The Most/Recent Articles

Showing posts with label Column. Show all posts
Showing posts with label Column. Show all posts

ප්‍රිගෝශින් නම් කාල බෝම්බය...

මහේෂ් හපුගොඩ 

OceanGate කට්ටිය ගොඩක් විශ්වාස කරලා, ශක්තිමත් කියල හිතල, Titan හදන්න භාවිතයට ගත්ත කාබන් ෆයිබර් එකේම තමයි ඒකෙ දුර්වලතාව තිබිල තියෙන්නේ. කවදාවත් විනාශ කරන්න බැහැ කියල හිතපු 'ටයිටැනික්' අපරාජිත බවේම තමයි ඒකෙ පරාජය රැඳිලා තිබ්බේ. 

මේ වගේ හැම දෙයකම ශක්තිමත් කියල හිතන අන්තර්ගතය ඇතුලෙම එහි සිතාගත නොහැකි දුර්වලතාව ගැබ්ව පවතිනවා කියල කිව්වේ ඉතාම වැදගත් ජර්මන් විඥාණවාදියෙක් වෙච්ච ෆ්‍රෙඩ්රික් හේගල්. 

යමක් යම් විදියකට නිර්මාණය වෙනකොටම ඒ නිර්මාණය ඇතුලේ තියනවා එහි විනාශයේ බීජය. පෙරදිග දර්ශනවාද වලත් මේක කියවෙනවා. 

මම මීට කලින් ලියල තියනවා වගේ මහින්ද මහත්තයට දේශපාලනය ඇතුලේ ගොඩක් හයියක් උණේ එයාගේ විස්තෘත පවුල. හැබැයි එයාගේ දේශපාලනය ගොඩක් විවේචනයට ලක්වෙන්න බලපෑවෙත් ඒ විශාල පවුලම තමයි. මේක තමයි ශක්තිය කියල අපි හිතන දේවල්වල ස්වභාවය. 

දැන් රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගත්තම එයාගේ ලොකුම හයිය උනේ එයාගේ වටේ හිටපු කුලී හමුදා ඛණ්ඩය (mercinaries). ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ හේවා කණ්ඩායම් වල ''සේවය'' වෙනුවෙන් ගෙවීමක් කරලා තියනවා. වැග්නර් ඔෆිස් එකේ තිබිල ඊයේ පවුම් ලක්ෂ ගාණක් හොයාගෙනත් තියනවා.

ඔය පුටින්ට එරෙහිව කැරළි ගැහුවා කියන වැග්නර් කණ්ඩායමේ යෙව්ජෙනි ප්‍රිගෝශින් (Yevgeny Prigozhin) කියන්නෙත් පුටින්ගේ ලඟින්ම වැඩකරපු කුලී හේවා ප්‍රවර්ගයට වැටෙන කෙනෙක්. නිල හමුදාවක සාමාජිකයෙක්ගෙන් කරගන්න බැරි වැඩ පුටින් මෙයාලගෙන් කරගෙන තියනවා. ඒ වගේම යුක්‍රේන් යුද්දය ඇතුළෙත් ප්‍රිගෝශින් සෑහෙන වැඩක් කරලා තියනවා. ඒක තමයි වැග්නර් කණ්ඩායමේ නම නිතරම ගෝලීය මාධ්‍යවල කියවුනේ. 

කොහොම උනත් ඊයේ වෙනකොට පුටින්ට සිද්ද වෙනවා ප්‍රිගෝශින් එක්ක යම් එකඟතාවකට එන්න. වැග්නර් කණ්ඩායමේ කැරැල්ල නැවත්තුවොත් විතරක් එයාලට එරෙහි චෝදනා අමතක කරන්න පුටින් එකඟ වෙනවා. එහෙම එකඟ වෙලා ප්‍රිගෝශින් බෙලාරුස් යනවා. 

මින් කියවෙන්නේ වැග්නර් කණ්ඩායම යම් බලවත් තැනක ඉන්නවා කියන එක. අවම වශයෙන් යුක්රේන සතුරෙකුත් දැන් දොරකඩ ඉන්න එකේ රුසියානු බල කඳවුර ඇතුලේ කචල් උනොත් ඔක්කොම සුං නිසා මේ එකඟතාව පුටින්ගේ පැත්තෙන් වැදගත්. 

හැබැයි මේ විරසක වීම නිසා කවදාවත් අර පරණ හොඳ හිත නම් නැවත ඇතිවෙන්නේ නැහැම තමයි. 

මම හිතන්නේ නැහැ පුටින් ආයේ වැග්නර් කණ්ඩායම ඉස්සර විශ්වාස කරපු විදියට නැවත විශ්වාස කරයි කියල. කොහොමත් බලය සහ සල්ලි එක්ක ලොකු විශ්වාසකම් පවත්වන්න බැහැ කියල මේ ඔක්කොමල දන්නවා. 

ඒ නිසා මරණ දෙකක් නෙවෙයි ගොඩක් තියෙන පුටින්ට ඉන්න වෙලා තියෙන්නේ ප්‍රිගෝශින් කියන කාල බෝම්බය පිටේ බැඳගෙන.

ජෙරෝම් - නතාෂා කතා වස්තුව


- ගාමිණී වියන්ගොඩ - 

මෑත කාලයේ මූලධර්මවාදී මුල්ලාවරුන් පාලනය කළ සහ තවමත් පාලනය කරන රටවල් අප යහමින් විවේචනය කොට ඇත. ඊටත් කලින් කාලයක, එනම් මීට ශත වර්ෂ කිහිපයකට කලින් කාලයක ‘දණ්ඩාධිකරණ’ විශේෂයක් හරහා ඇමරිකාවේ සහ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් ගෙනගිය නිදහස් අදහස් මර්දන ව්‍යාපාරයේ ඉතිහාසය ගැන සහ කුරුස යුද්ධ ඉතිහාසය ගැනත් අප විවේචනය කොට ඇත. ඒ සියලු විවේචනවලදී අපේ සහායට සිටි ශාස්තෘවරයාණන් වුණේ බුදුන් වහන්සේ ය. උන්වහන්සේගේ දේශනාවන්ගෙන්, විශේෂයෙන්, විචාරශීලී වීමට ‘කාලාම සූත්‍රයෙන්’ බුදුන් වහන්සේ පෙන්වා දෙන ලද ධර්මය, අර කී අවස්ථාවලදී අපි නිහතමානී ආඩම්බරයෙන් උද්ධෘත කොට දැක්වූයෙමු. 

දැන් කාලයක සිට, එහෙව් බුදුන්ගේ නාමයෙන්, අනෙක් භක්තිකයන්ට හිරිහැර කිරීම ‘බෞද්ධ රාජකාරියක්’ වශයෙන් ගැනෙන තත්වයක් මෙරටේ ලියලන්ට පටන්ගෙන තිබේ. ඉහතින් කී ඉස්ලාම් ආගමේ නාමයෙන් හෝ ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් ලෝකයේ වෙනත් තැන්වල ඇති වුණු අගතිගාමීත්වයන් ප්‍රශ්න කිරීමේදී, බුද්ධ ධර්මයේ චිරස්ථිතිය සඳහා මර්දනීය ක්‍රියාමාර්ග කොහෙත්ම අවශ්‍ය නොකරන බව අප පෙන්වා දෙනු ලැබූයේ, ප්‍රධාන වශයෙන් එක තර්කයක් මත පදනම්වයි. එනම්, බුද්ධ ධර්මය විමුක්ති මාර්ගයක් වශයෙන් ආරක්ෂා වීමට, ඒ තුළම තිබෙන, එනම් ඒ දර්ශනය තුළම තිබෙන ඥානමය ශක්තිය සහ ජවය ඊට ප්‍රමාණවත් වන්නේය යන්නයි. පුංචි ළමයෙකු ළඟ කුප්පි ලාම්පුවක් තැබීමට දෙවරක් හිතන අපි, වැඩිහිටියෙකු ළඟ ගිනි මැලයක් ගැසීමට පසුබට වන්නේ නැත. බුද්ධ ධර්මය යනු බුද්ධිමත් වැඩිහිටියෙකි. ගින්නට අත නොතියන්නැයි ළමයාට දමන විධානය/නියෝගය, වැඩිහිටියා සම්බන්ධයෙන් අවශ්‍ය නොකෙරේ. එහෙත් දැන් දැන් ලංකාවේ සමහර භික්ෂූන් වහන්සේලා කටයුතු කරන්නේ, බුද්ධ ධර්මය යනු ළමයෙකු සේ ආරක්ෂා කරගත යුතුව ඇති, බිඳෙනසුලු භාණ්ඩයක් සේ සලකාගෙන බව පෙනේ. 

අප විසින් එළාගන්නා දැලක අපම පැටලී ඇති අමතර කතාන්තරයකුත් මේ අස්සේ තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර සහ ඩෑන් ප්‍රියසාද් වැනි නම්වාසගම් විවේචනය කරන මෙරටේ ප්‍රගතිශීලි පිරිස් සෑහෙන්න සිටිති. මෙරටේ ආගමික සහ ජාතික සහජීවනයට එවැනි පුද්ගලයන්ගේ හැසිරීම නිසා අනතුරක් වන්නේය යන උපකල්පනය ඒ විවේචන තුළ තිබේ. එහෙත් අනිත් අතට, යමෙකු කරන ප්‍රකාශයක් බුදුන්ට හෝ බුද්ධාගමට අපහාසයක් යැයි හාහෝවක් ඇති වූ ගමන්, අර ප්‍රතික්ෂේප කළ පුද්ගලයන්වම පොලිස්කාරයන් වශයෙන් සලකා, යම් හික්මවීමක් අපේ පැත්තෙන් තිබිය යුතු යැයි පෙන්වා දෙන්නේද, ඉහතින් කී ප්‍රගතිශීලි පිරිස්ම ය. එහිදී, අර කියන වැරදි/ආන්දෝලනාත්මක ප්‍රකාශය කළ පුද්ගලයා සම්බන්ධයෙන් මේ ප්‍රගතිශීලි පිරිස් නඟන තර්කය මෙවැන්නකි: “එයා (උදාහරණයක් වශයෙන්, නතාෂා) කියන දේ ඇත්ත තමයි. මමත් ඒකට එකඟයි. ඒ වුණාට, අපි ඥානසාරලා සහ ඩෑන් ප්‍රියසාද්ලාට අමුද්‍රව්‍ය සැපයිය යුතු නැහැ.”

මේ කියන්නේ කුමක්ද? අප විසින්ම මීට ඉහතදී අපුලෙන් බැහැර කළ පුද්ගලයන් පිරිසක් අවසානයේ අපේ නිදහසේ සීමාව කුමක්දැයි අපට කියාදෙන ගුරුතරු බවට අප විසින්ම පත්කරගනු ලැබ ඇති බවයි. එනම්, අප බුද්ධාගමට ‘අපහාස’ (විවේචන සහ ප්‍රශ්න කිරීම්) නොකළ යුත්තේ, අරගොල්ලන් ඇහැගහගෙන ඉන්න නිසා ය! ඒගොල්ලන් මිනිස්සුන්ව උසිගන්වන නිසා ය! 

නීති පද්ධති කියා දෙයක් නොතිබුණු කාලයේ ඥානසාරලා සහ ඩෑන් ප්‍රියසාද්ලා වැනි ඈත අතීතයක සිටි අයට මෙවැනි සමාජ භූමිකාවන් ස්වභාවයෙන්ම පැවරී තිබුණි. කුරුස යුද්ධ සංවිධානය කළ සහ ඒවාට ධනය සැපයූ ප්‍රාදේශීය බලපුළුවන්කාරයන්ගේ (රාජ්‍ය බලයට අමතරව) ඉතිහාසය කියැවූ විට මේ බව අපට අවබෝධ කරගත හැකිය. එසේම, 13 වැනි සියවසේ සිට 16 වැනි සියවස දක්වා යුරෝපයේ සහ ඇමරිකාවේ, පල්ලිය මැදිහත් වී පවත්වාගෙන ගිය ‘දණ්ඩාධිකරණ’ වෙත අන්‍ය මතධාරීන් කුදලාගෙන ඒමට සිටි ඔත්තුකාර පිරිස් ගැන ඉතිහාසයකුත් ලෝකයේ තිබේ. ඒ ‘ධර්මාධිකරණ’ මගින් ගිනිමැලයේ දමා මරණීය දණ්ඩනයට පත්කිරීම සඳහා, එක දුර්වල බොරු සාක්ෂියක් පමණක් ප්‍රමාණවත් විය. දියුණු නීති පද්ධති නොතිබුණු ඒ ඉතිහාසය අවසන්ව දැන් බොහෝ කල් ය. දැන් අපට නූතන පොලීසි, නූතන නීතිපති දෙපාර්තමේන්තු සහ නූතන අධිකරණ තිබේ. එහෙත්, අර අභ්‍යාසය වෙනත් ආකාරයන්ගෙන් තවමත් සිද්ධ වෙයි. 

නිදොස් කොට නිදහස් -  ඒත් ඒ, දඬුවම් විඳීමෙන් පසුවයි

මීට කලකට ඉහතදී, ශක්තික සත්කුමාර ලේඛකයා ලියූ කෙටිකතාවකින් බුදුදහමට නිගා වෙතැයි කියමින් එක් භික්ෂුවක් පොලීසියට කළ පැමිණිල්ලක් මත, ඒ කෙටිකතාකරුවා අත්අඩංගුවට ගෙන මාස හතරකටත් වැඩි කාලයක් හිරභාරයේ තබාගත්තේය. අවසානයේ ඔහු උසාවියෙන් නිදොස් වී, නිදහස් විය. එනම්, ඔහු නිර්දෝෂි වුණේ, අර භික්ෂුව බලාපොරොත්තු වූ දඬුවම් ඔහුට පැමිණවීමෙන් පසුව ය. දොස්තර ෂාෆි ගැන කතාව අමුතුවෙන් කිව යුතු නැත. අද ඔහු නැවත සිය වෘත්තියට යන්නේ, මොන තරම් දඬුවමක් විඳීමෙන් පසුවද? අතුරලියේ රතන සහ විමල් වීරවංශ ඇතුළු පිරිසට කිසි දඬුවමක් නැත. මීට සති කිහිපයකට කලින්, අනාගතවක්තෘවරයෙකැයි තමන්ම කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි පූජකවරයා පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති විය. එය පුස්සක් බව පසුව ඔප්පු වනු ඇත. දැන් එම චෝදනාව යටතේම, නතාෂා එදිරිසූරිය නමැති කලා කටයුත්තක නිරත තවත් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. 

දැන් මතු වන ප්‍රශ්නය මෙයයි: මේ කියන සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කරන්නේ හුදෙක් කිසිවෙකු කරන පැමිණිල්ලක් මත රඳා සිටිමින්ද, එසේ නැතහොත් ඒ කියන පැමිණිල්ලේ අඩංගු යැයි කියැවෙන වරද, එම තැනැත්තාව වරදකරු කිරීමට තරම් සාධාරණ පදනමක පිහිටා අධිකරණයක් ඉදිරියේ නඩු කටයුත්තක් ගෙන යාමට තරම් ප්‍රමාණවත් යැයි සෑහීමකට පත්වීමෙන් පසුවද යන්නයි. අද ක්‍රියාත්මක වන්නේ, මේ දෙවැනුව කී පදනම නොව, පළමුව කී ලෙහෙසි පදනම යටතේ බව පෙනේ. එනම්, යම් භික්ෂුවක් හෝ ගිහියෙකු පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් අහවලා බුද්ධාගමට අපහාසයක් කර ඇතැයි පැමිණිල්ලක් කළොත්, පොලීසිය වහා ක්‍රියාත්මක වී අර කියන චූදිතයාව අත්අඩංගුවට ගන්නේය. පොලීසිය කරන මේ වැරැද්ද, අඩු වශයෙන් මහේස්ත්‍රාත්වරයා විසින්වත් නිවැරදි කළ යුතු බවට අපේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග තිබේ. එහෙත් ඒවා පිළිපැදෙන බවක් දකින්ට නැත. අප ඉහතින් කී, 14-16 වැනි සියවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ක්‍රිස්තියානි පල්ලිය ගෙන ගිය ‘ඉන්ක්විශිෂන්’ යනුවෙන් හැඳින්වෙන ආගමික දඩයම් ක්‍රමය ක්‍රියාත්මක වුණේද එලෙසින්මයි. එදා පල්ලියේ අධිකරණය, හුදෙක් ඔත්තුකරුවාගේ පැමිණිල්ලම සිය තීන්දුව සඳහා යොදාගත්තේය. අද අධිකරණය ඊට වඩා දහස් ගුණයකින් දියුණු බව ඇත්ත. එහෙත්, එම අධිකරණයෙන් නිදහස් වන විට, අදාළ අහිංසක පුද්ගලයා දඬුවම් විඳ අවසන් ය.   

හඳහන හොඳ නම් අතුරා ආන්තරා නැත

එහෙත් මේ තත්වය පවා ක්‍රියාත්මක වන්නේ තවත් එක කොන්දේසියකට යටත්ව ය. එනම්, පොලීසිය එසේ හුදු පැමිණිල්ලක් මත පමණක් පිහිටා කෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෙළඹෙන්නේ, අන්‍යාගමිකයෙකු විසින් බුද්ධාගමට නිග්‍රහයක් කර ඇතැයි කියන අවස්ථාවලදී පමණි. උදාහරණයක් වශයෙන්, අල්ලා දෙවියන් වහන්සේට අහවලා නිග්‍රහ කෙළේ යැයි කියා හෝ ක්‍රිස්තුස් වහන්සේට අහවලා නිග්‍රහ කෙළේ යැයි කියා හෝ කෙනෙකු පැමිණිල්ලක් කළොත්, මෙතරම් කඩිනමින් අත්අඩංගුවට ගැනීමක් ගැන පොලීසිය යුහුසුළු වන්නේ නැත. එහිදී, සියල්ල අකුරට සොයා බලනු ලැබේ. ඇත්තෙන්ම ඒ කියන කතාවෙන් අල්ලා දෙවියන්ට/ක්‍රිස්තුස් වහන්සේට සැබවින්ම නිගාවක් විණිද, ඒ නිගාවෙන් සමාජ සමගිය නැති වීමට ඉඩක් තිබුණේද ආදී අවශේෂ කරුණු, අර පුද්ගලයාව අධිකරණයට ගෙන යාමට කලින්, පොලීසිය විසින්ම දීර්ඝ වශයෙන් විමර්ශනය කර බලනු ලැබේ. ඒ අනුව, අර කියන අන්‍යාගමික පැමිණිල්ල උඩ, චූදිතයාව අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ නැත. සිදුවුණත්, බොහෝ කල් ගතවීමෙන් පසුව ය.

අප දැන් වටහාගත යුතුව ඇති පාඩම මෙයයි: පොලීසිය අපක්ෂපාතීව සහ කාර්යක්ෂමව කටයුතු කරන්නේ නම්, (ජෙරෝම් හෝ නතාෂා වැනි) කෙනෙකු බුද්ධාගමට අපහාසයක් කළත්, ඥානසාර හෝ ඩෑන් ප්‍රියසාද් වැන්නන්ගේ මැදිහත්වීමකට ඉඩක් නොතබා, ආයතනික මට්ටමින් යුක්තිය ඉෂ්ට කළ හැකිය. එහෙත් අද ඒ පොලීසිය නමැති ආයතනය අපක්ෂපාතී නැත. බලවතෙකු අත්අඩංගුවට ගැනීමට ඇති විට පොලීසිය හඳහන් බලයි. හඳහන බලවත් නම් අත්අඩංගුවට ගැනෙන්නේ නැත. උදාහරණයක් වශයෙන්, ‘සිදුහත් කුමාරයා ආතල් පොරක්’ යැයි ප්‍රසිද්ධියේ කී දිලිත් ජයවීරට එරෙහිව අද වන තෙක් කිසි නීතිමය පියවරක් ගෙන නැත. (ඔහුගේ එම ප්‍රකාශය, නීතිමය පියවරක් ගැනීමට හේතුවක් කරගත යුතු යැයි මේ ලියුම්කරු කොහෙත්ම සිතන්නේ නැත). එහෙත්, අර ක්‍රිස්තියානි පූජකවරයා හෝ නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ප්‍රතිපත්තිය ඔහු සම්බන්ධයෙන් අනුගමනය නොවීම මගින් කියාපාන්නේ, එකිනෙකාගේ හඳහන්වල හයිය හෝ ග්‍රහයන් නීච වීම මත පමණක්ම පදනම්ව නීතිය ක්‍රියාත්මක වීම හෝ නොවීම සිද්ධ වෙන බවයි. ඊයේ (29) රාජාංගනේ චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනුණි. මොහුව අත්අඩංගුවට ගත යුතුව තිබුණේ මීට බොහෝ කලකට ඉහතදී ය. ඔහු පාවිච්චි කරන පරුෂ වචන සහ ඔහුගේ මදාවි හැසිරීම, පැවිද්දෙකුට තබා පිරිහුණු ගිහියෙකුටවත් නොහොබී. එහෙත්, මීට කලින් නැතිව, හරියටම මේ මොහොතේම ඔහුව අත්අඩංගුවට ගැනුණේ ඇයි? නාතාෂාව හිරභාරයට ගෙන ඇති නිශ්චිත මොහොතක, “නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වන්නේය” යන කුණුහරුපය අපේ ඔළුවලට නැවත වරක් එබ්බවීමට ය.

