හසිත පෙරේරා
“සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සංතෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ”
මේ හිමිදිරි උදයේ
සංතෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ”
මහගමසේකර තරම් මරණය පිළිබඳ ලියූ සහ මරණය සොඳුරු කවක් ලෙස දුටු තවත් කවියෙකු මේ
මිහිපිට අපට හමු නොවේ. කෙසේ වුව ද බුදුරජාණන් වහන්සේ දෙසූ උපත ජීවතය සහ මරණය නම් වූ
ජීවිතයේ ත්‍රිලක්ෂණය පිළිබඳ වෙනස් දෘෂ්ටිකෝණයකින් බැලූ තවත් ලේඛිකාවක අපට සොයා ගත
හැකි විණි. ඇය භාරතයේ මහා කිවිඳිය - “සරෝජනී නායිදු” නම් වන්නී ය. සේකරයන් ජීවිතයේ
ඉහත පැතිකඩ ‘උත්පාද - තිථි - භංග‘ ලෙස කතා කරන අතර සරෝජනී නායිදු එම යථාර්ථය
“විෂ්ණු - බ්‍රහ්ම - මහේෂ්වර” සංකල්පය මුල් කර ගනිමින් අපූර්විතව ගෙනහැර පාන්නී ය.
අප මෙවර විශ්වාන්තරයෙන් ඇය සොයා යනුයේ සේකරයන්ට පමණක් නොව, අප රටේ බොහෝ ගේය
කාව්‍යයන්ට මූලාංකුර සැපයූ එම අග්‍රගණ්‍ය කිවිඳිය සහෘද පාඨක ඔබේ ගවේෂණයට යොමු
කරලීමේ අටියෙනි.
ඇය “භාරතයේ නයිටිංගේල්” විරුදාවලිය ලැබුවා ය. නොයෙක් හැකියාවන්ගෙන් පරිපූර්ණව මෙලොව
එළිය දුටු ඇය ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමී සාමාජිකාවක ලෙස කටයුතු කළා ය. ඉන්දීය
දේශපාලන ඉතිහාසයෙහි නොමැකෙන සලකුණක් සනිටුහන් කරමින් ඇය ඉන්දීය ජාතික කොංග්‍රසයේ
ප්‍රථම නායිකාව බවටත්, උත්තර් ප්‍රදේශයේ ප්‍රථම ආණ්ඩුකාරවරිය බවටත් පත් වන්නී ය. ඇය
ලොවට මිණි පහනක් වන්නේ මේ නිසා ම නොව; නිදහස් සටන තුළ නොබියව තම පෑන මෙහෙයවමින්
කවිය හරහා ජනතාව දැනුවත් කිරීමට ඇය ගත් සාර්ථක උත්සාහය ද නිසා ය. මේ නිසා ම ඇගේ
ජන්ම දිනය “කාන්තා දිනය” ලෙස සැමරීමට ද ලොව බොහෝ රටවල් තම එකඟතාව පළකර තිබේ.
සරෝජිනී නායිදු උපත ලැබූයේ කුලීන බ්‍රහ්මී පවුලකට දාව හයිද්‍රාබාද් ප්‍රදේශයේ ය.
ඇගේ පියා එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කර ගත් අතර ඇගේ මව
බෙංගාලි බසින් කවි ලියූ දක්ෂ කිවිඳියක වූවා ය. එපමණකුදු නොව, ඉන්දියාවේ ප්‍රකට
කවියකු, නාට්‍යකරුවකු මෙන් ම රංගන ශිල්පියකු වූ හරින්ද්‍රනාත් ඇගේ එක් සහෝදරයකු
විය. මේ අනුව භාෂා අධ්‍යයනය සහ කලාව යනු ඇයට උපතින් ලද වරමක් බවට පත් වූයේ ය.
