The Most/Recent Articles

Showing posts with label මානව හිමිකම්. Show all posts
Showing posts with label මානව හිමිකම්. Show all posts

ශවේන්ද්‍රගේ පත්වීමට ගෝලීය දමිළ සංසදය හා ඇමිනෙස්ටි විරෝධය






මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා (ජනවාරි 9) යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමත් සමග මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් සිය විරෝධය දැක්වීමට පටන්ගෙන තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් හා ගෝලීය දමිළ සංසදය අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර මෙහිදී ඔවුන් අවධාරණය කරන්නේ සංහිඳියාව සම්බන්ධයෙන් මෙරට දක්වන නොසැකිලිමත්බව හා වගවීම මෙම පත්වීමෙන් මනාව පෙන්නුම් කරන බවයි. එළඹෙන මාර්තු මසදී ශ්‍රි ලංකාව ගැන සමාලෝචනය කිරීමට නියමිත 30, 34/1 යෝජනාවේදී මෙම පත්කිරීම අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් දක්වා සිටියි.









අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කරන ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසන්නේ, බරපතල චෝදනා තිබෙන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර ඇති යුද සමයේදී මෙරට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන අපරාධ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන බවත්ය.





ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි









පශ්චාත් යුද සමයක සිදුවිය හැකි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වළක්වා ගැනීමට ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර තිබේ.









58 වන සේනාංකාධිපතිවරයා වූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා 2009 වසරේදී යුද සමයේදී අවසන් කාලසීමාවේදී ජාත්‍යන්තර මානුෂීය නීතිය හා ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ බව ඇමිනෙස්ටි මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.









නැවත ඇතිනොවෙන්න යුක්තිය ඉටු කරන්න









මෙහිදී ඔවුන් ශ්‍රී ලංකා රජයට අවධාරණය කර සිටින්නේ, වින්දිතයින් හා මෙවැනි මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිනොවීමට, යුක්තිය හා ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළයුතු බවයි.





ගෝලීය දමිළ සංසදය අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව එළඹෙන මාර්තු මසදී ජිනීවා හිදී ලංකාව පිළිබඳ සමාලෝචනය කිරීමට පසුබිමක UNHRC 30, 34/1 යෝජනාව සම්බන්ධයෙන් මෙරට දක්වන නොසැලකිමත් බව ද ජාත්‍යන්තරයට පෙන්වා සිටින බවත් මෙම පත්කිරීම එහිදී අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇති බවත්ය.

















සත්‍යා






මෛත්‍රී නිවැරදිද..?

විශ්ව ඉන්ද්‍රජිත්


2002 ඔක්තෝබර් 1 සහ 3 දීපු නඩු තීන්දුවෙ හැටියට, විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය තියෙන්නෙ මේ රටේ මහජනතාවටයි. ජනාධිපති සහ පාර්ලිමේන්තුව ඒවා සඳහා කාලෙන් කාලෙට පත්වෙන භාරකරුවන් පමණයි.


ඒ අධිකරණ තීන්දුවට අනුව:


(1). transfer of powers from one organ to another (organs are: legislative, executive, judiciary), or


(2). relinquish of power from an organ, or


(3). remove a power from an organ is a violation of articles 3 and 4 of the constitution.


ඒ කියන්නෙ එක් ආයතනයකට (විධායකය, ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය) තියන බලයක් තවත් ආයතනයකට පැවරීම හෝ, අයින් කිරීම හෝ අතහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 3 හා 4 වගන්ති වලට පටහැනියි. ඒක නිසා එහෙම දෙයක් කරනවනම් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යමයි.


ජනාධිපතිවරයට අවුරුද්දකට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්කම විධායකය සතු බලයක්. අවුරුද්දකට වඩා ඒ සීමාව දීර්ඝ කරනවනම් කෙසේද කල යුත්තෙ කියල ඒ නඩු තීරණයෙදි සඳහන් වුනා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලා, පාර්ලිමේන්තු කාලයෙන් අඩක් වන අවුරුදු 3ක් (මොකද ඒ කාලෙදි පාර්ලිමෙන්තුව පත්වුනෙ අවුරුදු 6කට) දක්වා ඔය කාල සීමාව දීර්ඝ කලොත් ඒක ව්‍යවස්ථාවෙ 3 හා 4 වගන්ති උල්ලංගනය කිරීමක් වෙන්නෙ නෑ, නමුත් ඊට වඩා වැඩියෙන් දීර්ඝ කරනවනම් ජනමත විචාරනයකින් අනුමත විය යුතුයි කියල. දැන් පාර්ලිමේන්තු කාලය අවුරුදු 5ක් වන නිසා, උපරිම ලෙස ඕක දීර්ඝ කරන්න පුලුවන් වන්නෙ අවුරුදු 2 හමාරකට පමනයි.


ජනමත විචාරණයකින් තොරව ඊට වඩා දීර්ඝ කළහොත් සිදුවෙන්නෙ:


- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් පටහැනියි


- ව්‍යවස්ථාවෙ 3 හා 4 වගන්තිත් උල්ලංගනය කිරීමක්


- ජනතාව සතු විධායක බලය අහිමි කිරීමක්.


70 (1) පිළිගතහොත් වෙන්නෙ ඔය උල්ලංගනය කිරීම් සිදුවෙන එක.


හැබැයි ඒ වෙනුවට, 33(2) පිළිගතහොත්, ඔය කිසිම උල්ලංගනය කිරීමක් වෙන්නෙත් නෑ. ඒ කියන්නෙ:


- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත් එකඟයි


- ව්‍යවස්ථාවෙ 3 හා 4 වගන්ති වලටත් එකඟයි


- ජනතාව සතු විධායක බලයට පටහැනි ක්‍රියාවක් වෙන්නෙත් නෑ.


ඒක නිසා අපි අධිරණයෙන් ඇසිය යුත්තෙ, 33(2) පිළිගන්න්න බැරිනම්, ඉහත කී දේවල් උල්ලංගනය නොවෙන ලෙස ව්‍යවස්ථාවෙ කුමන වගන්තිය යටතෙද කටයුතු කළ යුත්තෙ කියල අපිට පෙන්නන්න කියන එකයි.


ඒක 70(1) වෙන්න බෑ, මොකද 70(1) ඔය ඔක්කොම උල්ලංහනය කරනව.

Amnesty International අවුං සාං සුකී ට ලබාදී තිබූ මානව හිමිකම් සම්මානය ඉවත් කරගනී

මියන්මාරයේ දිගින් දිගටම‍ මානව හිමිකම් උල්ලංඝනය වෙන පසුබිමක් තුළ මානව හිමිකම් උදෙසා සිදුකරන ලද සුවිශේෂී දායකත්වය ලබාදෙමින් Amnesty International මගින් සුකීට ලබාදී තිබූ Ambassador of Conscience සම්මානය ඊයේ (12) දින නැවත ලබාගෙන ඇත.


 

Ambassador of Conscience සම්මානය පසුගිය 2009 වසරේදී සුකීට ලබාදී තිබූ අතර එය නැවත ලබාගන්නා බව Amnesty International හි මහ ලේකම් කුමී නයිදූ - සුකී වෙත ලිපියක් යොමුකරමින් පවසා තිබේ.


 

මියන්මාරය තුළ මානව අයිතීන් දිගින් දිගටම උල්ලංඝනය වූ තත්ත්වයක් තුළ මෙන්ම සමානාත්මතාවය හා සාධාරණත්වය තහවුරු කිරීමට සුකී කිසිදු පියවරක් නොගැනීම තම කණස්සල්ලට හේතුවී ඇති බව කුමී සිය ලිපියේදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.  නිවාස අඩස්සියෙන් නිදහස ලබා වසර 8 ක් ගතවී ගොස් තිබුණද, මියන්මාර හමුදාව භාෂණයේ හා  ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කරන විට  සුකී කිසිවක් නොකර සිටි බව ද මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.


 

කුමී සිය ලිපියෙන් පවසන්නේ,


‘‘Amnesty International හි Ambassador of Conscience සම්මානය ලැබූවෙකු විදියට මියන්මාරය මෙන්ම ලොව කොතැනක  හිටියත් අසාධාරණය දුටු විට ඊට එරෙහිව හැමවිටම කතාකරනු ඇති බව අප විශ්වාස කළා. බලාපොරොත්තුව, ධෛර්යය හා මානව අයිතිවාසිකම් සුරැකීමේ සංකේතයක් ලෙස තවදුරටත් ඔබ අපිව නියෝජනය නොකරන බව තරයේ විශ්වාස කරමු. Ambassador of Conscience සම්මානය ලබාගත් කෙනෙකු විදියට මහත් කණගාටුවෙන් වුවත් අපි එය ඉවත් කරගනිමු.‘‘ යන්නයි.


 

[caption id="attachment_21909" align="alignleft" width="300"] Ambassador of Conscience සම්මානය ලබාගනිමින් (2009) [/caption]

සිවිල් පාලනය යටතේ මෙහෙයවුණු පාලනයේ නායකත්වයට සුකී 2016 අප්‍රේල් මසදී පත්වීමත් සමග මානව හිමිකම් උල්ලංඝනය කරන කොමිෂන් සභා වලට ද සක්‍රියව දායක වූවාය. රක්හියන් ප්‍රදේශයේ රෝහින්යා මුස්ලිම් ජාතිකයින්ට  දිගින් දිගටම සිදුවූ මිලිටරි මැදිහත්වීම් ගැන Amnesty International අවධානය යොමුකර ඇත.


 

පසුගිය වසරේදී රෝහින්යා වැසියන්ට එරෙහිව මුදාහරින ලද ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලදී මියන්මාර ආරක්ෂක භටයින් රෝහින්යා කාන්තාවන් මෙන්ම තරුණියන් දහස් ගාණක් දූෂණයට ලක්කළ අතර තරුණයින්ට වදහිංසා පැමිණවීම ද සිදුවිය. එපමණක් නොව නිවාස සිය ගණනක් විනාශ කිරීම සිදුවිය. මේ සිදුවීමත් සමග රෝහින්යා වැසියන් 720,00 කට අධික පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ.


 

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව ද මියන්මාරයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අපරාධ නඩු පවරන ලෙසත් සමූල ඝාතනයයන් ගැන විමසා බැලිය යුතු බවටත් නිර්දේශ කර ඇත.


