The Most/Recent Articles

Showing posts with label Nilantha Ilangamuwa. Show all posts
Showing posts with label Nilantha Ilangamuwa. Show all posts

පරාජිතයාට තඩිබෑම නොහොත් ශ්‍රී ලංකාවේ “මාධ්‍ය නිදහස”

හිටපු ජනාධිපතිවරයා තම පෞද්ගලික ඉල්ලීම් සහ ඩග්ලස් දේවානන්ද මෙන්ම කේ.පී. ආරක්ෂාකර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැදගත් කාරණයක් ඉස්මතු කොට ඇත. එනම් අදාළ කාරණා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ස්වාධීන ඒවා මිස ඊට තමන්ගේ පෞද්ගලික ඇඟිලි ගැසීමක් සිදු නොකරන බවය. එය ඉතා හරවත් ප්‍රකාශයකි. එමඟින් රාජ්‍යක ආයතන ව්‍යුහය සතුව ඇති මූලික වගකීම පෙන්වාදී ඇත. එම ස්වාධීන සහ වැදගත් මතයේ කෙතරම් කාලයක් තම කොන්ද කෙලින් තබාගෙන සිටීමට වත්මන් ජනාධිපතිවරයාට හැකි වේදැයි නොදනිමි.
| නිලන්ත ඉලංගමුව

මහින්ද රාජපක්ෂ මහතා තම රාජ්‍ය බලය යොදාගෙන මෙරට පරිපාලන ව්‍යුහය ව්‍යාකූල කරන විට ඊට එරෙහිව කතා කිරීම සඳහා තම කශේරුකාව කෙලින් තබා ගත්තේ කිහිප දෙනෙකු පමණි. ඔවුහුද ඉතා කෙටි කාලයක් තුළදී දේශද්‍රෝහීන් බවට පත් කරනු ලැබීය. යමෙක් රාජ්‍ය බලය අනිසිලෙස යොදා එමඟින් මුළු රටක් මුලාවට ඇදදමන විට ඊට එරෙහිව කටයුතු කිරීමට රටේ පුළුල් එකමුතුවක් නොතීබීම මඟින් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට වසර 10ක කාලයක් පුරා කිසිඳු අවහිරයකින් තොරව තම මෙහෙයුම කරගෙන යාමට හැකිවිය. මෙවරද, ඔහු විසින් සිදු කරනු ලැබූ අත්වරැද්ද නොවන්නට තවත් වසර දෙකක් ඔහු ධූරයේ සිටීම වැලැක්විය නොහැකි වනු ඇත. 

ඔහුගේ ධූර කාලය තුළදී බොහෝ දෙනෙකුට සිදු වූයේ වරද දැක දැකත් ඉන් තමන්ට ඇතිවන වාසිය සලකා නිහඩ වීම නමැති තමන් විසින් තමන්ව රවටාගැනීමේ ක්‍රියාවලීයට මුහුණ දීමය. ඇතැමෙකුට හිටපු ජනාධිපතිවරයා තම පෞද්ගලික ආර්ථිකය ගැන සොයා බලා කටයුතු කිරීම නිසා ඔහු රැක ගැනීමේ කැපවීම තිබුණි. තවකෙකුට රටේ ජනාධිපතිට “අයියා” යැයි ඇමතීමට හැකි නිදහස තිබු නිසා ඔහු ඉතා සාදාරණ මිනිසෙක් ලෙස පෙනුණි. මේ ආකාරයෙන් විවෘත අසාදාරණය සැඟවීම සඳහා බොහෝ දෙනෙකුට බොහෝ සංවෘත පෞද්ගලික හේතු තිබුණි. 

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා තම හාස්‍යජනක මෙන්ම ඛේදනීය අත්වැරැද්ද සිදුකර ගෙන මැතිවරණයෙන් පරාජය විය. ඔහු මේ වන විට පරාජිතයෙකි. ඔහු වටා සිටි සේනාද පරාජිතයින් වී සිටිති. ඔහුගේ පරාජය හමුවේ ඔහුව විවේචනය කිරීමේ පහසු ඉඩක් මෙන්ම නිදහසක් සියලුම දෙනාටම ලැබී  තිබේ. තමන්ගේ මානසික වියෝව සමනය කිරීමට සහ බලයට පත් වූ නව ආණ්ඩුව සතුටු කිරීම සඳහා හැකි උපරිමයෙන් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පරිවාර සේනාවට තඩිබෑම කළ හැකිය.

මෙවැනි අවස්ථාවක නිදහස ලෙස බොහෝ දෙනෙකු සිතන්නේ මෙයයි. එමඟින් ඇතිකරන වින්දනය තමන්ගේ කැපවීම සහ සහයෝගය ලබාදීම ලෙස තේරුම් ගැනීම ස්වභාවික වේ. නමුත් මෙය නිදහස ලෙස තේරුම් ගැනීම අතිශය බියජනක මෙන්ම කණගාටුදායක කාරණයකි. ඉන් සමස්ථ රටට අත්වන සුගතියක් නොමැත. සිදුවන්නේ තාවකාලීක වින්දනයක් ලැබීම සහ රටේ සැබෑ ගැටලු යටපත් වීම පමණි.

අවාසනාවට මෙන්, රාජ්‍ය මාධ්‍ය මෙන්ම බොහොමයක් පෞද්ගලික නාලිකා මෙම ක්‍රමෝපාය භාවිතා කරමින් පරාජිතයාගේ “සතුරා” සහ ජයග්‍රාහකයාගේ අතවැසියා බවට පත්වෙමින් සිටිති. මෙය අතිශය කණගාටුදායක ප්‍රවණතාවයකි. සැබවින්ම මෙහිදී පැහැදිලි කරගත යුතු මූලික  කාරණයක් තිබේ. එනම් ලංකාවේ රාජ්‍ය මාධ්‍ය කියා යමක් නැති බවයි. රාජ්‍ය මාධ්‍ය වූ කලී රාජ්‍ය වෙනුවෙන් තම ස්වාධීනත්වය මත පිහිටා කටයුතු කරන මාධ්‍යන් මිස ආණ්ඩුවේ හොරනෑවල්  නොවේ. එවැන්නක් ලංකාවේ නැත. ලංකාවේ රාජ්‍ය මාධ්‍ය වෙනුවට දැක ගත හැක්කේ ආණ්ඩුවේ මාධ්‍යයන්ය. එමඟින් සමස්ථ ජනතාවට බලවත් අසාදාරණයක් මෙන්ම හානියක් සිදු කොට ඇත.

මෙවර මැතිවරණයෙන් පෙන්වා ඇති මූලික කාරණයක් තිබේ. එනම් දේශීය මාධ්‍යයන්ට ආණ්ඩු තැනීමට හෝ රැක ගැනීමට හැකියාවක් නැති බවයි. මෙමඟින් සෑම මාධ්‍යකටම ස්වභාවිකව උගන්වන පාඩමක් තිබේ. ඒ වූ කලී රටේ ජනතාව වෙනුවෙන් තම මාධ්‍ය කලාව භාවිතා කිරීම සඳහා ඔවුහු හමුවේ ඇති මූලික අභියෝගයේ පරාමිතීන්ය. මේ හමුවේ රටේ මාධ්‍යයන්ට,  සැබෑ ජනමාධ්‍යවේදය අරමුණු කොට ගෙන කටයුතු කිරීමේ   හැකියාව සහ ඊට ඇති මානව සම්පත්වල ප්‍රමාණය ගැන කල්පනා කිරීමට අවස්ථාවක් ලැබී තිබේ.

වර්තමානයේදී අනුගමනය කරන ඕපාදූප පුවත් පත් කලාව වෙනුවට දයාසේන ගුණසිංහ වැනි මෙරට මාධ්‍ය ඉතිහාසය තුළ තේරුමක් ඇති දෙයක් කළ වීරයින් දායාද කළ කලාවන් යළිත් මෙරට ඇති කිරීමේ උදාර වගකීමක් සියලුම දෙනාට පැවරේ. එමඟින් තම රැකියාවේ ගරුත්වය පමණක් නොව තම ජීවිතයට ඇති වටිනාකම සහ ආදර්ශය රට හමුවේ ස්ථීර වනු ඇත.

මෙම මූලික අභියෝගය ජයගැනීම; පරාජිතයාට තඩි බෑමෙන් හෝ ජයග්‍රාහකයා සතුටු කිරීම සඳහා නොයෙක් මාදිලියේ ප්‍රසස්ති ගී ගැයීමෙන් කළ නොහැකිය. එවැනි දෑ අර්ථ ශූන්‍ය බව ඔප්පු කොට ඇත. හිටපු ජනාධිපතිවරයාගේ පරාජය වූ කලී ඔහු දේශපාලනික වශයෙන් පරාජය වීම පමණක් නොව ඔහු නිදහස ලෙස අරුත් ගැන්වූ මංමුලාව තේරුම් ගෙන එවැනිම ආකාරයේ මංමුලාවකට රට තවදුරටත් නතු නොවන බව පෙන්වීමය. මෙය වඩාත් මැනවින් තේරුම් ගත යුතු කාරණයක් වන අතර එහි මුලික වගකීමක් මාධ්‍යට නොහොත් පණිවිඩකරුවාට තිබේ.  

ඒ වෙනුවට රිසි පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ අවභාවිතය මූලික කොට ගනිමින් පහරදීම් මඟින්ලැබී ඇති අවස්ථාව පිරවීම මඟින් මූලික වශයෙන් අහිමිවන දෑ තිබේ.

පළමුවැන්න වූ කලී, විස්තාරණය වී ඇති ඉඩ මෙවැනි දෑ මඟින් පිරවීම මඟින් රටට අත්‍යවශය දේශපාලන මෙන්ම සමාජීය සහ ආර්ථික විවාදයට ඇති ඉඩ අහිමි වී යා හැකිය. එමඟින් විසඳිය යුතු සැබෑ ගැටලු යටපත් වීමේ ප්‍රභල අවදානමක් ඇති වේ. එසේම තම වෘත්තිය ගරුත්වය ආරක්ෂාකර ගැනීම සඳහාලැබී ඇති අවස්ථාව ඉතා කෙටි කාලයක් තුළදී යළිත් අහිමි වී යා හැකිය. ඉන් පසු උදා වන්නේ යළිත් එකිනෙකාට වෛරකිරීමේ සහ අනෙකාගේ අතකොළුවක් බවට පත් වී කටයුතු කිරීමේ දීන තත්වයට නිරායාසයෙන්ම පත්වීමය.

හිටපු ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ඥාතීන් මෙන්ම හිත මිතුරන් මෙරට රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම මෙන්ම විවිධාකාරයෙන් සිදු කොට ඇති අකටයුතුකම් විසඳා ගැනීම කළ යුත්තේ නීතිමය මාර්ගයෙනි. ඊට රටේ අධිකරණ පද්ධිතිය ශක්තිමත් වීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම තීරණාත්මක වේ. එසේ නොවුනහොත් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සිදුකළ වැරදි හුදු පුවත් බවට පමණක් පත් වනු ඇත. එමඟින් රටේ මාධ්‍ය අවකාශය පමණක් පිරවිය හැකිය. එය එසේ නොකිරීමට මෙරට මාධ්‍යට ඇත්තේ සුවිශාල වගකීමකි.  

හිටපු ජනාධිපතිවරයා තම පෞද්ගලික ඉල්ලීම් සහ ඩග්ලස් දේවානන්ද මෙන්ම කේ.පී. ආරක්ෂාකර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැදගත් කාරණයක් ඉස්මතු කොට ඇත. එනම් අදාළ කාරණා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ස්වාධීන ඒවා මිස ඊට තමන්ගේ පෞද්ගලික ඇඟිලි ගැසීමක් සිදු නොකරන බවය. එය ඉතා හරවත් ප්‍රකාශයකි. එමඟින් රාජ්‍යක ආයතන ව්‍යුහය සතුව ඇති මූලික වගකීම පෙන්වාදී ඇත. එම ස්වාධීන සහ වැදගත් මතයේ කෙතරම් කාලයක් තම කොන්ද කෙලින් තබාගෙන සිටීමට වත්මන් ජනාධිපතිවරයාට හැකි වේදැයි නොදනිමි.

රටේ ජනමාධ්‍යද කටයුතු කළ යුතුව ඇත්තේ ඊට අනුව මිස,  පූර්ව විනිශ්ච කරුවෙකුගේ භූමිකාව රඟපෑම නොවේ. ඒ වෙනුවට අනෙකාගේ වැසිකිළිය, එහි ඇති වායු සමීකරණය, රූපවාහිනී යන්ත්‍රය මෙන්ම හුදු අනුමානය පදනම් කර ගනිමින් නිර්මාණය කළ පුවත් මත පදනම් වෙමින් වර්තමානය කා දැමීම මඟින් ඇතිවන්නේ අවාසියක් පමණි.

පරාජිතයා දුටුතැන උඩ පැන පැන තඩිබෑමේ අවුල් සහගත සහ ව්‍යාකූල පුරුද්ද වෙනුවට රටට අවශ්‍ය වන වැඩපිළිවෙලට රට යොමු කිරීම මේ අවස්ථාවේ ඇති මූලික වගකීම වේ.

පාලකයින් අතින් සිදු වූ බරපතල වැරදි ඔවුහු භාවිතා කළ  දෑ වලට පමණක් ලඝු කළ නොහැකි අතර එහි වගකීම දැරීමට හැකි වටපිටාවකට ඔවුහු යටත් කිරීම සැබෑ අභියෝගය වේ.

ස්වාධීන අධිකරණ පද්ධතියක විමසා බැලෙන නීතියෙන් යමෙකු වරදකරුවෙකු කරන තෙක් ඕනෑම අයෙකු නිවැරදි අහිංසකයෙකු යැයි පිළිගැනෙන මූලික නීතී රාමුවට යටත්ව කටයුතු කිරීම මෙහිදී අතිශය වැදගත් බව දැඩිව අවධාරණය කළ යුතු වේ. මෛත්‍රී පාලනයට , රාජපක්ෂ පරිපාලනයෙන් වෙනස් විය හැක්කේ සහ වෙනස් බව ඔප්පු කළ හැක්කේ එමඟින් මිස, පැවති රටාවම නව මුහුණුවරකින් රැගෙන යෑමෙන් නොවේ.

පරාජිතයාට තඩිබෑම නිදහස ලෙස දැකීම ව්‍යාකූල සංස්කෘතියක ඇති ගරාවැටුණු රාජ්‍ය සංස්ථාවල ප්‍රකාශනයක් පමණක් නොව අපි මනුෂ්‍යයින් ලෙස මූලික වශයෙන් දායාද කොට ගත් මූලිකාංගයන් වලට පිටුපෑමකි.

ජනපති මෛත්‍රීට එරෙහි පළමු ප්‍රහාරය චීනයෙන්?

“සිරිසේනට බලය දුන්නේ පාලනයට, නමුත් ඔහු ඔහුගේ අරමුණු ගැන යථාර්ථවාදී විය යුතුයි”, ශියන්වෙයි තම කතුවැකිය අවසන් කරන්නේ එලෙසය.
| නිලන්ත ඉලංගමුව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව පළමු ප්‍රහාරය චීනය විසින් වක්‍රාකාරයෙන් ලබා දී ඇත. මෙය අන්තර්වාර ආණ්ඩුව මෙන්ම නව ජනාධිපතිවරයා වඩාත් මැනවින් තේරුම් ගත යුතුව ඇත්තේය. මන්ද දෙරට අතර පවත්නා ද්විපාර්ශවීය සම්බන්ධතා ඉතාම ගැඹුරට විහිදීගිය ඒවා වන අතර බොහෝ දෙනෙකුට තවමත් තේරුම් ගැනීමට බොහෝ දෙයක් ඉතුරු වී ඇති හෙයිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ ද්විපාර්ශවීය සම්බන්ධතාවය ඉතා සංකීර්ණ මට්ටමකට රැගෙන ආවේය. එය දැක කලාපයේ අනෙක් රටවල් පවා වික්ෂිප්ත වූ බව බොහෝ දෙනෙක් දන්නා කාරණයකි.

අද දින “සවුත් චයිනා මෝර්නින් පොස්ට්” පුවත්පතේ කතු වැකිය මාර්ගයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම රතු එළිය ලබා දීමට චීනය කටයුතු කොට ඇත. හොං කොං සිට පළ කරණ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන මෙම පුවත්පත කාලාන්තරයක් තිස්සේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වඩාත් වැදගත් මෙහෙයක් කළ පුවත්පතක් විය. චීන මධ්‍යම ආණ්ඩුවෙන් එල්ල වූ අනවරත මැදිහත්වීම් මධ්‍යයේ ඊට එරෙහිව ස්වාධීන මාධ්‍ය කලාවක් පවත්වාගෙන යෑමට මෙම පුවත්පත සමත් විය.

විශේෂයෙන් 1997 දී බ්‍රිතාන්‍ය විසින් හොං කොං විශේෂ පරිපාලන ඒකකය චීනය බාරයට දීමෙන් පසුද එම තත්වය වසර කිහිපයක් තිස්සේ එලෙසම පැවැත්වුණි. මේ නිසා චීන පරිපාලන ශෛල්‍යට එරෙහිව කටයුතු කරණ බොහොමයක් ක්‍රියාධරයින් තම සුරැකුම් ස්ථානය ලෙස තෝරා ගත්තේ හොං කොං විශේෂ පරිපාලන ඒකකයයි. මෙම පුවත්පතද ඔවුහු වෙනුවෙන් ඍජුව පෙනී සිටියේය. 

නමුත් 2000 වසර මුල්භාගය වන විට මෙම තත්වය ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගත්තේය. චීන මධ්‍යම ආණ්ඩුව හොං කොංහී පරිපාලනය ගැන සැක සංකා ඇතිකර ගැනීම උග්‍ර කරනු ලබන්නේ මෙම කාලය තුළදී බව ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලිව දක්නට ලැබෙන කාරණයකි. ඒ අනුව බොහොමයක් ව්‍යාපාර , මෙන්ම පරිපාලන ව්‍යුහය තුළ ක්‍රියාත්මක වන බොහොමයක් තැන් සම්බන්ධයෙන් සිදුකරන නිරීක්ෂණය පුළුල් කිරීමට චීන මධ්‍යම ආණ්ඩුව කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය.

හොං කොං සිට මුද්‍රණය කොට බෙදා හරින “සවුත් චයිනා මෝර්නින් පොස්ට්” පුවත්පතේ ජනමාධ්‍ය කලාව වෙනස් වන්නේද මේ අනුවය. වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන කතෘ ධූරය සඳහා ඉංග්‍රීසී ජාතිකයෙකු පත් වූ අතර එය පසුව වෙනස් කිරීමට පාලනාධිකාරිය කටයුතු කරනු ලැබීය. එහි සරල ඉතිහාසය මෙයයි.

පුවත්පත ආරම්භ වන්නේ 1903 දී එස්.සී.එම්.පී. ග්රූප් සමාගම විසිනි . ඉන් පසු 1971 දී එහි කොටස් විකුණනු ලැබීය. ප්‍රකට ඕස්ට්‍රේලියානු ඇමෙරිකානු  ව්‍යාපාරිකයකු වන කීත් රපර්ට් මඩොක් විසින් එය පෞද්ගලීකරණය කරනු ලබන්නේ 1987 දීය. 1990දී යලිත් එහි කොටස් විකුණා දමන අතර ආසියාවේ සීනී රජා ලෙස හැදින්වෙන කුඔක් පවුල අදාළ පුවත්පතට තම අවධානය යොමුකරන්නේ මේ කාලයේදීය. ඒ අනුව 1993 දී එහි කොටස් සීයට 34.9 ක අයිතිකරු වන්නේ මෙම කෙරී ග්රූප් හී හිමිකරු වූ රොබර්ට් කුඔක්ය. එහි ප්‍රතිපලය ලෙස රොබර්ට් කුඔක්ගේ  පුත්‍රයා වන කුඔක් ඊන් එහි ප්‍රධානීයා බවට පත් වේ.    2008 දී ඉතිරි වී තිබු කොටස් වලින් සීයට 30ක් තමන්ට එකතු කර ගැනීමට කුඔක් සමත් විය. ඉන් පසු පුවත්පතේ සම්පූර්ණ බලය හිමි කර ගැනීමට කුඔක් පවුල සමත් විය.

