The Most/Recent Articles

Showing posts with label MahindaRajapaksa. Show all posts
Showing posts with label MahindaRajapaksa. Show all posts

රාජපක්ෂගේ පැය 72 මෙහෙයුම සහ ව්‍යර්ථ වූ හමුදා කුමන්ත්‍රණය

විශේෂ ලියුම්කරුවකු විසිනි
උපුටා ගැනීම: රාවය

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා වන පත‍්‍රිකා ලක්‍ෂ දෙකක් යුද හමුදාව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හමුදා සෙබළුන්ගේ නිවෙස් වෙත තැපැල් කිරීමේ යෙදී සිටින බවට ‘රාවය’ වාර්තා කළේ ඉකුත් දෙසැම්බර් 28වැනිදාය. දෙසැම්බර් 24 හා 25 දිනවල හමුදා සෙබළුන් විශාල පිරිසක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ ඒවාට මුද්දර ඇලවීමේ හා යන්ත‍්‍රානුසාරයෙන් මුද්දර මුද්‍රණය කිරීමේ යෙදී සිටින බවත් එක් ලිපියක බර අනුව රුපියල් 25ක මුද්දර එහි ඇලවිය යුතු බවත්, එම මුදල සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්‍ෂ 50ක් ඒ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බවත් තවදුරටත් වාර්තාවේ සඳහන් විය. ‘සැබෑ සාමයෙන් පසු අපේ රණවිරුවෝ’ නමින් යුත් පිටු 14කින් සමන්විත එම පත‍්‍රිකාව (පොත් පිංචකි) කියවන්නකුට දැනෙන්නේ එය මුළුමනින්ම මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණයේදී ඡුන්දය දෙන ලෙස කරන නිර්ලජ්ජිත ඉල්ලීමක් බවය. මැතිවරණ සමයකදී රජයේ හමුදාවකට එවැනි දෙයක් කිරීමට නීතියෙන් කිසිදු ඉඩක් නැත. මේ පොත් පිංච මැතිවරණ නීතිය කඩකරමින් තැපැල් කරමින් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයාට ආරංචි වීමෙන් පසු ඔහු මැදිහත්වී තැපැල් කිරීම අත්හිටුවනු ලැබිණි. එහෙත් හමුදාව ඉන් පසුබෑවේ නැත. ඔවුහු කළෝ, එම ලිපි උපතැපැල් කාර්යාල මට්ටමෙන් කුඩා ප‍්‍රමාණයන්ගෙන් තැපැල් කිරීමය. තවත් කොටසක් හමුදා වාහන යොදවා බෙදාහරින ලදි. ඒ ගැනද ආරංචිවී මැතිවරණ කොමසාරිස්වරයා නැවතත් බෙදාහැරීම වැළැක්වූ නමුත් කිසියම් කොටසක් බෙදාහරින ලදි. මහින්ද රාජපක්‍ෂට අමු අමුවේ කඬේ ගිය, ආණ්ඩුවේ බදුමුදලින් මුද්‍රණය කොට පත‍්‍රිකා බෙදාහැරීමේ නිර්ලජ්ජිත මෙහෙයුම පිටුපස සිටියේ මීට පෙර හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙසද කටයුතු කළ යුදහමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහ, බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් දෙමටන්පිටිය, බි‍්‍රගේඩියර් රසික කරුණාතිලක හා ලෙෆ්ටිනන්ට් කර්නල් අජිත් වික‍්‍රමසේකර යන අයය. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජය ග‍්‍රහණය කරවීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට කැපවී සිටි අය වෙති.


මේ ලිපි මෙහෙයුමට අමතරව පූර්ව ජනාධිපතිවරණ සමයේදී හමුදාවේ ඉහළ නිලධාරීහු විශාල පිරිසක් සෘජුවම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට එක්ව සිටියහ. ඉන් පළමු තැන හිමිවන්නේ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායකටය. ඔහු හමුදා සෙබළුන් අමතන රැුස්වීම් පවත්වමින් (troop addressing) ජනාධිපතිවරණ සමයේදී හමුදා කඳවුරු රාශියක සංචාරය කළ අතර, මහින්ද යුද්ධය ජයග‍්‍රහණය කළ ආකාරයත්, ඉන්පසු හමුදා සෙබළුන්ට හොඳින් සැලකූ ආකාරයත් කියා ඇති ඔහු අවසානයේ කියා ඇත්තේ ඒ ජයග‍්‍රහණ රැුකගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ යළි ජයග‍්‍රහණය කරවිය යුතු බවය.

හමුදා කුමන්ත‍්‍රණය

ජනාධිපතිවරණය ආශ‍්‍රිත හමුදා මැදිහත්වීම උච්චතම හා භයානකම අවස්ථාවට පත්වන්නේ ජනාධිපති වරණයෙන් පසු හමුදාව යොදවා මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තබාගැනීම සඳහා දියත්කැරෙන කුමන්ත‍්‍රණයත් සමඟය.

රාවයට වාර්තා වන අන්දමට මේ වැඩපිළිවෙල පසුපස සිටි ප‍්‍රධානීන් වන්නේ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්. පෙරේරා හා මේජර් ජෙනරාල් පී. සමරසිංහය. වැඩසටහනේ තිර පිටපත ගෝඨාභය රාජපක්‍ෂගේය. එය හැඳින්විය හැක්කේ ‘පැය 72 මෙහෙයුම’ හැටියටය.

පැය 72 මෙහෙයුම


මෙහෙයුමේ වැඩ පිළිවෙල අනුව, ජනාධිපතිවරණය පැවැත්වුණු 8වැනිදා රාත‍්‍රිය වන විට කොළඹ හා රට පුරා ඉතා වැදගත් ස්ථානවල හා ඒ ආශි‍්‍රතව හමුදා ඛණ්ඩ ‘ස්ටෑන්ඞ්බයි’ රැුඳවිය යුතුය. රූපවාහිනී විකාශන කුලූනු, රජයේ රූපවාහිනී ආයතන, දුරකතන සේවා ආයතන වැනි විශේෂ ස්ථාන ඒ අතර විය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂට අවාසි සහගත වන්නේ නම්, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් කෙරෙමින් පවතින ප‍්‍රතිඵල නිකුත්කිරීම බලය යොදා නැවැත්විය යුතු අතර, එවකටත් ධුරයේ සිටින රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි නීතිය පැනවිය යුතුය. ඉන්පසු රඳවා තැබුණු හමුදා ඛණ්ඩ මහාමාර්ගයට හා අනෙකුත් වැදගත් ස්ථානවලට පැමිණෙන අතර ඒවායේ බලය අල්ලාගත යුතුය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසිසහගත වන පරිදි නිකුත් වෙමින් පවතින ප‍්‍රතිඵල නැවැත්වුවහොත් ඇතිවිය හැකි මහජන නැගිටීම බලය යොදා මැඬපැවැත්වීම කුමන්ත‍්‍රණ කරුවන්ගේ බලාපොරොත්තුව විය. පැය 72ක කාලයක් එක දිගට කොළඹ හා රට පුරා ජනතාව එක් රොක් වීම නවතාගෙන සිටියහොත් ජනතා බලය හා උණුසුම දිය වී යනු ඇති අතර ඉන්පසු හමුදාවේ සහාය ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ තබාගත හැකිය යන්න කුමන්ත‍්‍රණකරුවන්ගේ තක් සේරුව වී තිබුණි. තවදුරටත් ධුරයේ රැුඳීසිටීම ගැන නීත්‍යනුකූල පසුබිමක් ඇතිකිරීම සඳහා වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට නියමිතව තිබුණු අතර, රාජපක්‍ෂ මහතාට හිතවත් අගවිනිසුරුවරයා අතින්, තවත් අවුරුදු දෙකක කාලයක් රාජපක්‍ෂ මහතාට බලයේ සිටිය හැකි බවට මතයක් ප‍්‍රකාශ කරවා ගන්නට නියමිතව තිබිණි. (තවත් අවුරුදු දෙකක් ජනාධිපතිවරයාට ධුරයේ සිටිය හැකි බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ බෙංගමුවේ නාලක හිමියන් ලවා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට පෙර සූදානමක් ලෙස තබාගත නොහැකිවීම සම්බන්ධයෙන් කුමන්ත‍්‍රණයේ සැලසුම්කරුවන් කනගාටුවට පත්ව තිබුණු බවද වාර්තා වෙයි. එම අතපසුවීම නොවී නම්, නාලක හිමියන් විසින් පවරන ලද නඩුවේ තීරණය පහසුවෙන්ම ජනවාරි 9වැනිදා නිකුත්කරවා ගත හැකිව තිබුණු බව ඔවුන්ගේ මතය වී තිබිණි.)

රාජපක්‍ෂ හමුදා පාලනයක්


මේ සැලැස්ම ක‍්‍රියාත්මක වූයේ නම් රට හමුදා පාලනයකට යටත්වන්නට තිබුණු අතර, මහින්ද රාජපක්‍ෂ තවදුරටත් හමුදා පාලකයකුගේ තත්ත්වයෙන් රට පාලනය කරනු ඇත. ඊට අමතරව රට ලේ විලක් වීමට නියමිතව තිබිණ.

කුමන්ත‍්‍රණ සැලසුම ගැනත්, එය ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය ගැනත් සාකච්ඡුා කිරීම සඳහා වූ රැස්වීම් දෙකක් ජනවාරි 7වැනිදා සහ 8වැනිදා පැවැත්විණි.

7වැනිදා රැස්වීම පැවැත්වුණේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ කාර්යාලයෙහිදීය. ඊට මේජර් ජෙනරාල්වරු 7 දෙනෙක්, බි‍්‍රගේඩියර්වරු 8 දෙනෙක් හා පොලිසියේ ඉහළ නිලධාරීහු දෙදෙනෙක් සහභාගිවූහ. පොලිසියේ දෙදෙනා වනුයේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා කොළඹ ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ය. ඔවුන්ට මේ රැුස්වීම සඳහා සහභාගිවන ලෙස නියම කර තිබුණේ ලංකාවේ සිටි අපකීර්තිමත්ම පොලිස්පති වරයකු වූ, දැනට නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන මහින්ද බාලසූරිය විසිනි. ජනාධිපතිවරණ සමය තුළ ලජ්ජා රහිතවම මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා පොලිසිය මෙහෙයවන්නට කටයුතු කළ බාලසූරිය ඒ නියමය කර තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ නියමයක් ලෙසය.

7වැනිදා රැුස්වීමේ මූලිකත්වය ගෙන සිටියේ මේජර් ජෙනරාල් එස්. පෙරේරාය. ඊට අමතරව මේජර් ජෙනරාල් පී. සමරසිංහ, බි‍්‍රගේඩියර් යූ. මඩවල, බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල, බි‍්‍රගේඩියර් ආර්. ළමාහේවාද එහි සිටි අය අතර වූහ. එම රැුස්වීමේදී එස්. පෙරේරා හා ජේ. ජයසූරිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත්කිරීම අතරතුර හමුදාව විසින් රටේ පාලන බලය සියතට ගැනීම ගැන දීර්ඝ වශයෙන් විස්තර කළ බව වාර්තා වන අතර, හමුදාව බලය ලබාගත් පසු නීතිය හා සාමය ආරක්‍ෂාකිරීම පොලිසිය කළ යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් ලබාදෙන ලදි. මෙහිදී ඊට සහභාගිවූ පොලිස් නිලධාරීන් දෙදෙනා වන සේනානායක හා මතුරට පැහැදිලිවම අවධාරණය කර සිටියේ, රටේ සාමාන්‍ය නීතියට පිටතින් සිදුවන කිසිදු දෙයක් සඳහා පොලිසිය සහයෝගය නොදෙන බවත්, විශේෂයෙන් එවැනි බලහත්කාරී කටයුත්තක යෙදීමට පොලිසියේ පහළ ස්ථරවල නිලධාරීන් කිසිසේත් කැමැත්තක් නොදක්වනු ඇති බවත්ය.

පොලිසියේ විරෝධය


ඒ අතර පොලිස්පති එන් කේ ඉලංගකෝන් සියලූ පොලිස් කොට්ඨාසවලට හා අනෙකුත් සියලූ මට්ටම්වල නිලධාරීන්ට දැනුම් දී තිබුණේ රටේ නීතියට පිටින් යන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට මෙන්ම සහයෝගය නොදීමටද තදින් වගබලා ගත යුතු බවය. ඒ අතර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නගේ මෙහෙයවීමෙන් රටේ වැදගත් ස්ථානවල මෙන්ම ප‍්‍රදේශවලද පොලිස් ආරක්‍ෂාව තහවුරු කරන ලදි. පැය 72 මෙහෙයුම අසාර්ථක වීමට බලපෑ එක් හේතුවක් වූයේ පොලිස්පතිවරයා හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙලෙස නීතියට අනුකූලව පමණක් ක‍්‍රියාකරන්නට ගත් ස්ථාවරය ය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණි පසු මහින්ද රාජපක්‍ෂ හා ඔහු අතර පැවැති සාකච්ඡුාවේ සමහර කරුණු පසුගිය ඉරිදා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය. ඒ අනුව, සාකච්ඡුාවට ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද එක්වී තිබේ. රාජපක්‍ෂවරුන්ගේ ප‍්‍රධාන සැකය වී ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇද්ද යන්නය. හමුදා සැලැස්මක් මෙහෙයවූ නිසා රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගතයුතු බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පෙර තානාපති හමුවකදී කියා ඇත යන අදහසක් ඒ සැකයට හේතුවී තිබිණ. කෙසේ වෙතත් කුමාරතුංග මහත්මිය එවැනි දෙයක් තමා නොකී බවට පසුව පැහැදිලි කළාය.
දෙවැනි රැස්වීම පැවැත්වුණේ ජනවාරි 8වැනිදා සවස යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාර්යාලයේ සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. පෙර දින රැුස්වීමට සහභාගිවූ පිරිසම එදින ඊට සහභාගිවූහ. එහිදී විශේෂයෙන් හමුදා නිලධාරීන් කියා සිටියේ සැලැස්ම අනුව හමුදා සෙබළ පිරිස් අදාල ස්ථානවල ඒ වනවිටත් ස්ථානගත කොට ඇති බවත්, හමුදාව පාලනය භාරගත් පසු පොලිසිය නීතිය හා සාමය ආරක්‍ෂා කළ යුතු බවත්ය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ අවස්ථාවේදීත් සිටියේ සිය දැඩි ස්ථාවරයේමය. මේ කුමන්ත‍්‍රණය සඳහා පොලිසියේ සහායක් නැති බවට ඔවුහු පැහැදිලිවම අවධාරණය කළෝය.

කෙසේ වෙතත් මේ රැුස්වීම් දෙකෙහි තොරතුරුත්, හමුදා සැලැස්මේ තොරතුරුත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ තවත් සුළු පිරිසකට දැනගන්නට ලැබිණි. වික‍්‍රමසිංහ මහතා ඒ ගැන අමෙරිකාවද දැනුවත් කරන ලද බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ආරක්‍ෂක ලේකම් ජෝන් කෙරී මහින්ද රාජපක්‍ෂට දුරකථන ඇමතුමක් ලබා දී මහජන මතයට ගරුකරමින් සාමකාමී ලෙස බලය මාරුවන තැනට කටයුතු කරන ලෙස කී බවත් දැනගන්නට තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්‍ෂගෙන් උදේ 4.30ට දුරකථන ඇමතුම ලැබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.