එතකොට ඥානසාර ?

මේ ලිපියේ ඉතිරි කොටස වැය කෙරෙන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර කරන ලද ප්‍රකාශයක්, මේ කියන ආගමික අපහාසයට සහ සමාජ සාමයට හානියක් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම පාඨකයන්ට භාර කිරීමට ය. එසේම, එය ආගමික අපහාසයක් නම් සහ සමාජ සාමයට හානියක් විය හැකි යැයි පොලීසිය විශ්වාස කරන්නේද යන්න දැනගැනීමටයි. ඔහුගේ ප්‍රකාශය මෙසේ ය:

“අනුක්‍රමයෙන්, වෙහෙර ගොඩයාය, දැන් මුස්ලිම් ගොඩැල්ල... නේද? (ඔහු වටා සිටින අනුගාමික පිරිස ඔහුව නිවැරදි කරයි). ඔව්, පල්ලිය ගොඩැල්ල වෙලා. එතකොට කොහොමද මේක වෙන්නේ? කවුද එහෙම පල්ලියගොඩැල්ල කියලා නම තියන්න මේගොල්ලන්ට අවසර දුන්නෙ? දැන් ඕකම තමයි මාණික්කමඩුව.. මාණික්කමඩුව කියන්නේ, දීඝවාපියේ පරිවාර චෛත්‍යය. දැන් මාණික්කමඩු චෛත්‍යයට කියනවා, ඒක මායාමඩුවලු. අල්ලා දෙයියන්ගේ ලබ්බක් තියෙනවලු එතන. අල්ලෙක් කියලා එකෙක් ඇත්තෙත් නැහැ. හැබැයි උගේ ලබ්බක් තියෙනවාලු එතන. (අනුගාමික පිරිස සිනාසෙති)... ඉතිං කාටද අපි මේක කියන්නේ? ඉතිං ඒක නිසා මේ මිත්‍යාවට අපි වැට බැදිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අරගල කළ යුතුයි. පාලකයන්ට මේවා වැඩක් නැහැ. උංට පුළුවන් නම් සීගිරි ගලත් ටෙන්ඩර් දාලා, ගල් කඩලා විකුණයි. උංට පුළුවන් නම් දඹුලු ගලත් කඩලා විකුණයි. උංට තියෙන්නෙ එදා වේල මිසක මේ රට ජාතිය ගැන හැඟීමක් නැහැ. එහෙම නායකයො පාලකයො හිටියා නම් අපිට මෙහෙම වෙන්නෙ නැහැනේ. මේ හාමුදුරුවන්ට මෙහෙම පාරට බහින්න වෙන්නෙ නැහැනේ. ඒක නිසා පාලකයන් ගැන, මේ රටේ නීතිය ගැන අපිට දෙවතාවක් හිතන්න වෙනවා. පුරාවිද්‍යා නීති, අර නීති, මේ නීති ඔක්කොම සිංහලයන්ට විතරයි. ඒක නිසා අපිත් ඒ නීති අතට අරගෙන දැන් ඔබවහන්සේලාත්, මේ කොල්ලොත් ඇවිල්ලා මේවා අල්ලගන්න. “මේක අපේ. මේක අපේ. මේක අපේ කියලා අල්ලගන්න”. එතකොට එයිනේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපිත් මේක අල්ලගමු. ඒකයි මං කිව්වේ නිලනොවන පොලිස්කාරයෝ වගේ උඹලත් පටන්ගනිල්ලා. කෙළවරකින් පටන්ගනිල්ලා. මොනවා හරි ප්‍රශ්නයක් එනවා නම් අපි එන්නං. පටන් අරං කොනක ඉඳං නෙලනවා කවුරු හරි එනවා නං, එච්චරයි. වෙන මේකේ විකල්පයක් නැහැ...” 

අර, තමන් අරහත් යැයි කියාගන්නා සමන්තභද්‍ර භික්ෂුව, දළදාව යනු ඌරු දළක් යැයි කියා දැන් සෑහෙන කලකි. ශක්තික සත්කුමාරට බලපැවැත්වූ අයි.සී.සී.පී.ආර්. නීතිය, සමන්තභද්‍ර භික්ෂුවට හෝ දිලිත් ජයවීරට එරෙහිව පාවිච්චි නොවීම ගැන, ඔවුන්ගේ ග්‍රහයන්ගේ ශක්තිය පැත්තකින් තියා කතා කළොත්, අපේ මතය මෙසේ ය: එවැනි ප්‍රශ්න කිරීම්, මොන විදිහකින්වත් ආගමික අපහාසයක් වන්නේ නැත. එවැනි අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ නිදහස මේ රටේ තිබිය යුතුය. එසේ විය යුත්තේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන නිසා පමණක්ම නොවේ. මෙය, බෞද්ධ රටක්ද වන බැවිනි. බුදුන් වහන්සේ යනු, ලෝකයේ විසූ ශ්‍රේෂ්ඨතම ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන නිසාවෙනි. මාර්ටින් වික්‍රමසිංහ ‘බව තරණය’ ලියූ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගත යුතු බවට පත්තර සිරස්තල පොල්ගෙඩි අකුරෙන් සැරසූ කාලය මීට බොහෝ කලකට කලින් අවසන් විය යුතුව තිබුණි. එහෙත් අවාසනාවකට, දඩයම වඩාත් තීව්‍ර වී, බෞද්ධ තලේබාන් රටක් බවට ලංකාව පත්වෙමින් තිබේ. ගලගොඩඅත්තේ ඥානසාරගේ ඉහත කී ප්‍රකාශය, එතරම් කළු-සුදු වශයෙන් ගත හැකි ආගමික අපහාසයක් වශයෙන් තිබියදීත්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා අයි.සී.සී.පී.ආර්. හෝ වෙනත් කිසි නීතියක් ක්‍රියාත්මක නොවී තිබීමෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙහිදී, බෞද්ධයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ: ගලගොඩඅත්තේ ඥානසාර ඉහත අවස්ථාවේදී අල්ලා දෙවියන් ගැන කියන ඒ වාක්‍ය තුන තුළට, අල්ලා වෙනුවට බුදුන් යැයි යොදා ඉස්ලාම් ආගමිකයෙකු ප්‍රකාශයක් කළොත් ඔබ කටයුතු කරන්නේ කෙසේද? 

මතක තියාගන්න: නතාෂා අත්අඩංගුවට ගැනීම, නග්න දඩයමකි. ඒ දඩයමේ යෙදෙන පොලීසිය සහ (සෘජුව හෝ වක්‍රව, මුළුමණින් හෝ අර්ධ වශයෙන්) ඊට උසිගන්වන හෝ එය යුක්තිසහගත කරන සමාජ කොටස් හොඳින් දන්නා එක දෙයක් තිබේ. එනම්, වර්තමාන ලංකාවේ සෑම පක්ෂයක්ම- ජනතා විමුක්ති පෙරමුණේ සිට පොහොට්ටුව/සජබ/එක්සත් ජාතික පක්ෂය/හෙළ උරුමය/ශ්‍රි.ල.නි.ප/හෙලිකොප්ටරය දක්වා, අනුර කුමාර දිසානායකගේ සිට මහින්ද රාජපක්ෂ/සජිත් ප්‍රේමදාස/රනිල් වික්‍රමසිංහ/චම්පික රණවක/මෛත්‍රිපාල සිරිසේන දක්වා සමස්ත ඡන්දකාමී පැළැන්තියම සිටින්නේ තමන් සමග බව ය. ඒ සහයෝගය ලබාගැනීම සඳහා ඔවුන්ට කිරීමට තිබෙන්නේ ඉතා සුළු දෙයකි: “බුද්ධාගමට අපහාස කළා” යන බෝඩ් ලෑල්ල එල්ලා ගැනීම පමණි. අර කියන ඡන්දකාමී කිසි නායකයෙකු හෝ පක්ෂයක් එවිට ඔවුන්ට විරුද්ධව කටක් අරින්නේ නැත. ඉදිරියේදී මැතිවරණත් ඒමට නියමිත නම් සහ ඒ මැතිවරණවලින් යම් ජයක් ලබාගැනීම ගැන විශ්වාසයකුත් ඇත්නම්, අර කටවල්වලින් මේ විෂය අරභයා, රාජ්‍ය හෝ පොලිස් ‘මර්දනය’ යන වචනය නම් කොහෙත්ම පිට නොවනු ඇත.           


පොලිස් කොමිසමේ ලොක්කාගේ චරියාව සහ ශානි අබේසේකර තවමත් ගෙවන වන්දිය

 


- ගාමිණී වියන්ගොඩ-

ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය සහ ලංකාවේ දේශපාලන සංස්කෘතිය අතර නොපෑහෙන ගතියක් කොහොමත් තිබේ. ‘ස්වාධීන’ යන චවනය අර්ථවත් වන්නේ, ශිෂ්ට සමාජ සම්මුතියක් මත එය පදනම් වුණොත් ය. මෙවැනි සමාජ සම්මුතියක ප්‍රධාන ලක්ෂණය වන්නේ, පුරවැසියන් විසින්ම ඒ සම්මුතිය භාරගෙන නොකඩවා නඩත්තු කරනු ලැබීමයි. ගුරුවරුන්ට සැලකීම එවැනි සම්මුතියකි. එය, නීතියකින් පනවන ලද්දක් නොවේ. 

ආයතනික ‘ස්වාධීනත්වයත්’ එසේම විය යුතුය. එනම්, පුරවැසියන් විසින් ඒ වචනයේ වටිනාකම භාරගෙන, ඊට ගරු කිරීමේ සහ එම ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ පුරවැසි සම්ප්‍රදායක් සමාජයේ මුල්අදින තෙක් නඩත්තු කළ යුතු බව ය. එහෙත්, පොලීසිය, අධිකරණය සහ රාජ්‍ය සේවය වැනි ආයතන තුළ තිබිය යුතු ‘ස්වාධීනත්වය’ ලංකාව වැනි රටක එවැනි සම්භාව්‍ය පුරවැසි ශිෂ්ටත්වයක් විසින් එක දිගට නඩත්තු කෙරෙන්නේ නැති නිසා, වෙනත් ශක්තිමත් නෛතික සහ ආයතනික ව්‍යුහයන් විසින් ඒවා ස්ථාපිත කළ යුතුව තිබේ. 

පොලිස් කොමිසම වැනි ආයතනයක් උදාහරණයට ගත්තොත්, එවැනි කොමිසමක් ස්ථාපනය කෙරෙන ක්‍රියාවලියේ ස්වභාවය සහ එවැනි කොමිසමක සංයුතියේ ස්වභාවය වැනි කරුණු, කෙලින්ම එහි ‘ස්වාධීන’ ක්‍රියාකාරීත්වයට බලපාන්නේය. පොලිස් කොමිසමට සාමාජිකයන් පත්කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් නම්, එම කොමිසමේ සාමාජිකයන් ජනාධිපතිවරයාගේ සිතැඟියා පරිදි කටයුතු කිරීමට පෙළඹීම නොවැළැක්විය හැකිය. එසේම, එම කොමිසමේ සාමාජික සංයුතිය හැදෙන්නේ දේශපාලන පක්ෂවලට මුල් තැන දෙමින් නම්, එම කොමිසමේ සාමාජිකයන්ද පක්ෂ-පාට අනුව කටයුතු කිරීමට පෙළඹීම නොවැළැක්විය හැකිය. වත්මනේ අපේ ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමේ කාර්යය භාරව තිබෙන ‘ව්‍යවස්ථා සභාවට’ දේශපාලන පක්ෂ නියෝජනය නොකරන සිවිල් පුරවැසියන් කිහිප දෙනෙකුත් ඇතුළත් විය යුතු බවට මේ වන විට යම් සමාජ සම්මුතියක් ඇති කරගෙන ඇත්තේ එබැවිනි.

මේ වැදගත් සිරිත අවස්ථා දෙකකදී රාජපක්ෂලා අතහැර දැමූහ. 18 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන තුළින්, පිළිවෙලින් මහින්ද රාජපක්ෂත්, ගෝඨාභය රාජපක්ෂත් එකී ‘ස්වාධීනත්වය’ තමන්ගේ සන්තකයට ගනිමින්, සියලු ‘ස්වාධීන’ කොමිෂන් සභා හැකිතාක් දුරට ස්වකීය හෙංචයියන්ගෙන් පිරවූහ. වර්තමාන පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු, රාජපක්ෂවරුන් පත්කළ එවැනි එක් අයෙකි. 

පොලිස්කාරයෙකු දැනගත යුතු හෝඩියේ පාඩමක් තිබේ. එනම්, නීතියක් වෙනස් වන විට ඒ වෙනසට අනුපූරකව තමන්ගේ රාජකාරිය අනුගත විය යුතු බවයි. උදාහරණයක් වශයෙන්, පාරේ වම් පැත්තෙන් වාහන පැදවීමේ නීතිය හෙට සිට පාරේ දකුණු පැත්තෙන් පැදවීමට මාරු වුණොත්, හෙට පටන් රටේ මිනිසුන් එසේ වාහන පදවන බවට පොලිස් නිලධාරියා වගබලාගත යුතුය. 

ගෝඨාභය පත්කළ සභාපතිවරයෙක්

මේ පොලිස් කොමිසමේ සභාපතිවරයා පත්කරනු ලැබුවේ ‘ව්‍යවස්ථා සභාවක්’ නොතිබුණු කාලයකයි. එනම්, ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමේ බලය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තමන්ගේ තනි අතට ගෙන තිබූ අවධියකයි. ඉතිං එවැනි පොලිස් කොමිෂන් සභාපතිවරයෙකු රාජපක්ෂලාගේ අන්තේවාසිකයෙකු වශයෙන් කටයුතු කිරීම පුදුමයට කරුණක් නොවේ. හාම්පුතෙකුට නගුට වැනීමක් මිස බිරීමක් බල්ලෙකුගෙන් බලාපොරොත්තු විය නොහේ. මෙවැනි තවත් අය, අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වැනි ‘ස්වාධීන’ යැයි කියන වෙනත් තැන්වලත් සභාපතිවරුන් සහ සාමාජිකයන් වශයෙන් පසුගිය කාලයේ කටයුතු කළහ. ඔවුන්ගේ වාර්තාව අශෝභන එකකි.  

කෙසේ වෙතත්, වර්තමාන ආණ්ඩුව විපක්ෂයේද පූර්ණ සහාය ඇතිව පසුගිය දා 21 වැනි ව්‍යස්ථා සංශෝධනය සම්මත කරගත්තේය. ඊට අනුව, ස්වාධීන කොමිෂන් සභාවල එතෙක් පැවති මූලික ස්වභාවය වෙනස් වෙයි. තමා පත් කළ තැනැත්තා වෙනුවෙන් කෘතවේදී වීම හිතේ කොණක තිබුණත්, තමාගේ චර්යාව මේ දිනයෙන් පසු වෙනස් විය යුතු බව හෙවත් තමන් දැන්වත් ‘ස්වාධීන’ විය යුතු බව, හිටපු පොලිස්කාරයෙකු වශයෙන් පොලිස් කොමිසමේ සභාපතිවරයා දැනගත යුතුව තිබුණි. එහෙත් සමහර හෙංචයියන්ගේ ආරේ ගති කොහොමත් නෑරේ. ඉතිං, ඔහුට වර්තමාන සම්මුතිය (21 වැනි ව්‍යවස්ථා සංශෝධනය) මුළුමණින් අමතක විය. ඒ වෙනුවට ඔහුට මතක් වුණේ, පොලිස්පති තනතුරෙන් විශ්‍රාම ගිය පසු බැසිල් රාජපක්ෂගේ ‘බී්‍රෆ් කේස්’ එක උස්සගෙන ඔහුගේ පස්සෙන් ගිය තමාගේ පරණ පුරුද්දයි. ඉතිං ඒ පුරුද්දට මේ මිනිහා බැසිල් රාජපක්ෂ පිළිගැනීමට කටුනායක ගියේය. ඒ ගැන ඔහු දැන් කියන නිදහසට කාරණය කුමක්ද? ඒ වෙලාවේ තමා ගුවන් තොටුපොළේ සිටි බවත්, එහි යම් තැනක සෙනගක් සිටිය බැවින් ඒ ගැන සොයා බැලීමේදී බැසිල් රාජපක්ෂ ලංකාවට ඇවිත් ඇති බව දැනගත්තේලු. සමාජ සමාචාරයක් වශයෙන් එතැනට ඔළුව දැම්මේ ඒ නිසාලු! 

මෙවැනි පුද්ගලයෙකු යම් කාලයක අපේ රටේ පොලිස්පති වී සිටීමේ කතාව තුළම, අපේ ආයතනික ක්‍රමය තුළ මොන තරම් ජරාජීර්ණ සුසමාදර්ශයන් තිබෙන්ට ඇත්දැයි අපට සිතාගත හැකිය. බැසිල් රාජපක්ෂ යනු මේ රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ අඩුම වශයෙන් පාර්ලිමේන්තුව හෝ පළාත් සභාවක් හෝ ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කරන්නෙකු නොවේ. (එවැනි කෙනෙකු පිළිගැනීමට පවා පොලිස් කොමිසමේ සභාපතිවරයෙකු තකහනියක් කටුනායක යාම නොහොබිනා බව වෙනම කතාවකි). ඒ අර්ථයෙන් ගත් විට, මොහු අන්තේවාසිකයෙකුටත් වඩා, වැඩවසම් වහලෙකි. ඒ බව, මීටත් වඩා ඔහු ප්‍රදර්ශනය කළ තවත් අවස්ථාවක් තිබුණි. එනම්, ‘දේශපාලන පළිගැනීම් විභාග කිරීම’ නමින් හැඳින්වුණු සහ පොදු ව්‍යවහාරය තුළ ‘පිස්සු පූසා කොමිසම’ වශයෙන් ගැනුණු, රාජපක්ෂලාගේ මඩ සෝදන ලද සහ විරුද්ධ පක්ෂ පුද්ගලයන් වධහිංසාවට පත්කරන ලද, ගෝඨාභය රාජපක්ෂගේ කොමිෂන් සභාවයි. මොහු එම කොමිසමේද සාමාජිකයෙකි. එහි සභාපති වුණේ, මොහුටත් වඩා නිහීන ඉතිහාසයක් ඇති පුද්ගලයෙකි. මෙවැනි එක සමාන කුරුල්ලන් කොහේ ගියත් එක අත්තක වැසීම සාමාන්‍ය ස්වභාවයයි. අවසානයේ ඒ ඊනියා කොමිසම මොන තරම් සමාජ ගර්හාවට ලක්වීද යත්, අධිකරණය විසින්ම පසුව එය නිෂේධ කර දැමීය. 

මේ අතරේ විශිෂ්ටයෝද සිටිති

නගුට වැනීමේ හෝ නීතියට පිටින් හිස නැමීමේ පුරුද්දක් නොතිබුණු අතලොස්සක් හෝ පොලිස් නිලධාරින්ද සිටීම රටේ භාග්‍යයකි. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එවැන්නෙකි. චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති වශයෙන් සිටි කාලයේ ශානි අබේසේකර පොලිස් පරීක්ෂකවරයෙකි. ඒ කාලයේ පටන්, අවසානයේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග වැඩ තහනමට ලක්වන තෙක්, ශානි අබේසේකර මේ රටේ නීතිය සහ යුක්තිය වෙනුවෙන් නිර්භයව කටයුතු කළ ආකාරය මේ වන විට මාධ්‍ය ඔස්සේ යහමින් අනාවරණය වී තිබේ. 

ශානි අබේසේකර යටතේ වැඩ කළ ඉතා ශූර පොලිස් පරීක්ෂකයෙකු වූ නිශාන්ත ද සිල්වා, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ සැණින් රහසින් විදේශගත විය. රාජපක්ෂලාට සම්බන්ධ අපරාධ සහ දූෂණ ක්‍රියා පිළිබඳ එවකට විමර්ශනය කරමින් සිටි තමා, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග අමානුෂික දඩයමට ලක්වන බව ඔහු සිය සුපුරුදු ඉවෙන් දැන සිටින්ට ඇත. වරක් එවැනි පරීක්ෂණ මෙහෙයවීම නිසා හිටිහැටියේම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් මීගමුවට මොහුව මාරු කරන ලදි. එහෙත්, ඒ (යහපාලන) කාලයේ ස්වාධීන පොලිස් කොමිසම කියා දෙයක් රටේ තිබුණි. ඒ නිසා, පැය හතළිස් අටක් යන්නටත් කලින් ඒ මාරුව අවලංගු කිරීමට එදා පොලිස් කොමිසම පියවර ගත්තේය. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග එවැනි ආයතනික ආරක්ෂාවක් තමන්ට නොලැබෙන බව නිශාන්ත ද සිල්වාට හැඟී යාම පුදුමයක් නොවේ. ඔහුට එසේ හැඟීයාමේ අර්ථවත් බව, පසුව ශානී අබේසේකර අරභයා දිගහැරුණු ක්‍රියාවලියෙන්ම ඔප්පු කෙරුණි.

