බුද්ධි අංශවල නොසැලකිල්ල නිසා සිදු වූ ප්‍රහාරයක්ද? නැත
රජිව් ඝාතනයට පෙර රෝ - 9/11 ප්‍රහාරයට පෙර සී.අයි. ඒ. අනතුරු ඇඟවූහ
ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂ වාර්තාකරුවකු විසිනි
මෙම ලිපිය ලිවීමට තීරණය කරනු ලැබුවේ, හිතවත් පුවත්පත් කතෘතුමෙකුගේ ආරාධනයක් මතය. පසුගිය වසර ගණනාවක් තිස්සේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පුවත්පත් ඇතුළු අනෙකුත් මාධ්‍යය වලට ලිපි සම්පාදනය කිරීම සැලකිල්ලට ගනිමින් සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ මතු වී ඇති තත්වය ගැන සැලකිල්ලට ගනිමින් මා හිතවත් කතුවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රයෝජනවත් කටයුත්තක් යැයි සැලකරනු ලැබීය. විශේෂයෙන් රාජ්‍යය බුද්ධි සේවය මූලික කර ගනිමින් මතු වී ඇති අහේතුක විවේචන මෙන්ම උදා වී ඇති තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වීම සහ අදාළ සිදු වීමට ප්‍රතිචාර දැක්වීමේදී විවිධ පාර්ශවයන් වෙතින් දක්නට ලැබෙන ගති ස්වභාවයන් ගැන විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණ ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.
ආගමික මූලධර්මවාදය ලෝකයට පමණක් නොව, ශ්‍රී ලංකාවටද අලුත් දෙයක් නොවේ. එය සියවස් ගණනාවක් ඈතට දිව යන්නකි. ජනතාව ඒකරාශී කරනු ලැබූ මූලික සාමකාමී දාර්ශනික (ආගමික) ප්‍රවාහයන් තම අභිමතය පරිදි වෙනස් කරමින් ඊට තම තමන්ගේ අර්ථ නිරූපණ ඉදිරිපත් කොට ප්‍රධාන දහරාවෙන් වියුක්ත වීම මූලධර්මවාදයේ මූලික ස්වභාවය වේ. ප්‍රධාන ධහරාවෙන් ඉවත් වී තම තමන්ගේ කුඩා කණඩායම් නිර්මාණය කරගෙන ඊට අදාළ නෛතික රාමුන් නිර්මාණය කර ගැනීම මෙහිදී දක්නට ලැබෙන කාරණයකි. ඊට සම්බන්ධ වන සියල්ල එම රාමුවට බැඳී සිටිති.
සමස්ථ සිදුවීම තුළ ඇති අභියෝගය වන්නේ, මෙරට රාජ්‍යය රහස් විවිධාකාරයෙන් වෙස්වලාගෙන පැමිණෙන යක්‍ෂයින්ට පැහැර ගැනීමට ඉඩ නොදීමය.
මුල් කාලයේදී, මූලධර්මවාදය ( අන්තවාදය) සඳහා පිරිස් එකතු කිරීමේදී එය ප්‍රධාන පියවර දෙකක් අනුගමනය කරනු ලැබීය. පළමුවැන්න, පුද්ගල විමුක්තිය ලබා දෙන එකම ක්‍රමය තමන් සතුබව අර්ථ නිරූපණය කරමින් එය යළි යළිත් පුනරුච්චාපනය කරමින්, ඊට අවශ්‍යය පිළිගැනීම් පද්ධතියක් නිර්මාණය කර ගැනීම. එය වසර ගණනාවක් තිස්සේ ක්‍රමානූකූලව සිදු කරනු ලබන දේව මෙහෙයන්, ඉගැන්වීම් ආදී කටයුතු වලින් කරනු ලබන අතර එය අවසානයෙදී තම අදහස පිළිනොගන්නා අයවලුන් සතුරන් ලෙස නම් කරනු ලබයි. දීර්ඝ කාලීනව සිදුකරනු ලබන ඉගැන්වීම්, ඔස්සේ සිසුවා අදාළ ගුරුවරයාගේ වස්තුවක් බවට පත් වේ. ඉන් පසු ගුරුවරයා විසින් ලබා දෙන නියෝග පිළිපැදීම සඳහා පමණක් නොව හෙතම විසින් ඉදිරිපත් කරන ඕනෑම දෙයක් වෙනුවෙන් ඉදිරිපත් වීම ස්වභාවික වේ. එය මෙම ක්‍රමවේදයේ දෙවන පියවර වේ. දෙවන පියවරේදී ඔවුහු මූලික වශයෙන් භාවිතා කරනු ලබන මූලික අවිය වන්නේ ප්‍රචණ්ඩත්වයයි.
