උතුරේ මැතිවරණය: දවල් හීන

| නිලන්ත ඉලංගමුව 

රාජපක්ෂ උතුරු පළාතේ මැතිවරණය පවත්වන්නේද යන්න සැක සහිතය. නමුත් එය කල් දැමීම සඳහා පිළිගත හැකි කපටි  කෛරාටක  හේතු ඉදිරිපත් කළ යුතුව ඇත. එකක් නිතීය මාර්ගයෙන් එය ඔහුට කළ හැකිය. නමුත් දෙවැන්න, එනම් පවතින කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලන පරිසරය තුළද එය කළ යුතුව ඇත. රටේ නිතීය මාර්ගයෙන් එය කිරීම රාජපක්ෂ වැනි අයෙකුට අතිශය සරල කාර්යක් වන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. මන්ද අධිකරණ ක්ෂේත්‍රයේ ඉහල සිට පහලටම ඔහු ඔහුට අවශ්‍ය ආකාරයෙන් හසුරුවීම සඳහා වෙනස්කොට ඇත. මැතිවරණය පවත්වන බව කියමින් කල්මැරීම රාජපක්ෂට සාපේක්ෂව ගත් කළ  ස්ථානෝචිත අවශ්‍යතාවයකි. ඒ වෙන කිසිවකට නොව ලෝකය රැවටීමටය. මැතිවරණය කෙදිනක හෝ පැවැත්වුවද එය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වුවහොත්, ආණ්ඩුව පරාජය වන බව ආණ්ඩුව කෙසේ වෙතත් රාජපක්ෂ හොඳින්ම දන්නා කාරණය වේ. කෙසේ වෙතත් එකම අභියෝගය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වීම සඳහා අවකාශය සකස්කර ගැනීමය.
සිංහලකම දේශපාලන වෙළඳපොලේ විකුණා ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂට ලණු කැවීම මඟින් තම පෞද්ගලික පැවැත්ම තහවුරුකරගත් උග්‍ර අන්තවාදීන් යුධ ජයග්‍රහණයෙන් පසු මෙරට ලබන ලොකුම ජයග්‍රහණය වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වීම බව සඳහන් කරන්නේ මේ නිසාය. පොදුරාජ්‍ය මණ්ඩලය වූකලී බ්‍රිතාන්‍ය යටත්විජිතයේ නිරමාණයක් බව මෙම අධිරාජ්‍යවිරෝධී සිංහල ජාතියේ "ආලවන්තයින්ට" හිටි අඩියේම අමතක වී ඇති සැටියෙකි. එසේම හිටපු විනිසුරු විග්නේශ්වරන් තවත් ඇන්ටන් බාලසිංහම් කෙනෙකු වන්නේත් මේ නිසාය. රාජපක්ෂට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ අදාළ මැතිවරණය පවත්න බව කියමින්  තම දිගුකාලීන අවශ්‍යතාවය එනම් තම බලය තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමය. සිංහල ජනතාව හමුවේ අන්තවාදය වැපිරීම මඟිනුත්, දෙමළ ජනතාවට බොරු කීම මඟිනුත්, කලාපීය රටවල් රැවටීම මඟිනුත් එය කළ  හැකි යැයි ඔහු සිතන බව පෙනේ. එය ඔහු කාලයක් තිස්සේ සිදුකරනු ලැබීය. ජනරාල් ෆොන්සේකා මෙන්ම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනයක මහත්මිය මෙල්ල කිරීම සඳහාද ඔහු එය ප්‍රයෝජනයට ගත්තේය.

උතුරු පළාතේ මැතිවරණය පැවැත්වීමට පෙර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ රාජපක්ෂ ජනාධිපතිවරයා කතාබහ කිරීම මඟින් ස්පුථ වන්නේ රාපක්ෂගේ දේශපාලන උපායන් නිවැරදිව මුදාහැරීමට අවශ්‍ය නාලිකා සොයාබැලීමය. දෙමළ ජනතාවගේ හිත දිනා  ගැනීම සඳහා හැකියාව ඇති කිසිම දෙමළ දේශපාලන බලයක් ආණ්ඩුව තුළ නැති අතර සිටින සෑම  දෙමළ  දේශපාලන කල්ලියක්ම දෙමළ ප්‍රජාවගේ මහත් පිළිකුලට ලක්වූ මැර කණ්ඩායම් වේ.

