ජනපතිගේ සමනළ කතාව දයාසිරි සාධාරණීකරණය කරයි

පසුගියදා (5) ජනාධිපතිතුමා මහජන රැළියක් අතරතුරදී පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් ගෙන යමින් සිටි ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ මහතා ජාතික වටිනාකම් ප්‍රතික්ෂේප කරමින් සමනළ ජීවිතයට ඇතුළත් වූ බව හා ආණ්ඩුවේ ප්‍රධාන තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිවරයා හෝ පක්ෂයේ ප්‍රධානීන් නොව වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සමනළ රැළ යන්නයි.


මේ ප්‍රකාශය සම්බන්ධයෙන් LGBTQI ප්‍රජාව, ඔවුන් සම්බන්ධව කටයුතු කරන සංවිධාන ඇතුළු පුරවැසියන් බොහෝ දෙනෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරු සිය අප්‍රසාදය පළකරන්නට විය. කෙසේවුවත්, අද (7) දිනයේදී පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සාධාරණීකරණය කළ අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ,


 

‘‘අතිගරු ජනාධිපතිතුමා කියපු සමනළ රෑන පිළිබඳ කතා, මේ කතාව අරගෙන වැරදි ප්‍රචාරයන් ගණනාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා. සමනළ රෑන කියන එක, එක එක පුද්ගලයින්ට එක එක විදියට අර්ථකතනය කරගන්න පුළුවන්. සමහර අයට ඒක වෙනත් ලිංගික කාරණා පිළිබඳව මතක් කරගන්න පුළුවන්. සමහර අයට පුළුවන් දැන් උදාහරණයක් විදියට ගත්තොත්, විජය කුමාරතුංග මරලා දාපු වෙලාවේ කිව්වේ, ‘සමනළයෙකුට වෙඩි තිබ්බායි කියලා.''


 

ඇමතිතුමනි,  LGBTQI කියන්නේ ලිංගික විකෘතියක්ද ?  - 

 

''මේ වගේ ඕනෑතරම් තියෙනවා අපිට උදාහරණ එක්ක ගන්න. එදා රාජිත සේනාරත්න මැතිතුමත් කිව්වේ ‘සමනලයා‘ නමින් එතුමගේ පක්ෂයක් තිබුණා කියලා. ඉතිං, මෙහෙම තියෙන්න පුළුවන්, අපි ඒකෙන් අදහස් කරන්නේ නැහැනේ රාජිත සේනාරත්න මැතිතුමා සමනළයගේ පක්ෂයෙන් ඡන්දේ ඉල්ලුවා කියලා, එතුමා ඔය කියන මොකක්හරි, ඒගොල්ලෝ අර්ථ නිරූපණය කරගත්තු දෙයක්නේ. ඉතිං, ඕන කෙනෙකුට කියන්න පුළුවන්, ‘සමනල රෑනක් සේ‘ ඔය වගේ සින්දුත් තියෙනවා හදලා ඕන තරම්. ‘සමනළයා මල හා ළමයා‘, කිව්වම ඒකෙන් අදහස් කරන්නේ අර ලිංගික විකෘතියක් සම්බන්ධ මොකක්හරි ප්‍රශ්නයක්ද ?. නෑනේ, 


ඉතිං, ඒක නිසා මං හිතන්නේ මේක, ඉතාම දැඩි ලෙස පාවිච්චි කරනවා තවත් විදියකින් අතිගරු ජනාධිපතිතුමාට විරුද්ධව ඒ ක්‍රියාදාමයේ ඉන්න සියලුදෙනාට විරුද්ධව ගෙනයන ක්‍රියාදාමයක් විදියට කතා කරයි කියලා.‘‘ යන්නයි.

 

 

සබැඳි පුවත් 

 

ජනාධිපති ‘සමරිසි භීතිකාවෙන්’ කළ ප්‍රකාශයට LGBTQI ප්‍රජාවේ විරෝධය