ඉතිහාසය විසින් අපට ලබා දෙන කදිම නිදසුන් දෙකක් මෙහිදී සඳහන් කළ හැකිය. පළමුවැන්න, බුදුන් වහන්සේගේ කාලය ගැන සඳහන් කිරීමේදී විස්තර වන අංගුලිමාල කතාවයි. දෙවැන්න, ජේසුස් වහන්සේ විසු සමාජයේ සිදු වූයේ යැයි කියන, එක්තරා ස්ත්‍රීයක් ගල්ගසා මරා දැමීමට සූදානම් වූ පුරුෂයින් පිරිසය. මෙම සම්ප්‍රදායේම එක්තරා දිගුවක් මීට වසර කිහිපයකට පෙර කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඉස්ලාමීය පල්ලියකින් වාර්තා විය. එනම්, එක්තරා කාන්තාවක් "වරදක්" කළබව සඳහන් කරමින් පල්ලිය තුළදී ඇයට පොල්පිත්තකින් පහර දීමය.
කාලාන්තරයක් තිස්සේ මෙරට සමාජය තුළ නිහඬව නමුත් ඉතාම භායනාක ලෙස වර්ධනය වූ මූලධර්මවාදයේ ස්වභාවය එය විය. මෙය පළමුව තම ප්‍රජාවම නියෝජනය කරන අයවලුන් ඉල්ක්ක කර ගැනීම ආරම්භ වූයේ අද ඊයේක නොවේ. ක්‍රමයෙන් විස්තාරණය වූ මෙම මූලධර්මවාදය, දෙවියන් සමග තමන්ට ඍජුව ගනුදෙනු කළ හැකි බව විස්වාශ කරනු ලැබුහ. මේ නිසා මීට ඇති වූ ආකර්ශනය ක්‍රමයෙන් වැඩි වීමට පටන් ගත්තේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සිදු වූයේ, මෙම මූලධර්මවාදය මුල් කාලයේදී ඉලක්ක කරගෙන වර්ධනය වෙමින් තිබු සමාජ ප්‍රජාවෙන් ඉවතට පැමිණ ගෝලීය ප්‍රවණතාවය සමග මුහු වීමය. මෙය, මෙරට බුද්ධි අංශ විසින් හෙළිදරව් කරනු ලැබුවේ 2015 දී මෙරට පුරවැසියෙකු අයිසිස් සංවිධානය සමඟ සම්බන්ධ වී සිරියාවේදී මියගිය පසු සිදුකළ වැදගත් සොයා ගැනීම් වලදීය.
කෙසේ හෝ වේවා ගෝලීය වශයෙන් තම මතවාදයන් ව්‍යාප්ත කිරීම සඳහා වැදගත් වන්නේ, ඊට අවශ්‍යය ප්‍රහල ප්‍රචාරණයයි. ත්‍රස්තවාදී සංවිධාන සෑම විටම තම ප්‍රචාරණ ව්‍යාපෘතියට අතිශය වැදගත් ඉඩක් ලබා දෙනු ලබයි. එසේම පුවත් පිපාසයෙන් වෙළෙන වත්මන් ජනමාධ්‍යයන් වල හැසිරීමේ ස්වභාවය අනුව එය ඉතාම ක්‍රමෝපායිකව භාවිතා කරනු ලබයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සැලකිල්ලට ගැනීමේදී, මෙම ප්‍රහාරය සැලසුම් කොට තම ජීවිතය නසාගත් සියලු දෙනා සහ ඊට අනුබල දුන් පිරිස සිතුවාටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඊට අවශ්‍යය ප්‍රචාරය ලැබුණි. මෙයට, මීට වසර කිහිපයකට පෙර බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් විසින්, අසරණ පාසැල් දැරියන් රාශියක් පැහැරගෙන සිදුකළ ඛේදවාචකයට ලැබුණු ප්‍රචාරය හා සමාන ලෙස, විශාල ප්‍රචාරයක් ලැබුණි. එසේම මෙරට දේශීය මාධ්‍යය, මීට වසර දහයකට පෙර පැවති තත්වය යළිත් ඇති වෙමින් ඇතැයි සිතා, තම වාර්තාකරණය කිරීමට පටන් ගත්හ. බොහෝ "විශේෂඥයින්" රටතුළ ඇති වී ඇති අර්බුධයට විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කරණු ලැබුහ. තම පෞද්ගලික කොන්තරයන් පිරිමසා ගැනීම සඳහා මෙරට ඔත්තුසේවා වලට ව්‍යාජ තොරතුරු ලබා දුන් "ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයින්" සෑම විටම අපේක්ෂා කරණ පටු සහ ලාභදායි ප්‍රසිද්ධියට මෙරට මාධ්‍යය තෝතැන්නක් විය.
