මෙතැනින් අවසන් ද?

සියලු දෙනා පාහේ මෞන ව්‍රත පුරන්නට පටන් ගෙන තිබේ. සතියට මාධ්‍ය සාකච්ඡා දෙක-තුන කැඳවූ වාචාලයෝ දකින්නටවත් නැත. මහා චරිත ලෙස පෙන්වාගෙන සිටියෝ චූල බවට පත්ව තණපත් අතර සැඟවී ගොස් තිබේ. ගෝඨාභය වාරණයක් මර්ධනයක් ගෙනෙන්නට කල්පනා කරන්නට පවා ප්‍රථමයෙන් බොහෝ දෙනෙක් ස්වයං වාරණයක් දමාගෙන සිටිති.

සඳුන් ප්‍රියංකර විතානගේ 

මේ සටහන ලියැවෙන අද වන විට නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දී වැඩ පටන්ගෙන ඉකුත්ව ගොස් ඇත්තේ සතියක් පමණ කාලයකි. ඉතා පැහැදිලිව නූතන සිංහල බෞද්ධ ජාතිවාදය සිය දෘෂ්ටිවාදය කරගනිමින් සටනට ආ ඔහුට එකී නියෝජනයේ බහුතරය ලැබුණේ ඉහටත් උඩිනි. යුද තත්වය සමහන් වී වසර 10 කට පසුව පවා මහින්ද රාජපක්ෂ ලබාගත් තරම්වත් ඡන්ද ප්‍රමාණයක් ඔහුට උතුරෙන් නොලැබීම කියාපාන්නේ ඔවුන් බලය පිණිස පැතිර වූ දෘෂ්ටිවාදයේ තරම මිස අනෙකක් නොවේ.

මේ සටහනේ අරමුණ මාධ්‍යකරුවන් ලෙස අප ගත යුතු මඟ ගැන මූලික වශයෙන් අවධානයක් යොමු කරන්නට ය. කවුරුත් දන්නා පරිදි අපේ මාධ්‍ය භාවිතය අභිරුචියෙන් අනතුරු වර්ණනා කිරීමක් හෝ වැනෙනවාට ඔහේ වැනෙනවා පන්නයේ සුමට එකක් නොවේ. කොයි කවර පාලනයක් යටතේ හෝ අප වෑයම් කළේ මාධ්‍යකරුවන් ලෙස අපගේ සැබෑ වගකීම ඉටු කරන්නට ය. මහින්ද පාලනය වේවා රනිල් මෛත්‍රී පාලනය වේවා අප කවදත් අපේ ස්ථානය සලකුණු කරගත්තෙමු. රට සහ ජනතාව ශිෂ්ටකරණයේ දිසාවට, පුරවැසිකරණයේ දිසාවට ගෙනයෑමේ වගකීම අප උරෙන් ගෙන සිටියෙමු. ගෝඨාභයගේ පාලනයේ වුව ද අපේ ස්ථානගත වීම සිදුවන්නේ එතැන ය. රෝසමල තැනෙක තිබෙද්දී අන්තැනක නටන භාවිතයක් අපට තිබුණේ නැත.



එහෙත් නව ජනාධිපතිවරයාගේ පාලනයේ ආරම්භයේ ම හෙවත් මේ සටහන තබන මොහොතේ ඇත්තේ අතිශය පුදුමාකාර තත්වයකි. කිසිවෙක් කටක් නාරින බවක් පෙනේ. අතිශය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගෝඨාභය ජයගත් බවත් ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති බවත් අපි පිළිගත යුත්තෙමු. පිළිගනිමු. එහෙත් ඔහුට විපක්ෂව ද ගණනින් ලක්ෂ 60 කට ආසන්න පිරිසක් සිටියෝ ය. පුදුමයට කරුණ නම් මේ වන විට එවැනි පිරිසක් නොසිටියා සේ පෙනෙන්නට පටන් ගෙන තිබීම ය. මුළු සමස්ත ජනතාව ම ඒකමතිකව ගෝඨාභය බලයට ගෙනා බවක් පෙනෙන්නට තිබීම ය.

සියලු දෙනා පාහේ මෞන ව්‍රත පුරන්නට පටන් ගෙන තිබේ. සතියට මාධ්‍ය සාකච්ඡා දෙක-තුන කැඳවූ වාචාලයෝ දකින්නටවත් නැත. මහා චරිත ලෙස පෙන්වාගෙන සිටියෝ චූල බවට පත්ව තණපත් අතර සැඟවී ගොස් තිබේ. ගෝඨාභය වාරණයක් මර්ධනයක් ගෙනෙන්නට කල්පනා කරන්නට පවා ප්‍රථමයෙන් බොහෝ දෙනෙක් ස්වයං වාරණයක් දමාගෙන සිටිති. කොටින් ම යකා පනින්නටත් පෙර හැමෝම පාහේ ආරක්ෂාවට නූල් දමාගෙන ඔළුව වැසෙන්නට රෙදි පොරවාගෙන ආතුර චරිත රඟපාන්නට පටන් ගෙන තිබේ.

ගෝඨාභය යන ගමන දැන් නම් හෝදන්නට දෙයක් ඇත්තේ නැත. ඔහුගේ දිවුරුම් දීමේ කතාව ම සැරසී තිබුණේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයෙනි. අඩු ම තරමේ දෙමළ භාෂාවෙන් පරිවර්තනයක් පවා නොකරන්නට හේ මඟ බලාගත්තේ ය. ඔහුගේ කතාව සැදී තිබුණේ ෆුල්සූට් අඳින නමුත් ඉඩමේ මායිමට රණ්ඩු කරගන්නා මැදමුලන ගැමියෙකුගේ ආකාරයෙනි. සමස්ත ගමන ම මේ ආකල්පය මත සිදුවන බව දැනගන්නට මේ සඳුදා බිඟුන් මේනක ගමගේ විසින් ලංකාදීප පුවත්පතට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව කියවීම සෑහේ. රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් තොරව පවත්වාගෙන යෑම වෙනුවෙන් අරගල කර පිහිටුවා ගත් ශිෂ්ට ලෝකයේ ඇගැයුමට ලක් වෙන කොමිසන් සභා සමඟින් වැඩක් කළ නොහැකි බව ඔහු ප්‍රසිද්ධියේ දැක්වූයේ ය. 19 සංශෝධනය පිළිකෙව් කළේ ය. ජනපතිවරයාට ද ඇඟිල්ල දිගු කෙරී තිබුණු පරීක්ෂණ ගණනාවක් මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පලිගැනීමක් යැ යි සිතිය හැකි පන්නයේ මාරුවකින් පිරිහෙළිණි. අධිකරණ නියෝගයකින් තොරව කළ නොහැකි වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704කට රටින් පිටවීමේ වාරණ නියෝග පැණවූයේ ය. ආරක්ෂක අමාත්‍ය ධුරය දරන්නේ කවරෙක් දැ යි තවමත් දැනගන්නට නැත.

සතියක් තුළ සිදුවූ මේ සිදුවීම්වලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යන්නට හදන ගමන ගැන පුරෝකථනයක් කරගන්නට නොහැකි නම් එවුන් අඳ බාල අබබ්බයන් විය යුතු ය. මේ කෙළි කෙරුවේ ද භාරකාර ආණ්ඩුවක් සන්තකයේ තබාගෙන ය. ඉදිරි මැතිවරණයකින් බලයට පත් වෙන තමන්ගේ ම රජයකින් කවර දේ කෙරෙද්දැ යි ඉන් සිතාගත හැකි ය. මගේ ප්‍රශ්න කිරීම ගෝඨාභයගේ මේ ක්‍රියා පිළිවෙත නොවේ. මේ ගෝඨාභය රාජපක්ෂ යි. ඔහු තම පාරේ ගමන යමින් සිටියි.

මගේ ප්‍රශ්න කිරීම ඔහුගේ ප්‍රතිපක්ෂය යි. එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්නට දෙයක් ඇත්තේ නැතුවා සේ ම අපට උන්ගෙන් වැඩක් ද නැත. ජනතාව ගැන හෝ ශිෂ්ටකරණය කෙරෙහි ලේශමාත්‍ර හැඟීමක් හෝ මේ දියාරු දක්ෂිණාංශය වෙතින් ලැබෙන්නේ නැත. සිවිල් සමාජය කියා උඩ පැන නැටූ පිරිස කොහි ද? මෙතරම් සිදුවීම් ප්‍රමාණයක් සිදු වෙද්දී කටක් ඇරි එක සිවිල් සමාජ මහතෙක් සිටිත් ද? සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, චන්ද්‍රගුප්ත තේනුවර, ධර්මසිරි බණ්ඩාරනායක ආදී වශයෙන් නැතක් සිවලුන් සමාවෙන්න සිවිලුන් වචනයක් කතා කළ අවස්ථාවක් වේ ද? ජනතා විමුක්ති පෙරමුණ? අප මාධ්‍ය මිතුරන් "අනුර අයියා" කියා ආදරයෙන් අමතන අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා ස්වාධීන කොමිෂන් සභා ගැන ආණ්ඩුවේ ආකල්පය, ශානිගේ මාරුව, අනීතික රටින් පිටවීමේ වාරණ, ජනාධිපතිවරයාගේ ස්වෝත්තම කතාවන් ගැන තම අදහස පළ කළ තැනක් හෝ එසේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ලෙස උක්ත කරුණු හෝ එක් කරුණක් අරභයා එක් පුවත්පත් නිවේදනයක් නිකුත් කළ තැනක් හෝ වෙත් ද? සිංහල බෞද්ධ ඡන්ද ගොඩේ තමන්ගේ කොටස ගැන වදවෙන උහු මේවාට කටක් නාරින බව සහතික ය. නැතක් බලගතු මාධ්‍ය සංවිධාන, මහා බලගතු මාධ්‍ය ශ්‍රේෂ්ඨයෝ කොහි සැඟවුණි ද? අඩු ම තරමේ මේ "හැදෙන ගහේ දෙපෙත්ත" ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවා යමක් කිව්වෙ නැත.

මෙවැනි සන්දර්භයක "මාධ්‍යකරුවන්" ලෙස අප කළ යුත්තේ කුමක් ද? සැබෑ ප්‍රශ්න වෙත අභිමුඛ නොවී "ඌරන් පොලු ගසා මැරූ අබිලිංට අවසානයේ දී පඩිසන් දුන් හැටි" ජාතියේ ලිපි ලියන්නට අප තීරණය කළ යුතු ද? අපේ මාධ්‍ය භාවිතයත් විලංගුවල කැටයම් කපනා තැනට තල්ලු කරගත යුතු ද?

ශ්‍රී ලංකාවට අප තවදුරටත් අවශ්‍ය ද? ඉතිහාසය මෙතැනින් අවසන් ද?”

අධ්‍යාපනයේ බහුවිධ අර්බුදය පිළිබඳ විශ්ලේෂණයක්

රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවලටත්, රටේ ආර්ථිකයටත් සියලුම අධ්‍යාපන මට්ටම්වල තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ නොහැකියාව තවමත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලකිල්ල ලැබී නැති කරුණකි. 


ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්‍රමය, එහි පෙරපාසල්, ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයීය මට්ටම දක්වා, පවතින්නේ බහුවිධ අර්බුදවලට මුහුණදෙමිනි. මෙම අර්බුදය විසඳීම වෙනුවෙන් මෑත කාලීනව ගනු ලැබූ උත්සාහයන් තුළ ඇත්තේ අර්ධ සාර්ථක වීම් හෝ සමස්ථයක් ලෙස අසාර්ථක වීම් ය. මෙම බහූවිධ අර්බුද දිගින් දිගටම පැවතීම එළැඹෙන ජනාධිපතිවරණයේ දී අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති අපේක්ෂකයන් තුළ ද විශාල උනන්දුවක් ඇති කොට තිබේ.

ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් තම උපදේශකයන් වෙත අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ වගකීම බාර දී ඇති බව වාර්තා වේ. එලෙස කෙටුම්පත් කරන ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මෙන්ම ප්‍රචාරක වේදිකාවල ද සමහරවිට දැනටමත් සාකච්ඡා වෙමින් තිබෙන්නට පුලුවන.



දිගින් දිගටම තියුණු වන අධ්‍යාපන අර්බුදය විසඳීම සඳහා ඇති වී තිබෙන මේ ආකාරයේ උනන්දුව වඩාත් අර්ථවත් වන්නේ නව අදහස් හා ප්‍රතිපත්ති අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සඳහා යොදාගත හොත් පමණි.

අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වන වෘත්තිකයන් වන අපි ශ්‍රී ලංකාවේ සෑම මට්ටමකම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිමු. මේ සන්දර්භය තුළ අපේ අරමුණ වනුයේ විසඳීමට තුඩු දෙනවා යැයි අප සිතන ප්‍රවේශ කිහිපයක් යෝජනා කිරීම ය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටින ජනාධිපතිවරණ අපේක්ෂකයන්, ඔවුන්ගේ උපදේශක කමිටු, දේශපාලන පක්ෂ, රටේ පුරවැසියන් මෙන්ම ඡන්දදායකයන්ගේ ද අවධානය සඳහා පහත දැක්වෙන විග්‍රහය, දැක්ම සහ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරමු.