නිශාන්ත ද සිල්වා විදේශගත වෙද්දී, ශානී අබේසේකරටත් ඉතා පහසුවෙන් වෙන රටකට යන්නට තිබුණි. ඒ සඳහා ඔහුට ඕනෑ තරම් අවස්ථා තිබුණි. එහෙත් ඔහු, අප බොහෝ දෙනා පෙළෙන එක්තරා සොඳුරු මායාවකට යට විය. එනම්, යුක්ති ධර්මය කියා දෙයක් ඇති තාක් කල් තමන් නිරුපද්‍රිත වන බවයි. රිචඩ් ද සොයිසා සහ ලසන්ත වික්‍රමතුංග වැනි අයත් සිතන්නට ඇත්තේ එසේ ය. එම චින්තනය තුළ, වැරදිකරුවා මිස නිවැරදිකරුවා දඬුවමට ලක් නොවේ. දියුණු ලෝකයේ බොහෝදුරට ඒ නියාමය සැබෑ විය හැකි වෙතත්, තුන්වැනි ලෝකයේ බොහෝවිට සැබෑව වන්නේ, ඒ නියාමයේ ප්‍රතිපක්ෂයයි. ඉතිං, ශානි අබේසේකර පිටරට නොගොස් මෙරටේ නැවතුණි. 

එතකොට, ඒ සඳහා ඔහුට ගෙවන්නට සිදු වූ වන්දිය?

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ ගමන් කළ මුල්ම කර්තව්‍යය වුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ එවකට කටයුතු කරමින් සිටි ශානි අබේසේකර, ගාල්ලේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ‘පුද්ගලික සහකාර’ තනතුරට මාරු කර යැවීමයි. මෙය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මුල්ම කර්තව්‍යය යැයි කී විට, එය අතිශයෝක්තියක් යැයි පාඨකයාට සිතෙන්නට පිළිවන. 

එසේ නම් මම මෙසේ කියන්නම්: මේ මාරු වීම කෙළේ, 2019 නොවැම්බර් 21 වැනිදා ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් තේරී පත්වුණේ 2019 නොවැම්බර් 18 වැනිදා ය. මතක තියාගන්න: ඒ වන විට, ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ අගමැතිවරයා හෝ ඇමති මණ්ඩලය පවා පත්කොට නැත. මහින්ද රාජපක්ෂ අගමැති තනතුරේ දිවුරුම් දෙන්නේ, 2019 නොවැම්බර් 22 වැනිදා ය. එහි අදහස වන්නේ, තමන්ගේ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත්කිරීමටත් වඩා ගෝඨාභය රාජපක්ෂට එදා හදිසියේම වැදගත් වී ඇත්තේ, ශානී අබේසේකරව සියලු විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීම සහ ඔහුගෙන් පළිගැනීම බවයි.

තවත් පැහැදිලි කිරීමක් අවශ්‍ය කෙරේ: නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ‘පුද්ගල සහකාර’ තනතුර දරන්නේ, සාමාන්‍යයෙන් පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහුගේ කාර්යය වන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලියුම් විවෘත කොට බලා වාර්තා කිරීමත්, දුරකථන ඇමතුම්වලට උත්තර දීමත් ය. එවැනි සිල්ලර රාජකාරියකට එදා මාරු කෙරුණු ශානි අබේසේකර, ඒ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුවේ පළමුවැනියා වශයෙන් සිටි පුද්ගලයා ය. 

තමන්ගේ නඩු කටයුතුවලින් ඉවත් කිරීමට අමතරව එම පුද්ගලයා හැකිතාක් නින්දාවට පත්කිරීමත්, ගෝඨාභය රාජපක්ෂගේ තිරශ්චීන ආශාවේ කොටසක් වී ඇති බව, මේ මාරුවේ ස්වභාවයෙන් පෙනේ. එහෙත් පසුව එය පවා ගෝඨාභයගේ ආශා සන්තර්පණයට නොසෑහුණි. ඒ අනුව, 2020 ජනවාරි 7 වැනිදා ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරුණි. මේ වැඩ තහනම් කිරීමට අදාළව ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගැනීම හෝ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම හෝ කිසි පරීක්ෂණයක් පැවැත්වීම හෝ, වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇති අද දක්වාමත් කෙරී නැත. එපමණක් නොව, වැඩ තහනම් කළ දා සිට අවුරුද්දකටත් වැඩි කාලයක් යන තෙක්, ආයතනික සංග්‍රහය පවා උල්ලංඝණය කරමින්, ඔහුගේ අර්ධ වැටුප පවා ගෙවීම මේ පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කොට ඇත. අවසානයේ, වැඩ තහනමට ලක්ව සිටියදී පසුගිය ජුනි මාසයේ ඔහු විශ්‍රාම ගියේය. එහෙත් අද දක්වාමත් ඔහුට විශ්‍රාම වැටුප ගෙවා නැත. උස් පහත්කම් නොතකා, නීතිය අකුරට ක්‍රියාවේ යොදවන පොලිස් නිලධාරීන්ට අපේ රටේ ලැබෙන දඬුවම එයාකාර ය.  

කෙසේ වෙතත්, වැඩ තහනමට ලක්ව ඔහුට පාඩුවේ ඉන්නට ලැබුණේ නැත. 2020 ජුලි 31 වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනුණි. ඒ අනුව, මාස 10 ක් සහ දවස් 18 ක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුව වශයෙන් බලධාරීන් හුවාදැක්වූයේ, ඊට කලින් ශානී අබේසේකර විසින් අපරාධයක සාක්ෂිකරුවෙකුගෙන් ලබාගන්නා ලද සාක්ෂියක් අයුතු බලපෑමෙන් ලබාගත්තේය යන්නයි. මේ චෝදනාවේ පුස්ස හඳුනාගැනීමට, ඒ අරභයා අභියාචනාධිකරණය දෙන ලද ඇප නියෝගයක අන්තර්ගත එක් කරුණක් පමණක් දැක්වීම සෑහේ. ඒ මෙසේ ය: “මෙය (එනම්, ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම) මරණීය දණ්ඩනයෙන් දඬවම් ලැබූ චූදිතයෙකුගේ උදව්කරුවන් එකතු වෙලා, පසු අවස්ථාවක ශානි අබේසේකර ඉලක්ක කරගෙන කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පෙනී යයි”. මේ කියන මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලද පුද්ගලයා වන්නේ, බස්නාහිර උතුර භාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධන ය. මොහු එල්ලුම්ගහට නියම කෙරුණු අපරාධ කටයුත්ත විමර්ශනය කිරීම භාරව සිටි නිලධාරියා වුණේ ශානි අබේසේකරයි.  

එක පැත්තකින්, හිටපු පොලිස්පතිවරයෙකු සහ වර්තමාන පොලිස් කොමිසමේ සභාපතිවරයා තවමත් බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයෙකු පිළිගැනීමට තකහනියක් කටුනායකට යන අතරේ, ශානි අබේසේකර වැනි විශිෂ්ට පොලිස් නිලධාරීන් වධබන්ධනයට පත්කිරීම තවමත් අවසන්ව නොතිබීම කියාපාන්නේ, බලධාරීන්ගේ හෙංචයියෙකු නොවන අවංක රාජ්‍ය නිලධාරියෙකුට ලංකාවේ පැවැත්මක් නැති බව මිස අන් කවරක්ද?



අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!

 ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් බලයට පත් වූ දා සිට කරමින් සිටි අටෝ රාශියක් වැරදි ගැන බහුතර ජනතාව සිටියේ මුනිවත රකිමිනි.

ආචාර්ය ඉන්දි අකුරුගොඩ 

ගාලු මුවදොර අරගලය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ මහත් පිබිදීමකට තුඩු දී තිබේ. ඒ පිළිබඳ දිනපතා බොහෝ තොරතුරු අසන්නට දකින්නට ලැබේ. එම අරගලය අනිවාර්යයෙන් ජයගත යුත්තකි. නමුත් අරගලයේ විචිත්‍රත්වය සහ රොමෑන්තිකකරණය හමුවේ අප බොහෝ දෙනෙකු සිතා මතා හෝ අවිඥානිකව අමතක කර ඇති කාරණා කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි අරමුණයි.



ගාලු මුවදොර වෙත යාමට පෙර මෙම අරගලයේ අක්මුල් රැඳී තිබුණේ, දිවයිනේ විවිධ ස්ථානවල පැන නැගුණු ආණ්ඩුවට එරෙහි මහජන විරෝධතා මතය. පොහොර හිඟය හේතුවෙන් වීදි බට ගොවීන් සහ නොනවතින සටනක යෙදෙමින් හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලූ ගොවීන් ද, ගුරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අඛණ්ඩ අරගලයක නිරත වූ ගුරුවරු ද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමූ විශ්වවිද්‍යාල යළි විවෘත කරන ලෙස ඉල්ලා වීදි බට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද මෙහිදී කැපී පෙනුණි. මීට අමතරව ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව සිදු කරන පරිසර සංහාරවලට එරෙහිව විරෝධය පෑ පරිසරවේදීහු ද දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි අරගලවල නිරත වූහ. නමුත් තැනින් තැන පැන නැගුණු මෙම විරෝධතා එක් කේන්ද්‍රයකට ගොනු වූයේ නැත. එම විරෝධතා එසේ එක් කේන්ද්‍රයකට ගොනු කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙකු මැදිහත් වූයේ ද නැත. බොහෝ දේශපාලන පක්ෂ සහ නායකයන් විසින් කළේ, තම පක්ෂ සාමාජිකයන් ගෙන්වාගෙන තනි තනි රැස්වීම් පැවැත්වීමයි.

මේ පසුබිම තුළ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් බලයට පත් වූ දා සිට කරමින් සිටි අටෝ රාශියක් වැරදි ගැන බහුතර ජනතාව සිටියේ මුනිවත රකිමිනි. අපරාධකරුවන්ට ජනාධිපති සමාව දීම, තම ඥාතීන් සහ හිතවතුන් සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් කිරීම, සිවිල් පරිපාලනය හමුදාකරණය කිරීම, ඩොලර් සහ රන් සංචිත අවභාවිත කිරීම, බදු ප්‍රතිපත්තිය විකෘති කිරීම සහ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීම මේ වැරදි අතරින් කීපයක් පමණි. සමාජයේ ඉතා සුළු පිරිසක් මේ කාරණාවලට විරුද්ධව හඬ නඟද්දී, බහුතර ජනතාව සිටියේ ඉතා අක්‍රිය සහ නිද්‍රාශීලී ස්වරූපයෙනි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත් කිරීමට සිය ඡන්දය ලබා දුන් ගොවීන් සහ ගුරුවරුන් සුළු පිරිසක් හැර, 69 ලක්ෂයක ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් සිටියේ, තමා විසින් බලයට පත් කරන ලද ජනතා නියෝජිතයන් කෙරෙහි මහත් භක්තියෙන් සහ විශ්වාසයෙන් ඔවුන්ගේ සියලු ආණ්ඩුකරණ දෝෂ නුදුටුවා සේය.

මෙම ජනතාවගේ අක්‍රියභාවයට සහ නිද්‍රාශීලීභාවයට බාධා පැමිණෙන්නේ, දෛනික විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන හිඟය, කිරිපිටි සහ බෙහෙත් හිඟය, අහස උසට යන භාණ්ඩ මිල ආදියෙන් තම කාර්යයන්ට බාධා වී, තම එදිනෙදා ජීවිතය තවදුරටත් සුපුරුදු පහසුවෙන් පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙනි. මෙය දැඩි හිරවීමක් (deadlock) ලෙස හැඳින්විය හැකිය. නගර ගම් දනවු සිසාරා ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එරෙහි විරෝධතා මතු වන්නේ ඒ සමඟය. තැන තැන පැවති මෙම විරෝධතා උත්සන්න වන්නේ පසුගිය මාර්තු 31 වැනිදා මිරිහාන, පැඟිරිවත්තේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට පැමිණි එම ප්‍රදේශයේ ජනතාව සෘජුවම ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කිරීමත් සමඟයි. 

එහිදී මතු වූ ප්‍රධානතම සටන් පාඨය වූයේ, "ගෝඨා, ගෙදර යන්න" (Go Home Gota) යන්නයි. මෙය එතෙක් තැන තැන පැන නැඟුණු විවිධ සටන් පාඨවලට වඩා වෙනස්ය. එය සියලු මහජන විරෝධය එකට ගොනු වූ කේන්ද්‍රීය පොදු සටන් පාඨයක් විය. මේ පසුපසින් ආ අනෙකුත් සටන් පාඨ දෙසට ද අවධානය යොමු කරන විට පෙනී යන්නේ, ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කිරීම පමණක් නොව, රාජපක්ෂලාගේ පවුලම හොරු බවත්, ඔවුන් ජනතා මුදල් කොල්ල කෑ බවත්, එම මුදල් ආපසු දෙන ලෙසත්, එසේ නොකර පැන යා නොහැකි බවත්, කළ වැරදිවලට දඬුවම් ලැබිය යුතු බවත් ජනතාව විසින්ම හඬගා කී බවයි. මෙහිදී ඉස්මතු වූ අනෙක් කාරණා වූයේ, ජනාධිපති ගෝඨාභය පිස්සෙකු බව සහ රාජපක්ෂ පවුලේ කිසිවකු රාජ්‍ය පාලනය සඳහා නුසුදුසු බවයි. මිරිහානෙන් ඇරඹුණු මෙම සටන් පාඨ තව තවත් දෙගුණ තෙගුණ වී ප්‍රබල ලෙස ව්‍යාප්ත වූයේ රට පුරාම ජනාධිපතිවරයාට, රාජපක්ෂ පවුලට සහ ආණ්ඩුවට එරෙහිව මතු වූ විරෝධතා රැල්ලත් සමඟය. මේවායේදී රාජපක්ෂලා, හොරුන් පමණක් නොව අපරාධකරුවන් සහ දූෂිතයන් රැකි පවුලක් ලෙස ජනතාව විසින්ම නාමකරණය කරනු දැකගත හැකි විය.

දැන් සමස්ත ලංකාවම නියෝජනය කරමින් ගාලු මුවදොරට රැස්වී ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරන්නන් ද මෙම සටන් පාඨ ඉදිරියට රැගෙන යන්නේ ඒවාට තව තවත් කොටස් එකතු කරමිනි. මෙහිදී අප ප්‍රශ්න කළ යුත්තේ, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල අපරාධකරුවන්, සොරුන් සහ අන්තවාදී තක්කඩින් බව පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ සමයේ විපක්ෂ බලවේග මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි පිරිස් දිගින් දිගටම පෙන්වා දෙද්දී, එම කරුණු සම්පූර්ණයෙන්ම නොසලකා හැර රාජපක්ෂලා බලයට ගෙන ආ පිරිස්වලට රාජපක්ෂලාගේ අපරාධ, සොරකම් සහ තක්කඩිකම් මතක් වූයේ තමන්ට කෑම බීම, බෙහෙත්, විදුලි බලය, ගෑස් සහ ඉන්ධන හිඟ වූ පසුව ද යන්නයි. දැන් පාරට බැස රාජපක්ෂලා අපරාධකරුවන්, සොරුන් සහ තක්කඩින් බව කියා මොරදෙන පිරිස්, එදා ඡන්දය දුන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්ලු! අද හිටිගමන් පහළ වී ඇති රාජපක්ෂලා පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අවබෝධය එදා තිබුණේ කොහි ද? එසේ නම් රාජපක්ෂලාට වඩා තක්කඩින් වන්නේ, මේ 69 ලක්ෂයක ඡන්ද දායකයන් නොවේ ද? ඔවුන් ඡන්දය දී ඇත්තේ, රාජපක්ෂලාගේ සියලු අපරාධ, සොරකම් සහ තක්කඩිකම් පිළිබඳව දැන දැනය. අද පාරට බැස සිටින බහුතරයක් එදා ගෝඨාභය වීරයෙක්, ගැලවුම්කරුවෙක් ලෙස නාමකරණය කළහ; කිසිදා සක්‍රිය දේශපාලනයේ නිරත නොවූ මිලිටරිකාරයෙක් කෙරෙහි කිසිදු තර්ක බුද්ධියකින් තොරව හැඟීම්වලට වහල් වී පූර්ණ විශ්වාසය තැබීය. එහි අයුතු ප්‍රතිඵල දැන් භුක්ති විඳින්නේ ගෝඨාභයට සහ රාජපක්ෂලාට ඡන්දය දුන් 69 ලක්ෂය පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවයි.

මෙම හැඟීම්බර අතාර්කිකභාවය දැන් අරගල භූමියේ ද දක්නට ලැබෙන බව මෙහි සටහන් කර තැබිය යුතුය. දැන් අරගලයට අවතීර්ණ වී සිටින බහුතරය එදා ඔය පෙන්වන ගැම්මෙන්ම ගෝඨාභය බලයට ගෙන ඒමටත්, බලයට පත් වූ පසුව ඔහුගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම පිණිස බිත්තියක්, තාප්පයක්, බෝක්කුවක්, පාලමක් ගානේ චිත්‍ර ඇඳීමටත් උත්සුක වූහ. ඔවුන්ට නොවැටහුණේ රාජපක්ෂ පවුලත්, ඔවුන්ගේ හිතවතුනුත් මඟහැර ගෝඨාභයට තනිව ආණ්ඩු කළ නොහැකි බවයි. තරුණ අරගලකරුවන් තරයේ සිහි තබා ගත යුත්තේ සිය ස්මාර්ට් දුරකථනයේ එක් බොත්තමක් ඔබන වේගයෙන් දේශපාලන පෙරළි සිදු නොවන බවයි. ඔවුන් විශ්වාස කරන්නේ, ගෝඨාභය පත් කළේ ඔවුන් විසින් බැවින් ඔවුන් කියන විට ඔහු ගෙදර යාමට සූදානම් යයි කියා නම් එය බිහිසුණු මුලාවකි. රාජපක්ෂලා එසේ බලය අත නොහරින බවට මෑත ඉතිහාසයේ බොහෝ උදාහරණ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 18 වැනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයාට පනවා තිබූ වාර දෙකේ සීමාව ඉවත් කරගෙන මැරෙන තුරු ජනාධිපතිකම රැක ගන්නට තැතනීම සහ යහපාලන ආණ්ඩුව අභිභවා ව්‍යවස්ථා විරෝධීව දින 52ක් බලහත්කාරයෙන් අගමැති ධුරයේ එල්ලී සිටීම ඉන් සමහරකි.

අරගලය නිර්පාක්ෂික වීම හෝ ඊට දේශපාලන පක්ෂ හෝ නායකයන් ගාවා නොගැනීම වෙනම කාරණයකි. නමුත් ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලට ගෙදර යාමට කොතෙක් බල කළත් නොයන්නේ නම්, ඊට තිබෙන ව්‍යවස්ථානුකූල මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අරගලයේ දිශානතිය ඒ දෙසට ද යොමු කළ යුතුය. මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනතා නියෝජිතයන් කට වචනයෙන් කීවාට ඉල්ලා අස්වන්නේ නැත්නම් ඊට ව්‍යවස්ථානුකූල විකල්ප සෙවිය යුතුය. ඒ, ගෝඨාගෝගමේ සිටින තරුණ පිරිසට රට පාලනය කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් ලැබී නොමැති හෙයිනි; ව්‍යවස්ථාවෙන් පිටට ගොස් රාජ්‍ය පාලනය කිරීමට තැත් කළහොත් ජාත්‍යන්තරය එය නොපිළිගන්නා හෙයින් ජාත්‍යන්තර සහයෝගය අහිමි වන බැවිනි. එබැවින් ඔවුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ මහජන නියෝජිතයන් 225ම එපා යයි කීවාට වැඩක් නැත. එය අතිශයින් බොළඳය; අතාර්කිකය; අභව්‍යය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එපා යයි කියමින් ඔවුන් අපේක්ෂා කරන්නේ විප්ලවයක් ද? නැතහොත් මිලිටරිමය පාලනයක් ද? එය තවත් දරුණු ඒකාධිපතිවාදයක් වෙතට අපව ඇද දමනු ඇත. එබැවින් අප සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයන්ය. ජනතා නියෝජිතයන් ඔබ විසින් පත් කරන තාක් ඔවුන් ඕපපාතික නැත. කළ යුත්තේ, මේ කුරිරු රෙජීමයට එරෙහිව ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තමා විසින් පත් කර යැවූ ජනතා නියෝජිතයන්ට බල කිරීමයි. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල ප්‍රතික්ෂේප කර එලවා දැමීමට පාර්ලිමේන්තුව වෙතටම පීඩනය එල්ල කිරීමයි. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත්, එය අත්සන් කිරීමටත් එම ජනතා නියෝජිතයන්ට බල කිරීමයි.