සමස්ථ සිදුවීම තුළ ඇති අභියෝගය වන්නේ, මෙරට රාජ්‍යය රහස් විවිධාකාරයෙන් වෙස්වලාගෙන පැමිණෙන යක්‍ෂයින්ට පැහැර ගැනීමට ඉඩ නොදීමය. විශේෂඥයින් ලෙස මෙරටට බඩගාන බොහෝ දෙනෙකු එලෙස පැමිණෙන්නේ, රටට ඇති ආදරයට නොව මෙහි ඇති තොරතුරු තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා භාවිතා කිරීමටය. මෙම මූලික සන්දර්භය ඔස්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමසා බැලීම වැදගත් යැයි සිතේ.
බුද්ධි අංශවල නොසැලකිල්ල නිසා සිදු වූ ප්‍රහාරයක්ද? නැත.
පාස්කු ඉරිදා ප්‍රහාරය මෙරට මෙතෙක් පැවති අභ්‍යන්තර කෝලාහල අභිබවා යන්නකි. එය බුද්ධි අංශවල නොසැලකිල්ල නිසා සිදු වූයේද? මෙහිදී බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිසප්ති නිලන්ත ජයවර්ධන මහතාය. හෙතම මෙරට ඉතිහාසයේ පත්වූ ලාබාලතම ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පතිවරයාය. ජනාධිපති සිරිසේන මහතාට සෑම දිනකම කතා කරන සහ ජනාධිපතිවරයාගේ විශ්වාසය ඉතාම හොඳින් දිනාගෙන ඇති හෙතම අවශ්‍යය තොරතරු ජනාධිපතිවරයාට ලබා දුන් බවත් ජනාධිපතිවරයා නිවැරදි ක්‍රියාමාර්ග නොගත් බවත් ඇතැම් වාර්තා සඳහන් කොට තිබේ. එසේම, පොලිස්පති ජයසුන්දර සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ප්‍රනාන්දුට මෙහිදී වගකීමක් නැති බවත් සඳහන් වේ. මෙය ව්‍යාජ සහ හානිදායක අර්ථ දැක්වීමකි. සැබෑ කරුණු අපහරණය කොට තම වගකීම් වලින් ඇතැමුන් නිදහස් වීමට කරනු ලබන උත්සාහයකි.
ජයවර්ධන මහතාට එරෙහිව ප්‍රසිද්ධ වී ඇති බොහෝමයක් වාර්තා වල උපුටා දක්වා ඇති " මූලාශ්‍ර" වල ස්වභාවය අනුව පෙනී යන්නේ ඒවා විවිධ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා කී දෑ බවය. එසේම, ඇතැම් පාර්ශවයන් විසින් බුද්ධි අංශ වලට සිදු කළ අතපෙවීම් වසා ගැනීම සඳහා මෙම සිදුවීම දඩමීමා කරගෙන ඉතාම පහත් මට්ටමේ ප්‍රචාරයන් රාශියක් දියත් කරමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය.
ජයවර්ධන මහතා මෙහිදී තම වගකීම නිවැරදිව ඉටු කොට ඇති බව, මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වූ ඇතැම් බුද්ධි අංශ වාර්තා දෙස බැලීමේදී පමණක් තේරුම් ගත හැකිය. එසේම, අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති ජයසුන්දර මහතා සහ ධූරයෙන් ඉල්ලා අස්වූ ලේකම් ප්‍රන්නාදු මහතා මෙහිදී වගකීමට බැඳී සිටිනවා පමණක් නොව, ඔවුහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරණ මතය වැරදි යැයි සඳහන් කිරීම මුලාවක් මෙන්ම අනෙකා නොමග යැවීමක් පමණි.
රටක බුද්ධි අංශ ප්‍රධානියෙකුට කටයුතු කළ හැකි සීම්මාවක් තිබේ. ඔහුගේ සීමාව නෛතික රාමුවට සෑම විටම යටත් වේ. ඔහුට කළ හැක්කේ තොරතුරු ඒකරාශී කිරීම, විශ්ලේෂණය කිරීම සහ සම්ප්‍රේශණය කිරීමය. ඔහුට හෝ ඔහු යටතේ සිටින මෙහෙයුම්කරුවන්ට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකිය.
කෙසේ නමුත් මෙම මූලික වගකීම් රාමුව අභිබවා එකිනෙකාගේ දේශපාලන කුණුකන්දල් ඔලුවේ ගසාගෙන තම වගකීම පැහැර හරිනු ලැබූ බුද්ධි අංශ නිලධාරීන් මෙරට නොසිටියා නොවේ. නමුත් ජයවර්ධන මහතා පැවති අප්‍රසන්න රටාවෙන් වෙනස් වූ නිලධාරියෙකි. ජයවර්ධන මහතා තම රාජකාරී සීමාව තුළ කටයුතු කරමින් සහ තම ආයතනයේ උන්නතිය උදෙසා මහත් පරිශ්‍රමයෙන් කටයුතු කරන නිලධාරියෙකි. බොහෝ දෙනෙකු හෙතම මහත්මයෙකු ( ජෙන්ට්ල්මන්) ලෙස හඳුන්වනු ලබන්නේ මේ නිසාය. තම බලය අනිසි ලෙස භාවිතා කොට තවකෙකු පීඩාවට පත්කිරීම හෝ තැන දුටු තැන වල ඉහ ගැනීමේ ගතියක් ඔහුට නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ අතිශය නිවැරදි තෝරා ගැනීමක් ලෙස ඔහු එම ධූරයට පත්කිරීම හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.