වර්තමාන අර්බුදය

විවිධ මානයන් සඳහා අවධානය යොමු කරමින් පර්යේෂකයන් හා ප්‍රතිපත්ති විශේෂඥයන් ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන අර්බුදය ගැන ප්‍රමාණවත් විග්‍රහ දැනටමත් ඉදිරිපත් කර ඇත. අප බලාපොරොත්තු වන්නේ සමස්ත අධ්‍යාපන අර්බුදය විසඳිය නොහැකි වීමට දායක වී ඇති පහත සඳහන් විෂමතා ගැන ද අවධාරණය කිරීමට ය. ඒවා විසඳීම සඳහා දැවැන්ත ප්‍රතිපත්තිමය මැදිහත් වීම් අවශ්‍ය වී ඇත. එම මැදිහත් වීම් කෙටි කාලීන, මධ්‍යම කාලීන හා දිගු කාලීන පදනමක් මත සිදුවිය යුත්තකි.
■ පාසල්, තෘතීය සහ උසස් අධ්‍යාපනය සඳහා වේගයෙන් වැඩි වන සමාජ ඉල්ලුම තවම පවතින්නේ ඉටු නොවන තත්ත්වයකය. එයට හේතු වන්නේ රජය විසින් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන ක්‍රමයේ ව්‍යාප්තියට, නවීකරණයට, ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ සමාජ අපේක්ෂාවන් සපිරීමට ධාරිතාවක් දැනට පවතින අධ්‍යාපන ක්‍රමයට නොමැති වීමයි.
■ රාජ්‍ය අංශය සැම මට්ටමකින්ම සපයන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ සහ ප්‍රමිතීන්ගේ ක්‍රමික පරිහානිය, අධ්‍යාපනය සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර දක්වා ඇති අවිධිමත් සහ හදිසි ප්‍රතිචාර නිසා තවත් ඉක්මන් වී ඇත. මේ තත්ත්වය පාසල්, වෘත්තීය පුහුණු ආයතන මෙන්ම විශ්වවිද්‍යාල තුළ ද නිරීක්ෂණය කළ හැකි ය.
■ පූර්ව ළමාවිය අධ්‍යාපනය පවතින්නේ අවිධිමත් තත්ත්වයක ය. එය ලබාදෙන සේවා නියාමනය කිරීම වෙනුවෙන් ප්‍රතීතන (Accreditation)  ආයතනයක් නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු ක්‍රියාකාරී මැදිහත් වීමක් නොමැතිව ප්‍රමිතිය, ගුණාත්මක තත්ත්වය, අධ්‍යාපනයේ ස්වභාවය, පහසුකම් සහ පවතින සනීපාරක්ෂක මට්ටම යාවත්කාලීන කළ නොහැකි ය. මනා අධ්‍යාපනයක් ලබාදෙන පූර්ව ළමාවිය ආයතන තිබෙන විට දල ඒවායේ  ගාස්තු පවතින්නේ සාමාන්‍ය දෙමාපියන්ට දැරිය නොහැකි තරම් ඉහළ මට්ටම්වල ය.
■ අඩු ආදායම් ලාභී හා පහළ මධ්‍යම පාංතික පවුල්වල ආර්ථික අපහසුතා නිසා එම පවුල්වල දරුවන්ගේ ඇති අඩු පෝෂණ තත්ත්වය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට යොමු විය යුතු ය. මේ පවතින ඌණ පෝෂණ තත්ත්වය විශ්වවිද්‍යාල හා තෘතීක අධ්‍යාපන ආයතනවලට පැමිණෙන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ගෙන් ද පිළිබිඹු වෙයි.
■ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නොහැකි වී ඇත්තේ පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීම් හැකියාව, පුහුණුව, ඇගයීම, මඟ පෙන්වීම හා වෘත්තිකභාවය යන මේවා කිසිදු පරිවර්තනයකට භාජනය නොවී පවතින නිසා ය. බොහෝ ගුරුවරුන් භාවිතා කරන්නේ එකම සහ වැරදි ඉගැන්වීම් ක්‍රමයකි. එම විධික්‍රමය,
(අ). සටහන් කියවන විට ලිවීම.
(ආ). සිසුන් ලවා ආදර්ශ පිළිතුරු කටපාඩම් කරවීම සහ ප්‍රධාන විභාගවල දී එම පිළිතුරු ලිවීමට බලපෑම් කිරීම.
(ඇ). සිසුන් ඉලක්ක ප්‍රශ්න ලෙස නම් කරන ප්‍රශ්නවලට පමණක් සූදානම් වන ලෙස පෙළඹ වීම, යන පියවරවලට සීමා වී ඇත.
■ නව කුසලතා අත්පත් කර ගැනීමට මෙන්ම නව විෂය දැනුම ලබාගැනීමට ද අවකාශ නැති බැවින් පාසල් ගුරුවරුන් බොහෝ දෙනාගේ ඵලදායී භාවය පිරිහී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට දරුවන්ගේ නිර්මාණශීලීත්වයට කිසිදු උත්තේජනයක් සැපයිය නොහැකි ය.
■ රජය හා සමාන්තරව පුද්ගලික අංශය ද අධ්‍යාපන සේවා සැපයීම නිසා පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ප්‍රතිඵල විකෘති වී ඇත. නියාමනය නොකරන ලද පුද්ගලික උපකාරක පන්ති විසින් සිසුන්ගේ පවුල්වල අධ්‍යාපන වියදම ඉහල නංවමින් නිදහස් අධ්‍යාපනයේ පදනම් බිඳදමා තිබේ. එය විසින් පාසල් අධ්‍යාපනය අරාජිකත්වයට ද පත් කරනු ලැබ ඇත.
■ ලාභ අරමුණු කොට පවත්වාගෙන යන, කිසිදු නියාමනයකට භාජනය නොවෙන පෞද්ගලික අධ්‍යාපනය බාධා විරහිත ව ව්‍යාප්ත වීම නිසා පෞද්ගලික අංශයෙන් සැපයෙන අධ්‍යාපනයට ඇතුළු වීමත්, එයින් ප්‍රතිලාභ ලබන්නන් සම්බන්ධවත් නව සමාජ අසමානතා මතුවී තිබේ. මේ ආයතන විසින් පවත්වන විභාගවල ගුණාත්මක භාවය හා ප්‍රමිතිය සහතික කිරීමට ආණ්ඩුවේ යාන්ත්‍රණයක් නොමැත. එබැවින් ශිෂ්ටාචාරයේ සම්පතක් ලෙස අධ්‍යාපනයේ ඇති සමාජයීිය මෙහෙවර දුර්වල කිරීමේ ශක්‍යතාවය එම ආයතන සතුව ඇත.
■ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවලටත්, රටේ ආර්ථිකයටත් සියලුම අධ්‍යාපන මට්ටම්වල තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ නොහැකියාව තවමත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලකිල්ල ලැබී නැති කරුණකි. සමාජයේ ඉතා සීමිත ස්තර ප්‍රමාණයකට සේවා සපයන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන හතු පිපෙන්නාක් මෙන් බිහි වන බැවින්  රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල රැකියා ලබා ගැනීම සඳහා ඇති ඉඩ ප්‍රස්තා පිළිබඳ සමාජ අසමානතා ගැටලුව තිව්‍ර වීමට බෙහෙවින් ඉඩ තිබේ.
■ රාජ්‍ය අංශයට සහ වෛද්‍ය හා තාක්ෂණ වෘත්තීන්ට නව නිලධාරීන් බඳවා ගැනීම අපේක්ෂා කරමින් 1940 ගණන්වල මුල් කාලයේ තරම් අතීතයක ආරම්භ කරන ලද ප්‍රථම උපාධි සපයන විශ්වවිද්‍යාල ආයතන ඇතුළු සමස්ත උසස් අධ්‍යාපන අංශයම පවතින්නේ යාවත්කාලීන නොවූල කාලයට නොගැළපෙන තත්ත්වයක ය. යටත් විජිත අතීතයේ උරුමයක් වන මේ යල්පැනගිය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට හා නවීකරණය කිරීමට කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නැත.
■ ගෝලීය ආර්ථික සහ ශ්‍රම වෙළෙඳපොළේ වරින් වර ඇති වන තෙරපුම්වලට ආණ්ඩුව දක්වා ඇත්තේ අවිධිමත් හා වියදම් සහිත ප්‍රතිචාරයන් ය. පාසල් හා විශ්වවිද්‍යාල ආයතන තුළ ක්‍රියාත්මක කර ඇති එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ සිදු වී තිබෙන්නේ රටේ අධ්‍යාපනය තිරසර ලෙස නිර්මාණය කිරීමට දේශීය වශයෙන් ගොඩනැගුනු දැක්ම හා පර්යාවලෝක දිගින් දිගටම නොසලකා හැරීම ය. දේශීය විද්වතුන්ගේ නිර්මාණශීලී යෝජනා නොසලකා හැරීමේත්, එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අංශයේ වෙනස්කම් ඇති කිරීමට ඔවුන් දක්වන උදාසීනත්වයේත් ප්‍රතිවිපාකය වී ඇත්තේ සෘජු පාර්ශ්වකරුවන් එම ප්‍රතිසංස්කරණවලට සහභාගි නොවීමයි.
■ ශ්‍රී ලංකාවේ තෘතීය හා වෘත්තීය පුහුණු අංශය අධ්‍යාපනයේ ශක්තිමත් ඉදිරිගාමී කොටසක් බවට පත් කිරීමට තවමත් හැකි වී නැත. එය අවුරුදු 16ට වැඩි පාසල් හැර යන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සඳහා සූදානම් කිරීම අරමුණු කරන්නක් වුවත්, ප්‍රමාණවත් ලෙස තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමට එම අංශය අසමත් වී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ,
(අ). නව පරම්පරාවේ තරුණ තරුණියන්ට ලැබෙන පාඨමාලා සහ පුහුණුව ආකර්ෂණීය නොවීම.
(ආ). ජීවත් වීමට අවශ්‍ය තරම් ශිෂ්‍යත්ව දීමනාවක් නොලැබීම.
(ඇ). ශිෂ්‍යාවන්ගේ වෘත්තීය අපේක්ෂාවලට ගැලපෙන ආකාරයට පාඨමාලා සකස් නොවීම.
(ඈ). සමස්ත අධ්‍යාපන දැක්මේ ඇති ගතානුගතිකත්වය නිසා හතර වන කාර්මික විප්ලවයෙන් ඇතිවන අභියෝගයන්ට හා අවස්ථාවන්ට මුහුණ දීමට සූදානම් නොවීම යන සාධකයි.
■ අයුතු ප්‍රතිලාභ ලබන කණ්ඩායම්හි පටුණි දේශපාලනිකරණයවූ ප්‍රතිචාර නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති චින්තනයට බාධා පැමිණ ඇත. විවිධ ආණ්ඩු, දේශපාලන පක්ෂ, ගුරු සංගම් හා ශිෂ්‍ය සංගම් මෙම කණ්ඩායම්වලට අයත් වෙති. මේ අතර පර්යේෂණ මත පදනම් වූ විකල්ප ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීමට ශාස්ත්‍රීය ප්‍රජාවත්, ඔවුන්ගේ වෘත්තික සංවිධානත් දක්වන නිරන්තර අසමත්කම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇති මහජන සාකච්ඡාව වඩා දුගී තත්ත්වයකට පත් වී ඇත.
■ අධ්‍යාපනයේ සැම මට්ටමකත්, සෑම ක්ෂේත්‍රයකමත් පාහේ පිරිමින්ට වඩා ස්ත්‍රීන්ගේ සහභාගිත්වය ඉහළ යාමත් සමග පාසල්, විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල ශිෂ්‍ය ප්‍රජාවේ ස්ත්‍රී - පුරුෂ සංයුතිය වේගයෙන් වෙනස් වෙමින් පවතී. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීයකරණය වීමේ ප්‍රතිඵලයකි. මෙම ප්‍රජාවිද්‍යාත්මක පරිවර්තනය නිසා ඇති වූ ව්‍යුහාත්මක වෙනසට ප්‍රතිචාර දැක්වීම සඳහා අධ්‍යාපන ආයතනවල පවත්නා තත්ත්වය අර්ථවත් ලෙස හැඩ ගැසී නැත.
එමෙන්ම අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ජනගහණයෙන් බහුතරය වන ශිෂ්‍යාවන්ගේ අවශ්‍යතාවන් සඳහා සංවේදී වීමට වෘත්තීය පුහුණුව තවමත් සමත්වී නැත. වෘත්තීය පුහුණුව තවමත් පවතින්නේ සාම්ප්‍රදායික ස්ත්‍රී-පුරුෂ විභේදනය නැවත නැවතත් තහවුරු කරන ගතානුගතික නැඹුරුවකින් යුතුව ය. සාම්ප්‍රදායික වශයෙන් පිරිමි ශිෂ්‍යයන් සඳහා වෙන්කර ඇති වෘත්තීය ක්ෂේත්‍රවලට සම්බන්ධ වීමට ශිෂ්‍යාවන් වෙනුවෙන් දිරිගැන්වීම් ද නොමැති ය. රැකියා ක්ෂේත්‍රයේ දිගින් දිගටම සිදුවන්නේ රැකියාවලට බඳවා ගැනීමේ දී සහ උසස්වීම් දීමේ දී උගත් සහ වෘත්තීමය සුදුසුකම් ලත් ස්ත්‍රීන්ට වෙනස්කම් කොට සැලකීම ය.
■ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇති ආයතනික වගකීම ආණ්ඩුවේ මූලික ආයතන අතර විසිර පැවතීම ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඇති ප්‍රධාන බාධාවකි. මෙම කරුණ ද පවතින්නේ ඒ පිළිබඳ කිසිදු පිළිගැනීමක් නැතුව ය. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම අතිවිශාල ආයතන ජාලයක් තුළ විසිර පැතිර තිබේ. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, කැබිනට් මණ්ඩලය, අධ්‍යාපන අමාතයාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් සභා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒවා අතර ප්‍රධානය. මෙම ආයතනවල වගකීම විසිරී පැවතීම ජයගත හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනයටත්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් මඟ පෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමට ආයතනික මධ්‍ය ලක්ෂ්‍යක් තිබෙන විට ය.

දීර්ඝ කාලීන දැක්මක්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වර්තමාන අර්බුදයෙන් ගොඩ ගැනීමටත් එහි අනාගත සංවර්ධන මාවත යළි දිශාගත කිරීමටත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමක් සහිත ප්‍රතිපත්ති දැක්මක් අවශ්‍ය බව අපි අවධාරණය කරමු. එවැනි ඉදිරි දැක්මක් සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය එහි සෑම මට්ටමකින්ම නවීකරණය කිරීම මගින් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට නායකත්වය දීමට අධිෂ්ඨානයක් ද සහිතව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව සහ ප්‍රජාවන් අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීමට සමත්වන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙයි. එවැනි නූතනකරණ දැක්මකට පහත සඳහන් ප්‍රතිමානීය මූලධර්ම සහ මූලෝපායික සිතා බැලීම් අඩංගු විය යුතු ය.
■ අධ්‍යාපනය සියලු දෙනාගේ මූලික අයිතියකි. රජයේ යුතුකම හා වගකීම වන්නේ සියලුම පුරවැසියන්ට හුදෙක් අධ්‍යාපනයට අවකාශ සැලසීමට පහසුකම් සැපයීම පමණක් නොව කිසිදු හේතුවක් නිසා වෙනස්කම් කරනු ලැබීමට හෝ නොසලකාහැරීම්වලට හෝ භාජනය නොකරන ගුණාත්මක වශයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබාදීම ය.
■ අධ්‍යාපනය වනාහි සමාජ පරිවර්තනයේ, සමාජ සමානාත්මතාවයේ, සමාජ සංචලතාවයේ, ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි භාවයේ, බහුත්වවාදී ජාතිය ගොඩනැගීමේ සහ පුද්ගල මෙන්ම ප්‍රජාකණ්ඩායම්වල අයිතීන් සාක්ෂාත් කර ගැනීමේ ද වැදගත් මාධ්‍යයකි. එපරිදි සාධනීය සමාජ පරිවර්තනය මෙන්ම පුද්ගලික හා සමාජයීය වර්ධනය සඳහා ද ගාමක බලවේගයක් ලෙස අධ්‍යාපනය සතු ශක්‍යතාව සහ කාර්ය භාරය ආරක්ෂා කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත්, ආණ්ඩුව සහ පුරවැසියන් අතර පවත්නා සමාජ ගිවිසුමේ කේන්ද්‍රීය අංගයක් විය යුතු ය. මෙයින් යෝජනා වන්නේ අධ්‍යාපනයේ සැම මට්ටමකදීම සමානාත්මතාව වැදගත් වන්නේය යන්න සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් අතර පැහැදිලි කැපවීමක් තිබිය යුතු බව ය.
■ එසේ වුවත් එවැනි ප්‍රතිචාර ප්‍රවේශමෙන් සකස් කළ යුතු අතරල එය කළ යුත්තේ දේශීය තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන ය. මෙම ප්‍රතිචාර ප්‍රතිපත්ති බවට පත් කරමින් ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ සාමාජීය සහ ජනවාර්ගික බැහැර කිරීම්, ප්‍රජා කණ්ඩායම් ආන්තිකකරණයට පාත්‍ර කිරීම්, සමාජ අසමානතා තවත් තියුණු වීම, දේශපාලන කැළඹිලි සහ ජාතික අර්බුදවල නවරැලි මතු වීමට තුඩුදීම යනාදී ප්‍රතිඵල ද වළක්වමිනි. ඒ සඳහා අවශ්‍ය වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඇති වන සංවාදයක් තුළින් පුළුල් සමාජ සහ අන්තර් - පාර්ශ්වීය සන්ධානයක් ගොඩනැගීමයි.
■ ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු සංස්කෘතික, බහු භාෂා සමාජයක් වන්නේය, යන යථාර්ථය අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ නිසිලෙස පිළිබිඹු වීම අත්‍යවශ්‍ය වේ. සෑම මට්ටමකම සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මඟපෙන්විය යුත්තේ බහුත්වවාදී වටිනාකම් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා පුරවැසියන් බිහිකිරීම අරමුණු කරගත් ඉදිරි දැක්මකි.
■ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගෝලීය මට්ටමින් සිදු වන ආර්ථික, කාර්මික සහ තාක්ෂණ විප්ලව, ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිව්‍යුහගත වීම යන මේවා වෙතින් පැන නැගෙන නව ඉල්ලීම්වලට ද ප්‍රතිචාර දැක්විය යුතුව තිබේ. එබැවින් වෘත්තීය සහ වෘත්තික අධ්‍යාපනය සඳහා ඇති නව අවධාරණය පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමග මනා ලෙස සම්බන්ධීකරණය කළ යුතුව තිබේ. එය කළ යුත්තේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ සහ විදේශීය ආධාර දෙන ප්‍රජාවන් අතර ඇති වන සක්‍රීය සහයෝගීතාවක් මගිනි.

කෙටි කාලීන හා මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග සඳහා රාමුවක්

ප්‍රතිපත්ති මැදිහත් වීමක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග යෝජනා කිරීමට අපි කැමැත්තෙමු. ඒවා වෙතින් සමාජයේ සිටින ප්‍රතිසංස්කරණ ප්‍රජාවන් ගණනාවකගේ අදහස් ද ප්‍රකාශයට පත් වෙයි. නව ප්‍රතිපත්ති නිර්මාණය කිරීමත්, පවත්නා ආයතන ප්‍රතිනිර්මාණය හා ප්‍රතිසංස්කරණය කරන ගමන් ම නව ආයතන ගොඩනැගීමත් ඒවායින් යෝජනා වෙයි. ආයතන ගොඩනැගීම හා ප්‍රතිසංස්කරණය කළ යුත්තේ එම ආයතනවල අරමුණු ගැන පැහැදිලි අවබෝධයකින් යුතුව, සහ ඒවා නිලධාරීකරණයට ගොදුරු වීම වැළැක් වීමේ පැහැදිලි දැක්මක් ද සහිතව ය.

මුල් ළමාවිය අධ්‍යාපනය

ප්‍රතිපත්ති අභියෝගය

මුල් ළමාවිය අධ්‍යාපනය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති පුළුල් මෙන්ම තවමත් ව්‍යාප්ත වෙමින් පවත්නා අංගයකි. එම අංශය දැනට පවත්වා ගනිමින් කළමනාකරණ කෙරෙන්නේ සුළු පරිමාණ පෞද්ගලික ආයෝජන හෝ තනි තනි පුද්ගල ප්‍රයත්න හෝ ලෙස ය. රාජ්‍ය ආයෝජනය නොමැති වීම, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ සහ පවත්නා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම පිළිබඳ පැහැදිලි නෛතික රාමුවක් නොමැති වීම, නීති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමටත්, එම නීති ක්‍රියාත්මක වන බව සහතික කිරීමටත් ශක්තිමත් යාන්ත්‍රණයක් නොමැති වීම සහ එම අධ්‍යාපනයේ සෑම අංශයක් සඳහා ගුණාත්මක තත්ත්ව සහතික කිරීමක් නොමැති වීම යන ඒවා විසඳුම් අවශ්‍යවන තීරණාත්මක කාරණයන් ය.

ප්‍රතිපත්ති යෝජනා

■ දැනට අවිධිමත් පදනමක් මත ක්‍රියාත්මක වන මුල් ළමාවිය අධ්‍යාපනය විසින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මක තත්ත්ව තහවුරු කිරීම සඳහා පියවර ගතයුතු ය.
■ මුල් ළමාවිය අධ්‍යාපන සේවා සපයන්නන් ප්‍රතීතනය (Accreditation) කිරීමට සහ එම ආයතන මෙන්ම ගුරුවරුන් සඳහා ද අවසර පත්‍ර ලබා දීමේ ජාතික ප්‍රමිතීන් සකසා පළාත් සභා මගින් දැනට පවත්වාගෙන අධීක්ෂණ යාන්ත්‍රණ ශක්තිමක් කළ යුතු ය.
■ එම අංශ මගින් සපයන සේවා මෙන්ම විශේෂයෙන් ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුවට සහ වෘත්තිකකරණයට වඩාත් අවධානය යොමු කරමින් මුල් ළමාවිය අධ්‍යාපනය සහතික කිරීමට (Certification) අවධානය යොමු කළ යුතු ය.
■ මුල් ළමාවිය අධ්‍යාපනය අධීක්ෂණය කිරීමේ, එයට සහාය වීමේ, දියුණු කිරීමේ සහ තිරසර ලෙස පවත්වා ගැනීමේ ආයතනික රාමුවක් හඳුන්වා දිය යුතු ය. මුල් ළමාවිය අධ්‍යාපන අධිකාරියක් පිහිටුවිය යුතු අතර, එයට පළාත් සභා සහ පළාත් පාලන ආයතන සමග සහයෝගයෙන් වැඩ කිරීමට බලය පැවරිය යුතු ය.
■ පහත සඳහන් පියවර ගැනීම තුළින් එම යෝජනා ක්‍රියාත්මක කළ හැකි ය.
(අ). ගුරුවරුන් බඳවා ගැනීමේ සුදුසුකම්, ගුරුවරුන් පුහුණු කිරීම, නිර්දේශ පත්‍ර සකස් කිරීම, ඉගැන්වීමේ ක්‍රම, පූර්ව පාසල් ක්‍රමය කළමනාකරණය කිරීම යන මේවා සඳහා මඟ පෙන්වීම් රාමුවක් සකස් කිරීම, සහ
(ආ). ඒ සමග ම පාසල්වල ඉඩකඩ මෙන් ම පහසුකම් හා උපකරණ ද පිළිබඳ නිර්ණායකයන් ගොඩනැගීම සඳහා අධිකාරියට බලතල පැවරීම.
(ඇ). අධිකාරිය මේ වගකීම්වලින් සමහරක් තම අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට පළාත්සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පැවරීම.
(ඈ). පහළ බාලාංශ පන්තිය රජය විසින් පවත්වා ගෙන යනු ලබන ජාතික ප්‍රාථමික පාසල් පද්ධතියට එක් කිරීම.

