Amnesty International අවුං සාං සුකී ට ලබාදී තිබූ මානව හිමිකම් සම්මානය ඉවත් කරගනී

මියන්මාරයේ දිගින් දිගටම‍ මානව හිමිකම් උල්ලංඝනය වෙන පසුබිමක් තුළ මානව හිමිකම් උදෙසා සිදුකරන ලද සුවිශේෂී දායකත්වය ලබාදෙමින් Amnesty International මගින් සුකීට ලබාදී තිබූ Ambassador of Conscience සම්මානය ඊයේ (12) දින නැවත ලබාගෙන ඇත.


 

Ambassador of Conscience සම්මානය පසුගිය 2009 වසරේදී සුකීට ලබාදී තිබූ අතර එය නැවත ලබාගන්නා බව Amnesty International හි මහ ලේකම් කුමී නයිදූ - සුකී වෙත ලිපියක් යොමුකරමින් පවසා තිබේ.


 

මියන්මාරය තුළ මානව අයිතීන් දිගින් දිගටම උල්ලංඝනය වූ තත්ත්වයක් තුළ මෙන්ම සමානාත්මතාවය හා සාධාරණත්වය තහවුරු කිරීමට සුකී කිසිදු පියවරක් නොගැනීම තම කණස්සල්ලට හේතුවී ඇති බව කුමී සිය ලිපියේදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.  නිවාස අඩස්සියෙන් නිදහස ලබා වසර 8 ක් ගතවී ගොස් තිබුණද, මියන්මාර හමුදාව භාෂණයේ හා  ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කරන විට  සුකී කිසිවක් නොකර සිටි බව ද මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.


 

කුමී සිය ලිපියෙන් පවසන්නේ,


‘‘Amnesty International හි Ambassador of Conscience සම්මානය ලැබූවෙකු විදියට මියන්මාරය මෙන්ම ලොව කොතැනක  හිටියත් අසාධාරණය දුටු විට ඊට එරෙහිව හැමවිටම කතාකරනු ඇති බව අප විශ්වාස කළා. බලාපොරොත්තුව, ධෛර්යය හා මානව අයිතිවාසිකම් සුරැකීමේ සංකේතයක් ලෙස තවදුරටත් ඔබ අපිව නියෝජනය නොකරන බව තරයේ විශ්වාස කරමු. Ambassador of Conscience සම්මානය ලබාගත් කෙනෙකු විදියට මහත් කණගාටුවෙන් වුවත් අපි එය ඉවත් කරගනිමු.‘‘ යන්නයි.


 

[caption id="attachment_21909" align="alignleft" width="300"] Ambassador of Conscience සම්මානය ලබාගනිමින් (2009) [/caption]

සිවිල් පාලනය යටතේ මෙහෙයවුණු පාලනයේ නායකත්වයට සුකී 2016 අප්‍රේල් මසදී පත්වීමත් සමග මානව හිමිකම් උල්ලංඝනය කරන කොමිෂන් සභා වලට ද සක්‍රියව දායක වූවාය. රක්හියන් ප්‍රදේශයේ රෝහින්යා මුස්ලිම් ජාතිකයින්ට  දිගින් දිගටම සිදුවූ මිලිටරි මැදිහත්වීම් ගැන Amnesty International අවධානය යොමුකර ඇත.


 

පසුගිය වසරේදී රෝහින්යා වැසියන්ට එරෙහිව මුදාහරින ලද ප්‍රචණ්ඩකාරී ක්‍රියා වලදී මියන්මාර ආරක්ෂක භටයින් රෝහින්යා කාන්තාවන් මෙන්ම තරුණියන් දහස් ගාණක් දූෂණයට ලක්කළ අතර තරුණයින්ට වදහිංසා පැමිණවීම ද සිදුවිය. එපමණක් නොව නිවාස සිය ගණනක් විනාශ කිරීම සිදුවිය. මේ සිදුවීමත් සමග රෝහින්යා වැසියන් 720,00 කට අධික පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ.


 

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව ද මියන්මාරයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අපරාධ නඩු පවරන ලෙසත් සමූල ඝාතනයයන් ගැන විමසා බැලිය යුතු බවටත් නිර්දේශ කර ඇත.


 

 



 

 

Amnesty International ඇසුරිනි 

 

 

සබැඳි පුවත් 

 

සුකී – රොයිටර් මාධ්‍යවේදීන් සිර අඩස්සියේ තැබීම සාධාරණීකරණය කරයි 

 

ප්‍රකාශනයේ නිදහස ඇහිරූ යටත් විජිත නීතිය නිසා මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා වසර 7 ක් සිරගෙට