බුද්ධි අංශයක වගකීම වන්නේ රාජ්‍යය, එහි නායකත්වය සහ එහි ජනතාව සතුරු උවදුරු වලින් බේරා ගැනීම සඳහා අවශ්‍යය තොරතුරු අවශ්‍යය ස්ථාන වලට සම්ප්‍රේෂණය කිරීමය. ඒ වෙනුවට, අභිරහස් ග්‍රීස් යක්කු, අභිරහස් ලෙස ස්ත්‍රීන්ගේ ඝාතන, තමන්ගේ දරුවන් පැහැරගෙන ඔවුහුට ත්‍රස්තවාදී ලේබලය අළවා කප්පම් නොදීම හේතුවෙන් වදදී මරා දැමීම ආදීය සිදුවීම් වල කොටස්කරුවන් වීම නොවේ. එවැනි අතීයක් රටට තිබුණි. නමුත් ගෙවුණු වසර කිහිපය තුළදී එවැනි දෑ වාර්තා වීම ඉතාම අවම විය. මෙය මෙරට සමාජය ලැබූ විශාල ජයග්‍රහණයකි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තම තමන් අතීතයේදී සිදුකළ බොහෝ වැරදි වසා ගැනීමට ඇතැමුන් උත්සහ කළද, එය ඔවුහුට දිගුකාලීනව නඩත්තු කිරීමට ලැබේ යැයි සිතිය නොහැකිය.
මෙහිදී මතු කරනු ලබන තවත් කාරණයක් වන්නේ, බුද්ධි අංශ තොරතුරු ලබා දී තිබියදීත්, අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නය. මෙවැනි ආකාරයේ සිදුවීම් මෙරට පමණක් සිදු වූ දෙයක් නොවේ. මෙහිදී මාගේ සිහියට එන ප්‍රධාන නිදසුනක් වන්නේ, ඉන්දීය අගමැති රජීව් ඝාන්ධි මහතාගේ ඝාතනයයි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් අදාළ ඝාතනය සැලසුම් කරමින් සිටින බවට සැලකෙන සියලු තොරතුරු ඉන්දීය ඔත්තු සේවයට ලැබී තිබුණි. විශේෂයෙන් මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ බහුකුටුම්බි රාමන් විසින් ප්‍රසිද්ධ කළ "කාඕ බෝයිස් ඔෆ් රෝ" කෘතියේදී මෙම කාරණය ගැන සඳහන් කරමින්, හෙළිදරව් කරනු ලැබුවේ, රජිව් ඝාන්ධි ඝාතනය සඳහා කොටි සංවිධානය සූදානම් වන බවත් හෙතම තමිල් නාඩුවේදී ඝාතනය විය හැකි බවත් රෝ සංවිධානය තොරතුරු ලබා දී තිබුණු බවයි. නමුත් එය වළක්වා ගැනීමට ඉන්දීය බලධාරීන්ට නොහැකි විය.
උග්‍ර ලෙස බලය සහ මුදල්වලට කෑදර වී තිබු ඉන්දීය ඔත්තු සේවය ඉන්දිරා ගාන්ධිගේ විශ්වාසවන්තයා වූ රාමේශ්වර් නාත් කාඕ යටතේ රෝ නමින් ප්‍රතිසංකරණය වී ඉතාම ශක්තිමත් සහ ස්වාධීන ආයතනයක් බවට පත් විය. නමුත්, ඊට ඉන්දිරා ගාන්ධි ඝාතනය පමණක් නොව රජීව් ගාන්ධි ඝාතනයද වළක්වා ගැනීමට නොහැකි විය. ඒවා බුද්ධි තොරතුරු හුවමාරුවේ සිදු වූ අඩුපාඩු හේතුවෙන් සිදුවූ දෑ නොවේ. තොරතුරු සම්ප්‍රේෂණයෙන් පසු එය ලබා ගන්නා පාර්ශවයන් ඊට ලබා දෙන සැලකිල්ල පිළිබඳ ගැටලුව හේතුවෙන් සහ තර්ජන ගැන තිබු අනඅවබෝධය මෙන්ම තක්සේරුව හේතුවෙන් සිදු වූ දෑය.
