දෙයියන්ටත් කෙලින මාර කපුවෝ

රත්නපුරේ සමන් දේවාලය, කතරගම දේවාලය, දෙවිනුවර හි විෂ්ණු දේවාලය, මුන්නේෂ්වරම් භද්‍රකාලි අම්මාන් දේවාලය, නවගමුවේ පත්තිනි දේවාලය, ගාල්ලේ සීනිගම දේවාලය, මෝදර කාලි දේවාලය ආදි මොන දේවාලකටත් වඩා මෙරට දේවාල ලොව අග රජු වන්නේ කතරගම දේවාලයයි. එහෙත් මෙහෙව් අනුහස් ඇතැයි ගෞරවාදරයට පත්වූ කතරගම දේවාලයේ කපුවන් කෝටි 12කට ආසන්න මුදලක් පසුගිය මාස තුනක කාලයකදී තම නිවෙස්වලට රැගෙන යෑමේ පුවතක් පසුගිය සතියේ වාර්තා විය.

වජිර ලියනගේ

කතරගම කඳසුරිඳුන් හඳුන්වන්නේ යුද්ධයට අධිපති දෙවියන් ලෙසය. සුරඅසුර යුද්ධයේදී අසුරයන් පරාද කිරීම දැඩි අපහසුවක් විය. මෙහිදී ඊශ්වර දෙවියන් අසුරයින් පරාජය කිරීමට කඳ සුරිඳුන් මැවී බව හින්දු ජන විශ්වාසයකි. මේ අනුව කඳසුරිඳුන් උප්පත්තිය ලැබුවේ හයදෙනකුගේ ශක්තිය ඇතිවය. අසුරයන් මුළුමනින් විනාශ කර සුරයින් දිනවීම නිසා කඳකුමරුන්ට සේනාධිපති පදවියකින් පුදනු ලැබීය. මෙවැනි සේනාධිපති දෙවියකුගේ ඇස් වසා කෝටි 12ක් වංචා කළේ නම් ඒ කපුවන් එසේ මෙසේ කපුවන් විය නොහැකිය.

1931 දී හඳුන්වා දුන් විහාර දේවාලම් පනත යටතේ පෞරාණික සිද්ධස්ථානවලට බස්නායක නිලමේවරුන් පත්කිරීම සුද්දාගේ කාර්යයක් බවට පත්විය. ඒත් සුද්දාට කතරගම දේවාලයට අත පෙවීමට නොහැකි වූයේ පරවේණිගත උරුමය ඊට හරස් වූ නිසාය. ඒත් මෙරට දේශපාලන යාන්ත්‍රණයට කතරගම බස්නායක නිලමේ තනතුර නතුවන්නේ 1989දී එවක ඇමැතිවරයකු වූ ධර්මදාස බණ්ඩා කතරගම බස්නායක නිලමේ වීමෙනි. 1989 කතරගම පෙරහරට එල්ල කළ බෝම්බ ප්‍රහාර නිසා ජනතාව මියයෑම ගැන උරණ වූ ජනපති ප්‍රේමදාස දේශපාලඥයන් බස්නායක තනතුරට පත්වීමට එරෙහිව පාර්ලිමේන්තුවේ සංශෝධනයක් සම්මත කර ගත්තේය. ඒත් කපුවන්ගේ කෙරුවාවල් ජනපති ප්‍රේමදාසට ද නවත්වා ගැනීමට හැකි වූයේ නැත.

කතරගම කපු මහතා යනු ප්‍රබල චරිතයකි. කතරගම දේවාලයෙහි ඇති කපුවාට ඇති සුපිරි බලතලවලට අභියෝග කරන්න රටේ විධායක ජනාධිපතිටවත් හැකියාවක් නැත. ඒ නිසාම ඔවුන් කතරගම දෙවියන්ට පුදපූජා පැවැත්වීමට තමන්ට රිසිසේ සුපිරි ගණන් අය කරති. එමෙන්ම ඒවා හිතුමනාපේ ගෙදර ගෙන යති. මේ ගැන විහාර දේවාලගම් පනත තුට්ටුවකට නොතකමින් කටයුතු කිරීමේ පහසුව ඇත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ මැදිහත් වීම මත කිසිදු ගිණුම් කටයුත්තක් ගැන ක්‍රමවත් විගණනයක් සිදු නොවන නිසා විය යුතුය.