 

 



 

 

Amnesty International ඇසුරිනි 

 

 

සබැඳි පුවත් 

 

සුකී – රොයිටර් මාධ්‍යවේදීන් සිර අඩස්සියේ තැබීම සාධාරණීකරණය කරයි 

 

ප්‍රකාශනයේ නිදහස ඇහිරූ යටත් විජිත නීතිය නිසා මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා වසර 7 ක් සිරගෙට 

 

 

#MeToo, ඉන්දියාව සහ සිරිසේන

සුනන්ද දේශප්‍රිය

“අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජු ද, ප්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝ ද යන මේ පැරැණි යුරෝපයේ සියලු බලවේග ද මේ අවතාරය පලවා හැරීම පිණිස ශුද්ධ ගිවිසුමකට එළැඹ සිටිති’’ යැයි මාක්ස්වාදයේ ආදි කර්තෘවරුන් ලියූවේ මෙයට වසර 171කට පෙර ය.


දැන් #MeToo නොහොත් ‘මමත් ගොදුරක්’ යන ව්‍යාපාරය අවතාරයක් සේ ස්ත්‍රීන් සිය ලිංගික භාණ්ඩ සේ සළකන පුරුෂාධිපත්‍යවාදී ලෝකය කළම්බවමින් තිබේ. මන්ද යත් #MeToo ව්‍යාපාරයේ ඉලක්කය සේවා ස්ථානයන්හි දී සිදුවන ලිංගික අතවර හෙළිදරව් කරමින් වරදකරුවන් නීතිය සහ හෘද සාක්ෂිය හමුවට කැදවිම නිසා ය. මෙම ව්‍යාපාරය විසින් දැනටමත් ලොව පරසිදුව සිටි පිරිමින් ගණනාවක් ම විශේෂයෙන් ම ඇමෙරිකාවෙහි දී ස්‍ත්‍රී දූෂකයන් ලෙස හෙළිදරව් කර තිබේ. ඒ අතර සිනමා ලෝකයෙහි  පරසිදුව සිටි අය ද වෙති.


දැන්  #MeToo ව්‍යාපාරය ඉන්දියාව ද කළඹවමින් තිබේ. ස්ත්‍රීන්ට සේවා ස්ථානයන්හි දී මුහණ දෙන්නට වන ලිංගික අතවර වාර්තා කිරීමට බොහෝ දෙනෙකු මැලිවෙති. ඊට හේතුවක් නම් මෙවැනි අතවර එල්ල වන්නේ සේවා ස්ථාන ප්‍රධානීන්ගෙන් සහ ප්‍රසිද්ධ පුද්ලයින්ගෙන් නිසා ය. ඉන්දීය සිනමා නිළියන් මෙන්ම ජනමාධ්‍යවේදීනියන් ද තමන් මුහුණ දුන් ලිංගික අතවර දැන් ප්‍රසිද්ධ කරමින් සිටිති. එය හරියට බැම්මක් කඩා ගෙන එන වැළැක්විය නොහැකි ජල ධාරාවක් වැන්න. දැනටමත් එක් ජේෂ්ඨ ජනමාධ්‍යවේදියකු රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති අතර  හාස්‍ය නළුවකු ප්‍රසිද්ධියේ සමාව ගෙන තිබේ. නියෝජ්‍ය ඇමැතිවරයකුට ඉල්ලා අස්වන සේ තෙරපුම් ඉහළ යමින් තිබේ.


තමන් ලිංගිකව අතවරයන්ට ලක් කළ පුද්ගලයින් හෙළිදරව් කරන ස්ත්‍රීන් ට සහාය දෙන බවට ඉන්දීය සිනමා නිශ්පාදයක සංසදය, ඉන්දීය කර්තෘ සංසදය සහ ජාතික කාන්තා කොමිසම ප්‍රකාශ කර තිබේ. තමන් සේවා ස්ථානයන්හි දී මුහණ දුන් ලිංගික අතවර පිළිබඳ වාර්තා දැන් ඉන්දීය සමාජ ජාලයන්හි දිගින් දිගට ම දැක්වෙයි.


ටිවිටර් නම් සමාජ ජාලයෙ හි කරන මැදිහත්වීම්වල දී හෑෂ්ටැග් නමින් ඉංග්‍රීසි බසින්  හදුන්වන # යන සළකුණ වචනයකට හෝ අදහසකට යෙදීම මගින් සිදු වන එක් දෙයක් නම් එම අදහස දරණ වෙනත් ඊට දායක වෙමින් එය ප්‍රවණතාවයක් වශයෙන් වර්ධනය කර ගැනීමට මඟ සැළසීමයි. මෙම #MeToo ව්‍යාපාරය 2009 වසරෙහිදී ආරම්භ කරන ලද්දේ අප්‍රිකා- අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන  තරානා බෘක් නම් මැදිවයස් කාන්තාවක් විසිනි. ඇය සිය තරුණ දිවියේ සිට ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් සටන් වැද සිටින දිරිය ගැහැනියකි.


එසේ නමුත් එය ව්‍යාපාරයක් ලෙස පැතිර ගියේ 2015 දී ජනප්‍රිය නිළියක ළුූ එලීසා මිලානෝ එම තමන් මුහුණ දුන් එවැනි අතවර ප්‍රසිද්ධියට පත්කර එම හෑෂ්ටැගය අදාළ කරගැනීම සමගිනි. ඉන්පසු ගතවූ මාස තුන තුළ පමණක් #MeToo ටිවීට් පණිවිඩ ලක්ෂ 65ක් සංසරණය විය. #MeToo ව්‍යාපාරය සැළකෙන්නේ සමාජ ජාලයන්හි ඇතිවූ විශාලතම ව්‍යාපාරයක් ලෙස ය.


ඉන්දියාවෙහි ප්‍රතිපත්ති ගරුක ජනමාධ්‍ය මෙම #MeToo ව්‍යාපාරය දිරිමත් කරමින් සහාය දෙමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ‘විකල්ප’ පුවත්පතක් යැයි ආරම්භයේදී කියා සිටි ලේක්හවුසියේ ‘රැස’ පත්තරය ලියන්නේ මෙසේ ය:


‘ගැහැනිය වෙනුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි ටොන් ගණන් බර මහිලා ප්‍රකාශන තිබේ. කාන්තා හිංසනය වැනි ගැලරියේ විසිල් එන කුලඟන කතා තිබේ. එහෙත් ඒවා හුදෙක් ගැහැනිය නහවන සිල්ලර සබන් බෝල මිස, ඇයව ඔසවන පොහොසත් මතවාද නොවේ. පොදු ප්‍රවාහන සේවයකදී ඇගේ අඟපසඟ තෙරපීම නැවතීමෙන්, නිවසේ අඹු සැමි අඬදබර නිවීමෙන්, සනීපාරක්ෂක තුවාවල බදු කැපීමෙන් ඇගේ විමුක්තිය සැලසේ නම්, එසේ සිතන ඇතතන් අතීතයේ සිට නැවත වරක් ගැහැනිය කියවා පැමිණිය යුතුය.’


මේ අදහස් දක්වා ඇත්තේ එහි කතු වැකියෙහි ය.  ඊට අනුව ගෘහස්ත ප්‍රචන්ඩත්වයට විරුද්ධව කටයුතු කිරීම සබන් බෝලයකි. මෙසේ ලියන්නේ විවාහක කාන්තාවන්ගෙන් සියයට 60ක් ගාහස්ත ප්‍රචන්ඩත්වයට ලක්වන රටකය! මෙම කතුවරයාට අනුව පොදු ප්‍රවහණ සේවාවන්හිදී ලිංගික අතවරයන්ට ලක්වීමට විරුද්ධවිම ගැලරිය පිනවීමට කරන වැඩ ය. මෙසේ ලියන්නේ මෑත කාලින සියළු ම වාර්තා මගින් සියයට 90ක් තරම් ස්ත්‍රීන් පොදු ප්‍රවාහණ සේවාවන්හිදී ලිංගික අතවරයන්ට ලක්වන බව සනාථ වී තිබිය දිය.  #Metoo මෙරට දියත් වූ දිනෙක මෙවැනි රාජ්‍ය මාධ්‍යවේදීන් මොනවා නොලියාවිද?


ඉන්දියාව කළඹවන ස්ත්‍රී ව්‍යාපාරයන් සේවා ස්ථානයේ ලිංගික අතර නතර කරනු වස් පෙරට එන අතර වාරයේම ජනාධිපති සිරිසේන වෙනත් අන්දමකින් ඉන්දියාව මෙරට දේශපාලන සාකච්ජාවෙහි ඉස්මත්තටම ගෙන ආවේ ය.


සිරිසේන නිව්යෝක් නුවරදි ඉන්දියාවට එරෙහිව වාචාල බෝම්බයක් අතහැරියේ 63 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ නිව්යෝක් නුවරට ගිය සංචාරයේදී ය. . ඒ එල්ටිටීඊ සහ ශ්‍රී ලංකාණ්ඩුව අතර වූ යුද්ධයේ අවසාන සති දෙකහිදී ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගුවන් යානා පැමින කොළඹට පොකුරු බෝම්බ දැමිමට සැළසුමක් තිබූ බවට ය. තවද එමඅවදානමට මුහුණ දීමට ඒ අවස්ථාවෙහි මෙරට සිටියේ තමා පමණක් බවය.


ඔහුගේ එම කතාව පුස් බෝම්බයක් බවට පත් කරන ලද්දේ යුද්ධයේ ප්‍රධානීන් වූ එකල ආරක්ෂක ලේකම් වූ රාජපක්ෂ සහ යුද හමුදාපති වූ සරත් පොන්සේකා විසිනි. සිරිසේන ගල් ගිල්ලා මෙන් සිටියා මිස ඒ දෙදෙනාට පිළිතුරක් දුන්නේ නැත. සිරිසේනගෙන් එම ප්‍රකාශය ගැන කවර හෝ ජනමාධ්‍යක් ප්‍රශ්ණ කරන ලද්දේ ද නැත.


දැන් සිරිසේන ඉන්දියාවට එරෙහිව තවත් වාචාල බෝම්බයක් අතහැර තිබේ. එනම් තමා ඝාතනය කිරිමේ සැළසුම පිටුපස ඉන්දීය රෝ ඔත්තු සේවය සිටින බවයි. ඔහු මේ බව කියා ඇත්තේ එසේ මෙසේ් තැනකදි නොව රට පාලනය කරන විධායක ඇමැති මංඩළය හමුවේදී ය.