සරෝජිනී නායිදු දක්ෂ ශිෂ්‍යාවක් වූවා ය. ඇය උර්දු, තෙළිඟු, ඉංගී‍්‍රසි, බෙංගාලි සහ
පර්සියානු භාෂාවන්හි නිපුණ වූවා ය. මැඩ්‍රාස් විශ්වවිද්‍යාලයේ ගණිත විභාගයකින් ඉහළ
සාමාර්ථයක් ලබා ගන්නා ඇය මුල් වරට භාරත දේශයේ ජනතාව අතර පතළ වන්නේ එහිදී ය. නායිදු
ගේ පියාගේ අරමුණ වූයේ තම දියණිය ගණිතඥවරියක හෝ විද්‍යාඥවරියක බවට පත් වනු දැකීම වුව
ද, වරෙක ගණිත ගැටලුවක් විසඳමින් සිටින අතරතුර ඇය ගණිතය වැනි යාන්ත්‍රික විෂයයකින්
තමන් ඉවත් විය යුතු යයි තීරණයකට එළැඹියා ය. එම පොතෙහි ම ඇය “The
Lady fo the Lake” නමින් පද පේළි 1300 ක කවියක් තම ප්‍රථම කවි නිර්මාණය ලෙස ලියා තැබුවා ය.
තම දියණිය ගණිත විෂයට වඩා ඇලුම් කරනුයේ සාහිත්‍ය කටයුතු කෙරෙහි බැව් හඳුනා ගන්නා
ඇගේ පියා ඉන් අනතුරු ඇයට ඒ වෙනුවෙන් අනුබල දීමට කටයුතු කළේ ය. තම පියාගෙන් ලද
ධෛර්යයෙන් ඇය ”Maher Munner” නම් නාට්‍ය පෙළ පර්සියානු බසින් ලියුවා ය.
ආචාර්ය චට්ටෝපාද්‍ය (පියා) විසින් මෙහි අත්පිටපත් කිහිපයක් ඔහුගේ මිතුරන් අතරේ බෙදා
හරිනු ලැබු අතර ඉන් එක් පිටපතක් හයිද්‍රාබාද් හි “නවාබ්” පාසල වෙත යැවිණි. අවුරුදු
16 ක දැරියක විසින් රචිත මේ අපූර්ව නාට්‍ය පිටපත පිළිබඳ පැහැදෙන නවාබ් පාසල ඇය වෙත
ශිෂ්‍යත්වයක් පිරිනැමීමට තීරණය කරන ලදි. මේ අනුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ
රාජ්‍ය පාසලට ඇතුළත් වීමේ විරල භාග්‍යය ඇයට හිමි වෙයි.
සරෝජිනී නායිදු ගේ කවි ලෝකය ප්‍රබල ලෙස විපරිතයට බඳුන් වන්නේ මෙහිදී ය. වැඩිදුර
අධ්‍යාපන කටයුතු අතරතුර ඇයට ආතර් සයිමන්ස් සහ එඩ්මන්ඩ් ගෝස් වැනි සම්මානනීය
පුද්ගලයන්ගේ ඇසුර ලැබුණේ ය. ඉනුදු ඇගේ කවි ලෝකය කෙරේ ප්‍රබල බලපෑමක් සිදු කරනු
ලැබූයේ එඩ්මන්ඩ් ගෝස් විසිනි, සරෝජිනී තමන්ගේ කවිය සඳහා වඩාත් තේමා කර ගත යුත්තේ
ඉන්දීය කඳු ශිඛර, ගංගා, විහාර සහ ඉන්දීය සමාජ ක්‍රමය යැයි ඔහු අවධාරණය කළේ ය. ඉන්
පසුව සමකාලීන ඉන්දීය ජන ජීවිතය හා බැඳුණු සිද්ධීන් පාදක කර ගන්නා ඇය 1905 දී
The Golden Threshold, 1912 දී
The Bird of Time සහ එම වසරේදී ම The Broken Wing ලියා
පළ කිරීමට සමත් වූවා ය. විශාල ජාත්‍යන්තර පාඨක සමාජයක් තුළ සරෝජිනී නායිදු නම්
කිවිඳිය මුල් බැස ගනුයේ ඉන් පසුව ය.