කතරගම දේවාලය අභ්‍යන්තරය විවෘත කළ හැක්කේ ජ්‍යෙෂ්ඨ කපුවන්ට පමණය. රටේ ජනාධිපති ආවත් පූජා වට්ටිය තබන තැනින් ඉහළට යා නොහැකිය. එහෙත් ප්‍රේමදාස ජනපතිවරයාට දෝෂාභියෝගය පැමිණි යුගයේ ඉන්දියාවෙන් ගෙනා බ්‍රාහ්මණයන් නිර්දේශ කොට තිබුණේ කතරගම දේවාලයේ අභ්‍යන්තරයට ගොස් පහනක් දැල්විය යුතු බවය. ඒත් දිවුරා, කන් විද, චාරිත්‍රානුකූලව සිදු කළ යුතු මේ පිළිවෙතට රණසිංහ ප්‍රේමදාසට ‘කපුවෝ‘ අවසර ලබා දුන්නේ නැත. ඒත් අද ඉන්නා කපුවන් ජනපති ප්‍රේමදාස යුගයේ සිටියා නම් ‘ජනපති ප්‍රේමදාස‘ට මේවා අපහසු නැත.

කතරගම දේවාලයේ නඩත්තු කටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් බැතිමතුන් විසින් පරිත්‍යාග කරන මුදල් සම්බන්ධයෙන් වත්මන් ‘කපුවන්ට‘ මේ චෝදනාව එල්ල වී ඇත. කතරගම කපුවන් මේ පූජාවන් සලකා ඇත්තේ කතරගම දෙවියන් පුදන්නට හෝ කතරගම දේවාලය නඩත්තුවට හෝ පෙරහර පැවැත්වීමට දරන බරපැණ වශයෙන් නොව ‘කපුවන්ට‘ දුන් දොල පිදේනියක් ලෙසින්ය. අන්තිමට වුණේ දේවාලයේ පුදපූජාවන්ට බැතිමතුන් පූජා වට්ටියේ තබන මුදල්, රත්‍රං චේන් ආදී පූජා භාණ්ඩ කපුමහතුන්ගේ ඍජු ආදායම් මාර්ගයක් බවට පත්වීමයි.

කතරගම දේවාලයේ කපුමහතකු වීම ලේසි පහසු කටයුත්තක් නොවේ. කතරගම දේවාලය කපුමහත්වරු බස්නායක නිලමේවරුන්ට විරුද්ධව අධිකරණ නියෝග ගත් අවස්ථා පවා ඇත.

2014 ඔක්තෝබර් 16 වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ පරම්පරාගත කපුරාලවරයකු ලෙස රංජිත් අධිකාරම් පත්කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවට මූලික අයිතිවාසිකම් පෙත්සම් මඟින් අභියෝග කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු පැහැදිලි කරමින් නීතිපති සාලිය පීරිස් එදා පවසා තිබේ. කතරගම දේවාලයේ කපුරාලවරයකු ලෙස පත්මසිරි රංජිත් අදිකාරම් ට අයිතියක් නොමැති බව පවසමින් ඔහු ගල්කිස්ස දිසාඅධිකරණයේ පැවරූ නඩුවක් ඔහුගේ වාසියට නඩු තීන්දුව ලෙස ප්‍රකාශයට පත්කර තිබුණි.

මෙවර කපුමහත්වරුන්ගේ සාක්කුවට කතරගම දේවාලයේ පූජා කාසි -රත්‍රන් වැටීම ගැන පැමිණිලි ඉදිරිපත් කොට ඇත්තේ කතරගම දේවාලයේ පාලන බලධාරීන් විසිනි.

පූජා වට්ටියේ තබා හෝ පින් සිතින් දේවාලයේ අභිවෘද්ධිය උදෙසා බැතිමතුන් මුදල් පරිත්‍යාග කරනවා. එම මුදල් දේවාලයේ අරමුදලට නොදී කපුමහතුන් හට නිවෙස් වෙත රැගෙන යෑම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් විය යුතුයි.”

කතරගම දේවාලයට පූජා කළ කෝටි 12ක රත්‍රන් සමඟ මුදල් කපුවන් ගෙදර ගෙනයෑම ගැන මුලින්ම පැමිණිල්ලක් ලබන්නේ කතරගම පොලීසියටය. තංගල්ල අපරාධ විමර්ශන ඒකකයට ද මේ ගැන පැමිණිල්ලක් ගොනුකර තිබේ. මෙම කෝටි 12ක වංචාව ගැන ඍජුවම මැදිහත්කරුවන් වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද දැනුම්වත් කිරීමට කටයුතු යොදා ඇත. එහෙත් විහාර දේවාලගම් පනත අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ කපු මහතුන්ට යම් ප්‍රමාණවත් ගෙවීමක් සිදුකිරීම මෙතෙක් කල් පැවැති සම්ප්‍රදාය වී තිබිණි.