රජිව් ඝාතනයට පෙර රෝ - 9/11 ප්‍රහාරයට පෙර සී.අයි. ඒ. අනතුරු ඇඟවූහ
මීටම සරිලන අනෙක් නිදසුන වන්නේ 2001 වසරේ සිදු වූ ප්‍රකට සැප්තැම්බර් 11 වනදා ප්‍රහාරයයි. නයින් ඉලෙවන් ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත මෙම සිදුවීම ගැන ඇමෙරිකානු ඔත්තු සේවය වන ( සී. අයි. ඒ.) එනම් මධ්‍යම බුද්ධි ආයතනය අනතුරු අඟවා තිබුණි. 1986 දී සී. අයි. ඒ. සංවිධානයට අනුබද්ධව පිහිටුවනු ලැබූ ත්‍රස්ත විරෝධී මධස්ථානය ( සී.ටී.සී.) විසින් 1998 දෙසැම්බර් මාසයේ දී හිටපු ජනාධිපති බිල්ක් ක්ලින්ටන් මහතා දැනුවත් කරමින් සඳහන් කරනු ලැබුවේ, " අල්ඛයිදා සංවිධානය ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවයි."
එසේම 2001 අප්‍රේල් මාසයේදී , තලේබාන් සංවිධානයට එරෙහිව කටයුතු කළ අහමඩ් මසූඩ්, යුරෝපානු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, අල් ඛයිදා සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රභල ප්‍රහාරයකට සූදානම් වන බවයි. මසූඩ්, සැප්තැම්බර් 11 ප්‍රහාරයට දින දෙකකට පෙරා මරා දමනු ලැබීය. එසේම 2001 වසර පුරාම, සී. අයි. ඒ. සංවිධානය සැප්තැම්බර් 11 ප්‍රහාරය ගැන ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ එවකට රාජ්‍යය ලේකම් ( ඇය බුෂ්ගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ උපදෙශිකාවද වූවාය.) ලෙස කටයුතු කළ කොන්ඩෝලීසා රයිස් ඇතුළු ප්‍රධාන පුද්ගලයින් හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබීය. නමුත්, ප්‍රහාරය සැලසුම් කළ පරිදිම සිදුවිය. ප්‍රහාරයෙන් පසු පැවති පරීක්ෂණ වලදී රයිස් සඳහන් කරනු ලැබුවේ එවැනි ප්‍රභල ප්‍රහාරයක් වන බවක් නොසුතු බවය.
මෙරටදී සිදු වූ බොහෝ ත්‍රස්තවාදී ප්‍රහාරවල ස්වභාවයද ඊට සමානය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතකයා ඔහු සමග වසර ගණනාවක් ජීවත් වූ අයෙක් විය. මේ ආදී වශයෙන් ගෙන හැර දැක්විය හැකි නිදසුන් රාශියකි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමබන්ධයෙන්, බුද්ධි අංශ වාර්තා, දේශපාලනඥයින්ගේ නොසැලකිල්ල, ආදීය ගැන මාධ්‍යය ඔස්සේ සිදුවන විවේචන ගැන කල්පනා කොට බැලීමේදී පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ, අදාළ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන ආලපාළු විවේචන සහ බුද්ධි අංශවල නිලධාරීන් ඒවායේ ගොදුරු බවට පත්කර ගැනීමය. ඒ ඔස්සේ ඔවුන්ගේ අනන්‍යයතාවයන් හෙළිදරව් කිරීම සහ ඔවුහුට තම රැකියාව ගැන කණස්සල්ල ඇතිකරවීම මෙරට දක්නට ලැබෙන කනගාටුදායක ප්‍රවණතා වලින් එකක් වේ.
ඊටම සරිලන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මතයන් ප්‍රකාශ කිරීම සඳහා කුමන්ත්‍රණ න්‍යායචාර්යවාදීන් ( කොන්ස්පිරසි තියරිස්ට්ස්) රාශියක් බිහි වී සිටිති. එය මෙවැනි සිදු වීම් වලදී ලෝකය පුරාම දක්නට ලැබෙන ප්‍රවණතාවයකි.
කෙටි කාලීන තෘප්තියක් ලබා ගැනීම උදෙසා සිදුකරනු ලබන මෙවැනි විවේචන, සෑම විටම දිගුකාලීන සැලසුම් ඇති සතුරාට තම ඉලක්ක ලබා ගැනීම සඳහා ඉතාම පහසු වේ. මේ නිසා යම් කිසි නිලධාරියෙකුට එරෙහිව පහර ගැසීමේදී එම නිලධාරියාගේ පැත්තෙන් ගැටලුව දෙස බැලීම සහ තම විවේචනය ඔස්සේ සිදුවන දිගුකාලීන හානිය ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. එය ඕනෑම අයෙකු අභිමුඛව ඇති මූලික වගකීම වේ.