සිරිසේන කන්න දුන්න අත හපා නොකෑ යුතුය - කතුවැකිය ( SCMP )
රොබර්ට් කුඔක් යනු මැලේසියානු - චීන සම්භවයක් ඇති ධන කුවේරයෙකි. අමෙරිකානු ඩොලර් බිලියන 10.5 ක වත්කමකට හිමිකම් කියන මොහු, මැලේසියාවේ සිටින පළමු ධනවතා මෙන්ම ගිනිකොණදිග ආසියාවේ සිටින දෙවැනි ධනවත්ම පුද්ගලයා වේ. මැලේසියාවේ සීනී වෙළඳපොලේ බලය ඔහු සතුවන අතර  එහි 80%ක බලය ඔහුට හිමි බව සැලකේ. ටොන් මිලියන 1.5 ක් වන ඔහුගේ සීනී නිෂ්පාදනය ලෝක සීනී වෙළඳපොළේ සීයට10ක් යැයි කියනු ලැබේ.

තම ව්‍යාපාරික කටයුතු වල ප්‍රධාන සංදිස්ථානයක් ලෙස ඔහු, 1971 දී සිංගපූරුවේදී  ශාන්ග්‍රී-ලා හෝටල් සමූහය ආරම්භ කරනු ලබයි. ඉන්පසු 1977 දී පළමුවරට හොං කොං වෙත පැමිණීමේ මුලික අරමුණ ලෙස සඳහන් වන්නේද තම  ශාන්ග්‍රී-ලා හෝටලයේ ශාඛාවක් ඉදිකිරීමටය. ඒ අනුව කවුලූන් ශාන්ග්‍රී-ලා ආරම්භ වේ. 1993දී එස්.සී.එම්.පී. ග්රූප් සතු කොටස් මිලදී ගන්නේ ඉන් පසුවය.

ගිනිකොණ දිග ආසියාවේ රටවල් රැසක් මොහුට අයත් ව්‍යාපාර රැසක් පවතින අතර චීනය තුළද සමාගම් රාශියක් ඇත. බීජින් හී පිහිටි බීජින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හිමිකරු වන්නේ ඔහුය. එබැවින් චීන ආණ්ඩුව සමඟ ඇති සම්බන්ධය තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නැත. 



වැන් ශියන්වෙයි

මේ අතර  “සවුත් චයිනා මෝර්නින් පොස්ට්” පුවත්පතේ කතුවරයා ලෙස වැන් ශියන්වෙයි පත්වන්නේය. ඒ 2012 පෙබරවාරී මාසයේදීය. මෙම කතුවරයා වසර 20 ක් චයිනා ඩේලි හෙවත් චීන ආණ්ඩුවේ ප්‍රධාන පුවත්පතේ සේවය කොට ඇත.  ඉන් පසු 1993  හොං කොං ප්‍රදේශයට පැමිණීමට පෙර ඔහු එක්සත් රාජධානියට යන අතර එහිදී ඉතා කෙටි කාලයක් බී. බී. සී. චීන සේවයේ කටයුතු කළ බව පැවසේ. ඉන් පසු 1996 දී “සවුත් චයිනා මෝර්නින් පොස්ට්” පුවත්පතේ ව්‍යාපාරික වාර්තාකරුවෙකු ලෙස තම කටයුතු ආරම්භ කරයි. කතුවරයෙකු සහ නයෝජය කතුවරයෙකු ලෙස සේවය කළ හෙතම 2012 දී පුවත්පතේ ප්‍රධාන කතුවරයා බවට පත්වන්නේය.  චීනයේ ( මේන් ලෑන්ඩ් චයිනා) හී උපත ලැබූ අයෙකු මෙම තනතුරට පත් වූයේ ප්‍රථම වතාවට වේ. වඩාත් වැදගත කාරණය වන්නේ  ශියන්වෙයි චීනයේ මහජන දේශපාලන උපදේශක කොංග්‍රසයේ සාමාජිකයෙකු වීමය.

ඔහු චීන මධ්‍යම ආණ්ඩුවට ඉතා කුළුපඟ අයෙකු ලෙස කටයුතු කරණ බව හොං කොං හී වෙසෙන බොහොමයක්  දෙනෙකු පමණක් නොව එම පුවත්පතේ සේවය කරණ ඇතැම් කතුවරුන් පවා එල්ල කරණ චෝදනාවකි. චීනය විවේචනය කෙරන කිසිඳු පුවතක් පළකිරීමෙන් ඔහු වැළකී සිටීම සහ චීන ආණ්ඩුව විවේචනය කළ තීරු ලිපි රචකයින් ගෙදර යැවීම ඔහු යටතේ සිදුවිය.

මොහුගේ චීන පක්ෂපාතීත්වය 2012 ජුනි මාසයේදී ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමකින් වඩාත් ප්‍රචලිත විය. 1989 දී තින්නමන් චතුරශ්‍රයේ සිදුවූයේ යැයි කියන සංහාරයට එරහිව කටයුතු කළ ලී වැන්ග්යන්ග්, ප්‍රතිකාර ලබමින් සිටි හුනාන්  රෝහලේදී හදිසියේ ගෙල වැලලාගෙන මිය ගියේය. එය බොහෝ දෙනකුගේ සැක සංකාවට හේතු විය. බොහෝ  දෙනෙකු විශ්වාස කරනු ලැබුවේ ඔහුට ගෙල වැළලාගැනීමට බල කරනු ලැබූ බව හෝ මරා දැමීමෙන් පසු ඔහු එල්ලා දැමූ බවයි. 

අදාළ පුවතට වැඩි ප්‍රචාරයක් ලබා දිය යුතු බව පුවත්පතේ පුවත් කතුවරයා තීරණය කොට මුද්‍රණයට නිර්දේශ කරනු ලැබීය. නමුත් පුවතට නිර්දේශ කළ ඉඩ ලැබී නොතිබුණි. එය ප්‍රශ්න කළ අවස්ථාවේදී, ප්‍රධාන කතුවරයා කියා සිටියේ, එය තමන් තීරණය කළ බවත් තමන් පළ කරන්නේ තමන්ට අවශ්‍ය දෑ යැයි කියාය. එසේම ඔබ ඊට අකමැතිනම් හෝ පිළිගැනීමට සූදානම් නැත්නම් කළ යුත්තේ කුමද යන්න ඔබ දන්නේය, යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 112 ක් පැරණි පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරන ශියන්වෙයි, මේ ආකාරයෙන් හැසිරීම ගැන බොහොමයක් සංවිධානවල කනසල්ලට හේතු වී ඇත. නමුත් එක් දෙයක් පැහැදිලිය. ඔහු වක්‍රව සඳහන් කරනු ලබන්නේ චීන මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය දෙයයි.

ජනාධිපති මෛත්‍රිපාල පත්වීම චීන ආණ්ඩුවේ පුදුමයට හේතු බව පැහැදිලිය. එසේම හිටපු ජනාධිපතිවරයා යටතේ සිදු වූ බොහොමයක් දෑ වල අනාගතය ගැන චීන ආණ්ඩුවට විශාල ප්‍රහේළිකාවක් තිබේ. මේ නිසා, “සිරිසේන කන්න දුන්න අත හපා නොකෑ යුතුය,” යැයි බරපතළ මාතෘකාවක් ලබාදෙමින් ශියන්වෙයි ලියා ඇති කතුවැකියේ ඇති දේශපාලන සහා ආරථික වැදගත්කම තේරුම් ගැනීම අපහසු නැත.

කතුවැකියට අනුව චීනය විශාල ලෙස ලංකාවට උදව් කොට ඇත. වරායන්, ගුවන් තොටුපළවල් ආදීය මෙන්ම ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂ දායකත්වයක් ලබා දී ඇත. එසේම, ජනාධිපති මෛත්‍රී ඒවාට කැමැත්තෙන් නොසිටිබවත්, එමඟින් එක පවුලක් පොහොසත් වූ බව ඔහු සිතන බවත් අදාළ කතු වැකිය කියන්නේය. ඒ ගැන පරීක්ෂණ පවත්වන බව නවරජය කියන බව සඳහන් කරණ කතුවරයා, අත්සන් කරනු ලැබූ අදාළ ගිවිසුම් පූජනීය ලෙස සැලකිය යුතු බව අවධාරණය කරනු ලබයි.

“සිරිසේනට බලය දුන්නේ පාලනයට, නමුත් ඔහු ඔහුගේ අරමුණු ගැන යථාර්ථවාදී විය යුතුයි”, ශියන්වෙයි තම කතුවැකිය අවසන් කරන්නේ එලෙසය.

මීට ප්‍රතිචාරයක් ලංකා ආණ්ඩුවෙන් පළවීමට නියමිත දැයි නොදනිමි. නමුත් මින් ලංකා ආණ්ඩුවට මෙන්ම නායකයාට සිදු කොට ඇති වක්‍රාකාර ආයාචනය මෙන්ම රෞද්‍ර බලපෑම සුළුපටු නොවේ. එය යමක් අහිමි වී යැයි පසුවන බිය නිසා ලිය වූ දෙයක් යැයි සරලව තේරුම් ගැනීමට නොහැකිය.

මෛත්‍රී : සැබෑ රාජ්‍යතන්ත්‍රඥයා

සැබෑ රාජ්‍යතන්ත්‍රඥයකයා සතුරාගේ කඳුළු සලන හෝරාව ගැන මනා අවබෝධයෙන් පසු වීම අතිශය වැදගත් වේ.  රටේ දේශපාලන අතකොළුවක් බවට පත්කොට ඇති නීති රාමුව සෑම අයෙකුටම පොදු රාමුවක් බව හඳුනාගෙන ඊට අව්‍යාජව කටයුතු කිරීමට හැකි ශක්තිය සහ බලය ලබා දීම මේ මොහොතේ රට හමුවේ ඇති මූලික අභියෝගය වේ.
| නිලන්ත ඉලංගමුව

අපේ මිනිසුන් සැබෑ රාජ්‍යතන්ත්‍රඥයෙක් තෝරාගෙන සිටිති. ඔහු පෙරේදා තම රාජකාරී කටයුතු ආරම්භ කළේය. දශක ගණනාවකට පසු ශ්‍රී ලාංකිකයෝ තම තෝරගැනීම නිවැරදිව කොට ඇත. මෙය සැබවින්ම පැසසිය යුතු කාරණයකි. මෙම ඉවසිලිවන්ත මිනිසා රාජ්‍යතන්ත්‍රඥයෙකි.  එසේම ඉතාම කලාතුරකින් පමණක් හමුවන සැබෑ මිනිසෙකි. ස්වභාවික නීතිය අනුව ඔහු ජයග්‍රහණ කළ යුතු බව එකල සිටම මා හට පෞද්ගලික විශ්වාසයක් තිබුණු අතර එය ඒ ආකාරයෙන්ම සිදු විය. මෙම ජයග්‍රහණය රැකගැනීම සහ මනා නිරීක්ෂණයකට ලක් කිරීම මීළඟ සැබෑ අභියෝගය වේ.

අපි තව දුරටත් පැස්බරාගේ න්‍යාය අනුගමනය කළයුතු ජාතියක් නොව, ලෝකය හමුවේ අභිමානවත්ව සහ ගරුත්වයකින් යුතුව නැගී සිටීමට හැකි ජාතියක් බව ඔප්පු කොට ඇත. ඊට අවශ්‍ය නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගෙන ඇත. මෙහි ඇති වඩාත්ම වැදගත් කාරණය වූ කලී ඔහුට දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ විශාල සහයෝගයක් ලැබීමය.

 මෙම නායකයා තමන්ගේ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරමින් සිටින බව කීමට තරම් ඉක්මන් නොවුණද ඔහු ගැන යම් විශ්වාසයක් තැබිය හැකිය. අනෙක් පුද්ගලියින් මෙන් ඔහුද සාමන්‍ය මිනිසෙකු නිසා ඔහුට සියලුම දේ එක රැයකින් කළ නොහැකිය. නමුත් අත්‍යවශය වන ආකල්පමීය වෙනසක් ඇති කිරීමට හෝ හෙතම තමන්ගේ මුලික දායකත්වය ඉතා කෙටිකාලයකදී ලබා දෙනු ඇත. මෙය කාලීන අවශ්‍යතාවයකි.

මෙය ආශ්චර්යක්, ප්‍රාතිහාරයක් හෝ වෙනයම් ආකාරයක බහුභූත බලවේගයකින් කළ නිර්මාණයක් නොවේ. මන්ද ඔහු සේම ඔහු තෝරාගත් මිනිසුන් සේම ඔහු තෝරාගැනීම සඳහා සැබෑ ලෙස වෙහෙස මහන්සි වූ මිනිසුන් යකුන් වැන්දේ නැත. අන්ධ විශ්වාස මත පිහිටා කටයුතු කළේද නැත.  මෛත්‍රීගේ ජයග්‍රහණය වූ කලී වේදනාවේ ප්‍රකාශනයකි.

මෙය පුද්ගලියින් ඉතා අතලොස්සකින් ආරම්භ වූ මහත් දුෂ්කර වෑයමක ප්‍රතිඵලයකි. නමුත් ජයග්‍රහණයෙන් පසු ඊට හවුල් වීමට සහ තමන්ගේ “කැපවීම” සඳහන් කොට කුමන හෝ වාසියක් ලබා ගැනීමට දහස් ගණනක් සම්බන්ධ වේ. එය මිනිස් ස්වභාවයයි. එවැනි දෑ දෙස සානූකම්පිතව බැලීම හැර වෙනත් දෙයක් නැත. එවැනි දෑ මඟින් කියා පාන්නේ තම පෞද්ගලික අනාරක්ෂාව සහ අසරණ කමයි.

කෙසේ වෙතත්, පවතින තත්වය දැක ඊට නිවැරදිව ආමන්ත්‍රණය කොට ජයග්‍රහණය කිරීමේ කෞශල්‍ය මෛත්‍රීට තිබුණි. එසේම ඔහුට සහය දුන් කණ්ඩායම බුද්ධිමත්ව හැසිරුණි. ලෝකයම “පුදුමයට” පත්කරමින්, රට හමුවේ මැනිය නොහැකි අධිකාරියක් තනාගෙන සිටි එක පවුලක්, තවත් එක පවුලක් පමණක් බවට එක රැයකින් පත් විය.

කෙසේ වෙතත් රාජපක්ෂගේ දේශපාලනය වූ කලී තනි පුද්ගල වෑයමක් පමණක් නොව එය සමාජ ක්‍රමයේ නිෂ්පන්නයකි. මීට ඉහතදීද මා සඳහන් කළ පරිදි එය වූ කලී, රෝගය නොව රෝග ලක්ෂණයකි.

මේ වන විට එක් රෝග ලක්ෂණයක් නීතිමය වශයෙන් පරාජය කොට ඇත. දැන් ඇත්තේ රෝගය සුවපත් කිරීම සඳහා කඩිනම් සහ විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙලක් ආරම්භ කිරීමය. එය අතිශය සංකීරණ ක්‍රියාවලියකි. ඊට අවශ්‍ය දේශපාලන ආර්ථික මෙන්ම සමාජීය ඥානය මෙන්ම පිටකොන්ද ඇති පිරිස් නිවැරදිව තමන්ගේ පාලනයට හවුල් කර ගැනීමේ ශක්තිය වත්මන් පාලනාධිකාරියට තිබේනම්, එවැනි දෑ ජය ගැනීම එතරම් දුෂ්කර කටයුත්තක් නොවනු ඇත.

පසුගිය පාලනයේදී සිටි හොරුන් මෙම පාලනයටද සම්බන්ධ වී ඇති බව දැනටමත් නැගෙන චෝදනාවකි. රාජපක්ෂ පරිපාලනය තුළ පමණක් නොව, ඊට පෙර සිටම මංකොල්ලකාරීන් සිටියහ. එසේම රාජ්‍ය සංස්ථා තුළ දුෂිතයින් සිටියහ. රාජපක්ෂ පාලනයේදී සිදු වූයේ එය වඩාත් විනිවිදව මතුපිටට පැමිණීමය. රාජපක්ෂද තම අධිකාරිය ව්‍යාප්ත කරනු ලැබුවේ තම හොරාකෑමට අවශ්‍ය පරිසරය සහ නිදහස නිර්මාණය කරමිනි. 

සැබවින්ම මෙහි ඇති ගැටලුව වන්නේ හොරුන් සම්බන්ධ වීම නොවේ. පාලකයාට තමන්ට සම්බන්ධ වී සිටින්නේ හොරෙක්ය යන නිවැරදි අවබෝධය ඇතිතාක් දුරට හොරුන්ව පාලනය කළ හැකි ඥානය පහල වේ. නමුත් හොරා තවදුරටත් හොරකු නොව, මොහු තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සහයෝගය දක්වන “දේශප්‍රේමියෙක්ය”, යන අධිවිනිශ්චයට පැමිණෙන මොහොත උදා වන්නේද; තමන්ගේ විනාශය පටන් ගන්නේ එතැනදීය.

නමුත් හොරාගෙන් හැකිපමණ රටට අවශ්‍ය කටයුතු පූර්ණ ස්වාධීන අධීක්ෂණයක් යටතේ සිදුකරන තාක් දුරට සහ ඊට අවශ්‍ය ස්වාධීන සහ කශේරුකාවක් ඇති ස්වාධීන ආයතන පිහිටුවීමට වීමට හැකිනම් එය දීර්ඝ කාලීන යහපත උදා කරන්නේය.

මේ අතරතුරේදී ඉතා වැදගත් වන්නේ මෙම හොරුන් වෙනත් ස්වාධීන මාධ්‍යන් ඔස්සේ හෙළිදරව් කිරීමට අවශ්‍ය මාධ්‍ය නිදහස මාධ්‍යවේදීන් ලබා ගැනීමය. එලෙස හෙළිදරව් කිරීමෙන් ඇතිකරන “සමාජීය ලැජ්ජාව” වඩා පුළුල් එකක් සේම රටේ ජනතාවට එමඟින් මනා විනිශ්චයකට එළඹීමට අවස්ථාව සැලසේ.  යමක් නිවැරදිව හෙළි වූ පසු එහි පැවැත්ම රඳා පවතින්නේ සත්‍ය මත සහ රටේ ක්‍රියාත්මක වන නීති රාමුව මතය.

හොරුන්ගේ ඉතිහාසය සාක්ෂි සමඟ ඔප්පු වූ පසු එහි මීළඟ වගකීම පැවරෙන්නේ රටේ අධිකරණ ක්‍රමයටය. එය ස්වාධීන කිරීම සහ දේශපාලනයෙන් ඈත්කොට තැබීම මඟින් එය කළ හැකිය. ලංකාව මුහුණ දී ඇති තත්වය අනුව එහි පළමු පියවර වූ කලී මේ වන විට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන මොහොන් පීරිස් වහාම ඉන් ඉන් ඉවත් කිරීමය. මන්ද මෙම අගවිනිසුරුවරයා පමණක් නොව ඔහු එම තනතුරට පත් කළ සම්පූර්ණ ක්‍රියාවලීයම ජාත්‍යන්තර උදහසට ලක් වූ කාරණයක් හෙයිණි. එමඟින් සුවිශාල ලැජ්ජාවක් රටට හිමි විය.

ඔහු විසින් කුමන එකඟතාවයකට පැමිණියද, මෙම තනතුර දැරීම සඳහා වත්මන් දේශපාලනික වටපිටාව යටතේ ඔහු සුදුස්සෙකු නොවේ. සැබවින්ම මෙම කාරණය හෙතම තේරුම්ගත යුතු නමුත්, ඔහු එලෙස නොකරන්නේ නම් ඔහු ඉන් ඉවත් කිරීම සඳහා සදාචාරත්මක අයිතියක් රටේ ජනතාවට තිබේ. 