කතරගම දේව ආශීර්වාදය ලබාදීමට ඊට මිලක් නියම කළ නොහැකිදැයි ප්‍රශ්නයට කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා වන සොමිපාල රත්නායක ප්‍රකාශ කළේ මෙවැන්නකි.

කපුමහතතෙකුගෙන් කිසි දවසක දේවකාරියකට මිල නියම කරන්නේ නැහැ. යාතිකාවකට මෙපමණයි, පූජාවකට මෙපමණයි කියා මිල නියම කරන්නේ දෙවියන් වාණිජකරණය කරන වංචනිකයන්. දේව පිහිටක් ලබාගන්න පඬුරක් දුන්නත් නැතත් කපුමහතා සම මෙත් සිතින් සියලු බැතිමතුන්ට දේව ආශීර්වාදය ලබාදීමට බැඳී සිටිනවා.

ඔබ කියන්නේ මෙවැනි කෝටි 12ක කතරගම දේවාලයේ රත්‍රන් හා මුදල් කපුමහතුන් රැගෙන ගොස් නැත්දැයි ප්‍රධාන කපු මහතාගෙන් අප නැවත අසා සිටියෙමු.

කොරෝනා නිසා පහුගිය කාලේ දේවාලේ වැහෙන තරමට බැතිමතුන් අඩු වුණා. ඒ නිසා ආදායමත් අඩුවුණා. ඉන්ධන ප්‍රශ්නය නිසා බැතිමතුන් එන එක සෑහෙන්න අඩුවුණා. පෙරහර තිබ්බ මුල් මාසයේ වුණත් සාමාන්‍ය යෙන් ගිණුමට බැරකරන්නේ ලක්ෂ 30ක වගේ මුදලක්. කෝටි 12ක රත්‍රන් කතරගම කපුවන් ගෙදර ගෙනිහින් කියන ප්‍රවෘත්තිය පළවෙච්ච දවසේම තංගල්ල උසාවියේ නඩුවක් කැඳෙව්වා. ඒක අගෝස්තු 8 වැනිදාට කල් ගියා. මේ ප්‍රවෘත්තියට එරෙහිව මම නීති පියවර ගන්නවා”

මෙම ප්‍රශ්නයේ දී වඩාත් ගැටලු සහගත තත්ත්වය වන්නේ ප්‍රධාන කපු මහතා කතරගමට බැතිමතුන් නොඒම ගැන කරුණු කියද්දී යුද්ධ හමුදාව වාර්තා කොට ඇත්තේ ඉතිහාසේ යාපනයේ සිට වැඩිම සෙනඟක් කතරගම පුදපූජා සහ වන්දනාවට සඳහා පැමිණ ඇත්තේ මෙවර බවය. මේ කෝටි 12 ක මුදල් හා ඊට අමතර ව රත්‍රන් නිවෙස්වලට ගෙන යෑම ගැන ප්‍රවෘත්තිය ඇසූ කතරගම බැතිමතුන් බොහෝ දෙනකු අප සමඟ පවසා සිටියේ අණපනත් කෙසේ වුවත් කතරගම දේවාලය පමණක් නොව ලංකාවේ එවැනි පූජනීය ස්ථානවලට ලැබෙන රත්‍රන් මෙන්ම මුදල් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන විධිමත් නවතම රාජ්‍ය වැඩපිළිවෙළක් සැකසිය යුතු බවය.

ඊටත් වඩා කතරගම ප්‍රදේශයේ දේවාලය ආශ්‍රිත ආරංචි මාර්ග මඟින් කියැවෙන්නේ මේ කියන කපුවන්ට තට්ටු දෙක තුනේ මාළිගා වැනි ගෙවල් ඇත්තේ පිහිනුම් තටාකද සමඟ බවයි. ඔවුන් ගමන් කරන්නේ අධි සුඛෝපභෝගී වාහනවලය. ප්‍රධාන කපු මහතා පසුගිය මාසවල ආදායමක් නැතැයි කිව්වත් පසුගිය අප්‍රේල් මාසයේ පමණක් පොරොන්දු වූ ලක්ෂ 125 වෙනුවට ලක්ෂ 85ක් දී ඇත. කොරෝනා නිසා කතරගමට බැතිමතුන් ආවේ නැතැයි කිව්වත් 2019 වසරේදී ලබා දී ඇති මුදල ලක්ෂ 170කි.