1986 දී සී. අයි. ඒ. සංවිධානයට අනුබද්ධව පිහිටුවනු ලැබූ ත්‍රස්ත විරෝධී මධස්ථානය ( සී.ටී.සී.) විසින් 1998 දෙසැම්බර් මාසයේ දී හිටපු ජනාධිපති බිල්ක් ක්ලින්ටන් මහතා දැනුවත් කරමින් සඳහන් කරනු ලැබුවේ, " අල්ඛයිදා සංවිධානය ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවයි."
බෝම්බයක් පිපිරීමෙන් විපතට පත්වන ජනතාව ගැන වර්තාවක් ලබා ගැනීමට ගිය පමණින් යමෙකුට ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂඥයෙකු විය නොහැකිය. එම විෂයය ඉතාම ප්‍රවේශමෙන් හැදෑරිය යුතු සංකීර්ණ විෂයකි. එසේම, යම් කිසිවෙකුගේ පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීම සඳහා ලබාදෙන තොරතුරු වල ඇති සිත් ඇදගන්නා සුළු ස්වභාවය නිසා එය පුවතක් ලෙස ප්‍රසිද්ධ කළ නොහැකිය. ජනමාධ්‍යය සතු මූලික වගකීම එයයි. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන බුද්ධි අංශ සම්බන්ධයෙන් එල්ල වන විවේචන කිසිඳු යපතකට හේතු නොවන්නේ මේ නිසාය.
මෙරට බුද්ධි අංශ වලට ඇති ගැටලුව කුමක්ද? දේශපාලන අතපෙවීම අනවශ්‍යය ලෙස තිබීම ප්‍රධාන හේතුවක් ලෙස බොහෝ දෙනෙකු දකිති. එය බොරුවක් නොවේ. නමුත්, එය ප්‍රධාන කාරණයේ අනුවක් ලෙස මම දකින්නෙමි.
ප්‍රධාන ගැටලුව වන්නේ, බුද්ධි අංශ සතුව පැවතිය යුතු සාමූහික එකඟතා සහ වගකීම් වලින් බැඳී සිටීම වෙනුවට එය තනි වී සිටීමයි. එසේම, බුද්ධි තොරතුරක් ලැබුණු පසු එය සාධනීය ලෙස විමසීමට ලක් කිරීමට සහ විශ්ලේෂණය කිරීම එතරම් සැලකිල්ලකින් කිරීමට තරම් රාජ්‍යය සම්පත් තිබේද යන්න ගැටලුවකි.
බාසාවන් දන්නා අයවලුන්ගේ හිඟය, විටින් විට වෙනස් වන ආණ්ඩු හේතුවෙන් ස්ථීර රාජ්‍යය ප්‍රතිපත්තියක් නොමැති කම, මූල්‍යම දුර්වලතාවයන්, තාක්ෂණික දැනුම සහ සම්පත්වල හීනතාවය, ආදී දෑ ඉතාම ඉහළ මට්ටමිකින් පවතී. එවැනි මට්ටමක තිබියදීද, ලෝකයේ රුදුරුම ත්‍රස්තවාදීන් යැයි පිළිගත් කණඩායමක් සමඟ සටන් කොට අතුගා දැමීමට අවශ්‍යය තොරතුරු මෙරට බුද්ධි අංශ විසින් ලබා දෙනු ලැබීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය ඔස්සේ මේ දක්වා මෙරට බුද්ධි අංශ විසින් දුටු සීමවාන් කඩා බිඳ දමා එය කටයුතු කළයුතු පරාසය පුලුල්කොට තිබේ. වැදගත් වන්නේ එහි පරාමිතීන් හඳුනා ගැනීම සහ මතු වී ඇති අභියෝග ජයග්‍රහණය කර ගැනීම සඳහා අවශ්‍යය වටපිටාව සකස් කිරීමය. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තම පෞද්ගලික අදහස හුවමාරු කර ගනිමින් එක්තරා ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙකු මෙම ලේඛකයා සමග සඳහන් කරනු ලැබුවේ, “ අයිසිස් යන්නෙහි තේරුම් කුමක්ද යන්න රටේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ඇසුවහොත් කී දෙනෙකුට පිළිතුරු දිය හැකිද, යන්න තමන්ට සැක සහිත බවය.” ඊට හේතුව මෙහි සේවය කරන අයවලුන්ට දැනුම නැති කම නොව, ඔවුහු කටයුතු කළ යුතු පරාසයන් සීමා කොට තිබීමය.