අගවිනිසුරුත් එහේ

දුරකථන ඇමතුම ලත් රනිල් වික‍්‍රමසිංහ මහතා කියන්නේ තමන් අරලියගහ මන්දිරයට පැමිණෙන්නට සූදානම් බවය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ට අරලියගහ මන්දිරයට යන බව දැනුම් දී එහි යන විටත් අගවිනිසුරු මොහාන් පීරිස් අරලියගහ මන්දිරයේ රැුඳී සිටිනු දැක රනිල් විස්මයට පත්වූ බව කියනු ලැබේ. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්‍ෂක යකුගේ නිවසේ සිටීම ගැනය. කෙසේ වෙතත් ඒ වන විට මහින්ද රාජපක්‍ෂ හා මොහාන් පීරිස්ගේ මුහුණු මැළැවුණු අඳුරු ස්වභාවයක් ගෙන තිබුණු බව ද ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්‍ෂ එදින රාත‍්‍රියේ තමා විසින් පත්කරන ලද අගවිනිසුරුවරයා එහි කැඳවා තිබුණේ කුමකටද? ඉදිරි අවුරුදු දෙකක කාලය තමාට ධුරයේ සිටිය හැකිද යන්න ගැන අදහසක් ලබාගැනීමටය. අගවිනිසුරුවරයා, ‘එය කළ හැකියැ’යි පිළිතුරු දී තිබුණු බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග කියයි.

හමුදාව රඳවයි

මේ සැලැස්ම සාර්ථක කරගත හැකි වන පරිදි හමුදා භට පිරිස් රටේ වැදගත් තැන් සියල්ලේම පාහේ රඳවා තිබුණු බවට තහවුරු කරන ලද වාර්තා තිබේ. මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ බලකාය වන සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථානය වන මෝදර රොක්හවුස් කඳවුර, ජනාධිපතිවරණය දා රැුයෙහි එවැනි ‘ස්ටෑන්ඞ්බයි’ තත්ත්වයේ භටපිරිස් රඳවා තිබුණු එක් ස්ථානයකි. කඳවුර තුළ ගාල්කර තිබූ සන්නාහ සන්නද්ධ රථ කඳවුරෙන් පිටතට ගෙනවුත් ප‍්‍රදර්ශනකාරී ලෙස තබන හැටියට බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල විසින් එහි ස්ථානභාර නිලධාරියාට කරන ලද නියෝගයක් එම නිලධාරියා විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවද වාර්තා වෙයි. හමුදා සන්නාහ සන්නද්ධ රථ කොළඹ නගරය පුරා සංචාරය කරවීමට සැලැස්වීමෙන් හා ස්ථානගත කිරීමෙන් නැග එන මහජන බලයක් පහසුවෙන් දුර්වල කළ හැකි බව හා මැඬලිය හැකි බව සාමාන්‍යයෙන් පිළිගැනෙන දෙයකි.

මෙලෙස අඩුම ගණනේ හමුදා බැටෑලියන (බැටෑලියනයකට සාමාන්‍යයෙන් 800 සිට 1100 දක්වා සෙබළුන් පිරිසක් අයත්වෙති.) 10ක් කොළඹ වටකොට ස්ටෑන්ඞ්බයි තත්ත්වයෙන් තබා තිබිණි. ඉන් බැටෑලියන 4ක් සිටියේ සිවිල් ඇඳුමෙනි. තවත් බැටෑලියනයක් මරදාන ටි‍්‍රපොලි වෙළෙඳ සංකීර්ණයේ රඳවා තිබිණි. තවත් එකක් රැුඳවූයේ මීගමුවේ කඩොල්කැලේ නම් ප‍්‍රදේශයේය. එහි බැටෑලියනයක් සිටින්නේ ඇයිදැ’යි ඇසූවකුට ලැබුණු පිළිතුර වූයේ පාප්වහන්සේගේ ගමනට ආරක්‍ෂාව සඳහා එලෙස රැුඳවූ බවය.

කවර හේතුවක්, බලපෑමක් නිසා හෝ මේ කුමන්ත‍්‍රණ සැලසුම අසාර්ථක වූයේ රටේ වාසනාවටය. එය එසේ නොවිණි නම්, එක් පුද්ගලයකුගේ අධික බල තණ්හාව නිසා මහා ලේ ගංගාවක් ජනවාරි 8න් පසු රටේ ගලායන්නට ඉඩතිබුණි.

හොර ඡන්ද පෙට්ටි

හමුදාවේ ඇතැම් අය මැදිහත්වී නිර්මාණය කරන ලද හොර ඡුන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළත්කිරීමේ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වූ බව දැනගන්නට තිබේ. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක විධිවිධාන අනුව එවැනි හොර ඡුන්ද පෙට්ටි මැතිවරණ ක‍්‍රියාවලියට එකතු කිරීමට කිසිම හැකියාවක් නැති නමුත්, හමුදාවේ ඇතැම් නිලධාරීන් වෙතින් එවැනි උත්සාහයක් තිබුණු බව පැහැදිලි වෙයි. ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර පනාගොඩ හමුදා කඳවුර පිටුපස නිවෙසක හොර ඡුන්ද පෙට්ටි තිබේයැ’යි මැතිවරණ කොමසාරිස්ට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය යොදා නිවෙස පරීක්‍ෂා කරනු ලැබිණ. එවැන්නක් හමු නොවීය. මේ නිවස කුලියට ගෙන තිබුණේ හමුදා නිලධාරියෙකි. එහෙත් ඔහු ඒ නිවසට පැමිණ තිබුණේ පොලිසිය පරීක්‍ෂා කරන දිනට ඉතාම ආසන්නයේදීය. ඔහුට පෙර එම නිවසේ පදිංචිව සිටියේ තවත් හමුදා නිලධාරියෙකි. ඔහු මේ රාජපක්‍ෂ ඡුන්ද ක‍්‍රියාන්විතයේ සිටි අයෙකු බවට තොරතුරු තිබේ. අපක්‍ෂපාත අනෙක් හමුදා නිලධාරීන් සැකකරන්නේ පොලිසිය වටලන්නට පෙර එම ස්ථානයේ තිබූ හොර ඡුන්ද පෙට්ටි ඉන් ඉවත්කරගෙන තිබූ බවය. කෙසේ වෙතත්, ඡුන්දය ගණන් කරන රාත‍්‍රියේ කොළඹ ඞීඑස් සේනානායක විදුහල් ගණන් කිරීමේ මධ්‍යස්ථානය අසළ නවත්වා තිබුණු රථයක හොර ඡුන්ද පෙට්ටි තිබුණු බවට සමහර යුක්තිගරුක හමුදා නිලධාරීහු සැක කරති.

මහින්දගේ ඉල්ලීම්


රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණි පසු මහින්ද රාජපක්‍ෂ හා ඔහු අතර පැවැති සාකච්ඡුාවේ සමහර කරුණු පසුගිය ඉරිදා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය. ඒ අනුව, සාකච්ඡුාවට ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද එක්වී තිබේ. රාජපක්‍ෂවරුන්ගේ ප‍්‍රධාන සැකය වී ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇද්ද යන්නය. හමුදා සැලැස්මක් මෙහෙයවූ නිසා රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගතයුතු බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පෙර තානාපති හමුවකදී කියා ඇත යන අදහසක් ඒ සැකයට හේතුවී තිබිණ. කෙසේ වෙතත් කුමාරතුංග මහත්මිය එවැනි දෙයක් තමා නොකී බවට පසුව පැහැදිලි කළාය.

මේ සාකච්ඡුාවේදී, කිසිදු ගැටලූවකින් තොරව මෘදු ලෙස මෛත‍්‍රීපාල සිරිසේනට බලය පවරන්නේ නම්, රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ පවුලේ අනෙක් සාමාජිකයන්ගේ ආරක්‍ෂාව නියත වශයෙන්ම සලසන බවට රනිල් වික‍්‍රමසිංහ මහතා සහතික වී තිබේ. එලෙස බලය මාරුකිරීමේ කාලසටහනකට ඒ අවස්ථාවේදී දෙපාර්ශ්වය එකඟ වූහ. මහින්දට දැනට තිබෙන පෞද්ගලික ආරක්‍ෂාව එලෙසම පවත්වාගැනීමට ද එකඟවිණි. ගෝඨාභය රාජපක්‍ෂටද ආරක්‍ෂක ඒකකයක් ලබාදීමට එකඟ විය. වැදගත්ම කාරණය වන්නේ, තමාගේ නිල නිවස ලෙස කොළඹ 2, ජායික් හිල්ටන් හෝටලය ඉදිරිපිට ඇති සුවිසල් ‘ඇක්ලන්ඞ් හවුස්’ (විසුම්පාය) රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටීමයි. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති මන්දිරයත්, අරලියගහ මන්දිරයත් යන දෙකම සිය පාවිච්චිය සඳහා යොදාගත් නිසා අගමැති නිල නිවස බවට පත්ව තිබුණේ මේ විසුම්පායයි. 

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් කොටි සංවිධානයේ නායක කේපී කලක් ගෝඨාභය රාජපක්‍ෂගේ අනුග‍්‍රහය ඇතිව සියලූ සැපසම්පත් සහිතව රඳවා තබා සිටියේද මේ සුවිසල් මන්දිරයේය. කෙසේ වෙතත් සාකච්ඡුාවේ අවසානයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා, දුරකථනයෙන් රාජපක්‍ෂ මහතා අමතා විසුම්පාය ලබාදිය නොහැකි බවත්, වෙනත් නිවෙසක් නිල නිවෙස ලෙස තෝරාගන්නා ලෙසත් දැනුම් දී තිබේ. ජනවාරි 9වැනිදා කොළඹින් පිටත්වී තංගල්ලට යෑමට හෙලිකොප්ටර් දෙකක් සූදානම් කර දෙන ලෙසද මහින්ද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව ගුවන් හමුදාවේ එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් සූදානම් කරනු ලැබීය. එදින දහවල් 1.30ට ආරක්‍ෂක අමාත්‍යාංශ පිටියේ සිට තංගල්ලට මහින්ද රාජපක්‍ෂ මහතා සිය පුතුන්ද කැටුව නික්ම ගියේය.ඊට අමතරව හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් කිසිදු හානියක් තමන්ට, විශේෂයෙන් සහෝදර ගෝඨාභයට මෙන්ම පවුගේ සාමාජිකයන්ට නොවන පරිදි කටයුතු කරන්නැ’යිද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබිණ.

මේ ආකාරයට ඊට දිනයකට පෙර මහරජකුගේ අභිමානවත් බව පළකළ පුද්ගලයා ආරක්‍ෂාව සඳහා යදින තත්ත්වයක් නිර්මාණය වී තිබිණ. එහෙත් ඒ හොඳින් හෝ නරකින් තවදුරටත් බලයේ රැඳී සිටීමට ඔහු ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වීමෙන් පසුවය. එනිසා රාජපක්‍ෂ මහතා කොළඹින් පිටත්ව දකුණට ගියේ සාමයෙන් බලය පවරා, මහත්මයකු සේ සිල්රෙද්දක් පොරවාගෙන නොවේ. බලයේ සිටීමට කළ සියලූ කුමන්ත‍්‍රණ මහජන බලය ඉදිරියේ අසාර්ථක වීම නිසාය. මහින්ද රාජපක්‍ෂ නම් ඒකාධිපති පාලකයා සිහසුනෙන් බස්වා මැදමුලනට යැවීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ වෙනසක් අපේක්‍ෂා කළ මේ රටේ යුක්තිගරුක ජනතාවටය.

රාජපක්ෂගේ සැබෑ කලණ මිත්‍රයා තමන් බව වීරවංශ කියයි

හිටපු ජනාධිපතිවරයා සමඟ හිටපු අමාත්‍ය වීරවංශ දවල් අහාරය ගත් අවස්ථාව
“මහින්ද රාජපක්ෂ මහතාගෙන් අයුතු ප්‍රයෝජන ගෙන බොරුවට වර්ණනා කරමින් සිට ඔහු තනි වූ විට බොහෝ දෙනෙකු ඔහුව අතහැර දැමීය”,  යැයි විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිවරයා සමඟ පසුගියදා දිවා අහාර ගැනීමෙන් පසු සඳහන් කළ කාරණයකි.

තමන් 2005 සිට මේ දක්වාත් මහින්ද රාජපක්ෂ මහතා සමගින් රැදී සිටින බවත් ආණ්ඩුවේ සිටිද්දීත් ආණ්ඩුවේ වැරදි අඩු පාඩු පෙන්වා දුන්නේ ඔහු විසින් බවත් කිව්වේය.

එසේම, “බුදුදහමේ දැක්වෙන කල්‍යාණ මිතුරන්ට හොඳම නිදසුන තමන් දෙදෙනා” බව ඔහු කියන්නේය.

මහින්ද මහඅධිකරණයට කැඳවයි

තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනු කළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

මේ අතර, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කිරීමට යැයි කියමින් හිස් කොළවලට අත්සන් ගැනීමට දැරූ උත්සාහයක් එම පක්ෂයේ විධායක සභාවේ විරෝධය මත වැලැකීගොස් තිබේ.

මේ රැස්වීම පවත්වා ඇත්තේ  ග්‍රින්පාත් හි නොම්බර 76 යන ස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිල නිවසේය.

කෙසේවුවද පසුව දිවුරුම් පෙත්සමකට යැයි කියමින් අදාල විධායක සභාවේ සාමාජිකයන්ගෙන් අත්සන් ගෙන ඇත.

මේ සඳහා 125 කට වැඩි පිරිසක් සහභගි වී ඇති බවද පැවසේ.

සමාන්‍යයෙන් විධායක සභා රැස්වීමක් කැඳවිය යුත්තේ දින තුනකට පමණ කලින් දැනුම්දී වුවද මේ රැස්වීම ඊයේ පස්වරුවේ කරන ලද දැනුම්දීමකට අනුව සිදු කර ඇත.

රාජපක්ෂ ආන්ඩුවේ අය-වැයෙන් පොලිස් රාජ්‍ය සැලසුම් කිරීමට මුල් තැන

| සමන් ගුනදාස විසිනි

පසුගිය සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතට අනුව මහින්ද රාජපක්ෂ ආන්ඩුව පාබල, නාවික, ගුවන්, සිවිල් ආරක්ෂක හමුදා හා පොලිසිය සඳහා රුපියල් බිලියන 290ක් වෙන් කර ඇත. පසුගිය වසරට වඩා සියයට 7ක, එනම් රුපියල් බිලියන 19ක වැඩි වීමක් වන මෙය දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය පැවති 2009 වසරේ ආරක්ෂක අංශ සඳහා වෙන් කල මුදලට වඩා රුපියල් බිලියන 90කින් වැඩිය. එය 2015 හි ඇස්තමේන්තුගත සමස්ත වියදමෙන් සියයට 16කි.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල මිලිටරි වාඩිලා ගැනීම දිගටම පවත්වා ගෙන යන අතරතුරම රටෙහි දිස්ත‍්‍රික්ක 25 තුලම හමුදා සීරුවෙන් තබමින් ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්, ගොවීන් හා සිසුන් ඇතුලු පීඩිත ජනයා මැඞීම සඳහා පොලිස් රාජ්‍යයක්් තහවුරු කිරීමේ සැලසුම්, ආරක්ෂක අංශ සඳහා මෙලෙස පිම්මේ ඉහල නංවන මුදල් වෙන්කිරීම් වලින් ඇඟවුම් කෙරෙයි.

මෑතදී වැඩ වර්ජිත සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව මිලිටරිය යෙදවීම, පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනයේ නියැලුනු රතුපස්වල ජනයාට මිලිටරිය යොදවා පහර දී තිදෙනෙකු ඝාතනය කිරීම, පරිසර දූෂනයට එරෙහිව උද්ඝෝෂනය කල තුන්නාන ප‍්‍රදේශවාසීන්ට පොලීසිය යොදවා අමානුෂික ලෙස පහර දීම, නාගරික පෙදෙස්වල ඉඩම් මහා ව්‍යාපාරයන්ට විකිනීම සඳහා ඒවායේ නිවැසියන් මිලිටරිය යොදවා පලවා හැරීම හා ශිෂ්‍ය උද්ඝෝෂනයන්ට නිරතුරුව එල්ල කරන පොලිස් ප‍්‍රහාරයන් මගින් ආන්ඩුවේ මෙම පොලිස් රාජ්‍ය සැලසුම් ඉස්මතු වී ඇත.