ආයතනික ව්‍යුහය අප්‍රසන්න ලෙස වණවී ඇති රාජ්‍යකට යළි නැගිටීමට අවශ්‍යවන්නේ විනයානූකූල කලාවක් මිස, පෙර පැවති ක්‍රමයේ කුණු කන්දල් වැසෙන සේ මතුපිට තලය ඔපවත් කිරීම නොවේ. ජනාධිපති මෛත්‍රී පමණක් නොව මේ වන විට රටේ බර කරට ගෙන සිටින සියලුම දෙනා මෙම මූලධර්මය අවබෝධයේ තබා  ගැනීම අතිශය වැදගත් වේ.

ගැඹුරට විහිදී ගිය වේදනාවක්, ජයග්‍රහණයේ සතුටෙන් ඇතිකරන මත්වීම මඟින් යටපත් කළ නොහැකිය. එවැනි වේදනාවක් හඳුනාගත හැක්කේ සැබෑ රාජ්‍යතන්ත්‍රඥයෙකුට පමණි. ලංකාව තුළ මේවන විට ඇති වී ඇති දේශපාලන පෙරළිය හමුවේ සිදු ඇත්තේ එයයි.

වසර හතලික් තිස්සේ ආපස්සට ඇදුනු රටක් යළි සකස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළ හැක්කේද එවැනි සැබෑ රාජ්‍යතන්ත්‍රඥයෙකුටය. කෙසේ වෙතත් හෙතම ප්‍රවේශම් විය යුත්තේ ඔහු වටා පසුව ඒකාරාශී වන අයවලුන්ගෙන් සහ ඔහුව අනවශ්‍ය ලෙස වර්ණනාකොට තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සහ දරන අයවලුන්ගෙනි.

වරක් හිටපු ජනාධිපතිවරයා බුදුන්ගේ ඥාතියෙක් පවා කීමට තරම් මෙරට බිහි වූ පිරිස් කටයුතු කළහ. රාජපක්ෂ ජනාධිපතිවරයා ගොනාට ඇන්දවීම ඉතා පහසු කාර්යක් විය. මන්ද ඔහුද එවැන්නක් බලාපොරොත්තු විය. එවැනිම ගුණ වැයීම් ඉදිරියේදී නව ආකාරයකින් ආරම්භ වනු ඇත. රටේ ප්‍රධාන පෙළේ මාධ්‍යන් වල ඇත්තේ මාධ්‍ය කලාවක් නොව බලය ඇත්තා සතුටු කළ හැකි ආකාරය පිළිබඳව වූ තරගයකි. එමඟින් රටකට ඇති කොට ඇති හානීය සුළුපටු නොවේ. එය පුද්ගලයින් පණපිටින් ඝාතනය කොට ඇත. ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව බාල්දු කොට ඇත. ආත්මාභිමානය වෙනුවට හීනමානය සහ අනාරක්ෂාව මෙන්ම අනෙකාට ඉදිරියට ඒමට ඇති ඉඩකඩ ඇහිරීම සිදු කොට ඇත.

සැබවින්ම මෙවැනි දෑ රෝගී සමාජයන් වල ලක්ෂණ වේ. මෙවැනි දෑ නැසිය හැකි එකම වැඩපිළිවෙල වන්නේ නිදහස වූ කලී කුමක්ද යන්න තේරුම් ගැනීමට ඉඩ දීමෙනි.බලය හමුවේ තම පැවැත්ම තහවුරුකර ගැනීම සඳහා දනින් වැටීමෙන් එය කළ නොහැකිය.  මෙය වෙනස් කිරීම සඳහා සෑම දෙනෙකුම කළ යුතු මූලික කාර්යක් තිබේ. එය සිදු නොවුන් හොත් යළිත් මෙරට මාධ්‍ය මෙන්ම සමස්ථ සමාජය ජනාධිපති මෛත්‍රීද රජෙකු බවට පත්කරනු ඇත. එම මොහොත විසින් මේවන විට ඉස්මතු වී ඇති අවස්ථා සියල්ලම යළිත් යටපත් වනු ඇත. 

එබැවින් සංස්කෘතික වෙනසක් සඳහා වූ මූලික වැඩපිළිවෙල සකස් වී ඇත්තේ පුද්ගලියින් තනි තනිව ගන්නා ස්වාධීන තීන්දු තීරණ වලින් සහ එම තීන්දු සමස්ථ සමාජය සමඟ මුහු කොට ඇතිකරගන්නා පොදු එකඟතාවයන් මගිනි.

එම පොදු එකඟතාවයන්වල ඇති හරය තේරුම් ගැනීම සහ ඒ අනුව කටයුතු කිරීමේ ඥානය පහල වන්නේ සැබෑ රාජ්‍යතන්ත්‍රඥයෙකුට පමණි. ජනාධිපති මෛත්‍රී එය රට හමුවේ ඔප්පු කළ යුතුව ඇත. 

සැබෑ රාජ්‍යතන්ත්‍රඥයකයා සතුරාගේ කඳුළු සලන හෝරාව ගැන මනා අවබෝධයෙන් පසු වීම අතිශය වැදගත් වේ.  රටේ දේශපාලන අතකොළුවක් බවට පත්කොට ඇති නීති රාමුව සෑම අයෙකුටම පොදු රාමුවක් බව හඳුනාගෙන ඊට අව්‍යාජව කටයුතු කිරීමට හැකි ශක්තිය සහ බලය ලබා දීම මේ මොහොතේ රට හමුවේ ඇති මූලික අභියෝගය වේ. 

චන්ද්‍රිකාගේ සැබෑ සටන ඇරඹේ

චන්ද්‍රිකාගේ මෙම සටන හරියට වැඩ කළොත් රාජපක්ෂලාට මීළඟ මැතිවරණය සඳහා එක්කෝ  සාටකය ඡන්ද ලකුණ ලෙස ගනිමින් “ඥාති සංග්‍රහය සහ කල්ලිවාදය සඳහා වූ මැදමුලන පෙරමුණ” බිහි කර ගත හැකිය.  උතුරේ සංවිධායකයා ලෙස කේ. පී. මෙන්ම නැගෙනහිර සංවිධායක කරුණා නම් කර ගත හැකිය.

එසේ නොවුණ හොත්, විමල් වීරවංශගේ පක්ෂයට හෝ හෙළ උරුමයේ මුසිලයා විසින් තනාගත් “පිවිතුරු” පක්ෂයට සම්බන්ධ වී නව චිනත්නයක් තනා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කළ හැකිය
.
| නිලන්ත ඉලංගමුව

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමන්ගේ පියාගේ ජනම දිනයේදී තම සැබෑ ශක්තිය පෙන්නුවාය. ඇය නිවැරදි පුද්ගලයා සහ කණ්ඩායම තෝරා ගෙන තම හැකියාව යළිත් පෙන්නුවේය. නමුත් සැබෑ සටන ආරම්භ වූවා පමණි. ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගලවා ගැනීම පිළිබඳව වූ සටනයි. එය මීළඟ මහා මැතිවරණයට පෙර එනම් ඊට දින යෝජනා වීමටත් පෙර සිදු විය යුතුව ඇත. හිටපු ජනධිපතිවරයා තාවකාලිකව විදෙස් ගත වීමේ සම්භාවිතාවක් තිබුණද, ඔහු රට හැර නොයනු ඇත. එවැනි මුලාවන් ඇති කරගත නොහේ.

මීළඟ මහා මැතිවරණය මෙවර ජනාධිපතිවරණය මෙන්ම ඉතා තීරණාත්මක බව සැබෑය. හිටපු ජනාධිපතිවරයා බැරිම තැන පල්ලම් බසිනු ලැබුවේ එම කාරණය අරමුණු කරගෙනය. දැන් ඇත්තේ ඔහුගේ මීළඟ වෑයම පරාජය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන ඥානය තාර්කිකව, බුද්ධිමත්ව මෙන්ම නීත්‍යානූකූලව භාවිතා කිරීමය. එහි යහපත සිදුවන්නේ චන්ද්‍රිකාට පමණක් නොවේ. රටේ දේශපාලන බලතුලනය සඳහා මෙන්ම නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා එය අතිශය වැදගත් වේ.

මීළඟ මහමැතිවරණයට මුහුණ දීම සඳහා දකුණේ සැදිය යුතු දේශපාලන බලඇණි වල නිශ්චිත අරමුණක් සෑම දෙනෙකුටම තිබිය යුතුව ඇත.ඒ සියල්ලටම පෙර වඩාත් වැදගත්වන්නේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයයි. එහි වත්මන් සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා තවමත් කටයුතු කරණ බව සැබෑය. ඊට අවේණික ව්‍යවස්ථාවක් තිබේ. එසේම සභාපතිවරයාටඑම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නොහැකිය. මුල්‍යමය හෝ වෙනත් කාරණයක් කරණකොට ගෙන එසේ සිදුවී ඇත්තේ නම් අරගලය ආරම්භ විය හැක්කේ එතැනිනි.

විශේෂයෙන් රටේ අපරාධ රැසකට ඍජුව වගකිව යුතු ත්‍රස්තවාදියෙකු වූ කරුණා, පුනරුත්ථාපනය කොට වෛද්‍යවරයෙකුගෙන් සහතිකයක් ගැනීම නොසලකා හරිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙක් ලෙස පත් කිරීමට හැකියාවක් තිබේද? මතු කළ හැකි කාරණා රාශියක් ඇති බව සියල්ලෝම දනිති.

එසේම පක්ෂය තුළ සහ පක්ෂයෙන් පිටත අදාළ සභාපතිවරයාට එරෙහිව විශාල බල මුළුවක් තිබේ. ඇමෙරිකානු පුරවැසියෙකු වන එහි භාණ්ඩාගාරික ලෙස කටයුතු කරණ චරිතය සම්බන්ධයෙන් සලකා බැලීම මෙන්ම පක්ෂය තුළ වසර දහයක් පුරා සිදු වූ අත්තනෝමතික කටයුතු, ආදී රටේ සැබෑ දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීම මෙම අවස්ථාවේදී රට හමුවේ ඇති සැබෑ අභියෝගය වේ.

මෙය සැබවින්ම සටනකි. අද දින සන්ධානයේ මන්ත්‍රීවරුන් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී පැහැදිලි වූ ඉතා  වැදගත් කාරණයක් වන්නේ, ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වෙනසක් වීමට දක්වන කැමැත්තය. නමුත් පක්ෂ තුළ වෙනසක් සිදු කිරීමටනම්, එය චන්ද්‍රිකාට පමණක් කළ නොහැකිය. එය සිදු කිරීම සඳහා ඇය සමඟ සිට ගත යුතු විශාල පිරිසක් සිටිය යුත්තේය. එසේම පක්ෂයේ තරුණ බලවේග රාජපක්ෂ පවුල වටා ගෙතුණු ගූඪ කඳවුරක් පමණක් වී ඇත. එයද ඉන් ගලවාගත යුතුව ඇත. ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලන පක්ෂයක් ලෙස මීළඟ මහා මැතිවරණයට මුහුණ දිය හැකිය. එසේ සිදු නොවුණ හොත් පල්ලම් බැස ගිය යකුන් යළිත් තම වන්නම නැටීම ආරම්භ කරනු ඇත. එය පෙරදාට වඩා දරුණු කටයුත්තක් වනු නියතය.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ පැන යෑමට සැරසෙන හොරුන් සහ මේ වන විටත් වෙස්මාරු කරගෙන සිටින හොරුන් පිළිබඳව කටයුතු කිරීමට තම කශේරුකාව ශක්තිමත් කර ගැනීමය. ඔවුහු රටේ ගරුත්වය කෙළසමින් උපයාගත් ධනය රාජ්‍ය සතු විය යුතු ධනයයි. එය සතුවිය යුත්තේ ලෝකයට ණයකාර වී සිටින මෙම රටේ මිනිසුන්ටය.

දේශපාලන පක්ෂ ගොඩ නැගීමට පමණක් නොව රටේ සියලුම ගැටලු විසඳා ගැනීමට අපට අවශ්‍ය මානව සම්පත් තිබේ. එම සම්පත් සොයා ගැනීම ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පාලකයාගේ අව්‍යාජ වුමනාවන් මත රඳා පවතින දෙයකි. වරක් ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් කියා සිටියේ,. තමන්ගේ පාලනයේ ඇති දක්ෂ කමට හේතුව තමන් සතු අසාමාන්‍ය බලයක් හෝ වෙන කිසිවක් නොව, මන්ද එවැන්නක් නැති හෙයිනි. තමන්ගේ පාලනයේ සාර්ථකත්වයට හේතුව විෂය දන්නා මිනිසුන් සහ ජාතියේ අව්‍යාජ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ගැනීමට වුවමනාවක් ඇති මිනිසුන් නිවැරදිව හඳුනා ගැනීමට තමන්ට තිබු දක්‍ෂකම බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කරනු ලැබුවේ තමන්ගේ පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා  ගැනීමට හැකි එහෙයි කියන අනුගාමිකයින් පිරිසක් තමන් වටා ඒක රාශි කර ගැනීමය. ඔවුන්ට මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය වූයේ රට හැදීමට නොව, මහින්ද රාජපක්ෂ මහතාගේ දුර්වලතා වලින් ප්‍රයෝජනය ගනිමින් තම මඩිය දේශපාලනික හෝ මූල්‍යමය වශයෙන් තරකර ගැනීමය. රාජපක්‍ෂට රට ඉල්ලමක් විය. ඔවුහුට රාජපක්ෂ ඉල්ලමක් විය. මෙය ඊට සම්බන්ධ වූ අයවලුන්ට යළි අවශ්‍ය කර තිබේ. 

හිටපු ඇමතිවරයෙකු වූ විමල් වීරවංශ වැනි අයවලුන් මැතිවරණ පරාජයෙන් පසුත් මතුකරන කාරණය මෙයයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ රාජපක්ෂ යළි ගෙන ඒම සහ රටේ නීත්‍යානූකූලව බහුතරයේ කැමැත්තෙන් පත් වූ නායකයා හෑල්ලුවට ලක් කිරීමය. සැබවින්ම විමල් වීරවංශ වැනි අයවලුන් රටේ අමාත්‍යාංශ භාරව කළ කටයුතු යළිත් පූර්ණ නිරීක්ෂණයකට බදුන් කළ යුතුව ඇත. එම නිරීක්ෂණයන් වල ප්‍රථිපල මත ඉදිරි ක්‍රියාමාර්ග දින සීයට පෙරාතුව ගෙන යුතුව ඇත. එවැනි දෑ වඩාත් කඩිනම් කළ යුතුව ඇත.

මේවන විටත් ඇතැම් කල්ලි රටේ සමඟිය නැතිවන ප්‍රචාර දියත් කරමින් සිටිති. රටේ ජාතිවාදය යළිත් ඇවිස්සීමට මාන බලමින් සිටිති. ආරක්ෂක අංශ අතර අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට අර දරමින් සිටිති. එවැනි අමූලික බොරුවක් ඊයේ දිනයේදීම  මුදා හැරියේය. එනම් යාපනයේ පිහිටි හමුදා කඳවුරුවලට දෙමළ ජනතාව විසින් ගල් ගැසූ බවයි. එය අමූලික බොරුවක් වන අතර ඉන් සිංහල මිනිසුන් අතර අවිශ්වාසයක් ඇති කිරීමට උත්සහ දරණු ලැබීය. මෙවැනි දෑ සැබවින්ම ආරම්භයන් පමණි. ගතවන සෑම මොහොතකම එවැනි කටයුතු විවිධ පාර්ශවයන් විසින් මුදා හරිනු ඇත. එම නිසා රටේ කශේරුකාව එනම් අධිකරණ පද්ධිතියේ ශක්තිය වැඩි කිරීම සහ එය සාමන්‍ය ජනතාවට ලැදි ආයතනික ව්‍යුහයක් බවට පත් කිරීම දේශපාලන සංස්කෘතිය සමඟ බැඳී පවතින හරයාත්මක කරුණු වේ.

එය අපට කළ හැකිය, රාජ්‍ය සේවය ස්වාධීන සේවාවක් කළ හැකි බව සහ ඊට අවශ්‍ය සැබෑ මිනිසුන් අපට සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙන්ම පොලිස්පති ඉලන්කොන් මහතා ඔප්පු කරනු ලැබුවෝය.

සැබෑය, ජයග්‍රහණයට පීතෘ වාරුන් රාශියක් සිටිති. නමුත් එහි සැබෑ ගාමික බලවේග වූ කලී ඉතා සීමිතය. නමුත් ජයගත් පසු ඊට අයිතිවාසිකම් කියන රාශියක් බිහිවීම් සාමන්‍ය පුරුද්දකි. රජයේ මාධ්‍ය මෙන්ම රටේ අනෙකුත් මාධ්‍ය පැය හයක් ඇතුළත වෙනස් වූ ආකාරයෙන්ම එය පෙනේ. ඉන් පෙනී යන්නේ මෙම රටේ ක්ෂේත්‍ර වල පවතින ගැතිකම් කිරීමට ඇති ලැදි බාවයයි.

වත්මන් වටපිටාව තුළ වෘත්තීය ගරුත්වයට වඩා ගැතිකම තම හොරකම සහ අදක්ෂකම සඟවා තබා ගැනීම සඳහා වැදගත් වේ. සංස්කෘතික වශයෙන් මතු වී ඇති මෙම ඛේදජනක ඉරණමට වහා කටයුතු කළ යුතුව ඇත්තෙමු.

මීළඟ මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය සැබෑ දේශපලාන පක්ෂ ලෙස දකුණේ දේශපාලනයට මෙන්ම උතුරේ දේශපාලනයට කතා කළ යුතුව ඇත.

මන්ද රටේ නියම දේශපාලන ව්‍යුහය නීතිගත වන්නේ වත්මන් අන්තර්කාලීන ආණ්ඩුව මඟින් නොවේ. මෙම කාලය තුළ වඩාත් බලවත් වගකීම ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතය. නමුත් රටේ සැබෑ වෙනස නීතිගත වන්නේ මීළඟ පාර්ලිමේන්තු මහමැතිවරණය මඟිනි. දෙමළ ජාතික සන්ධානය මේ වන විටත් තම පදනම සකස් කරගෙන අවසානය. එය මීළඟ මහා මැතිවරණයේදී කඳුරටටත් විහිදී ගියහොත් පුදුමයක් නොවේ.

නමුත් එකස්ටැහැ ජාතික පක්ෂය තුළ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව එම කෞශල්‍ය ඇති නමුත් එය අඩපණ වී තිබේ. තම ශක්තිය යළි ලබා ගැනීමටනම්, මහින්ද රාජපක්ෂ මහතාගේ මීළඟ උපායන් නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වේ.  එහි වගකීම ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වෙත සහ සැබෑ දේශපලන බල තුලනයක් වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවන අයවලුන් වෙතය.

මහින්ද රාජපක්ෂ දුමින්ද සිල්වා සහ අනෙකුත් ඔහුගේ අනුගාමික අයවලූන් සමඟ නව දේශපාලන පක්ෂයක් තනාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරන්නේද? යල් පැනගිය මහින්ද චින්තනයට යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ දේශපාලනය හපා කෑමට ඉඩදෙන්නේද? යන්න රඳා පවතින්නේ චන්ද්‍රිකාගේ මොළය තීරණ ගන්න ආකාරය අනුවය. ඊය ඇයට උදව්වන අව්‍යාජ මිනිසුන්ගේ හැකියාව මතය.

චන්ද්‍රිකාගේ මෙම සටන හරියට වැඩ කළොත් රාජපක්ෂලාට මීළඟ මැතිවරණය සඳහා එක්කෝ  සාටකය ඡන්ද ලකුණ ලෙස ගනිමින් “ඥාති සංග්‍රහය සහ කල්ලිවාදය සඳහා වූ මැදමුලන පෙරමුණ” බිහි කර ගත හැකිය.  උතුරේ සංවිධායකයා ලෙස කේ. පී. මෙන්ම නැගෙනහිර සංවිධායක කරුණා නම් කර ගත හැකිය.

