“අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!”


 ගාමිණී වියන්ගොඩ 

සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන අවස්ථාවක් වුණේ, සුනාමි ආධාර අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂට එරෙහිව තිබූ නඩුව විභාග කළ ආකාරයයි. එම නඩුවේදී, තමන්ට අවශ්‍ය විණි නම් මහින්ද රාජපක්ෂව හිරේ යැවීමට හැකියාව තිබුණු බවත්, එදා එසේ නොකිරීම ගැන තමා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත්, ඒ නඩුව විභාග කළ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඊට වසර ගණනාවකට පසු අවස්ථාවක ප්‍රසිද්ධ වේදිකාවක කීවේය. මෙයින් පෙනී යන්නේ, යුක්තිය ඉෂ්ට කිරීම වෙනුවට, අයුක්තියට ඉඩ හැරීමේ යම් ඉඩහසරක් සහ අවසරයක් විනිසුරුවරයෙකුගේ අභිමතය විසින් නිර්මාණය කළ හැකි බවයි. 

සෑම විනිසුරුවරෙයකුටම පාහේ එවැනි අවසරයක් සිය පාවිච්චියට ගත හැකි අවස්ථා සිය වෘත්තීය ජීවිතය තුළ මුණගැසෙනවාට කිසි සැකයක් නැත. එහෙත් අතිබහුතරයක් විනිසුරුවරුන් එවැනි අවස්ථා තමාගේ පුද්ගල රුචිකත්වයන් සඳහා පාවිච්චියට නොගෙන, නීතිය විසින් ඉල්ලා සිටින යුක්තිය පසිඳලීම කෙරෙහි පමණක් යොමු වීම සාමාන්‍ය සිරිතයි. රටක අධිකරණයක් අදීන සහ අපක්ෂපාතී වන්නේ එවිට ය. එසේ නොමැතිව, පැමිණිලිකරුවන් තමන් ඉදිරියට ‘පිරිසුදු දෑතින් නොපැමිණි බව’ කියමින්, අර අගවිනිසුරුවරයා මහින්ද රාජපක්ෂව නිදහස් කළා පමණක් නොව, පැමිණිල්ල ඉදිරිපත් කළ ‘පිරිසුදු දෑතින් නොපැමිණි’ යැයි ඔහු සිතූ තුන්දෙනාට, එක්කෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වන වන්දියක් ගෙවන ලෙසටත් නියම කෙළේය. 

අභිමතානුසාරී සහනයක් පතාගෙන අධිකරණය ඉදිරියට එන කෙනෙකු ‘පිරිසුදු දෑතින්’ පැමිණිය යුතු බව, සාධාරණ පදනමක් මත විනිශ්චය කළ පූර්වාදර්ශ කිහිපයක් අපේ පැරණි නඩු තීන්දුවල තිබේ. ‘පිරිසුදු දෑත’ යනුවෙන් මෙහිදී දළ වශයෙන් අදහස් වන්නේ, අදාළ අභිමතානුසාරී සහනය කෙනෙකු අධිකරණයෙන් අපේක්ෂා කළ යුත්තේ, සාධාරණ සහ පොදු යහපත සඳහා මිස, පටු සහ හුදෙක් පුද්ගල අවශ්‍යතා පිරිමැසීම සඳහා නොවිය යුතු බවයි. යමෙකු කෙරෙහි වන ද්වේෂයක් වැනි අගතියක් පෙරටු කරගෙන, යමෙකු අපහාසයට සහ නින්දාවට පත්කිරීමක් සඳහා අධිකරණයෙන් සහන නොපැතිය යුතු බව එහි මුඛ්‍යාර්ථයයි. ඒ මූලධර්මය කෙරෙහි එකහෙලා කෙනෙකුට විරුද්ධ විය නොහැකි වෙතත්, එය භාවිතයට ගැනීමේ පරාසය පුද්ගල කේන්දී්‍රය තලයක් භජනය කිරීම හේතුවෙන් අසීමිත අවකාශයක විසිරිය හැකි නිසා, බොහෝවිට එකී මූලධර්මය අවභාවිත වීමේ හෝ සාධාරණ සීමාවෙන් ඔබ්බට යාමේ වැඩි ඉඩකඩක් තිබේ. (මේ න්‍යාය ඉතා ඈතට ගෙන ගියොත්, දූෂණයට ලක් වූ ගණිකාවකට කිසි දවසක යුක්තිය පතා අධිකරණයක් ඉදිරියට පැමිණිය නොහැකි වනු ඇත). 