මෙම අය‐වැය විසර්ජන පනත කලින් ඉදිරිපත් කර ඇත්තේ මසකට කලින් ඔක්තෝබර් අයවැය ඉදිරිපත් කිරීම සඳහා ය. ඊට හේතුව, ලබන ජනවාරියේ ජනාධිපති වරනයක් හා ඒ ආසන්නයේ මහ මැතිවරනයක් පවත්වා ආන්ඩුවේ අත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර ගෙන සිටීම යි. බොහෝ විට ඇස්බැන්දුම් අයවැයක් ඉදිරිපත් කර ඡන්දය ගසා කා ඡන්ද වලින් පසුව ඉදිරි බරපතල ප‍්‍රහාරයන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන්ට හා සමාජ කොන්දේසිවලට එල්ල කිරීමට ආන්ඩුව ගනන් බලන බව පෙනේ. මෑතක දී විදුලි බිල, ගෑස් හා තෙල් මිල සොච්චමකින් අඩු කර ඇත්තේ ද ඒ අනුවය.

කෙසේ නමුත් ඉදිරිපත්කොට ඇති විසර්ජන පනතෙන් පවා එල්ල කිරීමට සූදානම් වන ප‍්‍රහාරයේ පරිමාව පිලිබඳ පෙර ඇඟවුම් සම්පාදනය කෙරේ. ආරක්ෂාව සඳහා ආන්ඩුව වෙන්කර ඇති රුපියල් බිලියන 290 සමග සසඳන විට රටෙහි ජනයාගේ සෞඛ්‍ය හා රටෙහි ශිෂ්‍ය ප‍්‍රජාවේ අධ්‍යාපනය සඳහා ආන්ඩුව ඇස්තමේන්තු කරන්නේ පිලිවෙලින් රුපියල් බිලියන 139ක් හා 88ක් පමනි. සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා යථා වශයෙන් වියදම් කෙරෙන්නේ අය‐වැයෙන් සංඛ්‍යාත්මකව වෙන් කෙරෙන මුදලට වඩා අඩු අගයක් බව පසුගිය වසර කීපය තුල ආන්ඩුවේ සංඛ්‍යා ලේඛන මගින්ම සනාථවේ.

මීට අමතරව 2015 සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන 2014ට වඩා බිලියන දෙකකින් කපා හැර බිලියන 42 කර ඇත. ඉන් හැඟවෙන්නේ පොහොර සහනාධාරය වැනි දැනට පවතින ගොවි සහනාධාරයන් කප්පාදු කිරීම සඳහා ආන්ඩුව පියවර ගනිමින් සිටින බවයි.

මෙම වසරේ පැවති සියයට 7.3 වර්ධන රේට්ටුව ලබන වසරේදී සියයට 8.2 ක් දක්වා වර්ධනය කිරීමට ආන්ඩුව ඇස්තමේන්තු කර ඇත. වර්ධන රේට්ටුව පිලිබඳව ආන්ඩුව කෙතරම් කයිවාරු ගැසුවත් මෙම වර්ධනය පාදක වී ඇත්තේ නිෂ්පාදනය මත නොව පොදු කාර්ය ව්‍යුහය ගොඩ නැගීම සඳහා වන ඉහල පොලී නය, නගර-අලංකරන ව්‍යාපෘති හා අනෙකුත් සුපිරි වියදම් හා සේවාවන්ගෙනි. මේවා එල්ලවී ඇත්තේ මහ ජන සුභ සිද්ධියට නොව මහා ව්‍යාපාරික ආයෝජනයන් හා ඉහල වියදම් මට්ටමේ සංචාරකයන් ආකර්ෂනය කිරීමට ය.

2015 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල වන රුපියල් බිලියන 1,812 මෙම වසර සඳහා වෙන් කල මුදලට වඩා සියයට 13 ක වැඩිවීමකි. අය වැය හිඟය පියවීම සඳහා මෙම වසර තුලදී අවකාශ ලබාදී තිබුනේ රුපියල් ටි‍්‍රලියන 1.1ක් නය ගැනීම සඳහා වන අතර 2015 සඳහා එම ප‍්‍රමානය රුපියල් ටි‍්‍රලියන 1.34ක් දක්වා ඉහල දමා ඇත.

කාර්මික රටවල සිට නොදියුනු රටවල් දක්වා පැතිර යමින් පවතින, අධික ලෙස නය ඉහල යාමෙන් ඇතිවන ආර්ථික අර්බුදය මෙරට ද අතිශය තියුනු ලෙස වෙලා ගෙන තිබේ. රටෙහි විශාලතම වියදම වන්නේ නය වාරික හා පොලී ගෙවීම වුවද එය වෙනම මූල්‍ය නීතියකට අනුව සිදු කෙරෙන බැවින් විසර්ජන පනතින් එම සංඛ්‍යාවන් ඉවත් කර ඇත. රටෙහි සමස්ත නය ප‍්‍රමානය රුපියල් ටි‍්‍රලියන 7.18 ඉක්මවන අතර ඉන් සියයට 44 ක්ම ඉහල පොලී අනුපාත සහිත විදේශ නය වේ. මෙම පිම්මේ ඉහල යන නය ප‍්‍රමානය පිලිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ගෝලීය වර්ගීකරන ඒජන්සි අනතුරු අඟවා තිබේ.

රටෙහි ගෙවුම් ශේෂය ප‍්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ නය හා විදේශගත කම්කරුවන් විසින් එවනු ලබන මුදල් වලිනි. මෙම කම්කරුවන් විශාල වශයෙන් සංකේන්ද්‍රනය වී සිටින්නේ අර්බුදග‍්‍රස්ත මැද පෙරදිග කලාපය තුලය. විදේශ මුදල් ලැබෙන අනෙක් මූලාශ‍්‍රය වන්නේ ආර්ථික අර්බුදයෙන් දරුනු ලෙස බැට කන ඇමරිකාවට හා යුරෝපයට කරනු ලබන අපනයනයන්ගෙන් ලැබෙන ආදායම ය. ජාමූඅ මෑතදී පිට කල “වර්ල්ඩ් ඉකොනොමික් අවුට්ලුක්” වාර්ෂික අධ්‍යන වාර්තාව මගින් ඉඟි කර ඇත්තේ ඇමරිකාව හා යුරෝපය ප‍්‍රධාන කර ගත් ගෝලීය ආර්ථික පද්ධතියේ අර්බුදය තව තවත් උග‍්‍ර වන බවයි. මෙම තත්වය ලංකාවේ අපනයන සඳහා අහිතකර ලෙස බලපානු ඇත.

අනෙක් අතට ආන්ඩුව මූල්‍ය අරමුදලේ නියෝගයන්ට අවනතව ලබන වසරේ අය වැය පරතරය සියයට 4.4 දක්වා පහත හෙලීමට බලාපොරොත්තු වෙයි. එම නියෝගයන්ට අනුව 2016 වසරේදී අය වැය පරතරය 3.8 දක්වා පහල දැමිය යුතුවේ.

ආරක්ෂක වියදම් ඉහල නංවන අතර තුර අය වැය පරතරය පහත හෙලීම යනු වැඩ කරන ජනයා මත තව තවත් බර පැටවීමය. ඉතිරිව ඇති යම් සහනාධාර වේද ඒවා කප්පාදු කිරීමත් රාජ්‍ය අංශයේ වැටුප් තව දුරටත් කැටිකර තබා ගැනීමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා අය කරන බදු මුදල් තව තවත් ඉහල දමා ආන්ඩුවේ ආදායම ඉහල දමා ගැනීමත් මීට අයත්ය.

රාජපක්ෂ ආන්ඩුවේ තවත් එල්ලයක් වී ඇත්තේ රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ සේවකයන් සඳහා වන විශ‍්‍රාම දීමනා කපා හැරීමයි. රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම පාරිතෝෂිකය බැංකු නය මුදලක් බවට පත් කර එම මුදල ගෙවීම රජයේ වියදම් වලින් කපා හැරීම මෑතදී එල්ල කෙරුනු එවන් ප‍්‍රහාරයකි.

ආන්ඩුව දැන් උත්සාහ දරමින් සිටින්නේ පුද්ගලික අංශයේ හා රාජ්‍ය සංස්ථා ආදියේ සේවකයන්ගේ විශ‍්‍රාම අර්ථසාධක අරමුදල් විශ‍්‍රාම අරමුදලක් බවට පරිවර්තනය කොට මාසික දිමනාවක් ලබා දීමෙන් එක්වර මුලු මුදල ලබා දීම අත්හිටුවීමට ය. මෙමගින් මෙම සේවකයන්ගේ අර්ථසාධක මුදල් තමන්ට රිසිසේ පරිහරනය කිරීමට ආන්ඩුවට අවකාශ ලැබෙනු ඇත.

පසුගිය සන්ඩේ ටයිම්ස් පුවත් පතේ වාර්තාවකට අනුව ආන්ඩුව ආනයනික භාන්ඩ ගනනාවක් සඳහා සියයට 10 සිට 25 දක්වා බදු ඉහල දැමීමට ක‍්‍රියාත්මක වෙමින් සිටියි. ආනයනික මධ්‍යසාර හා දුම්කොල මීට අයත්ය. මෝටර් වාහන සඳහා වන ආදායම් බලපත‍්‍ර, සුපිරි වෙලද සැල්, සාප්පු සංකීර්න, හෝටල් හා ආපන ශාලා සඳහා ජාතිය ගොඩ නැංවීමේ බද්ද ඉහල දැමීමට නියමිතය. දේශිය නිෂ්පාදකයන් ආරක්ෂා කිරිම නමැති වහන්තරාව යොදා ගනිමින් ආනයනික සම්, ප්ලාස්ටික්, ලෝහ, වානේ භාන්ඩ, ලී බඩු, බෙහෙත් ද්‍රව්‍ය, බිස්කට්, චොක්ලට් හා පැනිරස, රෙදිපිලි ආදිය සඳහා බදු වැඩි කිරීමට නියමිත ය.

රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රධාන ආදායම වන්නේ වැඩ කරන ජනයාගේ එදිනෙදා අවශ්‍ය භාන්ඩ හා සේවා මත වක‍්‍ර බදු පැනවීමයි. ආනයනය කෙරෙන ලොකු ලූනු හා අර්තාපල් මිල මසකට පමන පෙර ඉහල දැම්මේ ගොවීන්ට සෙත සලසන බවට ප්‍රෝඩාවක් කරමිනි.

කම්කරුවන්ගේ ජීවන කොන්දේසිවලට ආන්ඩුව අතොරක් නැතිව ප‍්‍රහාර එල්ල කරන්නේ ලෝක ධනවාදයේ අර්බුදය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කර ඇති කොන්දේසි කි‍්‍රයාවට දමමිනි. එහෙත් වෘත්තීය සමිති ආන්ඩුවෙන් සහන ඉල්ලීමේ ව්‍යාපාරයක් තුල කම්කරුවන් කොටුකර තම අයිතීන් සඳහා ඔවුන් අරගලවලට ඒම වැලැක්වීමේ දැනුවත් කි‍්‍රයාවල නිරතව සිටියි.

වැලිවේරියේ සංහාරය

අවශ්‍ය වී ඇත්තේ කුමක්ද? ප්‍රදේශයේ සිටින සාමාන්‍ය වැසියන් හෝ එක්ව අදාළ සිදුවීමෙන් මියගිය අයවලුන් වෙනුවෙන් දැවැන්ත සමාරක ඉදිකිරීමයි. ඔවුන් වෙනුවෙන් ලිවීමයි. ඔවුන් ගැන ලියා ගම්  නියම්ගම් පුරා බෙදා හැරීමයි. ඔවුන් ගැන ලිවීමට තරුණි/තරුණයින් මෙන්ම  පාසල් සිසුන් යොමු කරවීමයි. සිදුවීම කෙරෙහි චිත්තවේගාත්මක ප්‍රතික්‍රියා වෙනුවෙට ආකල්පමය වශයෙන් වෙනස් වීමයි. මියගියවුන්ගේ මතකය අතුගා දැමීමට ඉඩ නොතබා, ඔවුන් ජනතාවගේ වීරයන් බවට පත් කිරීමයි.
________________________________
 
| නිලන්ත ඉලංගමුව

ජීවිතේ අත්දැකීමට තියෙන අමිහිරිම, දරුණුම, වේදනාත්මක අත්දැකීම නම්, පට්ටපල් බොරු ඇත්ත ලෙස පිළිගැනීමට වටපිටාව හදන බොරුකරයින්ගේ මුහුණු දැකීමට සහ ඔවුන්ව කියවීමට සිදු වීමයි. මේ වනවිට වැලිවෙරියෙදී රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සිදුකළ මිනිස් ඝාතනය ගැන විවිධ කථා පැතිරයමින් තිබේ. පුදුම විය යුතු නැත. ඒ රාජපක්ෂගේ හැටිය. යමක් කොට එහි සාක්ෂි මකා දැමීම රාජපක්ෂලා, පරම්පරාවෙන්ම උරුමකරගත් සහජ ගතියකි. එම සහජ ගතිය නොමැතිනම්, අද රාජපක්ෂ කෙනෙකු ලෙස නම් කරගත් මිනීමරුවෙක් රට පාලනය කරන්නේ නැත.

මෙය උහුලාගත නොහැකි අපරාධයකි. රටේ සියල්ල තම බුදලයක් කොට ගනිමින්, සියල්ල මර්ධනය කිරීම සඳහා හූනියන් යන්ත්‍රය පෙරට දමමින්, චන්ඩිකම අවිය  කරගනිමින් රටේ නායකයා සිදුකරමින් සිටින නිර්ලජ්ජිත මර්ධනය කිසිඳු බධාවකින් තොරව ගෙන යාමට හැකියාව ලැබී ඇත්තේ ඒ වටා එක්  වී සිටින "අවස්ථාවාදීන්ගේ" ආශිර්වාදය නිසාය.  වැලිවේරීයේ බීමට ජලපොඳක් ඉල්ලු අයගේ ඔලු ගෙඩි පුපුරා යනතෙක් පහරදුන්නේ එම මෙගලමේනියානුවන්ය. එක අතකින් මෙවැනි මර්ධනීය වැඩපිළිවෙල් වලින් හැර නීරස සත්‍ය තේරුම් ගැනීමට අපි අසමත් වීමු. තේරුම් ගත්තද එය එක්කෝ එවැනිම ආකාරයේ දේශපාලන වාසි  ගන්නෙකුට පාවා දෙන්නෙමු, නැතහොත් එය ටික කලකින් අමතක කර දමන්නෙමු. මෙය අපි කුඩා අවධියේ සිටම බොරු ඉතිහාසයක් ගැන, බොරු ජාතික ප්‍රෞඩත්වයක් ගැන; බොරු හැකියාවක් ගැන උදම් ඇනීමට මිස අපේ අත්වැරදීම් වලින් ඉගෙන ගැනීමට සහ අනෙකාගේ අයිතිය රැකීමෙන් තම අයිතියද සුරැකෙන බව ඉගැන්වීම අමතක කිරීමේ විපාකයයි. අපරාධකාරයා වීරයකු කරන්නත්, වීරයා අපරාධකාරයකු කරන්නත්; කිසිඳු නීතිමය රාමුවකට යටත් නොවන , කිසිඳු උසාවියක් ඉදිරියට ගෙන යා නොහැකි පුදගලයෙකුට එක නිමේශයකින් හැකිය.

වර්තමාන රාජපක්ෂ පාලනය වූ කලී වෙන කිසිවක් නොව, අවස්ථාවාදීන් විසින් අවස්ථාවාදීන් රැසක් පිරිවරාගෙන, පිටට මවාගත් වීරත්වයකින් ඇත්ත සඟවා තබාගෙන හොරකමේ යෙදෙන කොල්ල කල්ලික් විසින් සිදුකරන මංකොල්ලකෑමකි . මොවුන්ට මිනිස් ජීවිත කිසිඳු වැදගැම්මකට නැත; මොවුන් ස්වභාවික ශාපයකින් චුත වෙන තෙක් මොවුන්ගේ පය තබන තබන තැන මිනිස් රුහිරයම ඇවිස්සෙ. මිනිස් අසමගියම ඇතිවේ. සමාජ භ්‍රාන්තියම ඇති වී, මානසික ව්‍යාධීන් පිරිසක් බවට ඔවුන් වටා එක්වන අයවලුන්ද පත් වේ. මොවුන්ට මිනිස් ජීවිත බිලිගැනීම වූකලී සාමන්‍ය  සිදුවීමක් පමණි. සියලු සත්‍ය ඔවුන්ගේ සතුරෝය, නිර්මාණය කරනු ලැබූ පට්ටපල් බොරු ඔවුන්ගේ ගැලවුම් කාරයාය.