එසේ නොවුණ හොත්, විමල් වීරවංශගේ පක්ෂයට හෝ හෙළ උරුමයේ මුසිලයා විසින් තනාගත් “පිවිතුරු” පක්ෂයට සම්බන්ධ වී නව චිනත්නයක් තනා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කළ හැකිය.

සියල්ල තීරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින දේශපාලන සංස්කෘතිය ගැන සැබෑ වුවමනාවක් ඇති මෙන්ම වගකීමක් කරට ගෙන අවංකව කටයුතු කළ හැකි අයවලුන් ඒක රාශි වී කටයුතු කරණ වේගය අනුවය. එලෙස ඒක රාශි කිරීමට හිටපු ජනාධිපතිවරයාට සහ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවරෙන වගකීම අති විශාලය.

මෛත්‍රී ආගමනය සහ රාජපක්ෂගේ නික්ම යෑම



ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමනි, අනෙකාගේ ගැරහුම සහ අපහස කිරීම් මධ්‍යයේ ලබා ගත් ඔබේ ජයග්‍රහණය පිවිතුරු එකකි. ඔබ සතුව දැන් බලය තිබේ, එය තාවකාලිකය. ඔබ රැක ගත යුත්තේ බලය නොව පවිත්‍ර චරිතයයි. අපේ මාතෘභූමියට සැබෑ නායකයෙකු ලැබීම ගැන ආඩම්බර වීමට හැකි පැරිදි ඔබ හැසිරෙනු ඇතැයි විශ්වාශ කරමු. අපි ඔබට සුභ පතන්නෙමු.
| නිලන්ත ඉලංගමුව

අඳුරු යුගය නිමා වී අභියෝගාත්මක නව යුගයකට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. කාලගුණය මෙන්ම අවට පරිසරය යළිත් නැවුම් වී ඇත.  බලාපොරොත්තු මෙන්ම හීන යළි ඉපදී ඇත. නැවුම් බලාපොරොත්තු වලින් කියැවෙන මීළඟ අභියෝගය වූ කලී ඉපදීමට සිටින දරුවා පවාලක්ෂ හතරකට අධික ණයකාරයෙකු කළ අවභාවිතය විසඳීම සහ අගතියට පත් අහිංසක මිනිසුන්ට සාධාරණය ඉටු කිරීමයි.

සිංහල පමණක් නොව මුස්ලිම් මෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමල වැසියන් තම කැමැත්ත  පළ කරමින් සඳහන් කළේ මෙයයි. ඔවුන්ට එරෙහි අපරාධ කළ වුන් නීතිය හමුවට ගෙන ඒම මෙන්ම , ඔවුන්ගේ ආත්මීය තුවාල සුවපත් කොට ඔවුන්ට ජීවය ලබා දීම ජයග්‍රහණයේ ඇති සැබෑ අභියෝගයයි. එය අපි මීළඟට අතට ගත් යුතු සටනයි.

මැතිවරණය නිමා වී ඇත. අපේක්‍ෂා කළ පරිදිම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වී ඇත. ජයගැනීම වූ කලී විශාල අභියෝගයක් නිවැරදිව කළමනාකරණය කිරීමේ කෞශලයයි. රටේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය කිසිඳු සැකයකින් තොරව සිදුකළ පූර්ව විනිශ්චයන් සහ යාන්ත්‍රිකව ඇතිකිරීමට ගිය මතවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් වී ඇත. ඔවුහු සැබවින්ම මෙහිදී ජාතියට තම අව්‍යාජ කණගාටුව ප්‍රකාශ කළ යුතුව ඇත. මන්ද එය ඔවුන්ගේ රැකියාව රැකගැනීම ගැනීම පිළිබඳ වූ මූලික ගැටලුවක් පමණක් නොව ජාතියක් මුලාවේ හෙලීමට ගත් වෑයමක් පිළිබඳ වන ගැටලුවකි. ඔවුන්ගේ සියලුම සිහින අසාර්ථක වූයේ ඔවුහු සියල්ලටම තමන් ගැන යළිත් සිතා බැලීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරවමිනි. මෙය ඉතා යහපත් සමාජ පෙරළියකි. 

ඒ අනුව,  මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස තෝරා ගෙන තිබේ. මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාව තම දේශපාලන අවකාශය තුළ ලබා ගත් බලවත්ම දේශපාලන තීන්දුව වන්නේ මෙයයි. අභියෝගාත්මක දේශපාලන තීන්දුව වන්නේ මෙයයි.

රාජපක්ෂ මහතා පරාජය වුයේය. ඔහු එය පිළිගත්තේය. එසේම ඔහු තමන්ගේ ධූර කාලය තුළදී කළ සියලුම දෑ වල වගකීම බාරගත යුතුව ඇත. ඔහුගේ සාමකාමී නික්ම යෑම අගය කළ යුතු කාරණයකි. ඔහු එම මොහොතේ හෝ “බුද්ධිමත්ව” හැසිරීම ඔහුගේ මීළඟ පරම්පාරාවේ දේශපලනය වෙනුවෙන් අතිශය වැදගත් වේ. නමුත් ඔහු ජාතිය මතා කතා කොට එය ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබුණේ නම් සැබවින්ම අගය කළ යුතු කාරණයකි.  ඔහු එය ඉදිරියේදී කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

මේ අතර, ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා, ජංගම දුරකතථයට එවනු ලැබූ පණිවිඩයකින් කියනු ලැබුවේ, “ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදයට” තමන් ගරුකරමින් උදව්කළ සැමට සතූතිය පළ කරනු ලබන බවයි. ඔහුගේ කෙටි පණිවිඩය ඉතා ප්‍රභලය.  ඔහුගේ සැබෑ දේශපලාන ගමන ආරම්භ වූවා පමණි. සැබවින්ම ඔහු යායුතු ගමන කෙතරම් දීර්ඝ වුවද ඔහු අතිශය බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත.


ගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාණෙනි, ඔබ ඉතා සාමකාමිව බලය හුවමාරු කරමින්, අවසාන මොහොතේ හෝ ඉතා ගෞරවාන්විත ලෙස හැසිරීම ගැන යළිත් කෘතඥ  වෙමු.ඔබ ඔබේ නික්ම යෑම ගැන ජාතිය ඇමතුවේනම් ආඩම්බර වෙමු.

පරාජය නිල වශයෙන් භාරගැනීමෙන් පසු මහින්ද රාජපාක්ෂ මහතා තම බලය සාමකාමිව භාරදීම සඳහා තීන්දු කළ අතර ඔහු අද උදෑසන අරලියගහ මන්දීරයෙන් නික්ම ගියේය. 2010 මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ගත් වඩාත් ගෞරවනීය මෙන්ම අගය කළ යුතු එකම තීන්දුව වූ කලී මෙයයි. එම තීන්දුව ගැනීමට පෙර ඔහු තමන් විශ්වාසය තබා සිටි සියලු හදි හූනියම් වලින් ඉවත් වූයේනම් ඒ ගැන පුදුමයක් නැත. ඔහුගේ බලය  ව්‍යාකූල කිරීමේ බලවත් කටයුත්තක් කරනු ලැබුවේ එම අන්ධ විශ්වසයන් සහ එමඟින් ප්‍රකොටේ ගණන් හම්බ කළ ඔහුගේ “මිතුරන්ය”.

අවසාන මොහොතේදී හෝ තමන විශ්වාස කළ  එම බමුණු මතවලින් ඉවත් වීම පැසසිය යුතු කාරණයකි. නමුත් ඔහුට විශාල වගකීමක් පැවරේ. වසර 10ක් පුරා සිදුකළ සියලු දේශපාලන කටයුතුවල වගකීම ඔහුට පැවරේ. එසේම ඔහුට අදාළ තීන්දු ගැනීම සඳහා බලපෑම් කරනු ලැබූ සියලුම අයවලුන් සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුකූලව නීතිමය වශයෙන් කටයුතු කිරීම වැදගත් වේ. එම සියලු ක්‍රියාවලීන් ජනතාවට විනිවිධ විය යුතු අතර ඒවා සියල්ලම සෑම දෙනෙකුටම කියවීමට හැකි පරිසරය නිර්මාණය කළ යුතුය. 

මෙය සිදු කිරීමේ ඉතා වැදගත් පියවරක් නම් හිටපු ජනාධිපති රාජපක්ෂ  විසින් අත්තනෝමතිකව අධිකරණ පද්ධතියට කළ අතවරය මැනවින් ලිහා බැලීමය. එනම් ඔහු සිදු කළ පත් වීම් ආදී සියලුම ආකාරයේ දෑ නිවැරදිව ඉතාම කෙටි කාලයක් තුළ බුද්ධිමත්ව විසඳීම වැදගත් වේ.

හෙට නව ජනාධිපතිවරයා දිවුරුම් දීමට නියමිතය. ඉන් පසු අගමැතිවරයා වශයෙන් රනිල් පත්කරමින් නව කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇත. ඒ ඉරිදා දිනයේදීය. ඉන් පසු ජාතික උපදේශ සභාව පත් කරනු ඇත. ජාතික උපදේශක සභාවට සතියක කාලයක් ඇත. එනම් 19 වැනි සඳුදා දිනයේ පාර්ලිමේන්තුව කැඳවනු ඇත.  ඒ ආකාරයේ අප්‍රේල් 20  දක්වා නිශ්චිත න්‍යාය පත්‍රයක් නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තිබේ.

අප්‍රේල් 20 වැනි දින රටේ දශක ගණනාවක් තිස්සේ තිබු දේශපාලන අත්තනෝමතික මූල බීජය හෙවත් නියම හූනියම ඉවත් කිරීමට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟ වී ඇත. ඒ අනුව අප්‍රේල් 20 වැනි දින විධායක ජනාධිපති ධූරය නීතියට යටත් තනතුරක් බවට පත්කරනු ඇත. රටේ ශාපය ඉන් ඉවත්වනු ඇත. රටේ සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන වනු ඇත. මෙම සිදුවීම වූ කලී මා පුරවැසියෙකු ලෙස මේ මාතෘභූමියේදී අත් දකින ඉතා  තීරණාත්මක සහ ප්‍රසංසනීය කටයුත්ත වනු ඇත. 

ඉන් පසු අප්‍රේල් මස 23 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ මහමැතිවරණය කැඳවනු ඇත.  ඉන් දිනන පක්ෂයට මීළඟ ආණ්ඩුව පිහිටුවීමේ වරම් ලැබේ. අගමැතිවරයා විධායකය ලෙස පත්වන අතර ජනාධිපති නාමික විධායකයක් බවට පත්වනු ඇත.

අපේ මාතෘභූමිය තුළ සිදුවන මහා දේශපාලන පෙරළිය මෙයයි. එම ඓතිහාසික මොහොතේදී මෙය දෙස සිහිබුද්ධියෙන් බැලීම අනිවාර්ය වේ. ජයග්‍රහණය වූ කලී සාමුහික කැපකිරීම ප්‍රතිඵලයකි. ඊට බොහෝ දෙනෙකු දායක වූ බව ඉතා පැහැදිලි කාරණයකි.

මෙම අග්‍රගණ්‍ය සාමුහිකත්වය තබා ගැනීමත් පෙර වැරදි වලට රට තල්ලු වීමට ඉඩ නොදීමත් තීරණාත්මක වේ. එසේම නව ආණ්ඩුව තුළ සිටින්නේ මීට පෙර බලය එකවරක් හෝ භාවිතා කළ පිරිස්ය. ඔවුහු ඉතා මැනවින් රටේ සහ ලෝකය සිදුවන්නේ මොනවාද, තමන්ට බලය තිබුණ කාලය තුළ මඟ හැරුණු දෑ මොනවාද යන්න ගැන මනා අවබෝධයක් තිබේ.

මේ නිසා ජයග්‍රහණය මැනවින් කළමනාකරණය කිරීම සහ මාතෘ භූමියට අහිමි වූ ගෞරවය යළි ලබා දීම සියලු දෙනා හමුවේ ඇති භාරදූර වගකීම වේ. ජයග්‍රහණය වූ කලී සැබෑ අභියෝගයකි. යා යුතු මාර්ගය ඉතා කටුක සහ දීර්ඝ එකකි. ඊට අවශ්‍ය බලය, ශක්තිය, බුද්ධිය මෙන්ම වාසනාව ජයග්‍රාහකයාට තිබේ. එය නිවැරදිව භාවිතා කිරීම මේ මොහොතේ මාතෘ භූමියට ඇති එකම සිහිනයයි.

ගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාණෙනි, ඔබ ඉතා සාමකාමිව බලය හුවමාරු කරමින්, අවසාන මොහොතේ හෝ ඉතා ගෞරවාන්විත ලෙස හැසිරීම ගැන යළිත් කෘතඥ  වෙමු.
ඔබ ඔබේ නික්ම යෑම ගැන ජාතිය ඇමතුවේනම් ආඩම්බර වෙමු.
 
ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමනි, අනෙකාගේ ගැරහුම සහ අපහස කිරීම් මධ්‍යයේ ලබා ගත් ඔබේ ජයග්‍රහණය පිවිතුරු එකකි. ඔබ සතුව දැන් බලය තිබේ, එය තාවකාලිකය. ඔබ රැක ගත යුත්තේ බලය නොව පවිත්‍ර චරිතයයි. අපේ මාතෘභූමියට සැබෑ නායකයෙකු ලැබීම ගැන ආඩම්බර වීමට හැකි පැරිදි ඔබ හැසිරෙනු ඇතැයි විශ්වාශ කරමු. අපි ඔබට සුභ පතන්නෙමු.

මැදමුලනේ රාජපක්ෂ: අශ්වයෙකු යැයි සිතා ගෙම්බෙක්ගේ උඩ නගී

අවසාන මොහොතේ අවසාන සැලැස්ම : මැදමුලනේ රාජපක්ෂ සහ අයියෝ සිරිසේනගේ  මදුසමය
| නිලන්ත ඉලංගමුව
 
රාජපක්ෂ අද මැදමුලනේදී තම කැමැත්ත තමන්ටම ලබා දීම සඳහා ශුභ හෝරාව අනුව යමින් ශුභ දිසාව දෙස බලා කටයුතු කරනු ලැබීය. ඔහු සමඟ වෙනදා ගමන් කරන අයවලුන්ට අමතරව ඔහු අභිමුඛයේ තවත් අයෙකු විය. ඒ අයියෝ සිරිසේන නමැති නළුවෙකි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ හෙතම වඩාත් අප්‍රසන්න ලෙස මාධ්‍ය ඉදිරියේ යොදා ගත්තේය. එකී පුද්ගලයා රාජපක්ෂගේ මෛත්‍රී බීතිකාව නැතිකිරීම සඳහා විවිධාකාරයෙන් භාවිතා කරනු ලැබීය. සැබවින්ම එමඟින් සැබෑ අවාසියක් අත් වූයේ රාජපක්ෂට මිස මෛත්‍රීට නොවේ. එම සරල දේ තේරුම් ගැනීමට අවසාන මොහොතේද රාජපක්‍ෂට නොහැකි විය.

අදාළ නළුවා යොදා ආණ්ඩුව සැලසුම් කොට තිබු බොහොමයක් දෑ කිරීමට නොහැකි විය. මන්ද ඒ බොහොමයක් ආණ්ඩුව එළිදැක්වීමට පෙර මාධ්‍යට වාර්තා විය. එසේම විපක්ෂය ක්‍ෂණිකව කටයුතු කළේය. එම වියෝවෙන් මිදීමට අවසාන මොහොතේදී අයියෝ සිරිසේන මැදමුලනේ ගැමි සුවඳ හමන වීරයා සමඟ එකතු වී  ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඩි. ඒ. රාජපක්ෂ විද්‍යාලයට රැගෙන ගියේය. ඉන් පසු ඔහු සමීපයේ සිටුවා ඡායාරූප රැසකට පෙනී සිටිමින් බොහොම පහත් පෙළේ ආස්වාදයක් ලබා ගත්තේය. ඔහුගේ මනස වැඩ කරන මට්ටම එමඟින් මුළු ලෝකයටම පෙන්නුවේය. 

සැබවින්ම කණගාටුදායකය. වසර දහයකට ආසන්න කාලයක් මෙම රට පාලනය කළ මහින්ද රාජපක්ෂ මහතාට එක්කෝ පිස්සු හැදී ඇත. නැතහොත් ඔහු මදාවියෙකුගේ තත්වයට පත් වී කට ගොන්නක් බීගෙන වෙරිමතින් මේ රටේ නායකයා ලෙස යළි පත්වීමට සිහින දකින සැටියෙකි. 

ඔහු විසින්ම ඔහුගේ ජීවිතය නිවටයෙකුගේ තත්වයට පත් කරගෙන ඇත. මෙය බරපතළ තත්වයකි. එය ඔහු ශුද්ධ වශයෙන්ම අද දින ඡන්දය ප්‍රකාශ කිරීමට සකස් කොට තුබූ සැලැස්මෙන් මුළු ලෝකයාම ඉදිරියේ පැහැදිලිව ඔප්පු කරනු ලැබීය. ඔහුට ආත්ම විශ්වාශයක් නැති බව ඔප්පු කළේය. මවාගෙන සිටි සියලුම දෑ ඔහු ඉදිරියේ දිය වී යන විට ඔහුගේ හෙළුව වැසීමට තිබු අවසාන රෙදිපටද ඔහුගෙන් ඉවත් විය. ඒ ඔහුගේ අවිද්‍යාව නිසාය. මීට වෙන කිසිවෙකු වගකිව යුත්තේ නැත. ඊට වග කිව යුත්තේ ඔහුමය. 

දෛවයේ සරදම් ලැබීම වූ කලී මෙයයි. තම හෘද්‍යසාක්ෂිය මඟින් තමන්ව දඬු කඳේ ගසන විට පුද්ගලයෙකු මුහුණ දෙන ඇත්ත සහ නීරස තත්වය මෙයයි. එය පිටට සැඟවීමට නොහැකිය. ඔහු පෙන්වමින් සිටින්නේ තවදුරටත් රටේ නායකයා ලෙස අභිෂේක ලැබීමට ඔහුට කිසිඳු වාසනාවක් නැති බවයි. එසේම මෙවර මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළහොත් එය ඔහු තව දුරටත් අමීබාකරණයකට ලක් වීමක් පමණක් වනු ඇත. මා විසින් මීට පෙරද සඳහන් කළ ආකාරයට ඔහු පරාජය වුවහොත් ඉන් වැඩිම වාසිය අත්වන්නේ ඔහුටය.

අද දැක ගත් හැකි වූ සිදුවීම සැබවින්ම විශ්වාස කිරීමට පවා නොහැකිය. ගිරුවාපත්තුවේ සැබෑ ගූඪ කුහකත්වය ඔහුව අරක්ගෙන තිබේ. දෙවියන් වෙනුවට යකුන් බුරුතු පිටින් ඔහුගේ මොළයට රිංගා ඇති සැටියෙකි. ඉන් ඔහුට කිසිඳු ගැලවීමක් නොමැත.

මෑත ඉතිහාසයේ කිසිඳු නායකයෙකු මේ ආකාරයෙන් කටයුතු කළේ නැත. කුමන ප්‍රචණ්ඩ ක්‍රියාව භාවිතා කළද, මැතිවරණයට පෙර කුමන ආකාරයෙන් හැසිරුණද ඔවුහු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී තම නිවට සහ බියගුළු ලෙස  මේ ආකාරයෙන් හැසිරුනේ නැත. ඔහු මෛත්‍රිපාල සිරිසේන සමඟ තරහ වී පමණක් නොව ඔහු මෛත්‍රීට බිය වී ඇත. 

රාජපක්ෂ දේශපාලනය තුළ කළ කැප කිරීම් වල ප්‍රමාණය අනුව මෙන්ම ඔහු ගිය ඉතා දීර්ඝ ගමන අනුව ඔහු මේ ආකාරයෙන් හැසිරීම ඛේදජනක වේ. රටේ නායකයා ලෙස කටයුතු කළ හෙතමට මෙවර තමන්ගේ කොන්ද කෙලින් තබාගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ නොහැකි වීම මඟින් පෙන්නුම් කරන්නේ මුළු ජාතියම මුලාවේ හෙලීමට මෙම නිවට නායකයා වෙර දරන අයුරුය. ඔහු මවා ගත් සියලුම දෑ විශ්වයේ ඇති ගැඹුරුතම ස්ථානයේ පතුලට කිඳා බැස ඇත. ඔහු මවා තිබු චිත්ත රූපය ගින්නට හසු වූ අයිස් කැටයක් දිය වී යන ආකාරයෙන් ඔහුගේ දියවීම අද උදෑසන දැකීමට හැකිවිය.

