ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කුමන්ත්‍රණයක් දියත් වී මහා මිනිස් ඝාතනයක් සිදු කළ බවට වූ බරපතල ප්‍රකාශයක් රටේ කාදිනල්වරයා කරන්නේ නම් එය පිළිගත හැකි සාධනීය කාරණා මත පිහිටා විය යුතුය. එහෙත් එතුමා මේ ප්‍රකාශය කරන්නට පෙලඹෙන්නේ පුවත්පතක පළවූ මූලාශ්‍රයක් රහිත පුවතක් පදනම් කරගනිමිනි. ඒ පුවත සකස් කරන්නේ හඳේ ගඩොල් හමුවූ බව කී විදෙස් පුවත් සංස්කරණයේ ජාතික විහිලු කාරයා විසිනි.
ජාලිය වීරක්කොඩි
අවසානයේ උන්වහන්සේත් මේ පොළොව අසාර දූපත් වාසියෙක් මිස අප ප්‍රාර්ථනා කළ උසස් මනුෂ්‍යා නොවන බව පෙන්වා දුන්හ. බලාපොරොත්තු ඉපදුණ සැනින් කුඩු පට්ටම් වී යන, දුර්දාන්ත දේශපාලන අශිෂ්ටත්වයෙන් පීඩිත පව්කාර මිනිසුන් කොට්ඨාසයක නියත ජීවිත යථාර්ථය කුමක් දැයි දැන් උන්වහන්සේ අපට අවබෝධ කර දී තිබේ. මේ සටහන තබන්නේ ඒ අවබෝධයෙනි.
පාස්කු ප්‍රහාරයේ ඛේදවාචකය මේ රටේ සැබෑ මිනිසාගේ ස්වරූපය හෙළි කළේය; සැබෑ දේශපාලනයේ හිරිකිත යථාර්ථය හෙළි කළේය. ආගමික සංස්ථාවේ ජුගුප්සාජනක පිරිහීම පෙන්වා දුන්නේය. මුන් සියල්ලෝ ම ගලා යන ලේ ගංගාවේ මල් පූදින තුරු බලාගෙන ඉන්නා මිනිස් කුණපයන් බව තහවුරු කොට පෙන්වා දුන්හ.
සංඝ සංස්ථාවේ නායකත්වය අපරිණත අසංස්කෘතික හැසිරීමක් සහිතව බෞද්ධ සමාජය ම ලෝකය ඉදිරියේ විලි ලජ්ජාවට පත් කළේය. එවැනි මොහොතක බෞද්ධ දර්ශනයේ හරාත්මක යථාර්ථය පල්ලියේ අල්තාරය මතදී අපි දුටුවෙමු. මේ සමාජය තුළ දැකීමට ප්‍රාර්ථනා කළ නොහැකි පරිණතියක් සහිත උත්කෘෂ්ට ආගමික නායකයකුගේ සැබෑ රුව ගුණ පාස්කු ප්‍රහාරය සිදුවූ මොහොතේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකට කළහ. උන් වහන්සේ මේ මහා ව්‍යසනය අර්ථ දැක්වූ ආකාරය ලෝක යථාර්ථය පිරිසිඳ දත් ප්රාඥයකුගේ පරිපාකය අප ඉදිරියේ මවා පෑවේය. ගැටලුවක් කළමණාකරණයේදී ජාතික නායකයෙක් ප්‍රකට කළ යුතු සංයමය හා ගෞරවනීය ආකාරය, ලෝක විෂය පිළිබඳ වූ අවබෝධයෙන් මතු වන ආත්ම විශ්වාසය සහිතව ගැටලුව විග්‍රහ කරගත් ආකාරය, සිය මැදිහත් වීම හරහා ඇතිවන්නට ගිය මහා ජාතිවාදී ව්‍යසනය වළක්වා ගත් ආකාරය, අපව උන්වහන්සේ කෙරෙහි උපන් ගෞරවයෙන් පුරවාලීය. මේ අශීලාචාර දේශපාලන ගොහොරුවේ කරවටක් ගිලී ඉන් මිදෙන්නට නොහැකිව සිටි රටේ පොදු මිනිසාට උන්වහන්සේ ආදරයේ හා මනුෂ්‍යත්වයේ බලාපොරොත්තුව රැගෙන ආහ. එය තිබුණේ මේ කණවැන්දුම් දේශපාලනයට වඩා ගව් ගණනක් ඔබ්බෙනි.