ගාලු මුවදොර අරගලය ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත දිශානතිය තීරණය කරන බලවේගයක් වන්නේ ඒ හරහා මුවහත් කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලියක් තිබුණහොත් පමණි. අප විසින් අපගේ ඡන්දයෙන් පත් කරන ජනතා නියෝජිතයන් කොතරම් එපා වුවත් ඔවුන් නියමිත නිල කාලයට පෙර නැවත කැඳවිය හැකි බලයක් (power to recall) අපට නැත. එම බලය ලබා දෙන ලෙස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා හරහා අප ඉල්ලා සිටිය යුතුය. 

අරගල පරණ වන විට යන්නේ ඉබාගාතේය. එය හැඟීම්වලට යට වූ කානිවල් එකක් බවට පත් නොවිය යුතුය. තාප්පවල චිත්‍ර ඇඳ ගෝඨාභය පොර කළ ආකාරයේ ලේසියකින් ඔහු එලවා දැමිය නොහැකි බව අරගලකරුවන් අවබෝධ කරගත යුතුය. ඔබ කොතෙක් අකමැති වුවත්, තිබෙන ආයතනික ව්‍යුහයන් හරහා මිස ඉන් පිට පැන ආණ්ඩුකරණයේ වෙනසක් කළ නොහැකිය. ඔබට පමණක් මෙය කළ හැකි යයි සිතන්නේ නම් සහ සියලු පවතින යාන්ත්‍රණ ප්‍රතික්ෂේප කරමින් වෙනසක් ගෙන ආ හැකි යයි සිතනවා නම් එය ගෝඨාභය වැන්නෙකු වීරයෙකු කරමින් බලයට ගෙනැවිත් කරන ලද ව්‍යසනයට වැඩි අකරතැබ්බයක් සිදුකරනු ඇත.

අපට විශාල කාලයක් නැත. ගෙවෙන සෑම මොහොතකම රට බංකොලොත් වෙමින්, නොපෙනෙන අගාධයකට ඇද වැටෙමින් තිබේ. එබැවින් නොපමාව ව්‍යවස්ථානුකූල විසඳුමකට යාම පිණිස අරගලයේ දිශානතිය වෙනස් කළ යුතුය. අරගලයේ විචිත්‍රත්වයෙන් මත් නොවන්න; හැඟීම්වලට වහල් නොවන්න; යථාර්ථය දකින්න. සිහින මත සිට තීරණ ගතහොත් නැවත ගොඩ ඒමක් නැත. අප සිහි බුද්ධියෙන් අරගලය මෙහෙයවිය යුත්තේ පාර්ලිමේන්තුව හරහාම ගැටලු විසඳා ගැනීම කෙරෙහිය. ගෝඨාභයට අස් වීමට බල කරන ගමන්ම පාර්ලිමේන්තුවට ද එම කාර්යය සඳහා හවුල් වීමට බල කළ යුතුය. රාජ්‍යයේ නිල ආයතනික ව්‍යුහ අභිභවා යාම නොව ජනතා බදු මුදලින් යැපෙන එම ආයතන තුළින්ම විසඳුම් සොයා ගැනීමට යොමුවිය යුතුය. එසේ නොකළොත් පෙරදී ඇඳි චිත්‍රවල දියසෙවෙල් බැඳී මැකී ගියා සේ ගෝඨාගෝගම ද ජන මනසේ වල් වැදී යනු ඇත. 

COVID-19 මූලාරම්භය-සෙවීම: විද්‍යාව විශ්වාස කර දේශපාලනය බැහැර කරමු

 තානාපති ක්වි ෂෙන්හොන්ග්  ( Ambassador Qi Zhenhong )

COVID-19 මූලාරම්භය සොයා ගැනීම විද්‍යාවේ කරුණක් වන අතර එය වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. චීනය, ශ්‍රී ලංකාව සහ ලොව පුරා සිටින විද්‍යාඥයින් අදාළ පර්යේෂණ වල අඛණ්ඩව නිරත වී සිටිති. කෙසේ වෙතත්, දින 90 ක් තුළ කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය සිය බුද්ධි අංශයට මැයි මස අග භාගයේදී නියෝග කළ අතර, මෙම කාරණය සම්බන්ධයෙන් ඊනියා ‘පූර්ණ පරීක්ෂණයක්’ සඳහා චීනයට බලපෑම් කරන ලෙස ද ඔවුහු විවෘතව කියා සිටියහ. මෙවැනි අප්‍රසන්න දේශපාලන ගුණ්ඩු දැමීම සහ ඉලක්ක කරගත් ජාතියකට එරෙහිව "වරදකාරී යැයි උපකල්පනය" කරමින් චෝදනා කිරීමෙන් උල්ලංඝනය කරන්නේ විද්‍යාව සහ සාමාන්‍ය බුද්ධිය පමණක් නොවේ. එය සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවගේ අවඥාවට හා විරෝධයට භාජනය විය යුතු ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

මේ වසර මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) සහ චීනයේ ප්‍රවීණ විශේෂඥයින්  චීනයේදී කොවිඩ් -19 මූලාරම්භය හඳුනා ගැනීම පිළිබඳව ඒකාබද්ධ අධ්‍යයනයක් කළෝය. දින 28 ක් පුරා සිදුකළ අධ්‍යයනයේදී විශේෂඥයින් තමන්ට අවශ්‍ය ඕනෑම තැනකට ගොස් හමු වීමට අවශ්‍ය ඕනෑම අයෙකු හමු වීමට ඉඩසලසනු ලැබීය. ඉන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තොරතුරු හා බලයලත් ඒකාබද්ධ අධ්‍යයන වාර්තාවක් නිල වශයෙන් නිකුත් කරන ලද අතර, "විද්‍යාගාර කාන්දු වීම කිසිසේත්ම විය  නොහැක්කක්" බව සහ ලෝකයේ සෑම තැනින්ම ලබාගන්නා මුල් රුධිර සාම්පල සඳහා සේරෝ සමීක්‍ෂණය කිරීම අවශ්‍යය බව ඇතුළු ප්‍රධාන නිගමන කිහිපයක් එහි ඇතුළත් විය.  ඒ මත පදනම්ව මේ සම්බන්ධ ජාත්‍යන්තර අධ්‍යයන පුළුල් වෙමින් පවතී. ඉතාලිය, ප්‍රංශය, බ්‍රසීලය සහ එක්සත් ජනපදය වැනි බොහෝ රටවලින් SARS-CoV-2 වෛරසය  පරික්ෂා කිරීමට එකතු කල සාම්පල වලට අනුව ඒවාට වෛරසය අසාදනය වීම   චීනයේ වුහාන් හි අදාළ වෛරසය අසාදනය වී ඇතැයි වාර්තා වූ පළමු සිද්ධීන් වලින් එකතුකරගත් සාම්පල  වලට  වඩා පැරණි බව සොයාගෙන ඇත.  ඉතාලියේ මිලාන් විශ්ව විද්‍යාලයේ සහ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි අනුස්මරණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් චීනය පුරා පැතිරී යෑමට බොහෝ කලකට පෙර 2019 ගිම්හානයේ අග භාගයේදී ලොම්බාර්ඩි හි COVID-19 සංසරණය වූ බවට සාක්ෂි සොයා ගත්හ.ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාව ප්‍රකට ලන්සෙට් වෛද්‍යය සඟරාවේ ප්‍රසිද්ධ විය.    ලොව පුරා විවිධ ස්ථාන වලින් ලබා ගන්නා සාම්පල භාවිතා කොට සිදුකරන මෙම සියළුම විද්‍යාත්මක සොයාගැනීම් මඟින් වෛරසයේ මූලාරම්භය සෙවීමේ අත්‍යවශ්‍යතාවය අවධාරණය කෙරේ.

සතුටට කරුණ  නම්, වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ මුවාවෙන් එක්සත් ජනපද පරිපාලනය  සිදුකරන දේශපාලන කටයුතු  සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ පුලුල් විරෝධය මිස සහයෝගයක් නොලැබීමය. මෑතකදී, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 76 ක් වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම දේශපාලනීකරණය කිරීමට විරුද්ධව හඬ නැඟූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි යැවීම සහ නිවේදන නිකුත් කිරීම තුළින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන ඒකාබද්ධ අධ්‍යයන වාර්තාව තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.  ඊට අමතරව, විද්‍යාඥයින්, දේශපාලනඥයින්, මාධ්‍ය වෘත්තිකයන් සහ සංවිධාන වැඩි වැඩියෙන් මෙම ස්ථාවරයේ සිට කටයුතු කරමින් සිටිති. කොවිඩ් -19 වසංගතය දේශපාලනීකරණය වීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති  ෂී ජින් පින් අතර සිදු කළ දුරකථන සංවාද දෙකේදී අවධානය යොමු වූ අතර එහිදී ඊට එරෙහිව දැඩි විරෝධය පළ වූ බව සඳහන් කිරීම වටී. දින කිහිපයකට පෙර, හිටපු සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අප හමුවීමේදී මෙම වෛරසයේ මූලාරම්භය සෙවීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය නැවත අවධාරණය කළාය. මෙම අගතිගාමී දේශපාලනීකරණය  කොවිඩ් -19 වසංගතය මුළුමනින්ම පරාජය කිරීම සඳහා වූ සියළුම රටවල උත්සාහයන්ට බාධා පමුණුවන බවත් එමඟින් කිසිඳු යහපතක් සිදු නොවන බවත්  චීනය සහ ශ්‍රී ලංකාව පිළිගනී.

එක්සත් ජනපද බුද්ධි අංශ වල අපකීර්තිමත් කටයුතුවලට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ. ඔවුන්ගේ කටයුතු නිසා මනුෂ්‍යවර්ගයාට සිදු වී ඇති හානිය අපමණය. හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් සහ සීඅයිඒ හි හිටපු අධ්‍යක්ෂ මයික් පොම්පියෝ මහතා විවෘතව පාපොච්චාරණය කළේ “අපි බොරු කිව්වා, අපි වංචා කළා, අපි හොරකම් කළා” කියාය.  2003 දී ස්වෛරී රටක් වූ ඉරාකයට තම හමුදාව යැව්වේ තම බුද්ධි අංශවලින් සැපයු ව්‍යාජ බුද්ධි වාර්තා එනම් ඉරාකයේ සමූල ඝාතක අවි ඇතිබව සඳහන් කළ වාර්තා පදනම් කරගනිමිනි. එම යුද්ධය හේතුවෙන් සිවිල් වැසියන් 200,000 ක් පමණ මරණයට පත් වූ අතර ගැටුම් විසින් ශේෂ කළ අවතාර තවමත් එහි හොල්මන් කරමින් සිටී.   වෛරසයේ ඊනියා මූලාරම්භය පිළිබඳ සොයා බැලීමේ සීඅයිඒ වාර්තාව “කොවිඩ් විමර්ශන කෞතුක වස්තුවක්” ලෙස හැඳින්වීම පුදුමයක් නොවේ. මන්ද, එය තවත් අපතේ යන කඩදාසි කැබැල්ලක් හැර වෙන කිසිවක් නොවේ. එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ගොතන ලද ඊනියා වාර්තාව කැබලිවලට ඉරා දැමිය යුතු වාර්තාවක් බව සැබෑ කරුණු වලින් තහවුරු වනු ඇත  එය හරියට  කාබුල්හි සිටි සෑම් මාමාගේ හදිසි හා බියගුළු ඉවත්වීමෙන් පසු ඇමෙරිකානු පාලකයින් කෙරෙහි වූ විශ්වසනීයත්වය යලිත් කැඩී බිඳී ගොස් ඇති බව සනාථ වූ ආකාරයෙනි.

තානාපති ක්වි ෂෙන්හොන්ග්  ( Ambassador Qi Zhenhong ) ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි

අර්බුදයේ ප්‍රෙහෙලිකා

වික්ටර් අයිවන්

කිසියම් කලක සිට ලංකාවේ සමහර වැදගත් දේවල් සිදුවූයේ විකාර රූපි ස්වරූපයකටය.සමාජයේ විචාර බුද්දියේ ( ලංකාවේ ශාස්ත්‍රාලිය ලෝකයද ඇතුලුව )පූරණ බිද වැටීමක් නැතිව රටක් මෙවැනි අසමත් තත්වයකට ඇද වැටිය නොහැකිය.විචාර බුද්දියේ පූර්ණ බිදවැටීමක් ක්‍රමානුකූලව මිස ක්ෂනිකව සිදුවිය නොහැකියེ.ජනාදිපති ගෝටාබයගේ භුමිකාව තෙරුම් ගතයුතුව තිබෙන්නේ අලුත් නාට්‍යක් ලෙස නොව පරණ නාට්‍යයේම  තවත් අලුත් පරිච්චේදයක් ලෙසය.ගෝටාභය උපදින්නේ යහපාලන ආණ්ඩුවේ ගර්බාශයෙනි.එම උත්පත්තියේ පෙකනි වැල කපන්නේද යහපාලන ආණ්ඩු වේ වින්නම්බු අම්මලාය.මේ විකට නාට්‍යයේ සැබෑ දේසපාලන සොබවය තෙරුම් ගත හැකිවනු ඇත්තේ මේ ආණ්ඩුව හා තිබුන ආණ්ඩුව අතර තිබෙන අන්තර් සම්බන්දය තේරුම් ගැනීමෙන් හා විශේෂ වශයෙන් ගත හොත් ඒ ආශ්‍රයෙන් ගොඩනැගී තිබෙන ප්‍රෙහෙලිකා විසදා ගැනීමට දරන උත්සහයන් තුළිනි.



            ප්‍රෙහෙලිකා අංක1: ජනාදිපති ක්‍රමය

ලංකාව ට අදාලව විසදා ගත යුතුව තිබෙන ප්‍රදාන ගනයෙහි ලා සැලකිය හැකි ප්‍රෙහෙලිකා  10 ක් පමන තිබේ.මා මෙහි සාකච්චා වට ගන්නේ ඉන් දෙකකි.ජනාදිපති ප්‍රෙහෙලිකාව හා පොහොර ප්‍රෙහෙලිකාවයි.2015 මැතිවරනයේ ප්‍රදාන තම මහජන ඉල්ලීම ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම ලෙස සැලකිය හැකිය.යහපාලන ආණ්ඩුව එය ඉටුකලේ නැත.ජනාදිපති ක්‍රමයට බොරු ප්‍රතිසන්ස්කරන කිහිපයක් එකතු කොට එය පැවති අසීලාචාර ස්වරූපයෙනම තබා ගත්තේ ය.ලංකාවේ ජනාදිපති ක්‍රමය සීලාචාට තත්වයට ගැනීමට නම් ජනාදිපති නීතියට පහලින් සිටින නීතියට යටත් තත්වයක තැබිය යුතු ය.එ සමග ඔහු තිබෙන හිතුවක්කාරි බලය සේම ඔහුගේ මූලීකත්වයෙන් සිදුවන වස්තු කොල්ලය ද අවසන් වන්නේ ය . 

විය යුතුව තිබුනේ මහජනයා ගේ ප්‍රධාන  ඉල්ලීමට අනුකූල වෙමින් ජනාදිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයක මාරු වන අතර ජාතිය ගොඩ නැගීමට හේතුවන ලෙස හා ජරාජීර්න තත්වයට පත්ව තිබුන රාජ්‍යය රටේ සියලු දෙනාගේ විස්වාසයට හේතුවන ලෙස නවීන හා කාර්‍යක්ෂම රාජ්‍යය ක් බවට පත් කිරීමට හේතු වන ප්‍රතිසන්ස්කරන වලට රට යොමු කිරීමය.ඒ වෙනුවට සිදු වූයේ වියාජ ප්‍රතිස්ංස්කරන වැඩ සටහනක් සමග රාජ පක්ෂ විරෝදි සන්දරශනාතමක වැඩ සටහනක රට යොමු කිරීමය.අනෙකුත් අත්‍යාවශ්‍ය ප්‍රතිසන්ස්කරන සමග ජනාදිපති ක්‍රමය අහෝසිකලේ නම් හෝ ජනාදිපති ක්‍රමය පවත්වාගෙන යන්නේ නම් ජනාදිපති නීතියට පහලින් තබන තැනක තැබුවේ නම් ඒ ප්‍රතිසන්ස්කරන ආපසු හැරවීම සරල හෝ පහසු වන්නේ නැත.

යහපාලන ආණ්ඩුව ජනතා අබිලාෂ යන්ට අනූකූල වෙමින් ජනාදිපති ක්‍රමය අහෝසි නොකලේ ඇයි? යහපාලන ආණ්ඩුවේ සමහර නායකයින් ඊට මට දී තිබෙන පිලිතුර වනුයේ එක මොහොතක ජනාදිපති ක්‍රමය අහෝසිකීරීමට චම්පික හැර අන් සියලු නායකයින් කැමතිවී සිටි බවත් චම්පික ගෙන් එල්ලවූ විරෝදය නිසා එම තීරනය ආපස්සට ගන්නට සිදිවූ බවත්‍ ය.චම්පිකට ජනාදිපති ක්‍රමය පවත්වාගෙන යාමට අවශ්‍ය වූයේ ඇයි.?තමන්ට පාලන බලයට එනවා නම් ආ හැකි එකම ක්‍රමය එය ලෙස සලකා එසේ කලේද? නැතිනම් ඒ ඇයි.?ජනාදිපති ක්‍රමය තබා ගැනීමට අවශ්‍ය වී නම් එහි සීලාචාර ආකෘතියක් ඇති කර  ගන්නේ නැතිව පරන අසීලාචාර ආකෘතිය පවත්වා ගත්තේ ඇයි?එම ප්‍රස්නයට චම්පික දෙන පිලිතුර කුමක්ද? ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම සදහා යහපාලන ආණ්ඩුවේ අන් සියලු දෙනා එක මතයක සිටියේ නම් චම්පික නොසලකා ජනාදිපති ක්‍රමය අහෝසි කරන තැනකට  අන් නායකයින් නොගියේ ඇයි? ජනාදිපති ක්‍රමය පැවතිය හොත් එය කවදා හෝ තමන්ගේ ඔඩොක්කුවට වැටෙන්න පුලුවන් කමක් තිබේයයි කියන හැගීම රාජ්‍යය නායකත්වය ගැන හීන දකින නායකයින් තුල තිබුන නිසාද? රාජ්‍යය නායකයා ඇතුලු රාජ්‍යය යේ සියලු දෙනා නීතියට යටත් තත්වයක සිටිය යුතුයි කියන සංකල්පය ඉතාමත් ප්‍රකට පැරනි පිලගත් ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය කි.මොන හේතු නිසා හෝ ජනාදිපති ක්‍රමය පවත්වාගෙන යාමට තීරන කලේ නම් ජනාදිපත් නීතියට යටත් තත්වයකට. ගැනීමට ක්‍රියා නොකලේ ඇයි? ඒ ගැන චම්පිකට අතිරේකව රනිල්, කරු, මංගල , සජිත්, අනුර කුමාර වැනි නායකයින් කියන්නේ කුමක් ද?

             ප්‍රෙහෙලිකා අංක2: රසායන පොහොර

ලංකාව මුහුණ දී තිබෙන ණය අර්බුදය ඉදිරියේ ආනයනයන් සදහා කරන වියදම උපරිම මට්ටමෙන් පාලනය කිරීමේ අවශ්‍යතාවක් පවතී.එහෙත් රසායන පොහොර සැලකිය හැක්කේ කපා නොහැර කෘෂිකරමයේ යහ පැවැත්ම සදහා නොකඩවා ආනයනය කල යුතු දෙයක් ලෙසය.මේ අර්බුදයට පුර්න විසදුමක් ලැබෙන තෙක් අර්බුදයේ බර තුනීකර ගැනීම සදහා අල්ලා ගෙන සිටිය යුතු අංසය බවට පත් කර ගත යුතුව තිබුනේ කෘෂිකරමයයි.ආහාර අර්බුදය ‍යක් ඇති නොවන තත්වයක් පවත්වා ගෙනයන අතර කර්මාන්ත අන්සයේ රක්ෂා අහිමි වන ජනායාට රැකවරනය ලබා දිය හැකි තත්වයක් ඒ මගින් පවත්වාගෙන යායුතුව තිබුනි.

රසායන පොහොර තහනම කෘෂි කර්මයට තිබූ එම හැකියාව මරා දැමීම්ට හේතු වනු ඇත.වන ස්තුන් ගේ ගහනය වර්දනය වීමෙන් එල්ලවී තිබෙන අබියෝගය ජය ගැනීම සදහා ගොවීන් අතට තුවක්කු දීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරනය නිවරදිය.එහෙත් රසායන් පොහොර තහනම කෘෂිකරමයට ඇතිකරන බලපෑම ඉතාමත් විනාශකාරි ය.ඒ සදහා තීන්දුවක් ගන්නට පෙර හොදින් කරුනු සලකා බැලීමකට යායුතුව තිබුනි.එය ජනාදිපති ට හෝ ඇමති මණ්ඩලයට තනිව ගත් හැකි තීන්දුවක් ලෙස සැලකිය නොහැකිය.එය කෘෂි විද්‍යාඥයන් ගේ හා කෘෂි නිලදාරින් බැරෑරුම් ලෙස කරුනු සලකා බැලීමකට යෑමෙන් පසු ඔවුන් ගේ නිර්දේශ මත පිහිටා ගත යුතු තීන්දුවකි.එහෙත් තීන්දුව ගෙන තිබුනේ දේසපාලන අධිකාරිය විසින් ඉතාමත් හිතුවක්කාර ආකාරයකටය.

