COVID-19 මූලාරම්භය-සෙවීම: විද්‍යාව විශ්වාස කර දේශපාලනය බැහැර කරමු

 තානාපති ක්වි ෂෙන්හොන්ග්  ( Ambassador Qi Zhenhong )

COVID-19 මූලාරම්භය සොයා ගැනීම විද්‍යාවේ කරුණක් වන අතර එය වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. චීනය, ශ්‍රී ලංකාව සහ ලොව පුරා සිටින විද්‍යාඥයින් අදාළ පර්යේෂණ වල අඛණ්ඩව නිරත වී සිටිති. කෙසේ වෙතත්, දින 90 ක් තුළ කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය සිය බුද්ධි අංශයට මැයි මස අග භාගයේදී නියෝග කළ අතර, මෙම කාරණය සම්බන්ධයෙන් ඊනියා ‘පූර්ණ පරීක්ෂණයක්’ සඳහා චීනයට බලපෑම් කරන ලෙස ද ඔවුහු විවෘතව කියා සිටියහ. මෙවැනි අප්‍රසන්න දේශපාලන ගුණ්ඩු දැමීම සහ ඉලක්ක කරගත් ජාතියකට එරෙහිව "වරදකාරී යැයි උපකල්පනය" කරමින් චෝදනා කිරීමෙන් උල්ලංඝනය කරන්නේ විද්‍යාව සහ සාමාන්‍ය බුද්ධිය පමණක් නොවේ. එය සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවගේ අවඥාවට හා විරෝධයට භාජනය විය යුතු ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

මේ වසර මුලදී, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) සහ චීනයේ ප්‍රවීණ විශේෂඥයින්  චීනයේදී කොවිඩ් -19 මූලාරම්භය හඳුනා ගැනීම පිළිබඳව ඒකාබද්ධ අධ්‍යයනයක් කළෝය. දින 28 ක් පුරා සිදුකළ අධ්‍යයනයේදී විශේෂඥයින් තමන්ට අවශ්‍ය ඕනෑම තැනකට ගොස් හමු වීමට අවශ්‍ය ඕනෑම අයෙකු හමු වීමට ඉඩසලසනු ලැබීය. ඉන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තොරතුරු හා බලයලත් ඒකාබද්ධ අධ්‍යයන වාර්තාවක් නිල වශයෙන් නිකුත් කරන ලද අතර, "විද්‍යාගාර කාන්දු වීම කිසිසේත්ම විය  නොහැක්කක්" බව සහ ලෝකයේ සෑම තැනින්ම ලබාගන්නා මුල් රුධිර සාම්පල සඳහා සේරෝ සමීක්‍ෂණය කිරීම අවශ්‍යය බව ඇතුළු ප්‍රධාන නිගමන කිහිපයක් එහි ඇතුළත් විය.  ඒ මත පදනම්ව මේ සම්බන්ධ ජාත්‍යන්තර අධ්‍යයන පුළුල් වෙමින් පවතී. ඉතාලිය, ප්‍රංශය, බ්‍රසීලය සහ එක්සත් ජනපදය වැනි බොහෝ රටවලින් SARS-CoV-2 වෛරසය  පරික්ෂා කිරීමට එකතු කල සාම්පල වලට අනුව ඒවාට වෛරසය අසාදනය වීම   චීනයේ වුහාන් හි අදාළ වෛරසය අසාදනය වී ඇතැයි වාර්තා වූ පළමු සිද්ධීන් වලින් එකතුකරගත් සාම්පල  වලට  වඩා පැරණි බව සොයාගෙන ඇත.  ඉතාලියේ මිලාන් විශ්ව විද්‍යාලයේ සහ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි අනුස්මරණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් චීනය පුරා පැතිරී යෑමට බොහෝ කලකට පෙර 2019 ගිම්හානයේ අග භාගයේදී ලොම්බාර්ඩි හි COVID-19 සංසරණය වූ බවට සාක්ෂි සොයා ගත්හ.ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාව ප්‍රකට ලන්සෙට් වෛද්‍යය සඟරාවේ ප්‍රසිද්ධ විය.    ලොව පුරා විවිධ ස්ථාන වලින් ලබා ගන්නා සාම්පල භාවිතා කොට සිදුකරන මෙම සියළුම විද්‍යාත්මක සොයාගැනීම් මඟින් වෛරසයේ මූලාරම්භය සෙවීමේ අත්‍යවශ්‍යතාවය අවධාරණය කෙරේ.