අවසානයේදී රාජපක්ෂ අශ්වයෙකු යැයි සිතා ගෙම්බෙක්ගේ පිට උඩ නැග තම ගමන යාමට ගත් උත්සාහය මඟින් ඔහු කුමන පන්නයේ පුද්ගලයෙකුද යන්න ඔහු විසින්ම ඔප්පු කොට ඇත. ඔහු ලෝකය ඉදිරියේ ඔප්පු කරනු ලැබුවේ අපේ මාතෘභූමිය පාලනය කිරීමට ඔහුට තව දුරටත් බුද්ධිය පමණක් නොව ලැබීමද නැති බවයි. ගෙම්බෙක් වෙනුවට බූරුවෙකු හෝ හොයා ගත්තේ නම් ඔහු පද්ධතිය තුළ නායකයෙකු ලෙස බැස යනු ඇත.

අහෝ....නායකයෙකු යැයි මවාගෙන සිටි බියගුල්ලෙකුගේ දෛවය විසඳෙන අපූරුව. මොහු අහම්බෙන් හෝ ජයග්‍රහණය කළහොත් එය මේ රටේ පමණක් නොව මුළු ලෝකයේම අවාසනාවකි. මෙවැනි නිවට නායකයින් ලෝකයේ කිසිම තැනක නායකයින් කිරීමට ජනතාව ඉදිරිපත් නොවුහ.

රාජපක්ෂට අවසානයේදී ඉතුරු වී ඇත්තේ තමන්ගේ වශීබෝලය සහ අයියෝ සිරිසේන පමණකි. මෙය අනෙක් දේශපාලඥයින්ට තමන්ගේ අනාගතය ගැන ගැඹුරින් සිතීමට උගන්වන පාඩමකි. 

ජනවාරි 08: ඓතිහාසික දිනය අදයි

රාජපක්ෂ හෝ රාජපක්ෂලාගේ දේශපාලනය වූ කලී සංස්කෘතියේ කොටසකි. එය සංස්කෘතියේ නිර්මාණයකි. රෝගී සමාජයක රෝග ලක්‍ෂණයකි. මෙම සංස්කෘතික ගැටලුව මඟින් දැවැන්ත පෞද්ගලික අනාරක්ෂාවක් පැලපදියම් කොට ඇත. එය ඉහළ සිට පහළට සමාජ ධූරාවලීයේ සෑම තැනකම විවිධ සාන්ද්‍රණයන්ගෙන් දක්නට ලැබේ. බලය තමන් වටා ඒකරාශී වූ විගස රාජපක්ෂ  පෙර-මිතුරාගෙන් පවා වැඳුම් පිදුම් බලාපොරොත්තු වන්නේ මේ නිසාය. ඔහුට අනුව තම බලය රැක ගැනීම සඳහා එවැනි නියාලු හැදියාවක් තමන් වටා සිටින අයවලුන් පෙන්වීම අනිවාර්ය වේ.

| නිලන්ත ඉලංගමුව

ඒ දිනය උදා වී ඇත. වෙනදා මෙන්ම දවස ගෙවනු ඇත. නමුත් අද දින ගෙවන සෑම මොහොතක්ම අතිශය තීරණාත්මක වේ. එය සෑම දෙනෙකුගේම මතකයේ රැඳනු ඇත. රටක හැරවුම් ලක්ෂයන් මුලික වශයෙන් නිර්මාණය කරනු ලබන්නේ මෙවැනි අවස්ථාවන් වලදීය.

අත්හල සහ මඟ හැරුණු අවස්ථා රැසක් මෙන්ම ලැබුණු අවස්ථා අයාලයේ යැවීම් වෙනත් රටවල් වල සේම අපේ මාතෘ භූමියටද ඉතා පොදු මෙන්ම කටුක අත්දැකීම බව ඉතිහාසය පැහැදිළි කොට ඇත. මෙවර උදා වී ඇති තත්වය මඟින් මැජික් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් මෙම අවස්ථාව වූ කලී, කිසිවක් නැති තැනට යමක් ලැබීමකි. අඳුරට තල්ලු වී සිටි ජාතියක් අභිමුඛයට ආලෝකයක් පැමිණීමකි. ජාතියකට බුද්ධියක් තිබේද? එය මෙහෙයවීමට එම ජාතිය සතුව ශක්තිය තිබේද? යන්න තීරණය කරනු ලබන්නේ මෙවැනි අවස්ථාවන් මඟිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවහොත්, එමඟින් සමස්ථ සමාජයට ලබා දෙන්නේ විශාල අභියෝගයකි. එසේම ඔහු ජයග්‍රහණය කළහොත් හෙටින් පසු උදා වන්නේ සටන යළි සකස් කිරීමේ ඍතුවයි. එය ඓතිහාසික වන්නේ මේ නිසාය. අපි ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථානයක මුදුනට තල්ලු වී සිටින්නෙමු. බහුතරය විසින් ගන්නා තීන්දුව මඟින් රටේ මතුපිට තලය වෙනසකට හෝ පැවති රටාවම පවත්වා ගැනීමකට ඇති කැමැත්ත තීරණය වනු ඇත. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ සුන්දර වූ අත්දැකීමයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවනත විය යුතු මූලධර්මයයි. 

මෙවර මැතිවරණය වූ කලී සුවිශේෂී එකක් වීමට බොහොමයක් හේතු කරනා තිබේ. එනම්, පෙර මැතිවරණවලට වඩා මෙවර මැතිවරණයේදී විපක්ෂය සහ ඊට සම්බන්ධ වූ පක්ෂ වඩාත් සූක්‍ෂමව කටයුතු කරනු ලැබීය. ඔවුන්ට ආවේණික දේශපාලන ආස්ථානයන් තුළ සිටිමින් තම ප්‍රමුඛ සතුරා සමාජය හමුවේ තාර්කිකව බිඳහෙලීමට විපක්‍ෂයට හැකි විය. තර්කය බොහෝ දුරට න්‍යායයෙන් වියුක්ත වුවද, එය මෑත ඉතිහාසය තුළ ලංකාවේ දේශපාලනය තුළ දැකගත හැකි වූ වඩාත් වැදගත් ප්‍රවණතාවයකි.

මෙවර මතුපිටට පැමිණි රටාව අඛණ්ඩව පැවතුණහොත් තවත් වසර කිහිපයක් තුළ මෙම දේශපාලන ප්‍රවණතාවය හුදු තර්කයෙන් ඔබ්බට ගොස් න්‍යායන් වෙතට තල්ලු කරනු ඇත. එම න්‍යායන් වලින් රාජ්‍යක් සතු මූලික බුද්ධිමය  පදනම සකස් කරනු ඇත. වසර 30ක් තුළ විවිධාකාර හේතු මඟින් විනාශ වී ගියේ එම පදනමයි. මෙවර මැතිවරණයේ පුර්ව නාටකය තුළින් පෙන්වා දෙනු ලැබුවේ නැති වූ යමක් යළි සමාජය වෙත ආදේශ වීමට දරණ උත්සහයයි. මෙය සැබවින්ම මානව ලෝකය තුළ දැකගත හැකි ප්‍රියජනක සමාජීය කාරණයකි.

තාක්ෂණික මෙවලම් හමුවේ ක්‍රමිකව චලනය වන සමාජයක් තුළ මෙවැනි දෑ තව දුරටත් දවල් හීන නොවනු ඇත. සෑම දෙනෙකුටම හිමි පෞද්ගලික විමුක්තිය ( පර්සනල් ලිබර්ටි) වූ කලී කුමක්ද යන්න තේරුම් ගැනීමට නම් එම පුද්ගලයා ලෝකය සමඟ මුහු විය යුත්තේය. තමන් සිටින වට පිටාවෙන් ඔබ්බෙහි සිදුවන දෑ පිළිබඳව අවදියෙන් සිටීම මඟින් ඔහු හුදෙකලා වූ චරිතයක් නොවී වර්තමානය සමඟ බද්ධ වූ චරිතයක් වනු ඇත. මෙය සිදු වීමේ සීඝ්‍රතාවය අනුව එම සමාජයේ වෙසෙන අයවලුන්ගේ පෞද්ගලික විමුක්තියේ ගැඹුර හෙවත් පුද්ගලයාට ඇති ආත්මීය විශ්වාසය වර්ධනය වේ.

මෙවර මැතිවරණය තුළ විපක්ෂයේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ඉතාමත් දරදඬු මාධ්‍ය වාරණයක් යටතේ වුවද සාර්ථක වූයේ මේ නිසාය. මෙමඟින් පැහැදිලි කරන මූලික සමාජීය කාරණය වූ කලී “බලය ඇත්තා විසින් ඔබ ඉදිරියේ මවාපාන ලෝකයට” වඩා එහා ගිය ඇත්තක් ඇති බව තේරුම් ගැනීමට සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට අවශ්‍ය වටපිටාව සකස් වන ආකාරයය. මෛත්‍රිපාලගේ ආගමනය විසින් ගලවනු ලැබුවේ බලය ඇත්තා විසින් විවිධ නාම විශේෂණ යොදා නිර්මාණය කර තිබූ සමාජීය වෙස් මුහුණයි.

කෙසේ වෙතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම වූ කලී පුද්ගලයෙකු හෝ පවුලක් මෙන්ම ඒ වටා ඒකරාශී වූ කල්ලියක් පරාජය කිරීමක් පමණක් නොවේ. රාජපක්ෂ පෞද්ගලිකව පරාජය කිරීමෙන් පසු  උදාවන්නේ රාජපක්ෂ වැනි අයවලුන්ට, රටක රාජ්‍ය ව්‍යුහය අප්‍රසන්න ලෙස ව්‍යාකූල කොට පැවති අපිළිවෙල තවදුරටත් සංකීරණ කිරීමට අවකාශය ලබා දුන් පරිසරය නැති කිරීම මෙහි ඇති මීළඟ බැරෑරුම් සහ පළල් අභියෝගය වේ.

රාජපක්ෂ හෝ රාජපක්ෂලාගේ දේශපාලනය වූ කලී සංස්කෘතියේ කොටසකි. එය සංස්කෘතියේ නිර්මාණයකි. රෝගී සමාජයක රෝග ලක්‍ෂණයකි. මෙම සංස්කෘතික ගැටලුව මඟින් දැවැන්ත පෞද්ගලික අනාරක්ෂාවක් පැලපදියම් කොට ඇත. එය ඉහළ සිට පහළට සමාජ ධූරාවලීයේ සෑම තැනකම විවිධ සාන්ද්‍රණයන්ගෙන් දක්නට ලැබේ. බලය තමන් වටා ඒකරාශී වූ විගස රාජපක්ෂ  පෙර-මිතුරාගෙන් පවා වැඳුම් පිදුම් බලාපොරොත්තු වන්නේ මේ නිසාය. ඔහුට අනුව තම බලය රැක ගැනීම සඳහා එවැනි නියාලු හැදියාවක් තමන් වටා සිටින අයවලුන් පෙන්වීම අනිවාර්ය වේ.

ජනාධිපති රාජපක්ෂ අමීබාකරණයට ලක්වූයේද මෙම ගූඪ සමාජ භාවිතය මඟිනි. සැබවින්ම ඔහු රාජ්‍ය නායකයෙකු ලෙස වසර දහයකට ආසන්න කාලයක් කටයුතු කළ බව සැබෑය. නමුත් ලංකා ඉතිහාසයේ නිදහසින් පසු පත් වූ නායකයින්ගෙන් අඩුම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම නායකත්ව ලක්ෂණ පිහිටි නායකයා වූයේ රාජපක්ෂය. ඔහුගේ නායකත්වය වූ කලී යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කළ එකක් මිස ස්වභාවික නායකත්වයක් නොවේ. නමුත් ඔහුට විශ්වාසයට වඩා වාසනාව තිබුණි. ඔහුගේ දෛවඥයා රටේ ප්‍රතිපත්ති තීරකයා වන්නේ මේ නිසාය. එය වෙන කිසිවෙකුටත් වඩා රාජපක්ෂ දන්නේය. මේ නිසා ඔහුට ඥාති සංග්‍රහය මූලික මෙවලම ලෙස භාවිතා කිරීමට සිදු විය. ඒ වටා ගොඩ නැගුනු මූලික ජාලයකින් සමාජ ප්‍රශ්න විසඳීමට හැකිබව ඔහු අනුමාන කරන්නට ඇත. 

මීට අමතරව සාමාජ වටපිටාව විසින් ලබා දෙන රැකවරණයද මෙවැනි පාලනයක පැවැත්ම සඳහා හේතු වේ. වසර 30ක් තිස්සේ යුධ වැදුණු රටක දේශපාලනය වූ කලී ව්‍යාකූලත්වයේ සංඛේතයකි. යුධවදින පාර්ශවයන්ට පවතින අර්බුධය විසඳීමට වඩා එමඟින් අත්කර දී ඇති වාසිය වැදගත් වේ. එම නිසා ගැටුම පවත්වා ගැනීම වැදගත් වේ. 30 වසරක් තිස්සේ පැවති යුද්ධයේ සැබෑ සත්‍යය එයයි. මෙය පුපුරා යන්නේ කොටි සංවිධානයේ ඇති වූ අභ්‍යන්තර ආරවුලක් දුරදිග යෑමෙන් සහ ඊට දකුණේ සමාජය විසින් ලබ දුන්  පුළුල් සහයෝගය මඟිනි.

ඉන් පසු  උදා වූ සංක්‍රාන්ති සාමය තුළ රාජපක්ෂ වීරත්වයට පත් වන්නේය. කටුස්සාගේ කරේ රත්තරන් බැඳීමක් වූ එමඟින් රාජපක්ෂ තම කෛරාටක උපායන් මඟින් තම පෞද්ගලික ආශාවන් ඉටුකර ගනී. ඉතාමත්ම සීමා සහිත දෑ මුදුන් පමුණුවා ගැනීම සඳහා සීමා රහිත ආශාවක් සමඟ පොර බැදීමට සිදු වීම “රාජපක්ෂලාගේ” දේශපාලනය තුළ දැක ගත හැකි වූ මුලික ලක්ෂණයකි. ඊට පක්ෂ දේශපාලනය හෝ එහි න්‍යාය පත්‍රය වැදගත් නැත.

එම සංක්‍රාන්ති සමයෙන් පසු උදාවන තත්වය තුළ මතුව එන්නේ මෛත්‍රීගේ දේශපාලන ප්‍රතික්‍රියාවයි. එහි ශක්තිය කෙතරම්ද යන්න තීරණය වන ඒ ඓතිහාසික දිනය අදයි. මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කළ ජනධිපති මහින්ද රාජපක්ෂ මෙවර පරාජය වීම වූ කලී ලංකාවේ ඉතිහාසය පුරා සිදුවන දැවැන්තම දෙදරීම හෙවත් පරාජය වීම වේ.

නමුත්, ඔහු ජයග්‍රහණය කළහොත් ( රටේ පවතින තත්වය අනුව ඊට ඇති ඉඩ ඉතා සීමා සහිත වුවද) මේ වන විට පිපිදී ඇති සමාජ ව්‍යුහය යළි සකස් කිරීමේ වැඩපිළිවෙල නමැති සමාජ අවබෝධය තම මීළඟ සටනට සුදානම් විය යුතුව ඇත. රාජපක්ෂ මින් ජයග්‍රහණය කළද ඊට දීර්ඝ පැවැත්මක් තිබේ, යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද සිදුවිය යුතුව තිබූ බෙදීම යළි රාජපක්ෂට සකස්කළ නොහැකි පරිදිම බෙදී ඇත.

රටේ පවතින පොදු ගැටලුවට අවශ්‍ය පිළිතුර තවත් පැය කිහිපයකින් විසඳෙනු ඇත. සගයිනි; ඒ ඓතිහාසික දිනය අදයි.

ගැමි සුවඳ මෙතරම් ගඳ යැයි ඉගැන්නුවේ රාජපක්ෂය

 ගමේ උපදින සෑම එකෙක්ම අහිංසක මුව පැටියෙකු නොවේ. එනම් සෑම සමාජ ඒකකයක මෙන්ම බොහෝ ගම්වලද අලුගුත්තේරුවන් සිටිති. එසේම බොරු හැර වෙනත් වචන නොකියන අය සිටිති. එපමණක්ද, ගම්වල අසරණ ජීවිත තමන්ගේ පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ජීවත් වන අයවලුන් සිටිති. සුන්දර ගමේ සුවඳට මුසුවන දුර්ගන්දය ඔවුන්ගෙන් පිටවේ. රාජපක්ෂ වූ කලී මෙම තුන්පාර්ශවයේම සංකලනයකි.
| නිලන්ත ඉලංගමුව

ජනාධිපති මහින්ද රාජපක්ෂ අද විපාක විදින්නේ ඔහුගේම වරදිනි. ඔහුට ජනතාවගේ අදහස් තේරුම් ගැනීමට නොහැකිවීමට වඩා මෙහි ඇත්තේ තමන්ගේ සැබෑ මිතුරන් හඳුනාගැනීමට අසමත් වීම සහ තමන්ගේ දේශපාලන අනවබෝධයයි.

ඔහු නීතියට ඉහළින් සිටින එකම පුද්ගලයා වූ විට, ඔහුව පාලනය කිරීමට නොහැකි දෑ තමන් වටා හැඩගැසෙන විට, පෙරදා තමන්ට අතට අතදුන් මිනිසුන් මෙදා තමන්ගේ දෙපතුල අතගා වැඳ නමස්කාර කරන විට, මොහුගේ සාමාන්‍ය දැනීම ඔහුගෙන් වියුක්ත විය. මොහු කිසිම කාලෙක බලාපොරොත්තු නොවූ දෙයක් ඔහු හමුවේ ප්‍රදුර්භූත විය. එය ඔහුගේ පවුලේ අයවලුන්ටද සීමාව ඉක්මවා ගිය ඉල්ලමක් විය. එය භූක්ති විඳීම සඳහා කිසිඳු බාධාවක් නොවුයේ සිංහලයින් මෝඩයින් සහ අන්ධයින් කිරීමට, “ දේශප්‍රේය”, “ බටහිර කුමන්ත්‍රණ” ආදී යෙදුම් යොදා ඔහුට ඉතා කෙටි කාලයකදී හැකි වීමෙන්ය. අහෝ...අවසානයේදී එම යෙදුම්වල හිරකාරයෙකු වීමට ඔහුට සිදු විය.

මහත් ගෞරවයකින් යුතුව වේදිකාවෙන් බැස යෑමට හැකිව තිබු නායකයෙකු, අගෞරවයට පාත්‍ර වෙමින් කෙසේ හෝ තම බලාධිකාරිය රැකගැනීම සඳහා ගූඪකම් කිරීමට යොමුවන්නේ මන්ද? එය ඔහුගේ පුද්ගලාර්ථයයි. ඔහුට අවබෝධවන දේශපලනය තුළ ඇති සීමාව එයයි. තමන්ගේ සැබෑ මිතුරන් වෙනුවට තමන්ගේ පාලනය පිළිගන්නා සහ ඊට ආවඩන පුද්ගලයින් තමන්ගේ අනුගාමිකයින් ලෙස එකතු කරගැනීමේ විපාකය වන්නේ මෙයයි.  බදාගෙන කෑමේ ඵලවිපාකය නොහොත් මා හින්දා මා විනාශ වීම මඟින් ඇතිකොට ඇති ව්‍යාකූලත්වය වූ කලී පුද්ගලයෙකුගේ ගරාවැටීමක් පමණක් නොව එය ජාතියකට සිදුකරන අපහාසයකි.