බීමට ජල පොඳක් ලබාගැනීම වෙනුවෙන් අරගල  කළ ජනතාවට රාජපක්ෂ විසින් කළ  මහා අපරාධය වූකලී වෙන කිසිඳු අමුතු දෙයක් නොව ඔවුන් මුල සිටම සිදුකල වැඩපිළිවෙලේ තවත් එක් දරුණු අපරාධයක් පමණි.  යුද්ධයෙන් පසු සිරමැදිරි වලදීත්, කටුනායක නිදහස් වෙළඳ කලාපයේදීත්, හලවතදී ධීවරයින්ට එරෙහිවත් රාජපක්ෂ මේ ආකාරයෙන්ම අපරාධ සිදුකරනු ලැබීය. ඒවායේදී මියගිය ගණන අවම වුවද , වැලිකඩදී සිදුකළ සිරකරුවන් ඝාතනය වැලිවේරියේ සිදුවීමටත් වඩා බරපතල විය. ඒ කිසිවකට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූයේද? එම සිදුකල මිනීමැරීම්  වෙනුවෙන් ඊට අණදුන් එක මිනිහෙක් ලංකාවේ උසාවියක් ඉදිරියට ගෙන ආවේද? ඒ වෙනුවට මෙම කෛරාටක නායකයා සිදුකරනු ලැබුවේ කෞතුකාගාරයේ සොරකමට සම්බන්ධ යයි  සැක කරමින් කන් ගැට්ටා නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය. රාජපක්ෂ පවතින සැබෑ කාරණය යට ගසා වෙනත් කාරණයක් ඒ මතට ගැනීම සඳහා අතිශය දක්ෂයෙකි. ගැටලුව, මෙතරම් රැවටිලිවලට අසුවෙන ජාතියක් ලෝකයේ  කොහේවත් ඔබ දැක තිබේද?

කෙසේවෙතත්, මෙහි අවුල ඇත්තේ රැවටිලිවලට අසුවීමේ ප්‍රවණතාවය  මත නොවේ. මන්ද එය  ක්‍රමිකව ඇති කොට තිබෙන දේශපාලන ක්‍රමෝපායකි. එය සිදුකොට ඇත්තේ පූර්ණ විඥ්ඥාන විනාශය මඟිනි. එනම් රැවටිලිවලට හසුවීම වූකලී අවබෝධයකි, එම අවබෝධය ඇතිවන්නේ මතකයත් සමඟය. මිනිස් මනස, සංරක්ෂණය කරගත් වාර්තා වලින් ඉවත්කළ පසු ඊට හිමි මතකයට ඇති කාල සීමාව අවම කළ හැකිය. රාජපක්ෂ සේම මීට පෙර සිටි මිනීමරු නායකයින්ද; අපරාධ වලට හිමි සාක්ෂි සහ මතකයන් විනාශ කිරීම මඟින් සිදු කළේ එයයි. එවැනි දෑ යලි මතුවන්නේ මාතලේ සමූහ මිනීවල හමු වූ ආකාරයේ අහඹු සිදුවීම් ඔස්සේය. පරම්පරා ගණනාවක් තිස්සේ ජාතියට සිදුකොට ඇති බරපතලම අපරාධය වන්නේ මෙයයි. මෙවැනි දෑ සිදු නොවුයේනම් වැලිවේරියේ ජනතාව පාරට බැස  බීමට ඇති ජලය වෙනුවෙන් කෑගසන විට ඊට මොන අණක් ලැබුණත්  නිරායුධ අහිංසක  මිනිසුන් මරාදැමීමට සැබෑ ජීවිතය සමඟ ගැටෙන අයවලුන්ට සිතෙන්නේ නැත.

අවශ්‍ය වී ඇත්තේ කුමක්ද? ප්‍රදේශයේ සිටින සාමාන්‍ය වැසියන් හෝ එක්ව අදාළ සිදුවීමෙන් මියගිය අයවලුන් වෙනුවෙන් දැවැන්ත සමාරක ඉදිකිරීමයි. ඔවුන් වෙනුවෙන් ලිවීමයි. ඔවුන් ගැන ලියා ගම්  නියම්ගම් පුරා බෙදා හැරීමයි. ඔවුන් ගැන ලිවීමට තරුණි/ තරුණයින් මෙන්ම  පාසල් සිසුන් යොමු කරවීමයි. සිදුවීම කෙරෙහි චිත්තවේගාත්මක ප්‍රතික්‍රියා වෙනුවෙට ආකල්පමය වශයෙන් වෙනස් වීමයි. මියගියවුන්ගේ මතකය අතුගා දැමීමට ඉඩ නොතබා, ඔවුන් ජනතාවගේ වීරයන් බවට පත් කිරීමයි. එනම් පාසල් යමින් සිටි ශිෂ්‍යාගේ  සිට තම දරුවාගේ බඩේ අමාරුවට දෙහි ගෙඩියක් ගෙන ඒමට පාරට ගිය පාපයට මැරුම් කෑ  අහිංසක මනිසා දක්වා  අයවලුන්  වීරයින් ලෙස සලකා ඔවුන් තම මතකයේ රඳවා ගැනීමයි. ඔවුන් දිවීපිදුවේ හෙට දවසේ අප විසින් බීමට ගන්නා ජලබිඳ වෙනුවෙනි. මහා දැවැන්ත සමාජ ව්‍යපාර, එනම් අන්තවාදයෙන්, ආත්මාර්ථකාමී  දේශපාලන න්‍යායපත්‍ර වලින් තොර සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාර හටගැනීමේ මූලික පදනම වන්නේ එයයි. පිටකොන්ද කැඩී  ඇති ජාතීන්වලට පණ ලැබෙන්නේ එවැනි අවබෝධයන් ඔස්සේය;  සිදුපිරුවට සිටිමින් අහිංසකයින්ගේ ලේ උරාබොන ක්‍රෑර මංකොල්ලකාරී පාලකයා ස්වභාවික නෂ්ඨ වීම් ලක්වන්නේද එවිටය. මෙවැනි සිදු වීම් වලින් අවබෝධවන මුලික කාරණය වූ කලි ඔබට වීරයින් ලෙස පිළිගැනීමට බලකරනු ලැබූ අයවලුන් වීරයින් නොව සැබෑ වීරයින් එම මෙගලමේනියානුවන්ගේ වෙඩිපහරින් මියගිය නිරායුධ මිනිසුන් බවය. එය සැබෑ විමුක්තියේ මූලාරම්භය වේ.

කතුවැකිය: රාජපක්ෂගේ "චාවේස්‌ ආදරය"

| නිලන්ත ඉලංගමුව

අපේ ප්‍රවේශයේ ඇති රහස කුමක්ද? එය පිහිටුවා ඇත්තේ මානව ශක්තිය මුදල් හම්බ කිරීමට වඩා දෙයක් මුදුන් පත් කර ගැනීමට හැකියි යන කාරණය මත. මානව ශක්තිය හුදෙක් දැනුම කෙරෙහි පමණක් නොව දේශපාලන සිහිනුවන, ආචාරධර්ම, එක්සත්කමේ සංවේදී භාවය,  මානව හැඟීම්, කැපකිරීමේ ජීව ගුණය,  වීරත්වය මෙන්ම ඉතා අඩු පහසුකම් යටතේ විශාල දෙයක් කිරීමේ හැකියාව කෙරෙහිද බිහි වූවක්.  - ෆිදෙල් කස්ත්‍රෝ ( 2005 දී ලතින් ඇමරිකානු වෛද්‍ය විද්‍යාලයේ පැවති ප්‍රථම උපාධි ප්‍රධානෝත්සවයෙදී)

අවුල කොතනින් ලිහන්නේද? කවුරුන් ලිහන්නේද යන්න රාජපක්ෂට ඇති දැවෙන ප්‍රශ්නය වේ. රාජපක්ෂ විසින් කාලාන්තරයක් තිස්සේ කරමින් සිටි රැවටිලිකාර දේශපාලනය තවදුරටත් භූමිය තුළ වලංගු නැති බව තේරුම් ගනිමින් සිටින සැටියෙකි. එසේම මේ දකවා භාවිතා කළ ඉත්තන්ගේ හැසිරීම ඛේදනීය විහිළුවක් බවට පත් වෙමින් තිබේ. රටේ සාමානය ජනතාවටද රාජපක්ෂ අවුරු ගණනාවක් කියවන ජාතික සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ  මේ වන විට තවත් කදිම විහිළුවක් වී තිබේ.

මීට වසර දෙකකට පමණ පෙර මා විසින් සඳහන් කළ  ආකාරයටම අදත් කිව හැක්කේ කෙදිනක හෝ රාජපක්ෂ තමන්ගේ බලය රැක  ගැනීම සඳහා මහජනයා ඉදිරියේ විලාප නගමින් හඬනු ඇත. ඒ වූ කලී වෙන කිසිවක් නොව එනම් රාජපක්ෂගේ කෛරාටක දේශපාලන භාවිතය එය වේ. ඔහු එවැනි කෛරාටක බොරු කාරයෙකි. ඔහු කෙසේ හෝ අනුකම්පාව ලබා ගනිමින් තම පුද්ගලික සුඛ විහරණය සොයන විනාශකාරී හිතුවක්කාර පුත්‍රයෙකි. රාජ්‍යක් සහ එහි ක්‍රමයක් අරාජිකවාදයේ  ( මෙය ඇනාකිසම්  නමැති ගැඹුරු දේශපාලන සංකල්පය ලෙස සිතා පටලවා නොගත යුතු මුලික කාරණයකි) විනාශකාරී දිශාවේ  අන්තගත වී සිටින්නෙකුට පවත්වා ගැනීමට හෝ නඩත්තු කිරීමට නොහැකිය. මන්ද ඔහු රාජ්‍යට මෙන්ම එහි සංස්ථාවන්ට ඇති අධික බිය හෙයින් සෑම විටම එය සතුරෙකු ලෙස දකින්නේය.  රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම විනාශ කළේ මීට වසර කිහිපයකට පෙර වන හෙයින් රාජ්‍යක් ගැන ඔහුගේ හැඟීම් ගැන කවර කථාද.

අගවිනිසුරු වරියට එරෙහි ඔහුගේ (අ)මානුෂීය මෙහෙයුම වූ කලී ඇයට  එරෙහි පුද්ගලික ගැටලුවක් නොව සමස්ත ක්‍රියාදාමයම කාමුක බල ලොභියෙකුගේ ගොදුරක් වීමේ පියවරක් ලෙස බහුතරයක් තේරුම් ගැනීම සහ ඔවුහු ඒ වෙනුවෙන් අවංකව පෙනී සිටීම කදිම සමාජීය පරිණාමයක්  වන අතර එය දුෂීත දේශපාලනයෙන් මුක්ත කොට තබා කටයුතු කිරීමද අග්‍රගන්‍ය වේ. අගවිනිසුරුවරියද මෙය අඛණ්ඩව පැහැදිලි කිරීම ප්‍රඥාවන්තය. ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට මෙරට ගැටලු විසඳීමේ කිසිඳු වුවමනාවක් නැති බවත් ඔවුහු සියල්ලම පරපෝෂිතයින් බවත් ජනතාවගේ දෛනික අත්දැකීම වේ.  එහි දෛවෝපගත ගොදුරක් බවට පත් වූයේ ජනරාල් සරත් ෆොන්සේකාය. මේ නිසා රාජ්‍ය නමැති රාමුවට ගරු කරමින් එය සම්බන්ධ කරන මුලික අංගයන් ශක්තිමත් කිරීම සහ ඒවාට හිමි ස්වාධීන බලය ශක්තිමත් කිරීම ගැන විස්වාශ කරන සියල්ලගෙන්ම සිදු විය යුත්තේ එහි මුලික හරයන් ජනතාවට ක්‍රමානුකූලව අවබෝධකර ගැනීමට අවැසි වටපිටාව නිර්මාණය කිරීමය.

අප, අප වැනිම තවත් මිනිසෙකුට බලය ලබා දී ඔහු අප රවටා දුෂ්ඨත්වය මුලික කරගනිමින් මර්ධනය ගෙන ගොස් ක්‍රෑර පාලකයකු වන්නේ නම්, අප ඔහුට ලබාදුන් බලය ආපසු ගැනීමේ කිසිඳු වරදක් නැත. එය අපට ගැනීමට හැකි බව අවබෝධ කරගැනීම සහ ඒ සඳහා අපට  මුලික අයිතියක් ඇති බව  විස්වාශ කිරීම  මෙහිදී වැදගත් වේ. මෙම මුලිකාංගය ඕනෑම පාලකයෙකු ජනතා අභිමතාර්තයන්ගෙන් අපගමනය වූ විට වසා දැමීම සඳහා යන්ත දරයි. එය ඔහු සිදු කරනු ලබන්නේ; වර්තමානය නැති වුවහොත් කිසිඳු විකල්පයක් නැති බව සිතීමට පුරුදු කිරීමෙනි. එය පාලකයාගේ අභිමතාර්ථය අනුව සකස් කරන රාමුවක් වන අතර එහිදී පාලකයා සියලු දෙනා අභිබවා සිටින යම්  විශේෂයකු ලෙස අර්ථ ගන්වනු ලබයි. රාජපක්ෂ 60 රියන් බැනර් ගසමින්, සහ තමන්ගේ  ආවතේවකරුවන් යොදා සිදුකරනු ලැබූ නොයෙක් මාදිලියේ ප්‍රචාරණ ව්‍යාපෘතියේ සැබෑ න්‍යාය පත්‍රය වූයේ එයයි. එය කිසිඳු වැදගැම්මකට නැති මිත්‍යාවකි. එය මිනිහෙක් මැරුණු පසු ලෝකයම විනාශ වේ යයි විස්වාශ කිරීම හා සමානය. එවැනි දෑ සංස්කෘතයේ අඩංගු වූයේ මිනිසා ගෝත්‍ර අවධියටත් පෙර සිටි කාලයේදීය. නමුත් මේ වන විට නරියෙකු පාට වෙනස් කළ  පමණින් සිංහයෙකු නොවන බව තේරුම් ගැනීමට කිසිවෙකුට එතරම් කාලයක් ගත වන්නේ නැත. රාජපක්ෂ මෙන්ම රාජපක්ෂ වටා සිටින සියලුම දෙනා සමස්තයක් වශයෙන් සියලු දේශපාලනඥයින් වූ කලී ජනතාවගේ නිර්මාණයක් වන අතර ඔවුහු පාලනයට නුසුදුසුනම් මුලිනුපුටා දැමීමද ජනතාවට පැවරී ඇති යුතු කමකි. නමුත් ඔවුන් තමන්ගේ රූකඩ මාධ්‍ය හරහා වපුරා ඇති මිත්‍යාව මඟින් සාමාජ භීතිකාව ගොඩ නගා ඇත. එය සාමාන්‍ය ජනතාවගේ නිදහස මෙන්ම අවශ්‍යතාවයන් මර්ධනයට ලක් කරමින් ඔවුන්ට අසීමිත නිදහසක් ලබා දී ඇත. සමාජ ක්‍රමයක් ගොඩ නගාගත් සියලු රටවල් මෙම මිත්‍යාවට පයින් ගැසුවෝ වෙති.