ඇය ආචාර්ය ගෝවින්දරාජුලු තරුණයා සමඟ පෙමින් බැඳෙන්නේ මේ අතරතුර ය. වෘත්තියෙන්
වෛද්‍යවරයකු වුවත් ඔහු බ්‍රාහ්මී කුලයට අයත් වූවකු නොවී ය. සරෝජිනී ගේ පියා
ප්‍රගතිශීලී චින්තකයකු වූ නිසා ම ඔහු තම දියණියගේ විවාහයට විරුද්ධ වූයේ නැත. දැඩි
කුලවාදයක් පැවති සමාජ පසුබිමක ඒ සියල්ලට එඩිතර ව මුහුණ දුන් ආචාර්ය චට්ටෝපාද්‍යාය
සරෝජිනීගේ විවාහය සිදු කර දුන්නේ ය. ඇගේ විවාහ දිවිය ඉතා ම පී‍්‍රතිමත් ලෙස ගත වූයේ
ය.
කිවිඳියක ලෙස භාරතය පුරා පතළ වූ සරෝජිනී හට, ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියකු වූ
ශ්‍රී ගෝපාල් ක්‍රිෂ්නා හමු වූයේ ය. භාරතීය ගැමියාගේ හදවත පෝෂණය කරමින් භාරත මාතාව
නිදහස් කර ගැනීමට කවිය යොදා ගන්නා ලෙස ඔහු සරෝජිනීගෙන් ඉල්ලා සිටියේ ය. 1916 දී
මහත්මා ගාන්ධි උතුමන් මුණ ගැසෙන ඇය අනතුරුව තම කවි සිතුවිලි ඉන්දීය ජනතාවගේ අනාගතය
සුබදායක කිරීම වෙනුවෙන් කේන්ද්‍රගත කළා ය.
ඇගේ කවි කෙතරම් ගැමියන්ගේ හදවත් තුළ
තැන්පත් වී ද යත් ඉන්දීය හමුදා ප්‍රධානියකුට මෙන් ගෞරවය, කීර්තිය බුක්ති විඳිමින්
ගම් - නියම් ගම් හි සැරි සැරීමට ඇයට හැකි වී තිබිණි. ඇගේ කවියේ හදවත සහ ආත්මය බවට
පත් වන්නේ භාරත දේශයේ නිදහසයි. එතෙක් මුළුතැන්ගෙය තුළ අතපය විහිදුවාගත නොහී
ලතවෙමින් සිටි ග්‍රාමීය ගැහැනිය අවදි කරලීමේ පුරෝගාමී බලවේගය බවට ඇගේ කවිය පත් වූයේ
ය. ඇය ගැහැනිය තුළ දිය වී යමින් තිබු අත්තුක්කංසනය යළි සවිබල ගැන්වීමට තරම් ප්‍රබල
චරිතයක් වූවා ය.
දේශපාලනය තුළ ඇගේ අවිය වූයේ කවියයි. ඇගේ කවිය සැකසුණේ ගීතමය බස් වහරකිනි. ගැහැනිය
සහ මරණය පිළිබඳ ලෝකයා නොදුටු පැතිකඩ පිළිබඳ සංලාපයෙහි යෙදෙන්නට ඈ භාවිත කළ කාව්‍යමය
උපාය එයයි. අප රටේ පහළ වූ සේකර වැනි විශිෂ්ටතමයන් පවා තම කවියට ඇගේ ආභාසය ඉවහල් කොට
ගැනීම තුළ එය නිතැතින් ලියවී තිබේ. මහා ශ්‍රී අරවින්ද්, රබීන්ද්‍රනාත් තගෝර් සහ
ජවහර්ලාල් නේරු ඇගේ කවිය අගය කළ දහසකුත් දෙනා අතර කැපී පෙනෙයි. මන්ද ඇගේ කවිය තුළ
ඇති ඉංගී‍්‍රසි වදන් තුළ ඉන්දීය ජනතාවගේ ආත්මය ගැබ් වී තිබු නිසා ය.
“භාරත මාතාව රෝගාතුර වී මියැදෙන්නට පෙර නව මිනිසුන් පිරිසක් බිහි කර ගත යුතු ය.”
ඇය 1914 දෙසැම්බර් 24 වන දා තම මිතුරු ගෝකාල්ට ලිපියක් ලියමින් කියා සිටියාය. 1879
පෙබරවාරි 13 වනදා හයිද්‍රාබාද්හි උපත ලද ඇය 1949 මාර්තු මස දෙවනදා අලහාබාද්හි දී
මිය ගියා ය.