ආනයනය කරන රසායන පොහොර හා ඒ සදහා අවශ්‍ය රසායන යෙදවුම්  සදහා ඩොලර් වලින් ගෙවීමට බැරි ප්‍රස්නයක් තිබුනේ නම් ඩොලර් වලින් ගෙවීමකින් තොරව එම අවශ්‍යතාව සපුරා ගැනීමේ හැකියාව ද ලංකා වට තිබුනි.රසායන පොහොර නිපදවන රටවල් අතර ඉන්දියාව චීනය ප්‍රදානය.රටට අවශ්‍ය රසායන පොහොර චීනයෙන් ලබා ගැනීමට පුලුවන් කම තිබුනා සේම ඉන්දියාව අපට ලබා තිබෙන නය පහසුකම් මාරගය ඔස්සේද ඒවා ලබාගත හැකි වන්නට ඉඩ තිබුනි.එසේ නොකොට ලංකාවේ කෘෂික්‍රමයේ පිට කොන්ද කඩා බිද දැමීමක් ඇති කිරීමට හේතුවන තීන්දුවක් ගන්නා තැනට ගියේ ඇයිද යන්න නොපැහැදිලිය.එම බිහිසුනු තීරනය පිටුපස සිටින මහ මොල කරුවා කව්ද? ඔහු ඔල මොට්ටලයෙක් නොවේ නම් එසේ කරන්නට ඇත්තේ ලංකාව පූර්ණ පරාදීනත්වයකට තල්ලු කිරීමේ අදහසින් ම විය හැකිය.

           තහනමේ ඓතිහාසික පසු බිම

රසායන පොහොර තහනම ගැන ආණ්ඩු වට පමණක් දොස් තැබිය නොහැකිය.රසායනික පොහොර , කෘමි හෝ වල් නාශක නැති කාබනික ගොවි තැනක් ගැන හඩ නගන මතවාදි වියාපාරයක් දශක හතරක් තිස්සේ ම රටේ තිබුනි එම මතවාදි වියාපාරයේ ලංකාවේ ආරම්බක නියාය වාදියා ලෙස සැලකිය හැක්කේ මොන්ලාර්( MONLAR) වියාපාරයේ නිර්මාතෘ සරත් ජස්ටින් ප්‍රනාන්දුය.මා දන්නා තරමින් රසායන පොහොර නැතිව කාබනික ගොවිතැකක් වෙනුවෙන් ලංකාවෙ පෙනී සිටි පලමු නියාය වාදියා ඔහුය.ඉන් පසු එවැනි වැඩ සටහනක් වෙනුවෙන් පෙනී සිටි ඊලග නියාය වාදියා වූ යේ චම්පික රණවකය.එකල ඔහු පාරලිමේන්තු දේසපාලකයෙකු නොවු අතර තරුන වියාපාරයක් වූ ජනතා මිතුරෝ සන්විදානයේ ප්‍රදානියා විය.රසායන පොහොර, කෘමි හෝ වල් නාශක නැති කාබනික පොහොර වලින් පමණක් කරන පාරිසරික ගොවි තැන් ක්‍රමයක් පිලිබද අදහස ලංකාවෙ බිහිවූ අදහසක් නොවන අතර යුරෝපයේ හරිත වියාපාර ආශ්‍රයෙන් ගොඩනැගුන මතවාදි වියාපාරයක් විය.සරත් හා චම්පික යන නියායවාදින් දෙදෙනාම එම යුරෝපීය මතවාදි ප්‍රවන තාවයේ දේශීය ගුරු කුල දෙකක නායකයින් විය.ඒ වන විට චම්පික සිංහල බෞද්ද චින්තනයකට තදින් ගැට ගැසී තිබුනේ නැත.මෙම මතවාදයට බුජාතික සමාගම් විරෝදි පෙනුමක් තිබුන නිසා අධිරාජ්‍ය විරෝදි සටන් කාමි පෙනුමක් ඇතිව එම මතවාදය සමාජ ගත කිරීමේ හැකියාව ඔවුන්ට ලැබී තිබුනි.සරත් කුඩා පොත් හා පත්‍රිකා මගින් එම අදහස සමාජ ගත කලේය.චම්පික ස්වබාවික ගොවිතැන පිලිබද ප්‍රකට නියායවාදියෙක් වූ ජපන් ජාතික පුකුයාකෝ ( Masanobu Fukuoka) පිදුරු ගසක විපලවය" ( One straw revolution)නැමැති පොත පාදක කරගනිමින් රසායන පොහොර, කෘමි හෝ වල්නාශක නැති ගොවිතනක් ගැන වන ලිපි පෙලක් දිවයින බදාදා සංග්‍රහයට ලීවේය. මා සරත් හා චම්පික යන දෙදෙනාම දැනසිටි අතරඒ දෙදෙනා වෙන් වෙන්ව හමූ අවස්තාවල ඔවුන්ගේ එම විශේෂ මතාවදය. ගැන අදහස් හුවමාරු කර ගැනීම් සිදු වූ අතර ඒ කාලයේදී එම ප්‍රවනතාව විවේචනයට ලක්කල එකම විවේචකයා වන්නට ඇත්තේ මාය.

ඒ කාලයේදීද මා කාබනික ගොවි තැන මුලු මනින් ප්‍රතික්ෂේප කලේ නැත.එය ගෙවතු වගාවට යොදාගත හැකිවුවත් විශාල ප්‍රමානයේ වගාවන්ට සාරතක ලෙස යොදා ගත නොහැකි බව මගේ මතය විය.එසේම අතුරු ආබාද තිබියදීත් රසායන පොහොර, කෘමි හා වල් නාශක නැතිව දියුනු කෘෂිකරමයක් පවත්වාගෙන යා නොහැකි බව මගේ මතය විය.කාබනික පොහොර වලින් ලබා ගත හැකි අස්වැන්න රසායන පොහොරවලට සාපේක්ෂව ඉතා අඩු බවත් කාබනික පොහොරවලින් කරන ගොවි තැනේ නිෂ්පාදන වියදමද රසායනික පොහොරවලින් කරන  ගොවිතැනේ නිෂපාදන වියදමට වඩා වැඩිබවත් මගේ මතය විය. දැන් සරත් ජස්ටින් ජීවතුන් අතර නැත.චම්පික ලංකාවේ දේසපාලන නායකයින් ගේ පෝලිමේ වැදගත් තැනක සිටින කෙනෙකු ලෙස සැලකිය හැකිය.මේ දෙදෙනා රසායන පොහොර වල් හෝ කෘමි නාශක ගොවිතැනක් ගැන කතා කර දැන් අවුරුදු 30 කට වැඩි කාලයක් ගත වී ඇතත් ලෝකයේ රසායන පොහොර කෘමි හා වල් නාශක නැති කබනික ගොවි තැනක් ඇත්තේ කෘෂිකරමය සදහා වෙන් කර තිබෙන බූමියෙන් සියයට 2 කකටත් වඩා අඩු බූමි ප්‍රමානයක පමණය.ඒවාහි නිපදවන දේවල් ආහාරයට ගන්නේ සාමාන්‍ය ජනතාව නොව ධනවතුන්‍ ය.ආපසු හැරී බලන විට මට හිතෙන්නේ සරත් හා චම්පික මෙම විශේෂ මතවාදය පැලපදියම් කිරීම සදහා වැය කරන ලද වටිනා කාලය රසායන පොහොර, කෘමි හා වල් නාශක බාවිතයේදී ගොවීන්ට හා පරිසරයට සිදුවන හානිය අවම කිරීමට හේතු වන ආකාරයට ඒ වා පාවිච්චි කල යුතු ආකාරය කියා දුන්නේ නම් හා ඒවා ලංකාවට ආනයන කරන විට  උසස් ප්‍රමීතීන්ට අනුකූලව රසායන පොහොර, කෘමි හා වල් නාශක ගෙනෙන තත්වයක් සහතික කරන ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම සදහා ක්‍රියා කලේ නම් ඔවුන්ගේ මහන්සිය වඩා පලදායි වන්නට ඉඩ තිබුනේයයි මට සිතෙන්නේය.

චම්පික එම මතවාදය අත් හැරියේද ඒ කවර ප්‍රමානයකට ද යන්න මා දන්නේ නැත.එ හෙත් දැන් ඔහු ඒ වෙනුවෙන් ප්‍රසිද්දියේ පෙනී සිටින්නේ නැත.එහෙත් ඔහු ගෙන් පසු ඒ ධජය අතුරලියේ රතන හිමියන් සියතට ගත්තේය.යහපාලන ආන්ඩු වේ ජනාදිපතිවරයා වස විස නැති ගොවි තැනක් සදහා වන ජාතික මට්ටමේ වන වැඩ සටහනක් පවත්වාගෙන යාම සදහා ඒ හිමියන්ට ලොකු මුදලක් වෙන් කර දුන්නේය. එම හිමියන් එම වියාපෘති යේ සමහර ගමන් බිමන් ගියේ හෙලි කොප්ටරයෙනි.රසායන පොහොර කෘමි හා වල් නාශක නැති කාබනික ගොවි තැන යහපාලන කාලයේදීද රජයේ නිල  පිලි ගැනිමට හේතුවී තිබුන බව ඉන් පෙනී යයි.වස විස නැති ගොවිතැනක් පිලිබද සංවාදය උච්චම තැනකට ගෙන ගිය පූද්ගලයා ලෙස සැලකිය හැක්කේ දොස්තර චන්න ජයසුමනය.මේ වන විට ඔහු ඇමති වරයෙකි.රජරට පැතිරෙමින් තිබුන වකුගඩු රෝගය කෘෂි රසායන වලින් ( ප්‍රධාන කොට ග්ලයිෆෝසේට්) ලැබී තිබෙන බිහිසුනු දායාදයක් බව ඉතා බලවත් ලෙස සමාජයේ පතල කිරීමට ඔහු සමත් විය.ඒ මගින් ජාතික චින්තනයේ චම්පික ගුරු කුලය අත තිබූ වස විස නැති ගොවි තැනේ ධජය ජාතික චින්තනයේ නලින් සිල්වා ගුරු කුලය අතට හිමි කර දුන්නේය.රජ රට ප්‍රාදේශයේ ඇති වකු ගඩු රෝගය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බැලීම සදහා කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති මහත් ආන්දෝලනයට හේතුවු පර්‍යෙෂණය පවත්වන ලද්දේ නාථ දෙවියන් අදහන කාන්තාවක් මගින් එම පර්‍යේෂනය සදහා එම දෙවියන් ගෙන් මග පෙන්වීම් ලබා ගනිමිනි.එ මගින් දොස්තර චන්න සමාජ ගතකල දර්මතාව( වකු ගඩු රොගයට බලපෑ හේතුන් පිලිබද අරත කතනය) රසායන පොහොර, කෘමි හා වල් නාශක පිලිබද ලොකු සමාජ භීතිකාවක් ඇති කිරීමට හේතු විය.බර්ටරන්ඩ් රසල් කියා තිබෙන ආකාරයට භීතියට පත් කිරීම මහජනයා ගේ අවනත බාවය ලබා ගැනීම සාදහා යොදා ගත හැකි පහසු ක්‍රමයකි.දොස්තර සාෆි පිලිබදව සමාජ ගත කරන ලද කතාව ඒ සදහා දැක්විය හැකි එක නිදර්ශනයක් වන අතර ගන්ගොඩවිල සෝම හිමි අපවත් කිරීමේ කතාව ඒ සදහා දැක්විය  හැකි තවත් නිදරශනයකි..ඒ හැම අවස්තාවකදීම මහජනයා බලවත් ලෙස භීතියට පත්කොට ඔවුන් ගේ අවනත බාවය ලබා ගැනීමක් සිදු වී යයි කිව හැකිය.ඉන් පුද්ගලීකව වාසි ලැබු සුලු පිරිසක් සිටියා විය හැකි වුවත් ඒ වායින් රටට සිදුවූ අලාබය අති විශාලය.

                නායකයින් ප්‍රස්න කිරීම

මේ ලිපිය ලියන්නට ආවශ්‍ය වූයේ මට මූහුන දෙන්නට සිදුවූ  අත්දැකිමක් නිසාය.රසායන පොහොර තහනම ප්‍රකාශ කිරීමෙන් පසු " රසායන පොහොර අත් හැරීම" යන මාතෘකාව යටතේ ඒගැන විචාරයක් ලීවේමි.එය පල වීමෙන් පසුව නිෂාන්ත වර්ණකුලසූරිය මට දුරකතනයෙන් කාතා කොට එම විෂය ගැන 43 වන සේනාන්කය පවත්වන සුම් රැස්වීමක කතාවක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.ඊට සහබාගි වීමට තිබුන නොහැකියාව නිසා ඒ බව ඔහුට ප්‍රකාෂ කරන අතර රසායනික පොහොර විරෝදි  ස්තාවරයක් වෙනුවෙන් පෙනී සිටි වියාපාරයක් වශයෙන්  ආණ්ඩුවේ එම වැඩ සටහනට එරෙහිව පෙනී සිටීමේ  හැකියාව ඔවූන්ට  තිබෙන්නේ කෙසේදැයි ඔහු ගෙන් අසා සිටියෙමි.සංවාදායට මත 

දෙකම නියෝජනය කරන කතිකයින් යොදා තිබෙන බව ඔහු කීවේය.ඉන්පසු මම ඒ ගැන එවැනි දේවල් ගැන කතා කරන චම්පිකටද සම්බන්දයක් තිබූ යාලුවකු සමග කතා කලෙමි.සූම් මීටිමට නොයාම ගැන සේම චම්පික ගේ පොහොර ස්තාවරය ගැන ප්‍රස්න කිරීමද ඔහුගේ විරෝදයට හේතු විය.අතීතයත් සමග සමග සසදන විට ච්ම්පික යහපත් අතට බොහෝ වෙනස් වී තිබෙන බැවින් දුෂ්කර තත්වයකට පත් කිරීමට හේතු වන ලෙස ඔහු ප්‍රස්න කිරීමකට ලක්කරන ප්‍රතිපත්තියක් සුදුසු නැති බව ඔහු කීවේය.චම්පික පමනක් නොව බලයට පත් වීමට සිහින දකින සියලුම දෙනා තියුනු ප්‍රස්න කිරීමකට ලක්කල යුතුව තිබෙන බවත් ඔවුන් ගේ දේසපාලන බාවිතයට අතිරේකව ලංකාව මුහුණ දී තිබෙන අරබුදය ට ඔවුන් ඉදිරිපත් කරන විස්දුම් ඔවුන් ලවා පැහැදිලි කරවා ගැනීමද අත්‍යාවශ්‍ය බවත් මම කීවෙමි.

මා හිතන්නේ නැවත 2015 කට ඉඩ නොතැබිය යුතුය.එය ප්‍රමානවත් තරමින් විචාරයට ලක්වී නැතත් එය දැන හෝ නොදැන මහජනයාට කර තිබෙන දැවැන්ත වන්චාවක් ලෙස සැලකිය හැකිය.රාජ්‍යය බලය සදහා තරග කරන. හා පෙනීසිටින සියලුම නායකයින් තියුනු ප්‍රස්න කිරීමකට ලක් කිරීම අත්‍යාවශ්‍යය

පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන් වෙත ගෞරවයෙනි

ආවේග හරහා තීරණ ගන්නට ගොස් ඔබවහන්සේ අත්දැක අප වෙත පසක් කළේ මේ තුච්ඡ බල අරගලයේ ස්වරූපය ය. ඔබවහන්සේ උපාවාසයට වාඩි වූ තැන සිට උදය ගම්මංපිල ඇතුළු පොහොට්ටුවාදී දේශපාලන විකෘතීන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් නොතිබුණ බව කීවේය. ඔබවහන්සේගේ උපවාසයට දේශප්‍රේමීන් දස දහස් ගණනක් එක් වනුඇති බව කීවේය. ඔබවහන්සේ දේශපාලන බට්ටෙක් කරගෙන මුන් හැදුවේ බට්ටන් පනින්නටය.

ජානක ලියනාරච්චි 

ගෞරවණීය ස්වාමීන්වහන්ස. මේ ලියන මම ඔබවහන්සේ මෙන්ම මේ මාතෘ භූමියට ආදරය කරන සිංහල බෞද්ධයෙක් වෙමි. ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව ඔබ වහන්සේව අමතන්නේ ඔබවහන්සේ ශීල වෘද්ධි බවත් තපෝවෘද්ධි බවත් අසා ඇති බැවිනි.

අප ගිවිසුම් වලින් බැට කෑ රටකි. විදේශයක් සමග ඇති කරගන්නා ගිවිසුමකට සාධාරණ පදනමක් මත එරෙහි වීම හෝ එය සංවාදයට ලක්කිරීම පුරවැසියන් ලෙස අප සතු අනිවාර්ය වගකීමකි. එහෙත් එය කළ යුත්තේ නිශ්චිත අවබෝධයකිනි. වගකීමකිනි.

සේයාරුව උපුටා ගැනීම: ඩේලි මිරර් පුවත්පත 

එහෙත් සිල්වත් බුද්ධ පුත්‍රයෙක් වූ ඔබවහන්සේ පසුගියදා හැසිරුණේ බුද්ධිය අභිබවා මතුවන ආවේගවලට ඉඩ හරිමිනි. ඔබවහන්සේ ජීවිත පරිත්‍යාග කරන්නට උත්සාහ කළ බව පෙනුණ සහශ්‍ර අභියෝගතා සංස්ථා ප්‍රදානය ( Millennium Challenge Corporation Grant)ට අදාල ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධව තබා ගිවිසුමේ නමවත් දැනගෙන නොසිටි බව දුටුවෙමි. කිසිවෙක් කී දෙයක් ඇසීමෙන් එය විශ්වාස කර පැවත්ම බෞද්ධ හිමිනමකට ගෝචර නොවේ. කෙසේ වෙතත් උපන් ආවේග අවංකව මුදා හරින්නට ගිය ඔබවහන්සේ අවසානයේ ඛේදනීය ලෙස දේශපාලනිකව අවභාවිත වූයේය. ඉන් යම් ප්‍රමාණයකට ඇහිරී ගියේ මේ ගිවිසුම පිළිබඳ සාධනීය කථිකාවක් ඇති කිරීමට ඇති අවකාශය බව මම පුද්ගලිකව විශ්වාස කරමි.
ගෞරවණීය හිමියනි.

ආවේග හරහා තීරණ ගන්නට ගොස් ඔබවහන්සේ අත්දැක අප වෙත පසක් කළේ මේ තුච්ඡ බල අරගලයේ ස්වරූපය ය. ඔබවහන්සේ උපාවාසයට වාඩි වූ තැන සිට උදය ගම්මංපිල ඇතුළු පොහොට්ටුවාදී දේශපාලන විකෘතීන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් නොතිබුණ බව කීවේය. ඔබවහන්සේගේ උපවාසයට දේශප්‍රේමීන් දස දහස් ගණනක් එක් වනුඇති බව කීවේය. ඔබවහන්සේ දේශපාලන බට්ටෙක් කරගෙන මුන් හැදුවේ බට්ටන් පනින්නටය.

උන් දැන දැන වසං කළ කාරණාවක් තිබිණි. වර්ෂ 2006 දී මෙම සහශ්‍ර අභියෝගතා ප්‍රදානය වෙනුවෙන් මුල්වරයට අයදුම් කළේ මහින්ද රාජපක්ෂ ය. රටේ පැවති ප්‍රජාතාන්ත්‍රික බවින් තොර දේශපාලනික වටපිටාව තුළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේය. පවතින රජයේ ඉල්ලීම ප්‍රකාරව කළ දීර්ඝ විමසීමකින් පසු එම ප්‍රදානය සම්බන්ධව MMC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේය. දැන් මේ ගිවිසුම රටට විවෘතය.

ඇත්ත වශයෙන්ම මේ මොහොත වනවිට රට හමුවේ ඇති මුල්ම විකල්පය මේ ආධාර මුදල ලබා ගැනීම ය. මහින්ද රාජපක්ෂ මේ ගිවිසුමේ ප්‍රදානය සම්බන්ධව කිසිම තැනක විරෝධතාවයක් දක්වා නැත. ඇමරිකාවට වඩාත් නම්‍යශීලී වන ගෝඨාභය රාජපක්ෂ මේ ගිවිසුම ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඔවුන් බලයට පැමිණියහොත් කරන මුල්ම ක්‍රියාකාරකම් අතරට මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අයත් වන බව සහතිකකොට ලියා තැබිය හැකිය.