සතුටට කරුණ  නම්, වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේ මුවාවෙන් එක්සත් ජනපද පරිපාලනය  සිදුකරන දේශපාලන කටයුතු  සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ පුලුල් විරෝධය මිස සහයෝගයක් නොලැබීමය. මෑතකදී, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 76 ක් වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම දේශපාලනීකරණය කිරීමට විරුද්ධව හඬ නැඟූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි යැවීම සහ නිවේදන නිකුත් කිරීම තුළින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන ඒකාබද්ධ අධ්‍යයන වාර්තාව තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළහ.  ඊට අමතරව, විද්‍යාඥයින්, දේශපාලනඥයින්, මාධ්‍ය වෘත්තිකයන් සහ සංවිධාන වැඩි වැඩියෙන් මෙම ස්ථාවරයේ සිට කටයුතු කරමින් සිටිති. කොවිඩ් -19 වසංගතය දේශපාලනීකරණය වීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති  ෂී ජින් පින් අතර සිදු කළ දුරකථන සංවාද දෙකේදී අවධානය යොමු වූ අතර එහිදී ඊට එරෙහිව දැඩි විරෝධය පළ වූ බව සඳහන් කිරීම වටී. දින කිහිපයකට පෙර, හිටපු සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අප හමුවීමේදී මෙම වෛරසයේ මූලාරම්භය සෙවීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය නැවත අවධාරණය කළාය. මෙම අගතිගාමී දේශපාලනීකරණය  කොවිඩ් -19 වසංගතය මුළුමනින්ම පරාජය කිරීම සඳහා වූ සියළුම රටවල උත්සාහයන්ට බාධා පමුණුවන බවත් එමඟින් කිසිඳු යහපතක් සිදු නොවන බවත්  චීනය සහ ශ්‍රී ලංකාව පිළිගනී.

එක්සත් ජනපද බුද්ධි අංශ වල අපකීර්තිමත් කටයුතුවලට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ. ඔවුන්ගේ කටයුතු නිසා මනුෂ්‍යවර්ගයාට සිදු වී ඇති හානිය අපමණය. හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් සහ සීඅයිඒ හි හිටපු අධ්‍යක්ෂ මයික් පොම්පියෝ මහතා විවෘතව පාපොච්චාරණය කළේ “අපි බොරු කිව්වා, අපි වංචා කළා, අපි හොරකම් කළා” කියාය.  2003 දී ස්වෛරී රටක් වූ ඉරාකයට තම හමුදාව යැව්වේ තම බුද්ධි අංශවලින් සැපයු ව්‍යාජ බුද්ධි වාර්තා එනම් ඉරාකයේ සමූල ඝාතක අවි ඇතිබව සඳහන් කළ වාර්තා පදනම් කරගනිමිනි. එම යුද්ධය හේතුවෙන් සිවිල් වැසියන් 200,000 ක් පමණ මරණයට පත් වූ අතර ගැටුම් විසින් ශේෂ කළ අවතාර තවමත් එහි හොල්මන් කරමින් සිටී.   වෛරසයේ ඊනියා මූලාරම්භය පිළිබඳ සොයා බැලීමේ සීඅයිඒ වාර්තාව “කොවිඩ් විමර්ශන කෞතුක වස්තුවක්” ලෙස හැඳින්වීම පුදුමයක් නොවේ. මන්ද, එය තවත් අපතේ යන කඩදාසි කැබැල්ලක් හැර වෙන කිසිවක් නොවේ. එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ගොතන ලද ඊනියා වාර්තාව කැබලිවලට ඉරා දැමිය යුතු වාර්තාවක් බව සැබෑ කරුණු වලින් තහවුරු වනු ඇත  එය හරියට  කාබුල්හි සිටි සෑම් මාමාගේ හදිසි හා බියගුළු ඉවත්වීමෙන් පසු ඇමෙරිකානු පාලකයින් කෙරෙහි වූ විශ්වසනීයත්වය යලිත් කැඩී බිඳී ගොස් ඇති බව සනාථ වූ ආකාරයෙනි.

තානාපති ක්වි ෂෙන්හොන්ග්  ( Ambassador Qi Zhenhong ) ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි