''මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණමාල්ට කළ පහරදීම හෙළා දකිමු'' - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය



නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තාවී ඇති ආකාරයට දෙසැම්බර් 19 වන දින  මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයකට එරෙහිව ගම්වාසීන් විසින් දක්වන  ලද විරෝධතාවයක් වාර්තා කරමින් ඡායරූප ගත කළ ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න මහතාට එම ටිපර් රථයේ සිටි පුද්ගලයකු විසින් පහර දි ඇත.මෙම  පහර දීම නිසා ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න මහතා ගේ කැමරා ආම්පන්නවලට ද අලාභ හානි සිදුවී ඇතැයි වාර්තා වේ.

ප්‍රසාද් පූර්ණමාල් 

ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතුවලට බාධා කිරීමේ සිද්ධි මාලාවට තවත් එකතුවක්  වන මෙම සිද්ධියත් සමඟ ජනමාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීම ශ්‍රී ලංකික සමාජයේ ඇතැම් කොටස් වල සමාජ විරෝධි චරියාවේ අංගයක්  බවට පත් කොට ගෙන ඇති බව පෙනී යයි. මෙවැනි තත්ත්වයක් වර්ධනය වීම ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පැවැත්මට අතිශයින්ම හානිකරය. පුරවැසියන්ට තීන්දු තීරණ ගැනීම පිණිස තොරතුරු නිවැරදිව වාර්තා කිරීම කරන ජනමාධ්‍යවේදීන්ට අවහිර කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කිසිසේත්ම අනුමත නොකරයි.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයට බාධා කරන තැනැත්තන් නීතිය ඉදිරියට කඩිනමින් ඉදිරිපත් කොට යුක්තිය ඉටු කරන ලෙසත් නිදහස් මාධ්‍ය සංස්කෘතියක් පවත්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම ශක්තිමත් කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු බලධාරින්ගෙන් තරයේ ඉල්ලා සිටි.