 තමන්ගේ රටේ සෞඛ්‍ය සේවය විනාශ කොට දමා, ඩෙංගු උවදුර නැති කිරීමට නොහැකි රාජපක්ෂ වෙනුසියුලාවේ ජනාධිපතිවරයාගේ පිළිකාව සුව කිරීමට වෛද්‍යවරු යැවීමට හැකි යයි ලොකු කතා කියන්නේ එහෙයිනි. චාවේස් තම පිළිකාව සඳහා ප්‍රතිකාර ගමින් සිටින්නේ ලෝකයේ ඇති හොඳම වෛද්‍ය පහසුකම් සහ හැකියාවන් ඇති රට වන කියුබාවෙනි. වෛද්‍යවරුන්ගේ වටනාකම තබා නීතිඥ විභාගෙට පෙනී සිටින නීති ශිෂයන්ගේවත් වටිනාකම් නොදන්නා, විශ්ව විද්‍යාල තබා  5 වසරේ ශිෂ්‍යත්ව විභාගයවත්  බොරුවක් නැතිව කිරීමට නොහැකි පාලකයෙකු ගෝලීය දේශපාලනයේ අතිශය වැදගත් මෙන්ම ආකර්ශනීය මැදිහත් වීමක් කළ නායකයෙකුට වෛද්‍යවරයෙකු ලබාදීමට කැමති යැයි  කීම තුළ  ඇති මානසිකත්වය තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නැත. බැලූ බැල්මට  චාවේස්  තමන්ගේ හූනියම් යන්තරේ ලෝකේ වටේ රැගෙන යමින් ඉන් තම සතුරා මෙන්ම  මිතුරා වශී කරගැනීමට හැකි යයි සිතන   සිංහල අන්තවාදී හින්දු අමන බමුණෙකු නොවේ.  එය එසේ වූයේ නම් තමන්ගේ ශුක්‍රාණු අනුන්ගේ බිරින්දෑවරුන්ට රහසිගතව දමා තමා දෙවියන්  දුන් වරමකින් දරුවන් ලබා දෙනවා යයි කියමින්ම මහජනතාවගේ මුදල් මංකොල්ල කෑ හොරුන් සිටින අරලියගමන්දීරයේ මෙන්, වෙනුසියුලාවේ කරාකස් හී උර්දනේටා පටුමගේ පිහිටි මිරෆොලොස් මන්දීරයේද හොර දොස්තරලාගෙන්, හොර කට්ටඩියන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. එවැනි මිත්‍යාවන් වලින් මහජන බදු මුදල් විනාශ කිරීමේ උමතුවක් ලතින් ඇමෙරිකාවේ බොහෝ නායකයින්ට නැත.  රාජපක්ෂගේ කිසිඳු වැදගත් කමකට නැති ඇමෙරිකානු විරෝධය ලතින් ඇමෙරිකාව ආකර්ශනය කරාවී යයි කිව හැක්කේ රාජපක්ෂ විසින් පත් කොට ඇති රජවාසල කවටයින්ට මිස මහපොළවේ පය ගසා සිටින මිනිසුන්ට නොවේ.
 
රටේ ගොඩ නැගෙමින් පවතින දේශපාලන ප්‍රවණතාවය උගන්වමින් තිබෙන පාඩම වන්නේ;  වරක් ඒබ්‍රහම් ලින්කන් කියූ ආකාරයෙන්; හැම මිනිසෙකුම සමහර වෙලාවට ඔබට මෝඩයින් කළ හැකිය. එසේම ඔබට ඇතැම් මිනිසුන් සෑම විටම මෝඩයින් කළ හැකිය. නමුත් ඔබට හැම මිනිහෙක්ම හැම විටම මෝඩයෙක් කළ නොහැකිය, යන්නයි.  රාජපක්ෂ,  චාවෙස්‌ගේ පිළිකාව සුව කරනු වෙනුවට, රාජපක්ෂට ඔහුගේ දේශපාලන පිළිකාවට අවැසි වෛද්‍යවරු සෙවීමට ළඟදීම සිදු වනු ඇත. අහිංසක මිනිසුන්ගේ සුනාමි අරමුදල් හොරකම් කිරීමේ සිට රාජ්‍ය ප්‍රතිපත්ති යයි කියමින් තම පුද්ගලික සුඛ විහරණ ඉලක්ක කරගත් නරුමවාදිගේ නරුම ගති  එවිට නිරුවත් වනු ඇත.  එවිට චාවේස් නොව චේස් අවේ (chase away) වනු ඇත.

මේකා මොකෙක්ද? මංකොල්ලකාරයෙක්

රාජපක්ෂ මොන නායකයෙක්ද ? මේ බාපොච්චා මුග්ධ, කැත පාලකයෙක්…ඇත්ත කතාව කියවමු.

කාගෙත් තාත්තා යැයි පවසන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් තමන්ගෙ පුත්තුන්ට පමණක් රුපියල් කෝටි ගණනින් වියදම් කරමින් තාත්තා වී , රටේ දරුවන්ට බාප්පෙකු වී ඇති බවත් අයවැය රහස් පුත්තුන්ට දුන් නිසා පුත්තු අයවැය ගේන්නත් කලින් රේසිං කාර් 19 ක් ඕඩර් කළා. ලැම්බෝගිනි රේසින් කාර් 02යි, පෝෂේ රේසින් කාර් 1යි, ඉටියෝස් රේසින් කාර් 13යි, ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඞ් සහ හොන්ඩා සිවික් එක් රථය බැගින්.

නායකයාගේ කැත කම : අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් අනිසි ලෙස පාවිච්චි කරමින් උගේ පැටවුන්ට
 දෙන ආතල් එක ඇතුලේ ජනතාව ගැන සිතන ආකාරය මනාව පෙන්වන දැන්වීම
වටිනාකම ලක්ෂ 933 යි, පුත්තුන්ට බදු නිදහස ලක්ෂ 2000 යි.  මොන නායකයෙක්ද මේ? යනුවෙන්ද  ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක  අද පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී ප්‍රකාශ කෙළේය ය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර මන්ත‍්‍රීවරයා…

 2013 කියන්නේ රාජපක්ෂ පාලනයේ 8වෙනි අවුරුද්ද ආරම්භ කරන වර්ෂයයි. පොදු පෙරමුණු ආණ්ඩුව ලෙස ගත්තොත් මේ වනවිට අවුරුදු දෙකක් ඇරෙන්නට වසර 16ක් තිස්සේ රට පාලනය කොට තිබෙනවා. එනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදු පෙරමුණේ අවුරුදු 16ක පාලනයේත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 08ක පාලනයේත් ආර්ථික ප‍්‍රතිලාභ තමයි මේ ජනතාවට ලැබෙමින් තිබෙන්නේ.

ඕනෑම ආණ්ඩුවක් වසර 07ක් තිසේසේ රටක් පාලනය කරලා 08 වෙනි අයැවය ඉදිරිපත් කරන විට එම අයවැයෙන් සුභවාදී ආර්ථික ප‍්‍රතිඵලයක් ජනතාවට ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 07ක පාලනය තුළ අපේ රට බරපතල ආර්ථික අගාධයකට රට ඇදලා දමලා තිබෙනවා. මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම කියා තිබෙනවා අපේ රටේ ආර්ථිකය අර්බුදයට ණය ගැනීම සහ විශාල ලෙස මුදල් අච්චු ගැසීම හැර වෙන පිළියමක් නැති බව. ආණ්ඩුව 2013 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම වන්නේ රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් හාරසියයක්. ඒ වගේම ආණ්ඩුව ණය ගැනීමට අපේක්ෂා කරනවා රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දහස් තුන්සියයක්. ඒ වගේම සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අපේක්ෂා කරන ආදායම සම්පූර්ණයෙන්ම උපයා ගැනීමේ අපහසුවක් තිබෙනවා. අපේක්ෂිත ආදායම 10%ක අව ප‍්‍රමාණයක් සහිතව තමයි ලැබෙන්නේ. එහෙම ගත්තාම ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම ලබාගන්න බලාපොරොත්තුවන ණය ප‍්‍රමාණයට සමාන වෙනවා. වෙනත් ආකාරයකින් කියනවානම් ආණ්ඩුව මාස 06ක් තමන් ලබන ආදායමෙන් ආර්ථිකය ගෙනයන විට අනෙක් මාස 06 ගත කරන්නේ ලබාගන්නා ණය මතයි. අපේ රටේ ආර්ථිකය මෙවැනි අසීරු අඩියකට ගෙනත් තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය අවුරුදු 07ක් ඇවෑමෙන් අපේ රට ගෙනල්ලා තිබෙන්නේ එතනටයි.

පසුගිය දවසක පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස්වරිය කියා තිබුණා අපේ රටේ දැඩි ආර්ථික අපහසුතාවය හා පෝෂණ ඌණතාවය නිසා ශ‍්‍රී ලංකාවේ 40,000කට ආසන්න දරු පිරිසකගේ අධ්‍යාපනය මුළුමනින්ම අඩාලවී ඇති බව. එතනටයි මහින්ද රාජපක්ෂ අපේ රට ගෙනත් තිබෙන්නේ. ඒ වගේම පසුගිය 11වෙනි දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලූම අමාත්‍යාංශවල ලේකම්වරන් කැඳවා රැුස්වීමක් පවත්වා තිබෙනවා. එහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප් නොවන පුනරාවර්තන වියදම් සියල්ල කපා හරින්න කියලා. ඔහු පවසා තිබෙන්නේ ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයකට පත්වී සිටින බවයි. අතිකාල, බටා සහ ඉන්ධන දීමනා සියල්ල කපාහරින ලෙස උපදෙස් දී තිබෙනවා. ඇත්තම ගත්තොත් රාජ්‍ය සේවකයින් තමන් ලබාගත් ණය ආදියට වාරික මුදල් කැපීමෙන් මූලික වැටුපෙන් අතට ලැබෙන්නේ ඉතාම සුළු මුදලක්. ඔවුන් ජීවිතය ගැටගහගන්නේ තමන්ට ලැබෙන දීමනා මුදල්වලින්. ඉතිං පී.බී.ජයසුන්දර කියනවා එම දීමනා සියල්ල කපා දාන්න කියලා. මේ ආණ්ඩුව රටේ ජනතාව ආර්ථික වශයෙන් ඉතාමක් අසීරු අඩියකට ඇද දමලා තිබෙන්නේ. ඒ ආර්ථික අමාරුකම් අස්සේ තමයි ආණ්ඩුව පෙට‍්‍රල් ගාස්තු ඉහල දමන්නේ.

ආණ්ඩුව පසුගිය මසක පමණ කාලය තුළ ගෙනා පෙට‍්‍රල් ප‍්‍රමාණයන්ගේ එකතුවේ සාමාන්‍ය අගය ගණනය කළ පසුව පෙට‍්‍රල් ලීටරයක සාමාන්‍ය මිල වන්නේ රු.89ක් පමණයි. වරායට ගොඩබාන ලද පෙට‍්‍රල් ලීටරයක මිල රු.89යි. නමුත් අපේ ගමේ ෂෙඞ් එකේ පෙට‍්‍රල් ලීටරයක මිල රු.159ක් වෙනවා මේ මිල වැඩි කිරීමත් සමග. මැදපෙරදිග තෙල් නැවක පටවලා, දින ගණනාවක් මුහුදේ නැව යාත‍්‍රා කරලා, කොළඹ වරායටත් ආවට පස්සේ ලීටරයක මිල රු.89ක් වන විට කොළඹ සිට අපේ ගමේ ෂෙඞ් එකට එනවිට තවත් රු.70ක් ආණ්ඩුව පෙට‍්‍රල් ලීටරයකට අයකරනවා. පෙට‍්‍රල්වලට බදුගැසීම ආණ්ඩුවේ එකම ආදායම බවට පත්වෙලා.
වරාය හා ගුවන් සේවා බද්ධ 5%යි. වරාය ගාස්තු ලෙස 2.79%ක් අය කරනවා. එවිට රු.89ක් වන පෙට‍්‍රල් ලීටරයක් රු.95.91ක් වෙනවා. ඉන්පසු ආණ්ඩුව මෙයට අමතර බද්ධක් ලෙස රු.25ක් බද්ධක්් අය කරනවා. පෙට‍්‍රල් සංස්ථාවෙන් සේවා ගාස්තු ලෙස රු.1.50ක් අය කරනවා. පෙට‍්‍රල් ෂෙඞ් හිමියාගේ ලාභය රු.1.25ක් වෙනවා. මේ බදුත්, ලාභත්, සේවා ගාස්තුත් සියල්ල එකතු කළාම පෙට‍්‍රල් ලීටරයක වටිනාකම රු.129ක් පමණයි. එම පෙට‍්‍රල් ලීටරයෙන් තෙල් සංස්ථාව තවත් රු.30ක ලාභයක් අයකර ගන්නවා. එනම් තෙල් සංස්ථාව විසින් පෙට‍්‍රල් ලීටරයකින් රු.60කට ආසන්න ප‍්‍රමාණයක සොරාකෑමක් සිදුකරනවා. ඔබ විසින් යතුරු පැදියට පෙට‍්‍රල් ලීටර් දෙකක් පිරවූ විට එයින් ආණ්ඩුවට රු.120ක බද්දක් ගෙවනවා. ආණ්ඩුව ජනතාවගේ දෛනික අවශ්‍යතාවලට එදිනෙදා බදු ගසමින් මේ විදියට මුදල් එකතු කරනවා.
ආසන්න වශයෙන් මසකට පෙට‍්‍රල් ලීටර් මිලියන 80ක් පමණ විකිණෙනවා. මිලියන 80 හැටෙන් වැඩි කළොත් ආණ්ඩුව පෙට‍්‍රල් වලින් පමණක් මසකට මිලියන 4800ක ලාභයක් ලබනවා. ආණ්ඩුව අවුරුද්දකට මිලියන 56,600ක් ලාභ ලබනවා. පෙට‍්‍රල් ජනතාවගේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් වෙනවා වෙනුවට ආණ්ඩුවේ ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වෙලා. අපේ රටේ සාමාන්‍යයෙන් ජීවත් වන පවුල් ගණන මිලියන 05යි. අපේ රටේ හැම පවුලක්ම අවුරුද්දකට පෙට‍්‍රල් වෙනුවෙන් රුපියල් 11000ක බදු මුදලක් ගෙවලා තිබෙනවා. මසකට පවුලක් ආසන්න වශයෙන් පෙට‍්‍රල් වෙනුවෙන් පමණක් රු.1000කට ආසන්න බද්දක් ගෙවනවා.

ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත කියනවා, පෙට‍්‍රල්වලට බදු ගැසීමට සිදුවනනේ විදුලි බල මණ්ඩලයට ලබාදෙන තෙල් නිසා විශාල පාඩුවක් තෙල් සංස්ථාවට සිදුවන නිසා කියලා. ලංකාවේ තෙල් බෙදාහැරීමේ එකාධිකාරයෙන් 1/3ක් අයි. ඕ.සී.ය සතුව තිබෙනවා. නමුත් අයි. ඕ.සී සමාගම විදුලි බල මණ්ඩලයට තෙල් ලබාදෙන්නේ නැහැ. එමනිසාම අයි. ඕ.සී. සමාගම විශාල ලාභයක් ලබනවා. 13 ගැන කතා කරන මහත්වරුන්ගෙන්, ඉන්දීය ආර්ථික ව්‍යාප්තවාදය ගැන බෙරිහන් දෙන මහත්වරුන්ගෙන් අපි අහනවා ආණ්ඩුව හැම පෙට‍්‍රල් ලීටරයකින්ම රු.30ක ලාභයක් ඉන්දීය සමාගමට ගෙවනවා කියලා. ඉන්දීය සමාගම රටේ මුදල් ඩොලර් ලෙස එලියට ගෙනයනවා. අනිවාර්යෙන්ම අයි. ඕ.සී. සමාගම මෙම තීන්දු ගන්න අයට කොමිස් දෙනවා.

තෙල් මිල මේ ආකාරයෙන් වැඩි වී තිබියදී ආණ්ඩුවේ ප‍්‍රධාන කරුණ බවට පත්වී තිබෙන්නේ මොකක්ද? ආණ්ඩුව කරන්නේ මුළු කොළඹම වහලා කාර් රේස් පදින එකයි. උසස් පෙළ සමතුන් ලක්ෂ 20ක් ඉන්නවා අපේ රටේ. ඔවුන් රැුකියා විරහිතභාවයෙන් පෙළෙනවා. ගොවි අම්මා තාත්තගේ දරුවන් වගා කරන්න ඉඩමක් නැතිව ඉන්නවා. විශාල හැකියාවන් තිබෙන දූ පුතුන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදලක් නැතිව කාලය ගතකරනවා. මේ ආකාරයෙන් අපේ රටේ තරුණ පරපුර රැකියා විරහිතභාවයෙන් හිරකොට තිබෙනවා. ආණ්ඩුව විශාල ලෙස මුදල් වියදම් කරමින් රේස් පදිනවා. ආර්ථිකයට බලපාන කොළඹ නගරය මුළුමනින්ම වසා දමමින් රෙස් පදින ආණ්ඩුවක් මේක. එය විශාල ලෙස රටේ ආර්ථිකයට බලපානවා. සාමාන්‍යයෙන් ලෝකයේ රේස් සඳහා භාවිතා කරන්නේ වෙනම සකස් කර තිබෙන ධාවන පථ. නමුත් ලංකාවේ ආර්ථිකයට බලපාන නගරයක් වහලා කාර් රේස් පදිනවා.