තමන්ගේ අවසාන ගැලවුම ලෙස ඔහු විකාරයෙන් කතා කරන්නේය. විපක්ෂය, විශේෂයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුට ඉරිසියා කරන බව කියන්නේය. එසේම ඇමෙරිකාව, යුරෝපය මෙන්ම බොහොමයක් රටවල් තමන්ට සතුරු බව කියන්නේය. ඊට මූලික හේතුව ඔහු ගිරුවාපත්තුව වැනි ගමකින් පැමිණ ගැමි සුවඳ හමන නායකයෙකු වීම නිසා යැයි ඔහු කියන්නේය.

නොකඩවාම ගයනා කරනු ලැබූ මෙම ගැමි ගීතය, ජනාධිපති රාජපක්ෂ ඊයේ ( ජනවාරි 6) කැස්බෑවේදී  පැවතී රැලියේද සඳහන් කරනු ලැබීය. 

ඔහු මේ කියන ගම කුමක්ද? ඔහු යළි යළිත් කියන ගමේ ඇති අංග ලක්ෂණ මොනවාද ? ගම ලෙස රාජපක්ෂ හඳුන්වන සුවඳ හමන සංවිධාන ව්‍යුහය ඔහු හැර වෙනත් ඇය දැක තිබේද? රාජපක්ෂ කියන ගමත් එම අනෙක් මිනිසුන් විසින් අපේ ඉතිහාසයට එක් කළ ගමත් අතර වෙනසක් තිබේද? සැබවින්ම තිබේ. මහින්දගේ ගම වූ කලී මහින්දගේ ලෝකය සහ ආශාවන්ය. ලංකාවේ ගම යනු සැබෑ ඉතිහාසයක් ඇති නියම ගමය. 

මාර්ටින් වික්‍රමසිංහ මහතා තමන්ගේ උපන් ගම නමැති කෘතියේ මෙසේ සඳහන් කරනු ලබයි. “ගැමියන් අතර ඉපිද වැදුණු මම ඔවුන් හඳුනන්නෙක් වීමි. කරබාගෙන දුක්පීඩා ඉවසන ඔවුන්ගේ හොඳ ගති නිසාම මම පොදු ජනයා කෙරෙහි දයාබර සිත් ඇත්තෙක් වීමි. බුදුන් වහන්සේ යේසුස් වහන්සේ ආදී මුනිවරයන්ට උපන් මාගේ අචල භක්ති ප්‍රේමයට එක් හේතුවක් ගැමි ජනයා යැයි මම සිතමි” ( උපුටා ගැනීම - උපන් දා සිට)

එසේම ස්වාධීන සිංහල සංස්කෘතිය ගැන මාර්ටින් වික්‍රමසිංහ මහතා තමන්ගේ මානව විද්‍යාව සහ සිංහල සංස්කෘතිය නමැති කෘතියේ මෙසේ සඳහන් කරන්නේය, “ ස්වාධීන සිංහල සංස්කෘතිය පටන් ගැන්මට හේතුවුණු  මුල් බිජුව ලංකාවේ සිටුවන ලද්දේ විජය විසින් නොව පළමුවන වැව කැණවූ පඬුකාබය රජු විසිනි. සිංහලයා පොදු ජනකායක් නොහොත් එකම කාරියක් උදෙසා එකම අදහසකින් බඳිනු ලැබූ ජනකායක් ලෙස පළමුව සෑදුණේ වැවු  කැණීමත් වී ගොවිතැනත් නිසාය.” ( උපුටා ගැනීම - මානව විද්‍යාව සහ සිංහල සංස්කෘතිය)

නමුත් රාජපක්ෂගේ ගිරුවාපත්තුව ගැන සහ එහි ඉතිහාසය ගැන අපට කියා දෙන්නේ එක්කෝ මර්වින් සිල්වාය, නැතහොත් මහින්ද රාජපක්ෂය. රාජපක්ෂ සමඟ සිටින අනෙක් සියලුම දෙනා තමන්ගේ ගම ගැන කතා කරනු ලබෙන්නේ මොවුන් දෙදෙනාගෙන් යමක් අහුලා ගැනීමෙනි.

රාජපක්ෂ විසින් ගිරුවාපත්තුවේ ජීවන රටාව විස්තර කිරීම ඇසීමට ප්‍රියජනක නොවුණද රටේ නායකයා ලෙස පත්වීම නිසා මෙන්ම අපේ බදු මුදලින් ඔහු නඩත්තු වන නිසා ඊට ඇහුම්කම් දිය යුතුය.

ඔහු විස්තර කරන ගමත් ඔහුගේ හැසිරීමත් මඟින් පැහැදිලිවන දෙයක් තිබේ. ගමේ උපදින සෑම එකෙක්ම අහිංසක මුව පැටියෙකු නොවේ. එනම් සෑම සමාජ ඒකකයක මෙන්ම බොහෝ ගම්වලද අලුගුත්තේරුවන් සිටිති. එසේම බොරු හැර වෙනත් වචන නොකියන අය සිටිති. එපමණක්ද, ගම්වල අසරණ ජීවිත තමන්ගේ පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ජීවත් වන අයවලුන් සිටිති. සුන්දර ගමේ සුවඳට මුසුවන දුර්ගන්දය ඔවුන්ගෙන් පිටවේ.

රාජපක්ෂ වූ කලී මෙම තුන්පාර්ශවයේම සංකලනයකි. ඔහුගේ හැසිරීම බොහෝ දුරට සමාන වන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ බේගලයා නමැති කෙටි කතාවේ එන බේගලයාට හෙවත් අන්දෝ අයියාටය. රාජපක්ෂ රටට බොරු කියන්නේ අන්දෝ අයියා අනුන්ගේ සල්ලිවලින් කෝපි කෝප්පයක් බීම සඳහා තමන්ගේ මුවහත් කඩුවෙන් කළ වික්‍රම කියන ආකාරයෙනි.

අන්දෝ අයියාගේ මෙන් නොව රාජපක්ෂගේ කුකුළන් මෙන්ම කිකිළියන් හීනෙන් පමණක් නොව හැබයින්ද මෙරට ජනතාවට කොටා අවසානය. ඉන් මුළු මාතෘ භූමියටම තුවාල සිදු කොට ඇත. මෙය මේ ආකාරයෙන් දීර්ඝ විස්තර කළ හැකි කාරණයකි. 

එළඹීමට හැකි පොදු නිගමනයක් තිබේ. ඒ වූ කලී, රාජපක්ෂලා රටට මෙන්ම ලෝකයටම උගන්වා ඇත්තේ ගමේ සුවඳ නොව ගම කෙතරම් ගඳද යන්නය. සැබැවින්ම මෙවැනි ගති අඩු සහ වැඩි වශයෙන් ඇති අයවලුන් ලංකාවේ වත්මන් ගම් වලද සිටින බව අවිවාදිතය. ගම නමැති ව්‍යුහය වෙළඳ භාණ්ඩයක් වූ විට එය පළමුව විකුණන්නේ මෙවැනි අයවලුන් විසිනි.

ඉතින් “රජතුමනි” ඔබ අපට උගන්වන්නේ ගමේ සුවඳ නොව ගම කෙතරම් ගඳද යන්නය. එය මත පිහිටා ගම ගැන වැරදි තීරණ ගෙන ඔබ විසින් සඟවන ගමේ සුන්දරත්වය මඟ හැරීමට කිසිවෙකු සූදානම් නැතිබව මෙවර ඔබ ඉගෙන ගෙන ඇත. ගිරුවාපත්තුවේ පිහිටි හතර මායිමෙන් වට වූ  මැදමුලන සම්පූර්ණ ගමක් ලෙස දැකීමට තරම් කිසිවෙකු අන්දයෝ නොවෙති.

‘ජනපති ජනහමුව’ නීතිය හමුවට පැමිණීම

ජාතියට කොන්දක් ඇතිබව ඔප්පු කිරීම

ස්වාධීන අධිකරණ ක්‍රමයක් තුළින් රටක නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මකවන විට දැක ගත හැකි සහ එය ජනතාවට යහපත් දෑ ලබාදෙන බව ඔප්පු කිරීමට මෙම සිදුවීමම ප්‍රමාණවත් වේ. නීතියේ ශක්තිය වූ කලී ජාතියක කොඳු නාරටිය වන්නේ මේ නිසාය. මෙම කොඳු නාරටිය රැකගැනීම සහ එහි කැඩුණු තැන් සකස් කිරීම අප හමුවේ ඇති පෘථුල අභියෝගය වේ. මන්ද මෙම ක්ෂේත්‍රයේද අනෙක් ක්ෂේත්‍රවලමෙන්  මේ වන විට සිටින්නේ උතුම් මිනිසුන්ට වඩා තම රැකියාවේ ගරුත්වය රෝගී නායකයින්ට පාවාදුන් පරපෝෂිතයින් නිසාය.  එවැනි තත්වයක් යටතේ කඩුවෙල අධිකරණයෙන් මෙවැනි පුවතක් අසන්නට ලැබීම සැබවින්ම විප්ලවයකි. එය නව විප්ලවයක ආරම්භය වේ.
| නිලන්ත ඉලංගමුව

මම නීතිය පිළිබඳ විශාරධයෙක් නොවේ. නමුත් නීතියක් නිවැරදිව ක්‍රියාත්මක වන සමාජයක ටික කාලයකට හෝ ජීවත් වීමට වාසනාව ලද්දෙක්මි. එසේම දුෂණය සර්ව සම්පූර්ණයෙන්ම පාහේ නැති තැනක ජීවත් වීමට වාසනාව ලද්දෙක්මි. මේ කතා කරන්නේ මනුෂ්‍යයින් විසින් පාලනය කරණ මනුෂ්‍යයින්ගේ මිහිඉට ඇති ලෝකයක්  ගැනය. අපේ මාතෘ භූමියට හීනයක් වූ ලෝකයක් ගැනය.

එය මනරම් සමාජයකි. එය නිදහස් සමාජයකි. එසේම එම රටේ ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුට පමණක් නොව සතෙකුට පවා නිදහසක් ඇත. පුද්ගලයින් එකිනෙකාට තමන්ගේ නිදහස භූක්ති විඳීමට අවස්ථාව ලබා දී ඇති සමාජයකි. එම සමාජය බැඳ දබා ඇත්තේ සියලුදෙනාටම පිළිගත හැකි සියලුදෙනාම එක සමාන යැයි සැලකෙන මුලික නීතී පද්ධතියකිනි. එය සෑම දෙනාටම ගෞරව කළ යුතු මූලිකාංගය බවට පත් කොට ඇත.

එවැනි සමාජ වල පුද්ගලයින්ගේ ගෙවල්වලට බල්ලන් මරා උන්ගේ ඔළුගෙඩි දමන්නේ නැත. එවැනි දෑ කිරීමට තබා එවැනි දෙයකට අණදීමට තරම් කිසිවෙකුගේ මනස ව්‍යාකූල වී නැත. එවැනි සමාජයක් කිසිවෙකුගේ හෝ පටු පරමාර්ථ ඉටුකිරීම වෙනුවෙන් අනෙකා රෝගීයෙකු කරන්නේ නැත.

මන්ද එවැන්නක් කිරීමට සම්ප්‍රදාය විසින් සේම නීතිය විසින්ද ඉඩ ලබා දෙන්නේ නැත. මෙම මූලික දේ අපි මානව සංවර්ධනය යැයි කියමු.  මෙය නැති තැන සංවර්ධනයක් නැත. ඇත්තේ ප්‍රෝඩාවක් පමණි. එවැන්නක් නැතිතැන සිදුවන්නේ අනෙකාගේ නිදහස විකුණා තම මඩිය තරකරගන්නා ගනුදෙනුවක් පමණි.

එවැනි රෝගවලින් තොර සාදාරණ සමාජයක් අප ඉදිරියේ ඇති වන්නේ කවදාද? එවැනි තැනක ඇතිවන සමඟිය, එකමුතුකම මෙන්ම දැනුම සමඟින් ගරුත්වයක් ඇති රටක් වෙනුවෙන් වූ සිහිනය සැබෑ වන්නේ කවදාද? එය අපේ කාලයේ අවශ්‍යතාවයකි. 

අසරණ බල්ලෙකුටවත් ජීවත් වීමට ඉඩක් නැති සමාජයක් බවට අපේ මාතෘභූමිය පත්කළ ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා වන ගෝඨාබය රාජපක්ෂ විසින් අපට උගන්වමින් ඇත්තේ අමනුස්සකම සහ වෛරය පමණි. නීතීය වෙනුවට නීතියට පිටුපෑම, සාදාරණය වෙනුවට අල්ලස, අධ්‍යාපනය වෙනුවට නූගත්කම, සාමය වෙනුවට අනෙකාගෙන් පළිගැනීම, අව්‍යාජය වෙනුවට ව්‍යාජ මවා පෙන්වීම, නීතිය වෙනුවට මුල්‍යම බලය, රාජපක්‍ෂලා මෙම සමාජයට දුන් පාඩම්ය. රාජපක්‍ෂලා සමාජය තුළ සැකය සහ අවිනිශ්චිත බව රෝපණය කළහ. එමඟින් එකිනෙකා අතර ජාතික අසමගිය තවත් පුළුල් කරනු ලැබීය.

රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයේදී මාධ්‍යට මුදාහැර ඇති සියලුම දැන්වීම් ඉලක්ක කොට ඇත්තේ ඍජුව හෝ වක්‍රව ජාතික අසමඟිය ඇතිකිරීම සඳහාය. එක්තරා දැන්වීමක මෛත්‍රිපාල සිරිසේන මහතා වැනි අයෙකුට ඇඳුම් මාරු කරමින්, ඉතා පහත් මට්ටමේ ජාතික සමගිය අවුල්කොට ගිනිබත් කරණ තැනකට රටේ සමස්ථ ජනතාව තල්ලු කරනු ලබයි. ඉන් ආස්වාදය ලබයි. එය දකිමින් මදුවිත පුරයි. ඒ සඳහා කිසිඳු හිරිකිතයක් නැත. අනෙකාව පහත්කොට ඉන් විනෝදය ලබන ජාතියක් උසස් මනුෂ්‍යයින් ලෙස නැගී සිටීම වූ කලී දවල් සිහිනයකි.

 එසේම තරුණ තරුණියන් කිහිප දෙනෙකු යොදා සකස් කොට ඇති දැන්වීමක්ද ඒ අතර වේ. ඉන් කියවෙන්නේ තමන්ගේ පළමු ඡන්දය සන්ධානයට දෙන බවය. ඔවුහු එය කියන්නේ “ බම්බුව තමයි” යැයි විපක්ෂයේ පොදු අපේක්ෂකයාව සමච්චලයට ලක් කරමිනි. එම තරුණ තරුණියන් කිහිප දෙනාම මුදලට රඟපාන අයවලුන් වුවද එවැනි අතිශය අප්‍රසන්න කටයුත්තක නිරත වෙමින් තමන්ගේ මුලික අයිතිය සමස්ථ ලෝකයක් හමුවේ පාවාදීම ඔවුන්ගේ ආත්ම ගරුත්වය පිළිබඳ ගැටලුවක් බවට ඔවුන් විසින්ම කෙදිනක හෝ තේරුම් ගනු ඇත.

සැබවින්ම ඡන්දය ප්‍රකාශ කිරීම වූ කලී රහසිගත කටයුත්තකි. එම රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය රැක ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය වේ. ඊට කිසිවෙකුට බලපෑම් කළ නොහැකිය.

අදාළ දැන්වීම් වල රට බෙදීමට ගිවිසුම් අත්සන් කළේය, යැයි කියමින්, කිසිඳු සාක්ෂියක් නොමැතිව, රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විවිධාකාර මට්ටමේ දැන්වීම් මුදා හැරීම අතිශය අප්‍රසන්නය. මෙය සැබවින්ම අපරාධයකි. රටේ ජනතාව අතර හිතාමතාම අසමඟිය ඇතිවන අයුරින් කටයුතු කිරීම, සහ ඒ සඳහා කටයුතු කිරීමට විවධ පිරිස් යොමු කිරීම අතිශය බරපතළ කාරණා වේ.

මේ තරමට අපේ මාතෘභූමිය නරක් වී තිබීම අතිශය කණගාටුවට කාරණයකි. මෙවැනි දෑ මඟින් මැතිවරණය ජයග්‍රහණය කළද ඒ දිනන්නේ රෝගීන් පිරිසකි. එම රෝගීන් විසින් සිදුකරන්නේ තම රෝගය දීප ව්‍යාප්ත කිරීම මිස ඊට විසඳුම් සොයා ප්‍රතිකාර ලබා ගැනීම නොවේ. 

රටක් අශිෂ්ඨ වන ප්‍රමාණය අනුව එම රටේ නායකයා ලෙස කටයුතුකරන පුද්ගලයා අශිෂ්ඨයෙකු පත් වේ. ඔහු රටේ ජනතාවට දෙන වටිනාකම සහ ජනතාව පිළිබඳ ඔහුට ඇති තක්සේරුව එයින් පෙන්වයි. රටක නායකයා අශිෂ්ඨයෙකු ලෙස හැසිරෙන විට රටේ ජනතාව හඳුනාගත යුත්තේ සමස්ථ රටේ පවතින රෝගී තත්වයයි. එම රෝගී තත්වයේ රෝග ලක්ෂණය වනාහී රාජපක්‍ෂ මෙන්ම ඔහු වටා සිටින කල්ලියය.

මෛත්‍රිපාල තමන්ගේ නිහඬ නමුත් වඩාත් බලවත් සහ විනයානූකූල දේශපාලනය තුළින් සිදු කොට ඇත්තේ මෙම රෝගී තත්වය හඳුනා ගැනීම සහ එම රෝගීයාට මතුපිටට පැමිණීමට ඉඩ සැලැස්වීමය. එය රෝගියා පමණක් නොව ඔහුගේ යැපෙන්නන්ද උභතෝකෝටිකයකට තල්ලු කළේය.

මෛත්‍රීට එරෙහිව එල්ල වන සියලු චෝදනා වලට මුලික හේතු කාරකය වන්නේ මෙයයි. තමන් ගැන සඳහන් කිරීමට වඩා මෛත්‍රීපාලට  ගතු කීම රාජපක්ෂගේ මූලික අභිප්‍රාය බවට පත් වී ඇත්තේ මේ නිසාය. ජනාධිපති රාජපක්ෂ අද ( ජනවාරි 5) අවසන් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ කැස්බෑවේ පැවති රැස්වීමට සහභගී වෙමින් ඔප්පු කළේද එයයි. 

මෙවැනි රෝග ලක්ෂණයක පැවැත්ම රඳාපවතින්නේ එය භාවිතකරගෙන වාසි ලබන්නන් බිහිවන තාක් දුරට පමණි. එම රෝග ලක්ෂණය එක් අවංක අයෙකු විසින් හඳුනා ගන්නේද; හෙතම එය සුවකිරීම සඳහා පිරිස් එකතුරු කිරීමට පටන්ගන්නේද, යන්න මත එම ව්‍යාකූලතාවයේ අවසානය තීරණය වේ.

මෙවර රාජපක්ෂ මුහුණ දී සිටින මුලික අභියෝගය වන්නේ එයයි. මෛත්‍රී විසින් ඉතා සුක්ෂමව රාජපක්‍ෂගේ රෝගය හඳුනාගෙන ඇත. ඉන් පසු ඔහුට අවංකව සහය වෙමින් එම රෝගයෙන් මිදෙන ආකාරය දේශපාලනිකව පහදා දී ඇත. එමඟින් රාජපක්ෂ මෙන්ම රටද සුවපත් වේ.

නමුත් රාජපක්‍ෂ තවමත් පැරණි සින්දුව ගයමින් බලය ලබාගැනීමට හැම හූනියමක්ම කරන්නේය.