ජනාධිපති කිසිදු අයුරකින් ඉන්දීය ඔත්තු සේවාවක් ගැන සඳහන් නොකළ බව ඇමැති රාජිත සේනාරත්න දැන් කියා සිටියද ජනාධිපති උපදේශක ලක්තිලක කියන්නේ මෙසේ ය, Speaking to the Daily Mirror, Mr. Lakthilaka said the President had only referred to an Indian intelligence service but not RAW. “The President has spoken in general terms about secret services of attempting to assassinate leaders. The President has assured that Prime Minister of India Narendra Modi was unaware of these moves.’’  ජනාධිපති සිරිසේන, තමා ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉන්දීය ඔත්තු සේවාවක් සිටින බව කී බව ලක්තිලක ප්‍රකාශ කරයි. එමෙන්ම මේ බව අගමැති මෝඩි නොදන්නා බව ජනාධිපති සහතික කළ බවද ලක්තිලක කියයි.. රෝ හැර ඉන්දියාවට වෙනත් ප්‍රසිද්ධ ඔත්තු සේවාවක් නැත. රාජිත සේනාරත්න කියන පරිදි ජනාධිපති ඉන්දී්‍ය ඔත්තු සේවාවක් ගැන සඳහන් නොකළේ නම් අගමැති මෝඩි මේ බව දන්නේ නැතිව ඇති යැයි කිවේ කුමණ කෙංගෙඩියකටද? මෝඩි මෙම ඝාතන සැළැස්ම නොදන්නා බව සහතික කර කිමට සිරිසේනට ඇති සාධක මොනවාද? ඔහු මෝඩිට කතා කළාද? නැත්නම් එකී ඔත්තු සේවාවෙන් ම අසා දැන ගත්තාද? ලක්තිලක සහ සේනාරත්න යන දෙදනාගේ සමූහ ගායනයෙන් මතකයට එන්නේ එකක් කඩතොලු මකා ගන්නට ගොස් ආචාරියා කඩතොලු කීයක් හදා ගත්තේද යන්නයි!


එපමණක් නොව ඉන්දී්‍ය හින්දු පවත්පතට මෙම වාර්තාව සැපයූ මීරා සිවනිවාසන් කියන්නේ තමා ඇමැතිවරු සිවි දෙනෙකුගෙන් මේ බව තහවුරු කරගත් බවය


සිරිසේන සඳහන් කළ බව කියන ‘රෝ්’ යනුවෙන් හැදින්වෙන්නේ ඉන්දිය බාහිර ඔත්තු සේවාවයි (Research and Analysis Wing – RAW).  එය කෙලින්ම ඉන්දී්‍ය අගමැතිවරයාට වාර්තා කරයි. එමෙන්ම එහි පරිපාලනය බාරව සිටින්නේ අගමැති කාර්යාලයේ ලේකම්වරයෙකි.


වෙනත් රාජ්‍යක අගමැතිවරයා යටතේ පවතින ඔත්තු සේවාවක් විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති වන තමා ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ යැයි ප්‍රකාශ කිරීමට පෙර කොතරම් කරුනු කාරණා විමර්ශනය කළ යුතුද? එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත්වන බව දැන දැනම කිරීම තරම් සිරිසේනගේ අන්තර් ජාතික සබඳතා පිළබඳ දේශපාලන දැනුම තියෙන්නේ බිංදුවේද?


සිරිසේන ඇමැති මංඩළයේදී කියා ඇත්තේ කුප්‍රසිද්ධ ඇමෙරිකානු රහස් ඔත්තු සේවාව වන සිඅයිඒ කරන කටයුතු ගැන ජනාධිපති ට්‍රම්ප් නොදන්නවා මෙන්ම අගමැති මෝඩිද මේ ගැන නොදන්නවා ඇති බවයි. ඝාතන සැළසුම කාරණයක් ලෙස ඉදිරිපත් කරන සිරිසේන අගමැති මෝඩි නොදන්නවා විය හැකි යැයි කියන්නේ හිතලුවක් ලෙසය.


ඇමෙරිකානු සීඅයිඒ ඔත්තු සේව වුව වෙනත් රටක රාජ්‍ය නායකයකු ඝාතනය කරන්නට සැළසුම් කරන්නේ නම් එය අනීවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ අනුදැනුමට යටත් වනු ඇත. ලංකාවේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට ඉන්දීය අගමැතිවරයා යටතේ ඇති රෝ ඔත්තු සේවය තීරණයක් ගනනවා නම් ඒ බව එරට අගමැතිවරයා අනීවාර්යයෙන්ම දැන සිටිය යුතුය.


සිරිසේනගේ මේ චෝදනාව ඉන්දියාවට එරෙහිව කවර හෝ රාජ්‍ය නායකයකු විසින් කරන ලද මේ වර්ගයේ ප්‍රථම චෝදනාව විය හැකිය. එය අතිශය බරපතල ප්‍රකාශයකි. එම ප්‍රකාශය පසුගිය සතිය පුරා ඉන්දීය ජනමාධ්‍යයන්හි සිරස්තල අල්ලා ගත්තේ ය. දැන් සිය ප්‍රකාශ තහවුරු කිරීම පිනිස කරුනු ඉදිරිපත් කිරීම ජනාධිපති සිරසේනගේ වගකීම යි. එසේ නොකළහෝත් සිදුවනු ඇත්තේ ඔහු යළි දෙකේ කොළයට වැැටීම ය.


අනෙත් අතට තමා අඩි හයක් යට වළදැමීමට සිටියේ යැයි ප්‍රසිද්ධියේ කී රාජපක්ෂවරුන් පසුපස බලය අයදිමින් යන ජනාධිපතිවරයකුගෙන් වෙන කුමන කොළයකට වැටීම අපේක්ෂා කරන්නද?

කන්දක් විලි ලා කෙන්දක් වදලා

ගේමක් දෙන්න ගිය අපේ ජනපති


මේ සැප්තැම්බරය ගෙවී යන්නේ කන්දක් විලි ලා කෙන්දක් වැදූ කතාව සිහිපත් කරමිනි. ඒ මානව හිමිකම් සන්දර්භයේ ය.


ජනාධිපති සිරිසේන මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට ගොස් ගේමක් දෙන බව රටටම කිවේ දෙසතියකට පෙර ය. එසේ කී බව කීවේ අප නොවේ. ජනාධිපතිගේ මාධ්‍ය ඒකකය ප්‍රකාශයට කළ ලිපියක ය. ඒ මෙසේ ය.


‘එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ මෙම මස 25 වන දින තමන් ශ‍්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.‍’


‘අපේ ප්‍රශ්න විසඳා ගන්න අපට ඉඩ දෙන්න’ - ජනපති


එසේ කොළඹ දී කී ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ කීවේ මෙසේය.


‘ප්‍රබල යුද්ධයක් තිබී එය අවසන් කරන ලද සාමකාමී රටක, ජාතික සංහිඳියාව ශක්තිමත් කරන රටක, ජාතික සමගිය ශක්තිමත් වූ රටක නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සියලු කටයුතු කර ඇති රටක මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා කරන රටක, ආර්ථික දියුණුව සමෘද්ධිය ළඟා කරගැනීමට ඔබ සියලුදෙනාම අලුත් අදහස් ඇතිව නව සිතුවිලි සමඟ අපට සහයෝග ලබාදෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි සෑම  සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට තිබෙන්න වූ ප්‍රශ්න විසඳා ගැනීමට අපට ඉඩ දෙන්න. ස්වාධීන රටක් විදියට අපේ රටේ අයිතිය තහවුරු කරගෙන ඉදිරියට යන්න ඉඩ දෙන්න.’ මේ බවත් කියන්නේ අර ජනාධිපති මාධ්‍ය ඒකකයම ය‍.


ජනාධිපති විසින් එක්සත් ජාතීන්ට බාරදුන් හෝ ඉදිරිපත් කළ යෝජනාවලියක් ගැන කොහේවත් නැත. එමෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් සම්මත කළ සම්බන්ධ යෝජනා ගැන ද කිසිවක් නැත.  එහි ඇති එකම දේ නම් ‘අපේ ප්‍රශ්න විසඳා ගන්න අපට ඉඩ දෙන්න’ යන ඉල්ලීම පමණය.


රටට එක කතාවක් - ලෝකෙට වෙනත් කතාවක්


රටේ මිනිසුන්ට එකක් කියා අන්තර් ජාතික ප්‍රජාවට වෙන එකක් කීම රාජපක්ෂ කාලයේ සිය පැවැත එන දේශපාලන දුරාචාරයකි.


‘අපේ ප්‍රශ්න විසඳා ගැනිමට අපට ඉඩ දෙන්න’ යන කතාව මෙරට දී ක්‍රියාවට නැංවෙන්නේ කෙසේදැයි මෙරට මෙන්ම අන්තර් ජාතික ප්‍රජාවද දනී. එවැනි එක් විසඳුමක් නම් පාසල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන කප්පම් ලබා ගෙන මරාදැමිම පරීක්ෂා කරනවාට වඩා ඊට චෝදනා ලද ආරක්ෂක හමුදා නිලධාරියකු ආරක්ෂා කිරීම ජනාධිපතිගේ ක්‍රමය වීමයි.


මේ කතාවෙහි දී ම සිරිසේන පලස්තීන ජනයාගේ අයිතින් ගැන කතා කරමින් ලෝක ප්‍රජාව ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයිද කියා සිටියේ ය. නමුත් අප දන්නා පරිදි පලස්තීන ජනයාගේ අයිතීන් පාගා ගෙන සිටින ඊශ්‍රායලය කියන්නේ ද සිරිසේන කියන කතාවම ය. එනම්, බාහිර රටවල් ඔවුන්ගේ ප්‍රශ්නයට අත නොගැසිය යුතු බවයි. ඇත්ත වශයෙන්ම නම් ඒ අතින් සිරිසේන සිටිය යුතු වූයේ පලස්තීන ජනයාගේ අයිතීන් යකඩ සපත්තුවට පාගාගෙන සිටින ඊශ්‍රායලය සමඟ ය.


‘අපේ මානව හිමිකම්  අපට බලා ගන්න දීපල්ලා’ යනු ලෝකයේ ආක්‍රමණකාරී සහ ඒකාධිපති රජයන්හි තේමා වාදනය යි.



කෝ එකඟ වුණු කොන්දේසි


නමුත් ලෝකය කැරකෙන්නේ ඒ විදිහට නොවේ. සිරිසේන යටතේ ම ආණ්ඩුව ජීඑස්පී සහනය ලබා ගත්තේ යුරෝපා සංගමයේ මානව හිමිකම් කොන්දේසිවලට එකඟ වෙමිනි. එක්සත් ජාතීන්ගේ සංවිධාන බොහොමයකින් ආධාර ලබා ගන්නා විට ද ඒ සමඟ මානව හිමිකම් කොන්දේසි බැඳී එයි. අපේ වැඩ අපට කර ගන්න යැයි කියන සිරිසේනට ලංකාව නැමැති දූපත තුලට වී අපට කාගෙන්වත් මුකුත් එපා යැයි කියා රට පාලනය කළ හැකිද ?