මූලධර්මවාදී මිනිස් බෝම්බ
අප මහුණ දෙමින් සිටින සංකීර්ණ තත්වය අප සිතනාවට වඩා සංකීරණ බව ගෙවී ගිය වසර කිහිපය දෙස බැලීමේදී දක්නට ලැබේ. ජනාධිපති සිරිසේන මහතාට තම ප්‍රධාන අමාත්‍යධූරය වන ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කිරීම සඳහා ලේකම්වරයෙකු පත් කර ගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් විය. අදාළ ධූරයට පත් වූ බොහෝ දෙනෙකුට තනතුරේ ඇති වගකීම් වලට වඩා, එහි ඇති උෂ්ණය වැදගත් විය. මේ නිසා බොහෝ පරිපාලන කටයුතු ඉතාම දුර්වල තත්වයට පත්විය. රටේ බුද්ධි අංශ වලට කටයුතු කිරීමට සිදු වූයේ එවැනි දුෂ්කර තත්වයක් හමුවේය. එවැනි තත්වයකදී බුද්ධි අංශ ප්‍රධානියාව බිල්ලට දී ලේකම් හේමසිරි ප්‍රන්නාදු හමුවේ වගකීමක් නැතැයි සඳහන් කිරීම හිතළුවකි.
වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ ආරක්ෂක අමාත්‍යංශයට ලේකම්වරුන් පස් දෙනෙකු පත් කිරීමට සිදුවිය. හිටපු යුදහමුදාපතිවරයෙකු වන වත්මන් ආරක්ෂක ලේකම්වරයා හිත හොඳ පුද්ගලයෙකු වුවද ඔහුට වත්මන් ප්‍රවණතාවයන් වලට අනුව ක්‍රමෝපායන් සකස් කිරීමට හැකිද යන්න ගැටලුවකි. භූමියට වඩා මුහුදක් ඇති රටක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට වඩාත්ම ඔබින්නේ නාවික දැනුමක් සහ පුද්ගලගරුත්වය රැකගත් නිලධාරියෙකි.
එවැනි නිලධාරියෙකුට අනෙකුත් ආයතන මෙන්ම රටේ බුද්ධි අංශයද මනාව කළමනාකරණය කළ හැකිය. මෙරට බුද්ධි අංශ ඉතාම දක්‍ෂ නිලධාරීන්ගෙන් සමන්විත ආයතනයක් බව තම කටයුතු වලින් ඔප්පු කොට ඇත. විටින් විට ආයතන වල අවාසනාවට මෙන් පහල වන අසමත් නිලධාරීන් සහ මෙහෙයුම් කරුවන් සුළු පිරිසක් හැරෙන්නට මෙහි සෙවය කළ සහ කරන බොහෝ දෙනෙකු ඉතාම දක්ෂ නිලධාරීන්ය. එය, කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදීත්, 80 දශකයේ අග බාගයේ සිට මෙරට ව්‍යාප්ත වූ වහබිවාදය සහ තවුහීඩ් ජමාත් වැනි මූලධර්මවාදීන් ගැනත් ඉතාම මැනවින් තොරතුරු සොයා ගැනීමට සහ අනාගත අනතුරු ගැන ඉතාම නිවැරදි අනාවැකි ඉදිරිපත් කිරීමටත් සමත් විය. නමුත්, එම බරපතළ කරුණු ගැන දැඩි සැලකිල්ලක් දැක්වීමට බොහෝ දෙනෙකු අසමත් විය. එය බුද්ධි අංශවල වරදක් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරය කාලාන්තරයක් තිස්සේ ඉතාම ප්‍රවේශමෙන් සිදුකරනු ලැබූ ක්‍රියාවලියක එක් මූලික භයානක පියවරක් පමණි.
80 දශකයේදී ඇෆ්ඝනිස්ථානය සහ වත්මන් ඉන්දුනිසීයාව මෙම කාරණය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ලබා දෙන වැදගත් උදාහරණ දෙකකි. 70 දශකය වන විට ඇෆ්ඝනිසතානය ඉතාම සරල සමාජ රටාවකට හිමිකම් කියනු ලැබූ සහ මානව නිදහසට ගරු කරනු ලැබූ රාජ්‍යයකි. නමුත් සෝවියට් දේශය 1979 දී එරට ආක්‍රමණය කිරීමෙන් පසු, ඊට මුහුණ දීම සඳහා කල්ලි බිහිවූහ. ඔවුහු මුජහිදීන් ලෙස නම් කරනු ලැබීය. ඊට මූල්‍යමය ආධාර ලබාදෙනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයය.
මුජහීදීන් යනු අල්ලාගේ නාමයෙන් අවි ආයුධ අතට ගන්නා මුස්ලිම්වරුන් යන්නය. සටන් වලදී සෝවියට් සෙබළුන් 15000 කගේ පමණ ජීවිත අහිමු වූ අතර 75000 ක් පමණ මුජහිදීන් පිරිසක් මරණය පත් වූහ. අවසානයේදී සොයට් දේශය පරාජයට පත් වූ අතර මුජහිදීන්ගේ නව සතුරා බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත් විය. එය 80 දශකයේ සිදු වූ ඉතාම බරපතල බලපෑමක් ඇති කරනු ලැබූ සමාජ කාරණයකි. විදෙස් අධිරාජ්‍යවාදී බලපෑමෙන් පසු ආසියානු මහාද්වීපයේ භූදේශපාලනය වෙනස් වීමේ මූලික හැරවුම් ලක්ෂය එය යැයි හැඳින්විය හැකිය. ඉන් පසු විවිධ මුහුණුවරින් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වීම ආරම්භ විය. බග්ධාධි ගේ නායකත්වය යටතේ 2014 දී ආරම්භ වන අසිසිස් මෙහි තවත් එක් දිගුවක් පමණි.