දෙමළ සන්දානය විසින් ඉදිරිපත් කොට ඇති මහා ඇමති ධූර අපේක්ෂයා වන විනිසුරු විග්නේශ්වරන්ට  තරගයක් ලබා දීම සඳහා ඇති එකම අපේක්ෂයා වන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරිය . නමුත් රාජපක්ෂ මේ දක්වා සිදු කොට ඇති කෙනහිලිකම් වලින් එවැනි නායකයින් රාජපක්ෂ හමුවේ නිවට තත්වයට පත් වේ යයි සිහිනයකින්දු විස්වාශ කළ නොහැකිය. එසේම රාජපක්ෂ සමඟ  එකතු වී ඇති උතුරේ දෙමළ දේශපාලන කණඩායම් බොහොමයක් ආනන්දසංගරි දකින්නේ නයාට අඳුකොළ මෙනි. නමුත් අවාසනාවට මෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් ආනන්දසංගරී දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ප්‍රයෝජනයට නොගත්තේය.

හාස්‍යජනක කාරණය වන්නේ ආණ්ඩුව හිටපු කොටි නායකයින් යොදාගනිමින් මැතිවරණය දිනීමට හැකි යැයි සිහින දැකීමය. එය කදිම විහිළුවක් පමණක් නොව  එමඟින් ආණ්ඩුව විසින් ඔප්පු කොට ඇත්තේ දෙමළ ප්‍රජාවගේ දේශපාලන අවශතාවය තේරුම් ගැනීමෙහිලා ආණ්ඩුව මුහුණ දී සිටින මන්දපෝෂිත තත්වයයි.  සිංහල බහුතරයක් හමුවේ කරන ආකාරයෙන් අන්තවාදීන්ට සහ උපාසක බළල්ලුන්ට දෙමළ ජනතාවගේ දේශපාලන අවශ්‍යතාවයන් විසඳීමට හැකි යැයි ආණ්ඩුව සිතීම විහුලුවකි. ඇත්ත කාරණය නම් එමඟින් ආණ්ඩුව පේනවා ඇත්තේ තම සැබෑ අවශ්‍යතාවය වන සාමාන්‍ය ජනතාව "සමාජ බිය" මඟින් මර්ධනයට ලක් කරමින් තම පරිපාලනය ප්‍රශ්න නොකරන සහ අණ  කරන දෑ  එලෙසම සිදුකරන තත්වයකට පත් කිරීමේ වුවමනාවයි. මන්ද රාජපක්ෂගේ සිට ධුරාවලීයේ පහල සිටින දේශපාලනඥයා දක්වා අයවලුන් දන්නේ චන්ඩිකමින් අහිංසක මිනිසුන් දණ ගස්සවා තමන්ට අවනත කරගැනීම මිස නිවැරදි නායකත්වයක් දීම නොවේ.

ආණ්ඩුවට කිව හැක්කේ එකම කාරණයකි. එනම් දෙමළ සන්දානය කොටි හිතවාදීන් බවත් අහවල් කාලයේදී කොටින්ගේ න්‍යාය පත්‍රය එලෙසම පිළිගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ  බවත්ය. එය සිංහල අන්තවාදය මඟින් මත්වී බේබදු සිහින දකින අයට කදිමය. නමුත් සිංහල නොතේරෙන, හිටපු කොටි නායකයින් රාජපක්ෂගේ රැස් පෙනවමින් ඔබ මොබ යන භුමියේ ජනතාවට විහිළුවලට එහා ගිය දෙයකි.

උතුරේ මැතිවරණය හෝ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම වූකලී රාජපක්ෂගේ ගැටලු නොවේ. ඒ සියල්ලම "කුමන්ත්‍රණ" එනම් බැසිල් රාජපක්ෂ සඳහන් කළ  ආකාරයෙන් විනිසුරු විග්නේශ්වරන් පත්කිරීම පවා "අනෙකාගේ කුමන්ත්‍රණ" ලෙස කියමින් දේශීය දේශපාලනය තමන්ට අවශ්‍ය ආකාරයෙන් පවත්වාගෙන යා හැකිය. නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වීමට නොහැකි වුවහොත් ඉන් රාජපක්ෂ මුහුණ දෙන අකරදැබ්බය, තම ඔක්ස්ෆර්ඩ් දේශනය පැවැත්වීමට ගොස් හොට පටලවා ගැනීමට වඩා වැඩිය.