ඛේදනීය ඇත්ත නම් යාචකයෙකුට පිනට දෙන යමක් අරභයා දැවැන්ත කේවල් කිරීම් කළ නොහැකි බවය. අවුරුදු 72 පාලනය මේ රටට අත් කර දී ඇත්තේ ඩොලර් ට්‍රිලියන 11.3 අධික රාජ්යද ණය කන්දරාවකි. මේ වසරේ රාජ්‍ය ණය වාරිකය පමණක් ඩොලර් බිලියන 5.6 කි. ඉදිරි වසර 5 තුළ ඩොලර් බිලියන 5 ක ණය වාරිකයක් ගෙවීමට රට බැඳී සිටී. අප ණය ගෙවීම සඳහා ණය වෙන ආර්ථිකයක් සහිත ජාතියකි. තේරුම් ගත යුත්තේ හෙළයේ ස්වෛරීත්වය, අභිමානය, පෞරුෂය ගැන අපට කියන්නට එන්නේ ජාතියක් හිඟන්නන් කර ඩොලර් බිලියන ගණනින් පුද්ගලික වත්කම් උපදවා ගත් කාලකණ්ණි දේශපාලන පාදඩයන්ම බවය.

ගෞරවණීය හිමියනි.

ඔබවහන්සේ මතු නොව, බුදුරාජණන් වහන්සේ වැඩම කර සිටියත් මුන් උන්වහන්සේවත් සිය දේශපාලන ඉලක්ක ඉටු කරගැනීමට කඩේ යවන්නට උත්සාහ කරනු ඇත. එවැනි කුජීත, අශීලාචාර අශිෂ්ටයන් අත ඔබවහන්සේ හෑල්ලු වුණ ආකාරය අරුමයක් නොවේ. අප ජාතියක් ලෙස පෙළ ගැසිය යුත්තේ බුද්ධියට ඉඩ නොදී අපට අමුඩ ගස්සවා ගෝත්‍රික ගස් වැද්දන් කරන්නට හදන මේ මුග්ධ දේශපාලන පාදඩකම්වලට එරෙහිවය.

බුදු සරණයි.

ගෝඨාගේ මාධ්‍යය හමුව ගැන පසු විපරමක්

දේශපාලන භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි 

ගෝඨාබය රාජපක්ෂ මහතා අනවශ්‍යය මොහොතක අනවශ්‍යය පිරිසක් පිරිවරාගෙන ගොස් ජනමාධ්‍යය හමුවක් පැවැත් වූයේය. එය නොකළ යුතුව තිබු දෙයකි. එසේම ඔහුගේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ අවධියට සාපේක්ෂව මේ වන විට ඔහුගේ අදහස් වල ඇති ක්‍රමෝපායික බව හීන වෙමින් තිබේ. දේශපාලන පක්ෂවල නායකයින් යැයි තමන් හඳුන්වා ගත්තද, ඔහු වටා සිටින බොහෝ දෙනෙකුට ඔහු හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොමැතිනම් ජනතා බලයක් හෝ දේශපාලන බලයක් නැත. එනයින් බලන කල්හී මොවුහු බොහෝ දෙනෙකු වෙනම දේශපාලන පක්ෂවල නායකයින් ලෙස හැඳින්වීමට වඩා, දේශපාලන පරපෝෂිතයින් ලෙස හැඳින්වීම අර්ථාන්විතය. 

අදාළ ජනමාධ්‍යය හමුවේදී "ද හින්දු" පුවත්පතේ මෙරට වාර්තාකාරිණිය විසින් රාජපක්ෂ මහතා වෙත යොමු කළ ප්‍රශ්ණය සහ එහිදී ඔහුගේ හැසිරීම විවිධ පාර්ශවයන් විසින් විවේචනය කරමින් සිටිති.  අදාළ ගැටලුවට නිවැරදිව සවන් දී සැලකිය යුතු වෙලාවක් ගැනීම වෙනුවට ඔහුගේ  ශරීර බාසාව ( බොඩි ලැන්ග්වේජ්) විසින් ඔප්පු වූයේ, මාධ්‍යවේදිනිය හමුවේ රාජපක්ෂ මහතා අසමත් වූ ස්වභාවයකි. අවාසනාවට මෙන්, ඊට විනාඩි කිහිපයකට පසු, "ද අයිලන්ඩ්" පුවත්පතේ පුවත් කතෘ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු, ගෝඨාබය රාජපක්ෂ මහතාට වැදගත් වන කාරණයක් මතු කිරීමට උත්සහ කළද, ඔහු ඉන් ප්‍රයෝජනයක් ගත්බවක් නොපෙනුණි.

ගෝඨාබය රාජපක්ෂ මහතා
එම කාරණයේ ඇති වැදගත්කම විමසීම වැදගත් වන්නේ, වාර්ගික ප්‍රචණ්ඩත්වය ( එය යුද්ධයක් ලෙස බොහෝ දෙනෙකු නම් කරති. එය වැරදි භාවිතයකි.) අවසාන වූ වහාම ඊට ප්‍රතිචාර දැක්වීමේදී, ශ්‍රී ලංකාව රාජ්‍යයක්, ලෙස වරද්දා ගත් මූලික හැසිරීම එහි ගැබ්වී ඇති හෙයිනි.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙය මනාව විමසා බැලිය යුතු කාරණයකි. මන්ද, ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස දුර්වල වීම හෝ දුර්වල කිරීම සඳහා මෙම මූලික කාරණය ඉතාම බරපතළ ලෙස හේතු වී ඇති හෙයිණි. ඇතැමුන් මෙය නිර්ලජ්ජිත ලෙස භාවිතා කරති.

එවැනි ගැටලුවක් කුමන හෝ තැනකදී අසන අවස්ථාවකදී රාජ්‍යය නායකයෙකු හැසිරිය යුතු ආකාරය කෙසේද? මැතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළද මෙම ගැටලු යළි යළිත් අසනු ඇත. එසේම, බලයේ සිටින්නා කවුරුන් වුවද එවැනි ගැටලු හමුවේ නිරුත්තර වීම හෝ පිළිතුරු ලබා නොදීම හෝ වෙනයම් හැසිරීමකින් ප්‍රතිචාර දැක්වීම සෑම විටම දක්නට ලැබෙන පොදු දුර්වලතාවයකි. මෙය වෙනස් විය යුතුව ඇත. ජාතිකත්වය ගැන පුරසාරම් දෙඩීමෙන් වැඩක් නැත. ඒ වෙනුවෙන් පෙනී සිටීමේ කෞශල්‍යයක් තිබිය යුතුය.

එහිදී, ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස ශමින්ද්‍ර විසින් මතුකළ කාරණය වැදගත් වේ. එනම් වාර්ගික ප්‍රචණ්ඩත්වයේ අවසාන භාගය ගැන පමණක් නොව, හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට බලහත්කාර අතුරුදන් වීම් සිදුවූ අතර ඒ සියල්ල සඳහා ස්වාධීන වෝහාරික විඝනණයක් අවශ්‍ය වේ. එසේම ඉන්දීය සාම සාධක හමුදාව, මෙරටට "සාමය" උදා කිරීම උදෙසා කළ "කැපකිරීම්" වල ආනිසංසය ඉතාම බරපතළ විය. එහිදී දෙමළ වාර්ගික පුද්ගලයින් රාශියක් අතුරුදන් වූ බවත්, බොහෝ දෙමළ වාර්ගික ස්ත්‍රීන් ලිංගික හිංසනයට ලක් වූ බවත්, පිළිගත හැකි ස්වාධීන වාර්තා සාක්ෂි සහිතව සඳහන් කොට තිබේ. අතුරුදන් වීමේ ගැටලුව එක් තනි ආණ්ඩුවක් මත හෝ රාජ්‍යය පාර්ශවයට පමණක් එල්ල කළ හැකි චෝදනාවක් නොවේ. මේ නිසා මෙම ගැටලුව දේශපාලන පක්ෂ භේදයකින් තොරව විමසා බැලිය යුතු කාරණයකි. එය සමස්ථ සමාජය හමුවේ ඇති, විසඳාගත යුතු ගැටලුවකි.

මේ හා සමාන ගැටලුවක් කිසියම් පුද්ගලයෙකු (මාධ්‍යවේදියෙකු හෝ වෙනත් පුද්ගලයෙකු) රාජ්‍යය නායකයෙකුගෙන් හෝ ප්‍රතිපත්ති තීරකයෙකුගෙන්  ඇසූ විට, පළමුව එම ගැටලුවට පිළිතුරු ලබා දීමට පෙර තවත් ගැටලුවක් හෝ ගැටලු කිහිපයක් ප්‍රශ්න අසන සභාවෙන් ලබා ගැනීම ඉතා වැදගත් උපක්‍රමයක් ලෙස බොහෝ දෙනෙකු භාවිතා කරති. එය සාර්ථක උපායකි. ඒ සඳහා අවස්ථාවක් නොමැති නම්, මෙවැනි බරපතළ කාරණා සැහැල්ලුවට ගැනීමට වඩා, ඊට පිළිතුරු දීමේදී ඒ හා සමානව කලාපීය සහ ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සිදුවීම් විමසා බලමින් අදාළ ගැටලුවට තමන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය ගැන සාධනීය පිළිතුරක් ලබා දීම වැදගත් වේ. අවාසනාවට මෙන් රාජපක්ෂ මහතාට එම උපායන් දෙකම එහිදී අහිමි විය.

මෙම ගැටලුව ඇසූ මාධ්‍යවේදිනියට හෝ වෙනත් ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකුට, කාශ්මීරයේ ඉන්දීය හමුදාව විසින් සිදුකොට ඇති බරපතළ අතුරුදන් කිරීම් ගැන හෝ සමූහ මිනීවළවල් ගැන, ඉන්දීය හමුදාවෙන් හෝ එරට දේශපාලන බලධාරීන්ගෙන් ඇසිය හැකිද? එසේම ඉන්දීය හමුදාව ඉන්දියාවේ ඊශාන දිග ප්‍රාන්ත වල ( අරුනාචල් ප්‍රදේශ්, ඇසෑම්, මනිපුර්, මෙගාලය, මිශෝරාම්, සිකීම්, ත්‍රීපුර) සිදු කොට ඇති බලහත්කාර අතුරුදන් කිරීම් ගැන ඇසිය හැකිද?

ඇසෑම් හී 1983 පෙබරවාරි මාසයේදී සිදු වූ නෙල්ලි සමූහ ඝාතනය ඉතිහාසයෙන් වසන් කොට ඇති මනුෂ්‍යය අපරාධ වලින් එකකි. ඒ ගැන සෙවීම සඳහා කොමිෂන් සභාවක් පත් කළේය.  ඝාතනයට ලක්  වූ නිරායුධ වැසියන් සංඛ්‍යාව දහස් ගණනක් බව හෙළිදරව් විය. නමුත් කොමිෂන් වාර්තාව පොදු ජනතාවගෙන් සඟවා තැබුවේය. එය දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ වඩාත් භයානකම ජන සංහාර වලින් එකක් ලෙස ඉතිහාසයේ සඳහන් වී ඇත. මේවා ගැන කතා කරන්නේ කවුරුන්ද? ඒවා ගැන ලිවීමට මාධ්‍යය නිදහසක් තිබේද? ඒවාට සිදුකළ සාධාරණය කුමක්ද?

ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව රටක් ලෙස වඩාත් උසස් විනයකින් සහ වගකීමකින් කටයුතු කර ඇති බව ඔප්පු කොට තිබේ. ඒවා සාමූහික වගකීම් ලෙස ගනිමින් බොහෝ දෙනෙකු කටයුතුකොට ඇත. මේ ඇත්ත පිළිගැනීම වෙනුවට විවිධ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මෙවැනි බරපතල සමාජ කාරණා විකෘති කිරීම නොහොඹිනා කටයුත්තකි. නමුත් සිදු වී ඇත්තේ එයයි.

ගෝඨාබය රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනය ගැන විවිධ ගැටලු ඇතැමුන්ට තිබිය හැකිය. එසේම ඔහු සමග එකඟ විය නොහැකි කාරණා රාශියක් තිබිය හැකිය. නමුත්, දේශපාලනික භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.

බොහෝ රටවල සිදු වන සහ සිදු වූ ගැටුම් වලට සාපේක්ෂව, මෙරට සිදු වූ වාර්ගික ගැටුම්වලින් පසු ජන ජීවිතය නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක විය. ඉන් බොහෝමයක් සාර්ථක විය. අවුල ඇත්තේ එතන නොව, ඒ කරපු හොඳ වැඩ ටික ලෝකය හමුවේ විකුණා ගැනීමට නොහැකිව අසමත් වීමය.

අවස්ථාවාදී පණ්ඩිතයින් ගොන්නක් රාජ්‍යයේ නායකයා සහ ප්‍රතිපත්ති තීරකයින් මුලාවේ හෙළීය.  ත්‍රස්තවාදය පිළිබඳ ව්‍යාජ විශේෂඥයින්, ගත් කතුවරයින් වූ "රණවිරුවන්", දුර්වල නමුත් මහන්තත්වයෙන් පෙළෙන දේශහිතෛශීන්, යහපාලන විශේෂඥයින්, ආදී බොහෝ දෙනෙකු බිහි වූවද ඔවුහු සිදු කරනු ලැබුවේ, තම තමන්ගේ පෞද්ගලික චරිතය පුම්බා ගැනීම සඳහා කටයුතු කිරීම මිස රාජ්‍යයේ හොඳ නම රැකගැනීම වෙනුවෙන් කටයුතු කිරීම නොවේ.  එසේම, ගෝඨාබය රාජපක්ෂ මහතාට එරෙහිව නගන චෝදනා රාශියක ඇති සැබෑ ස්වරූපය ගෙන බැලීමේදී  පෙනී යන්නේද, ඒවාට පිළිතුරු ලබා දිය යුත්තේ වත්මන් ආණ්ඩුව මිස ඒ මහතා නොවන බවයි.

2015 දී බලය පත් වූ ආණ්ඩුව, රාජපක්ෂ පරිපාලනය තුළදී සිදු වූ අපරාධ ගැන ලෝකය දෙවනත් කළේය. බලයට පැමිණි වහාම ඒ ගැන පරීක්ෂණ ආරම්භ කළේය. ඇතැම් අවස්ථා වලදී අගතියට පත් පාර්ශවවල පවුල්වල සාමාජිකයින් මෙරට තානාපති සේවයට අනියුක්ත කරනු ලැබීය. ඔවුහුගේ ජීවිත සුඛිත-මුදිත කළේය. එය හොඳ දෙයකි.

නමුත්, වසර පහකට ආසන්න කාලයක් ගතවිය. අපරාධකරුවන් සොයා ගැනීමට හෝ ඔවුහුට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට සමත් වූයේ නැත. එනම්, ගැටලුව ඇත්තේ, රාජපක්ෂ පරිපාලනය තුළ යැයි කීම විහිළුවකි. මන්ද, බොහෝ නොවිසිඳුණු දෑ පවතින්නේ වත්මන් ආණ්ඩුවේ දුර්වලතාවයන් නිසාය. ආණ්ඩුව දුර්වල නම්; එය ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට අසමත් වන්නේ නම්. ඊට වගකිව යුත්තේ ආණ්ඩුව මිස විපක්ෂය නියෝජනය කරන පිරිස නොවේ. මෙය මූලික කරගෙන ප්‍රතිචාර දැක්වීම සහ තම පරිපාලන කාලය තුලදී සිදු වූ වැරදි හේතුවෙන් ඇති වී ඇති සැක සංකා නැතිවන ලෙස කරුණු කාරණා ගෙනහැර දැක්වීම සෑම විටම වැදගත් වේ.

එසේම, මැතිවරණයකදී වැදගත් වන්නේ මේ වන විටත් කැමැත්ත දිනාගෙන ඇති පිරිස කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නොවේ. ඒ වෙනුවට, නව බලවේග තමන් දෙසට ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කිරීමද ඒහා සමානව වැදගත් වේ.

තම අපේක්ෂාව ජයග්‍රහණය නම්, ගෝඨාබය රාජපක්ෂ මහතා මූලික වශයෙන් අවදානය යොමු කළයුතු පරාසය මෙය යැයි අපට සිතේ. මැතිවරණය ජයග්‍රහණය කිරීම පමණක් නොව ජයග්‍රහණයකින් පසු සාර්ථක පරිපාලනයක් ගොඩ නැගීම මනා සිහියෙන් සහ ප්‍රවේශමෙන් කළ යුතු කටයුත්තකි.

බලයට පත්වන්නා කවුරුන් වුවද ඔහු සාර්ථක පාලකයෙකු වන්නේ ඔහු සමග සිටින කණ්ඩායමේ එනම් තමන් වටා ඒකරාශී වන සැබෑ දැනුමක් සහ  අවංක  චේතානාවක් ඇති පිරිස මතය.

පාර්මේන්තු කාරක සභාව සහ 'සෙල්පි' මහත්වරු !

ආචාර්යය අංශු අඩුතරමින් ජපානයේ බුද්ධි අංශය සහ එහි ප්‍රධානියා ගැන හෝ යම් කිසි සරල හැදෑරීමක්  කළ යුතුව ඇත. ඉචිගයා හී පිහිටි ජපාන ආරක්ෂක අමාත්යංශයට අනුබද්ධ සී-වන්  නමින් හඳුන්වන ගොඩනැගිල්ල සහ එහි කටයුතු ගැන හෝ සරල කියවීමක් ඔහුට තිබිය යුතුය.

බෙන්තොට උන්නාන්සේ
උපුටා ගැනීම: ද ලීඩර් 

'රාජ්‍ය ධූත සේවය සහ සැඟවුණු මෙහෙයුම් ( කවර්ට් ඔපරේෂන්) එකක් නොව එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි' ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් සහා ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ හෙන්රි කිසින්ජර් වරක් සඳහන් කළේය. 

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ බටහිර රටවල් පමණක් නොව චීනය සහ ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල්, ඔවුහුගේ හයිය තබා ගත්තේ විශාල ධනයක් වැයකොට නඩත්තු කරනු ලැබූ බුද්ධි අංශ විසිනි. එම ආයතන වල යම් කිසි වරදක් සිදු වූ විට ඒවා විසඳා ගැනීම සඳහා සංවෘත විභාග කිරීම් සිදු කරනු ලැබීය. එම කටයුතු ප්‍රසිද්ධ වේදිකාවට රැගෙනවිත්, හත්පොලේ ගාගත්තේ නැත.  

කිසියම් කාරණයකදී (විශේෂයෙන් සැප්තැම්බර් 11 ප්‍රහාරය, වෝටර් ගෙඩ්  සිදුවීම, රජිව් ගාන්ධි ඝාතනය ගැන සෙවීම සඳහා පත්කළ  ජේන් කොමිසම ආදී සිදුවීම්) බලයේ සිටින ආණ්ඩුවට ප්‍රසිද්ධ විභාගකිරීමක් කිරීමට අවශ්‍ය වුවහොත් එය සිදු කරනු ලබන්නේ උසස් විනයකිනි. කෞශල්යයෙන් පිරි සහ රාජ්‍යයේ කෙටිකාලීන සහ දිගු කාලීන අරමුණු ගැන අවබෝධයක් ඇති පිරිස ඒ සඳහා භාවිතා කරති. 

එසේම බොහෝ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණ ඉතාම ප්‍රවේශමෙන් සිදුකිරීමට එකී රටවල් පරිස්සම් වෙති. මන්ද, එය නොනිවෙන සහ නොමැකෙන තර්ජනයක් හේතුවෙනි. එසේම ත්‍රස්තවාදියා සෑම විටම  රාජ්‍යයේ හිඩැස් මනාව කියවන්නෙකි. 

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කිරීමට යන කමිටු සාමාජිකයින් 
ප්‍රභාකරාන් මරා ඔහුගේ මිණිය පෙන්වා මගුල් කෑමට මෙරට අයවලුන් කටයුතු කළද බින් ලාඩන්ගේ මෙහෙයුම තබා ඔහුගේ මළකඳවත් ප්‍රසිද්ධ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළේ නැත. ඒ සතුරාගේ, තර්ජනය ගැන අවබෝධයක් තිබෙන හෙයිනි. නමුත්, මෙරට සිදුවූයේ සහ සිදුවෙමින් පවතින්නේ මෙහි අනෙක් පැත්තය. නියාලු සහ බාල ප්‍රසිද්ධියක් වෙනුවෙන් ඕනෑම රහසක් එළිපිට හෙළිදරව් කිරීමට අපේ රටේ පාලකයින් උපන් හපනුන්ය. 

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක, පාස්කු  ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සොයා බැලීමට අගමැති වික්‍රමසිංහගේ අනුහස ඇතිව කතානායක වරයා විසින් පත්කොට ඇති විශේෂ කමිටුවේ සභාපතිවරයා වේ.  මෙම පාර්ලිමේන්තු කමිටුව විසින් රාජ්‍යයට බරපතළ  හානියක් සිදුකොට ඇත. තමන්ට පිළිතුරු සෙවීමට නොහැකි කාරණයක් පටලවාගෙන එම වැරැද්ද වසා ගැනීම සඳහා කුමන හෝ පාර්ශවයක් මත පැටවීමේ උත්සහකරන ආකාරය ඔවුහුගේ කටයුතු සහ හැසිරීම්වලින් විද්‍යාමාන වේ. 

