යුද්ධය හෝ බෝම්බ පිපිරවීම නතරවීමෙන් පමණක්ම සාමය උදා නොවේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලියා දන්වන වග නම්



l පුරවැසි කුමුදු කුසුම් කුමාර

තිස් වසරක යුද්ධය අවසන් වීමත් සමග සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනාව වී තිබී ඇත්තේ රටේ සාමය සහ ස්ථායීභාවය යි. යුද්ධය අවසන්වීමෙන් හෝ බෝම්බ පිපිරීම නතරවීමෙන් පමණක් ම සාමය උදා නොවේ. සාමය සඳහා යුක්තිය ඉටු විය යුතුය. යුක්තිය යන්න අරුත් ගැන්විය හැකි එක් ආකාරයක් නම්, සාධාරණ අපේක්ෂාවන් ඉෂ්ඨ වීම නිසා කෙනෙකු තුළ ඇතිවන සෑහීමට පත්වීමයි. නමුත්, යුද්ධය අවසන් වී අවුරුදු තුනක් ඉක්ම ගොස් ඇති අදත් රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම තර්ජනයට පත්ව ඇතැයි මාධ්‍ය වලින් ප්‍රකාශයට පත්වෙයි. ආයුධ සන්නද්ධ කල්ලි වෑන් රථ වලින් පැමිණ ජනයා පැහැර ගෙන යාමත්, ජනයා අතුරුදහන් වීමත් ඊට වග කිව යුත්තන් අල්ලා ගැනීමකින් හෝ ඔවුනට දඬුවම් දීමකින් හෝ තොරව දිගටම ක්‍රියාත්මක වන බව පළවෙයි. රජයේ හෝ රජයේ බලධාරීන්ගේ අකටයුතු වලට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ නඟන්නවුන් රාජ්‍ය මර්ධනයේ ඉලක්ක වීමට ඉඩ ඇතැයි පොදු බියක් ද ජන මාධ්‍ය ස්වයං වාරණයකට යටත් වන පරිදි තර්ජනයෙන් තැති ගන්වා ඇතැයි යන හැඟීම ද සමාජයේ පවතී. වෘත්තීය සමිති කටයුතු වල යෙදීමට තිබිය යුතු නිදහස නීතිය යොදවා තමනට අහිමි කරනු ලැබ ඇතැයි සේවකයෝ කියා සිටිති. සිවිල් සමාජ කටයුතු සන්නද්ධ හමුදාවන්ගේ පාලනය යටතේ තබා ඇතැයි උතුරු නැගෙනහිර පළාත් වල ජනයා පැමිණිලි කරති. නගර සභා වැනි රටේ සිවිල් ආයතන යටතේ ඇති කටයුතු සන්නද්ධ හමුදාවන් යටතට පත් කිරීම සිවිල් සමාජයේ නිදහසට අනතුරු කරන බවට පොදු මතය ක් තිබේ.