ළඟ ඇති මියන්මාරයේ උදාහරණය ගන්න. එහි ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔවුන්ගේ ගේ දොර ගිනි තබා, ස්ත්‍රීන් ලිංගිකව කෙළෙසා රටින් පලවා හැරි විට මියන්මාරයේ පාලකයින් කියන්නේත් එයම ය‍. ‘වැඩ අපට බලා ගන්න දියල්ලා’ කියා ය. නමුත් ලෝකය එලෙස ඇස් වසා ගෙන සිටියේ නැත.


අද ලෝකය සමඟ ගමන් කරනු විනා ඉන් හුදකලාව සාමාජ. ආර්ථික, දේශපාලන ප්‍රශ්න වලට විසඳුම් සොයනු නොහැකි ය. සිරිසේනගේ කතාවෙහි ඇති ලොකුම හිඩැස නම් මෙරට දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වන දේශපාලන විසඳුමක් සැපයීම ගැන කිසිවක් නොකියා සිටීම යි. දේශපාලන විසඳුමක් ගැන කතා නොකොට ජනවාර්ගික සංහිදියාව ගැන කතා කිරිම  හරියට මනාලිය නැතිව මඟුලක් ගැනීම වැන්න


දෙසතියකට පෙර ජනපති සිරිසේන කතුවරුන් හමුවෙහි දී මෙසේ ද කීවේ ය.


"එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ අපගේ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා මෙන්ම පසුගිය යුද සමයේදී දෙපාර්ශ්වය අතර සිදුවූවා යැයි පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබඳ තවමත් ඉතිරිවී ඇති ගැටලු රැසක් සුහදශීලීව විසඳාගැනීමට ඒ මගින් හැකියාව ලැබෙනු ඇත. මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ද ලිඛිතව භාරදීමට අපේක්ෂා කරනවා.‍’’


දැන් ජිනීවා හි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය අවසන් ය. එහෙත් ජනාධිපතිවරයා කී ආකාරයේ කිසිවක් නම් මෙම සටහන ලියන 26දා රැය වන තුරු සිදුවී නැත.


වගවීම, මානව හිමිකම් සහ සංහිදියාව යන තේමාව යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙහි සම්මත වූ 30/1 සහ 34/1 දරන යෝජනා ද්වය ක්‍රියාත්මක වී ඇත්දැයි යන්න විමසා බැලෙන මහ කොමසාරිස්වරියගේ වාර්තාව 2019 මාර්තු එනම් 40 වන සැසිවාරයාට ඉදිරිපත් වනු ඇත. එම වාර්තාව එතරම් සාධනීය  එකක් විමට ඉඩ නැත්තේ එම යෝජනා දෙකෙහි අඩංගු කාරණා ඉටු කිරිම අතින් ශ්‍රී ලංකාව තවමත් පසුපසින් සිටින නිසා ය.


දැන් මතුව තිබෙන ප්‍රශ්ණය නම් ලබන මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් සහ සංහිදියාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ විමසිල්ල අවසන්වනු ඇත්ද නැද්ද යන්න යි. වාද විවාද පැන නැගෙනු ඇත්තේ ඒ වටා ය‍. ශ්‍රී ලංකාව පිළිබඳ උනන්දුවක් දක්වන මානව හිමිකම් සංවිධාන සහ තානාපති ප්‍රජාව කල්පනා කරන්නේ යම් ආකාරයක විමසුමක් පවත්වා ගැනීම සුදුසු බවයි. එය නව යෝජනාවක් වනු ඇතැයි දැනට නොපෙනේ.


එසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුව ‘අපේ වැඩ අපට බලා ගන්න ඉඩ දෙන්න’ යැයි කියැවෙන ඒක පාක්ෂික යෝජනාවක් ඉදිරිපත් කළ හොත් එය ලෙහෙසියෙන්ම පරාජය කළ හැකි යැයි මෙකී පිරිස් කල්පනා කරති.


‘මේ බියගුළු ආණ්ඩුවත් එක්ක කතා කරන්න එපා‘ - සරත් වීරසේකර


පසුගිය සැසි වාර කිහිපයක් පුරා ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන සගයකු වන සරත් වීරසේකර ප්‍රමුඛ පිරිස් මානව හිමිකම් කවුන්සිලයේ දී කියා සිටිමින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයක් නැති බවත්, කවුන්සිලය ශ්‍රී ලංකාවට හතුරු එකක් බවත් ය. යුද සමයෙහි මානව හිමිකම් කඩවීම් සිදුවුයේ නැති බවද ඔවුහු ප්‍රකාශ කරති.


අවසන් වූ 39 වන සැසිවාරය අමතා කතා කළ සරත් වීරසේකර මෙසේ කියා සිටියේ ය: ‘ලංකාණ්ඩුවට සවන් දෙන බව මහ කොමසාරිස්වරිය කිව්වා. මේ ආණ්ඩුව ඇමෙරිකාවේ සහ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පිහිටෙන් බලයට ආ එකක්. ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනියත් අගතිගාමීයි. ඇයගේ ක්‍රියා නිසා  කොටි ඩයස්පෝරාව දිරිමත් වෙනවා. ඒ නිසා මේ බියසුළු ආණ්ඩුව එක්ක කතා කරන්න යන්න එපා. එන්න අපත් එක්ක කතා කරන්න.’


මෙම පිරිසෙන් දෙදෙනෙකු ම කතා කළේ අප්‍රිකානු සංවිධාන නියෝජනය කරමිනි. ඉන් එකක් සියයට 85ක් මුස්ලිම් ජනයා ජීවත්වන ගිනී රටෙනි. අනෙක නම් මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමිකයින් හරි හරියට ජිවත් වන නයිජීරියාවෙනි. වීරසේකර නියෝජනය කළේ එංගලන්තයේ පිහිටි ලෝක බෞද්ධ සුභසාධන ආයතනය යි.


මීට ප්‍රති විරුද්ධව එවැනි ම අප්‍රිකානු සංවිධාන ගණනාවක් නියෝජනය කරමින් එල්ටීටීඊ මතවාදී සහ හිතවාදී දෙමළ පිරිස් ද සැසිවාරය ඇමතූහ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වැඩක් නැතැයි කී ඔවුහු සහමුලින්ම අන්තර් ජාතික යුද අපරාධ පරික්ෂනයක්, එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණය යටතේ උතුරු නැගෙනහිරට වෙන්වීම සඳහා ජනමත විචාරණයක් යනාදිය ඉල්ලා සිටියහ.


සිවිල් සමාජ සංවිධානයන්හි අදහස්වලට  පිළිතුරු දීමට යම් යම් රටවල් ඉදිරිපත් වන නමුත් වත්මන් ශ්‍රී ලංකාණ්ඩුව රාජපක්ෂ සමයෙහිදී මෙන් එවැනි අනවශ්‍ය ප්‍රශ්ණ දැන් කරට ගන්නේ නැත. පෙනෙන විදිහට නම් ශ්‍රී ලංකා සම්බන්ධයෙන් උන්නදුවක් දක්වන රටවල් සහ මානව හිමිකම් සංවිධාන පවා මේ දෙපාර්ශවයේ ම ආන්තික අදහස් ප්‍රතික්ෂේප කරති.


තිරණාත්මක 2019 මාර්තු සැසිවාරය කරා අප ගමන් කරන්නේ ධ්‍රැවීකරණය වූ සිවිල් සමාජ මැදිහත්විම්, ජනපති සිරිසේනගේ නව යෝජනා සහ මැතිවරණ වට පිටාවක් මැද ය. කුණාටු සයුරක් හරහා අවිධිමත් නෞකාවක් එතෙර කිරීම හා සමාන අභියෝගයක් ආණ්ඩුව අභිමුව වෙයි.


සිරිසේන හා එජාපයට එහිදී එකම ස්ථාවරයක් ගත හැකි වෙයි ද ? මධ්‍යස්ථ සිංහල, දෙමළ සිවිල් සමාජ කණ්ඩායම්වලට යළි අන්තර් ජාතික මානව හිමිකම් වේදිකාවෙහි සිය ස්ථානය අල්ලා ගත හැකිවෙයි ද? ශ්‍රී ලංකාවෙහි වගවීම, මානව හිමිකම් සහ සංහිදියාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ නිල විමසිල්ල අවසන් වෙයි ද ? නැත්නම් නව විමර්ශනයකට මඟ පෑදෙනු ඇත්ද ? යනු ඉදිරි මාස කිහිපය තුළ නිරාකරණය වීමට ඉඩ ඇති අප හැමට වැදගත් කරුණු කාරණා ය.


සටහන -  සුනන්ද දේශප්‍රිය 

සුනිලා - කේමදාස, මාරේ, හතා හා සයිමන් සුනිල ඇසුර

මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. සුනිලා රෝගාතුරව සිටි ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපය තුළ, 2014 මුල් භාගයේ දී  නෙදර්ලන්තයේ හේග් නුවරදී  ඇය හමුවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  සුනන්ද දේශප්‍රිය විසින් සිදුකෙරුණු පිලිසඳර ගණනාවක් ඇසුරින් මෙම සටහන ලියැවී ඇත. මෙහි දිගහැරෙන්නේ එහි තෙවන ලිපියයි.  (සුනිලා අබේසේකර : ජීවිත පියසටහන් – අවසන් කොටස)


දෝතට ගනිමු, ඉරද සඳද මහපොළවද දෝතට ගනිමු....


 මං දිගටම කිව්ව වගේ  80 වැඩ වර්ජනය පරාජය වෙලා කලු ජූලිය ආව. හරියට අවපාතයක් වගේ. මානසික පීඩාවක් අප අතර පැතිරිලා ගියා. එවැනි පසුබිමක තමයි 1986 නිදි නැති නදියේ නාදය’ බිහිවීම  ප්‍රබල සංසිද්ධියක් වෙන්නේ. එ් මගින් කේමදාස සහ තවත් අය එක වේදිකාවකට ගේන්නත් එම අත්දැකීමට පුළුවන් වුණා.


‘නිදි නැති නදියේ නාදය’ පස්සේ හිටියේ රිඩ්ලි (සිල්වා) කියන වැඩකරු. ඔහු සහ වාලි (වාල්ස් අබේසේකර) එකට වැඩ කරල තමයි ‘නිදි නැති නදියේ නාදය’ යථාර්තයක් බවට පත් කරේ. එහි අවශ්‍යතාවය යි ඒ සඳහා කැපවීමයි තිබුණෙ ඒ දෙන්නට. ඊට දායක වු විවිධ පිරිස් එක්තැන් කරන්න ඒ දෙන්න මහන්සි නොබලා වැඩ කරා. ඒක ඇත්තට ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික දේශපාලනයේ දැවැන්ත වැඩක්. එදා 1986 මැයි දිනයේ ප්‍රසංග දෙකක් තිබුණා. මැයි දින පෙළපාලි යන අය සඳහා උදය වරුවේත් කොළඹ ඉන්න අය සඳහා සවස් වරුවේත් විදිහට.