පාසල් අධ්‍යාපනය

ප්‍රතිපත්ති අභියෝගය

පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අර්බුදය බහුමානීය මෙන්ම සෑම අංශයක් පුරාම පැතිර ගිය එකකි. එකිනෙක සමඟ තරගකාරී අභිලාෂ හා න්‍යාය පත්‍ර ඇති පාර්ශ්වකරුවන් විශාල පිරිසකගේ බලපෑමට ද පාසල් අධ්‍යාපන අංශය හසුවී තිබේ. මෙම අංශයේ බෙහෙවින් අවශ්‍ය වී ඇති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුව තිබෙන්නේ විවිධ අභිලාෂ තිබෙන කණ්ඩායම්වලින් එල්ල වන විරෝධතා ද කළමනාකරණය කිරීමේ උපාය මාර්ග සහිතව ය. ප්‍රතිපත්ති සම්පාදකයන් සහ විසංවාදී මත ඉදිරිපත් කරන ප්‍රජාවන් අතර නිරන්තර සංවාදය එවැනි උපාය මාර්ගයක අනිවාර්යයෙන් තිබිය යුතු ය.
ප්‍රතිපත්ති යෝජනා
පස්වෙනි වසරේ ශිෂ්‍යත්ව පරීක්ෂණය ප්‍රතිසංස්කරණය කිරීම
■ පස්වෙනි වසරේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සමාජ හා ප්‍රතිපත්ති උපයෝගිතාවය ගැන යළි සමාලෝචනය කර එහි ඇති අතිශයින් දුෂ්කර තරගකාරී සහ වාණිජකරණයට ලක් වූ පීඩාකාරී විභාග යාන්ත්‍රණය නොමැති නව ක්‍රමයක් ඒ වෙනුවට නිර්මාණය කළ යුතු ය. නව ක්‍රමයේ පහත සඳහන් ලක්ෂණ තිබිය යුතු ය.
(අ). අඩු ආදායම්ලාභී පවුල්වල මුල්‍ය අවශ්‍යතා ඇති දරුවන්ට ලබා දෙන මුල්‍ය ආධාර වැඩිකිරීම, සහ
(ආ). විශේෂ දක්ෂතා සහ විශේෂ කුශලතා සහිත දරුවන් සඳහා ඔවුන් ජීවත් වන පළාත තුළම වඩා හොඳ පාසල් සැපයීම.
මෙම ප්‍රතිලාභ ලැබිය යුතු දරුවන් හඳුනාගත යුත්තේ ජාතික මට්ටමින් සහ එක් එක් පළාත තුළ සිදු කරන වඩාත් දියුණු, විනිවිද පෙනෙන සහ අවභාවිත කළ නොහැකි පාසල් පදනම් කරගත් ඇගයීම් ක්‍රමයකිනි.
■ ඉහත (අ) සහ (ආ) යෝජනා ක්‍රියාත්මක කරන විට ශිෂ්‍යත්ව පරීක්ෂණය ආර්ථික ආධාර අවශ්‍ය දරුවන් වෙනුවෙන් සහ ඇතුල් වීමේ පරීක්ෂණ පහසුකම් අඩු ග්‍රාමීය සහ නාගරික පාසල්වල විශේෂ දක්ෂතා ඇති දරුවන් වෙනුවෙන් පමණක් පැවැත්විය යුතු ය.
අපොස (උසස්පෙළ) විභාගය ප්‍රතිව්‍යුහගතකිරීම:
■ 13 වෙනි වසරේ දී විභාග දෙකක් හඳුන්වාදීම තුළින් දැනට තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ප්‍රතිව්‍යුහගතකිරීම ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු ය. එක් විභාගයක් මගින් සිසුන්ට රැකියා සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය ජාතික මට්ටමේ පාසල් හැරයාමේ සහතික ලබා ගැනීමට අවකාශ ලබා දිය යුතු ය. අනෙක් විභාගයෙන් ලබාදිය යුත්තේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලවල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සුදුසුකම් ය.
පාසැල් හැරයන දරුවන් සඳහා දියුණු හා තිරසර වෘත්තීය අධ්‍යාපනයක්:
■ 13 වන වසරට පසුව පාසල් හැර යන දරුවන් සඳහා මනා ලෙස සැලසුම් කරන ලද හා තිරසර ලෙස පවත්වාගෙන යා හැකි වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්‍රමයක් හඳුන්වා දීමට ප්‍රමුඛතා පදනමක් මත පියවර ගැනීම අත්‍යවශ්‍ය ය. රජය සහ පුද්ගලික අංශයේ සහයෝගීතාව මගින් මෙය සැලසුම් කළ හැකි ය.
පශ්චාත් ප්‍රාථමික අධ්‍යාපනයේ නව නැඹුරුවක්:
■ ගණිතය, විද්‍යාව, සමාජ අධ්‍යයනය, පුරවැසි අධ්‍යාපනය, සෞන්දර්ය අධ්‍යාපනය, චර්යා ධාර්මික අධ්‍යාපනය, ඉංග්‍රීසි සහ දෙවැනි ජාතික භාෂාවන් යන විෂයයන් නිර්මාණාත්මක ලෙස බද්ධ කරන පාසල් නිර්දේශ පත්‍ර ක්‍රමයක් සහිතව පශ්චාත් - ප්‍රාථමික පාසල් අධ්‍යාපනය යළි දිශාගත කිරීම මේ මගින් කළ යුතු ය.
අපොස (උසස්පෙළ) විෂයධාරා ප්‍රතිව්‍යුහගතකිරීම:
■ දැනට පවතින අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ විෂයයන් කලා, වාණිජ, විද්‍යා, තාක්ෂණ යන විෂයධාරා අනුව බෙදීම වෙනස් කර පහත සඳහන් පරිදි යළි නිර්මාණය කිරීම.
(අ). දැනට පවතින විෂයධාරා ඉතා අනම්‍ය ලෙස එකිනෙකින් වෙන් කිරීම නැවැත්වීම.
(ආ). නම්‍යශීලී පාඨමාලා මොඩියුල ක්‍රමයක් මගින් විෂයධාරා අතරින් පාඨමාලා මොඩියුල තෝරා ගැනීමට අවකාශ සැලසීම.
ඒ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ ප්‍රධාන විෂය හා අමතර විෂයයන් අතර තෝරා ගන්නා තමන්ට කැමැති මොඩියුල සංයුතියක් සඳහා අවකාශ ලබා දෙමින්ල මොඩියුල මත පදනම් වන පාඨමාලා අයවර ක්‍රමයක් (Credit System) මත පදනම්ව උසස් පෙළ විෂය නිර්දේශ රාමුව යළි නිර්මාණය කළ යුතු ය.
ශිෂ්‍ය උපදේශනය හදුන්වාදීම:
■ ශිෂ්‍ය උපදේශනය පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් කිරීම ප්‍රමාද කළ නොහැකි අවශ්‍යතාවයකි. ඉහත දක්වා ඇති ආකාරයට ජ්‍යෙෂ්ඨ ද්වීතියික අධ්‍යාපනය නිර්මාණාත්මක ලෙස යළි සැලසුම් කිරීම සාර්ථක වීමට නම් ශිෂ්‍ය උපදේශනය සැපයීම අත්‍යවශ්‍ය වේ.
චර්යාධාර්මික අධ්‍යාපනය හඳුන්වාදීම:
■ ‘ආගම’ යනුවෙන් ඇති පාසල් විෂයය අන්තර් ආගමික හා ආචාරධාර්මික වටිනාකම් අධ්‍යනය සඳහා අවධානය යොමු කරමින් යළි සකස් කිරීම වැදගත් අවශ්‍යතාවකි. ආගමික අධ්‍යාපනයෙන් අවධාරණය විය යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන ආගම්වල මූලික දාර්ශනික ඉගැන්වීම් සහ චර්යාධාර්මික මූලධර්ම දරුවන්ට හඳුන්වාදීම ය. මේ සඳහා චර්යාධාර්මික අධ්‍යාපනය (Value Education) පාසල් විෂය නිර්දේශ පත්‍රයට ඇතුළු කිරීමේ දී ආගමික ඉගැන්වීම්වල පවත්නා දාර්ශනික හා චර්යාධාර්මික ඥාන සම්භාරයේ කවර කොටස් ඇතුළත් කළ යුතු ද යන්න තීරණය කිරීමට අධ්‍යාපනඥයන්ගෙන් ද සමන්විතවන කමිටුවක් පත්කළ යුතු ය.
අනාගත වෘත්තීය තෝරාගැනීමේ අදහස පාසැල් අධ්‍යාපනයට හඳුන්වාදීම:
■ 10 වන වසරේ සිට අනාගත වෘත්තීය මාර්ග සහ වෘත්තීය තෝරාගැනීම පිළිබඳ අදහස සිසුන්ට හඳුන්වා දීම දැන් පාසැල් අධ්‍යාපනයට එකතු කළ යුතු කාලය එළඹ තිබේ. තම දරුවන්ගේ අනාගතය ගැන සාධනීය ලෙසත් අවබෝධයෙන් යුතුවත් සිතීමට පටන් ගැනීමටත්, ගුරුවරුන් සමග සහයෝගයෙන් සැලසුම් කිරීමටත් දෙමව්පියන්ට අවස්ථාවක් ලැබෙනු ඇත්තේ එවිට ය.
වෘත්තීය මාර්ගෝපදේශනය ශක්තිමත් කිරීම:
■ සුදුසුකම් ලත් වෘත්තීය මාර්ග උපදේශකයන් හා උපදේශිකාවන් ලෙස පාසල්වල සේවය කිරීම සඳහා විශේෂ ගුරු සේවයක් ආරම්භ කර එම ගුරුවරුන් පුහුණු කිරීම මේ සඳහා ගතයුතු පළමු පියවරයි. මේ සඳහා ශිෂ්‍ය උපදේශනය සඳහා පාසල් ගුරුවරුන් පුහුණු කිරීම සහ එම සේවාව ප්‍රතීතනය (Accreditation) කිරීම අරමුණු කරගත් වෙනත් ආයතනයක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටු වීම අවශ්‍ය වේ.
ගුරුවරුන් යලි පුහුණු කිරීම සහ සවිබලගැන්වීම:
■ මේ මගින් යොජනා වන්නේ සියලුම පාසල් ගුරුවර ගුරුවරියන් නැවත පුහුණු කිරීමේ හා නැවත සවිබල ගැන්වීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කිරීමයි. මෙම වැඩසටහනේ කටයුතු පියවර කිහිපයක් තුළින් පළාත් සභාවල ද සහභාගිත්වය ඇති විමධ්‍යගත ප්‍රයත්න මගින් සිදුකළ හැකි ය. එවැනි වැඩසටහනක අරමුණ විය යුත්තේ,
(අ). ගුරුවරුන්ගේ විෂය දැනුම යාවත්කාලීන කිරීම හා පුළුල් කිරීම, සහ
(ආ). ඉගැන්වීම, ඇගයීම, සහ ආදර්ශෝපදේශනය (Mentoring) පිළිබඳ නව විධික්‍රම හඳුන්වා දීම යන මේවා ය.
මෙම වැඩසටහනට ගුරුවරුන් ආකර්ෂණය කරගැනීම සඳහා දිරිගැන්වීමක් වශයෙන් පාසල් ගුරුවරුන්ට දීමනා ක්‍රමයක් හඳුන්වා දිය යුතු ය.
13 වසරේදී දැනට සිදුවන හානියට පිළියම් යෙදීම:
■ 13 වන වසරේ ශිෂ්‍ය ශිෂයාවන් නිතිපතා පාසල් පැමිණෙන බවත්, ඔවුන් වෙනුවෙන් ගුරුවරුන් නිසි පරිදි සහ ක්‍රමවත්ව පන්ති පවත්වන බවත් සහතික කිරීම සඳහා අවශ්‍ය පරිපාලන පියවර වහාම ගත යුතු වේ. ගුරුවරුන්ල විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශය 13 වසරේ සිසුන් පාසැල් නොපැමිනීමේ ගැටලුව ගැන දෑස් පියාගෙන සිටීමේ වත්මන් පිළිවෙත වහාම අවසන්කිරීම මේ මගින් යොජනා වේ.
පුද්ගලික උපකාරක පන්ති නියාමනය කිරීම:
■ පුද්ගලික උපකාරක පන්ති ව්‍යාපාරය පාලනය කිරීම සහ ක්‍රමානුකූල කිරීම සඳහාත්, එම අංශයේ අධීක්ෂණය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහාත් නීති ගෙන ඒම වහාම කළ යුතු ප්‍රතිසංස්කරණයකි. එහි අරමුණ විය යුත්තේ,
(අ). පාසල් ක්‍රමයට පරිබාහිරව දරුවන් ලබන අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන් දරන වියදම අවම කිරීම.
(ආ). පහළ සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වලට ආධාර වනු පිණිස රටේ දැනට අතුරුදහන්ව තිබෙන නිදහස් අධ්‍යාපන මූලධර්ම නැවත ප්‍රතිශ්ඨාපනය කිරීම.
(ඇ). අධ්‍යාපනය සැපයීම සූරාකෑමේ වාණිජ ව්‍යාපාරයක් නොවන බව සහතික කිරීම, සහ
(ඈ). අනවශ්‍ය පුහුණුව සහ විභාගවලට නිමක් නොමැතිව කටපාඩම් කිරීම යන ආකාර මගින් සිසුන් මත පටවා ඇති අනවශ්‍ය බරෙන් ඔවුන් නිදහස් කිරීම.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය
ප්‍රතිපත්ති අභියෝගය
විශ්වවිද්‍යාල වනාහි එහි යල් පැන ගිය අරමුණු, ආයතනික ව්‍යුහය, සහ සංවිධානමය සංස්කෘතිය යන මේවා වෙනස් කිරීම අරමුණු කරගත් කිසිදු මූලික ප්‍රතිසංස්කරණයක් සිදුවීම ප්‍රතික්ෂේප කර ඇති ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා එක් අංශයකි. ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ සිට අධ්‍යයන පාඨමාලා ද හිමිකම පුළුල් කිරීම ද ඇතුළු ව විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා ගනු ලැබූ ප්‍රයත්න ද දේපාලන අසහනයට සහ විරෝධතාවන්ට තුඩු දී ඇත.
විශ්වවිද්‍යාල අංශය පවතින්නේ ද රටේ වෙනස්වන අවශ්‍යතාවන්ට බෙහෙවින් පසුපසිනි. ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයන්ගෙන් පැනනැගෙන වෙනස්වීම් හා පරිවර්තනය සඳහා වන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමටත් එයට නොහැකි ය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට රැඩිකල් සහ අතිමූලික ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබේ. එහෙත් ඒවා හඳුන්වා දිය යුතු වන්නේත් කළමනාකරණය කළ යුතු වන්නේත්, එය විසින් සමාජ දේශපාලන ක්ෂේත්‍රවල ඇතිකරන විනාශකාරී ප්‍රතිවිපාක ද වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමිනි.