කෙසේ වෙතත්, තමන් විසින් හොරකම් කරගත් මුදල් කෙතරම් සම්භාරයක් වියදම් කළද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙවර මැතිවරණයේදී පසුගිය ඌව පළාත් සභා මැතිවරණයටත් වඩා වැඩියෙන් අසමත් වී සිටින බව මේ වන විට බොහොම පැහැදිලි කාරණයකි. රාජපක්ෂ හෝ පවුලේ අය පමණක් නොව ඔහු වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනාට තරහ ගොස් ඇත. නැති කළගුණ සැලකීමක් ගැන කියන්නේය. එසේම බොරු භීතියක් මවන්නේය. ජාතීන් අතර අසමඟිය ඇතිකිරීමට මාන බලන්නේය. සැබවින්ම ඔහු සිදුකරන්නේ සිංහල ජාතිය ගූඪ-නිවට-නියාලු ජාතියක් බවට ලෝකය හමුවේ යළි පත් කිරීමය.

මොවුහු මවන භීතිය වෙනත් නීතිය ශක්තිමත් රටක කළේනම් ජාති කෝලාහලවලට උල්පන්දම් දීම විෂය කොට ගනිමින් ඉන් අගතියට පත් ජනතාවට නීතියේ පිහිට පැතිය හැකිය. එසේම රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන “රජයේ” මාධ්‍ය නාලිකා වලට එරෙහිව ඍජුව ජනතාව මැදිහත් වනු ඇත. මන්ද මේ ඔවුන්ගේ මුදල්ය, එසේම ඔවුන්ගේ වටිනා කාලයය. මේ නිසා රටේ ජනතාවට ඊට මැදිහත් වීම සඳහා පැහැදිලි අයිතියක් තිබේ.

එහි ඇති වැදගත්කම සහ ප්‍රියජනක බව අද කඩුවෙල දිසා මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.

එහිදී රාජපක්ෂ ජනාධිපතිවරයා සැලසුම් කොට තිබු “ජනපති ජනහමුව” නමැති වැඩසටහන වාරණ නියෝගයක් මඟින් වළක්වාලීමට කටයුතු කිරීම සැබවින්ම රටේ නීතිමය පැත්තෙන් සිදු වූ අතිශය බලවත් මෙන්ම වැදගත්  සිදු වීමකි. එමඟින් රටේ අංශුමාත්‍රයක හෝ බලාපොරොත්තුවක් ඇති ජනතාවට ශක්තිය ලබාදුනි.

ස්වාධීන අධිකරණ ක්‍රමයක් තුළින් රටක නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මකවන විට දැක ගත හැකි සහ එය ජනතාවට යහපත් දෑ ලබාදෙන බව ඔප්පු කිරීමට මෙම සිදුවීමම ප්‍රමාණවත් වේ. නීතියේ ශක්තිය වූ කලී ජාතියක කොඳු නාරටිය වන්නේ මේ නිසාය. මෙම කොඳු නාරටිය රැකගැනීම සහ එහි කැඩුණු තැන් සකස් කිරීම අප හමුවේ ඇති පෘථුල අභියෝගය වේ. මන්ද මෙම ක්ෂේත්‍රයේද අනෙක් ක්ෂේත්‍රවලමෙන්  මේ වන විට සිටින්නේ උතුම් මිනිසුන්ට වඩා තම රැකියාවේ ගරුත්වය රෝගී නායකයින්ට පාවාදුන් පරපෝෂිතයින් නිසාය. 

එවැනි තත්වයක් යටතේ කඩුවෙල අධිකරණයෙන් මෙවැනි පුවතක් අසන්නට ලැබීම සැබවින්ම විප්ලවයකි. එය නව විප්ලවයක ආරම්භය වේ.

ආණ්ඩුවේ අමනකම විපක්ෂයට ආරූඪ වූයේද?

ජයග්‍රහණය පෙනන මානයේ තිබුණද එය අත්පත් කරගන්නා තෙක් සිදුවන්නේ තරගයකි. මේ නිසා පූර්ව ලක්ෂණ දැක මත් නොවීම මෙන්ම සිහිණුවනින් කටයුතු කිරීම වනාහී මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තකි.   තිස්ස වැනි අසමත් දේශපාලනඥයෙකුගේ උපායන් අනුගමනය නොකිරීම සහ අනෙකාගේ ලණු   අනුභව කොට සමාජය හමුවේ හෑල්ලුවට ලක්වීමෙන් වැළකීම අතිශය වැදගත් වේ.
| නිලන්ත ඉලංගමුව

ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ සහ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නීති උපදේශකයෙකු වන වී. රුද්‍රකුමාරන් අතර උතුරේ ඡන්දය වර්ජනය කිරීම සඳහා හොර ගිවිසුමක් අත්සන් කළ බව විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ප්‍රකාශ කළෝය. ඊට යම් පමණක මාධ්‍ය අවධානයක්ද යොමු විය. දෙපාර්ශවය අතර හුවමාරු වූයේ යැයි කියන විද්‍යුත් තැපෑලක් ( ඊ-මේල්) මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ විය. එහි ඇත්තක්ද  බොරුවක්ද යන්න මා දන්නේ නැත.

නමුත් මෙය දුටු වහාම මා ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා රුද්‍රකුමාරන්, එම්මානුවෙල් පියතුමා මෙන්ම දෙමළ ගෝලීය සංසදයේ මාධ්‍ය ප්‍රකාශක සුරේන් සම්බන්ධ කර ගත්තෙමි. ඔවුන් මා හට සඳහන් කළ හැටියට මා ඒ ගැන විමසන තෙක් ඔවුහු කිසිවෙක් ඒ ගැන දැන සිටියේවත් නැත. එසේම අදාළ ඊ-මේල් පණිවුඩය දුටු සැනින්ම සුරේන් කියා සිටියේ “මේක විහිලුවක්ද” කියාය. ඒ අතර එම්මානුවෙල් පියතුමා  කියා සිටියේ “ මම කිසම දිනයක මෙවැනි දෙයක් ගැන දැන සිටියේ හෝ අසා සිටියේවත් නැති” බවයි.

එසේම අදාළ කාරණයට පිළිතුරු දෙමින් රුද්‍රකුමාරන් කියා සිටියේ මෙවැන්නකි. “මෙවැනි ඊමේල් ගනු දෙනුවක් හෝ මෙවැනි ගිවිසුමක් නොකළ බව මට ඔබට සහතික කිරීමට පුළුවන්. මෙය අපකීර්තිමත් බොරුවක්”, රුද්‍රා කිව්වේය.

“ ජනාධිපතිවරයා තෝරාගැනීම වැනි ඉතා වැදගත් අවස්ථාවකදීත්  සිංහලන්ගේ දේශපාලනය වැටී ඇති පහත් තත්වය කෙසේද යන්න මෙයින් පෙනෙනවා.  මෙවැනි දෑ මඟින් සිදු කරන්නේ දෙමළ ජනතාවගේ ජාතික ගැටලුව මඟින් අයුතු ප්‍රයෝජන ගන්නා ආකාරයයි,” රුද්‍රා වැඩිදුරටත් මා සමඟ සඳහන් කළේය.

අදාළ ගිවිසුම හොර  ගිවිසුමක් නම් , එවැන්නක් පිළිගැනීමට කිසිවෙකු සූදානම් නැති බව සැබෑය. නමුත් අදාල ගිවිසුම මාධ්‍ය හමුවේ ඔප්පු කිරීම සඳහා විපක්ෂය තෝරාගෙන ඇත්තේද තිස්ස අත්තනායක තොරාගත් මට්ටමේ මෝඩ, අසභය සහ අප්‍රසන්නම න්‍යාය වේ. මා දන්නා පමණින් එවැනි ඊමේල් ලිපිනයක් රුද්‍රා භාවිතා කරන්නේ නැත. අනෙක් පාර්ශවය ගැන කිසිඳු ගනුදෙනුවක් මාධ්‍යවේදියෙකු ලෙස මා හට නමැති නිසා ඒ ගැන කිව නොහැකිය.

කෙසේ වෙතත්, රුද්‍රාගේ ප්‍රකාශය තුළ ගැඹුරු ඇත්තක් තිබේ.  එය කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. රාජපක්ෂ පසුගිය 2005 ජනාධිපතිවරණයේදී කොටි සංවිධනයට මුදල් ලබාදීමෙන් දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළක්වූ බව සත්‍යය. නමුත් ඉන්පසු පැමිණි අවස්ථා දෙකේදීම ඊ. පී. ඩී. පී.  මෙන්ම කේ. පී සහ කරුණා ආණ්ඩුව සමඟ සිටියද එවැනි තත්වයක් ඇති කිරීමට නොහැකි විය. විශේෂයෙන් 2010 ජනාධිපතිවරණය සහ ඉන් පසු පැවති පළාත් සභා මැතිවරණය ඊට කදිම නිදසුන්ය.

මේ නිසා විපක්ෂය මෙහිදී තේරුම් ගතයුතු යථාර්ථයක් තිබේ. එනම් අඥාන සහගත ඉදිරිපත් කිරීම් තුළින් සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් අනුගමනය කරණ අසාර්ථක උපායන් වලින් ඈත් වීමය.

එසේම අනුගමනය කළ යුත්තේ සතුරා තමන්ට එරෙහිව පතුරුවා ඇති මතවාදයට එරෙහිව බුද්ධිමත්මව සහ විනයානූකූලව ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයක්ය. ඒ වෙනුවට සතුරාගේ අමන උපායන් තම දේශපාලන ප්‍රචාරණ කලාවට ඇතුළත් කර ගැනීමය වඩා හානිකර වේ. එමඟින් සිදුවන්නේ ඔබේ වටිනා සහා ඉතා සීමා සහිත කාලය නිකරුණේ හිස් කරුණක් වෙනුවෙන් නාස්ති වීමය. එය ඊයේ සටන රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ සාමාජිකයින්ට මුහුණ දීමට සිදු විය.

නමුත් පොදු අපේක්ෂකයා ඊයේ චැනල් අයි නාලිකාව ඔස්සේ ජාතිය ඇමතීම වඩාත් විනයානූකූලව සිදු කළේය. එය රටේ සියලුම ජනතාවට ඇසීමට ප්‍රිය ජනක විය. ජයගැනීමට අවශ්‍යනම් කළ යුත්තේ එයයි. එනම්, තමන්ට අනෙකාට වඩා විනයක් සහ ක්‍රමවේදයක් ඇතිබව පෙන්වීමය. ඒ සම්බන්ධයෙන් මෛත්‍රී ඉදිරියෙන් සිටින්නේය.

මෙහිදී අප තේරුම් ගත යුතු මූලික කාරණයක් ඇතැයි මට සිතේ. එය විස්තර කිරීම සඳහා ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ අදහසක් උපුටා දැක්වීම උචිත යැයි සිතේ.

“අප ජීවත් වන පරිසරය තුළ කොටස් දෙකක් අපරිමිත හෙවත් සීමා රහිත වේ. ඒ වූ කලී විශ්වය සහ මෝඩකමය, නමුත් මට විශ්වයේ අපරිමිතය ගැන විශ්වාසයක් නැත. නමුත් මෝඩකමේ අපරිමිතය ( සීමා රහිතබව) ගැන විශ්වාසය තිබේ,” අලබර්ට් අයින්ස්ටයින් සඳහන් කළේය. අනෙක් රටවල මෙන්ම ලංකාවේ දේශපාලනය තුළද මෙය මනාව හඳුනා ගත හැකිය. අපි හැම දෙනාගේම ජීවිතය තුළ මෝඩකම අඩු වැඩි වශයෙන් අන්තර්ගත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය ඇතැම්විටක සුභාවාදීය, තවත් විටක සර්ව අශුභවාදීය.

තවත් පැය කිහිපයකින් එළඹෙන මැතිවරණය සඳහා සිදුකෙරෙන ප්‍රචාරක කටයුතු නීත්‍යානූකූලව අවසන් වීමට නියමිතය.මෙම “නීත්‍යානූකූලබාවය” නිශ්චිතවම පොදු විපක්ෂය විසින් හඳුන්වා දුන් පොදු අපේක්ෂකයාට මෙන්ම, ආණ්ඩුවට විරුද්ධව මෙවර මැතිවරණය සඳහා සහභාගී වන අයට අදාළ වුවද එය ආණ්ඩුවට අදාළ වන්නේ නැත. එය බලය ඇත්තා විසින් නීතිය අල්ලේ නටවමින්  රටේ නීතිය හෑල්ලු කිරීමේ සම්ප්‍රදාය වේ. එම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුට පක්ෂව මැතිවරණ භූමියේ පෙනී සිටින්නා සියලු දෙනාම අදාළ සම්ප්‍රදාය ගෙවන සෑම තත්පරයකම භාවිතා කරනු ඇත. ඊට දින නියමයක් නැත. එහි සීමාව නිර්ණය කරනු ලබන්නේ බලය විසිනි.

මෙවැනි අප්‍රසන්න දෑ නිවැරදි කිරීමට තවත් වසර ගණනවාක් අප සමාජයට සටන් කිරීමට සිදුවනු නොඅනුමානය. නමුත් ඔබ හමුවේ සිටින ප්‍රමුඛ හතුරා පරාජය කිරීම මෙහිදී පළමු අවශ්‍යතාවය වේ.

ඔබට පෙනන මූලික දර්ශනයක් තිබේ. එනම් මහින්ද රාජපක්ෂ වටා ඒකරාශී වූ මහත් විනාශකාරී දේශපාලන අවභාවිතය. එය අරමුණ කර ගනිමින් පොදු අපේක්ෂකයා නමැති සංකල්පය පුළුල් වශයෙන් කරලියට පැමිණි අතර එය පළමු අවස්ථාවේදී පරාජය කිරීමට පමණක් නොව, පොදු අපේක්‍ෂකයාට හොඳ පාඩමක් ඉගැන්වීමටද රාජපක්ෂ සමත් විය.

දෙවැනි අවස්ථාව උදා වන්නේ ඊට වසර කිහිපයකට පෙරය. මෙවර තත්වය ඉතා තීරණාත්මක මෙන්ම රාජපක්ෂ භිරාන්ත කිරීමට සමත් වූ බව සැබෑය. මෙවර පොදු අපේක්ෂකයා වූ කලී මහින්දගේ දේශපාලන ගුණ්ඩු ගැන නිවැරදි අවබෝධයක් ඇති අයෙකි. රාජපක්ෂගේ බල මහිමය සකස් කිරීම සඳහා මූලික දායකත්වයක් ලබාදුන් අයෙකි. සරත් ෆොන්සේකා පෘථුල අර්ථයෙන් දේශපාලනික චරිතයක් වුවද ක්‍ෂුද්‍ර අර්ථයෙන් අදේශපාලනික චරිතයක් විය. නමුත් මෙවර පොදු අපේක්ෂකයා එනම් මෛත්‍රී පෘථුල අර්ථයෙන් මෙන්ම ක්‍ෂුද්‍ර අර්ථයෙන් ගත්තද දේශපාලනික වේ.

දේශපාලනික වූ කලී සතුරාට කතා කළ යුත්තේ කුමන බසින්ද යන්න තේරුම් ගැනීමය. ඔහුගේ හැසිරීම තේරුම් ගැනීමය. තමන්ගේ අභ්‍යන්තර ශක්තිය නැති අවස්ථාවේදී මවා පෑම් වලින් එය පෙන්වා සතුරා හමුවේ අභ්‍යන්තර කුළල් කා ගැනීම් ඇති කිරීමය. එමඟින් සතුරා අනාරක්ෂිත වේ. අනාරක්ෂිත වූ විට සතුරා ඔහුගේ සැබෑ දුර්වල තාවයන් වලින් පාලනය වේ. ජනාධිපති රාජපක්ෂ රාජ්‍ය නායකයෙක් ලෙස පමණක් නොව පුද්ගලයෙක් ලෙසද වර්තමානයේ මුහුණ දී සිටින සැබෑ ව්‍යාකූලතාවය හැඩගැසෙන්නේ එම වට පිටාව යටතේය.

කෙසේ වෙතත් මෙහිදී තේරුම් ගත යුතු මූලික යථාවක් තිබේ. එනම් මහින්ද රාජපක්ෂ යනු පුද්ගලයෙකි. අනෙක් පුද්ගලියින් සේම ඔහු පරාජය කිරීම පහසුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ශක්තිමත් සැලැස්මක් සහ සැබෑ මිතුරන්ගේ දායකත්වයක් පමණි. සැබෑ මිතුරන් සොයා ගැනීම වූ කලී ලංකාවේ දේශාපලනය තුළ පමණක් නොව සංස්කෘතිය තුළද අතිශය දුෂ්කර කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් එක්තරා සීමා මායිමකට මෛත්‍රී මෙහි වාසනාවන්තයෙකු වූ බව සැකයක් නැත.

තත්වය මෙසේ සකස් වී තිබුණද පවතින එකමුතුකම මෙන්ම උපායේ දක්ෂකම විපක්ෂය වෙතින් එක මොහොතින් නැති වී යා හැකිය. තමන් ගන්නා එක් හෝ තීරණයකින් හෝ එක වචනයකින් එය කුඩුපට්ටම් වී යා හැකිය. සාමූහික වගකීමක් වූ කලී බැරෑරුම් කටයුත්තක් වන්නේ ඒ නිසාය.

ජයග්‍රහණය පෙනන මානයේ තිබුණද එය අත්පත් කරගන්නා තෙක් සිදුවන්නේ තරගයකි. මේ නිසා පූර්ව ලක්ෂණ දැක මත් නොවීම මෙන්ම සිහිණුවනින් කටයුතු කිරීම වනාහී මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තකි.   තිස්ස වැනි අසමත් දේශපාලනඥයෙකුගේ උපායන් අනුගමනය නොකිරීම සහ අනෙකාගේ ලණු   අනුභව කොට සමාජය හමුවේ හෑල්ලුවට ලක්වීමෙන් වැළකීම අතිශය වැදගත් වේ.

මෛත්‍රී : නිතීයට ඉහළින් සිටගන්නා අවසන් ශ්‍රිලාංකිකයා ?

ජනාධිපති රාජපක්ෂ “දන්නා යක්ෂයාට වඩා නොදන්නා දේව දූතයා” විශ්වාස කරන්න එපා යන ප්‍රකට උපහැරණය ගෙන හැර දැක් වීමට හේතු තිබේ. එය බොහොමයක් රාජපක්ෂ විරෝධී මාධ්‍ය ලබා ගත් ආකාරයෙන් ගැනීමට මා සූදානම් නැත. මන්ද මින් කියවෙන දේශපාලනය ගැඹුරුය. කොටි සංවිධානය තවමත් ඇතැම් දෙමළ ජන කොටස් තුළ දේශපාලන භූමිකාවක් රඟ පාන්නේ මෙම යථාර්තය නිසාය. කොටි සංවිධානය යුධමය වශයෙන් ක්‍රියාකාරී අවධිය තුළ දෙමළ ජනතාව විශ්වාසය තැබුවේ දන්නා ප්‍රභාකරන් මත මිස නොදන්න රාජපක්ෂ මත නොවේ. එසේම රාජපක්ෂ එම උපායම භාවිතා කරමින් මෛත්‍රීට එරෙහි තම දේශපාලනය  නාභිගත කොට ඇත්තේය.
| නිලන්ත ඉලංගමුව

ඓතිහාසික වශයෙන් දේශපාලන වෙනස්කම් සිදුවන කාලපරිච්ඡේදයක ජීවත් වීමට ලැබීම සැබවින්ම වාසනාවක් මෙන්ම වගකීමක්ද වේ. මෙය ඕනෑම අයෙකුට පොදු කාරණයකි. මෙවැනි අවස්ථාවක ඕනෑම අයෙකු ලබා ගන්නා පෞද්ගලික ආස්ථානයන් වුවද අතිශය තීරණාත්මක වේ. එය පෘථුල වශයෙන් ගත් කළ සමාජයට මෙන්ම පෞද්ගලික ජීවිතයටද වැදගත් වේ.

මෙවැනි අවස්ථාවලදී සෑම විටම ශුද්ධ වන්තයින් බිහිවන්නේ නැත.අවස්ථාව දඩමීමා කරගෙන තම ගූඪ පෞද්ගලික අරමුණු කරා ගමන් කිරීමට මාන බලන අයවලුන්ද බිහි වීම මෙවැනි අවස්ථා වලදී බොහෝ පොදු කාරණයක් ලෙස හඳුනා ගත හැකිය.