වගේ විවිධත්වයක්! ප්‍රේමසිරි කේමදාසගේ කෝරස් එක. ගාමිණී හත්තොටුවේගමගේ වීදි නාට්‍ය ආරයේ ගීත, හෙන්රි ජයසේනගේ විවිධ නාට්‍ය ගී, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගී අනුවර්ථන, යුද විරෝධී ගී, ‘දෝතට ගනිමු’ වගේ සුනිල් විජේසිරිවර්ධනගේ ගී. ඒක ඓතිහාසික මෙන්ම ප්‍රධාන පෙළේ සංස්කෘතික සිදුවීමක්.


‘විමුක්ති ගී’ ප්‍රසංගය නැතිව ගිය එකට මාරසිංහගේ ප්‍රතිචාරය වුණේ ‘කාලයේ රාවය’ ගී ප්‍රසංගය. ඔහු ජවිපෙන් ඉවත්වෙලා විමුක්ති ගී නතර වුන එක ගැන දොම්නසට පත්වෙලා හිටියෙ. ඔහුට පුලුවන් වුණා ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ, මාලිනී බුලත්සිංහල සහ ඇගේ සොයුරිය සන්ධ්‍යා, පුෂ්පා රම්ලනි රත්නායක, මා වගේ පිරිස් ඊට එක් කර ගන්න. පසුකාලයක ගොවියා පත්තරයෙත්, ඊට පස්සේ විවරණ සඟරාවෙත් සංස්කාරක බවට පත් වූන වින්සන්ට් කුරඹාපිටිය ‘කාලයේ රාවය’ ප්‍රසංගය ගොඩ නගන්න මාරසිංහත් එක්ක හරි හරියට ම වගේ වැඩ කරා. ඔහුත් 71 කැරැල්ලට සම්බන්ධ වූ සහජ දක්ෂතා තිබූ තරුණයෙක්. ඔහු අකාලයේ මිය ගියා. මාරසිංහට ජවිපෙ තුවක්කුකරුවෝ වෙඩි තියල මැරුව.


මගේ කලා - සංස්කෘතික ජීවිතයට සමහර විට වැඩිම බලපෑමක් කළේ කේමදාස වෙන්න ඕන‍


කොහොම උනත් ‘කාලයේ රාවය’ ඒ තරම් දේශපාලනික වුණේත් නැහැ. ඒ වගේම සංගීත ප්‍රසංගයක් විදියට සාර්ථක වුණේත් නැහැ. අන්තිමේ දි එය අසාර්ථක වුණා. මං හිතන්නේ ඊට හේතුව ජවිපෙට තිබූ සංවිධාන ශක්තිය අපට තිබුණෙ නැති නිසා වෙන්න පුළුවන්. ජවිපෙට දේශපාලන යාන්ත්‍රණයක් තිබුණා. විමුක්ති ගී හි දී අපට තිබුණෙ පුහුණූවීම් කරලා ප්‍රසංගයට සහභාගිවීම පමණ යි. අවසර ගැනීම්, ටිකට්  අලෙවිය වගේ දේ කරෙත් ජවිපෙම යි.


‘කාලයේ රාවය’ ප්‍රසංගයේ ඉතා ලස්සන ගීත තිබුණා. පස්සේ කපුගේ සහ දිවුල්ගනේ ඒ ගී ගායනා කළා. ‘නින්ද නැති රැයේ’ වගේ ගී. ඒක හරිම ලස්සන ගීයක්. ඒ දයාසේන ගුණසිංහගේ කවියක්. සුනිල් විජේසිරිවර්ධනගේ තනුවක්. ‘අන්දර ලන්දෙදි’ සීතා රංජනීගේ පද බැඳුමක්. ඒක පස්සේ මාලිනී බුලත්සිංහල ගායනා කළා. ඒ වගේ අපූරු ගී ‘කාලයේ රාවය’ ප්‍රසංගයේ තිබුණා.


මගේ කලා - සංස්කෘතික ජීවිතයට සමහර විට වැඩිම බලපෑමක් කළේ කේමදාස වෙන්න ඕන‍. මා ඔහු සමඟ කළ ගී නිසා තමයි මං ගායිකාවක් විදියට ප්‍රසිද්ධ වුණේ. ඇත්තටම මං ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඔහු හරහා මගේ ජීවිතය පරිවර්තනයකට ලක් කළ බොහෝ සංගීතඥයින් වගේම මිතුරු මිතුරියන් හමුවුණා.



මාරසිංහ සහ සුනිල් විජේසිරිවර්ධන මගේ ජිවිතයේ පරිවර්තීය භූමිකාවක් ඇති කළ දෙදෙනෙක්


ඉන් පස්සේ බැලුවොත් මාරසිංහ සහ සුනිල් විජේසිරිවර්ධන මගේ ජිවිතයේ පරිවර්තීය භූමිකාවක් ඇති කළ දෙදෙනෙක්. මාරසිංහ තමයි මට සුනිල් හඳුන්වා දුන්නේ. දෙන්නම අනුරාධපුරයේ කොල්ලො. ඔවුන් පාසැල් ගියේ එකට‍. මේ වෙන කොට සුනිල් රුසියාවේ අධ්‍යාපනය අවසන් වෙලා ඇවිල්ල හිටිය. ඔහු ගිටාරය වාදනය කළා. ඔහු සතුව හරිම අපූරු ගී තනු තිබුණා. ඔහු ‘කාලයේ රාවය’ටත් ගීත සහ පදවැල් සඳහා ඉතාම ලස්සන අදහස් අරං ආව. මට නම් ‘දෝතට ගනිමු’  ජීවිතය සහ ලෝකය පිළිබඳ ඉතාම සුන්දර ගී වලින් එකක්.


ධර්මසිරි බණ්ඩාරනායක සහ ධර්මසේන පතිරාජ ඇසුර


වගේම තමයි ධර්මසිරි බණ්ඩාරනායක සහ ධර්මසේන පතිරාජ සමඟ ගොඩ නැගුණ ඇසුර. දෙන්නම හුදෙක් සිනමාකරුවන් හෝ නාට්‍යකරුවන් හෝ නොවෙයි. දෙ‍දෙනාම ගැඹුරින් දේශපාලනික යි.  ඒ වගේම ඒ දෙදෙනා සිංහල සිනමා ගමන් මඟ  වෙනස් කරන්න සමත් වුණා. නිර්මාණය කරන ලද  කාලය බැලුවොත්අහස් ගව්ව’ කියන්නේ විස්මය ජනක සිනමා පටයක්. ධර්මසිරි ඔහුගේ නාට්‍ය සහ සිනමාපට මගින් කළ කාරිය අමිලයි.



සිනමාවේ හරි නාට්‍ය ක්ෂේත්‍රයේ හරි  ගී ගැයීමේ හරි රැදී ඉන්න නම් ඊට ගරු කිරීමක් තමන් තුළ තියෙන්න ඕන. ඒ ගැන අවධානයක් තියෙන්න ඕනෙ. ඒ වගේ ම කැපවීමත් අවශ්‍ය යි. යම් කාලෙකට පස්සේ මට ඒ ගැන උනන්දුව නැතිව ගියා. මට  එවැනි කලා සංස්කෘතික කටයුතු කෙරෙහි අවශ්‍ය අවධානය දෙන්න බැරිව ගියා. නිකම්ම බස් එකෙන් බැහැල මෙතන්ට ඇවිල්ල සිංදු කියන්න බැහැ’ කියල කේමදාස මාස්ටර් දිගට ම වගේ කිව්ව.


ප්‍රකාශන ආයතනයක යතුරු ලියන්නියක් විදියට වැඩ කළා


එවැනි පරිවර්තීය වෙනසක් මගේ ජිවිතයේ ඇති කළ තවත් දෙන්නෙක් කියන්න පුලුවන්. එක් අයෙක් තමයි සයිමන් නවගත්තේගම. මං ඔහු දැන හඳුන ගත්තේ 1976 දී විතර. ඒ දවස් වල මං ‘හංස ප්‍රකාශකයෝ’ හි ටික කලක් වැඩ කරා. ඔවුන් සයිමන්ගේ පොත් මුද්‍රණයෙන් පළකරා. මට මතකයි ජයසේන ජයකොඩිගේ ‘අස්වැන්න’, කරුණා පෙරේරාගේ ‘අඳුරට එළියක්, සයිමන් නවගත්තේගමගේ ‘සාගර ජලය මදි ඇඩුවා ඔබ හින්දා’ ඔවුන් මුද්‍රණයෙන් පල කළ බව. මං එහි වැඩ කරේ යතුරු ලියන්නියක් විදිහට. මං බිෂොප් කොලීජියෙන් පිටවුනා විතරයි. වසය 21විතර. මට කරන්න කියල වෙන දෙයක් තිබුනෙ නැහැ.


 


ඇයි වැදගත් දෙයක් සිංහලට පරිවර්තනය කරන්නේ නැත්තේ‘ - සයිමන්ගෙන් ලියන්න ඇරයුමක්


ඒ වෙන කොට සයිමන් වගේ චරිතයක් මං කවදාකවත් දැකල තිබුණෙ නැහැ. ඔහු අමුතුම අපූරු අයෙක්. කොණ්ඩේ වවල හැමදාම කැප් තොප්පියක් දාගෙන හිටියෙ. එක දවසක් ඔහු මට කිව්වා ඇයි වැදගත් දෙයක් සිංහලට පරිවර්තනය කරන්නේ නැත්තේ, මට පුලුවන් ඇත්ත පත්තරේ දාල දෙන්න’ කියලා.


ඔහු මට ළමයි ගැන ලිපි කිහිපයක් ගෙනැල්ල දුන්න. එකක් තමයි ‘දරුවට එපා කියන්න එපා’ කියපු ලිපියක්. ඒවා ගෙනාවේ සෝවියට් දේශයේ සඟරාවලින්. මට ඒක උද්වේග ජනක අත්දැකීමක් වුණා. මුල්ම වරට සිංහලට පරිවර්තනයක් කිරීම,  ඒ වගේම මුල්ම වරට මං ලියපු දෙයක් පත්තරයක පළ වුන එක ගැන මට හරි සතුටත් ඇතිවුණා. ‘ඇත්ත’ පත්තරය කියන්නේ  ඒ දවස්වල අප හැමෝගෙම පිළිගැනීමක් තිබූ පුවත්පතක් නේ.