ප්‍රතිසංස්කරණ යෝජනා

ප්‍රථම උපාධි පාඨමාලා සහ නිර්දේශ පත්‍ර ප්‍රතිව්‍යුහගතකිරීම:
■ කලා, සමාජ හා මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රවල ඉහළ නැංවෙන උපාධිධාරීන් සංඛ්‍යාවන්ට රැකියා සැපයීමේ අභියෝගයට ආමන්ත්‍රණය කිරීම ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවක් ලෙස ප්‍රථම උපාධි පාඨමාලා සහ නිර්දේශ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන්නේ නම්ල එහි අරමුණ විය යුත්තේ උපාධිධාරීන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල විවිධ වෘත්තික රැකියාවලට සෘජුව සුදුසුකම් ලබාදීම ය. එය කළ යුත්තේ උපාධි අපේක්ෂකයන්ට ලබාදෙන විෂය දැනුම සීමා නොකරමිනි. සමාජයෙන් පරාරෝපණය වී සිටින උපාධිධාරීන් තමන් සමාජයට අයත් පුරවැසියන්ය යන අදහස ඇති කිරීමද එමගින් අරමුණු කරගත යුතු ය.
විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගතකිරීම:
■ ප්‍රථම උපාධි අපේක්ෂකයන්ට විශ්වවිද්‍යාල කොලිජි ක්‍රමයද (University College), ඉහළ උපාධි පුහුණුව සඳහා විශ්වවිද්‍යාල ක්‍රමයක් ද ඇතිකරන පරිදි දැනට තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමට සලකා බැලීම එවැනි නව පියවරකි. එහි අරමුණ විය යුත්තේ විශ්වවිද්‍යාල කොලීජිවල ක්ෂණිකව රැකියා ලබාගැනීමට ආධාර වන පුහුණු පාඨමාලා ලබාදීමත්, ඊට ඉහළ තලයේ තිබෙන විශ්වවිද්‍යාලවල ප්‍රශස්ථ මට්ටමේ වෘත්තික සහ ශාස්ත්‍රීය පුහුණුව ලබාදීමත් ය.
වෘත්තීය මාර්ගෝපදේශනය ප්‍රතිසංස්කරණය කිරීම:
■ දැනට පවත්නා වෘත්තීය මාර්ගෝපදේශනය තුළින් මෘදු කුසලතා පුහුණු වැඩසටහන් ඉදිරිපත් කිරීමේ පටු ප්‍රවේශය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා විශ්වවිද්‍යාල යළි සිතා බැලීම මේ මඟින් සිදුවිය යුතු ය. ශාස්ත්‍රීය අධ්‍යාපනය වෘත්තික මට්ටමේ රැකියා (Professional Jobs) සඳහා ලබාදෙන පුහුණුව සමග සංයෝග කරමින් පවත්නා වැඩසටහන් තවත් ශක්තිමත් කළ යුතු ය.
සේවානියුක්ති පුරෝකථනය:
■ විවිධ වෘත්තීමය ක්ෂේත්‍රවල ඇති වාර්ෂික රැකියා අවශ්‍යතා හා අවකාශ පිළිබඳ සමීක්ෂණ මත පදනම් වූ සේවානියුක්ති පුරෝකථන සිදුකිරීමේ ක්‍රමයක් ආරම්භ කළ යුතු ය. මෙය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල, මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශ සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කළ යුතු ය. මේ මගින් ශ්‍රම වෙළෙඳපොළේ වෙනස්වන යථාර්ථයන්ට හා ගෝලීය සහ ජාතික ආර්ථිකයේ ප්‍රවණතාවන්ට අනුකූලව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සැලසුම්කරගත හැකිවනු ඇත.
විශ්ව විද්‍යාල පාඨමාලා ප්‍රතිසංස්කරණය:
■ සෑම අධ්‍යාපන ක්ෂේත්‍රයකටම අයත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුළුල් සහ සාකල්‍ය අධ්‍යාපන ක්‍රමයක් ලබා එයින් ප්‍රතිලාභ ලැබීමට හැකිවන පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පාඨමාලා ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල උනන්දු කළ යුතු ය. එහි අරමුණ විය යුත්තේ දැනට පවත්නා අධ්‍යයන පීඨ සහ විෂයමාලා මත පදනම් වූ පටු ලෙස සංකල්පගත කරන ලද ශාස්ත්‍රීය හා විෂයධාරාමය වෙන් කිරීම අතික්‍රමණය කිරීම ය.
විශ්ව විද්‍යාල ප්‍රවේශ කෝටා ක්‍රමයේ ප්‍රතිසංස්කරණ:
■ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධව දැනට ඇති දිස්ත්‍රික් පංගු ක්‍රමය (කෝටා ක්‍රමය) සමාලෝචනය හා සංශෝධනයට භාජනය කිරීම කල්දැමිය නොහැකි ප්‍රතිසංස්කරණයකි. අලුතින් හඳුන්වා දෙන ක්‍රමය මගින් ග්‍රාමීය දිස්ත්‍රික්කවල දුප්පත් සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වල සිසුන්ට විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාපීඨවලට ඇතුළත් වීමේ ඉඩප්‍රස්ථා ලබා දිය යුතු ය.
ඉගැන්වීමේ ගුණාත්මක මට්ටම ඉහළ නැංවීම:
■ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධි මට්ටමින් දැනට සැපයෙන සියලූම දැනුම හැකිතාක් දුරට උසස් ගෝලීය උපමාන සහ භාවිතයන්ට ළංවිය යුතු ය. එමෙන්ම ගෝලීය උපමාන හා ප්‍රමිතීන්වලට අනුව තම සිසුන්ට ඉහළ මට්ටමේ පුහුණුව ලබාදිය හැකි වන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රමාණවත් සහ මනාලෙස අධීක්ෂණය කරනු ලබන පුහුණුවක් සැපයිය යුතු ය.
පශ්චාත් උපාධි පාඨමාලා ක්‍රමවත් කිරීම:
■ රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ද විසින් පවත්වනු ලබන පශ්චාත් උපාධි පාඨමාලා ඉගැන්වීම, ඉගෙනගැනීම, පුහුණුව, පර්යේෂණ හා නව දැනුම මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශ කිරීම යන මේවා අව්‍යාජ ජාත්‍යන්තර උපමානවලට අනුගත කිරීම අනිවාර්ය කළ යුතු ය. මේ සඳහා අධීක්ෂණ යාන්ත්‍රණයක් ද තිබිය යුතු ය.
බාහිර උපාධි පාඨමාලාවල ගුණාත්මක බව ඉහළ නැංවීම:
■ බාහිර උපාධි පාඨමාලා හා දුරස්ථ අධ්‍යාපන වැඩසටහන්වල සිසුන්ට සපයන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රමිතීන් රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාල මගින් ඉහළ නැංවීම අනිවාර්ය කළ යුතු ය. මේ සඳහා ද අධීක්ෂණ යාන්ත්‍රණයක් තිබිය යුතු ය.
උපාධිධාරීන්ට වෘත්තික පුහුණුව ලබාදීම (Professional Training)
■ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල විධායක හා කළමනාකරණ ශ්‍රේණිවල වෘත්තීන් ලබාගැනීමට අවශ්‍ය වෘත්තික සුදුසුකම් (Professional Qualifications) ලබාගැනීම සඳහා පරිපාලන සහ කළමනාකරණ පුහුණු ආයතනයක් (Institute of Administrative and Management Training) පිහිටුවිය යුතු ය. මේ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මිනිස් බල හා සේවා නියුක්ති අමාත්‍යාංශය සහ පුද්ගලික අංශය සහයෝගීව ක්‍රියා කළ යුතු ය.
විශ්ව විද්‍යාල ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් පිහිටුවීම:
■ ශාස්ත්‍රීය ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයක් නොමැති වීම අප රටේ ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය දැනුම නිර්මාණය කිරීමට බාධාවක් වී තිබේ. මේ ගැටළුව විසඳීම සඳහා අඩුතරමින් විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගත් ලාභ නොලබන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් පිහිටු වීමේ හැකියාව සොයා බැලිය යුතු ය. එම ප්‍රකාශන ආයතනය සැලසුම් කළ යුත්තේ ලෝකයේ වෙනත් රටවල ඇති සාර්ථක විශ්වවිද්‍යාල ග්‍රන්ථ ප්‍රකාශන මුද්‍රණාල ආදර්ශ කොට ගෙන ය.
පෞද්ගලික උසස් අධ්‍යාපනය ප්‍රමිතිකරණය යටතට ගෙනඒම:
■ සෑම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්ම තම ඉගැන්වීමේ සහ පුහුණු වැඩසටහන්වලදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සුදුසු රෙගුලාසි මගින් නියම කරන උපමාන සහ ප්‍රමිතීන්ට අනුකූලවන බව සහතික කළ යුතු ය. මෙය කළ යුත්තේ අධීක්ෂණය කිරීම මගින් රෙගුලාසිවලට අනුගත වීම සහතික කිරීමේ යාන්ත්‍රණයක් ද සමග ය.
තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය (TVET Sector)
ප්‍රතිපත්ති අභියෝගය
තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය ද්විතීයික පාසල් හැර යන සිසුන් විශාල සංඛ්‍යාවකට ආකර්ෂණය වීම සඳහා මෙම අංශය නවීකරණය, ඉහළ ශ්‍රේණිගත කිරීම හා ශක්තිමත් කිරීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කළයුතු ප්‍රතිසංස්කරණ තරම්ම වැදගත් ය. අධ්‍යාපනය සහ සේවා නියුක්තිය අතර ඇති නිරන්තර විෂමතාව විසඳා ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට උදව් විය හැකි, තවමත් ප්‍රයෝජනයට ගෙන නැති ධාරිතාව හා ශක්‍යතාව පවතින්නේ මෙම අංශයේ ය. මෙම අංශය නවීකරණය කිරීම සඳහා නව ප්‍රාග්ධන ආයෝජනයත්, වඩ වඩා ජාත්‍යන්තර ආධාරත්, තිරසර රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයත්, නව ආයතන නිර්මාණය කිරීමත් අත්‍යවශ්‍ය වේ.
ප්‍රතිසංස්කරණ යෝජනා
පාඨමාලා විවිධාංගකරණය:
■ හතර වන කාර්මික විප්ලවයෙන් මතු කෙරෙන නව කුසලතා අවශ්‍යතාවන්ට ඉඩ සලසන පරිදි තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයේ පාඨමාලා විවිධාංගකරණය කළ යුතු ය. මෙය කළ යුත්තේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග සහයෝගයෙනි.
අවිධිමත් සේවානියුක්ති අංශය නියාමනය කිරීම:
■ රටේ අතිවිශාල අවිධිමත් කාර්මික හා සේවා අංශයේ (Informal Job Market) දැනට පවතින සේවා නියුක්ති අවකාශ ක්‍රමානුකූලව විධිමත් කිරීම සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව යටතේ නව යෝජනා ක්‍රමයක් හඳුන්වා දිය යුතු ය. ප්‍රවාහන, මෝටර් වාහන අලුත්වැඩියාව හා නඩත්තුව, ගෘහාශ්‍රිත කර්මාන්ත හා කුඩා කර්මාන්ත, ගෘහ සේවා, ඉදිකිරීම් කර්මාන්තය, සිල්ලර වෙළෙඳාම, පිරිසිදුකිරීම් හා සනීපාරක්ෂක සේවා සහ පෞද්ගලික ආරක්ෂක සේවා යනාදිය එයට ඇතුළත් කළ යුතු ය. එවැනි යෝජනා ක්‍රමයකින් සේවකයින්ට වඩා හොඳ වැටුප්, කම්කරු අයිතිවාසිකම් සහ සේවා තත්ත්වයන් ද, සේව්‍ය සේවක දෙපක්ෂයටම නූතන වැඩ කිරීමේ චර්යාධර්ම (Work Ethics) හඳුන්වා දීම ද සහතික කිරීම ඉලක්ක කරගත යුතු ය.
තාක්ෂණික සහ වෘත්තීය පුහුණුලාභීන්ට දිරිගැන්වීම්:
■ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයට පුහුණුලාභීන් බහුතරය පැමිණෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වලිනි. ඔවුන්ට දැනට ලැබෙන්නේ ජීවත්වීමට ප්‍රමාණවත් නොවන ආණ්ඩුවේ මූල්‍ය ආධාරයකි. මෙම අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල සහයෝගයෙන් තම ආධුනික කාලය තුළ දී ප්‍රමාණවත් මාසික දීමනා සැපයිය යුතු ය. මේ දෙස බැලිය යුත්තේ, පාසල් හැරයන තරුණ පිරිස් වෘත්තීය පුහුණුවට හා ඉන්පසු රැකියා ලබාගැනීම පිණිස තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අංශයට බැඳීම සඳහා සපයන දිරිගැන්වීමක් ලෙස ය.
තාක්ෂණික සහ වෘත්තීය පුහුණුලාභීන්ට දිරිගැන්වීම්
■ දැනට මැදපෙරදිග සේවයට යන නුපුහුණු විගාමික ශ්‍රමිකයන්ට තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අංශයේ දොර විවර කළ යුතු ය. වේගයෙන් වෙනස් වන වැඩ ලෝකයේ ශ්‍රම අවශ්‍යතාවයෙහි වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඔවුන්ගේ කුසලතා යාවත්කාලීන කළ යුතු ය.
පාසැල් හැරයන ශිෂ්‍යාවන් සම්ප්‍රදායික නොවන වෘත්තීන්ට යොමු කිරීම:
■ පාසල් හැර යන සිසුවියන්ට වැඩි වැඩියෙන් තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයට බැඳීම සඳහා උනන්දු කිරීම සඳහා නොපමාව පියවර ගත යුතුව තිබේ. ඔවුන්ට සැපයිය යුතු වන්නේ සම්ප්‍රදායිකව ස්ත්‍රීන්ට වෙන් වූ වෘත්තීන් ඉක්මවා ගිය පුහුණු සහ රැකියා අවකාශයන් ය. ඒ සමගම ඔවුන්ට තම රැකියා තාක්ෂණය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ යනාදී ක්ෂේත්‍ර තුළ ගොඩනැගීමට දිරිගැන්වීම් දීම ප්‍රමුඛතාවන් විය යුතු ය. මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ඔවුන්ට විශේෂ අවකාශ සපයන ප්‍රතිපත්ති රාමුවක් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු ය.

මහාචාර්ය රත්නසිරි අරංගල - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ආචාර්ය නවරත්න බණ්ඩාර - හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු - හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ආචාර්ය මොහොමඞ් මහීස් - කොළඹ විශ්ව විද්‍යාලය
මහාචාර්ය සසංක පෙරේරා - දකුණු ආසියානු විශ්ව විද්‍යාලය නවදිල්ලිය
මහාචාර්ය ජයදේව උයන්ගොඩ - හිටපු මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය
විපුල කරුණාතිලක - සංවර්ධන ජනමාධ්‍යවේදී

සුදුවෑන් ට්‍රිප් යන්නේ ඔබේ පවුලේ එකෙක් නොවනතාක් ඔබට එය ආතල්‍ ය

පණ්ඩුල නයන බණ්ඩාර 

සුදුවෑන් ට්‍රිප් යන්නේ ඔබේ පවුලේ එකෙක් නොවනතාක් ඔබට එය ආතල්‍ ය

චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ගෝටාභය රාජපක්ශගේ පුරවැසිභාවය සම්බන්ද ගැටලුව ප්‍රශ්න කලේ ශ්‍රී ලංකාවේ අධිකරනයක් තුලදීය.


අදාල පෙත්සම නිශ්ප්‍රභා කරමින් ගෝටාභය රාජපක්ශගේ පුරවැසිභාවය තහවුරු කරන ලද්දේද එම අධිකරනය තුලදීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ශන නම් මෙයයි. ආණ්ඩු පක්ශයට එරෙහිව, විපක්ශයේ සිටි ප්‍රභලයා වුවද ස්වාධීන අධිකරන පද්දතිය තුලින් සාදාරනම තීන්දුව ලබා දුන් බව අප කාටත් සැකයක් නැත.

අවසානයේ චන්ද්‍රගුප්ත සහ ගාමිනී නම් හඳුනාගත් 'නරක මිනිස්සු' පරාදය. ගෝටාභය රාජපක්ශ දිනුම්‍ ය. කණ්ඩායම් දෙකටම ප්‍රජාතන්ත්‍රවාදීව විසිර යා හැක.

එනමුත්, ප්‍රජාතන්ත්‍රවාදීව දිනාගත් සටනේ, ඇතැම් ගෝටාභය රාජපක්ශ වාදීන් විසින් සතුරාට එරෙහිව ජයග්‍රහනය ප්‍රාර්තනා කරන ආකාරය පහත සඳහන් පෝස්ට්ටුවට ලැබුනු කමෙන්ට්ස් වලින් අවබෝද කරගත හැක. ඔවුන්ගේ එකම අභිප්‍රාය පෙත්සම් කරුවන් හෙවත් 'නරක මිනිස්සු' වෙනුවෙන් සුදු වෑන් එකකින් ට්‍රිප් එකක් ලබා දීමය.

රාජපක්ශ පාලනයේ දස වසර තුල පොදු ජනතාවගේ ආකල්පයන් වෙනස් කල ආකාරයේ සංශිප්තයක් මෙම කමෙන්ට් ඔස්සේ පැහැදිලි වනු ඇත. රාජපක්ශවරුන් හට අභියෝගයක් එල්ල කල සෑම පුද්ගලයෙකුම ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන, NGO, බටහිර පිල්ලි යනාදී වශයෙන් හඳුන්වා දී එවන් පුද්ගලයෙකුට එරෙහිව ගන්නා මිලේච්ච ක්‍රියාමාර්ගයන් සාදාරන කෝණයකින් බැලීමට පුරුදු කල මහජනතාවක් රාජපක්ශවරුන් විසින් නිර්මානය කර ඇත. ඔවුනට අනුව, එවන් පුද්ගලයින් සුදු වෑන් වලින් අතුරුදහන් කෙරුවාට කම් නැත. කුලී තුවක්කු කරුවන් ලවා ඝාතනය කෙරුවාට කම් නැත. අත්භූත රිය අනතුරු වලට මුහුණ දුන්නාට කම් නැත. සුදුවෑන් වලින් උස්සා අහිංසකයන් ඝාතනය කර නැත. රට ගොඩ නැගීමටනම් මේව අවශ්‍යවම ඇත !!

දස අවුරුදු රාජපක්ශ පාලනය තුල ගෝටාභය රාජපක්ශ කියන චරිතය වටා නැගී එන මෙම අදහස් හුදෙක් හිතලු වලින් උපන්නේ නැති බව අප කාටත් මතකය. එය ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇති බව සමාජය හමුවේ තහවුරු වී ඇත. සමාජ තහවුරුව මෙසේ සමාජ මාද්‍ය ඔස්සේ දිගහැරෙන බව අමුතුවෙන් කිවයුතු නැත. නැවතත් රාජපක්ශ පාලනයක් ඇති වුවහොත තිබෙන භයානකම තත්වය මෙයයි. රාජපක්ශ වරුන් විසින් හඳුන්වාදෙන 'නරක මිනිස්සු' න්ට ඇතිවන ඉරණම කෙතරම් මිලේච්ච වුවද ඒ සෑම ක්‍රියාවක්ම 'රට වෙනුවෙන්' යන පුහු වචන දෙකේ නාමයෙන් සාදාරනීකරනය කිරීමට පාක්ශිකයන් සිය දාස් ගනනින් රොඳ බැඳගනු ඇත.

මිත්‍රවරුනී... 'නරක මිනිස්සු' වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාද විරෝදී දඬුවම් ප්‍රාර්තනා කරන රාජපක්ශවාදීන් හට අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙපමනකි.

සුදු වෑන් ට්‍රිප් යන්නේ ඔබේ පවුලේ එකෙක් නොවන තාක් ඔබට එය ආතල්‍ ය....

කාදිනල් ඉල්ලන්නේ මොනවාද

ශ්‍රී ලංකාව තුළ ඇම­රි­කානු කුම­න්ත්‍ර­ණ­යක් දියත් වී මහා මිනිස් ඝාත­න­යක් සිදු කළ බවට වූ බර­ප­තල ප්‍රකා­ශ­යක් රටේ කාදි­න­ල්ව­රයා කරන්නේ නම් එය පිළි­ගත හැකි සාධ­නීය කාරණා මත පිහිටා විය යුතුය. එහෙත් එතුමා මේ ප්‍රකා­ශය කර­න්නට පෙල­ඹෙන්නේ පුව­ත්ප­තක පළවූ මූලා­ශ්‍ර­යක් රහිත පුව­තක් පද­නම් කර­ග­නි­මිනි. ඒ පුවත සකස් කරන්නේ හඳේ ගඩොල් හමුවූ බව කී විදෙස් පුවත් සංස්ක­ර­ණයේ ජාතික විහිලු කාරයා විසිනි.

ජාලිය වීර­ක්කොඩි

අව­සා­නයේ උන්ව­හ­න්සේත් මේ පොළොව අසාර දූපත් වාසි­යෙක් මිස අප ප්‍රාර්ථනා කළ උසස් මනුෂ්‍යා නොවන බව පෙන්වා දුන්හ. බලා­පො­රොත්තු ඉප­දුණ සැනින් කුඩු පට්ටම් වී යන, දුර්දාන්ත දේශ­පා­ලන අශි­ෂ්ට­ත්ව­යෙන් පීඩිත පව්කාර මිනි­සුන් කොට්ඨා­ස­යක නියත ජීවිත යථා­ර්ථය කුමක් දැයි දැන් උන්ව­හන්සේ අපට අව­බෝධ කර දී තිබේ. මේ සට­හන තබන්නේ ඒ අව­බෝ­ධ­යෙනි.


පාස්කු ප්‍රහා­රයේ ඛේද­වා­ච­කය මේ රටේ සැබෑ මිනි­සාගේ ස්වරූ­පය හෙළි කළේය; සැබෑ දේශ­පා­ල­නයේ හිරි­කිත යථා­ර්ථය හෙළි කළේය. ආග­මික සංස්ථාවේ ජුගු­ප්සා­ජ­නක පිරි­හීම පෙන්වා දුන්නේය. මුන් සියල්ලෝ ම ගලා යන ලේ ගංගාවේ මල් පූදින තුරු බලා­ගෙන ඉන්නා මිනිස් කුණප­යන් බව තහ­වුරු කොට පෙන්වා දුන්හ.

සංඝ සංස්ථාවේ නාය­ක­ත්වය අප­රි­ණත අසං­ස්කෘ­තික හැසි­රී­මක් සහි­තව බෞද්ධ සමා­ජය ම ලෝකය ඉදි­රියේ විලි ලජ්ජා­වට පත් කළේය. එවැනි මොහො­තක බෞද්ධ දර්ශ­නයේ හරා­ත්මක යථා­ර්ථය පල්ලියේ අල්තා­රය මතදී අපි දුටු­වෙමු. මේ සමා­ජය තුළ දැකී­මට ප්‍රාර්ථනා කළ නොහැකි පරි­ණ­ති­යක් සහිත උත්කෘෂ්ට ආග­මික නාය­ක­ය­කුගේ සැබෑ රුව ගුණ පාස්කු ප්‍රහා­රය සිදුවූ මොහොතේ දී මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ ප්‍රකට කළහ. උන් වහන්සේ මේ මහා ව්‍යස­නය අර්ථ දැක්වූ ආකා­රය ලෝක යථා­ර්ථය පිරි­සිඳ දත් ප්‍රාඥ­ය­කුගේ පරි­පා­කය අප ඉදි­රියේ මවා පෑවේය. ගැට­ලු­වක් කළ­ම­ණා­ක­ර­ණ­යේදී ජාතික නාය­ක­යෙක් ප්‍රකට කළ යුතු සංය­මය හා ගෞර­ව­නීය ආකා­රය, ලෝක විෂය පිළි­බඳ වූ අව­බෝ­ධ­යෙන් මතු වන ආත්ම විශ්වා­සය සහි­තව ගැට­ලුව විග්‍රහ කර­ගත් ආකා­රය, සිය මැදි­හත් වීම හරහා ඇති­ව­න්නට ගිය මහා ජාති­වාදී ව්‍යස­නය වළක්වා ගත් ආකා­රය, අපව උන්ව­හන්සේ කෙරෙහි උපන් ගෞර­ව­යෙන් පුර­වා­ලීය. මේ අශී­ලා­චාර දේශ­පා­ලන ගොහො­රුවේ කර­ව­ටක් ගිලී ඉන් මිදෙ­න්නට නොහැ­කිව සිටි රටේ පොදු මිනි­සාට උන්ව­හන්සේ ආද­රයේ හා මනු­ෂ්‍ය­ත්වයේ බලා­පො­රො­ත්තුව රැගෙන ආහ. එය තිබුණේ මේ කණ­වැ­න්දුම් දේශ­පා­ල­න­යට වඩා ගව් ගණ­නක් ඔබ්බෙනි.

එහෙත් ඊට හරි­යට ම තුන් මස­කට පසු කාදි­න­ල්තුමා කටු­වා­පි­ටිය පල්ලියේ අල්තා­රයේ වැඩ හිඳි­මින් ම ස්වකීය දේශ­පා­ලන නිඝන්ඨ භාවය ප්‍රකට කරනු ඇතැයි අප කිසි­වෙක් කල්පනා කළේ නැත. උන්ව­හ­න්සේත් මේ සමාජ මොඩ­ල­යෙන් ම මතු­වන මල් වෙඩි­ල්ලක් විනා මහා බර­සාර මනු­ෂ්‍ය­යෙක් නොවන බව දුටු මොහොත අපව අප දකි­මින් සිටි ෆැන්ට­සි­යෙන් අවදි කළේය. 

කාදි­න­ල්ව­රයා මේ මොහොතේ සිදු­වීම් පිළි­බඳ පැහැ­දිලි කියැ­වී­මක් සහිත තීක්ෂණ මනු­ෂ්‍ය­යෙක් බව සමා­ජය ඉදි­රියේ තහ­වුරු කළ පුද්­ග­ල­යෙකි. ලෝක දේශ­පා­ල­නයේ හැසි­රීම පිළි­බඳ තත්ත්වා­කාර අව­බෝ­ධ­යක් සහිත පුද්ග­ල­යෙකි. ගෝලීය ලෝකය තුළ අන්තර් රාජ්‍ය සබ­ඳ­තා­වල ස්වරූ­පය දුටු­වෙකි. රටේ අති මහත් ජන­කො­ට­සක ආග­මික නාය­ක­ත්ව­යක් දරන, ජාති ආගම් භේද­ය­කින් තොරව සමාජ වන්ද­නා­වට පාත්‍ර වීමේ දුර්ලභ භාග්‍ය ලද පුද්ග­ල­යෙක් අහන් ඉන්න­ටත් අප්‍ර­සන්න වූ ජාති­වාදී දේශ­පා­ලන වාචා­ල­යන්ගේ අශිෂ්ට හා අතා­ර්කික ප්‍රකාශ ම වෙනත් ස්වර­ය­කින් අල්තා­රය මත හිඳ කිය­වන විට මේ දූපත තුළ ආශ්චර්ය නොමැති බවට වූ තත්වා­බෝ­ධය අපට ලැබුණේ ය.

ආණ්ඩුවේ අභ්‍ය­න්තර දේශ­පා­ලන අර්බු­ද­යක් ඇති බව සැබෑ ය. ඒ දේශ­පා­ලන අර්බු­දය රටම අස­මත් භාව­යට පත් කළ බවත් සැබෑ ය. අනෙක් මොන දේ කෙසේ වුවත් පාස්කු ප්‍රහා­රය සම්බන්ධ පරී­ක්ෂණ වෙන කිසිම අව­ස්ථා­ව­කට වඩා වැඩි අග­යක් සහි­තව දැන් ක්‍රියා­ත්මක වෙමින් තිබේ. මේ සම්බන්ධ ව පාර්ලි­මේන්තු කාරක සභා­වක් ඉදි­රි­පිට සිදු­වන පරී­ක්ෂ­ණයේ ස්වරූ­පය සජීවී ව ආව­ර­ණය කිරීමේ අව­ස්ථාව මාධ්‍ය වෙත ලැබී ඇත. ඒ කාරක සභාව ඉදි­රි­පිට රටේ අග­මැ­ති­ව­ර­යාත් සාක්ෂි දුන්නේ ය. අව­සාන වශ­යෙන් එය ඉදි­රියේ සාක්ෂි දීම සඳහා රටේ විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යාත් කැඳ­වී­මට සූදා­නම් කර තිබිණි. ජනා­ධි­ප­ති­ව­රයා නොපැ­මිණේ නම් අව­සන් වාර්තාව සැක­සීම සඳහා සූදා­නම් බව කමි­ටුව මාධ්‍යය හමුවේ කීවේය. එහි අව­සන් නිර්දේශ හා නිග­මන තව සති කිහි­ප­ය­කින් ප්‍රකාශ වනු ඇත.

මීට අම­ත­රව ප්‍රහා­රය සම්බන්ධ ව විශේෂ ජනා­ධි­පති කොමි­ස­මක් පත් කර එහි වාර්තාව ලබා ගැනී­මට කට­යුතු කර තිබිණි. ඒ කොමි­සමේ කට­යුතු කළ කමිටු සාමා­ජි­කයෝ පාර්ලි­මේන්තු තේරීම් කාරක සභාව ඉදි­රියේ ද පෙනී සිට සිය කට උත්තර ලබා දුන්හ. සිද්ධිය සම්බන්ධ ව වග­කිව යුතු යැයි පෙනී ගිය රටේ පොලි­ස්ප­ති­ව­ර­යාගේ සේවය අත්හි­ට­වනු ලැබු­වේය. ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාට ඉල්ලා අස්ව­න්නට සිදු විය. අප­රා­ධ­යට සම්බන්ධ සියලු ප්‍රධාන වග­උ­ත්ත­ර­ක­රුවෝ අත්අ­ඩං­ගු­වට පත්වූහ. මේ මොහො­තේත් පරී­ක්ෂණ ක්‍රියා­ත්මක ය. දම්වැලේ එකි­නෙක පුරුක් බුද්ධි අංශ වෙත කොටු­වෙ­මින් ඇත; මුල මැද අග පැහැ­දිලි ය. මේ ක්‍රියා­න්වි­තය එක් මොහො­ත­කින් කළ හැකි ආශ්ච­ර්ය­යක් නොවේ. ඒ බව කාදි­න­ල්ව­රයා අප සිය­ල්ලන්ට ම වඩා හොඳට දන්නේ ය. පරී­ක්ෂණ සම්බන්ධ ව උන්ව­හන්සේ සිදු­ක­රනු ලබන ප්‍රසිද්ධ ප්‍රකාශ උන්ව­හන්සේ වැනි කෙන­කු­ගෙන් බලා­පො­රොත්තු විය නොහැකි තරමේ අශා­ස්ත්‍රීය අර්ධ සත්‍ය­ බව මැද­හත්ව මේ ගැන දකින ඕනෑම පුද්ග­ල­ය­කුට පසක් වන්නේ ය.

එතු­මන්ගේ අද­හ­සට අනුව මේ කොමි­ෂන් වාර්තා ඒ ඒ දේශ­පා­ල­ක­යන් තම තමන්ගේ වට්ටෝරු අනුව ලියා ගන්නා ලාබ ලියැ­විලි ය. ලබා­දුන් ජනා­ධි­පති කොමි­ෂන් සභා වාර්තා සැක සහිත ය. එහෙත් එතු­මන් නැව­තත් බලා­පො­රොත්තු වන්නේ ජනා­ධි­පති කොමි­ස­මකි. මේ ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ම ඉල්ලන ඒ ජනා­ධි­පති කොමි­ස­මෙන් උන්ව­හන්සේ ප්‍රාර්ථනා කරන්නේ උන්ව­හන්සේ විශ්වාස කරන යමක් ප්‍රකාශ කරවා ගැනීමේ අපේ­ක්ෂාව ය.

කාදි­න­ල්ව­රයා වැනි පුද්ග­ල­යෙක් මරණ තුන්සී­යක් සිදුවූ පල්ලි­යක අල්තා­රය මත වැඩ හිඳි­මින්, මිය ගිය­උන්ගේ සොහොන් කොත් දැක දැක, ඒ තුච්ඡ ප්‍රහා­ර­යෙන් ආබා­ධිත වූ හා තුවාල ලද අස­ර­ණ­යන් මෙන්ම ස්වකී­ය­යන් අහිමි ව වියෝ දුකින් විකල් වූ මිනි­සුන් අමතා කතා කළ යුතුව තිබුණේ හිතලු හා අවේග මත පද­නම් ව නොව, පව­තින තත්ත්ව­යන් පිළි­බඳ සාධා­රණ තක්සේ­රු­වක් සහි­තව ය.

පාස්කු ප්‍රහා­ර­යට මුල් වූ ත්‍රස්ත­වා­දීන් හදා වඩා පෝෂ­ණය කරන්නේ පසු­ගිය දශ­ක­යට අධික කාලය තුළ බලයේ සිටි අලජ්ජී දේශ­පා­ල­ක­යන් ය. ඔවුන් ජාතීන් වශ­යෙන් ආගම් වශ­යෙන් සමා­ජය බෙදා පාල­නය කිරීමේ ගෝත්‍රික උප­ක්‍ර­මය දියත් කළ පිළි­කුල් සහ­ගත ආකා­රය රට වැසි­යෙක් වූ කාදි­න­ල්ව­ර­යාත් අත් දුටු­වේය. ආග­මික ගෝත්‍ර­වාද පෝෂ­ණය කළ ආකා­රය හා ආග­මික ගැටුම් නිර්මා­ණය කර­මින් දේශ­පා­ලන වාසි ලබා ගත් අශි­ක්ෂිත ආකා­රය බලා සිටි­යේය. එක් රජ­යක් මනු­ෂ්‍ය­ත්වයේ වටි­නා­කම් ව්‍යස­න­ය­නට ලක් කර­න්නට රටේ බුද්ධි අංශ අව­භා­විත කරද්දී අනෙක් රජය දේශ­පා­ල­නික ලාභාංශ වෙනු­වෙන් බුද්ධි අංශ අව­භා­විත කළේය. එහෙත් රටේ බුද්ධි අංශ අක­ර්මණ්‍ය වූයේ නැති බව අව­සාන මොහො­තේත් සිදු­විය හැකි ව්‍යස­නය ඔවුන් විසින් වාර්තා කර තිබුණ ආකා­ර­යෙන් කාදි­නල්වර­යාත් දුටු­වේය. රට අත් දුටුවේ වග­කීම් විර­හිත දේශ­පා­ල­නයේ අස­ම­ත්කම ය. එය වෙනස් විය යුතු බව මේ රටේ මොළය කළ­ඳක් සහිත ඕනෑ ම මනු­ෂ්‍ය­යකු දන්නේ ය. එහෙත් එය සිදු­විය යුත්තේ කාදි­න­ල්ව­රයා කියන සරල ආකා­ර­යෙන් නොවේ; සමාජ පරි­ව­ර්ත­න­යක් ලෙස ය.

අව­සා­න­යේදී කිව­යුතු වන්නේ ගමේ කෝපි කඩේ දී සිදු­වන සංවාද වැනි ඕපා­දූප මත පද­නම් වන කතා කාදි­න­ල්ව­ර­ය­කුට උචිත නොවන බව ය. එතුමෝ පාස්කු ප්‍රහා­රය සම්බන්ධ ඇම­රි­කානු මැදි­හ­ත්වී­මක් ගැන කියති. ඊට පද­නම් කර­ගන්නා මූලා­ශ්‍රය මෙසේ පව­සති.

“ පසු­ගිය 17 බදාදා දිව­යින පුව­ත්පතේ 15 වැනි පිටුවේ මෙහෙම ප්‍රවෘ­ත්ති­යක් සඳ­හන් වෙනවා. අයි.සීස් නායක අබි­බ­කර් අල් බැග්ඩෑග් එක්තරා බල­ගතු රටක යුද්ධ කඳ­වු­රක සිටි­නවා. රටේ නම තිබුණා; රටේ නම කියන්නෙ නෑ. ලෝකයේ බල­ග­තුම රටේ කඳ­වු­රක එයාල ඉන්නවා.”

ශ්‍රී ලංකාව තුළ ඇම­රි­කානු කුම­න්ත්‍ර­ණ­යක් දියත් වී මහා මිනිස් ඝාත­න­යක් සිදු කළ බවට වූ බර­ප­තල ප්‍රකා­ශ­යක් රටේ කාදි­න­ල්ව­රයා කරන්නේ නම් එය පිළි­ගත හැකි සාධ­නීය කාරණා මත පිහිටා විය යුතුය. එහෙත් එතුමා මේ ප්‍රකා­ශය කර­න්නට පෙල­ඹෙන්නේ පුව­ත්ප­තක පළවූ මූලා­ශ්‍ර­යක් රහිත පුව­තක් පද­නම් කර­ග­නි­මිනි. ඒ පුවත සකස් කරන්නේ හඳේ ගඩොල් හමුවූ බව කී විදෙස් පුවත් සංස්ක­ර­ණයේ ජාතික විහිලු කාරයා විසිනි. අප විශ්වාස කරන පරිදි මෙය කාදි­න­ල්ව­ර­යාගේ යථා­ර්ථ­වාදී හැසි­රීම නොවේ.

එතුමෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩ­ලය සිහි බුද්ධි­යක් සහිත ශිෂ්ටා­චා­ර­වත් මනු­ෂ්‍ය­යෙක් සිදු නොක­රන ආකා­රයේ අතා­ර්කික විවේ­ච­න­යට ලක් කරති. අන්ත­ර්ජා­තික නීතිය විවේ­ච­නය කරති. එක්සත් ජාතීන්ගේ මණ්ඩ­ලය මානව හිමි­කම් කවු­න්සි­ලය මේ රටට වින කරන එන්.ජී.ඕ නඩ ලෙස හඳු­න්වති.

අව­සා­නයේ මෙසේ පව­සති. “මේ අව­ස්ථාවෙ කියන්න ඕන අපේ නාය­ක­යන්ට කොන්ද පණ මදි; මෙහෙම නොවෙයි ඔවුන් වැඩ කර­න්නට ඕන. විදේ­ශීය බල­වේ­ග­ව­ලට මේ අපේ රටට අත­පො­ව­න්නට දෙන්න බෑ; මේක අපේ රට; අපේ භූමිය; මේ භූමිය ශුද්ධ වූ භූමි­යක්. මේ ලංකාවේ ඉතා ම ශක්ති­මත් ව තිබුණු බුද්ධි අංශය විනාශ කළා. ඒ විනාශ කර­න්නට කට­යුතු කළේ ජාත්‍ය­න්ත­රයේ ඕන එපා­කම් පිරි­ම­හන්න. එක්සත් ජාතීන්ගේ මණ්ඩ­ලය, මානව හිමි­කම් කවු­න්සි­ලය, ලෝක එන්ජීඕ ව්‍යාපාර සතුටු කර­න්නට බුද්ධි අංශ අඩ­පණ කර­න්නට අධෛ­ර්යට පත් කර­න්නට කට­යුතු කළා.”

පාස්කු ප්‍රහා­ර­යෙන් තුන් මස­කට පසු කාදි­න­ල්ව­රයා කටු­වා­පි­ටිය පල්ලියේ දිව්‍ය මෙහෙය නිමා කරන්නේ මේ ලෙස ය.

“ ඔබ හොඳට ඇවි­දලා හිටපු අය. ඔබට මෙහෙම වුණේ හිතු­ව­ක්කාර දඩ­බ්බර ප්‍රති­ප­ත්ති­යක් නැති නාය­ක­යන්ගෙ වැරදි වැඩ නිසා. ඒ නිසා දැන් කාලය ඇවිත් තියෙ­නවා මේ ඔක්කොන්ට ම කියන්න ගෙදර යන්න කියලා; වැඩක් බලා­ගෙන ගෙදර යන්න. මේක කරන්න පුළු­වන් කාට­හරි දෙන්න. ”

ඔබ­තු­මාගේ සැබෑ බර පැහැ­දිලි කර දුන්නාට අනේ­ක­වා­ර­යක් ස්තුති­වන්ත විය යුතුය. පසුගියදා නුවර දළදා මැදුර ඉදිරියේදී රූපවාහිනී කැමරා ඉදිරිපිට තහවුරු වූයේ ඒ බරෙහි තරම ය. ජනාධිපති කොමිසම මේ ජනාධිපතිවරයාගෙන් ප්‍රතික්ෂේප කරන කාදිනල් වරයා, ගෝඨාභය රාජපක්ෂගෙන් ඒ කොමිසම ලබා ගන්නේදැයි මාධ්‍ය කරුවන් විමසන තැනට වැටුණේ ය.

මේ රටේ මිනි­සුන් වෙනු­වෙන් ඔබ­තුමා විය­දම් කරන ප්‍රමා­ණය මෙප­මණ නම් පාස්කු ප්‍රහා­ර­යෙන් මිය ගිය මිනි­සුන් කාදි­න­ල්ව­ර­ය­කුගේ දේශ­පා­ලන කතා අහන් ඉන්නා අපට වඩා වාස­නා­වන්ත ය. කාදි­න­ල්ව­රයා දෙවි­යන් වහ­න්සේගේ පණි­වු­ඩය රැගෙන එන තෙක් බලා සිටි ජීව­ත්වන අප පව් ය. ඒ, මේ හඬ දෙවි­යන් වහ­න්සේගේ නොවන බව දැන් නම් හොඳ­ටම පැහැ­දිලි වී ඇති නිසා ය.

රාජ්‍යය බුද්ධි සේවයට චෝදනා කිරීම නිවැරදිද?

එම ලැබුණු තොරතුරු, ජාතික බුද්ධි ප්‍රධානියාද, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිතුමාට දැනුම් දී තිබේ. නමුත්, හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පතිතුමා කියන්නේ, තොරතුරු ලබා දුන්නද අදාළ වගකිව යුතු පාර්ශ්වය එතරම් බරපතළ ලෙස දන්වමින් එම තොරතුරු ලබානොදුන් බවයි. මෙය අසත්‍ය කාරණයකි.

අබ්දුල් කරීම්

මෙම ලිපිය ලිවීමට තීරණය කරණු ලැබුවේ, මේ වන විට රටේ මතු වී ඇති ප්‍රධානතම ගැටලුව සම්බන්ධයෙන්  බුද්ධි අංශ ප්‍රධාන මාතෘකාව බවට පත් වී ඇති හෙයිණි.  අසත්‍යය සහ බරපතළ ලෙස දේශපාලනීකරණය කරනු ලැබූ කාරණා ඉතාම අනතුරුදායක මට්ටමින් ඉදිරිපත් වීම හේතුවෙන් මෙම ලිපිය රටේ ප්‍රධාන ජනමාධ්‍යන් වල අවදානය පිණිස යොමු කිරීමට තීරණය කරණු ලැබුවෙමි. මෙය ප්‍රසිද්ධ කිරීම හෝ නොකිරීම එම මාධ්‍යන් වල සේවය කරන කතෘ මහත්ම-මහත්මීන් සතු කාරණයකි. නමුත් මා මෙහිදී සහතික කරණු කරනු ලබන්නේ, මෙය රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සහ ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා රචනා කිරීමට තීරණය කළ බවයි. අල්ලාහ් දෙවියන්ගේ  නාමයෙන් මා මෙම සටහන ලියනු ලබන්නේ අනාගතයේ සිදුවීමට ඉඩතිබේ යැයි අනුමාන කළ හැකි විනාශයන් වලින් අපේ රටට සහ ජනතාවට බේරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනය කරමිනි.  



මා සුන්නි නිකායට අයත් ඉස්ලාම් භක්තිකයෙකු වේ. සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා ලෙස මා උපත ලැබුවෙමි. මාගේ මුල් අධ්‍යාපනය  සිංහල භාෂාවෙන්ද සහ පසුව අපේ මුල් පවුල විතැන්වීම නිසා සිදු වූ දුෂ්කරතාවයන් නිසා දෙමළ පාසලකද ඉගෙන ගැනීමට වාසනාව ලැබුණු පුද්ගලයෙකි. මා හට හෙළිදරව් කිරීමට වුමණාවක් තිබුණද, මාගේ පවුලේ ඇතැම් කාරණා හෙළිදරව් කිරීම එතරම් සුදුසු නැති බව මා සිතමි. නමුත්,  මාගේ සේවයට අදාළ ඇතැම් කරණු ප්‍රයෝජනයට ගනිමින් මෙම සටහන ලියා තැබීමට තීරණය කළෙමි. මන්ද, වත්මන් සමාජ වටපිටාව අනාගත අඳුරු සේයාවන් පල ප්‍රතිමූර්තියක් වී ඇති බැවින් ඇතැම් වැදගත් කරනු ගැන මාගේ අදහස ප්‍රකාශ කිරීම අනාගතයේ එල්ල විය හැකි අභියෝග ජය ගැනීමට හේතුවේ යැයි මා සිතන හෙයිණි.  

විශේෂයෙන්, වත්මන් ආණ්ඩුව විසින්, පාස්කු ඉරිදා ප්‍රහාරය යනුවෙන් බොහෝ දෙනෙකු විසින් හඳුන්වන ලංකා ඉතිහාසයේ ඉස්ලාම් භක්තික අන්තවාදීන් විසින් කළ පළමු බරපතළ  ත්‍රස්ත ක්‍රියාව ගැන විමර්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත්කර ඇති විශේෂ කාරක සභාවේ කටයුතු වලට පිටිවහලක් වීම සඳහා මාගේ අදහස් දැක්වීම වැදගත් යැයි සිතමි. එම සභාව ඉදිරියේ ප්‍රධාන පුද්ගලයින් රාශියක් සාක්ෂි දී ඇත. විශේෂයෙන්  ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍යය පොලිස්පති සිසිර මෙන්ඩිස්‌ මහතා, ඇපපිට නිදහස් කොට ඇති  නියෝජ්‍ය පොලිස් අධිකාරි නාලක ද සිල්වා මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ වත්මන් ලේකම්  ශාන්ත කොට්ටෙගොඩ මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු, සහ අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා යන මහත්වරුන් මෙම විශේෂ සභාව ඉදිරියේ සාක්‍ෂී දෙනු ලැබූහ. මොවුහු සාක්ෂි ලබාදුන් ආකාරය සහ එම සාක්ෂිවලදී හෙළිදරව් නොකළ යුතු ඇතැම් කාරණා හෙළිදරව් කළ ආකාරය ගැන මා ඉතාම කනගාටුවට පත්වෙමි.

දේශපාලනඥයින් අවස්ථාවාදීන් බව අපි සියල්ලෝම දන්නෙමු. නමුත්, රාජ්‍යයේ ගරුත්වය සහ ප්‍රතිරූපය වෙනුවෙන් රටේ ජනතාවගෙන් බහුතරය විශ්වාසය තබාගෙන සිටින නිලධාරීන්ට අවස්ථාවාදීන් ලෙස පමණක් කටයුතු කළහැකිද? මෙය මා මාගේ සැඟවී ගතකළ  ජීවිතයේදී නැවත නැවතත් අත්දැකීමට සිදුවී ඇති අවාසනාවන්ත කාරණයකි.

මා බුද්ධි අංශයට පළමු පෙළ තොරතුරු සපයනන්නෙකු ලෙස සම්බන්ධ වූයේ  ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වී මාස කිහිපයක් ගිය පසුය. මාගේ සක්‍රීය සේවය ආරම්භ වූයේ 1995 අප්‍රේල් මාසයේදී තෙවැනි ඊළාම් සටන ආරම්භ වීමට මාස කිහිපයකට පෙරදීය. කොටි සංවිධානයේ මුහුදු කොටි බලකාය විසින් නාවික හමුදාවට අයත් සූරයා සහ රණසුරු බෝට්ටු දෙක පුපුරා හැර සටන විරාමය අවසන් කළේය. ඉන් මාසයකට පසු කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රක්කයේ කල්ලරව ගමේදී සාමන්‍යය වැසියන් 42කු පමණ මරා දැමූහ. එය  මාගේ ජීවිතය වෙනස් කළඑක් ප්‍රධාන සිදුවීමක් විය. මන්ද, මා කාලයක් තිස්සේ දැන හඳුනාගත් සිංහල ජාතික මිතුරියක්ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවාය.

මේ අකාරයෙන්,  තාවකාලීක ඇස්බන්ධනයක් වූ සටන් විරාමය බිඳී ගොස් කොටි සංවිධානය තම මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. කොටි සංවිධනානය සෑම් මිසයිල ලෙස සාමන්‍යයෙන් හඳුන්වන ස්ටින්ගර් වර්ගයේ ආයුධ පළමුවරට තම සංවිධානයට එකතු කරගත්තේ මේ කාලයේදීය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය හමුවේ තිබු අභියෝගය ඉතාම සංකීර්ණ වෙමින් පැවතුණි. බුද්ධි අංශවලට තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කිරීමට සිදු විය. කෙසේ වෙතත්, තෙවැනි  ඊළාම් සටන අවසාන වනවිට සමස්ථ ශ්‍රී ලංකා භූමියෙන් සීයට 30ක ප්‍රමාණයක් කොටි සංවිධානය විසින් පාලනය කරනු ලැබීය.   

විවිධ දේශපාලන අවශ්‍යතාවයන් නිසා ඉතාම අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණදීම හේතුවෙන් ආරක්ෂක අංශ වලට තොරතුරු සැපයීම  සඳහා පුද්ගලයින් (මෝල්) බඳවා ගැනීමද ඉතාම දුෂ්කර කාර්යයක් වි තිබුණි. මේ හේතුවෙන් පොට්ටු අම්මාන්ගේ ටොසි ඔත්තුසේවයට ඉතාම ශක්තිමත්ව රටපුරා විසිරීමට අවශ්‍යය පරිසරය සකස් විය. එම ඔත්තු සේවය එතරම් දුරකට ව්‍යාප්ත වීමට හේතුව වූයේ, කොටි සංවිධානය, තම බුද්ධි අංශය ඉතාම මැනවින් රැකබලා ගත්  හෙයිනි. ඒ වගේම, ආරක්ෂක අංශවල පැවති අසමගිකම් කොටි සංවිධානයට ආශීර්වාදයක් විය. මේ නිසා බොහෝ දෙනෙකුට ජීවීතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. සේවයට එකතු වී වසර කිහිපයකින් පසු මාහට හමු වූ එක්  අමතක නොවන චරිතවත් පුද්ගලයෙකු වූයේ   කන්දයියා යෝහරාසාය. ප්ලොට් මොහාන් ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත ඔහු පසුකාලයකදී කොළඹදී කොටි සංවිධානය විසින් මරා දැමුණු ලැබීය. ඔහු, බුද්ධි අංශයට විශාල සේවයක් කළේය. අපට වැදගත් වූයේ මෙහෙයුමක් කරන විදිය නොව, අපි එම මෙහෙයුමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නය.

බොහෝ තොරතුරු දෙන්නන් සතුරු ප්‍රහාර වලින් මියයන විට හෝ තුවාල ලබන විට අපට අවබෝධ වූ මූලික කාරණයක් තිබුණි. එනම්, බුද්ධි අංශවල දියුණුව සහ ඒවාගේ අවශ්‍යතාවයන් ගැන බොහෝ  දේශපාලනඥයින් කතාබහ කළද ඒවා ගැන එතරම් අවබෝධයක් ඔවුහුට තිබුණු බවක් අපට නොපෙනුණි. ඇතැම් දේශපාලනඥයින් රටට ආදරය කරණ බව මිනිසුන් ඉදිරියේ ඒත්තු ගැන්වීම සඳහා බුද්ධි අංශ ගැන කතා  කළහ. තවත් සමහරුන්, ඕනෑම කුණුගොඩක් බුද්ධි අංශ මත පැටවීමට පහසු නිසා බුද්ධි අංශ ඔවුහුගේ ප්‍රධාන මාතෘකාව බවට පත්විය. නමුත්, බුද්ධි අංශයක පැවතිය යුතු මූලික ධර්මතාවයන්, ඒවායේ ජාතික මෙහෙවර, ඒවා දියුණු කිරීම සඳහා ගතයුතු රාජ්‍යය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආදිය ගැන කිසිම ගැඹුරු දැනීමක් බොහෝ දෙනෙකුට නොතිබුණි.

අපි මුහුණ දුන් අභියෝග, අපේ පවුල්වල පැවති  දුෂ්කරතා තේරුම් ගැනීම, ආදී කාරණා සඳහා මෙම ආයතනවල ඉහළපෙලේ සිටියේ ඉතාම සුළු පිරිසකි. භූමි මට්ටමේ මෙහෙයුම්කරුවන් ලෙස අපට මුහුණ දීමට තිබු අභියෝග රාශියක් වූ අතර ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙකු උත්සහ කරනු ලැබුවේ, තොරතුරු කරුවන්ගෙන් ලැබෙන තොරතුරු විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් ඉතාම අප්‍රසන්න ලෙස භාවිතා කිරීමටය. මේ නිසා ඇතැම් දේශපාලනඥයින් සේම මෙම බුද්ධි සේවාවල සේවය කළ නිලධාරීන්ද, ජාතික අවශ්‍යතාවයන් වලට වඩා තම පෞද්ගලික අවශ්‍යතා සහ අරමුණු වලට මූලිකත්වය ලබාදුන් අවස්ථා රාශියක් තිබේ. බොහෝ දෙනෙකු පමණ ඉක්මවා වර්ණනා කරනු ලබන රාජපක්ෂ යුගය කෙරෙහිද, තොරතුරු ලබාදෙන්නන් වශයෙන් අප බොහෝ දෙනෙකුට එතරම් ප්‍රියමනාපයක් නොතිබුණි.  බලයට පත් වූ සහ විපක්ෂය නියෝජනය කරන බොහෝ දේශපාලනඥයින්ට බුද්ධි අංශ ගැන එතරම් අවබෝධයක් නොතිබීම බොහෝ අවස්ථාවලදී සතුරන්ට ඉතාම පහසු පරිසරයක් නිර්මාණය කළේය. එම අනවබෝධය රටේ ජනතාව, මාධ්‍යය සහ අනෙකුත් සමාජ කණ්ඩායම් අතර විශාල හිස්බවක් නිර්මාණය කර තිබේ. 

තොරතුරු එකතු කරන්නන් ලෙස දිවයිනේ සෑම තැනකටම  යෑම, හමුවෙන ඕනෑම තරාතිරකම පුද්ගලයෙකු සමග අදහස් හුවමාරු කරගැනීම ඉතාම වැදගත් වේ. මේ සඳහා අදාළ ප්‍රදේශ ගැන දැනුවත් වීම පමණක් නොව එම පිරිස් අනුගමනය කරන ප්‍රාදේශීය භාෂා ගැන අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යය කාරණයකි. එසේම, තම සතුරා, සතුරාගේ සතුරා ගැන පමණක් නොව තම මිතුරා සහ මිතුරාගේ මිතුරන් ගැනද එක හා සමාන අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යය වේ. අපි විසින් එකතු කරන තොරතුරු මත බොහෝමයක් මෙහෙයුම් තීරණය වේ. මේ නිසා ලැබෙන සෑම තොරතුරක්ම බරපතල තොරතුරු වේ. එම තොරතුරු මත පදනම් වී  සතුරු ප්‍රහාර වළක්වා ගැනීම සඳහා අවශ්‍යය බලය ඇති අධිකාරිය, ලැබෙන සෑම තොරතුරක්ම බරපතළ ලෙස සැලකිය යුතු වේ. 

පාර්ලිමේන්තු විශේෂ සභාව ඉදිරියේ සාක්ෂි දුන් බොහෝ දෙනෙකු ඉදිරිපත් කළ අදහසක්  වූයේ රාජ්‍යය බුද්ධි අංශ ප්‍රධානියා ලබාදුන් තොරතුරු ප්‍රකාරව අප්‍රේල් 09 වැනිදා ජාතික බුද්ධි ප්‍රධානියා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට තොරතුරු දැනුම් දී ඇති බවයි. එසේම, අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද මෙම කාරණය සනාථ කළේය. මෙහිදී මෙම නිලධාරීන් දෙදෙනා ඇතුළු  අනෙකුත් අය රාජ්‍යය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂක ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක්   එල්ල කරනු ලැබුවෝය. කුමන හෝ හේතුවකට ඇතැම් මාධ්‍යය මෙම නිලධාරීන්ගේ අවශ්‍යතාව ඉටු කළේය. මට දැනෙන හැටියට මෙම ප්‍රහාර මාලාවේ අරමුණ  රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා මානවසිකව ඇදවැට්ටවීම සහ ඔහුගේ අනන්‍යතාවය මාධ්‍යය ඉදිරියේ හෙළිදරව් කිරීමය.

බුද්ධි අංශයට සමබන්ධ වී  තොරතුරු සපයන්නෙකු ලෙස යුදහමුදා බුද්ධිසේවයේ සහ රාජ්‍යය බුද්ධි සේවයේ කටයුතු කළ අයෙකු ලෙස  මා හට පෙනෙන්නේ මෙහිදී රාජ්‍යය බුද්ධි සේවයෙන් කිසිඳු වරදක් සිදු වී නැති බවයි. රාජ්‍යය බුද්ධි සේවයේ වත්මන් ප්‍රධානියා සමග කිසිම දිනක මා කටයුතු කොට නැති නමුත්, සාක්ෂි ලබා දුන්  නිලධාරීන්ගේ සාක්ෂි ගැන සැලකීමේදී පෙනීයන මූලික කරණය නම් රාජ්‍යය බුද්ධි සේවය ප්‍රහාරයට දින දහහතරකට පමණ පෙර අදාළ ප්‍රහාරය ගැන 90% ක පමණ තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට දැනුම් දී ඇති බවයි.

එම ලැබුණු තොරතුරු, ජාතික බුද්ධි ප්‍රධානියාද, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිතුමාට දැනුම් දී තිබේ. නමුත්, හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පතිතුමා කියන්නේ, තොරතුරු ලබා දුන්නද අදාළ වගකිව යුතු පාර්ශ්වය එතරම් බරපතළ ලෙස දන්වමින් එම තොරතුරු ලබානොදුන් බවයි. මෙය අසත්‍ය කාරණයකි.

සිසිර මෙන්ඩිස් මහතා විසින් තම සාක්ෂියේදී සඳහන් කරනු ලැබුවේ, "අයිස් ඔන්ලි" සහ "ටොප් සීක්‍රට්" ලෙස වර්ගීකරණය කරනු ලැබූ ලිපියක් පොලිස්පතිතුමාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට යැවූ බවය. එලෙස වර්ගීකරණය කරනු ලැබූ ලිපියක් බරපතළ ලෙස නොදැනුණේ ඇයිද? යන ගැටලුව ඕනෑම අයෙකුට මතුවන මූලික ගැටලුවකි. එසේම, බරපතළ ලෙස දැන්වීමට නම් අනුගමනය කළයුතු වෙනත් ක්‍රියාමාර්ගයක් (එනම් පරුෂ වචනයෙන් බැණීම හෝ කම්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම වැනි ක්‍රමයක් අනුගමනය කිරීම) තිබේද යන්න අදාළ නිලධාරීන් පැහැදිළි කළයුතුව තිබේ. මේ නිසා රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන ජේයිෂ්ඨ නියෝජ්‍යය පොලිස්අධිකාරි නිලන්ත ජයවර්ධන මහතාට චෝදනා කිරීමට උත්සහ කිරීම අසාදාරණ කටයුත්තක් පමණක් නොව එය රටේ මහජනතාව නොමග යැවීමට උත්සහ කිරීමකි. නිවැරදිව කටයුතු සිදුකළ තම සගයාගේ රෙදි ගැලවීමට යෑමෙන් පළමුව නිරුවත්වන්නේ තමන් බව මෙම සාක්ෂිකරුවන් බොහෝ දෙනෙකුට අමතක වී ඇත.  "ටොප් සීක්‍රට්” ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ ඉතාම බරපතළ කාරණයක් වනබව  ඔත්තුසේවා ගැන අයන්න දන්නා පුද්ගලයින් පවා දනිති.

කෙසේ වෙතත්, දේශපාලන අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා පෙනෙන සත්‍යය අමතක කිරීම කාලාන්තරයක් තිස්සේ මේ රටේ තිබුණු පුරුද්ද වේ. මේ හේතුවෙන්, ඉතාම දක්ෂ බුද්ධි අංශ සාමාජිකයින්ට සහ නිලධාරීන්ට ජීවිතය පවා අහිමි විය. ජීවිත අහිමිවීම් වලින් බොහෝමයක් සිදුවූයේ අනවශ්‍යය අවස්ථාවලදී එම බුද්ධි අංශ නිලධාරීන්ගේ සහ සාමාජිකයින්ගේ අනන්‍යතාවයන් හෙළිදරව් කිරීම හේතුවෙනි. මෙම කනගාටුදායක වැඩපිළිවෙලේ සාක්ෂිකරුවෙකු ලෙස මා එය ඉතාම පැහැදිළිව මතක් කරන්නෙමි.  

මා හට මේ ආකාරයෙන් ලිවීමට හැකි වූයේ ඉතාම වාසනාවන්ත ලෙස අවස්ථා රාශියකදී ජීවිතය බේරා ගැනීමට අල්ලාහ් දෙවියන්වහන්සේ උදව්කළ නිසායැයි මා විශ්වාස කරමි. අදටත් මා ඇතුළු සගයින් විසින් සිදුකළ මෙහෙයුම් ගැන දන්නේ ඉතාම සුළුපිරිසක් පමණි. එසේම, අපේ පවුලේ සාමාජිකයින් පවා අපි බුද්ධි අංශයට සම්බන්ධ වී සේවය කළ බව තවමත් දන්නේ නැත.  එක්තරා මොහොතක අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් සහ ආශීර්වාදයෙන්, අපි ඉපැදුණු මේ රට අනතුරට ලක් වූ අවස්ථාවේදී බේරා ගැනීමේමොහොත උදා වී ඇති බව අදිටන් කරගත් හෙයින් අපි ඊට සම්බන්ධ වූයෙමු.

රාජ්‍යයක බුද්ධි සේවා වගවීමට සහ වගකීම්වලට යටත්විය යුතු බව පරම සත්‍යයකි. නමුත්, විවිධ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම ආයතන වල ආකෘතිය, ඒවා මෙහෙයුම්කරන ආකාරය, ආදීය ගැන ප්‍රසිද්ධ සමාජයේ කතාබහා වීම එතරම් හොඳ පුරුද්දක් ලෙස මා දකින්නේ නැත. අපි අපේ බුද්ධි අංශ සහ ඒවායේ මෙහෙයුම්කරුවන් නඩත්තු කළ යුත්තේ පරම්පරා ගණනාවක් ඉදිරියට සිතීමෙන් මිස පටු දේශපාලන වාසී ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නොවේ.  මා කිසිම පුද්ගලයෙකු නිවැරදි කිරීම සඳහා මෙම සටහන නොලියු බවත් ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ආරක්ෂාව සහ ඉදිරි දියුණුව අපේක්ෂාවෙන් පමණක් මෙම සටන ලියු බවත් මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඉන්ෂාල්ලාහ්!

පාස්කු ප්‍රහාරය සහ බුද්ධි අංශ

බුද්ධි අංශවල නොසැලකිල්ල නිසා සිදු වූ ප්‍රහාරයක්ද? නැත

රජිව් ඝාතනයට පෙර රෝ - 9/11 ප්‍රහාරයට පෙර සී.අයි. ඒ. අනතුරු ඇඟවූහ


ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂ වාර්තාකරුවකු විසිනි

මෙම ලිපිය ලිවීමට තීරණය කරනු ලැබුවේ, හිතවත් පුවත්පත් කතෘතුමෙකුගේ  ආරාධනයක් මතය.   පසුගිය වසර ගණනාවක් තිස්සේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පුවත්පත් ඇතුළු අනෙකුත් මාධ්‍යය වලට ලිපි සම්පාදනය කිරීම සැලකිල්ලට ගනිමින් සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ මතු වී ඇති තත්වය ගැන සැලකිල්ලට ගනිමින් මා හිතවත් කතුවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රයෝජනවත් කටයුත්තක් යැයි සැලකරනු ලැබීය. විශේෂයෙන් රාජ්‍යය බුද්ධි සේවය මූලික කර ගනිමින් මතු වී ඇති අහේතුක විවේචන මෙන්ම උදා වී ඇති තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම සහ අදාළ සිදු වීමට ප්‍රතිචාර දැක්වීමේදී විවිධ පාර්ශවයන් වෙතින් දක්නට ලැබෙන ගති ස්වභාවයන් ගැන විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණ ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.

ආගමික මූලධර්මවාදය ලෝකයට පමණක් නොව, ශ්‍රී ලංකාවටද අලුත් දෙයක් නොවේ. එය සියවස් ගණනාවක් ඈතට දිව යන්නකි. ජනතාව ඒකරාශී කරනු ලැබූ මූලික සාමකාමී දාර්ශනික (ආගමික) ප්‍රවාහයන් තම අභිමතය පරිදි වෙනස් කරමින් ඊට තම තමන්ගේ අර්ථ නිරූපණ ඉදිරිපත් කොට ප්‍රධාන දහරාවෙන් වියුක්ත වීම මූලධර්මවාදයේ මූලික  ස්වභාවය වේ. ප්‍රධාන ධහරාවෙන් ඉවත් වී තම තමන්ගේ කුඩා කණඩායම් නිර්මාණය කරගෙන ඊට අදාළ නෛතික රාමුන් නිර්මාණය කර ගැනීම මෙහිදී දක්නට ලැබෙන කාරණයකි. ඊට සම්බන්ධ වන සියල්ල එම රාමුවට බැඳී සිටිති. 


සමස්ථ සිදුවීම තුළ ඇති අභියෝගය වන්නේ, මෙරට රාජ්‍යය රහස් විවිධාකාරයෙන් වෙස්වලාගෙන පැමිණෙන යක්‍ෂයින්ට පැහැර ගැනීමට ඉඩ නොදීමය. 
මුල් කාලයේදී, මූලධර්මවාදය ( අන්තවාදය) සඳහා පිරිස් එකතු කිරීමේදී එය ප්‍රධාන පියවර දෙකක් අනුගමනය කරනු ලැබීය. පළමුවැන්න, පුද්ගල විමුක්තිය ලබා දෙන එකම ක්‍රමය තමන් සතුබව අර්ථ නිරූපණය කරමින් එය යළි යළිත් පුනරුච්චාපනය කරමින්, ඊට අවශ්‍යය පිළිගැනීම් පද්ධතියක් නිර්මාණය කර ගැනීම. එය වසර ගණනාවක් තිස්සේ ක්‍රමානූකූලව සිදු කරනු ලබන දේව මෙහෙයන්, ඉගැන්වීම් ආදී කටයුතු වලින් කරනු ලබන අතර එය අවසානයෙදී තම අදහස පිළිනොගන්නා අයවලුන් සතුරන් ලෙස නම් කරනු ලබයි. දීර්ඝ කාලීනව සිදුකරනු ලබන ඉගැන්වීම්, ඔස්සේ සිසුවා අදාළ ගුරුවරයාගේ වස්තුවක් බවට පත් වේ. ඉන් පසු ගුරුවරයා විසින් ලබා දෙන නියෝග පිළිපැදීම සඳහා පමණක් නොව හෙතම විසින් ඉදිරිපත් කරන ඕනෑම දෙයක් වෙනුවෙන් ඉදිරිපත් වීම ස්වභාවික වේ. එය මෙම ක්‍රමවේදයේ දෙවන පියවර වේ. දෙවන පියවරේදී ඔවුහු මූලික වශයෙන් භාවිතා කරනු ලබන මූලික අවිය වන්නේ ප්‍රචණ්ඩත්වයයි. 

ඉතිහාසය විසින් අපට ලබා දෙන කදිම නිදසුන් දෙකක් මෙහිදී සඳහන් කළ හැකිය. පළමුවැන්න, බුදුන් වහන්සේගේ කාලය ගැන සඳහන් කිරීමේදී විස්තර වන අංගුලිමාල කතාවයි. දෙවැන්න, ජේසුස් වහන්සේ විසු සමාජයේ සිදු වූයේ යැයි කියන, එක්තරා ස්ත්‍රීයක් ගල්ගසා මරා දැමීමට සූදානම් වූ පුරුෂයින් පිරිසය. මෙම සම්ප්‍රදායේම එක්තරා දිගුවක් මීට වසර කිහිපයකට පෙර  කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඉස්ලාමීය පල්ලියකින් වාර්තා විය. එනම්, එක්තරා කාන්තාවක් "වරදක්" කළබව සඳහන් කරමින් පල්ලිය තුළදී ඇයට පොල්පිත්තකින් පහර දීමය. 

කාලාන්තරයක් තිස්සේ මෙරට සමාජය තුළ නිහඬව නමුත් ඉතාම භායනාක ලෙස වර්ධනය වූ මූලධර්මවාදයේ ස්වභාවය එය විය. මෙය පළමුව තම ප්‍රජාවම නියෝජනය කරන අයවලුන් ඉල්ක්ක කර ගැනීම ආරම්භ වූයේ අද ඊයේක නොවේ.  ක්‍රමයෙන් විස්තාරණය වූ මෙම මූලධර්මවාදය, දෙවියන් සමග තමන්ට ඍජුව ගනුදෙනු කළ  හැකි බව විස්වාශ කරනු ලැබුහ. මේ නිසා මීට ඇති වූ ආකර්ශනය ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගත්තේය. 
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සිදු වූයේ, මෙම මූලධර්මවාදය මුල් කාලයේදී ඉලක්ක කරගෙන වර්ධනය වෙමින් තිබු සමාජ ප්‍රජාවෙන් ඉවතට පැමිණ ගෝලීය ප්‍රවණතාවය සමග මුහු වීමය.  මෙය, මෙරට බුද්ධි අංශ විසින් හෙළිදරව් කරනු ලැබුවේ 2015 දී මෙරට පුරවැසියෙකු අයිසිස් සංවිධානය සමඟ සම්බන්ධ වී සිරියාවේදී මියගිය පසු සිදුකළ වැදගත් සොයා ගැනීම් වලදීය. 

කෙසේ හෝ වේවා ගෝලීය වශයෙන් තම මතවාදයන් ව්‍යාප්ත කිරීම සඳහා වැදගත් වන්නේ, ඊට අවශ්‍යය ප්‍රහල ප්‍රචාරණයයි. ත්‍රස්තවාදී සංවිධාන සෑම විටම තම ප්‍රචාරණ ව්‍යාපෘතියට අතිශය වැදගත් ඉඩක් ලබා දෙනු ලබයි. එසේම පුවත් පිපාසයෙන් වෙළෙන වත්මන් ජනමාධ්‍යයන් වල හැසිරීමේ ස්වභාවය අනුව එය ඉතාම ක්‍රමෝපායිකව භාවිතා කරනු ලබයි.  

පාස්කු ඉරිදා ප්‍රහාරය සැලකිල්ලට ගැනීමේදී, මෙම ප්‍රහාරය සැලසුම් කොට තම ජීවිතය නසාගත් සියලු දෙනා සහ ඊට අනුබල දුන් පිරිස සිතුවාටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඊට අවශ්‍යය ප්‍රචාරය ලැබුණි. මෙයට, මීට වසර කිහිපයකට පෙර බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් විසින්, අසරණ පාසැල් දැරියන් රාශියක් පැහැරගෙන සිදුකළ ඛේදවාචකයට ලැබුණු ප්‍රචාරය හා සමාන ලෙස, විශාල ප්‍රචාරයක් ලැබුණි. එසේම මෙරට දේශීය මාධ්‍යය, මීට වසර දහයකට පෙර පැවති තත්වය යළිත් ඇති වෙමින් ඇතැයි සිතා, තම වාර්තාකරණය කිරීමට පටන් ගත්හ. බොහෝ "විශේෂඥයින්" රටතුළ ඇති වී ඇති අර්බුධයට විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කරණු ලැබුහ. තම පෞද්ගලික කොන්තරයන් පිරිමසා ගැනීම සඳහා මෙරට ඔත්තුසේවා වලට ව්‍යාජ තොරතුරු ලබා දුන් "ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයින්" සෑම විටම අපේක්ෂා කරණ පටු සහ ලාභදායි ප්‍රසිද්ධියට මෙරට මාධ්‍යය තෝතැන්නක් විය.

සමස්ථ සිදුවීම තුළ ඇති අභියෝගය වන්නේ, මෙරට රාජ්‍යය රහස් විවිධාකාරයෙන් වෙස්වලාගෙන පැමිණෙන යක්‍ෂයින්ට පැහැර ගැනීමට ඉඩ නොදීමය. විශේෂඥයින් ලෙස මෙරටට බඩගාන බොහෝ දෙනෙකු එලෙස පැමිණෙන්නේ, රටට ඇති ආදරයට නොව මෙහි ඇති තොරතුරු තම තමන්ගේ පෞද්ගලික  අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා භාවිතා කිරීමටය. මෙම මූලික සන්දර්භය ඔස්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමසා බැලීම වැදගත් යැයි සිතේ. 

බුද්ධි අංශවල නොසැලකිල්ල නිසා සිදු වූ ප්‍රහාරයක්ද? නැත. 


පාස්කු ඉරිදා ප්‍රහාරය මෙරට මෙතෙක් පැවති අභ්‍යන්තර කෝලාහල අභිබවා යන්නකි. එය බුද්ධි අංශවල නොසැලකිල්ල නිසා සිදු වූයේද? මෙහිදී බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිසප්ති නිලන්ත ජයවර්ධන මහතාය. හෙතම මෙරට ඉතිහාසයේ පත්වූ ලාබාලතම ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පතිවරයාය.  ජනාධිපති සිරිසේන මහතාට සෑම දිනකම කතා කරන සහ  ජනාධිපතිවරයාගේ විශ්වාසය ඉතාම හොඳින් දිනාගෙන ඇති හෙතම අවශ්‍යය තොරතරු  ජනාධිපතිවරයාට ලබා දුන් බවත් ජනාධිපතිවරයා නිවැරදි ක්‍රියාමාර්ග නොගත් බවත් ඇතැම් වාර්තා සඳහන් කොට තිබේ. එසේම, පොලිස්පති ජයසුන්දර  සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ප්‍රනාන්දුට මෙහිදී වගකීමක් නැති බවත් සඳහන් වේ. මෙය ව්‍යාජ සහ හානිදායක අර්ථ දැක්වීමකි. සැබෑ කරුණු අපහරණය කොට තම වගකීම් වලින් ඇතැමුන් නිදහස් වීමට කරනු ලබන  උත්සාහයකි. 

ජයවර්ධන මහතාට එරෙහිව ප්‍රසිද්ධ වී ඇති බොහෝමයක් වාර්තා වල උපුටා දක්වා ඇති " මූලාශ්‍ර" වල ස්වභාවය අනුව පෙනී යන්නේ ඒවා විවිධ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා කී දෑ බවය. එසේම, ඇතැම් පාර්ශවයන් විසින් බුද්ධි අංශ වලට සිදු කළ අතපෙවීම් වසා ගැනීම සඳහා මෙම සිදුවීම දඩමීමා කරගෙන ඉතාම පහත් මට්ටමේ ප්‍රචාරයන් රාශියක් දියත් කරමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය.  

ජයවර්ධන මහතා මෙහිදී තම වගකීම නිවැරදිව ඉටු කොට ඇති බව, මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වූ ඇතැම් බුද්ධි අංශ වාර්තා දෙස බැලීමේදී පමණක් තේරුම් ගත හැකිය. එසේම, අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති ජයසුන්දර මහතා සහ ධූරයෙන් ඉල්ලා අස්වූ ලේකම් ප්‍රන්නාදු මහතා මෙහිදී වගකීමට බැඳී සිටිනවා පමණක් නොව, ඔවුහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරණ මතය වැරදි  යැයි සඳහන් කිරීම මුලාවක් මෙන්ම අනෙකා නොමග යැවීමක් පමණි.  

රටක බුද්ධි අංශ ප්‍රධානියෙකුට කටයුතු කළ හැකි සීම්මාවක් තිබේ. ඔහුගේ සීමාව නෛතික රාමුවට  සෑම විටම යටත් වේ. ඔහුට කළ හැක්කේ තොරතුරු ඒකරාශී කිරීම, විශ්ලේෂණය කිරීම සහ සම්ප්‍රේශණය කිරීමය. ඔහුට හෝ ඔහු යටතේ සිටින මෙහෙයුම්කරුවන්ට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකිය.
 
කෙසේ නමුත් මෙම මූලික වගකීම් රාමුව අභිබවා එකිනෙකාගේ දේශපාලන කුණුකන්දල් ඔලුවේ ගසාගෙන තම වගකීම පැහැර හරිනු ලැබූ බුද්ධි අංශ නිලධාරීන්  මෙරට නොසිටියා නොවේ. නමුත් ජයවර්ධන මහතා පැවති අප්‍රසන්න රටාවෙන් වෙනස් වූ නිලධාරියෙකි. ජයවර්ධන මහතා තම රාජකාරී සීමාව තුළ කටයුතු කරමින් සහ තම ආයතනයේ උන්නතිය උදෙසා මහත් පරිශ්‍රමයෙන් කටයුතු කරන නිලධාරියෙකි. බොහෝ දෙනෙකු හෙතම මහත්මයෙකු ( ජෙන්ට්ල්මන්) ලෙස හඳුන්වනු ලබන්නේ මේ නිසාය. තම බලය අනිසි ලෙස භාවිතා කොට  තවකෙකු පීඩාවට පත්කිරීම හෝ තැන දුටු තැන වල ඉහ ගැනීමේ ගතියක් ඔහුට නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ  අතිශය නිවැරදි තෝරා ගැනීමක් ලෙස  ඔහු එම ධූරයට පත්කිරීම හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.

බුද්ධි  අංශයක වගකීම වන්නේ රාජ්‍යය, එහි නායකත්වය සහ එහි ජනතාව සතුරු  උවදුරු වලින් බේරා ගැනීම සඳහා අවශ්‍යය තොරතුරු අවශ්‍යය ස්ථාන වලට සම්ප්‍රේෂණය කිරීමය. ඒ වෙනුවට,  අභිරහස් ග්‍රීස් යක්කු, අභිරහස් ලෙස ස්ත්‍රීන්ගේ ඝාතන, තමන්ගේ දරුවන් පැහැරගෙන ඔවුහුට ත්‍රස්තවාදී ලේබලය අළවා කප්පම් නොදීම හේතුවෙන් වදදී මරා දැමීම ආදීය සිදුවීම් වල කොටස්කරුවන් වීම නොවේ. එවැනි අතීයක් රටට තිබුණි. නමුත් ගෙවුණු වසර කිහිපය තුළදී එවැනි දෑ වාර්තා වීම ඉතාම අවම විය. මෙය මෙරට සමාජය ලැබූ විශාල ජයග්‍රහණයකි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තම තමන් අතීතයේදී සිදුකළ බොහෝ වැරදි වසා ගැනීමට ඇතැමුන් උත්සහ කළද, එය ඔවුහුට දිගුකාලීනව නඩත්තු කිරීමට ලැබේ යැයි සිතිය නොහැකිය. 

මෙහිදී මතු කරනු ලබන තවත් කාරණයක් වන්නේ, බුද්ධි අංශ තොරතුරු ලබා දී තිබියදීත්, අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නය. මෙවැනි ආකාරයේ සිදුවීම් මෙරට පමණක් සිදු වූ දෙයක් නොවේ. මෙහිදී මාගේ සිහියට එන ප්‍රධාන නිදසුනක් වන්නේ, ඉන්දීය අගමැති රජීව් ඝාන්ධි මහතාගේ ඝාතනයයි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් අදාළ ඝාතනය සැලසුම් කරමින් සිටින බවට සැලකෙන සියලු තොරතුරු ඉන්දීය ඔත්තු සේවයට ලැබී තිබුණි. විශේෂයෙන් මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ බහුකුටුම්බි රාමන් විසින් ප්‍රසිද්ධ කළ "කාඕ බෝයිස් ඔෆ් රෝ" කෘතියේදී මෙම කාරණය ගැන සඳහන් කරමින්, හෙළිදරව් කරනු ලැබුවේ, රජිව් ඝාන්ධි ඝාතනය සඳහා කොටි සංවිධානය සූදානම් වන බවත් හෙතම තමිල් නාඩුවේදී ඝාතනය විය හැකි බවත් රෝ සංවිධානය තොරතුරු ලබා දී තිබුණු බවයි. නමුත් එය වළක්වා ගැනීමට ඉන්දීය බලධාරීන්ට නොහැකි විය.  

උග්‍ර ලෙස බලය සහ මුදල්වලට කෑදර වී තිබු ඉන්දීය ඔත්තු සේවය ඉන්දිරා ගාන්ධිගේ විශ්වාසවන්තයා වූ රාමේශ්වර් නාත් කාඕ යටතේ රෝ නමින්  ප්‍රතිසංකරණය වී ඉතාම ශක්තිමත් සහ ස්වාධීන ආයතනයක් බවට පත් විය. නමුත්, ඊට ඉන්දිරා ගාන්ධි ඝාතනය පමණක් නොව රජීව් ගාන්ධි ඝාතනයද වළක්වා ගැනීමට නොහැකි විය. ඒවා බුද්ධි තොරතුරු හුවමාරුවේ සිදු වූ අඩුපාඩු හේතුවෙන් සිදුවූ දෑ නොවේ. තොරතුරු සම්ප්‍රේෂණයෙන් පසු එය ලබා ගන්නා පාර්ශවයන් ඊට ලබා දෙන සැලකිල්ල පිළිබඳ ගැටලුව හේතුවෙන් සහ තර්ජන ගැන තිබු අනඅවබෝධය මෙන්ම තක්සේරුව හේතුවෙන් සිදු වූ දෑය.

