ඉන්දික උඩුගම්පොළගේ La Nuit est encore Jeune ප්‍රංශය නියෝජනය කරමින් මුම්බායි සිනමා උළෙලට

La Nuit est encore Jeune(රැය තවම තරුණයි) මැයෙන් නිර්මිත ඉන්දික උඩුගම්පොළගේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපටයෙ මංගල ලෝක දැක්ම මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙලෙදි තිරගතවිමට නියමිතය. ශි‍්‍ර ලාංකිකයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද ප‍්‍රථම ප‍්‍රංශ චිත‍්‍රපටය වශයෙන් ඉතිහාසයේ සනිටුහන් La Nuit est encore Jeune ඉන්දික උඩුගම්පොළගේම තිර රචනයකි. ප‍්‍රංශයේ EICAR සිනමා අධ්‍යයන ආයතනයේ සිනමා අධ්‍යක්ෂණය හැදැරු ඉන්දිකගේ මෙම චිත‍්‍රපටය මුම්බායිහිදි ප‍්‍රංශය නියෝජනය කරමින් තිරගත වීම විශේෂත්වයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ශි‍්‍ර ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරයෙකු විසින් සිනමා සහෘදයන්ගේ මුල්‍යමය දායකත්වයෙන් නිර්මාණය කෙරුණු පළමු ‘‘සමුහ දායක‘‘ (Crowd Funding)චිත‍්‍රපටය වීමයි.

ඔක්තෝබර් මස 14 සිට 21 දක්වා ඉන්දියාවෙ පැවැත්වෙන මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙල සදහා රටවල් 65 ක් නියෝජනය කරමින් චිත‍්‍රපට 185 ක් තිරගත විමට නියමිතය.

මෙම චිත‍්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ පැස්කලින් බෙල්ග‍්‍රාඞ්, ඇනා ලෙමොනාකි සහ ලක්ෂාන් අබේනායකයි. චන්න දේශප‍්‍රිය කැමරාකරණයෙන්ද, පියෙර් එම්මෑනුවෙල් ශ‍්‍රව්‍ය සංකලනයෙන්ද දායක වුණු මෙම චිත‍්‍රපටයේ සංස්කරණය ෂයිලේශ් මැක්වාන්ගෙනි. නදීක ගුරුගේගෙ පසුබිම් සංගීතයෙන් සහ ගි තනු නිර්මාණයේන් ඔපවත් වුනු La Nuit est encore Jeune  සදහා  ඉන්දික උඩුගම්පොළ විසින් රචනා කරන ලද The night is still young ගීතයට ගායනයෙන් දායක වි ඇත්තේ දිලීකා සෙව්වන්දියි.

ඔන්ද්‍රෙ ජීද් ගේ la Symphonie pastorale නවකතාව ඇසුරින් 2003 දි ‘‘කෝකිළ සංධ්වනිය‘‘ ටෙලිවෘතාන්තය නිර්මාණය කළ ඉන්දික ඉන් අනතුරුව ‘‘රති විරති‘‘ නමින් ටෙලි චිත‍්‍රපට මාලාවක් නිර්මාණය කළේය. ඔහු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත‍්‍රපට සහ වාර්තා චිත‍්‍රපට රැසක් අන්තර්ජාතික චිත‍්‍රපට උළෙල නියෝජනය කර ඇත.

ජනමාධ්‍යවේදියෙකු සහ සාහිත්‍ය කලා විචාරකයෙකු වන ඉන්දික 2003 වසරේ සිග්නිස් සිනමා උළෙළදි ජයවිලල් විලේගොඩ සිනමා විවාරක සම්මානයෙන් පිදුම් ලැබිය. යුනෙස්කෝ සංස්කෘතික අංශය විසින් සිනමා මාධ්‍යය සදහා පිරිනැමෙන ඇමරිකානු නේවාසික ශිෂ්‍යත්වය 2007 වසරේදි හිමි කරගත්තේද ඉන්දික උඩුගම්පොළය. ඉන්දික උඩුගම්පොළ ප‍්‍රංශයේ ජීවත්වන විප‍්‍රවාසයේ සිනමාකරුවෙකි.