මෙම කමිටුවේ සාමාජිකයින්ගේ හැසිරීම් විලාසය සහ එම කමිටුව ඉදිරියට කැඳවන "සාක්ෂිකරුවන්ගෙන්" කමිටු සාමාජිකයින් ප්‍රශ්ණ අසන ස්වභාවය අනුව පෙනී යන කාරණය වන්නේ මෙය අමූලික ප්‍රහසනයක් සහ රාජ්‍යයට අගතියක් පමණක් බවය. වඩාත් සරල බසින් කිවහොත් මෙම කමිටුව, තම නෛතික බලය අවභාවිතය කරමින්, ඇදගෙන නාගනිමින් සිටින්නේය. 

මෙවැනි එළිමහන් කමිටුවක් පත්කොට සජීවීව ප්‍රශ්න ඇසීමට ඇති කාරණා සහ සිදුවීම්  රාශියක් තිබියදී, රාජ්‍යය  ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වෙමින් ඇති අවස්ථාවක මේ ආකාරයේ විගඩමක් නැටීම මෙම කමිටුවේ සිටින තම දිවියේ අවසානභාගය ගෙවා දමන අයවලුන්ට ගැටලුවක් නැත. නමුත් මෙම කමිටුව සිටින සිදුකරන කටයුත්ත, තවත් කාලයක් මෙම මහපොළවේ ජීවත් වීමට අයිතිය ඇති උපන් සහ නූපන් පරම්පරා වෙනුවෙන් සිදුකරන හානියකි. මෙම අශීලාචාර කටයුත්ත වහාම නවතා දැමිය යුත්තේ මේ නිසාය.  

මහදවල් මහා ජනතාවගේ මුදල් මංකොල්ල කෑ හොරුන් වෙනුවෙන් මෙවැනි ප්‍රසිද්ධ කමිටු පැවැත්විය යුතුය. තම හයිය පෙන්වීම සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින්ට අතවර කරන කාමාතුරයින්ට එරෙහිව මෙවැනි ප්‍රසිද්ධ කමිටු පැවැත්විය යුතුය. එවැනි වැඩපිළිවෙලක් ඇතිකිරීම මෙම කමිටුව නියෝජනය කරන හෝ නොකරන අයෙකුට පිට කොන්දක් තිබේ නම් එය ජනතාවගේ පැසසුමට ලක් වනු ඇත. නමුත් මේ නටන අලුත්ම සන්නිය විසින් රාජ්‍යයට සහ එහි ජනතාවට සිදුකොට ඇති හානිය මෙපණ යැයි මැනිය නොහැකිය. මෙය ජනතාවගේ පැසසුමට නොව පිළිකුලට භාජනය වී හමාරය. 

මෙම කමිටුව මීට දින කිහිපයකට පෙර, රාජ්‍ය ආරක්ෂක අංශ වල සිටින ප්‍රධාන නිලධාරීන් බොහෝමයක් තමන් ඉදිරියට ගෙන්වනු ලැබීය. ඔවුහු ගෙන්වා, සාක්ෂි විමසීම වෙනුවට, කමිටුවේ සාමාජිකයින් තම තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට එය අවස්ථාවක් සලසා ගත්තෝය. සාක්ෂි විමසීමක් යනු මතවාදය ඇසීමක් හෝ තමන්ගේ මතය ප්‍රකාශ කිරීමක් නොවේ. නමුත් අදාළ කමිටුව බොහෝ අවස්ථාවලදී අසනු ලැබුවේ, " ඔබ හිටියනම් කරන්නේ කුමක්ද?" "මොනවද තියෙන අඩුපාඩු", "මොනවාද ත්‍රස්තවාදීන භාවිතා කරන ඇප්", ආදී ප්‍රශ්ණය. 

මේ අතර, රටේ ඉහළම ආරක්ෂක තනතුර හොබවන ෆීල්ඩ් මාෂල්, තොත්තබබෙකු සේ, බුද්ධි අංශය ගැන කතා  කළේය. " ඔය බුද්ධි අංශේ කියන මිනිහා හැම වෙලේම මූණ වහගෙන ඉන්න ඕන නෑ නේද?", ඔහු කියන්නේය. එසේම කමිටුවේ බොහෝ දෙනෙකු, බුද්ධි අංශයක ඇති මූලික ව්‍යුහිය හැඩය ගැන හෝ අවබෝධයක් නැතිව කතා  කිරීම එහිදී දැකීමට සිදුවීම අපුල දනවන සුළුය. " මට ඔබේ මුහුණේ ඉරියව්වෙන් පේනවා ඔබතුමාත් මම කියන දේට එකඟ බව," ෆීල්ඩ් මාර්ෂල් කියන්නේය. මෙවැනි හාස්‍යය ජනක හැසිරීම් රාශියක් පසුගිය දින කිහිපය පුරාම මෙම කමිටු සාමාජිකයින් විසින් පෙන්වනු ලැබූහ. 

යමෙකුගෙන් සාක්ෂි විමසීම සඳහා එම සාක්ෂි විමසන්නාට එම විෂය ගැන යම්කිසි පරිමාණික දැනුමක් තිබිය යුතුය. අදාළ කමිටුවේ බොහෝ දෙනෙකුට බුද්ධි අංශ ගැන නොව රටේ නීතිය ගැන අවබෝධයක් ඇති බව මුලදී පෙන්නුවද, නීතිපති දප්පුලද ලිවේරා ඉදිරියේ ඔවුහු සියලු දෙනාගේම හැව ගැලවුණි.  

නීතිපති තම මූලික නෛතික කාරණය ඉදිරිපත් කළ කාරණය, සේවයේ යෙදී සිටින ඉහල පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන්ටද බලපාන්නේය. ඔවුහු විශ්‍රාම ගිය පසු ඕනෑම ප්‍රසිද්ධ වේදිකාවට කැඳවා, ඕනෑම විමසීමක් කළ හැකිය. නමුත් සේවයේ යෙදී සිටියදී ඔවුහුගෙන් එළිමහනේ සාක්ෂි විමසීම ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුය. කුමන හෝ දේශපාලන අවශ්‍යතාවයක් පිරිමසා ගැනීම සඳහා මෙම කමිටුව එළිපිට සියල්ල හෙළිකිරීමට සේවා කටයුතු සිදුකරණ නිලධාරීන් පොළඹවති. 

එහි මූලික උදාහරණයක් වූයේ, ලතීෆ්, වරුණ ජයසුන්දර, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර වැනි නිලධාරීන් පිළිතුරු ලබා දුන් ආකාරය සහ ඔවුහු තමන්ගේ මතයට නතුකර ගැනීමට කමිටු සාමාජිකයින් දරු විලිලජ්ජා සහගත උත්සාහයන් අතිශය අප්‍රසන්නය. 

එසේම, ඊට සහභාගී වූ ඇතැම් නිලධාරීන්ද තමන්ගේ පෞද්ගලික වීරකම මිස තම ආයතනය වෙනුවෙන් කතානොකිරීම අවාසනාවකි. එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයකු, තමන්ට තොරතුරු ලැබුනේ නම් සිද්ධිය නියුට්රලයිස් කරන බව කිව්වේය. එසේම, ත්‍රස්තවාදීන් භාවිතා කරන ඇප්ස් අතුරුවැරීමට ( ඉන්ටර්සේප්ට් කිරීමට) හැකියවාක් නොමැති බව කිව්වේය. මෙවැනි අඩුපාඩු ප්‍රසිද්ධියේ කියූ විට ත්‍රස්තවාදියෙකුට නොව ඕනෑම අයෙකුට නීතියේ රැහැනෙන් ගැලවී අපරාධ කිරීමට අවස්ථාව ලැබෙන බව ඒ නිලධාරියාට තේරෙන්නේ නැත. 

මොන දේශපාලන මතය දැරුවද, ආයතන වල සමගිය සහ අමාරු අවස්ථාවලදී ප්‍රතිපත්ති මූලික කරගෙන එකතුවීම ඉතාම අත්‍යාවශ්‍ය වේ. එසේම සිද්දියක් සිදුවූ පසු ඕනෑම අයෙකුට එම සිද්ධිය ගැන දාර්ශනිකයෙකු විය හැකිය. 

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට මුහුණ දීමට සිදු වූ තත්වය ගැන ප්‍රසිද්ධ වී නැතත් ඒ ගැන ඇතැම් පුවත්පත් වාර්තා පළවිය. ජයවර්ධන කිසිවෙකුට ඇඟිල්ල දිගු නොකොට තම රාජකාරී සීමාව තුළ සිටිමින් පිළිතුරු ලබාදීම සහ ඔහුගෙන්, ජනාධිපති සිරිසේනට එරෙහිව කිසිඳු අදහසක් ගැනීමට නොහැකි වීම හේතුවෙන් කමිටුව අවුල්වී ඇති ආකාරයක් දක්නට ලැබෙන බව ඊට අදාළ පුවත් වාර්තා සනාථ කරනු ලබයි. 

මේ නිසා කමිටු සාමාජිකයින්ට හිතවත් මාධ්‍යය කිහිපයක් බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු පාර්ශව කිහිපයක් ඉලක්ක කරගනිමින් විවිධාකාර පුවත්පත් පලකරනු ලැබීය. ඔහු යළිත්, කමිටුව ඉදිරියට කැඳවීමට අවශ්‍ය බව සඳහන් පුවත් වාර්තා පලවී ඇත. පැය පහක් පුරා සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම ප්‍රමාණවත් නොවී ඇති බව මින් පෙනේ. 

මේ අතර ආචාර්යය අංශු මාරසිංහ, මාරම සේයාරූ කිහිපයක් තම සමාජ ජාලයට මුහු කළේය. ඔහු ඇතුළු පිරිස,  රටේ බුද්ධි අංශ ප්‍රධානියාගෙන් සාක්ෂි විමසීමට යන බව එහි සඳහන් කොට එම සේයාරූ ප්‍රසිද්ධ කළේය. අදාළ ප්‍රසිද්ධ කිරීමේ සැබෑ පරමාර්ථය අපැහැදිළිය. 

රටේ වෙසෙන බොහෝ දෙනෙකුගේ හැසිරීම් දෙස බැලීමේදී පෙනී යන්නේ,  ඕනෑම දෙයකට ප්‍රසිද්ධිය අපේක්ෂා කරන පටු පරමාර්ථයක් හැරෙන්නට එවැනි දෙයක ඇති වැදගත්කම සහ සංවේදීකම කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබේදැයි ගැටලුවකි. විශේෂයෙන් ජපානය වැනි රටක අත්දැකීම් බහුල දැනුමැත්තෙකු මේ ආකාරයෙන් හැසිරීම සහ මේ දින වල යුටියුබ් අනෙකුත් සමාජ ජලා වලට එකතු වී ඩිජිටල් වීරයින් වී සිටින අය අතර කිසිඳු වෙනසක් ඇතැයි නොපෙනේ. 

ආචාර්යය අංශු අඩුතරමින් ජපානයේ බුද්ධි අංශය සහ එහි ප්‍රධානියා ගැන හෝ යම් කිසි සරල හැදෑරීමක්  කළ යුතුව ඇත. ඉචිගයා හී පිහිටි ජපාන ආරක්ෂක අමාත්යංශයට අනුබද්ධ සී-වන්  නමින් හඳුන්වන ගොඩනැගිල්ල සහ එහි කටයුතු ගැන හෝ සරල කියවීමක් ඔහුට තිබිය යුතුය. එවිට මොවුහුට මෙම රට තුළ  සිදුකරමින් සිටින මෙම නිරුවත් නාඩගමේ ඇති බරපතලකම ගැන යම් කිසි අවබෝධයක් ලැබෙනු ඇත. 

පාස්කු දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන කියවෙන බුද්ධි අංශ තොරතුරු සහ ඒවා හුවමාරු වූ අකාරය ගැන ඕනෑම සාමාන්‍ය මිනිසකුට තේරෙන සත්‍යය කුමක්ද? එනම් රාජ්‍යය බුද්ධි සේවය තමන්ට ව්‍යවස්ථානූකූලව පැවරී ඇති රාජකාරිය සිදුකොට අදාළ ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම් සිදුකොට ඇති බවයි.

 එනම් ඔහුට ඉහළින් පිහිටි බලධාරීන් ලිඛීතව දැනුවත් කොට ඇතිබවයි.  එවැනි තත්වයක් යටතේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව එකිනෙකාගේ දේශපලන මනදොල පිනවීම සඳහා භාවිතා කිරීම යුක්ති සහගත වන්නේ කෙසේද? මෙය එක් නිලධාරියෙකු පිළිබඳ ගැටලුවක් නොවේ. මෙය සමස්ත රට පිළිබඳ කාරණයකි. 

ආපදා කළමනාකරණයට අප සුදානම්ද ? 




- ජනක සෙනෙවිරත්න -



ප‍්‍රතිචාරයට එරෙහි ප‍්‍රතික‍්‍රියාව

අපදාවක් සිදුවූ විට ආණ්ඩුවක් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතුවා මිස ප‍්‍රතික‍්‍රියා දැක්විය යුතු නොවේ. ප‍්‍රතිචාරය සහ ප‍්‍රතික‍්‍රියාව අතර වෙනසක් තිබේ. ප‍්‍රතික‍්‍රියා පෑමේදී කෙනෙකු සැලසුම් කරන්නේ නැත. ඒ ප‍්‍රතික‍්‍රියාව පසුපස තාර්කිකත්වය දැක ගැනීමට ලැබෙන්නේ නැත. සාමාන්‍යයෙන් අනතුරක් ඉදිරියේ සතුන් කරන්නේ ප‍්‍රතික‍්‍රියා පෑමයි. මිනිසුන්ද තමන් තුළ ඇති සත්ව ලක්ෂණ නිසා ඇතැම් විට ප‍්‍රතික‍්‍රියා දක්වයි. වාහනයක් අප දෙසට ධාවනය වන අවස්ථාවක අප කරන්නේ කිසිවක් නොසිතා එයින් පලායාමට බැලීමයි. එහෙත් ඈතින් එන වාහනයක් පිළිබඳ සැකයක් ඇති වූ විට, එහි වේගය ආදිය සැලකිල්ලට ගෙන අපි අවශ්‍ය පමණින් ඈත් වී ප‍්‍රතිචාර දක්වමු. 

නිල ආණ්ඩුවක් ප‍්‍රතික‍්‍රියා දැක්විය යුතු නැත. අවශ්‍ය කරන්නේ, තත්වය මනාව සැලකිල්ලට ගෙන විධිමත් පියවර ගැනීමයි. ලංකාවේ ඉහළම පෙළේ දේශපාලනික බලාධිකාරීන් අතර කඹ ඇදිල්ලක් ගැනත්, පාලනයේ අකර්මණ්‍යත්වයක් ගැනත් විදේශ මාධ්‍ය වාර්තා කොට තිබුණි. විනාශය ඇති වීමත් සමගම එකිනෙකා වෙත ඇඟිල්ල දිග් කිරීමට පටන් ගැනුණු අතර, දේශපාලඥයන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳ කතාව ඒ මගින් සැඟවීමට ප‍්‍රයත්නයන් ගැනුණි. මගේ අදහසේ හැටියට, සමාජයෙන් බහුතරයක්ම මේ විනාශයේ වින්දිතයන් වන අතරේම, මේ ප‍්‍රශ්නයේ කොටස්කරුවෝ ද වෙත්. සමාජ ජාලා හරහා ඔවුහූ ඉතා සංවේදී තොරතුරු අනවශ්‍ය ආකාරයෙන් පතුරුවා හරිති. ඒ මගින් සිදුවන්නේ, අදාළ අපරාධකරුවන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශවලට ඇති ඉඩකඩත් ඇහිරීමයි. මේ සියල්ල, අපේ ජාතික සංස්කෘතික ලක්ෂණ නිසා ඇති වන තත්වයකි.  

ජාතික සංස්කෘතිය කැකෑරීම 

බොහෝ විට ජාතියක සංස්කෘතිය ගැන සමාජ විද්‍යාඥයන් කතා කරන්නේ, සමාජයක පවතින සම්මතයන්, හැසිරීම් රටා, විශ්වාස, සිරිත්විරිත් සහ සමාජ සාරධර්ම අනුසාරයෙනි. සම්ප‍්‍රදායයෙන්, ආගමෙන්, වාර්ගික අනන්‍යතා සහ ඓතිහාසික සිද්ධීන් මගින් සංස්කෘතියක් සරසනු ලැබේ. මා සිතන පරිදි, ජාතික සංස්කෘතියක ඇති වඩාත් වැදගත් අංගය වන්නේ, එම සමාජය උරදෙන සමාජ සාරධර්මයන් ය. ඒ සාරධර්ම වෙනස් වන තරමට එකී සංස්කෘතියේ වෙනත් අංගත් වෙනස් වෙයි.

පසුගිය වසර පනහක කාලය තුළ අපේ ජාතියේ සංස්කෘතිය වෙනස් වුණේ කෙසේදැ යි සලකා බලමු.

මීට වසර පනහකට පෙර දූෂණය ගමට සීමා වූ දෙයක් වශයෙන් පැවතුණි. අද වන විට එය සමාජයේ සෑම මට්ටමකම, සෑම තරාතිරමකම පැතිරී ඇති වසංගතයක් බවට පත්ව ඇත. අද දරුවන්ට අනුකරණය කිරීමට පරමාදර්ශී චරිත නැත. මීට කලකට පෙර ස්වාධීන මාධ්‍යවේදය සැලකුණේ අතිශය වැදගත් වෘත්තියක් වශයෙනි. අද වන විට, මාධ්‍යවේදීන්ගෙන් බහුතරයක්, බලපුළුවන්කාර ධනපති ව්‍යාපාරිකයන්ගේ හෝ දේශපාලඥයන්ගේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල හොරණෑ බවට පත්ව සිටිති. අසල්වැසියන් සමග බෙදාහදා ගැනීම සහ අසල්වැසියන්ට උදව් උපකාර කිරීම අතීතයේ මතකයක් වශයෙන් පමණක් අපට ඉතිරිව ඇත. ජනතාවගෙන් බහුතරයක් මොන තරම් ආත්මාර්ථකාමී වී ඇත්ද යත්, ඔවුන්ගේ එකම ආරම්මණය වන්නේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ ඉහළට යාමයි. දුප්පතා සහ නූගතා මෙන්ම, ධනවතා සහ උගතා ද, විවිධ හේතූන් මත, එක සමානවම විනයෙන් තොර වී ඇත. මා කුඩා කල මගේ දෙමාපියන් කිසි විටෙක මට බොරු කීමට ඉගැන්නුවේ නැත. ආත්මාර්ථකාමී අයුරින් හැසිරෙන්ට අනුබල දුන්නේ නැත. මගේ මිතුරන්ගේ දෙමාපියන් ද එකල එසේ විය. අපට තිබුණු දෙයක්, නැති අය සමග බෙදාහදා ගැනීමට අපේ දෙමාපියෝ අපට අනුබල දුන්හ. අද දෙමාපියෝ ප‍්‍රසිද්ධියේම ගුරුවරුන්ට අභියෝග කිරීමට දරුවන්ට අනුබල දෙති. උසස් පාසල්වලට ඇතුළු වීම සඳහා බොරු කීමට දරුවන්ට උගන්වති. එපමණක් නොව, පංතියේදී ප‍්‍රශ්නයක් ඇසූ විට ඊට දෙන පිළිතුර පංතියේ අනෙක් ළමයා දැන ගනීවි යන ඊර්ෂ්‍යාව නිසා පිළිතුරු නොදී සිටීමට ළමුන් පෙළඹෙන අවස්ථා ගැනත් වාර්තා වෙයි. දෙමාපියන්ගේ පීඩනය යටතේ දරුවන් අතර තරගය පිස්සුවක් බවට අද වන විට උත්සන්න වී තිබේ. වාහන පදවන අයවළුන් මාර්ග සංඥා නොතකන අතර වේග සීමාවන් සහ පදික මගීන් ගැන තැකීමක් ඇති බවක් නොපෙන්වති. ඉවසීම අපෙන් දුරු වී ඇත. පෝලිමක ඉන්නට අපට පුරුද්දක් නැත. පොදු ඉඩම් අත්පත් කර ගැනීම, ජල නල මාර්ග අවහිර වන සේ ගොඩනැගිලි ඉදි කිරීම, කුණු මහ පාරේ දමා යාම ආදිය අද සුපුරුදු දේවල් ය. 