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි භාවය අභියෝගයට ලක්කරමින් මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පැවරූ පෙත්සම විභාගයට ගැනීමේදී, මේ මූලධර්මය, එක්තරා නොමඟ යවනසුළු පදනමක් මත පිහිටා අර්ථගැන්වුණි. අපේ නඩුව විභාගයට නොගෙන අභියාචනාධිකරණය විසින් වීසි කිරීමට එක් හේතුවක් වුණේ, ගෝඨාභය රාජපක්ෂ වගඋත්තරකරු කරමින් අප ඉල්ලා සිටි සහනය අපට ලබාදීමට තරම්, අපේ ‘දෑත් පිරිසුදු නැති’ බවට අධිකරණය තීන්දු කිරීමයි. මේ කියන අපේ අත්වල තිබුණු ‘අපිරිසුදුව’ කුමක්ද? 

අප දෙදෙනා කළ පැමිණිල්ලක් ප්‍රකාරව, පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කෙළේය. අපේ පැමිණිල්ල වුණේ, ගෝඨාභය රාජපක්ෂ ලබාගෙන ඇතැයි කියන ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය නීත්‍යානුකූල එකක් නොවන බවයි. හෙවත්, ඔහු ශ්‍රී ලාංකිකයෙකු නොවන බවයි. එහිදී, ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට/ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවක් එක්තරා මාධ්‍යයක පළ වී තිබුණි. ඒ ප්‍රවෘත්තිය දැකීමෙන් අප ‘බෙහෙවින් සිත් තැවුළට පත් වූ’ බව, පොලීසියට දෙන ලද අපගේ ප්‍රකාශයක සටහන්ව තිබුණි. ඒ හේතුව, එනම් ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය ඉඩ නොදීම ගැන අප ‘බෙහෙවින් සිත් තැවුළට පත්වීම’, ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි අපගේ පූර්ව-අගතියක් පිළිබඳ සාක්ෂියක් වශයෙන් අභියාචනාධිකරණය සැළකීය. එනම්, අප අධිකරණය ඉදිරියට ගොස් තිබුණේ ‘අපිරිසුදු දෑතිනි.’ හෙවත්, ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි පැවති ජන්මාන්තර වෛරයකිනි.  

එහෙත් ඇත්තෙන්ම සිදුව තිබුණේ කුමක්ද? මාධ්‍යයේ පළ වී තිබුණු ඒ වාර්තාව අමූලික බොරුවකි. ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට එදා මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසිය ඉල්ලා සිටියේ නැත. ඒ නිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් එවැනි ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර තිබුණේද නැත. මේ බොරු වාර්තාව පළ කළ මාධ්‍යවේදීන් ඊට පසුවදා අධිකරණය ඉදිරියට කැඳවා, ඒ ගැන අවවාද කිරීමට තරම් මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබුණි. එම වැරදි වාර්තාව මාධ්‍ය තුළ ගොනුකොට තිබුණේ, අපේ ‘පරාජයක්’ සහ ගෝඨාභය රාජපක්ෂගේ ‘ජයග්‍රහණයක්’ පිළිබඳ බොළඳ ප්‍රවෘත්තියක් රටට ගෙනහැරපෑමට උනන්දුවක් තිබුණු, මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටි යම් පිරිසකි. ඒ අනුව අප, ‘බෙහෙවින් සිත් තැවුලට පත්වුණේ’ මහේස්ත්‍රාත් අධිකරණයකින් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදීමක් නිසා නොව, එසේ ඉඩ නොදුන් බවට හිතාමතා වැරදි වාර්තාවක් යම් පිරිසක් විසින් මාධ්‍ය මගින් ජනගත කිරීම නිසා ය. එය, මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කිරීමකි. පොලීසියට දෙන ලද අපේ කටඋත්තරයක සඳහන් වන්නේ ඒ කාරණයයි. එහෙත්, අපේ එම ප්‍රකාශයට වැරදි අර්ථකථනයක් ආරූඪ වීම නිසා, අපේ අත් ‘පිරිසුදු නැති බව’ ඒ මගින් නිගමනය කිරීමට අභියාචනාධිකරණය එදා ඉක්මන් වුණි. (මේ සමස්ත තීන්දුව අභියෝගයට ලක්කොට අප ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට තිබුණත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමත් සමග, ජනාධිපතිවරයාට එරෙහිව නඩු කීමේ ඉඩක් නීතියේ නැති නිසා, ඒ නඩුව අප විසින් ඉල්ලා අස්කරගැනුණි). 