මීට මූලික පදනම සකස් කළ ඉගැන්වීම ප්‍රවාහයක් ලෙස වහබිවාදය නිර්මාණය විය. නූතන මුස්ලිම් රාජ්‍යයක් ලෙස ඉතාම සාර්ථකව ගමන් කළ ඉන්දුනීසියාව ක්‍රමයෙන් මෙම වහබිවාදයට නතු වෙමින් තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය තුළ ඇති ගැඹුරට විහිදී ගිය විද්‍යාව මෙයයි. මෙය ගැඹුරෙන් හැදෑරීම ඉතාම වැදගත් වේ.
කෙසේ වෙතත් ඉරිදා පාස්කු ප්‍රහාරයෙන් පසු, ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් අභියෝග වලට වඩා වෙනස් අන්දමේ අභියෝගයක් රට තුළ නිර්මාණය වී තිබේ. මෙය සමස්ථ ජන සමාජය හමුවේ නිර්මාණය වී ඇති ප්‍රභල අභියෝගයකි. එසේම මෙය තනිව මුහුණ දිය හැකි කාරණයක් නොවේ. කොටි සංවිධානය විසින් නඩත්තු කරනු ලැබූ මිනිස් බෝම්බ වලට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක නිර්මාණය කරන මිනිස් බෝම්බ මෙහිදී නිර්මාණය කොට භාවිතා කරනු ලබයි. ප්‍රභාකරන්, එකම ගැලවුම්කරුවා ලෙස විශ්වාස කරමින් තම ජීවිතය පුපුරුවා ගත් කළු කොටින් හෝ ජපාන අධිරාජ්‍යයා තමන්ගේ ගැලවුම්කාරයා ලෙස විශ්වාස කරමින් තම ජීවිතය නසා ගත් කැමිකාසි යුදබටයින්ගෙන් මොවුහු වෙනස් වන්නේ මේ නිසාය.
මූලික ඉස්ලාමීය ඉගැන්වීම් වලින් ඉවත් වී, දෙවියන් ඍජුව තමන් සමග ගනුදෙනු කරන බව මෙම ඉස්ලාමීය මූලධර්මවාදීන් පිළිගනිති. මෙම අන්තවාදය තුළ ඇති පිළිගැනීමේ අනෙක් කෙලවර ඇත්තේ ගැඹුරට විහිදී ගිය විශ්වාසයකි. එම විශ්වාසය සෑම මොහොතකම ගනුදෙනු කරන්නේ තමන්ට භෞතිකව අත්විඳීමට නොහැකි තම මරණයෙන් පසු නියත වශයෙන්ම ලැබෙන්නේ යැයි විශ්වාස කරන සාධකයක් සමඟය. මෙහි ඇති ප්‍රභල මානසිකකාරණය මෙයයි. එය පිස්සුවක් ලෙස හෝ අර්ථ ශූන්‍යය දෙයක් ලෙස විස්තර කොට ඊට අපහාස-උපහාස කිරීමට ඕනෑම අයෙකුට හැකිය. නමුත් එය මෙම ප්‍රභල සමාජ කාරණය විසඳීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. එසේම මෙහි ඇති විශ්වීය බව සහ සංකීරණ බව මනා සිහියෙන් හැදෑරිය යුතු කාරණයකි. මීට පිළිතුරු සොයා ගැනීමට හැකි වන්නේ මෙහි ගොදුරු බවට පත් වී සිටින මුස්ලිම් ප්‍රජාව සමග එකතු වී ඔවුහු මේ සඳහා නිවැරදිව භාවිතා කිරීමෙනි.
ශ්‍රී ලංකාව තවත් ඉන්දුනිසියාවක් කරන්නේද? නැතහොත් ඇෆ්ගනිස්තානයක් කරන්නයේද? එසේත් නොමැතිව ඉන්දීය සාගරයේ මුතු ඇටය ලෙස රකිමින් රටේ ජනතාව එකමුතු වී පවතින ගැටලු විසඳා ගන්නේද? යන්න අප හමුවේ ඇති මූලික අභියෝගයයි. මෙවැනි තත්වයන් විවිධ වාසි තකා භාවිතා කිරීමට අරදින බොර දිය මාළු බාන්නන්ගෙන් රාජ්‍යය සහ ජනතාව බේරා ගැනීම ඉතාම වැදගත් ජාතික මෙහෙවර වේ. එය මෙම ගැටලුව විසඳීම සඳහා ඇති පළමු පියවර වේ.
Post a Comment