පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන් වෙත ගෞරවයෙනි

ආවේග හරහා තීරණ ගන්නට ගොස් ඔබවහන්සේ අත්දැක අප වෙත පසක් කළේ මේ තුච්ඡ බල අරගලයේ ස්වරූපය ය. ඔබවහන්සේ උපාවාසයට වාඩි වූ තැන සිට උදය ගම්මංපිල ඇතුළු පොහොට්ටුවාදී දේශපාලන විකෘතීන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් නොතිබුණ බව කීවේය. ඔබවහන්සේගේ උපවාසයට දේශප්‍රේමීන් දස දහස් ගණනක් එක් වනුඇති බව කීවේය. ඔබවහන්සේ දේශපාලන බට්ටෙක් කරගෙන මුන් හැදුවේ බට්ටන් පනින්නටය.

ජානක ලියනාරච්චි 

ගෞරවණීය ස්වාමීන්වහන්ස. මේ ලියන මම ඔබවහන්සේ මෙන්ම මේ මාතෘ භූමියට ආදරය කරන සිංහල බෞද්ධයෙක් වෙමි. ශීර්ෂ ප්‍රණාමයෙන් යුතුව ඔබ වහන්සේව අමතන්නේ ඔබවහන්සේ ශීල වෘද්ධි බවත් තපෝවෘද්ධි බවත් අසා ඇති බැවිනි.

අප ගිවිසුම් වලින් බැට කෑ රටකි. විදේශයක් සමග ඇති කරගන්නා ගිවිසුමකට සාධාරණ පදනමක් මත එරෙහි වීම හෝ එය සංවාදයට ලක්කිරීම පුරවැසියන් ලෙස අප සතු අනිවාර්ය වගකීමකි. එහෙත් එය කළ යුත්තේ නිශ්චිත අවබෝධයකිනි. වගකීමකිනි.

සේයාරුව උපුටා ගැනීම: ඩේලි මිරර් පුවත්පත 

එහෙත් සිල්වත් බුද්ධ පුත්‍රයෙක් වූ ඔබවහන්සේ පසුගියදා හැසිරුණේ බුද්ධිය අභිබවා මතුවන ආවේගවලට ඉඩ හරිමිනි. ඔබවහන්සේ ජීවිත පරිත්‍යාග කරන්නට උත්සාහ කළ බව පෙනුණ සහශ්‍ර අභියෝගතා සංස්ථා ප්‍රදානය ( Millennium Challenge Corporation Grant)ට අදාල ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධව තබා ගිවිසුමේ නමවත් දැනගෙන නොසිටි බව දුටුවෙමි. කිසිවෙක් කී දෙයක් ඇසීමෙන් එය විශ්වාස කර පැවත්ම බෞද්ධ හිමිනමකට ගෝචර නොවේ. කෙසේ වෙතත් උපන් ආවේග අවංකව මුදා හරින්නට ගිය ඔබවහන්සේ අවසානයේ ඛේදනීය ලෙස දේශපාලනිකව අවභාවිත වූයේය. ඉන් යම් ප්‍රමාණයකට ඇහිරී ගියේ මේ ගිවිසුම පිළිබඳ සාධනීය කථිකාවක් ඇති කිරීමට ඇති අවකාශය බව මම පුද්ගලිකව විශ්වාස කරමි.
ගෞරවණීය හිමියනි.

ආවේග හරහා තීරණ ගන්නට ගොස් ඔබවහන්සේ අත්දැක අප වෙත පසක් කළේ මේ තුච්ඡ බල අරගලයේ ස්වරූපය ය. ඔබවහන්සේ උපාවාසයට වාඩි වූ තැන සිට උදය ගම්මංපිල ඇතුළු පොහොට්ටුවාදී දේශපාලන විකෘතීන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් නොතිබුණ බව කීවේය. ඔබවහන්සේගේ උපවාසයට දේශප්‍රේමීන් දස දහස් ගණනක් එක් වනුඇති බව කීවේය. ඔබවහන්සේ දේශපාලන බට්ටෙක් කරගෙන මුන් හැදුවේ බට්ටන් පනින්නටය.

උන් දැන දැන වසං කළ කාරණාවක් තිබිණි. වර්ෂ 2006 දී මෙම සහශ්‍ර අභියෝගතා ප්‍රදානය වෙනුවෙන් මුල්වරයට අයදුම් කළේ මහින්ද රාජපක්ෂ ය. රටේ පැවති ප්‍රජාතාන්ත්‍රික බවින් තොර දේශපාලනික වටපිටාව තුළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේය. පවතින රජයේ ඉල්ලීම ප්‍රකාරව කළ දීර්ඝ විමසීමකින් පසු එම ප්‍රදානය සම්බන්ධව MMC ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේය. දැන් මේ ගිවිසුම රටට විවෘතය.

ඇත්ත වශයෙන්ම මේ මොහොත වනවිට රට හමුවේ ඇති මුල්ම විකල්පය මේ ආධාර මුදල ලබා ගැනීම ය. මහින්ද රාජපක්ෂ මේ ගිවිසුමේ ප්‍රදානය සම්බන්ධව කිසිම තැනක විරෝධතාවයක් දක්වා නැත. ඇමරිකාවට වඩාත් නම්‍යශීලී වන ගෝඨාභය රාජපක්ෂ මේ ගිවිසුම ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඔවුන් බලයට පැමිණියහොත් කරන මුල්ම ක්‍රියාකාරකම් අතරට මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අයත් වන බව සහතිකකොට ලියා තැබිය හැකිය.

ඛේදනීය ඇත්ත නම් යාචකයෙකුට පිනට දෙන යමක් අරභයා දැවැන්ත කේවල් කිරීම් කළ නොහැකි බවය. අවුරුදු 72 පාලනය මේ රටට අත් කර දී ඇත්තේ ඩොලර් ට්‍රිලියන 11.3 අධික රාජ්යද ණය කන්දරාවකි. මේ වසරේ රාජ්‍ය ණය වාරිකය පමණක් ඩොලර් බිලියන 5.6 කි. ඉදිරි වසර 5 තුළ ඩොලර් බිලියන 5 ක ණය වාරිකයක් ගෙවීමට රට බැඳී සිටී. අප ණය ගෙවීම සඳහා ණය වෙන ආර්ථිකයක් සහිත ජාතියකි. තේරුම් ගත යුත්තේ හෙළයේ ස්වෛරීත්වය, අභිමානය, පෞරුෂය ගැන අපට කියන්නට එන්නේ ජාතියක් හිඟන්නන් කර ඩොලර් බිලියන ගණනින් පුද්ගලික වත්කම් උපදවා ගත් කාලකණ්ණි දේශපාලන පාදඩයන්ම බවය.

ගෞරවණීය හිමියනි.

ඔබවහන්සේ මතු නොව, බුදුරාජණන් වහන්සේ වැඩම කර සිටියත් මුන් උන්වහන්සේවත් සිය දේශපාලන ඉලක්ක ඉටු කරගැනීමට කඩේ යවන්නට උත්සාහ කරනු ඇත. එවැනි කුජීත, අශීලාචාර අශිෂ්ටයන් අත ඔබවහන්සේ හෑල්ලු වුණ ආකාරය අරුමයක් නොවේ. අප ජාතියක් ලෙස පෙළ ගැසිය යුත්තේ බුද්ධියට ඉඩ නොදී අපට අමුඩ ගස්සවා ගෝත්‍රික ගස් වැද්දන් කරන්නට හදන මේ මුග්ධ දේශපාලන පාදඩකම්වලට එරෙහිවය.

බුදු සරණයි.