දුබලයන් බලවන්තයන්ට වන්දනාමාන කිරීම

දුබලයන් බලවන්තයන්ට වන්දනාමාන කිරීම සම්මත චාරිත‍්‍රයක් වී ඇත. ආගමික නායකයෝ ලබ්ධි ගුරුකුළ අටවා ගනිති. මිනිස්සු අන්ධයන් සේ ඔවුන්ට වඳිති පුදති. ඔවුන්ගේ දේශනාවන්ට සවන්දෙති. එහෙත් තමන්ගේ ආගමේ මූලික ප‍්‍රතිපදාවන්වත් අනුගමනය නොකරති. නූතන යුගයේ වහල් භාවය ප‍්‍රසිද්ධියේම ඉවසති. ගුරු වෘත්තිය එකල සම්භාවනීය කාර්යයකි. අද එය ව්‍යාපාරයකි. අධ්‍යාපන ක‍්‍රමය අද සැකසී ඇත්තේ න්‍යායික දැනුමක් ඇති මිනිසුන් බිහි කිරීමට මිස සමාජ නිපුණතා සහිත මිනිසුන් බිහි කිරීමට නොවේ. කඩදාසි සහතික පත්, විශේෂඥතාවක නිරූපණයක් යැයි ඔවුහූ සිතති. උගතුන්ගෙන් බහුතරයක් දෙනා, තමන් ජාත්‍යන්තර මට්ටමට කිට්ටු වීමටවත් බැරි පිරිසක් බව පිළිගැනීමට මැළිවෙති. එවැනි මිනිසුන්, ‘බටහිරයන්ට වඩා අපි දියුණුයි’, ‘අපි තමයි දන්නේ අහවල් දේවල් කරන්නේ කොහොමද කියලා’ ආදී වශයෙන් කියනු මට ඇසී තිබේ. ඒ ප‍්‍රකාශ සත්‍යය නම්, මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට නොහැකි වීමේ ආණ්ඩුවේ අසාර්ථකත්වය ගැන මෙසේ ලියන්නට මට අද සිදු නොවනු ඇත. බටහිර අධ්‍යාපනයෙන් කිසි උදව්වක් නැතිව අපේ අධ්‍යාපන ක‍්‍රමයේ අනුහසින් පමණක් නොබෙල් ත්‍යාගලාභියෙකු නිර්මාණය කෙරෙන දවස දැක ගැනීමට මම බලා සිටිමි. මා එතෙක් කල් ජීවත් වෙතැයි මම නොසිතමි. 

ශ‍්‍රී ලාංකිකයන් තමන්ගේම වන සාරධර්ම පද්ධතියක් මත වර්තමානය වන විට නිර්මාණය කරගෙන ඇති සංස්කෘතිය එබඳු ය. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම පාහේ අද ජීවත් වන්නේ අවුල් සහගත, අසංවිධිත, බෙලි කපන, ආත්මාර්ථකාමී සහ නොහික්මුණු පරිසරයක ය. එවැනි පිරිසකගේ අවබෝධය අල්ප ය. ජීවිතේ අභියෝගවලට ඔවුන් මුහුණදෙන්නේ ඒ අභියෝගවලින් පලායමිනි. සුපුරුදු පරිසරයෙන් එහා සිදුවන්නේ කුමක්ද යන්න ගැන අදහසක් ඔවුන්ට නැත. ගෝලීය තත්වයන් ගැන අවබෝධය පිළිබඳව කතා කිරීමෙන් ද පලක් නැත.

වැඩි බලය කාටද ? 

මේ අඳුරු පරිසරය තුළ, කෛරාටික දේශපාලඥයන්ට, ව්‍යාපාරික මෝරුන්ට සහ පිටස්තර මහ බලවතුන්ට අපේ ජනතාව සූරාකෑමට සහ අපේ ජාතික සම්පත් ඔවුන්ගේ ප‍්‍රයෝජනයට යොදා ගැනීමට අවකාශ සැලසී ඇත. මේ පුළුල් චිත‍්‍රය සහ යථාර්ථය පෙනෙන්නේ රටෙන් පිට සිට බලන කෙනෙකුට පමණි. 

මම බෞද්ධයෙක්මි. එහෙත් හැම සතියකම පන්සල් යන හෝ ධර්ම දේශනාවන්ට සවන්දෙන කෙනෙක් නොවෙමි. බුද්ධාගම මා වටහාගෙන ඇති පරිදි, බුදුන් වහන්සේ දේශනා කෙළේ ‘වර්තමානයේ’ ජීවත් වන ලෙස ය. සමහර විට, වෙනත් ආගම්වලත් එවැනි ඉගැන්වීම් තිබිය හැකිය. මට පෙනෙන විදිහට ලංකාවේ බහුතරයක් සිතින් වෙසෙන්නේ එක්කෝ අතීතයේ ය. නැත්නම් අනාගතයේ ය. අතීතයේ අසාර්ථකතා ගැන ඔවුන් විෂාදයෙන් සිතන්නේත්, අනාගතවාදී යමක් පසුපස ලූහුබඳින්නේත් එබැවිනි. එය, මේ මොහොතේ තමන් ජීවත්වන පරිසරය තුළ සිදුවන වෙනස්කම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔවුන්ව වළකාලයි. එසේ නොවිණි නම්, තමන් අතරේ වෙසෙන මිනිසුන්ගේ අසාමාන්‍ය හැසිරීම් සහ ඔවුන්ගෙන් අත්විය හැකි අවදානම් ගැන යම් අවබෝධයක් තිබිය යුතුව තිබුණි. සමාජයේ හැසිරීමත් මේ ප‍්‍රශ්නයේ කොටසක් යැයි මා කියන්නේ එබැවිනි. ඒ ප‍්‍රශ්නය නිරාකරණය කළ හැක්කේ සමාජයටම ය. ඒ සඳහා බුද්ධිමත් දේශපාලඥයන්ගේ සහ දක්ෂ නිලධාරීන්ගේ සහයෝගය තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ප‍්‍රචාරක යුද්ධය

මේ අර්බුදයේ ඒ ඒ පරදුදරන්නන් මේ සෙල්ලම කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක්, සමාජ මාධ්‍ය සහ විද්‍යුත් පුවත්පත් හරහා මට දැක ගැනීමට ලැබේ. මේ ප‍්‍රචාරක ජාල තුළ නොදැනුවත්වම මිනිස්සු සිර වී සිටිති. එසේම මාධ්‍යවේදීහු ද ඊට දායක වෙති. වරක් වින්ස්ටන් චර්චිල් කියා ඇති පරිදි, ‘සත්‍ය නිරාවරණය වීමට සැරසෙන්ටත් කලින්ම බොරුව ලෝකයෙන් අඩක්ම පැතිරී හමාර ය.’ දැන් ලංකාවේ පැවතෙමින් තිබෙන්නේ එවැනි තත්වයකි. බොරු ප‍්‍රවෘත්ති සීග‍්‍රයෙන් පතුරුවනු ලැබේ. මේ අර්බුදයේ පරදුදරන්නන් බොහොමයකි. ඉන් සමහරෙකු වන්නේ, ආණ්ඩුව, විපක්ෂ දේශපාලන පක්ෂ, ආගමික නායකයන්, ත‍්‍රිවිධ හමුදා, පොලීසිය, රාජ්‍ය නිලධාරීන්, දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන්, ව්‍යාපාරික ප‍්‍රධානීන්, විදේශ මහබලවතුන්, දේශීය සහ විදේශීය රැුඩිකල් කොටස් ආදී වශයෙනි. මේ ලැයිස්තුව දිනෙන් දින වැඩෙමින් පවතී. ඒ එකිනෙක පරදුදරන්නාට තමාගේම වන න්‍යාය පත‍්‍ර සහ ඉලක්ක තිබේ. දෙන ලද යම් මොහොතක තිරය පසුපස සිට පිරිසක් වෙහෙසෙන අතරේ දෙදෙනෙකු ප‍්‍රධාන වේදිකාවට පැමිණ එකිනෙකාට පහර දෙති. කවුරු කා සමග ඉන්නේද, කාව විශ්වාස කරන්නද යන්න සාමාන්‍ය ජනතාවට ප‍්‍රහේලිකාවක් වෙයි. වෝල්ටර් ලිප්මාන් වරක් කී පරිදි, ‘යුද්ධ කාලයකදී සතුරාගේ පැත්තෙන් කියන කතා හැම විටකම ප‍්‍රචාරකවාදී කතා වන අතර, අපේ පැත්තෙන් කියන කතා හැම විටකම සත්‍යවාදී සහ සුචරිතවාදී කතා වන්නේය. මනුෂ්‍යත්වය සහ සාමය සඳහා වන කතා වන්නේය.’ මේ අනුව සියල්ලන්ම කරන්නේ, අවශ්‍ය කරන න්‍යාය පත‍්‍රයට සහ දීර්ඝ කාලීන ඉලක්කවලට අනුගතව ප‍්‍රචාරක යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමත්, සත්‍යය පවසන්නේ තමන්ම බව ප‍්‍රකාශ කර සිටීමත් ය. සමහරු මේ ප‍්‍රචාරක කතා, ශුභාරංචිය තරමට සත්‍ය සේ පිළිගනිති. අර්ධ සත්‍යයන් කීමත් කලාවකි. දේශපාලඥයෝ එහි නිපුණයෝ ය. ඇමරිකානු සෙනේට් සභික හිරාම් ජොන්සන් 1917 දී කී පරිදි, ‘යුද්ධයේ ප‍්‍රථම බිල්ල වන්නේ සත්‍යයි’. වින්ස්ටන් චර්චිල් කී පරිදි, ‘යුද්ධ කාලයකදී සත්‍යය මොන තරම් මාහැඟි දෙයක් වන්නේ ද යත්, බොරු වැළකින් එය වැසිය යුතුව තිබේ.‘

මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය 

වර්තමානයේ ඇත්තේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයකි. සත්‍යය දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. එහෙත් ඒ, යුධ ප‍්‍රයත්නයන්ට අවැඩක් සිදු නොවන තරමට පමණි. මෙය කිරීමට හොඳම හැකියාව ඇත්තේ මාධ්‍යවේදියාට ය. ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ඇත්දැයි මම නොදනිමි. මාධ්‍ය යනු වෘත්තියක් නම්, ඊට ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුය. එවැනි ආචාර ධර්ම පද්ධතියක වඩාත් වැදගත් අංගය වන්නේ, රාජකාරිය ඉටු කිරීමේදී සමාජයේ යහපැවැත්ම සුරක්ෂිත වන බවට වගබලා ගැනීමයි. 


එබැවින් සත්‍යය වාර්තා කිරීමේදී, පොදු සමාජ යහපතට හානියක් සිදු විය හැකි සංවේදී තොරතුරු නිරාවරණය කිරීමේදී පරිස්සම් විය යුතුව තිබේ. අන්තර්ගතය මුළුමණින්ම අපක්ෂපාතී සහ සත්‍යවාදී විය යුතු මුත්, ඊට අදාළ අවශේෂ කරුණු පොදු සමාජ යහපත වෙනුවෙන් සීමා කළ යුතුව තිබේ. සියලූ විස්තර සටහන් කළ යුතු නැති බවක් මෙයින් අදහස් නොකෙරේ. විශේෂිත තොරතුරු පරීක්ෂණ කමිටුවලට වාර්තා කළ යුතු අතර, ඇති විය හැකි ප‍්‍රතිවිපාක පිළිබඳ තක්සේරුවක් ඇති කර ගැනීම සඳහා එය උපකාරී වන්නේය. ඒ මොහොතේ සිදුවන්නේ, ආපදාවෙන් ප‍්‍රතිසාධනය කර ගත හැකි තොරතුරු සහ ආපදා වළක්වා ගැනීමට අදාළ තොරතුරු සැපයීමයි. මාධ්‍යවේදීන්ගේ මුඛ්‍ය ඉලක්කය විය යුත්තේ, ඇති විය හැකි ප‍්‍රතිවිපාකවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමයි. මාධ්‍යවේදීන් ආචාර් ධර්ම පද්ධතියකට අනුකූලව කටයුතු කරන්නේ නම්, රජයේ මාධ්‍ය වාරණයක් අවශ්‍ය නොකෙරේ. වෘත්තීය මාධ්‍යවේදීන්, පවතින තත්වය හසුරුවාගෙන, අපක්ෂපාතී සහ සත්‍ය වාර්තාකරුවන් වශයෙන් ජනතා විශ්වාසය දිනා ගත යුතුව තිබේ. 

සමාජ මාධ්‍ය ජාලා පැමිණීමත් සමගම අද වන විට සමාජයේ සෑම කෙනෙකුම පාහේ වාර්තාකරුවන් සහ මාධ්‍යවේදීන් බවට පත්ව තිබේ. අද ප‍්‍රවෘත්ති අන්තර්ගතය විකෘති කෙරෙන ආකාරය ඉතා බරපතල ය. ආණ්ඩුකට එය නතර කළ නොහේ. එසේ කිරීමට උත්සාහ කළ යුතු ද නැත. කළ යුත්තේ, ජනතාවට විශ්වාස කළ හැකි ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රයක් ගොඩනැගීමයි. අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනැගුණු පසු, අර කියන බොරු වාර්තාවලට යට වීමෙන් සිදු විය හැකි හානිකර ප‍්‍රතිවිපාක ගැන ජනතාව දැනුවත් කළ හැකිය.






(2019 මැයි 8 වැනි දා Daily FT පුවත්පතේ පළවූ ‘‘Disaster Mismanagement- Are We All Part of the Misdeed ?" නමැති ලිපියේ සිංහල පරිවර්තනය (1), ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


සබැඳි පුවත් 


‘‘සිංහලයා ආවේගය භාවිත කළ යුත්තේ තාර්කිකවයි‘‘ - ශිරාල් ලක්තිලක


පසුගිය පාස්කු ඉරිදා දින ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආවේගශීලීව හැසිරෙමින් මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී අදහස් ව්‍යාප්ත කරන සිංහල ජනතාව හැසිරිය යුත්තේ කෙසේදැයි යන්න ගැන ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක සිය මුහුණු පොතේ සටහන් කර ඇත්තේ මෙලෙසිනි.  


‘‘ආවේගයට පත් සංවේදයට පත් කෝපයට පත් සිංහල සමාජයට කරනු ලබන යටහත් ආයාචනයයි!!!!

ඔබට වර්මාතනයේ ඇතිවී ඇති තත්වය පිලිබඳ පවතින ආවේගය සාධාරණ වන්නේය.එය බහුතර සිංහල සමාජයේද ආවේගය බවද මම පිළිගනිමි. මුස්ලිම් සමාජය තුල සිටින ඇතැමුන් තුළ පැවති ආත්මාර්ථකාමය ද  මම පිළිගනිමි. නමුත් ඊට ප්‍රතිචාර දැක්වීම සංයමයකින් කල යුතු දෙයක් නොවේ ද ?. මා විසින් විසින් මීට පෙර කළ අදහස් දැක්වීම තුළ ඊට අදාලව බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කිරීමට මා උත්සාහ කර ඇත. මදි නම් තවදුරටත් සාකච්ඡා කරමු. නමුත් ඇතිවී ඇති තත්වයට පිලිතුර අපගේ ආදරනීය දේශය ආවේගයේ ගිනිදැල් තුලින් අරාජිකත්වයට ඇද දැමීම නොවේ.

නමුත් මෙම කරුණු පිළිබඳව අප ගේ දේශපාලන සමාජය තුල ගැඹුරට සාකච්ඡා නොවන බවද සත්‍යයකි. එම නිසා පුරවැසියන් තුළ අසහනකාරී ආවේගයක් ඇතිවීමද සාධාරන වන්නේය. නමුත් මේ සැමට පිලිතුර පාලනයේ පවතින්නේ යයි ඔබ සිතන හිස්තැනකට ආවේගය එක් කොට ඒ හරහා තීන්දු තීරණ ගැනීම නොවේ.

පාලනයද පාලනයේ කොටස්කරුවන්ද අසමත් යයි සිතීම 

ඔබට ඡන්දයකින්, සිද්ධියට වගඋත්තරකරුවන් ලෙස සලකන්නන් පුරවැසි බලය මගින් පරාජය කළ හැකිය. නමුත් ඒ සඳහා ද කාලයක් ගතවන්නේය. එතෙක් වර්තමාන පාලකයන් අතිත වරදට වගඋත්තරකරුවන් කියා නිහඬව සිටීම සිදු කල හැකි දෙයක් නොවේ. ඒ සඳහා වර්තමානයේ පාලනයට බල කරන්න ඔබ ගේ ආවේගය භාවිතා කරන්න.

ඔබ මෙන්ම අප ද රට, සමාජය. ජනතාව හා සිංහලයන් ගැන කැක්කුමක් ඇති පුද්ගලයන් බවද සිහිපත් කරමි. ඔබ සතු වගකීම අප සතුවක් තිබේ. එම නිසා මේ ගැනත් සිතන්න.

සිංහලයා ආවේගය අතාර්කිකව භාවිත කොට ඇණගත් අතීතයක් තිබේ

ආවේගයන් මගින් අප මුහුණ දුන් අභියෝගයන්ට පිලිතුරැ සැපයීමට උත්සාහ දැරූ අතීතයක් අපට පවතින්නේය. සිංහල සමාජයේ ආවේගය වරෙක ඛේදවාචකයක් දක්වා පැතිර ගියේය. නැවත එය පුනරැච්චාරණය කළහොත් එය විගඩමක් විය හැකිය. ඒ පිලිබඳ මාගේ අත්දැකීම කෙටියෙන් මෙලෙස ලියා තබමි.

බෙදුම්වාදී යුද්ධය ඇරඹුණ මුල් අවදීයේ මා සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශය හමුවේය. සොල්දාදුවන් 13 දෙනා ත්‍රස්තවාදීන් විසින් මරාදැමුණු විට කොලඹ විශ්වවිද්‍යාලයේ විප්ලවවාදී ශිෂ්‍ය කණ්ඩායමක් සංවිධානය වුයේ කොලඹ කනත්තකට ගොස් මිනී සමග වෝඩ් පෙදෙසට ගොස් ජේ.ආර් ට ගෙදර යන්නට බල කරන්නටය.

කනත්තෙන් පෙළපාලිය පටන් ගත්තේ මෙම ශිෂ්‍ය කන්ඞායමේ මෙහයවීමෙනි. එහි තිබුණේ ආණ්ඩු විරෝධයකි. පෙළපාලියේ ඉදිරියෙන් ගියේ එයට ආගන්තුකව එක්වු අදටත් සුපතල භික්ෂුන් වහන්සේ නමකි. පෙලපාලිය බොරැල්ල හංදිය අසලට යද්දී ජේ.ආර් ගේ ආණ්ඩුවට ඇති විරෝධය යටපත්වී දෙමළ කඩ ගිනි තියන්නට පටන් ගත්තේය. කළූ ජුලිය ඇරඹූණේ එලෙසටය. 

ඉන් පසු ජේ.ආර් වාමාශික පක්ෂ ගණනාවක් තහනම් කලේ කැරැල්ලට වගකිව යුතු බව නම් කරමිනි. ඒ මෙම කරුණට පෙලඹවූ වාමාංශික කණ්ඩායම කවුදැයි එවකට වු ඔත්තු සේවාවවන්ට නිසි ලෙස හඳුනාගැනීමට නොහැනි වු නිසාය. පසුව ජේ.ආර් බ්‍රිගේඩියර් බුල් වීරතුංග යාපනයට යැව්වේ ගොඩනැගෙමින් තිබු ත්‍රස්තවාදය මසකින් අවසන් කීරිමටය. බ්‍රිගේඩියර්වරයා යාපනයේ සැම හංදියකම මරා දැමු ත්‍රස්තවාදීන් ගේ කපා දැමුනු හිස ප්‍රදර්ශනය කරන්නට කටයුතු කර තිබුනි. වාර්තා කරන අන්දමට එවකට 500 කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටි LTTE සාමාජිකත්වය දස ගුනයින් ඉහල ගියේ. තහනම නිසා ජවිපෙය විප්ලවාදී දේශපාලනයට අවතීර්ණ වුයේය. ශ්‍රී ලංකාව දෙකොන විලක්නුව කින් ඇවිලී ගියේය. 

අප ජිහාඩි / වහාබි/ ISIS/ මුස්ලිම් පරමවාදී දේශපාලනය මෙරටින් අතුගාදැමිය යුතුය. එය නිසැකය නමුත් ඒ මුස්ලිම් ජනතාව ගෙන් ගේම ඉල්ලා නොවේ.

සිංහලයා ආවේගය භාවිත කළ යුත්තේ තාර්කිකවය

පලමුව අන්තවාදයට උඩගෙඩි දුන්නේ යයි සැලකෙන සියලුම දේශපාලඥයින් තම පක්ෂ වලින් හා තනතුරු වලින් ඉවත් කිරීමට බලකල යුතුව තිබේ. සියලුම මව්ලවිවරැන් ගේ හා ප්‍රධාන මට්ටමේ සිවිල් හා දේශපාලනික නායකයින් ගේ වක්කම් හා බැංකු ගිණුම් මහ බැංකුවේ විදේශ වත්කම් නියාමන ඒකකයේ විමර්ශනයකට යටත් කරන්න යයි උද්ඝෝෂණය කළ යුතුව තිබේ. මෙම ක්‍රියාවලිය විමර්ශනය කිරිමට සමාජය පිලිගත් සිවිල් හා ආගමික නායකයන් ගේ කමිටුවට බාර දීමට උද්ඝෝෂණය කරන්න. ඉදිරි මාස 6 තුළ මැතිවරණ ක්‍රමය වහා වෙනස් කරන්න යයි සියලු ජාතික දේශපාලන පක්ෂ වලට බලකරන්න.

ඉදිරි මාස 06 තුල එය කළ හැකි නම් අලුත් පාලකයන්ට ඉතිරිය භාර කළ හැක.‘‘ 





(ශිරාල් ලක්තිලක විසින් නෙදර්ලන්තයේ පැවති Amsterdam Dialogue සමුළුවේදී සිදුකළ අදහස් දැක්වීම සිංහලෙන් කියවන්න පිවිසෙන්න)