මේවා මෙසේ සිදුවීමේ වගකීම ජනයා අවසානයේදී පවරන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ටය. එහෙයින් මෙම තත්වය වෙනස් කොට රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අවම වශයෙන් පහත සඳහන් පියවර ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටිමි.
  • පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් නවත්වන්න
  • ‘සුදු වෑන්‘ යනුවෙන් හැඳින්වෙන රථ වලින් පැමිණෙන ආයුධ සන්නද්ධ කල්ලි වලින් කෙරෙන සියලු පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් නැවැත්වීම සඳහා පහත සඳහන් පියවර ගන්න.
  • සියලු පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කරන්න. එවැනි පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වැළැක්වීම සඳහා මහජනයා ට ගතහැකි සියලු කියා මාර්ග ඔවුන් විසින් ගත යුතු බව දැනුම් දෙන්න.
  • නීත්‍යානුකූලව පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට බලය පවරා ඇති බලධාරීන් කවුරුන්ද යන්න මහජනයාට ප්‍රකාශ කරන්න.
  • පැහැරගෙන යාම් සහ අතුරුදහන්කිරීම් පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ දුරකථන සේවාවක් ජනාධිපති කාර්යාලයේ පිහිටුවා එබඳු පැමිණිලි පිළිබඳ කියා කිරීමට විශේෂ ජනාධිපති ඒකකයක් පිහිටුවන්න.
  • පලාතේ පොලීසියේ අණසකට පිටතින් කුමන හෝ චෝදනාවක් යටතේ කවුරුන් හෝ අත් අඩංගුවට ගැනීම කළ යුත්තේ අදාළ පලාතේ පොලීසිය මඟින් අදාළ පාර්ශවයට පොලීසියට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසුව බවත් එහිදී පහත සඳහන් ආකාර ක්‍රියා කළ යුතු බවත් ප්‍රකාශයට පත් කරන්න. එලෙස, පළාතේ පොලිස් ස්ථානයේදී කාර්ය භාර පොලිස් නිලධාරියා ඉදිරිපිටදී, එසේ අත් අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයාට ඔහුට එරෙහිව ඇති චෝදනා දැනුම් දිය යුතුය. එලෙස අත් අඩංගුවට ගන්නා පුද්ගලයාට තමන් නියෝජනය කිරීමට නීතිඥයෙකුගේ සේවය ලබා ගැනීමේ අවස්ථාව ඇති බව ඔහුට හෝ ඇයට දන්වා එම සේවාව ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැළසිය යුතුය.
  • අදහස් පළ කිරීමේ නිදහස යළි පිහිටුවන්න
රජයේ බලධාරීන්ගේ කුමන ආකාරයේ හෝ බියගැන්වීමකින් තොරව තොරතුරු වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට මාධ්‍ය වලට පූර්ණ නිදහස ඇති බවත්, නෛතික ක්‍රියාවලියෙන් පිටස්තරව කුමන හෝ රජයේ බලධරයෙකුගේ අණ ට මාධ්‍ය යටත් නොවිය යුතු බවත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්න.

  • නීත්‍යානුකූල ලෙස දේශපාලන කටයුතු වල නිරත වන දේශපාලන ක්‍රියාකාරකයන් පොලීසිය මගින් බියවැද්දීම නතර කරන්න.
  • පෙළපාලි යාමට, රැස්වීමට, විරෝධය පෑමට සහ පිකට් කිරීමට ජනයාට ඇති නිදහසට බාධා කිරීමෙන් පොලීසිය සහ සන්නද්ධ හමුදා වළක්වන්න.
  • පත්‍රිකා බෙදීමට සහ පෝස්ටර් සහ බැනර් ප්‍රකාශයට පත් කිරීමට තිබිය යුතු නිදහසට රජයෙන් පනවා ඇති සීමා ඉවත් කරන්න.
  • පෙළපාලි යාමට, රැස්වීමට, විරෝධය පෑමට සහ පිකට් කිරීමට තිබිය යුතු නිදහස වැළැක්වීමට රජය නීතිය යොදාගැනීම වළක්වන්න.
  • වෘත්තීය සමිති කටයුතු වල යෙදීමට සේවකයන්ට තිබිය යුතු නිදහස යළි පිහිටුවන්න
  • සේවකයන් වැඩ වර්ජනයේ සහ වෙනත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්හි යෙදීමෙන් වැළැක්වීමට රජය විසින් අයුතු ලෙස නීතිය යොදවා ගැනීම වළක්වන්න.
  • සිවිල් සමාජ කටයුතු මිලිටරීකරණය කිරීම නවතන්න
  • උතුරු නැගෙනහිර පළාත් වල සිවිල් සමාජ කටයුතු සන්නද්ධ හමුදාවන්ගේ පාලනය යටතේ තබා ගැනීම නවත්වන්න.
  • නගර සභා වැනි රටේ සිවිල් ආයතන යටතේ ඇති කටයුතු සන්නද්ධ හමුදාවන් යටතට පත් කිරීම නවත්වන්න.