2013 අයවැය කතාවේ කියනවා තරඟ සඳහා භාවිතා කරන විශේෂ වාහනවල නිෂ්පාදන බද්ද ඉවත් කරනවා කියලා. එහෙත් මෙම අයවැය ඉදිරිපත් කරන්නත් කලින් කාල්ටන් ක‍්‍රීඩා සමාජය විසින් රේසින් කාර් ඇණවුම් කරනවා. කාල්ටන් කියන්නේ මහින්ද රාජපක්ෂ පවුලේ බ‍්‍රෑන්ඞ් නේම් එකයි. ඒක රටේ කවුරුත් දන්නවා. මෙම ක‍්‍රීඩා සමාජය රාජපක්ෂ පුතුන්ගේ ක‍්‍රීඩා සමාජයයි. අයවැයෙන් බදු ඉවත් කරන බව මොවුන් කලින් දන්නවා. මුදල් ඇමති තාත්තා තමන්ගේ පුතුන්ට අයවැය රහස් හෙළිකරලා තිබෙනවා. මේකද ජනාධිපතිවරයාගේ හෘදසාක්ෂිය කියලා අපි අහනවා. ඔහු වැඩ කරන්නේ රටේ ව්‍යවස්ථාවට හෝ නීතියට අනුව නෙවෙයි. හෘදසාක්ෂියට අනුවයි. ඉතිං මේ හෘදසාක්ෂියට එකඟ දේවල්ද?

එම කාල්ටන් ක‍්‍රීඩා සමාජය විසින් රේසින් කාර් 19ක් ආනයනය කරනවා. ලැම්බෝගිනි රේසින් කාර් 02යි, පෝෂේ රේසින් කාර් 1යි, ඉටියෝස් රේසින් කාර් 13යි, ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඞ් සහ හොන්ඩා සිවික් එක් රථය බැගින්. මෙම කාර්වල වටිනාකම රුපියල් ලක්ෂ 933ක් වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් ලක්ෂ 08ක් රටින් එළියට යනවා. නිෂ්පාදන බද්ද ඉවත් කර තිබෙන නිසා රුපියල් ලක්ෂ 2000ක් බද්දෙන් නිදහස් වෙනවා. එම මුදල රටට අහිමි වෙලා තිබෙනවා. තමන්ගේ පුතුන් වෙනුවෙන් බදු සහනය ලක්ෂ 2000ක්. මොන නායකයෙක්ද මේ. මොන රටක්ද මේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු.2500කින් වැඩිකරන්න ආණ්ඩුවට මුදල් නැහැ. ගොවියන්ගේ, ධීවරයින්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන ආණ්ඩුවක්. අයවැය සහන දීලා තිබෙන්නේ තමන්ගේ පුතුන්ට.
නිෂ්පාදන බද්දට අමතරව අයකරනු ලබන වරාය හා ගුවන් සේවා බද්දත්, වරාය ගාස්තුත් එකතුව ගත්තාම රුපියල් ලක්ෂ 2022 පමණ වෙනවා. නමුත් එම බදුවලින් කිසිදු මුදලක් ගෙවලා නැහැ. කාල්ටන් ක‍්‍රීඩා සමාජය කන්ටේනර් 04ක් සඳහා ගෙවා ඇති මුළු මුදල් රු.2500ක් පමණයි. ඔවුන් රිංගා තිබෙන්නේ ”කානේ” කියන සංචාරකයින් සඳහා ලබාදෙන රේගු නීතියෙන්. එම ”කානේ” කියන නීතියට අනුව විදේශිකයෙක් ලංකාවට එනවිට තමන් පාවිච්චි කළ වාහනය ගෙන ඒමට පුළුවන්. ඒ සඳහා එම විදේශිකයා බැංකු තැන්පතුවක් ලෙස මුදල් තැන්පත් කළ යුතුයි. එය රේගුව විසින් අය කර ගන්නේ නැහැ. මාස 06ක කාලයක් ඇතුලත එම වාහනය නැවත මෙරටින් ගෙන නොගියොත් එම බැංකු තැන්පතුව රේගු ගාස්තු වශයෙන් අය කර ගන්නවා. එම නීතිය රිංගා තමයි මෙම රාජපක්ෂ පුතුන් රේසින් කාර් ආනයනය කරලා තිබෙන්නේ. මාස 06කින් පසුව කාල්ටන් සමාගම රේසින් කාර් කොහාටද ගෙනියන්නේ. රේගු අධ්‍යක්ෂවරයාට පුළුවන් ඒ සඳහා ලබාදෙන මාස 06ක කාලය දීර්ඝ කරන්න. මුදල් ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කරන්න පුළුවන්. ඉතිං කවුද මුදල් ඇමති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි.
පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් කියා තිබුණා නීතිය කාටත් එකයි. ලොකු පොඩි බේදයකින් තොරව හැමෝටම නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා. ඉන් දින කිහිපයකට පසුව ඔහුම කියනවා එන්.එස්.බී එකේ සභාපති වංචාකාරී කොටස් ගණුදෙනුවකින් අමාරුවේ වැටුණා. නමුත් එහෙන් මෙහෙන් දාලා අපේ මිනිහා බේරගත්තා කියලා. ජනාධිපතිවරයා එහෙමයි තමන්ගේ මිනිස්සු බේරගන්නේ. එහෙම ජනාධිපතිවරයා තමන්ගේ පුතාලා වෙනුවෙන් මොනවා නොකරයිද?
මෙහිදී පැන නගින ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. රාජපක්ෂ පුතුන්ගේ කාල්ටන් ක‍්‍රීඩා සමාජයට රේසින් කාර් ගන්න ලක්ෂ 933ක් ලැබුණේ කොහොමද? නාමල් රාජපක්ෂට ඒ තරම් මුදලක් කොහෙන්ද? ඔහු සාමාන්‍ය උසස් පෙළ සමත් දරුවෙක් පමණයි. එහෙම කෙනෙක්ට කොයින්ද මේතරම් මුදලක් ලැබුණේ. ඒ වගේම ගෙන එන ලද රේසින් කාර් සඳහා ලක්ෂ 2022ක කානේ නීතියට අනුව බැංකු තැන්පතුවක් තබන්නේ කොහොමද? මේ රහස් රටට හෙළි කළ යුතුයි. රේසින් කාර් තරඟාවලිය සඳහා ගාලූ පාර සම්පූර්ණයෙන් කාපට් කළා. ඒවාට මුදල් යෙදෙව්වේ කවුද? පාර දෙපැත්තට වැලි කොට්ට පමණක් ලක්ෂ 150ක් දාලා තිබෙනවා. මේවා රටේ සමස්ත ජනතාවගේ බදු මුදල් වලින් එකතු කරගන්නා සල්ලි. ගමේ දුප්පත් අම්මා තාත්තට ගහනවා පොළ බද්ද, ලොරි රථයකට වහලයක් ගැසූ විට රුපියල් 56000ක් ලියාපදිංචි ගාස්තු ගන්නවා. 2013 අයවැයෙන් තරුණ තරුණියන්ගේ විවාහලියාපදිංචි ගාස්තු රු.1000 සිට රු.5000ක් දක්වා වැඩිකරා. පරණ උප්පැන්න සහතිකයක් ලබාගන්න ගිය විට රුපියල් 2000ක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් ජනතාවට විශාල ලෙස බදු ගහලා හොයන මුදල් වියදම් කරමින් ඉන්නේ තමන්ගේ පුතාලට කාර් රේස් පදින්න.
මේ ආකාරයේ මුග්ධ, කැත පාලනයක් තමයි මහින්ද රාජපක්ෂ ගෙන යමින් තිබෙන්නේ. අපේ රටේ ඉතාම පහත් අඩියට වැටී තිබෙන ආර්ථික අර්බුදය තව තවත් තීව‍්‍ර කරන්නේ මේ ආණ්ඩුව ගෙන යන වැරදි ආර්ථික කි‍්‍රයාමාර්ග වලින්. මේ රටේ තරුණ පරපුර මේ ආණ්ඩුවට එරෙහි විය යුතු නැද්ද? තමන්ට රැුකියාවක් ලබාදෙන්න බැරි ආණ්ඩුවක්. තරුණයින්ගේ විවාහයෙන් බදුමුදල් එකතු කරන ආණ්ඩුවක්. මේවට එරෙහිව අරගල කළ යුතු නැද්ද? ජනාධිපතිවරයා කියා තිබෙනවා ඔහු මේ රටේ සියලූ දෙනාගේ තාත්තා කියලා. ඒක මහ මුසාවක් පමණයි. ඔහු ඔහුගේ පුතුන්ගේ සහ තෝරාගත් තවත් කිහිපදෙනෙකුගේ තාත්තා පමණයි. ඔහු අනෙක් සියල්ලගේම බාප්පා පමණයි. එනිසා මේ බොරු, රැවටිලිකාරී ප්‍රෝඩාවන් වහාම රටට හෙළි කළ යුතුයි.

 මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්….

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ආණ්ඩුවේ චණ්ඩියන් මෙන්ම ඊට එරෙහි දුෂ්ඨයෝද ඉන්නවා. මේ දෙගොල්ලෝම මහින්ද රාජපක්ෂගේ නැට්ටුවෝ පමණයි. මේ දෙපිරිසම නටමින් ඉන්නේ රාජපක්ෂ අනුමැතියෙන්. මෙය විකටකාරී රංගනයක් පමණයි. රටේ පැන නගින අනෙකුත් ප‍්‍රශ්න යටගහන්න ජනතාවට හප හපා ඉන්න ගෙනාපු දෙයක් පමණයි.

මේ පසුගිය ඉරිදා පුවත්වල පළවුණා බැසිල් රාජපක්ෂ කියා තිබුණා කියලා ඔහු මේ දෝෂාභියෝගය ගැන දන්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ කියනවා එයා ඒකට කැමති නෑ කියලා. මේක පුදුම වැඩක්. මේ ආණ්ඩුව අපේ එකක්ද? ඒ අය මේ ආණ්ඩුව ඇතුලේ සිද්ද වෙන දේවල් මොකුත් දන්නේ නැද්ද? මුල සිටම මහින්ද රාජපක්ෂ පවුල බේරාගැනීමේ ක‍්‍රමවේදයක් තමයි අනුගමනය කරමින් සිටියේ. ඒ නිසා බැසිල් රාජපක්ෂ ළඟට දෝෂාභියෝගය අත්සන් කරන්න ගෙනාවේ නැහැ. සාමාන්‍යයෙන් හොර කණ්ඩායමක නායකයා තමන්ගේ ගෝලයෝ ටික ආරක්ෂා කරනවා. පාතාල නායකයින් තමන්ගේ පාතාල සාමාජිකයින් රකිනවා. නමුත් මේ රාජපක්ෂ පවුලට පාතාල නායකයින්ට තිබෙන සම්ප‍්‍රදායවත් නැහැ. ඔවුන් තමන්ට උදව් කරන සියලූ දෙනාම පාවාදෙන ක‍්‍රමවේදයක් තමයි අනුගමනය කරමින් ඉන්නේ.

ජනතාව හිඟමනට දමමින් රජාගේ පැටවුන්ට ගෙනා රේසින් කාර් මෙන්න



ලක්ෂ 2000 ක් බදු මුදලක් රේගුවට වංචාව කරමින් රාජපක්ෂ පුතුන්ට ලක්ෂ 1000 ක රේසිං කාර්

කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (Carlton Motor Sports Club) ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස් කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවාය.

භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය. රේසින් කාර් බදු මුදලින් නිදහස් කළත් රේගුවට අනිවාර්යයෙන්ම  මෙම බදු මුදල ගෙවිය යුතුය. පසුගිය අය-වැයෙන් රේසිං කාර් ගෙන්වීමේදී ගෙවිය යුතු බදු මුදල ජනාධිපතිවරයා විසින් ඉවත් කළේය. ගෙන්වා ඇති රේසිං කාර් 19න් 13ක් සඳහා සේවා ගාස්තු මුදල් ලෙස රුපියල් 2,500/= ගෙවා දෙසැම්බර් 11 වැනි දින නිදහස් කොට ගෙන රැගෙන ගොස් ඇත.

ජපානයෙන් එන්ජින් ධාරිතාව 3900 යේ පෙට‍්‍රල් පොෂේ (Porsche - 3900 CC) රථයක්ද, මලයාසියාවෙන් එන්ජින් ධාරිතාව 3,500 යේ ඇස්ටන් මාර්ටින් රථයක් (Aston Martin -3500 CC), නිසාන් ෆෙයාලේඩි රථයක් (Nissan Fairlady -3500 CC) සහ හොන්ඩා සිවික් රථයක් (Honda Civic - 3500CC) ගෙන්වා ඇත. ලැම්බෝගිනි රථ දෙකක් (Lamborghini Callardo - 4961 CC) ගෙන්වා ඇත්තේ හොංකොං සහ මැකා ඕ රටවලිනි. ඉතිරි රථ 13ම ගෙන්වා ඇත්තේ ඉන්දියානු මෝටර් රථ (Toyota Kirloskar Motor Private Limited) සමාගමකිනි.

Badagini Lambogini

එම සියලුම රේසින් කාර් නවීනතම මෝටර් රථ වන අතර (Brand New Etios Motor Racing Car) එන්ජින් ධාරිතාව 1496 රථ 08ක්ද එන්ජින් ධාරිතාව 1197 රථ 05ක්ද ඊට ඇතුළත්ය.

කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.

පාවිච්චිකර ආපසු යැවීමේ පදනම මත (Car Net) මෙම වාහන ආනයනය කරනු ලැබ ඇත. මෙම නීතිමය හිඩැසෙන් රිංගා කාල්ටන් ස්පෝර්ට් ක්ලබ් ආයතනය කිසිදු බදු මුදලක් නොගෙවා රේසිං කාර් ගෙන්වුවද රේගු නිලධාරීන් පවසා සිටින්නේ ඒවා නැවත යැවීම පිළිබඳව ඇත්තේ ගැටලූ සහගත තත්වයක් බවයි. භාවිතයෙන් පසු ආපසු යැවීමේ කාලය මාස පහක් වුවත් එම කාලය අවශ්‍ය පරිදි දික්කරගත හැකිය. මොහොතින් මොහොත රේගු නිලධාරීන් දේශපාලන බලපෑම් මත මාරු කරන්නේද මෙම මහා පරිමාණ වංචාවන් සඟවා තැබීමේ අරමුණෙන් බවද ඔවුහු පවසති.