එහෙත් ඊට හරියට ම තුන් මසකට පසු කාදිනල්තුමා කටුවාපිටිය පල්ලියේ අල්තාරයේ වැඩ හිඳිමින් ම ස්වකීය දේශපාලන නිඝන්ඨ භාවය ප්‍රකට කරනු ඇතැයි අප කිසිවෙක් කල්පනා කළේ නැත. උන්වහන්සේත් මේ සමාජ මොඩලයෙන් ම මතුවන මල් වෙඩිල්ලක් විනා මහා බරසාර මනුෂ්‍යයෙක් නොවන බව දුටු මොහොත අපව අප දකිමින් සිටි ෆැන්ටසියෙන් අවදි කළේය.
කාදිනල්වරයා මේ මොහොතේ සිදුවීම් පිළිබඳ පැහැදිලි කියැවීමක් සහිත තීක්ෂණ මනුෂ්‍යයෙක් බව සමාජය ඉදිරියේ තහවුරු කළ පුද්ගලයෙකි. ලෝක දේශපාලනයේ හැසිරීම පිළිබඳ තත්ත්වාකාර අවබෝධයක් සහිත පුද්ගලයෙකි. ගෝලීය ලෝකය තුළ අන්තර් රාජ්‍ය සබඳතාවල ස්වරූපය දුටුවෙකි. රටේ අති මහත් ජනකොටසක ආගමික නායකත්වයක් දරන, ජාති ආගම් භේදයකින් තොරව සමාජ වන්දනාවට පාත්‍ර වීමේ දුර්ලභ භාග්‍ය ලද පුද්ගලයෙක් අහන් ඉන්නටත් අප්‍රසන්න වූ ජාතිවාදී දේශපාලන වාචාලයන්ගේ අශිෂ්ට හා අතාර්කික ප්‍රකාශ ම වෙනත් ස්වරයකින් අල්තාරය මත හිඳ කියවන විට මේ දූපත තුළ ආශ්චර්ය නොමැති බවට වූ තත්වාබෝධය අපට ලැබුණේ ය.
ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් ඇති බව සැබෑ ය. ඒ දේශපාලන අර්බුදය රටම අසමත් භාවයට පත් කළ බවත් සැබෑ ය. අනෙක් මොන දේ කෙසේ වුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වෙන කිසිම අවස්ථාවකට වඩා වැඩි අගයක් සහිතව දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ සම්බන්ධ ව පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරිපිට සිදුවන පරීක්ෂණයේ ස්වරූපය සජීවී ව ආවරණය කිරීමේ අවස්ථාව මාධ්‍ය වෙත ලැබී ඇත. ඒ කාරක සභාව ඉදිරිපිට රටේ අගමැතිවරයාත් සාක්ෂි දුන්නේ ය. අවසාන වශයෙන් එය ඉදිරියේ සාක්ෂි දීම සඳහා රටේ විධායක ජනාධිපතිවරයාත් කැඳවීමට සූදානම් කර තිබිණි. ජනාධිපතිවරයා නොපැමිණේ නම් අවසන් වාර්තාව සැකසීම සඳහා සූදානම් බව කමිටුව මාධ්‍යය හමුවේ කීවේය. එහි අවසන් නිර්දේශ හා නිගමන තව සති කිහිපයකින් ප්‍රකාශ වනු ඇත.
මීට අමතරව ප්‍රහාරය සම්බන්ධ ව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර එහි වාර්තාව ලබා ගැනීමට කටයුතු කර තිබිණි. ඒ කොමිසමේ කටයුතු කළ කමිටු සාමාජිකයෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ද පෙනී සිට සිය කට උත්තර ලබා දුන්හ. සිද්ධිය සම්බන්ධ ව වගකිව යුතු යැයි පෙනී ගිය රටේ පොලිස්පතිවරයාගේ සේවය අත්හිටවනු ලැබුවේය. ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලා අස්වන්නට සිදු විය. අපරාධයට සම්බන්ධ සියලු ප්‍රධාන වගඋත්තරකරුවෝ අත්අඩංගුවට පත්වූහ. මේ මොහොතේත් පරීක්ෂණ ක්‍රියාත්මක ය. දම්වැලේ එකිනෙක පුරුක් බුද්ධි අංශ වෙත කොටුවෙමින් ඇත; මුල මැද අග පැහැදිලි ය. මේ ක්‍රියාන්විතය එක් මොහොතකින් කළ හැකි ආශ්චර්යයක් නොවේ. ඒ බව කාදිනල්වරයා අප සියල්ලන්ට ම වඩා හොඳට දන්නේ ය. පරීක්ෂණ සම්බන්ධ ව උන්වහන්සේ සිදුකරනු ලබන ප්‍රසිද්ධ ප්‍රකාශ උන්වහන්සේ වැනි කෙනකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමේ අශාස්ත්‍රීය අර්ධ සත්‍ය බව මැදහත්ව මේ ගැන දකින ඕනෑම පුද්ගලයකුට පසක් වන්නේ ය.