සයිමන් නවගත්තේගම මට පෙනුණේ අතිවිශේෂ චරිතයක් විදිහට. ඔහු හැම උදේකම දත් බුරුසුවකුත් අරගෙන හංස ප්‍රකාශක කාර්යාලයට එනවා මුහුණ කට හෝදගන්න. යාන්තමට මුහුණ හෝදගෙන තමයි එන්නේ. වෙලාවකට පෙරදා රැයේ ඔහු බීල කොහේ හරි ඉන්න ඇති. ඔහු  කාර්යාලයට ඇවිත් දත් මැදල මුහුණ හෝදගෙන යන්න යනව.


 


‘සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා’ පොත කියවලා  සිංහල බසට ආශා කරන්න ගත්තා


ඔහු හැමදාකම වගේ මට කතා කරනවා. ඔහුගේසාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා’ පොත කියවල මම සිංහල බසට ආශා කරන්න පටන් අරන් උන්නේ. ඔහු සමඟ කතා කරන කොට තේරෙනවා ඔහු ඇත්තට ම බර සාර මිනිසෙක් බව. සයිමන් තමයි මට භාෂා පරිවර්තනය කරන්න හැකියාවක් තියෙනව කියන අදහස දුන්නේ.


මැද පංතියෙන් ආපු මට දුප්පත් මිනිස්සුගේ ජීවිතේ ගැන කිසිම අවබෝධයක් තිබුණේ නෑ


පරිවර්තීය බලපෑමක් මට ඇති කළ කරුණා පෙරේරා ඒ කාලේ හිටියෙ ‘සාන්වි ආරච්චි වත්ත’ කියන පැල්පත් ප්‍රදේශයේ. ඇය තමයි මට හමුවූ පළමු වැන්නා නාගරික දුප්පතුන් අතර ජීවත්වෙන. මං ඇයත් එක්ක ඇගේ ගෙදරට ගියා. ඒ වෙනකොට ඇය ඇයගේ කෙටි කතා පොතට ජාතික මට්ටමේ ත්‍යාගයක් දිනා ගෙන තිබුණා. මං ආපහු ආපහු ඇගේ ගෙදරට ගියා. මැද පන්තියෙන් මට කිසිම අවබෝධයක් තිබුණෙ නැහැ දුප්පත් මිනිස්සුන්ගේ එදිනෙදා ජිවිතය ගැන.ඔවුන් ජිවත්වෙන්නේ කොහොමද, ජීවිතේ ගත වෙන්නේ කොහොමද කියලා. මං ඇයගේ පවුලේ අයත් ඔවුන් ජීවත්වන විදියත් තේරුම් ගත්තෙ ඒ් ගමනින්.


කරුණා පෙරේරා අපූරු ගැහැණියක්. ඇයට අප අතර වූ පන්තිමය වෙනස්කම ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඇය මට මිතුරියක් විදිහටයි සැලකුවේ. මට ඔවුන්ගේ පරිසරය විඳගන්න අමාරුවෙයි කියල ඇය ගණන් ගත්තේවත් නැහැ. නමුත් ඇය පන්ති වෙනස්කම් ගැන දැනගෙන හිටිය. එ්ත් ඒ ගැන ඇය හිතුවෙ නැහැ. අපි සමානයින් විදිහට කිසිම ප්‍රශ්නයක් නැතිව ආශ්‍රය කළා. ඇය හරහා ලැබුණු නාගරික දුප්පතුන්ගේ ජීවිතය පිළිබඳ අත්දැකීම මට විශාල පරිවර්තීය අත්දැකීමක් වුණා. ඒ 1970 වර්ෂයේ විතර.



ගැමි දුප්පතුන් ගැන ජවිපෙන් ඉගෙනගත්තා  - නාගරික දුප්පතුන් ගැන කරුණාගෙන් ඉගෙනගත්තා


පසු කාලයක මම ගැමි දුප්පතුන් ගැන ජනතා විමුක්ති පෙරමුණ හරහා ඉගෙන ගත්ත. නාගරික දුප්පතුන් ගැන ඉගෙන ගත්තේ කරුණා පෙරේරාගෙන්.


මං හිතන්නේ  මගේ ජිවිතයට පරිවර්තීය බලපෑමක් කළ අය අතරින් ගාමිණී හත්තොටුවේගම ගැනත් කතා කරන්න ඕන‍. ඔහු ඇත්තටම නම් ශ්‍රී ලංකාවේ කලා - සංස්කෘතික දේශපාලනයට මහත් බලපෑමක් කළ අයෙක්.


කැළණිය සරසවියේ ඉංග්‍රී‍සි භාෂා සහාය කථිකාචාර්‍යවරයෙක් විදිහට ඉන්න ගමන් තමයි ඔහු වීදි නාට්‍ය ආරම්භ කළේ. සරසවියේ ඔහු ඉගැන්නුවේ ඉංග්‍රීසි. ජීවත්වුණේ කිරිබත්ගොඩ. විමල් කුමාර කොස්තා, ධර්මසේන පතිරාජ, තෙන්නකෝන් එක්ක ඔහුට ‍ළඟ මිතුරු කමක් තිබුණා. කාලයේ තමයි පතිරාජකොරා සහ අන්ධයා’ නාට්‍යය නිර්මාණය කළේ.


හත්තොටුවේගම තමයි ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය සහ වීදි නාට්‍ය ව්‍යාපාරය ආරම්භ කළේ. ඔහු නාට්‍යය ශාලාවෙන්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, වීදියට අරගෙන ගිහින් සාමන්‍ය මිනිසාට අහන් ඉන්නත් තේරුම් ගන්නත් පුළුවන් පැය භාගයේ නාට්‍ය හැදුවා. මේ නාට්‍යවල  වේදිකා නාට්‍යවල වගේ සකස්කළ ඇදුම් තිබුණේ නැහැ. ඒ මගිනුත් ඔහු උත්සාහ කළේ සමාන්‍ය ජනයාට තමාගේ ම යැයි හැඟීමක් ඇතිවන පණිවිඩයක් දීමට යි.


වීදි නාට්‍ය කෙරෙහි ඔහුට ප්‍රබල කැපවීමක් තිබුණා. අප බැලුවොත් දීපානි සිල්වා, ගැන්විල් රොද්‍රිගෝ, එව්.ඒ. පෙරේරා, කිංස්ලි ලෝස් වාගේ බොහෝ දෙනෙක් හත්තෙට්ටුවේගමගේ වීදි නාට්‍යවලින් පටන් අරං වේදිකා නාට්‍ය,  සිනමාව සහ රූපවාහිනිය වැනි ප්‍රධාන රංග ධාරා කරා ගමන් කළා.


හත්තොටුවේගමට හොරණ නාට්‍ය සම්ප්‍රදායයේ බලපෑම තිබුණා. මොකද ඔහු ආවෙත් හොරණින්. ඒ දවසවල චන්ද්‍රසේන දසනායක වසර ගණනාවක් ම පාසැල් නාට්‍ය තරඟයෙන් ජය දිනා ගත්තා. ‘සුදු ඇතා ආවට පස්සේ’ ඔහුගේ එක නාට්‍යයක්. එතකොට ධර්මසිරිත් ඔහුගේ නාට්‍යවල රඟපෑව. ඒ විදිහට තමයි මේ ඔක්කොම වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ. හත්තොටුවේගමට උවමනාවක් තිබුණා සම්ප්‍රදායික නාට්‍ය  පාරට අරන් ගිහින් ව්‍යාපාරයක් බවට පත් කරන්න. ඒ නිසා තමයි ඔහු ඒ පරිවර්ථනය ඇති කළේ.



මුත්තෙට්ටුවේගමට ආභාෂය සහ ප්‍රබෝධය දීමේ මහඟු හැකියාවක් තිබුණා


මං හිතන්නේ ඔහුට  ආභාෂය සහ ප්‍රබෝධය ලබා දීමේ මහඟු හැකියාවක් තිබුණා. මොකද ඔහුට භාෂාව ගැන ඉතා උසස් තේරුමක් තිබුණා. සංගීතය සහ වේදිකාව ගැනත් එහෙමයි. ඔබට පුළුවන් නම් මතක් කර ගන්නනිදි නැති නදියේ නාදය’ ප්‍රසංගයට ඔහු ඉදිරිපත් කළමා දුටුවා ඔබ දුටුවා’ ගීතය. ඒක කොයි තරම් ප්‍රබල සිංදුවක්ද?ෙ


මම හිතන්නේ ඔහු විතරයි අද දක්වාම කුරුණෑගල, බදුල්ල, මීගමුව,  වගේ පළාත්වල වීදි නාට්‍ය කරන පිරිස් ගොඩ නැගුණූ ව්‍යාපාරයක් ඇති කළේ. ලංකාවේ හුඟාක් ගම්බද පළාත්වල මිනිස්සු ඔහු වීදි නාට්‍ය රඟ දක්වනව දැකල තියෙනව. මාත් ඔහු එක්ක වතාවල් ගණනාවකදීම අනුරාධපුරයට ගියා වීදි නාට්‍ය කරන්න. අප ගියේ කෝච්චියෙන්. දුම්රිය පොළේ ම විදී නාට්‍යක් කරල පටන් ගත්තේ. එතන ඉදන් පාර දිගේම වීදි නාට්‍ය නට නටා රෑ පුරාම ගමන් කරා. ඉතින් උදේ වෙනකොට ආයෙම අපි කෝච්චියෙන් ම ආපහු එනව.


මුත්තෙට්ටුවේගම වීදි නාට්‍ය වාණිජකරණය කළේ නැහැ  


ඔහු කවදාවත් වීදි නාට්‍ය වාණිජකරණය කළේ නැහැ. ඒක තමයි ඔහුට තිබුණු ශක්තිය. ඔහුට බහුවිධ හැකියාවන් තිබුණ. රබාන අරං පාරට බැහැල සිංදු කියමින් සෙනඟ රැස් කරල ඔහු වීදි නාට්‍ය පටන් ගත්ත. හත්තොටුවේගම තමන්ට සීමා දාගෙන හිරවෙලා හිටියෙ නැහැ.


විදිහට ඔහු පරම්පරාවකට ම ආභාෂයක් සහ ප්‍රබෝධයක් ලබා දෙන්න සමත් වුණා. දැන් පරම්පාරව කායිකව නොවුනත් අභාවයට යමින් ඉන්නේ. වගේම පිට පළාත්වල ගොඩ නැගුණූ වීදි නාට්‍යත් අභාවයට යමින් තියෙන්නේ.