01. ලැම්බෝගිනි රේසිං කාර් 2යි (රු. 13,672,565.00)

02. පෝෂේ රේසිං කාර් 1යි (රු. 6,120,100.00)

03. ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩි සහ හොන්ඩා සිවික් රථය බැගින් (රු. 25,782,550.00)

04. ඉටියෝස් රේසිං කාර් 13යි. (රු. 47,791,057.00)

13වන සංසෝධනය සහ ශ්‍රී ලංකාවේ ඉරණම

විසි පස්වසරක් පුරා නොපැවැත් වූ අන් සියළු මැතිවරණ පවත්වත් දී උතුරු පළාත් සභා මැතිවරණය 2013 දී පවත්වන බවට ජනාධිපති රාජපක්ෂ විසින් ඉන්දියානු ආණ්ඩුවට දුන් පොරොන්දුව ක්‍රියාවට නැගුන හොත් උතුරෙහි දේශපාලන බලය දෙමළ ජනයා අතට පත්වීම වැළැක්විය නොහැකි ය.
සුනන්ද දේශප්‍රිය

පළාත් සභා නීතිය වන ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි 13වන සංසෝධනය අහෝසිි කළ යුතු බවට ජනාධිපති සහෝදර සහ ශ්‍රී ලංකාවේ  නොනිල යුද්ධ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ දැන් දේශපාලන ව්‍යාපාරයක් දියත්කර තිබේ. ඔහුගේ මට්ටමෙහි වන රාජ්‍ය සේවකයිනට මෙවැනි මත ප්‍රකාශ කිරීමට සහ  ව්‍යාපාර ඇති කිරීමට අයිතියක් නැති නමුත් අප කව්රුත් දන්නා පරිදි ආරක්ෂක ලේකම් ධුරය වන රාජ්‍ය නිලධාරී තනතුර දරන රාජපක්ෂට ශ්‍රී ලංකාවේ නීති බලපාන්නේ නැත.  ශ්‍රී ලංකාවේ ආරක්ෂක නායකයා වන ගෝඨාභය රාජපක්ෂ වනාහී බලය නීතියට නොව නීතිය  බලයට යටත් ය යන පශ්චාත් යුද්ධ ශ්‍රී ලාංකික අත්තනෝමතික භාවිතයේ සංකේතය යි. ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ සැලකෙන්නේ අද්වීතිය බලය ලෙස ය. දැන් මෙම 13වන ව්‍යවස්ථා සංසෝධන විරෝධී ව්‍යාපාරය දියත් කර ඇත්තේ ඒ සා බලවත් රාජපක්ෂ කෙනෙකු විසිනි. ඔහුගේ සහායට විය යුතු පරදිම බලය ඛෙදීමට මතවාදී ම ය වශයෙන් විරුද්ධ හෙළ උරුමය, විමල් වීරවංශ සහ මහජන එක්සත් පෙරමුණ ද එක් විය. සිංහල ජාතිකවාදී සිංහල සහ ඉංග්‍රිසි භාෂා පුවත්පත් ද මෙම රාජපක්ෂ ව්‍යාපාරයේ අත් උදව්කරුවන් බවට පත්ව සිටිති. සිය සහෝදරයා වන ජනාධිපති රාජපක්ෂගේ අනුදැනුමක් නැතිව ආරක්ෂක ප්‍රධානී රාජපක්ෂ විසින් මෙවැනි යෝජනාවක් ගෙන එනු ඇතියි සිතීම දුෂ්කර ය. වත්මන් ආණ්ඩුවේ අනෙක් බලගතු රාජපක්ෂවරයා වන බැසිල් රාජපක්ෂ ද 13වන සංසෝධනය සම්බන්ධයෙන් කැමැත්තක් දක්වා නැත.

13වන ව්‍යවස්ථා සංසෝධනය ඇති කරනු ලැබුවේ ඉන්දු - ලංකා ගිවිසුමෙහි කොටසක් ලෙස වුවත් එය ගොඩ නැගුනේ දෙමළ ජනයාගේ සාධාරණ දුක්ගැනවිලිවලට විසදුමක් සෙවීමේ දීර්ඝ දේශපාලන ක්‍රියාවළියක ප්‍රතිපළයක් ලෙස ය. එහි පදනම වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ සාධාරණ දුක්ගැනවිළි සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ය. එසේ නමුත්  එල්ටීටීඊ ය විසින් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කොට යුද්ධය තෝරා ගැනීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්හි පළාත් සභා පිහිටුවීම විසි වසරකින් කල් ගියේ ය. 1987 සිටම උතුරු නැගෙනහිර හැර අන් සියළු පළාත්හි ක්‍රියාත්මක කරන ලද පළාත් සභා ක්‍රමයෙන් පරපුටු දේශපාලනඥයින් පරම්පරාවක්ම ඇති කිරීම හැර  මහා ජනයාට ඇති වූ කැපී පෙනෙන සෙතක් නැති බව ද ඇත්ත ය.

නමුත් අද රාජපක්ෂවරුන් විසින් 13වන සංසෝධනය අහෝසි කිරීමේ යෝජනාව ගෙන එනු ලබන්නේ එම හේතූන් නිසා නොව උතුරු නැගෙනහිර පළාත් සභා පාලනය දෙමළ සහ මුස්ලිම් ජනයා අතට පත්වනු ඇතැයි ඇතිව ඇති අලූත් යන බිය නිසා ය. මෙම අහෝසි කිරීමේ ව්‍යාපාරය විසින් ද පෙන්නුම් කරන පරිදි  ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ නමුත් ජනවාර්ගික ගැටුම අවසන් නැත. අනෙත් අතට තමන් විසින් තමන් පාලනය කර ගැනීමේ මෙරට දෙමළ ජනයාගේ අභිලාෂය යුද්ධමය පියවරයන් මගින් යටපත් කර දැමිය නොහැකි බව පසුගිය වසර තුනෙහි උතුරු නැගෙනහිර අත්දැකීම් විසින් යළිත් පෙන්නුම් කර තිබේ. එනම් උතුරු නැගෙනහිර සිවිල් සමාජයේ නැගී ඒම සහ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන බලය යි.

මෙම ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කිරීමේ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාවට මහත් විපතක් ගැබ්ව තිඛෙන්නේ මෙම සන්දර්භය තුළ ය. මන්ද යත් 13වන සංසෝධනය  විසින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය දේශපාලන විසඳුම මේ අවස්ථාවෙහි නියෝජනය කරන නිසා ය. එය අහෝසි කිරීමේ රාජපක්ෂ ව්‍යාපාරය විසින් මෙරට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට මෙන්ම අන්තර් ජාතික ප්‍රජාවට ද දෙනු ඇති පණිවිඩය වන්නේ පූර්ණ දේශපාලන විසඳුමක් කෙසේ වෙතත් දැනට ව්‍යවස්ථවෙහි අඩංඟ= වන විසදුමවත් ක්‍රියාවට නැගීමට රාජපක්ෂ ආණ්ඩුව සුදානම් නැති බවයි.

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්්‍යය බවට පත් කිරීමට සිහින මැවීමට පෙර වත්මන් ආණ්ඩුව තිස් වසරකට පෙර එවැනිම සිහිනයක් දුටු ජනාධිපති ෙජ්. ආර්. ජයවර්ධන මුහුණ දුන් අභියෝගය දෙස මදක් හැරී බැලීම වැදගත් ය.

1977 දී හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඇතිව බලයට පත් ජයවර්ධන ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට දරන ලද ප්‍රයත්නයේ ප්‍රධාන පියවරයන් දෙකක් විය. එනම් පාර්ලිමේන්තු විපක්ෂය අඩපන කිරීමත් එවකට සැළකිය යුතු බලවේගයක් වශයෙන් පැවැති වෘත්තීය සමිති ව්‍යාපාරය බිද දැමීමත් ය. මන්ද යත් සිංගප්පුරු දේශපාලන ආදර්ශය තුළ කවරාකාර හෝ විපාක්ෂික හෝ අයිතීන් මත පදනම් වූ ව්‍යාපාරයන්ට ඉඩක් නැති නිසා ය. විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු විපක්ෂය භේද භින්න කිරීම සහ 1980 සමස්ත මහා වැඩ වර්ජනය ලෙයින් සහ කදුළින් මර්දනය කිරීම මගින් එම පියවරයන් දෙක සාර්ථක කර ගැනීමට ජයවර්ධන සමත් විය.

ඔහු හමුයෙහි ඉතිරිව තිබූ අනෙක් අභියෝගය වූයේ නැගි එමින් තිබූ දෙමළ ජනතාවගේ ජාතික අරගලය යි.  සිය මර්දනකාරී මෙඟහි ම ඉදිරියට යමින් දෙමළ ජනතාවගේ අයිතීන් සඳහා වූ ව්‍යාපාරයන් යකඩින් සහ ලෙයින් මර්දනය කිරීම පිණිස ද ජයවර්ධන පියවර ගත්තේ ය. 1981 දී උතුරේ සන්නද්ධ ක්‍රියාකාරකම් අවසන් කිරීමට දින නියම කොට සන්නාහ සන්නද්ධ හමුදා එහි යවන ලද්දේ ඝාතනය ප්‍රධාන අවිය ලෙස ප්‍රධානය කරමිනි. නමුත් ජයවර්ධන  භයානක ලෙස පරාජය වූයේ එහිදී ය. සටන්කාමී දෙමළ තරුණ ව්‍යාපාරය යුද බලයෙන් මැැඩලිය නොහැකි විය. ඊට පළිගැනීමක් වශයෙන් 1983 දෙමළ විරෝධී සංහාරය මුදා හරිමින් සහ ද්‍රවිඩ එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පළවා හරිමින් ජයවර්ධන උත්සාහ කළෙA දෙමළ ජනතාවම යටපත් කිරීමට ය.  එනමුත් එහි විපාකයක් වශයෙන් ඉන්දියානු මැදිහත්වීමක් ද සහිත දශක ගණනාවක් ඇදී ගිය යුද්ධයකට ශ්‍රී ලංකාව  ගිලා බැස්සේ ය. ජයවර්දනගේ ලංකා- සිංගප්පුරු දැක්ම දැක්ම අසාර්ථක විය.

දෙමළ සන්නද්ධ ව්‍යාපාරයේ නායකත්වය අල්ලාගත් එල්ටීටීඊ ය අතාර්කික සහ  යතාර්ථයෙන් වියෝ වූ  ව්‍යාපාරයක් බවට පත් වූ නිසාම ජය ගත නොහැකි අවසන් මහ සටන කරා එය ඇදී ගියේ ය. මේ වන විට ජන ඝාතක ව්‍යාපාරයක් ද බවට පත්ව තිබූ එහි සන්නද්ධ පරාජය වැළැක්විය නොහැකි එකක් බවට පත්ව තිබුණි. එනමුත් එල්ටීටීඊය සන්නද්ධ වශයෙන් පරාජය කිරීමෙහි ප්‍රකාශිත අරමුණ දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයන් පරාජය කිරිම නොවීය.

මෙම පිළිගැනීම මත එල්ටීටීඊ සමඟ කළ යුද්ධයට අන්තර් ජාතික බලවේගයන්හි සහාය ලබා ගැනීම පිණිස ජනාධිපති රාජපක්ෂ කරුණූ දෙකක් ඉදිරිපත් කළේ ය. පළමු වැන්න නම් එල්ටීටීඊ ය කිසිදු සාම සාකච්ජාවකට සූදානම් නැති තනිකරම යුදවාදී ත්‍රස්තවාදී සංවිධානයක් ය යන්න යි. එය සනාථ කිරීමට ඇති තරම් කරුණූ එල්ටීටීඊ නායක ප්‍රභාකරන් විසින් ම සපයා තිබුණි. දෙවන කරුණ වූයේ යුද්ධවසානයෙන් පසු ප්‍රදේශීය පාලනයක් සදහා වන දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම දේශපාලන විසඳුමක් සැපයීම මගින් සපුරාලන බවයි.

ඒ අනුව යමින් 2008 වර්ශයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්ව වාරික විමර්ශණය හමුවෙහි ස්වේච්ජාවෙන් ම  පොරොන්දුවක් දෙමින් ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සැපිරීම පිණිස 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කරන බවයි. යුද්ධවසානයෙන් සතියකට පසු එනම් 2009 මැයි 25 දින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සහ ජනාධිපති රාජපක්ෂ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශණයෙන් ද ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කරන බව ය. ඊට දෙදිනකට පසු යළික් වරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ්‍රී ලංකාණ්ඩුවේ ද සහාය ඇතිව කියුබාව විසින් ඉදිරිපත් කොට සම්මත් කරන ලද යෝජනාව විසින් ද දෙන ලද එක් පොරෙන්දුවක් වූයේ 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කරන බව ය.  ඒ ආසන්නයේ ම ඉන්දියාවට නිල සංචාරයක යෙදුණු රාජපක්ෂ දිල්ලියේ එන්ඩීටීවී ආයතනය සමඟ කරන ලද සාකච්ජාවේ දී 13වන ව්‍යවස්ථා සංසෝධනයද ඊට වඩා යමක්ද කිරීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළේ ය. ඔහු එම පොරොන්දුව ඉන්දීය අගමැතිවරයාට ද දී තිබුණි.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය දේශපාලන නියෝජිතයින් හැමදෙනම හමූයේ ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ තමන් 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි. එපමණක් නොව රාජපක්ෂ බැහැ දැකීමට පැමිණි උග්‍ර එල්ටීටීඊ විරෝධී ඉන්දීය දේශපාලනඥයකු වන සුබ්‍රමනියම් ස්වාමි ද හැකි ඉකිමනින් 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේ ය.  ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනයාගේ සාධාරණ දුක්ගැනවිළි සඳහා විසඳුමක් වශයෙන් 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දීය දේශපාලන පක්ෂ සියල්ලම ද මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන අන්තර් ජාතික ප්‍රජාවද විශ්වාශ කරති.

පසුගිය දා නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන තුරුම වාගේ ලංකාණ්ඩුවේ  මතය වූයේ තමන් 2013 වසරෙහිදී උතුරු පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් 13වන ව්‍යවස්ථාව ක්‍රියාවට නගන බවත් ය. එනමුත් නැගෙනහිර පළාත් සභා මැතිවරණය ලංකාණ්ඩුවට තිගැස්සෙන පණිවිඩයක් දුන්නේ ය. එනම් දෙමළ ජනයාගේ අති බහුතරය රාජපක්ෂ පාලනය පිළිනොගන්නා බවයි. ආණ්ඩුවේ රැකවරනයෙන් ජීවත්වන අර්ධ සන්නද්ධ දෙමළ දේශපාලනඥයින් වන ඩග්ලස් දේවානන්ද, කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් හැර අනෙක් සියළුම දෙමළ දේශපාලන පක්ෂ දැන් ලිහිල් නමුත් එක් පෙරමුණකට පැමිණ සිටිති. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම නම් ප්‍රාදේශීය ස්වයං පාලනයකි. නැගෙනහිර දෙමළ ජනයාගෙන් අති බහුතරය එම දේශපාලනය වෙනුවෙන් ජන්දය දුන්හ. විසි පස්වසරක් පුරා නොපැවැත් වූ අන් සියළු මැතිවරණ පවත්වත් දී උතුරු පළාත් සභා මැතිවරණය 2013 දී පවත්වන බවට ජනාධිපති රාජපක්ෂ විසින් ඉන්දියානු ආණ්ඩුවට දුන් පොරොන්දුව ක්‍රියාවට නැගුන හොත් උතුරෙහි දේශපාලන බලය දෙමළ ජනයා අතට පත්වීම වැළැක්විය නොහැකි ය.

රාජපක්ෂ පාලනය 13 වන සංසෝධන විරෝධයෙන් ගිනියම් වන්නට පටන්ගෙන ඇත්තේ මේ නිසා ය. 13වන ව්‍යවස්ථා සංසෝධනය යටතෙහි උතුරු පළාතෙහි පැවැත්වෙන පාළාත් සභා මැතිවරණයකින් ආණ්ඩු පාක්ෂික දෙමළ දේශපාලනඥයින් දැවැන්ත පරාජයකට පත්වන බව දැන් පැහැදිළිය. එහි බලය දෙමළ සන්ධානය නම් පුළුල් පෙරමුණට හිමි වනු ඇත. එම පෙරමුණට ඉන්දියාවෙහි පමණක් නොව බටහිර රටවල ද දේශපාලන සහයෝගයක් තිබේ. එවැනි තත්ත්වයක් යටතේ දෙමළ සන්ධනයේ පළාත් සභාවක පැවැත්ම විසින් උතුරෙහිදී පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවෙහිම රාජපක්ෂ පාලනය දෙදරුම් කැවීමකට යවනු ඇත.

13වන සංසෝධනයට අදාළව රාජපක්ෂ පාලනයේ බිය උතුර සම්බන්ධයෙන් පමණක්ම නොවේ.