ඕෂල හේරත්ට වඩා ඩයනා ගමගේ ‘පිරිසුදු වීම’

මේ කියන ‘අත් පිරිසුදු නැති’ කතාව පසුගිය දා ඩයනා ගමගේට එරෙහිව සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ පවරා තිබූ ‘ක්වෝ වොරන්ටෝ’ ආඥාව සම්බන්ධයෙන්ද සඳහන් විය. අභියාචනාධිකරණ සභාපතිවරයා වන බන්දුල කරුණාරත්න සහ ඛේමා ස්වර්ණාධිපති යන ගරු විනිසුරුවරුන් විසින් මේ නඩුව වීසි කරන ලදි. ඒ අනුව ඔවුන්ගේ තීන්දුව වුණේ, ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන දැරීමට බාධාවක් නැති බවත්, ඈට නින්දා කිරීමට සහ ඇය අපහසුතාවට පත්කිරීම සඳහා සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් විසින් මේ ‘ක්වෝ වොරොන්ටෝ’ ආඥාව ඉල්ලා සිට ඇති බවත් ය. එහෙත්, අභියාචනාධිකරණයේ මේ නඩුව විභාග කළ අනෙක් ගරු විනිසුරුවරයා වන එම්. ඒ. ආර්. මරිකක්කාර් ඊට ඉඳුරා ප්‍රතිවිරුද්ධ නිගමනයකට පැමිණ, ඩයනා ගමගේට පාර්ලිමේන්තු ආසනයක් දැරීමට නීත්‍යානුකූල අයිතියක් නැති බවට තීන්දුවක් දුන්නේය. 

මේ පරස්පර තීන්දු දෙක සඳහා පදනම් වී ඇතැයි පෙනෙන, දැනට ප්‍රකාශයට පත්ව ඇති හේතු කාරණා පිරික්සීමේදී, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු බහුතර විනිසුරු මතය, ඕෂල හේරත්ගේ ‘දෑතේ අපිරිසුදු භාවය’ මත වැඩියෙන් රඳා සිට ඇති බවක් පෙනෙන්ට තිබේ. අනිත් පැත්තෙන්, එම්. ඒ. ආර්. මරික්කාර් විනිසුරුවරයාගේ තීන්දුව, නිමිත්ත වෙනුවෙන් ඉදිරිපත්ව ඇති දත්ත සහ නීතිමය මූලධර්ම ආශ්‍රයකොට පවතින බවක් බැලූ බැල්මට පෙනෙන්ට තිබේ. 

‘ක්වෝ වොරොන්ටෝ’ යනු, යමෙකුට බලය ලැබෙන්නේ කොහෙන්ද යන්න ප්‍රශ්න කරන නඩු විශේෂයකි. උදාහරණයක් වශයෙන්, ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට බලය සහ සුදුසුකම එන්නේ කොතැනින් කොහොමද යන ප්‍රශ්නය මතු කිරීම, ඒ නඩුවේ මූලික හරයයි. එහිදී, එම්. ඒ. ආර්. මරික්කාර් විනිසුරුතුමා උපුටා දක්වන එක් නිදර්ශනයක්, මේ පිළිබඳ වැදගත් නෛතික මූලධර්මයක් අවබෝධ කරගැනීමට අපට උපකාර වෙයි. ඒ මෙසේ ය: ටිකට් පතක් නොමැතිව දුම්රියේ ගමන් කර අසුවන තැනැත්තෙකු සම්බන්ධයෙන් නඩුවක් වෙතොත්, දුම්රියේ ගමන් කිරීමට තමා අතේ ටිකට් පතක් තිබුණු බව ඔප්පු කළ යුත්තේ එම තැනැත්තා මිස පැමිණිලිකාර ටිකට් පරීක්ෂකවරයා නොවේ. ඕෂල හේරත් කෙළේ, ඩයනා ගමගේ බි්‍රතාන්‍ය පුරවැසියෙකුට හිමි විදෙස් ගමන් බලපත්‍රයකින් ලංකාවට ආ ගිය බවත්, ලංකාවේ ද්විත්ව පුරවැසි භාවයක් නොලබා, ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්, කූඨ ලේඛන මාර්ගයෙන් ඇය ලබාගෙන ඇති බවත් පෙන්වා දීමයි. ඒ බවට, ආගමන-විගමන පාලක ජෙනරාල් අංශයද සනාථ කරයි. 

දැන්, ස්වාභාවික යුක්ති ධර්මය දෙසට සහ සාමාන්‍ය බුද්ධිය දෙසට හැරෙන්න: කෙනෙකුට ද්විත්ව පුරවැසි භාවයක් නැති බව ඔප්පු කිරීමද වඩා පහසු, එසේ නැත්නම්, ද්විත්ව පුරවැසි භාවයක් ඇති බව ඔප්පු කිරීමද වඩා පහසු? තමාට බලය ලැබුණේ කොහෙන්දැයි විමසන ‘ක්වෝ වොරොන්ටෝ’ නඩුවකදී, බලය ලැබුණු ආකාරය ඔප්පු කළ යුත්තේ, එසේ ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි අනිවාර්යයෙන් තමන් අතේ තිබිය යුතු පුද්ගලයා ය. (ටිකට් නැතිව කෝච්චියේ ගිය පුද්ගලයා සිහියට ගන්න). ඩයනා ගමගේගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය පිළිබඳ සහතිකය තිබිය හැක්කේ ඩයනා ගමගේගේ අතේ මිස, ඕෂල හේරත්ගේ අතේ නොවේ. ඒ නිසා, යුක්තිය පසිඳලීම සඳහා අධිකරණයට සහාය වන ඕනෑම කෙනෙකු ඒ වැදගත් සාක්ෂිය අධිකරණයට ඉදිරිපත් කිරීමට බැඳී සිටියි. 

දැන් තවත් පැත්තකින් මේ ප්‍රශ්නය දෙස බැලිය හැකියි. මේ රටේ වෙසෙන දෙකෝටියකට අධික ජනතාවක් තමන්ගේ පුරවැසි භාවය ඔප්පු කරන, උප්පැන්න සහතිකය හෝ ජාතික හැඳුනුම්පත, ඩයනා ගමගේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් නොවන්නේ ඇයි? ඇය බි්‍රතාන්‍ය පුරුවැසියෙකු වශයෙන් යම් අවස්ථාවකදී සිටි බව ඇය විසින්මත් පිළිගෙන ඇති බැවිනි. බි්‍රතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරමින් ලංකාවට ආ ගිය කෙනෙකු වන බැවිනි. ඒ කාරණය ඇය විසින් පිළිගැනීමේ පටන්, ලංකාවේ පුරවැසි භාවය ඔප්පු කිරීමේ පූර්ණ බර පැටවෙන්නේ ඩයනා ගමගේට ය.

දෙවැනුව, දෙහිඅත්තකණ්ඩියේ පියදාස බි්‍රතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් ලංකාවට ආ ගිය බවක් ආගමන-විගමන දෙපාර්තමේන්තුව කීවොත්, එය අප කාටවත් වැදගත් කාරණයක් නොවේ. පියදාසගේ අල්ලපු ගෙදර වෙසෙන සිරිපාලටත් එය වැදගත් නැත. එහෙත්, ඩයනා ගමගේ යනු අර දෙකෝටියකට අධික ජනතාවක් නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නියෝජිතවරියකි. එසේ වන හෙයින්, ඕසල හේරත් පමණක් නොව, මුළු මහත් ඡන්දදායක ජනතාවම මේ ‘ක්වෝ වොරොන්ටෝ’ භාවය ඇගෙන් ඉල්ලා සිටිය යුතුය. ඒ සහතිකය ඉදිරිපත් කිරීම ඇය ප්‍රතික්ෂේප කරයි නම්, එනයින්ම ඇය ලංකාවේ පුරවැසියෙකු නොවන බවට නිගමනය කළ යුතුය. කරුණු එසේ තිබියදී, පැමිණිලිකාර ඕසල හේරත්ගේ ‘දෑත් පිරිසුදු නැතැ’ යි කීම (එය ඇත්තක්ම වුණත්), සාධාරණ විනිශ්චයාසනයකින් පුරවැසියන් බලාපොරොත්තු වන දෙයක් නොවේ.

ළබැඳියාවන් අතර ගැටුමක් ?

මේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමා පිළිබඳව ඊයේ (8) පාර්ලිමේන්තුවේදී යම් හෙළිදරව්වක් කෙරුණි. ඒ, ක්‍රිකට් පාලක මණ්ඩලයට අදාල නඩුවක් සම්බන්ධයෙනි. වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩා ඇමතිවරයා විසින් විසුරුවා හරිනු ලැබීමට එරෙහිව මේ විනිසුරුතුමා විසින් අතුරු තහනම් නියෝගයක් පනවන ලදි. මේ ක්‍රිකට් නඩුවට අදාළ සියලු දත්ත අප සතුව නැති නිසා, එකී අතුරු වාරණ නියෝගය ගැන අදහසක් ප්‍රකාශ කිරීමට අපට පුළුවන්කමක් නැත. එහෙත්, ඊයේ පාර්ලිමේන්තුවේදී කියැවුණු එක් කාරණයක්, එය සත්‍යයක් වන්නේ නම්, බරපතළ වැදගත්කමකින් යුක්තයි. ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින එක් පුද්ගලයෙකු/නීතිඥවරයෙකු, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමාගේ ඥාති පුත්‍රයෙකු වන බවයි. මෙය, පැහැදිලිවම ළබැඳියාවන් අතර ගැටුමක් ඇති කරන තත්වයකි. එසේ හෙයින්, සභාපති විනිසුරුතුමා මේ නඩුව විභාග කිරීමෙන් ඉවත්ව සිටිය යුතුව තිබුණු බව, සාමාන්‍ය පුරවැසි ඥානයට වැටහෙන කාරණයකි.

ඒ අනුව, නීතියේ සහන පතා පුරවැසියෙකු අධිකරණයක් ඉදිරියට පැමිණීම ‘දෑත් පිරිසුදුව’ කළ යුතු කාර්යයක් යැයි යමෙකු කියන්නේ නම්, පුරවැසියන් සරණ පතා යන ඒ අධිකරණයේ විනිසුරුවරයෙකු ඊටත් වඩා ‘දෑත් පිරිසුදුව’ එහි අසුන් ගත යුතුව ඇතැයි කෙනෙකුට කිව නොහැක්කේ මන්ද? අධිකරණයේ ස්වාධීනත්වය, අදීනත්වය සහ ගෞරවය ආරක්ෂා කරන ප්‍රධාන සාධකය වන්නේ, විනිසුරුවරුන්ගේ සුපිළිපන් භාවය බව අමුතුවෙන් කිව යුතු නැත.