රජිව් ඝාතනයට පෙර රෝ - 9/11 ප්‍රහාරයට පෙර සී.අයි. ඒ. අනතුරු ඇඟවූහ


මීටම සරිලන අනෙක් නිදසුන වන්නේ 2001 වසරේ සිදු වූ ප්‍රකට සැප්තැම්බර් 11 වනදා ප්‍රහාරයයි. නයින් ඉලෙවන් ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත මෙම සිදුවීම ගැන ඇමෙරිකානු ඔත්තු සේවය වන ( සී. අයි. ඒ.) එනම් මධ්‍යම බුද්ධි ආයතනය අනතුරු අඟවා තිබුණි. 1986 දී සී. අයි. ඒ. සංවිධානයට අනුබද්ධව පිහිටුවනු ලැබූ ත්‍රස්ත විරෝධී මධස්ථානය ( සී.ටී.සී.)  විසින් 1998  දෙසැම්බර් මාසයේ දී හිටපු ජනාධිපති බිල්ක් ක්ලින්ටන් මහතා දැනුවත් කරමින් සඳහන් කරනු ලැබුවේ, " අල්ඛයිදා  සංවිධානය ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවයි."  

එසේම  2001 අප්‍රේල් මාසයේදී , තලේබාන් සංවිධානයට එරෙහිව කටයුතු කළ අහමඩ් මසූඩ්, යුරෝපානු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, අල් ඛයිදා  සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රභල ප්‍රහාරයකට සූදානම් වන බවයි. මසූඩ්, සැප්තැම්බර් 11 ප්‍රහාරයට දින දෙකකට පෙරා මරා දමනු ලැබීය.  එසේම 2001 වසර පුරාම, සී. අයි. ඒ. සංවිධානය සැප්තැම්බර් 11 ප්‍රහාරය ගැන ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ එවකට රාජ්‍යය ලේකම් ( ඇය බුෂ්ගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ උපදෙශිකාවද වූවාය.) ලෙස කටයුතු කළ කොන්ඩෝලීසා රයිස් ඇතුළු  ප්‍රධාන පුද්ගලයින් හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය. නමුත්, ප්‍රහාරය සැලසුම් කළ පරිදිම සිදුවිය. ප්‍රහාරයෙන් පසු පැවති පරීක්ෂණ වලදී රයිස් සඳහන් කරනු ලැබුවේ එවැනි ප්‍රභල ප්‍රහාරයක් වන බවක් නොසුතු බවය. 

මෙරටදී සිදු වූ බොහෝ ත්‍රස්තවාදී ප්‍රහාරවල ස්වභාවයද ඊට සමානය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතකයා ඔහු සමග වසර ගණනාවක් ජීවත් වූ අයෙක් විය. මේ ආදී වශයෙන්  ගෙන හැර දැක්විය හැකි නිදසුන් රාශියකි. 
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමබන්ධයෙන්, බුද්ධි අංශ වාර්තා, දේශපාලනඥයින්ගේ නොසැලකිල්ල, ආදීය ගැන මාධ්‍යය ඔස්සේ සිදුවන විවේචන ගැන කල්පනා කොට බැලීමේදී පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ, අදාළ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන ආලපාළු විවේචන සහ බුද්ධි අංශවල නිලධාරීන් ඒවායේ ගොදුරු බවට පත්කර  ගැනීමය. ඒ ඔස්සේ ඔවුන්ගේ අනන්‍යයතාවයන් හෙළිදරව් කිරීම සහ ඔවුහුට තම රැකියාව ගැන කණස්සල්ල ඇතිකරවීම මෙරට දක්නට ලැබෙන කනගාටුදායක ප්‍රවණතා වලින් එකක් වේ. 

ඊටම සරිලන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මතයන් ප්‍රකාශ කිරීම සඳහා  කුමන්ත්‍රණ න්‍යායචාර්යවාදීන් ( කොන්ස්පිරසි තියරිස්ට්ස්) රාශියක් බිහි වී සිටිති. එය මෙවැනි සිදු වීම් වලදී ලෝකය පුරාම දක්නට ලැබෙන ප්‍රවණතාවයකි. 

කෙටි කාලීන තෘප්තියක් ලබා ගැනීම උදෙසා සිදුකරනු ලබන මෙවැනි විවේචන, සෑම විටම දිගුකාලීන සැලසුම් ඇති සතුරාට තම ඉලක්ක ලබා ගැනීම සඳහා ඉතාම පහසු වේ. මේ නිසා යම් කිසි නිලධාරියෙකුට එරෙහිව පහර ගැසීමේදී එම නිලධාරියාගේ පැත්තෙන් ගැටලුව දෙස බැලීම සහ තම විවේචනය ඔස්සේ සිදුවන දිගුකාලීන හානිය ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. එය ඕනෑම අයෙකු අභිමුඛව ඇති මූලික වගකීම වේ. 


1986 දී සී. අයි. ඒ. සංවිධානයට අනුබද්ධව පිහිටුවනු ලැබූ ත්‍රස්ත විරෝධී මධස්ථානය ( සී.ටී.සී.)  විසින් 1998  දෙසැම්බර් මාසයේ දී හිටපු ජනාධිපති බිල්ක් ක්ලින්ටන් මහතා දැනුවත් කරමින් සඳහන් කරනු ලැබුවේ, " අල්ඛයිදා  සංවිධානය ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවයි."  
බෝම්බයක් පිපිරීමෙන් විපතට පත්වන ජනතාව ගැන වර්තාවක් ලබා ගැනීමට ගිය පමණින් යමෙකුට ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂඥයෙකු විය නොහැකිය. එම විෂයය ඉතාම ප්‍රවේශමෙන් හැදෑරිය යුතු සංකීර්ණ විෂයකි. එසේම, යම් කිසිවෙකුගේ පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීම සඳහා ලබාදෙන තොරතුරු වල ඇති සිත් ඇදගන්නා සුළු ස්වභාවය නිසා එය පුවතක් ලෙස ප්‍රසිද්ධ කළ නොහැකිය. ජනමාධ්‍යය සතු මූලික වගකීම එයයි.  පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන බුද්ධි අංශ සම්බන්ධයෙන් එල්ල වන විවේචන කිසිඳු යපතකට හේතු නොවන්නේ මේ නිසාය. 

මෙරට බුද්ධි අංශ වලට ඇති ගැටලුව කුමක්ද? දේශපාලන අතපෙවීම අනවශ්‍යය ලෙස තිබීම ප්‍රධාන හේතුවක් ලෙස බොහෝ දෙනෙකු දකිති. එය බොරුවක් නොවේ. නමුත්, එය ප්‍රධාන කාරණයේ අනුවක් ලෙස මම දකින්නෙමි. 

ප්‍රධාන ගැටලුව වන්නේ, බුද්ධි අංශ සතුව පැවතිය යුතු සාමූහික එකඟතා සහ වගකීම් වලින් බැඳී සිටීම වෙනුවට එය තනි වී සිටීමයි. එසේම, බුද්ධි තොරතුරක් ලැබුණු පසු එය සාධනීය ලෙස විමසීමට ලක් කිරීමට සහ විශ්ලේෂණය කිරීම එතරම් සැලකිල්ලකින් කිරීමට තරම් රාජ්‍යය සම්පත් තිබේද යන්න ගැටලුවකි. 

බාසාවන් දන්නා අයවලුන්ගේ හිඟය, විටින් විට වෙනස් වන ආණ්ඩු හේතුවෙන් ස්ථීර රාජ්‍යය ප්‍රතිපත්තියක් නොමැති කම, මූල්‍යම දුර්වලතාවයන්, තාක්ෂණික දැනුම සහ සම්පත්වල හීනතාවය, ආදී දෑ ඉතාම ඉහළ  මට්ටමිකින් පවතී. එවැනි මට්ටමක තිබියදීද, ලෝකයේ රුදුරුම ත්‍රස්තවාදීන් යැයි පිළිගත් කණඩායමක් සමඟ සටන් කොට අතුගා දැමීමට අවශ්‍යය තොරතුරු මෙරට බුද්ධි අංශ විසින් ලබා දෙනු ලැබීය. 

පාස්කු ඉරිදා ප්‍රහාරය ඔස්සේ මේ දක්වා මෙරට බුද්ධි අංශ විසින් දුටු සීමවාන් කඩා බිඳ දමා එය කටයුතු කළයුතු පරාසය පුලුල්කොට තිබේ. වැදගත් වන්නේ එහි පරාමිතීන් හඳුනා ගැනීම සහ මතු වී ඇති අභියෝග ජයග්‍රහණය කර ගැනීම සඳහා අවශ්‍යය වටපිටාව සකස් කිරීමය.  පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තම පෞද්ගලික අදහස හුවමාරු කර ගනිමින් එක්තරා ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ  නිලධාරියෙකු මෙම ලේඛකයා සමග සඳහන් කරනු ලැබුවේ, “ අයිසිස් යන්නෙහි තේරුම් කුමක්ද යන්න රටේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ඇසුවහොත් කී දෙනෙකුට පිළිතුරු දිය හැකිද, යන්න තමන්ට සැක සහිත බවය.” ඊට හේතුව මෙහි සේවය කරන අයවලුන්ට දැනුම නැති කම නොව, ඔවුහු කටයුතු කළ යුතු පරාසයන් සීමා කොට තිබීමය. 

මූලධර්මවාදී මිනිස් බෝම්බ 


අප මහුණ දෙමින් සිටින සංකීර්ණ තත්වය අප සිතනාවට වඩා සංකීරණ බව ගෙවී ගිය වසර කිහිපය දෙස බැලීමේදී දක්නට ලැබේ. ජනාධිපති සිරිසේන මහතාට තම ප්‍රධාන අමාත්‍යධූරය වන ආරක්ෂක  අමාත්‍යංශයේ සේවය කිරීම සඳහා ලේකම්වරයෙකු පත් කර ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් විය. අදාළ ධූරයට පත් වූ බොහෝ දෙනෙකුට තනතුරේ ඇති වගකීම් වලට වඩා, එහි ඇති උෂ්ණය වැදගත් විය. මේ නිසා  බොහෝ පරිපාලන කටයුතු ඉතාම දුර්වල තත්වයට පත්විය. රටේ බුද්ධි අංශ වලට කටයුතු කිරීමට සිදු වූයේ එවැනි දුෂ්කර තත්වයක් හමුවේය. එවැනි තත්වයකදී බුද්ධි අංශ ප්‍රධානියාව බිල්ලට දී ලේකම් හේමසිරි ප්‍රන්නාදු  හමුවේ වගකීමක් නැතැයි සඳහන් කිරීම හිතළුවකි. 

වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ ආරක්ෂක අමාත්‍යංශයට ලේකම්වරුන් පස් දෙනෙකු පත් කිරීමට සිදුවිය. හිටපු යුදහමුදාපතිවරයෙකු වන වත්මන් ආරක්ෂක ලේකම්වරයා හිත හොඳ පුද්ගලයෙකු වුවද ඔහුට වත්මන් ප්‍රවණතාවයන් වලට අනුව ක්‍රමෝපායන් සකස් කිරීමට හැකිද යන්න ගැටලුවකි. භූමියට වඩා මුහුදක් ඇති රටක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට වඩාත්ම ඔබින්නේ නාවික දැනුමක් සහ පුද්ගලගරුත්වය රැකගත් නිලධාරියෙකි.  

එවැනි නිලධාරියෙකුට අනෙකුත් ආයතන මෙන්ම රටේ බුද්ධි අංශයද මනාව කළමනාකරණය කළ හැකිය. මෙරට බුද්ධි අංශ ඉතාම දක්‍ෂ නිලධාරීන්ගෙන් සමන්විත ආයතනයක් බව තම කටයුතු වලින් ඔප්පු කොට ඇත. විටින් විට ආයතන වල අවාසනාවට මෙන් පහල වන අසමත් නිලධාරීන් සහ මෙහෙයුම් කරුවන් සුළු පිරිසක් හැරෙන්නට මෙහි සෙවය කළ සහ කරන බොහෝ දෙනෙකු ඉතාම දක්ෂ නිලධාරීන්ය. එය, කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදීත්, 80 දශකයේ අග බාගයේ සිට මෙරට ව්‍යාප්ත වූ වහබිවාදය සහ තවුහීඩ් ජමාත් වැනි  මූලධර්මවාදීන් ගැනත්  ඉතාම  මැනවින් තොරතුරු සොයා ගැනීමට සහ අනාගත අනතුරු ගැන ඉතාම නිවැරදි අනාවැකි  ඉදිරිපත් කිරීමටත් සමත් විය. නමුත්, එම බරපතළ කරුණු ගැන දැඩි සැලකිල්ලක් දැක්වීමට බොහෝ දෙනෙකු අසමත් විය. එය බුද්ධි අංශවල වරදක් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරය කාලාන්තරයක් තිස්සේ ඉතාම ප්‍රවේශමෙන් සිදුකරනු ලැබූ ක්‍රියාවලියක එක් මූලික භයානක  පියවරක් පමණි.  

80 දශකයේදී ඇෆ්ඝනිස්ථානය සහ වත්මන් ඉන්දුනිසීයාව මෙම කාරණය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ලබා දෙන වැදගත් උදාහරණ දෙකකි. 70 දශකය වන විට ඇෆ්ඝනිසතානය ඉතාම සරල සමාජ රටාවකට හිමිකම් කියනු ලැබූ සහ මානව නිදහසට ගරු කරනු ලැබූ රාජ්‍යයකි. නමුත් සෝවියට් දේශය 1979 දී එරට ආක්‍රමණය කිරීමෙන් පසු, ඊට මුහුණ දීම සඳහා කල්ලි බිහිවූහ. ඔවුහු මුජහිදීන් ලෙස නම් කරනු ලැබීය. ඊට මූල්‍යමය ආධාර ලබාදෙනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයය. 

මුජහීදීන් යනු අල්ලාගේ නාමයෙන් අවි ආයුධ අතට ගන්නා  මුස්ලිම්වරුන් යන්නය.  සටන් වලදී සෝවියට් සෙබළුන් 15000 කගේ පමණ ජීවිත අහිමු වූ අතර 75000 ක් පමණ මුජහිදීන් පිරිසක් මරණය පත් වූහ. අවසානයේදී සොයට් දේශය පරාජයට පත් වූ අතර මුජහිදීන්ගේ නව සතුරා බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත් විය. එය 80 දශකයේ සිදු වූ ඉතාම බරපතල බලපෑමක් ඇති කරනු ලැබූ සමාජ කාරණයකි. විදෙස් අධිරාජ්‍යවාදී බලපෑමෙන් පසු  ආසියානු මහාද්වීපයේ භූදේශපාලනය වෙනස් වීමේ මූලික හැරවුම් ලක්ෂය එය යැයි හැඳින්විය හැකිය.  ඉන් පසු විවිධ මුහුණුවරින් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වීම ආරම්භ විය. බග්ධාධි ගේ නායකත්වය යටතේ 2014 දී ආරම්භ වන අසිසිස් මෙහි තවත් එක් දිගුවක් පමණි. 

මීට මූලික පදනම සකස් කළ ඉගැන්වීම ප්‍රවාහයක් ලෙස වහබිවාදය නිර්මාණය විය.  නූතන මුස්ලිම් රාජ්‍යයක් ලෙස ඉතාම සාර්ථකව ගමන් කළ ඉන්දුනීසියාව ක්‍රමයෙන් මෙම වහබිවාදයට නතු වෙමින් තිබේ.  පාස්කු ඉරිදා ප්‍රහාරය තුළ ඇති ගැඹුරට විහිදී ගිය විද්‍යාව මෙයයි. මෙය ගැඹුරෙන් හැදෑරීම ඉතාම වැදගත් වේ.  

කෙසේ වෙතත් ඉරිදා පාස්කු ප්‍රහාරයෙන් පසු, ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් අභියෝග වලට වඩා වෙනස් අන්දමේ අභියෝගයක් රට තුළ නිර්මාණය වී තිබේ. මෙය සමස්ථ ජන සමාජය හමුවේ නිර්මාණය වී ඇති ප්‍රභල අභියෝගයකි. එසේම මෙය තනිව මුහුණ දිය හැකි කාරණයක් නොවේ. කොටි සංවිධානය විසින් නඩත්තු කරනු ලැබූ මිනිස් බෝම්බ වලට වඩා හාත්පසින්ම වෙනස්  පරිසරයක නිර්මාණය කරන මිනිස් බෝම්බ මෙහිදී නිර්මාණය කොට භාවිතා කරනු ලබයි. ප්‍රභාකරන්, එකම ගැලවුම්කරුවා ලෙස විශ්වාස කරමින් තම ජීවිතය පුපුරුවා ගත් කළු කොටින් හෝ ජපාන අධිරාජ්‍යයා තමන්ගේ ගැලවුම්කාරයා ලෙස විශ්වාස කරමින් තම ජීවිතය නසා ගත් කැමිකාසි යුදබටයින්ගෙන් මොවුහු වෙනස් වන්නේ මේ නිසාය. 

මූලික ඉස්ලාමීය ඉගැන්වීම් වලින් ඉවත් වී, දෙවියන් ඍජුව තමන් සමග ගනුදෙනු කරන බව මෙම ඉස්ලාමීය මූලධර්මවාදීන් පිළිගනිති. මෙම අන්තවාදය තුළ ඇති පිළිගැනීමේ අනෙක් කෙලවර ඇත්තේ ගැඹුරට විහිදී ගිය විශ්වාසයකි. එම විශ්වාසය සෑම මොහොතකම ගනුදෙනු කරන්නේ තමන්ට භෞතිකව අත්විඳීමට නොහැකි තම මරණයෙන් පසු නියත වශයෙන්ම ලැබෙන්නේ යැයි විශ්වාස කරන සාධකයක් සමඟය. මෙහි ඇති ප්‍රභල මානසිකකාරණය මෙයයි. එය පිස්සුවක් ලෙස හෝ අර්ථ ශූන්‍යය දෙයක් ලෙස විස්තර කොට ඊට අපහාස-උපහාස කිරීමට ඕනෑම අයෙකුට හැකිය. නමුත් එය මෙම ප්‍රභල සමාජ කාරණය විසඳීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. එසේම මෙහි ඇති විශ්වීය බව සහ සංකීරණ බව මනා සිහියෙන් හැදෑරිය යුතු කාරණයකි. මීට පිළිතුරු සොයා ගැනීමට හැකි වන්නේ මෙහි ගොදුරු බවට පත් වී සිටින මුස්ලිම් ප්‍රජාව සමග එකතු වී ඔවුහු මේ සඳහා නිවැරදිව භාවිතා කිරීමෙනි. 

ශ්‍රී ලංකාව තවත් ඉන්දුනිසියාවක් කරන්නේද? නැතහොත් ඇෆ්ගනිස්තානයක් කරන්නයේද? එසේත් නොමැතිව ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස රකිමින් රටේ ජනතාව එකමුතු වී පවතින ගැටලු විසඳා ගන්නේද? යන්න අප හමුවේ ඇති මූලික අභියෝගයයි. මෙවැනි තත්වයන් විවිධ වාසි තකා භාවිතා කිරීමට අරදින බොර දිය මාළු බාන්නන්ගෙන් රාජ්‍යය සහ ජනතාව බේරා ගැනීම ඉතාම වැදගත් ජාතික මෙහෙවර වේ. එය මෙම ගැටලුව විසඳීම සඳහා ඇති පළමු පියවර වේ.