නැගෙනහිර පළාත් සභාවේ බලය දැනට ආණ්ඩුවට වාසිදායක වුවද මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ කොටස් කරුවන් වන සිංහල අන්තවාදී පිරිස් විසින් ගෙන යන විශම සහ වෛර ව්‍යාපාර හේතුවෙන් එම දේශපාලන සමීකරණය වුව වෙනස් වීමට ඉඩ තිබේ. දිවි නැගුම පනකට පක්ෂව ජන්දය නොදීමට මුස්ලිම් කොන්ග්‍රසය ගත් තීරණය එළෙසම ක්‍රියාවට නැගුණේ නම් මේ වන විටත් නැගෙනහිර පළාත් සභාවේ බල තුලනයේ වෙනසක් ඇති වීමට ඉඩ තිබුණි.

13වන ව්‍යවස්ථා සංසෝධනය අහෝසි කිරීමේ දේශපාලන ව්‍යාපාරයෙහි අර්ථය මෙය යි. එනම් උතුරු නැගෙනහිර දී රාජපක්ෂ පාලනයෙන් බාහිර දෙමළ සහ මුස්ලිම් ජනයාගේ පළාත් සභා පාලනයන් ඇති වීම වැළැක්වීම ය. පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව සාමය සහ ප්‍රති සංන්ධානය කරා ගමන්කරනු වෙනුවට යළිත් වරක් ජනපීඩක සහ සුළුතර ජනයා මර්දනය කරන අර්ධ මිලිටරි රාජ්‍යක් කරා ඇදී යාම මෙම අමනෝඥ සහ අතාර්කික යෝජනාව විසින් යළිත් වරක් පෙන්නුම් කරයි.

 

රාජපක්ෂගේ ඉන්දියානු භීතිකාව ( Video)

වර්තමාන ජනාධිපති රාජපක්ෂ මහතා මීට කාලෙකට පෙර ඉන්දියාව සම්බන්ධයෙන් දැක් වූ අදහස් මෙහි පල වේ. ඔහුට ඉන්දියානු භිතීකාවක් තිබුණි. ඉන්දියාව ශ්‍රී ලංකාව විනාශ කිරීමට සැරසෙන බව කිව්වේය.




යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියා දන්වන වග නම්



l පුරවැසි කුමුදු කුසුම් කුමාර

තිස් වසරක යුද්ධය අවසන් වීමත් සමග සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනාව වී තිබී ඇත්තේ රටේ සාමය සහ ස්ථායීභාවය යි. යුද්ධය අවසන්වීමෙන් හෝ බෝම්බ පිපිරීම නතරවීමෙන් පමණක් ම සාමය උදා නොවේ. සාමය සඳහා යුක්තිය ඉටු විය යුතුය. යුක්තිය යන්න අරුත් ගැන්විය හැකි එක් ආකාරයක් නම්, සාධාරණ අපේක්ෂාවන් ඉෂ්ඨ වීම නිසා කෙනෙකු තුළ ඇතිවන සෑහීමට පත්වීමයි. නමුත්, යුද්ධය අවසන් වී අවුරුදු තුනක් ඉක්ම ගොස් ඇති අදත් රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තර්ජනයට පත්ව ඇතැයි මාධ්‍ය වලින් ප්‍රකාශයට පත්වෙයි. ආයුධ සන්නද්ධ කල්ලි වෑන් රථ වලින් පැමිණ ජනයා පැහැර ගෙන යාමත්, ජනයා අතුරුදහන් වීමත් ඊට වග කිව යුත්තන් අල්ලා ගැනීමකින් හෝ ඔවුනට දඬුවම් දීමකින් හෝ තොරව දිගටම ක්‍රියාත්මක වන බව පළවෙයි. රජයේ හෝ රජයේ බලධාරීන්ගේ අකටයුතු වලට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නඟන්නවුන් රාජ්‍ය මර්ධනයේ ඉලක්ක වීමට ඉඩ ඇතැයි පොදු බියක් ද ජන මාධ්‍ය ස්වයං වාරණයකට යටත් වන පරිදි තර්ජනයෙන් තැති ගන්වා ඇතැයි යන හැඟීම ද සමාජයේ පවතී. වෘත්තීය සමිති කටයුතු වල යෙදීමට තිබිය යුතු නිදහස නීතිය යොදවා තමනට අහිමි කරනු ලැබ ඇතැයි සේවකයෝ කියා සිටිති. සිවිල් සමාජ කටයුතු සන්නද්ධ හමුදාවන්ගේ පාලනය යටතේ තබා ඇතැයි උතුරු නැගෙනහිර පළාත් වල ජනයා පැමිණිලි කරති. නගර සභා වැනි රටේ සිවිල් ආයතන යටතේ ඇති කටයුතු සන්නද්ධ හමුදාවන් යටතට පත් කිරීම සිවිල් සමාජයේ නිදහසට අනතුරු කරන බවට පොදු මතය ක් තිබේ.

මේවා මෙසේ සිදුවීමේ වගකීම ජනයා අවසානයේදී පවරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ටය. එහෙයින් මෙම තත්වය වෙනස් කොට රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අවම වශයෙන් පහත සඳහන් පියවර ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටිමි.
  • පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් නවත්වන්න
  • ‘සුදු වෑන්‘ යනුවෙන් හැඳින්වෙන රථ වලින් පැමිණෙන ආයුධ සන්නද්ධ කල්ලි වලින් කෙරෙන සියලු පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් නැවැත්වීම සඳහා පහත සඳහන් පියවර ගන්න.
  • සියලු පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන්න. එවැනි පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වැළැක්වීම සඳහා මහජනයා ට ගතහැකි සියලු කියා මාර්ග ඔවුන් විසින් ගත යුතු බව දැනුම් දෙන්න.
  • නීත්‍යානුකූලව පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට බලය පවරා ඇති බලධාරීන් කවුරුන්ද යන්න මහජනයාට ප්‍රකාශ කරන්න.
  • පැහැරගෙන යාම් සහ අතුරුදහන්කිරීම් පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ දුරකථන සේවාවක් ජනාධිපති කාර්යාලයේ පිහිටුවා එබඳු පැමිණිලි පිළිබඳ කියා කිරීමට විශේෂ ජනාධිපති ඒකකයක් පිහිටුවන්න.
  • පලාතේ පොලීසියේ අණසකට පිටතින් කුමන හෝ චෝදනාවක් යටතේ කවුරුන් හෝ අත් අඩංගුවට ගැනීම කළ යුත්තේ අදාළ පලාතේ පොලීසිය මඟින් අදාළ පාර්ශවයට පොලීසියට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසුව බවත් එහිදී පහත සඳහන් ආකාර ක්‍රියා කළ යුතු බවත් ප්‍රකාශයට පත් කරන්න. එලෙස, පළාතේ පොලිස් ස්ථානයේදී කාර්ය භාර පොලිස් නිලධාරියා ඉදිරිපිටදී, එසේ අත් අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයාට ඔහුට එරෙහිව ඇති චෝදනා දැනුම් දිය යුතුය. එලෙස අත් අඩංගුවට ගන්නා පුද්ගලයාට තමන් නියෝජනය කිරීමට නීතිඥයෙකුගේ සේවය ලබා ගැනීමේ අවස්ථාව ඇති බව ඔහුට හෝ ඇයට දන්වා එම සේවාව ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැළසිය යුතුය.
  • අදහස් පළ කිරීමේ නිදහස යළි පිහිටුවන්න
රජයේ බලධාරීන්ගේ කුමන ආකාරයේ හෝ බියගැන්වීමකින් තොරව තොරතුරු වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට මාධ්‍ය වලට පූර්ණ නිදහස ඇති බවත්, නෛතික ක්‍රියාවලියෙන් පිටස්තරව කුමන හෝ රජයේ බලධරයෙකුගේ අණ ට මාධ්‍ය යටත් නොවිය යුතු බවත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්න.

  • නීත්‍යානුකූල ලෙස දේශපාලන කටයුතු වල නිරත වන දේශපාලන ක්‍රියාකාරකයන් පොලීසිය මගින් බියවැද්දීම නතර කරන්න.
  • පෙළපාලි යාමට, රැස්වීමට, විරෝධය පෑමට සහ පිකට් කිරීමට ජනයාට ඇති නිදහසට බාධා කිරීමෙන් පොලීසිය සහ සන්නද්ධ හමුදා වළක්වන්න.
  • පත්‍රිකා බෙදීමට සහ පෝස්ටර් සහ බැනර් ප්‍රකාශයට පත් කිරීමට තිබිය යුතු නිදහසට රජයෙන් පනවා ඇති සීමා ඉවත් කරන්න.
  • පෙළපාලි යාමට, රැස්වීමට, විරෝධය පෑමට සහ පිකට් කිරීමට තිබිය යුතු නිදහස වැළැක්වීමට රජය නීතිය යොදාගැනීම වළක්වන්න.
  • වෘත්තීය සමිති කටයුතු වල යෙදීමට සේවකයන්ට තිබිය යුතු නිදහස යළි පිහිටුවන්න
  • සේවකයන් වැඩ වර්ජනයේ සහ වෙනත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්හි යෙදීමෙන් වැළැක්වීමට රජය විසින් අයුතු ලෙස නීතිය යොදවා ගැනීම වළක්වන්න.
  • සිවිල් සමාජ කටයුතු මිලිටරීකරණය කිරීම නවතන්න
  • උතුරු නැගෙනහිර පළාත් වල සිවිල් සමාජ කටයුතු සන්නද්ධ හමුදාවන්ගේ පාලනය යටතේ තබා ගැනීම නවත්වන්න.
  • නගර සභා වැනි රටේ සිවිල් ආයතන යටතේ ඇති කටයුතු සන්නද්ධ හමුදාවන් යටතට පත් කිරීම නවත්වන්න.

මරා අවුරුදු නැකතටත් කෙළී: මහජනතාවට සුබ නැකැත් වෙනුවට මරාගේ අපල දුරුවෙන්න නැකත් හදලා

මරාගේ නැකතට ගිනි මෙලවුවහොත් වසරම දැවී අලූවන ගිනිජාලාවක -ජ්‍යොතිර්වේදීහු අනතුරු අඟවති


උපුටා ගැනීම ලංකා ඊ නිව්ස්

මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපති වියරුවෙන් පෙළෙන මඤ්ඤං පාලකයා මෙවර නව අවුරුදු උදාවේ නැකැත් රටේ මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා භාවිතා නොකර තමාගේ අපල උපද්‍රව නැතිකර ගැනීමට භාවිතා කර ඇතැයි ජ්‍යෙතිෂවේදීහු චෝදනා කරති.

රජයේ නිල අලූත් අවුරුදු නැකැත් zලංකා ඊ නිව්ස් හි ප්‍රචාරය වීමෙන් පසු අප වෙත බොහෝ ජ්‍යොතිෂවේදිහු අදහස් දක්වමින් මේ ගැන සත්‍ය තත්ත්වය පැහැදිලි කළේය.

වෙන කාල වලදී අවුරුදු නැකැත් ස්වාධීන ජ්‍යොතිෂවේදීන් විසින් සකස් කරන ලද්දකි. සුප්‍රසිද්ධ ලිත් කරුවන් වන ඈපා පඤ්චාංග ලිත අනුව මෙම කටයුතු සිදුකෙරුනු නමුත් වර්මානයේ සියළු දේම තම අභිමතය අනුව සිද්ධ විය යුතු යැයි මනෝ විකාරයෙන් පෙළෙන රාජපක්ෂ රෙජීමය නැකැත් සෑදීමට නැකැත් කොමිටියක් පත් කෙළේය. අනෙකුත් හෙංචයියන් මෙන් මෙම නැකැත් කොමිටියද රජාගේ කීම අනුව ක්‍රියා කරන් පිරිසකගෙන් සමන්විත විය. දැන් නැකැත් හදන්නේ ස්වාධීන නොවන රාජපාක්ෂික තක්කඩියන් කණ්ඩායමක් විසිනි. දැන් ලිත් කරුවන්ද ප්‍රසිද්ධ කළ යුත්තේ මේ මරාවාදීන්ගේ නැකත් ය.

මෙම හෙංචා නැකැත් කමිටුව මෙවර නැකැත් හදා ඇත්තේ මහින්ද රාජපක්ෂ දැනට පත්ව සිටින අපල කාලයට සරිලන ලෙස ඔහුගේ අපල අඩු කිරීම අරමුණු කර මිස රටේ මහජනතාවට සෞභාග්‍ය පැමීණවීම අරමුණු කරගෙන නොවේ.

ප්‍රවීන ජොතීර්වේදීන් පවසන අන්දමට මෙවර අලූත් අවුරුද්දට ගිනි මෙලවීමට දී ඇති නැකැත උයා පිහාගෙන කෑමට සුදුසු නොවන සියළු දෑ දවා හළු කරන ගිනිජාලාවකට සුදුසු නැකතකි.

මෙය ජ්‍යොතිර්වේදය අනුව විස්තර කෙරෙන්නේ මේ ලෙසට ය.

ලංකා පංචාංග ග්‍රහස්පුට ලිතට අනුව අප්‍රේල් 13 ඉර උදාව 6 යි 02 ට සහ ඉර බැසීම 6 යි 19ට සිදුවේ.
ඒ නිසා රත්‍රී කාලයේ දිග පැය 11යි විනාඩි 44 කි. හෝරාවක දිග විනාඩි 58 කි පංචම කාල හෝරාවක දිග විනාඩි 11 කි

සිකුරාදාට රාත්‍රී හෝරාවන් පටන් ගන්නේ ඉර බැසීමත් සමග කුජ ගෙන් 6.19 ටය. ඊට පසු එන්නේ රවි හෝරාව 7.17 ටය. රවි ගේ හෝරාවේ රවිගේ ම පංචම කාල හෝරාව 7.17 සිට 7.29 තෙක් ද රවි ගේ සඳු පංචම හෝරාව 7.29 සිට 7.41 තෙක්ද පවතී. එයින් පසු 7.41 සිට 7.52 තෙක් යන්නේ රවිගේ කුජ හෝරාවයි.

ලිප ගිනි මොලවන ලෙස රෙජීමය දී ඇති නැකත වන 7.42 වැටෙන්නෙත් රවිගේ කුජ හෝරාව වන කොටසටය. රවි කියන්නේ උණුසුම් ගිනි ග්‍රහයෙකි. කුජ කියන්නේත් එවැනිම ග්‍රහයෙකි.

එම නිසා මෙම වේලාව සුදුසු උයාපිහා කන්න නොවන අතර එය දවා අලූ කරන මහා ගිනිජාලාවකට හොඳ නැකතක් බවත් එම වේලාවට ගිනි මෙලවුවහොත් නිවෙස් හිමියන්ට වසර පුරා මහා ගින්නක දැවෙමින් සිටීමට සිදුවන බවත් ජොතිර්වේදීහු අනතුරු අඟවති.

ඒ කාලයේදීම උයාපිහා කන්න අවශ්‍යම නම් 7.29 සිට 7.41 තෙක් තියෙන රවිගේ සඳු පංචම හෝරාව මීට වඩා සුදුසු බවත් ඉන් 7.36 ට ලබන සිකුරු සුක‍ෂම හෝරාව වඩා සුදුසු බවත් සමහරුන්ගේ මතය වී තිබේ.

තවත් දිවයිනේ ඉතා ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ජ්‍යෙතිර්වේදියෙකුගේ මතය වන්නේ හොඳම සුබ නැකැත් වේලාව වන්නේ 14 සෙනසුරාදා උදේ 7.11 ට උතුර බලා ගිනි මොලවා උදේ 7.45 ට ආහාර අනුභවය බවයි.

අප වෙත අදහස් දැක්වූ ප්‍රවීන ජ්‍යොතීර්වේදීන් සුදු වෑන් වලට ඇති බිය නිසා මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශ නොකරන බව පවසමින් අපගෙන් ඉල්ලා සිටියේ ප්‍රමාද වී හෝ ලංකා ඊ නිව්ස් වෙතින් මේ බව මහජනතාවට දැනුම් දෙන ලෙසය.

නැකැත් විශ්වාස නොකරන නවීනවාදීන්ට නම් මේ ගැන කිසිදු ප්‍රශ්නයක් පැන නොනගී.