ඒ කොහොම උනත් අපි හත්තොටුවේගමට ලොකුම ලොකු ප්‍රශංසාවක් දෙන්න ඕන.



 

සටහන - සුනන්ද දේශප්‍රිය 


(සුනිලා අබේසේකර සමඟ යළි යළි කෙරුණු කෙටි පිළිසඳර මගින් සටහන් වූ ‘අසම්පූර්ණ පිය සටහන්’ මෙතැනින් අවසන් වෙයි. අපට තව දුර දොඩමළු වන්නට කාලය අවසර දුන්නේ නැත. ඇයගේ ජීවිතයෙහි තවත් විචිත්‍ර පරිච්ජේද බොහෝ ගණනාවක් කාලයේ වැලි තලාව යට දැන් සැඟව ගොසිනි - සුනන්ද දේශප්‍රිය)


 

සබැඳි සටහන් 


පළමු වතාවට මහජන ප්‍රේක්ෂක පිරිසක් හමුවුණේ විමුක්ති ගී කියද්දි – සුනිලා අබේසේකර (3)

කළු ජූලියෙන් ඇතිකළ කම්පනය 71 ටත් වඩා සැරයි – සුනිලා අබේසේකර (2)


මගේ සංස්කෘතික කලා ජීවිතයත් දේශපාලන ජීවිතයේම කොටසක් -සුනිලා අබේසේකර (1)


මේ මොහොතේ සිදුවෙන දේවල් උවදුරු සහගතයි - අරුන්දතී රෝයි

ඉන්දියාව තුළ මේ වනවිට සිදුවෙමින් පවතින්නේ දැඩි උපද්‍රවකාරී සිදුවීම් බව බුකර් සම්මාන දිනූ ලේඛිකාවක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක වන අරුන්දතී රෝයි පවසන්නීය.

රජයේ මැදිහත් වීමෙන් දිවයින පුරා දියත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් තුළින් පිළිබිඹු වෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තීන් බිඳවැටෙන බව හා ඔවුන්ගේ බලය අහිමිවී යන බවට වූ භීතිය බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වන රෝයි පවසන්නේ, ‘‘නීතිඥයින්, කවියන්, ලේඛකයින් මෙන්ම දලිත් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන්, බුද්ධිමතුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව හාස්‍යජනක අන්දමේ චෝදනා ගොනු කරනවා.

කිසිදු වරදක් නොකළ මේ පිරිසට නඩු නැතිව දඬුවම් කරද්දී තර්ජන කරන විටදී ඝාතකයින් දිවා රෑ දෙකේම මිනිස්සු මිනී මරාදමන තත්ත්වයක් තුළ ඉන්දීය නායකත්වය ගමන් කරන්නේ කොයිබටද යන්න අපට පැහැදිලියි. 

ඝාතකයින්ට ගෞරවය ලැබෙනවා වගේම ඔවුන්ට ආරක්ෂාව ද ලැබෙනවා. කවුරුන් හෝ කෙනෙකු යුක්තිය වෙනුවෙන් හෝ හින්දු බහුත්වවාදයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළොත්  එවැන්නකු අපරාධකරුවෙකු බවට සැලෙකනවා. හැබෑවටම, මේ මොහොතේදී සිද්ධ වෙමින් පවතින දේ දැඩි උපද්‍රවකාරියි. මැතිවරණයට පෙර සමයේදී මේ සිදුවෙමින් පවතින්නේ  ඉන්දියානු ව්‍යවස්ථාවට හා අප විසින් පෙනී සිටින නිදහසට එරෙහිව කරන කුමන්ත්‍රණයකි.‘‘ 

 

Raiot ඇසුරිනි

 

සබැඳි පුවත් 

ලේඛනය නැටුමක් වගෙයි - අරුන්දතී රෝයි

 

 

 

 

 

ෂහිදුල් අලාම් ට යුක්තිය අකැපද ?

‘‘බැංකු කොල්ලකෑම්, මාධ්‍ය මර්දනය හා ඝාතනයන් මෙන්ම අතුරුදහන් කිරීම් දිනෙන් දින වැඩිවෙලා. වංචාව දූෂණය රටේ හැමතැනම පැතිරිලා. හැමතැනකදීම සල්ලි මුල් වෙනවා. මේවාගේ අවසානයක් දකින්න බැහැ‘‘ බංග්ලාදේශයේ රජයන දූෂණය ගැන සිය හඬ අවදි කළ ඡායාරූප ශිල්පියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ද වන ෂහිදුල් අලාම් මේ වනවිට පසුවන්නේ සිරගෙහි ය.

මීට හේතුවූයේ මාර්ග ආරක්ෂාව හා ගමනාගමන ක්ෂේත්‍රයේ නිසි යටිතල පහසුකම් නොමැතිවීම සම්බන්ධයෙන් හඬ නැගූ (සීඝ්‍රයෙන් ධාවනය කළ බස් රථයක් නිසා දරුවන් දෙදෙනෙකු ජූලි මසදී මරු මුවට පත්වීම මීට හේතුවිය) බංග්ලාදේශ සිසුන් පසුගිය අගෝස්තු 5 වැනිදා සිට දින හතක් පුරාවට ඩකා නගරයේදී පැවැත්වූ උද්ඝෝෂණයට පක්ෂව අලාම් Al Jazeera  වෙත පසුගිය 5 වැනිදා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවයි. මෙහිදී ඔහු ප්‍රසිද්ධියේම පවසා සිටියේ සිසුන්ට තම සහයෝගය ලබාදෙන බවත් ආණ්ඩුවේ දූෂණ ක්‍රියාවන්ට විරුද්ධ වන බවත්ය.



අලාම්ව අත්අඩංගුවට ගත්තේ ඇයි ?

එමෙන්ම, ඔහු ෆේස්බුක් වෙත යොමුකළ වීඩියෝ පට මගින් ආණ්ඩුව විවේචනය කිරීම හා සිසුන්ව මර්දනය කිරීමට පොලීසිය දියත් කළ මර්දනකාරී පිළිවෙත ද හෙලා දුටුවේය. රබර් උණ්ඩ, ලී බැටන් පොලු හා කඳුළු ගෑස් ඔවුන් වෙත යොමුකළ බව අලාම් වැඩිදුරටත් පැවසුවේය.

Al Jazeera වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවෙන් අනතුරුව ඩන්මොන්ඩි හිදී පිහිටි ඔහුගේ නිවසේ සිටියදී අලාම් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව රඳවා තබාගත් රැයේදී දරුණු වධහිංසා වලට ලක්කළ බවත් ඉන් නොනැවතී පරුෂ වචනයෙන් තමන්ට බැණ වැදුණු බව ද අලාම් පවසා ඇති අතර පසුදිනයේදී ඔහුව උසාවියට ඉදිරිපත් කළ අතර එදින ලේ වැකී තිබූ ඔහුගේ ඇඳුම් සෝදා පිළිවෙලට සකස් කර ඔහුට කිසිදු හිංසනයක් නොවූ බව පෙන්වීමට පොලීසිය උත්සහ කළ බව ද පැවසුවේය.

අලාම්ගේ නිවසට පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බංග්ලාදේශ පොලීසියේ විශේෂ ඒකකයක් වන රහස් පරීක්ෂණ අංශයේ නිළධාරීන් විසිනි. සිවිල් ඇඳුමින් සැරසී සිටි නිළධාරීන් 30 දෙනෙකු පමණ මේ අවස්ථාවට සහභාගී වී ඇත.

[caption id="attachment_20582" align="alignnone" width="300"] වහලයක් මත ආහාර පිසින කතක් [/caption]

 

බංග්ලාදේශ නීතිය කා වෙනුවෙන්ද  ?

මේ සිදුවීමෙන් දින 7 ක් ගතවී ගිය පසුගිය 12 වන ඉරිදා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අලාම්ව උසාවිය හමුවට පමුණුවනු ලැබුණි. මේ අතරතුර කිසි අවස්ථාවකදී ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට අලාම්ව හමුවීමට අවකාශ ලබාදී නැත. තවමත් නිසි ලෙස හෙළිදරව් කර නැති ස්ථානයක ඔහුව සිරකරුවෙකු ලෙස රඳවා තබා සිටින අතර එලෙස රඳවා තබා සිටින කාලය පවා නිසිලෙස හෙළිදරව් කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනතේ 57 වන වගන්තිය යටතේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සඳහා ප්‍රමාණවත් හේතු සපයන අතර ‘රාජ්‍යයට හානි පමුණුවීමට‘ හෝ ‘අරාජිකත්වය නිර්මාණය කිරීම‘ සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීම වරදක් බව දක්වයි. මේ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඉදිරිපත් කිරීම  අවශ්‍ය නොවන අතර ඇප ලබාදීම අවහිර කිරීමට අධිකරණයට අවසර හිමිවේ. මෙමගින් අවම වශයෙන් වසර හතක කාලයක් ද උපරිම වශයෙන් වසර වසර 14 ක කාලයක් පුද්ගලයෙකු  බන්ධනාගාරයේ රඳවා තබාගත හැකිවන අතර අලාම්ට දඬුවම් පැමිණවීමට අවස්ථාව තිබෙන්නේ මේ යටතේය.

[caption id="attachment_20578" align="alignnone" width="300"] මානසික රෝහලක්[/caption]

 

අලාම් නම් ඡායාරූප ශිල්පියා

‘මගේ කැමරාවට හසුවුණු ඡායාරූප අතිවිශිෂ්ට ඒවා නොවුණත් ඒවා කලින් නොතිබුණු අන්දමේ ඒවා වුණා‘. අහඹුවකින් මෙන් ඡායාරූප කලාවට පිවිසි අලාම් ‘With Photography as my Guide’ නමින් 2013 වසරේදී සම්පාදනය කළ ලිපියෙන් තමා වෘත්තීය දිවියට පිවිසුණු අන්දම ගැන සටහන් තැබුවේ එලෙසිනි. අලාම් සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ මිලිටරි ආඥාදායකයෙකු වූ මොහොමඩ් අර්ෂාඩ්ට විරුද්ධව 1982 දී සිදුකළ විරෝධතාවක් ඡායාරූපයට නගමිනි. කාන්තාවක් සිය ඡන්දය රහසේ ලබාදෙන අවස්ථාවක් 1990 දී ඡායාරූපයට නගන ඔහු බංග්ලාදේශයට බලපෑ අතිදරුණු සුළි සුළඟ හා ඉන් ඇතිවූ බලපෑම සිය කැමරා කාචයේ වෙනස්ම මුහුණුවරකින් යුතුව සනිටුහන් කරගන්නට සමත්වූවේය.