දැන් කෝටි 12ක මුදල් ආරවුලක් නිසා කතරගම දේවාලය ‘රන් දෙවොලක්‘ වී හමාරය. ඕනෑම ප්‍රශ්නයකදී ඔබේ මතය, මගේ මතය හා සත්‍යය යනුවෙන් තුනක් තිබේ. මේ ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම තහවුරු කළ වත්මන් තත්ත්වය මෙසේය.

“විහාර දේවාලගම් පනතේ 31 වැනි වගන්තියට අනුව 6 මසකට වරක් බස්නායක නිලමේවරයා වාර්තාවක් එවනවා. ඒකට රත්‍රන් වැනි පුදපූජා භාණ්ඩ, මුදල් ගැන ඇතුළත් වන්නේ නැහැ. දැන් සමහර කපුමහත්වරු ලක්ෂ දෙක තුන අය කරගෙන ඔක්කොම ගෙදර ගෙනියනවා. එහෙම බෑ. මේ මුදල් භාරදෙන හැටි පනතේ විධිමත්ව සඳහන්වී තිබෙනවා. දැනට මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තකට බෞද්ධ කටයුතු ජනරාල්වරයා විදියට මාවත් පාර්ශ්වකරුවකු ලෙස නම් කර තිබෙනවා. අපට එවා ඇති සියලු දත්ත අධිකරණයේ දී ඉදිරිපත් කිරීමට බැඳී සිටිනවා.

ලංකාවේ විහාර දේවාලගම් පනත මුලින්ම පොතක් ලියා ඇත්තේ ප්‍රින්ස් ගුණසේකරය. ඉන්පසු මේ විෂය ගැනම ලක්ෂ්මන් විජේසේකර, මහින්ද රැලපනාව, විජේදාස රාජපක්ෂ සහ හේමක සේනානායක ද ග්‍රන්ථ සම්පාදනය කොට ඇත.

අප මේ කරුණ සම්බන්ධයෙන් විහාර හා දේවාලගම් පනතට අදාළ නඩු කටයුතුවලට නියැළෙන නීතීඥ හේමක සේනානායකගෙන් කරුණු විමසා සිටියෙමු.

“බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ අධීක්ෂණය යටතේ තියෙන පූජා ස්ථානවල එහෙම පූජා කරන රත්‍රන් - මුදල් අරන් යන්න බෑ. කතරගම දේවාලයත් මේ අධීක්ෂණය යටතේ තියෙන්නේ. නියම විදියට නම් මේ පූජා භාණ්ඩ ගණනය කරලා සීල් තියලා ‘ඉන්වෙන්ට්‍රි‘ ගන්නවා. නීතිය ඒකයි. මේ දේවල් ගෙදර අරන් යෑම දඬුවම් ලැබිය හැකි වරදක්.“

කතරගම දේවාලයේ දෙවියන් මැඩමවන ආසනය ‘වන පුටුව‘ නමිනි. එක් බැතිමතකු එයට පවුම් දහයක මාලයක් බාරවී එය ඉටුවූ විට එම භාරය ඔප්පුකොට කවඩි නටමින් පෙරහරේද ගමන් කොට ඇත.

වන පුටුවට පවුම් දහයේ මාලය පූජා කරන විට සිටි කපුවා පසු දින උදේට මාලය හොරකම් කොට සාක්කුවට දාගත්තේ තම බිරියට එය පැලඳවීමටය. තම බිරියට රන් මාලය පලඳවා එහි මෙෂමන්ට් එකට ඊට සමාන රිදී මාලයක් සැකසීමට කියමින් ජලයට බැස්සේ නියඟයක් පැවති යුගයකය. ඒත් එමඟින් යාහැකි වුණේ ටික දුරක් ගිය තැන වැස්සක් වැසීම නිසා හෙණපාරක් වැදි කපුවා බිම වැටී ඇත. ඒ මත ග්‍රාමීය රෝහලක් වූ කතරගම රෝහලට ඇතුළු කරන විටත් කපුවා පරලොව ගොස් හමාරය.

කතරගම දෙවියන්ගේ රටේ අකටයුතුකම් කරන කිසිවකුට යහතින් විසිය නොහැකිය. ඇතැම් කපුවන් කපුකම රජකම කරගෙන බැතිමතුන් කඳසුරිඳුන්ට පුදන රත්‍රං සහ මුදල් ජාවාරමේ නියැළුණු බව නීතියෙන් තීන්දු කළහොත් නීතිමය දඬුවමට වඩා දේවසාපයෙන් අවසානයේ උරම වන්නේ පණපිටින් අපාගත වීම බව දෙවියන් අදහස කවුරුත් මතකයේ තබාගත යුතුය.