එතුමන්ගේ අදහසට අනුව මේ කොමිෂන් වාර්තා ඒ ඒ දේශපාලකයන් තම තමන්ගේ වට්ටෝරු අනුව ලියා ගන්නා ලාබ ලියැවිලි ය. ලබාදුන් ජනාධිපති කොමිෂන් සභා වාර්තා සැක සහිත ය. එහෙත් එතුමන් නැවතත් බලාපොරොත්තු වන්නේ ජනාධිපති කොමිසමකි. මේ ජනාධිපතිවරයාගෙන් ම ඉල්ලන ඒ ජනාධිපති කොමිසමෙන් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ උන්වහන්සේ විශ්වාස කරන යමක් ප්‍රකාශ කරවා ගැනීමේ අපේක්ෂාව ය.
කාදිනල්වරයා වැනි පුද්ගලයෙක් මරණ තුන්සීයක් සිදුවූ පල්ලියක අල්තාරය මත වැඩ හිඳිමින්, මිය ගියඋන්ගේ සොහොන් කොත් දැක දැක, ඒ තුච්ඡ ප්‍රහාරයෙන් ආබාධිත වූ හා තුවාල ලද අසරණයන් මෙන්ම ස්වකීයයන් අහිමි ව වියෝ දුකින් විකල් වූ මිනිසුන් අමතා කතා කළ යුතුව තිබුණේ හිතලු හා අවේග මත පදනම් ව නොව, පවතින තත්ත්වයන් පිළිබඳ සාධාරණ තක්සේරුවක් සහිතව ය.
පාස්කු ප්‍රහාරයට මුල් වූ ත්රස්තවාදීන් හදා වඩා පෝෂණය කරන්නේ පසුගිය දශකයට අධික කාලය තුළ බලයේ සිටි අලජ්ජී දේශපාලකයන් ය. ඔවුන් ජාතීන් වශයෙන් ආගම් වශයෙන් සමාජය බෙදා පාලනය කිරීමේ ගෝත්‍රික උපක්‍රමය දියත් කළ පිළිකුල් සහගත ආකාරය රට වැසියෙක් වූ කාදිනල්වරයාත් අත් දුටුවේය. ආගමික ගෝත්රවාද පෝෂණය කළ ආකාරය හා ආගමික ගැටුම් නිර්මාණය කරමින් දේශපාලන වාසි ලබා ගත් අශික්ෂිත ආකාරය බලා සිටියේය. එක් රජයක් මනුෂ්‍යත්වයේ වටිනාකම් ව්‍යසනයනට ලක් කරන්නට රටේ බුද්ධි අංශ අවභාවිත කරද්දී අනෙක් රජය දේශපාලනික ලාභාංශ වෙනුවෙන් බුද්ධි අංශ අවභාවිත කළේය. එහෙත් රටේ බුද්ධි අංශ අකර්මණ්‍ය වූයේ නැති බව අවසාන මොහොතේත් සිදුවිය හැකි ව්‍යසනය ඔවුන් විසින් වාර්තා කර තිබුණ ආකාරයෙන් කාදිනල්වරයාත් දුටුවේය. රට අත් දුටුවේ වගකීම් විරහිත දේශපාලනයේ අසමත්කම ය. එය වෙනස් විය යුතු බව මේ රටේ මොළය කළඳක් සහිත ඕනෑ ම මනුෂ්‍යයකු දන්නේ ය. එහෙත් එය සිදුවිය යුත්තේ කාදිනල්වරයා කියන සරල ආකාරයෙන් නොවේ; සමාජ පරිවර්තනයක් ලෙස ය.
අවසානයේදී කිවයුතු වන්නේ ගමේ කෝපි කඩේ දී සිදුවන සංවාද වැනි ඕපාදූප මත පදනම් වන කතා කාදිනල්වරයකුට උචිත නොවන බව ය. එතුමෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඇමරිකානු මැදිහත්වීමක් ගැන කියති. ඊට පදනම් කරගන්නා මූලාශ්‍රය මෙසේ පවසති.
“ පසුගිය 17 බදාදා දිවයින පුවත්පතේ 15 වැනි පිටුවේ මෙහෙම ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. අයි.සීස් නායක අබිබකර් අල් බැග්ඩෑග් එක්තරා බලගතු රටක යුද්ධ කඳවුරක සිටිනවා. රටේ නම තිබුණා; රටේ නම කියන්නෙ නෑ. ලෝකයේ බලගතුම රටේ කඳවුරක එයාල ඉන්නවා.”
ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කුමන්ත්‍රණයක් දියත් වී මහා මිනිස් ඝාතනයක් සිදු කළ බවට වූ බරපතල ප්‍රකාශයක් රටේ කාදිනල්වරයා කරන්නේ නම් එය පිළිගත හැකි සාධනීය කාරණා මත පිහිටා විය යුතුය. එහෙත් එතුමා මේ ප්‍රකාශය කරන්නට පෙලඹෙන්නේ පුවත්පතක පළවූ මූලාශ්‍රයක් රහිත පුවතක් පදනම් කරගනිමිනි. ඒ පුවත සකස් කරන්නේ හඳේ ගඩොල් හමුවූ බව කී විදෙස් පුවත් සංස්කරණයේ ජාතික විහිලු කාරයා විසිනි. අප විශ්වාස කරන පරිදි මෙය කාදිනල්වරයාගේ යථාර්ථවාදී හැසිරීම නොවේ.
එතුමෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සිහි බුද්ධියක් සහිත ශිෂ්ටාචාරවත් මනුෂ්‍යයෙක් සිදු නොකරන ආකාරයේ අතාර්කික විවේචනයට ලක් කරති. අන්තර්ජාතික නීතිය විවේචනය කරති. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය මානව හිමිකම් කවුන්සිලය මේ රටට වින කරන එන්.ජී.ඕ නඩ ලෙස හඳුන්වති.
අවසානයේ මෙසේ පවසති. “මේ අවස්ථාවෙ කියන්න ඕන අපේ නායකයන්ට කොන්ද පණ මදි; මෙහෙම නොවෙයි ඔවුන් වැඩ කරන්නට ඕන. විදේශීය බලවේගවලට මේ අපේ රටට අතපොවන්නට දෙන්න බෑ; මේක අපේ රට; අපේ භූමිය; මේ භූමිය ශුද්ධ වූ භූමියක්. මේ ලංකාවේ ඉතා ම ශක්තිමත් ව තිබුණු බුද්ධි අංශය විනාශ කළා. ඒ විනාශ කරන්නට කටයුතු කළේ ජාත්‍යන්තරයේ ඕන එපාකම් පිරිමහන්න. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය, මානව හිමිකම් කවුන්සිලය, ලෝක එන්ජීඕ ව්‍යාපාර සතුටු කරන්නට බුද්ධි අංශ අඩපණ කරන්නට අධෛර්යට පත් කරන්නට කටයුතු කළා.”
පාස්කු ප්‍රහාරයෙන් තුන් මසකට පසු කාදිනල්වරයා කටුවාපිටිය පල්ලියේ දිව්‍ය මෙහෙය නිමා කරන්නේ මේ ලෙස ය.
“ ඔබ හොඳට ඇවිදලා හිටපු අය. ඔබට මෙහෙම වුණේ හිතුවක්කාර දඩබ්බර ප්‍රතිපත්තියක් නැති නායකයන්ගෙ වැරදි වැඩ නිසා. ඒ නිසා දැන් කාලය ඇවිත් තියෙනවා මේ ඔක්කොන්ට ම කියන්න ගෙදර යන්න කියලා; වැඩක් බලාගෙන ගෙදර යන්න. මේක කරන්න පුළුවන් කාටහරි දෙන්න. ”
ඔබතුමාගේ සැබෑ බර පැහැදිලි කර දුන්නාට අනේකවාරයක් ස්තුතිවන්ත විය යුතුය. පසුගියදා නුවර දළදා මැදුර ඉදිරියේදී රූපවාහිනී කැමරා ඉදිරිපිට තහවුරු වූයේ ඒ බරෙහි තරම ය. ජනාධිපති කොමිසම මේ ජනාධිපතිවරයාගෙන් ප්‍රතික්ෂේප කරන කාදිනල් වරයා, ගෝඨාභය රාජපක්ෂගෙන් ඒ කොමිසම ලබා ගන්නේදැයි මාධ්‍ය කරුවන් විමසන තැනට වැටුණේ ය.
මේ රටේ මිනිසුන් වෙනුවෙන් ඔබතුමා වියදම් කරන ප්‍රමාණය මෙපමණ නම් පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය මිනිසුන් කාදිනල්වරයකුගේ දේශපාලන කතා අහන් ඉන්නා අපට වඩා වාසනාවන්ත ය. කාදිනල්වරයා දෙවියන් වහන්සේගේ පණිවුඩය රැගෙන එන තෙක් බලා සිටි ජීවත්වන අප පව් ය. ඒ, මේ හඬ දෙවියන් වහන්සේගේ නොවන බව දැන් නම් හොඳටම පැහැදිලි වී ඇති නිසා ය.
Post a Comment