‘‘හදිසියේම බටහිර මාධ්‍ය වල වැඩකළ සාමාජිකයින් දැඩි ගිජුබවින් හා මහත් අභිරුචියෙන් යුතුව අප වෙත එන්න පටන්ගත්තා. කුසගින්නෙන් යුතුව දුර්වල වූ සිරුරින් අත්පා විදහාගෙන හිටිය බංග්ලාදේශ ජාතිකයින් වෙත සුදු මිනිස්සු ආවේ ගැළවුම්කරුවන් වගෙයි. මගේ සටන මේ මොහොතේදී ආරම්භ වී තිබුණා පමණයි‘‘. සිය රටට පැමිණි ආගන්තුකයින් තම දේශය කැමරා කාචයට හසුකරගත් අන්දම වෙනුවෙට අලාම් යළි ගොඩනැගෙන බංග්ලාදේශය ගැන අවට ලෝකයට පැවසුවේය. නැවත බෝට්ටු ගොඩනගන මිනිස්සු, නැවුම් බීජ වගා කරන ගොවීන් මෙන්ම ආපදාවට හසුවූවන්ට සහන සලසන වෛද්‍ය පිරිස් ඔහුගේ කැමරා කාචයේ සනිටුහන් විය.

[caption id="attachment_20577" align="alignnone" width="200"] භූමිකම්පාවට හසුවූ දැරියක් (2005)[/caption]

 

ඡායාරූප කලාවෙන් ඔබ්බට

මේ උපමහාද්වීපයටම අනන්‍ය වූ නව වචන මාලාවක් සම්පාදනය කිරීමට අලාම් දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ඩකා හි Drik Picture පුස්තකාලය ආරම්භ කිරීමට 1989 දී ඔහුට හැකියාව ලැබුණි. මේ හරහා සමාජ සාධාරණත්වය හා පුද්ගල අයිතීන් සම්බන්ධ ගැටළු වලට ආමන්ත්‍රණය කිරීමට ඔහුට හැකිවිය.

‘‘අපි ඡායාරූප ගැනීම පමණක් සිදුකළේ නැහැ. භාෂාව භාවිත කළා, ‘බහුතරයෙන් සැදුම්ලත් ලෝකය‘ යන වදන වෙනුවට ‘තුන්වන ලෝකය හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල්‘ වැනි සුචක යොදාගත්තා. අලාම් ඡායාරූප කලාවෙන් ඔබ්බට වූ සිය ලෝකය ගැන පවසන්නේ එලෙසිනි. දකුණු ආසියානු කලාපය තුළ ඡායාරූප කලාව සම්බන්ධයෙන් නව ප්‍රබෝදයක් ඇතිකිරීමට දායකත්වය දෙමින් සිසුන්ට පුළුල් දැනුම ලබාදෙන සම්පත් මධ්‍යස්ථානයක් පාත්ශාලා ඡායාරූප පාසල ඩකාහි ආරම්භ කිරීමට ඔහුට හැකිවිය.



Drik හා පාත්ශාලා හි සාමාජිකයින්ගේ හවුල්කාරීත්වයෙන් චෝබි මේලා නමින් ඡායාරූප උළෙලක් සංවිධානය කිරීමට ද 2000 වසරේදී ඔහු මූලික වූ අතර දකුණු ආසියානු කලාපයේ ඡායාරූප සම්බන්ධ  ප්‍රබෝධයක් මෙමගින් ඇතිවිය. මෙහි 10 වැනි උළෙල එළඹෙන 2019 වසරේ පෙබරවාරි මසදී පැවැත්වීමට  කටයුතු නියමකර තිබුණි.

[caption id="attachment_20576" align="alignnone" width="300"] භූමිකම්පාව - බාබර් සාප්පුව (2005) [/caption]

 

අලාම්ව රඳවා තබාගැනීම වැරදියි

අත්අඩංගුවේ පසුවන අතරතුරදී පහරකෑමට ලක්වූ අලාම් ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, කලාකරුවන්, ලේඛකයින්, ඡායාරූප ශිල්පීන් ද සිය හඬ අවදි කරයි. අරුන්දතී රෝයි, ඊව් ඇන්ස්ලර්, නයෝමි ක්ලීන්, නොම් චොම්ස්කි හා විජේ ප්‍රශාද් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අලාම් වහාම නිදහස් කරන ලෙසත් සියලු චෝදනා වලින් ඔහුව නිදහස් කරන ලෙසත්ය.

‘‘තොරතුරු දැක්වීම හා විවේචනය මානව ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. තමන්ගේ රට තුළ සිදුවන දේ ගැන පුරවැසියෙකු දක්වන අදහස් ප්‍රතික්ෂේප කිරීම තුළ මූලික මානව අයිතීන් ද ප්‍රතික්ෂේප කර තිබෙනවා‘‘ යන්න මේ නිවේදනයේ දක්වා ඇත.

[caption id="attachment_20583" align="alignnone" width="300"] අරුන්දතී රෝයි ඇතුළු පිරිස නිකුත් කළ නිවේදනය[/caption]

 

මීට අමතරව අලාම්ව රඳවා තබාගැනීමට විරුද්ධව කල්කටා, ලන්ඩන් හා කත්මණ්ඩු හිදී උද්ඝෝෂණ මාලාවක් දියත් විය.

ඔහුට අත්වූ ඉරණමත් සමග ඇමනෙස්ටි ජාත්‍යන්තරය අගෝස්තු 9 වැනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ ‘ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා මේ ඉරණම අත්වූ බවත් බොහෝවිට අලාම්ව වසර 14 ක් සිරගත කිරීමට ඉඩ ඇති බවත් වහාම ඔහු නිදහස් කරන ලෙස‘යි.

‘අපි පියාඹා යන්නට ඉගෙනගත් ආකාසය ඔහුයි. ෂහීදුල් ගැන නොදන්නා අයට ඔහු ගැන කියාදිය හැකි හොඳම කතාව මෙයයි‘ යන්න කල්කටාවේ වෙසෙන ඡායාරූප ශිල්පියෙකු වන රොනී සෙන් සටහන් කරයි.

අලාම්ව රඳවා තබාගැනීම තුළ භාෂණයේ නිදහස, ආණ්ඩුවේ මර්දනය මෙන්ම අවදිව සිටින මිනිසුන්ගේ හඬ යටපත් කරදැමීම සම්බන්ධයෙන් කලාපය තුළ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබිඹු වන බව ජාත්‍යන්තරයේ අදහස වී ඇත.



 

බංග්ලාදේශය හා මානව හිමිකම් වල තත්ත්වය

බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නගරය වඩාත් ක්‍රියාශීලී ෆේස්බුක් පරිශීලකයින් සිටින ලොව දෙවැනි විශාලතම නගරය වේ. නමුත්, එරට තුළ සමාජ මාධ්‍යයේ ජනප්‍රියත්වය ද සමගින් දේශපාලන මර්දනය ද වැඩිවන බව දැකගත හැකිය. බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසිනාගේ විකට රූප වලට ශෙයාර් හා ලයික් කිරීම නිසා දකුණු දිග ප්‍රදේශයේ දිවි ගෙවන මොනිරුල් ඉස්ලාම් පසුගිය වසරේ අප්‍රේල් මසදී අත්අඩංගුවට ගැනුණි. මොහු රබර් කම්හලක වැඩකරන සේවකයෙකි.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනතේ 57 වන වගන්තිය යටතේ පෙර කී මොනිරුල් ඉස්ලාම්ට දඬුවම් නියම කෙරුණු අතර ‘රටට ද්‍රෝහීවීමක්‘ ලෙස මේ සිදුවීම විස්තර වී ඇත. ඉස්ලාම්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණු අතර මීට අදාළ ලියවිලි මහාධිකරණයට ඉදිරිපත් කිරීමට මාස තුනකට අධික කාලයක් ගතවිය. මේ කාලය තුළ ඉස්ලාම් රඳවා තබාගෙන සිටිනු ලැබුණි. ඉස්ලාම් විසින් ශෙයාර් කෙරුණු සැබෑ ෆේස්බුක් පෝස්ටුව අන්තර්ජාලයට නිකුත් කළ තැනැත්තා ඉස්ලාම් අත්අඩංගුවට පත්වීමත් සමග සැගවුණේය.

 

[caption id="attachment_20584" align="alignnone" width="300"] අලාම්ව නිදහස් කරන ලෙස ඉල්ලා දියත්කළ විරෝධතාවක්[/caption]

 

අලාම්ගේ ඉරණම විසඳිමට බලපාන බංග්ලාදේශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ මේ නීතිය ඕනෑකමින්ම ඇතිකළ ද්වේෂ සහගත නීතියක් වන අතර අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සඳහා ප්‍රමාණවත් හේතු මෙමගින් සපයයි. ‘රාජ්‍යයට හානි පමුණුවීමට‘ හෝ ‘අරාජිකත්වය නිර්මාණය කිරීම‘ සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීම වරදක් වේ. මේ යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඉදිරිපත් කිරීම  අවශ්‍ය නොවේ. ඇප ලබාදීම අවහිර කිරීමට අධිකරණයට අවසර හිමිවන අතර මේ යටතේ අවම වශයෙන් වසර හතක කාලයක් ද උපරිම වශයෙන් වසර වසර 14 ක කාලයක් පුද්ගලයෙකු  බන්ධනාගාරයේ රඳවා තබාගත හැකිවේ. මෑතකදී නිකුත් කළ හියුමන් රයිට්ස් වොච් වාර්තාවට අනුව මේ පනත යටතේ 1271 දෙනෙකුට 2013 වසරේදී සිට දඬුවම් පමුණුවා ඇත. මේ වසරේ පළමු මාස තුන තුළ පමණක් මේ පනත යටතේ දඬුවම් ලැබූ සංඛ්‍යාව 282 කි.

ෆේස්බුක් මාධ්‍ය තුළ ආණ්ඩුව සම්බන්ධයෙන් ඝෘණාත්මක මතවාද දනවන පෝස්ට් වල හුවමාරු කිරීම හා ඒවාට ලයික් කිරීම නිසා සිවිල් වැසියන් රඳවා තබාගැනීම මෙන්ම ඔවුන්ට දඬුවම් පැමිණවීම ද බංග්ලාදේශය තුළ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතියි. මේ පනතේ අලුත්ම ගොදුර බවට පත්වූයේ අලාම් ය. ඔහුගේ ඉරණම කෙලෙස විසඳෙනු ඇතිද ? යන්න තවමත් ගැටළුවකි.

 



Frieze, Artnet News, AFP හා  BBC ඇසුරිනි (ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

සටහන - වින්ධ්‍යා ගම්ලත්