බොහොමයක් අවස්ථාවලදී සහන ලබන්නා සැබවින්ම අගතියට පත් තැනැත්තා නොවීම බරපතළ ලෙස කුණු වුන සමාජයක රෝගී තත්වයකි. මෙවැනි සමාජ වල ධෛර්ය ඇති පිරිස ඉතා අඩුය. එසේම සාමූහිකව වැඩකරන පිරිස ඉතා අල්පමය වේ. මන්ද සෑම දෙනෙකුගේම හදවත් තුළ සැකය පැළපදියම් වී තිබේ. මෙවැනි සමාජයක සැකය ඉතා පහසුවෙන් පැළපදියම් කළ හැකි විෂ බීජයක්ද වේ.

ජනාධිපති රාජපක්ෂ “දන්නා යක්ෂයාට වඩා නොදන්නා දේව දූතයා” විශ්වාස කරන්න එපා යන ප්‍රකට උපහැරණය ගෙන හැර දැක් වීමට හේතු තිබේ. එය බොහොමයක් රාජපක්ෂ විරෝධී මාධ්‍ය ලබා ගත් ආකාරයෙන් ගැනීමට මා සූදානම් නැත. මන්ද මින් කියවෙන දේශපාලනය ගැඹුරුය. කොටි සංවිධානය තවමත් ඇතැම් දෙමළ ජන කොටස් තුළ දේශපාලන භූමිකාවක් රඟ පාන්නේ මෙම යථාර්තය නිසාය. කොටි සංවිධානය යුධමය වශයෙන් ක්‍රියාකාරී අවධිය තුළ දෙමළ ජනතාව විශ්වාසය තැබුවේ දන්නා ප්‍රභාකරන් මත මිස නොදන්න රාජපක්ෂ මත නොවේ. එසේම රාජපක්ෂ එම උපායම භාවිතා කරමින් මෛත්‍රීට එරෙහි තම දේශපාලනය  නාභිගත කොට ඇත්තේය.

මෙය තව දුරටත් සංකීර්ණ වුවහොත් එනම් කොටි සංවිධනයේ දේශපාලන උපායන් රාජපක්ෂ තමන්ගේ බිඳ වැටීම විසඳා ගැනීම වැඩියෙන් භාවිතා කළහොත් ඒ ගැන පුදුමයට කාරණයක් නොවේ. එනම් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිතය පිළිබඳ අවධානයක් පවා මතුවිය හැකිය. මෛත්‍රී පද්ධතියෙන් ඉවත් කළ හොත් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් මරා දැමීමට හැකිය, යන උපායට රාජපක්ෂ පිවිසියහොත් සිතා ගැනීමටවත් නොහැකි තත්වයක් ලංකාවේ මතුවනු ඇත.

පිලිපීනයේ මාකෝස් තම දේශාපලන විරුද්ධවාදියා වූ අකිනෝ මරා දැමුවේ ගුවන් තොටුපලේදීමය. මෙවැනි දෑ ඉතා පරෙස්සමින් කියවීමට මෙන්ම මතුවිය හැකි බැරෑරුම් තත්වයන් ගැන මනා අවධානයෙන් කටයුතු කිරීම අතිශය තීරණාත්මක වේ.

තීරණාත්මක දේශපාලන අවස්ථා සහ අභියෝග වූ කලී මෙවැනි දෑය. ලංකාව මෑත ඉතිහාසයේ තීරණාත්මක දේශපාලන අවස්ථා රැසක් පසු කළ බව අපි දනිමු.

විශේෂයෙන් විදේශ ආක්‍රමණයන්ගෙන් පසු 1948, 1956 , 1978 මෙන්ම 2009 අදී වර්ෂයන් වූ කලී අපේ මාතෘභූමිය  ප්‍රධාන දේශාපලන විප්ලවයන් වලට මුහුණ දුන් වර්ෂයන් ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඊට අමතරව විශාල සිදුවීම් සහ අවස්ථා රාශියක් තිබුණද එම අවස්ථා සියල්ලම මෙම මුලික අවස්ථා හා බද්ධ වී තිබේ.

1948 දී අපි නාමික වශයෙන් හෝ නිදහස ලබා ගන්නෙමු. 1956 දී ශ්‍රී ලංකාවේ පැවති වැඩවසම් පවුල්වාදී දේශාපාලනය අභ්‍යන්තරයේ සිදුවන පුපුරා යාමකින් එය නවආරක ස්වරූපයක් ගන්නේය. එමඟින් පැවති පිටත ආවරණය මෙන්ම ව්‍යුහය තුළ බරපතළ වෙනස් කම් ඇති විය. නව සටන් පාඨ කරළියට පැමිණියේය.

ඉන්පසු, 1978  දී, පැවති ආණ්ඩුකරණය සම්පූර්ණයෙන්ම වෙනස් වී,  නව ව්‍යවස්ථාමය වෙනසක් සඳහා රටේ පාලන තන්ත්‍රය වෙනස් වේ. එනම් වසර තිහක් තිස්සේ පැවති වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු විධායක ක්‍රමය වෙනුවට 1978 දී ජනතාවගේ කැමැත්තෙන් පත්වන විධායක ජනධිපති ධූරය හඳුන්වාදෙනු ලබයි.

අදාළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධනට කිසිඳු බාධාවක් ඇති නොවන්නේ, පැවති ආර්ථික තත්වය මෙන්ම විපක්ෂ දේශපාලනය තුළ තිබු ව්‍යාකූලබාවය හේතුවෙනි.

විධායක ජනාධිපති ධූරය හඳුන්වා දෙමින් ඔහු එනම් රටේ ජනාධිපතිවරයා රටේ නීතියට ඉහළින් තැබීමට කටයුතු කළ හෙතම, එම අවස්ලස්සන සහ දරුණුකම වැසීම සඳහා වසර දෙසීයක පමණ ඉතිහාසයක් ඇති අමෙරිකානු විධායක ජනධිපති ධූරය සහ 1958 දී ඩී ගෝල් විසින් හඳුන්වා දෙනු ලැබූ ප්‍රංශ විධායක ජනාධිපති ක්‍රමය ගෙන හැර දක්වනු ලැබීය. ඔහුගේ තර්කය වූයේ බ්‍රිතාන්‍යට එරෙහිව ජයග්‍රහණය කිරීම සඳහා එය ඇමෙරිකාවට ආධාරයක් වූ බවය. එසේම ප්‍රංශය ලෝකයේ ධනවත් රටක් වීම සඳහා එම ක්‍රමය පිටිවහල් වූ බවය.

එපමණක් නොව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් තෝරා ගන්නා වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ විධායකය ඉතා අවස්ථාවර එකක් බව පෙන්වා දුන් හෙතම එහිදී ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ෂයේ කැමැත්ත නොලැබුණ හොත් කිසිවක් කළ නොහැකි බව කිව්වේය. ඒ නිසා වසර 06 කට වරක් මහජන ඡන්දයෙන් පත්වන නායකයෙකු රටට අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. මෙසේ විශාල තර්කයක් භාවිතා කොට තමන්ගේ ආශාව  ජනතා විශ්වාසයක් බවට පත් කිරමින්, මතුව ආ සැබෑ විරෝධය යටපත් කිරීමට ජයවර්ධනට හැකි විය. 

එම සියලු කාරණා මඟින් වසනු ලැබුවේ, එම ව්‍යවස්ථා සංශෝධනයෙන් කර ඇති සැබෑ අපරාධයය. එනම් විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන් වෙනත් රටවල දක්නට නැති නමුත් මෙරටට ලබාදුන් මුලික රෝග ලක්ෂණයය. එමඟින් ජනතා ස්වාධිපත්‍ය සූක්‍ෂම ලෙස මෙන්ම අප්‍රසන්න ලෙස තර්ජනයට ලක් විය. එනම් ජනතාවගේ කැමැත්තෙන් පත්වන නායකයෙකු ජනතාවට එරෙහිව වරදක් කළ පසු ඔහුව නීතිය ඉදිරියට ගෙන ඒමට ජනතාවට අවකාශයක් නොමැත්තේ නම් එම පාලන තන්ත්‍රය මඟින් ජනතා ස්වාධිපත්‍ය තහවුරු වෙන්නේ යැයි කීම මුලාවක් සේම වරදකි.

කුමන කෙස් පැලෙන තර්කය ඉදිරිපත් කළද මෙය ඇති තැන එනම් නීතියට ඉහළින් කෙනෙකු පත් කළ පසු තවදුරටත් පාලකයා මනුෂ්‍යයෙකුගේ භූමිකාව නොව ඔහුට සක්කරයාගේ හෝ යමගේ භූමිකාව රඟපෑ  හැකිය. මෙතනට පත්වන මිනිසා කොතරම් උසස් සහ උතුම් වුවද ඔහු නරක කරනු ලබන්නේ මෙය මඟිනි. 

මෙම වරද, රටක් ස්ථාවර කිරීමට හේතුවන බව පවසමින් බලයට පැමිණි සියලුම නායකයින් ඊට තවත් වැඩියෙන් බලතල එකතු කරමින් පවත්වාගෙන ගියේය. එමඟින් දේශපාලන පක්ෂ සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය දෙදරා ගියේය. එසේම රාජ්‍යයක සතු මුලික ආයතන සහ එම ආයතන වල හිමි ස්වාධීන බලය නිශේධනය විය. එමඟින් රාජ්‍ය තවදුරටත් ව්‍යාකූලතාවයට පත් විය.

ජනාධිපති රාජපක්ෂ මඟින් තමන්ගේ ප්‍රකට තණ්හාව නෛතික රාමුවකට ගැනීම හෙවත් 18වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් තවදුරටත් පුළුල් කරනු ලැබීය. මේ දිනවල බොහොමයක් රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වනආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා මහත් වියෝවෙන් සහ කේන්තියෙන් මතුකරන අදේශපාලනික තර්කය වනුයේ “ තමන්ට යුද්ධය කිසිඳු හිරි හැරයකින් ” තොරව කරගෙන යෑම සඳහා  විධායක ජනධිපති සතු බලතල ප්‍රයෝජනවත් වූ බව කියන්නේය. මෙය සැබවින්ම හතරබීරි කතාවක් වනුයේ රාජපක්ෂ ජනාධිපතිවරයා යුධ ජයග්‍රහණයෙන් පසු 18 වන ව්‍යවස්ථා සංශෝධනයකට යෑමය.

රටක පුරවැසියන් ලෙස අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතු මුලික කාරණය වනාහී මෙයයි. එනම් රටේ ඕනෑම වැසියෙකුට තම මුලික  අයිතිය වෙනුවෙන් ඇති එකම විශ්වාසය වූ කලී අධිකරණයයි. අධිකරණය වූ කලී රටේ සැබෑ නීතිය විමසා බැලෙන ස්ථානයයි. එම නීතිය හමුවේ සියලු දෙනාම එක හා සමානය. එම සමානාත්මතාවය  රටේ ස්වාධිපත්‍ය තවුරුකරන මුලික ලක්ෂණය වේ.

මෙය ජේ. ජයවර්ධනගේ සිට රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා අයවලුන් හිතාමතාම තම බලාධිකාරිය පවත්වාගෙන යෑම සඳහා ඉතා අප්‍රසන්න ලෙස භාවිතා කළ උපාය වේ. එමඟින් සිතු පරිදි තීරණ ගැනීමට හැකි විය. එපමණක් නොව මෙම බලය භාවිතා කරමින් සමස්ථ රටේ ව්‍යුහයම විකෘති කිරීමකට ලක් කරනු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ මේය වඩාත් අප්‍රසන්න ලෙස භාවිතා කරනු ලැබීය. රටේ වත්මන් දේශපාලනය මුලික වශයෙන් අභියෝගයකට ලක් වී ඇත්තේ මෙම කාරණයය. මෛත්‍රිපාල දේශපාලනික වශයෙන් මතුවන්නේ මෙම සන්දර්භය තුළය.

මේවන විට මෛත්‍රිපාල තමන්ගේ ස්ථාවරය පැහැදිලි කොට ඇත. මෙය පෙර පැවති රටාවේම තත්වයක් වීමට වන්නේද? සැබෑ වෙනසක් වෙනුවෙන් රට තල්ලු කිරීමට ගන්නා අවංක උත්සාහයක්ද යන්න තීරණය වන්නේ ප්‍රතිඵලය මතය.

එය එසේ වන්නේ නම්, මෛත්‍රිපාල වූ කලී මෙරට ඉතිහාසයේ නෛතික රාමුවට අනුකූලව නීතියට ඉහළින් සිටගන්නා අවසාන පුද්ගලයා බවට පත්වනු ඇත. සැබවින්ම මෙය රටක ජනතාවට හිමි ස්වාධිපත්‍ය යළි ලැබීමක් හෙවත් වත්මන් විකෘති ව්‍යුහය නිවැරදි කිරීම සඳහා ගන්න පළමු පියවර වේ. මෙය සැබවින්ම ඓතිහාසිකය.

මාක්ස්වාදයෙන් මදාවිවාදයට: අපායේ විවේකය සහ යකාගේ හූනියම

මොවුහු අමතක කරන මුලික කාරණයක් තිබේ. එනම් මොවුන්ගේ සිහින මන්දීරය තුළ සිටින කොමියුනිස්ට් වාදය නමැති දරුවා, යුද්ධය මඟින් හෝ දූෂණය මඟින් හෝ එම දෙකම මඟින් කුණු වූ සමාජයක උපත ලබන්නේ නැති බවය. මෙම මුලික යථාර්තයට පිටු පාන්නේ නම්, ලොම් හැලුණු බැටලුවෙකුගේ තත්වයට පත් වී ඇති ලංකාවේ මාක්ස්වාදය නොහොත් ලංකාවේ වම, කිසිඳු කාලයක බලයට එන්නේ නැත. එය සිදු කරමින් සිටින්නේ ගුණරත්නම්ලා මුදලිගේලා කිරීම පමණි. මොවුන් වඩාත් හානිකර කොටසකි.
| නිලන්ත ඉලංගමුව

කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක  නිසා නරක දේවල් කළෝය. නමුත්, තමන් කරන්නේ උතුම් දෑ යැයි සිතාගෙන බොහොමයක් හොඳ මිනිසුන්  ඉතා භයානක දේවල් කරති. වරක් ජිජැක් පෙන්වා දුන්නේය.

විපක්ෂයේ සන්ධානයේ පක්ෂ දෙකක් අතර එනම් එජාපය සහ ජවිපෙ අතර අත්සන් කර ඇතැයි කියන “රහස්” ගිවිසුමක් හෙළි කිරීමට වීරයෙක් පැමිණ ඇත. මැජික් බෝලයක් අතැතිව පැමිණි ඔහුට මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ තැබීමේ සියුම් අසාවක් පහළ වී ඇති සැටියෙකි. ඉන් ඔහු ප්‍රමෝදවන වන සැටියෙකි. මෙරට පහළ වූ “මාක්ස්වාදීන්” මළ පසු ගොස් ඇත්තේ අපායටය. යමරජුන් එසේ “මළ මාක්ස්වාදීන්ට” ලබා දී ඇති විවේකය එනම් අපායේ විවේකය  ඔහුගේ මුලික තාර්කික වස්තු භීජය බවට පත් වී ඇත.

මෙය ගැන කතා කිරීමට පෙර, ඔහුගේ සගයෙකුගේ කතාවකින් මෙම ලිපිය ආරම්භ කිරීම වැදගත් යැයි සිතේ.
එය මෙසේය.

එහෙම නේද? සහෝදරයා. මාක්ස් කිව්වේ ඒකම තමයි නේද? සහෝදරයා. මාක්ස් සහෝදරයා කියපු දේවල්  කවදාවත් යල් පැනලා නැහැ සහෝදරයා. අපි ගන්නේ මාක්ස්ගේ වචන විතරක් නෙමෙයි සහෝදරයා. ඇත්ත වශයෙන්ම අපි ගන්නේ මාක්ස්ගේ චින්තනය සහ ඔහු හිතපු විදිහ. ඒ හිතපු විදිහ ගැන හිතල ඒක, අපේ වගේ පසුගාමී රටකට ආදේශ කරගන්නේ කොහොමද කියල  තමයි අපි බලන්නේ සහෝදරයා.

ඇත්තටම සහෝදරයා, මේ... මේ... ඒ කිව්වේ මේ රටේ සිද්ධ වෙන්නේ ... මනුෂ්‍යයා ඇතුලේ ඉන්න තිරිසනා එළියට අරගන්න එක තමයි. “ධනපතියෝ” කරන්නේ ඒක තමයි සහෝදරයා. වෛරය අවුස්සනවා. අපි මෝඩයෝ කියලා හිතාගෙන වෙන්න ඇති අවුරුදු ගානකට පස්සේ චන්ද්‍රිකා නෝනා ඇවිත් එකම දේ ආපහු කියන්නෙ? නේද සහෝදරයා. මෙහෙමයි සහෝදරයා අපි මේ මාක්ස් ගන්නේ විද්‍යානූකූලව. මාක්ස් සහෝදරයා කියපු දේවල් අරගෙන දුෂ්ඨිවාදයක් හදලා ඒ දුෂ්ඨිවාදය මාක්ස්වාදය කියලා කතා කරණ අය වගේ නෙමෙයි අපි... එහෙනම්...?  

කතාව ගලාගෙන යන්නේ මෙලෙසය. එය සිදු වූයේ මීට දින නවයකට පෙර  “ මාක්ස් නිවැරදි ඇයි?” නමැති කෘතියේ සිංහල පරිවර්තනය එළි දැක් වූ මොහොතේදීය. මෙහිදී මාක්ස්වාදය ගැන මෙන්ම ලංකාවේ මදාවිවාදය ගැනද කතා කළහ. අරුමයකි, මාක්ස් තේරෙන, මොවුන්ට ජුලම්පිටියේ අමරේ හෝ සම්පත් විදානපතිරණ තේරෙන්නේ නැත. ඔවුහු මෙම මදාවිවාදයට “ධනේශ්වරය” ලෙස අර්ථකථනයක් දී ඇත.

එය මාක්ස් දුටු ධනේශ්වරය ලෙසත් ලෙනින් සහෝදරයා ප්‍රායෝගිකව සටන් කොට ජයගත් අභියෝගය ලෙසත් දකිමින් පොත් ලියති. පැය ගණන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරති. තම හමේ රන් පැහැය නැතිවීමට සහ රාජපක්‍ෂට රන් පැහැයක් තිබීම ගැන වහරති. තම පෞද්ගලික වේදනාව දේශපාලනික වේදිකාවට ගෙනවිත් එය රටේ විමුක්ති මාර්ගයේ ඉරණම තීන්දු කරණ සාධකය යැයි සිතා කටයුතු කරති. 

ඉනික්බිති , ඔවුන්ගේ අවශ්‍යතාවය ගැන ඔවුහු කියති. මොවුන්ට අවශ්‍ය වන්නේ කණපිට පෙරලීමකි. එක එක සුළු වෙනස් කම් කිරීම නොවේ. එංගල්ස්  ඔලුවෙන් සිටුවා තිබු  දයලෙක්තිකය මාක්ස් කකුල් දෙකෙන් සිටුවනු ලැබූ ආකාරය ඔවුහුට මතකය. එබැවින් ලංකාවට අවශ්‍ය වන්නේ පවතින ක්‍රමය කණපිට පෙරළීමකි. ඒ වෙනුවෙන් සටන් කරන බව ඔවුහු කියති. 

එසැනකින්ම මාගේ සිහියට පැමිණියේ ඊළාම් රාජ්‍යක් වෙනුවෙන් සටන් වැදුන වේලුපිල්ලේ ප්‍රභාකරන් හෝ ඉස්ලාමීය රාජ්‍යක් වෙනුවෙන්  සටන් වදින අසිස් සංවිධනයේ නායකයා වන  අබු මාකර් අල්- බග්ඩදී නොව, කාම්බෝජයේ පොල් පොට්ය.

පොල් පොට් එරට කණපිට පෙරළුවේය. නික්සන් වියට්නාමයට බැටදෙන මුවාවෙන් කාම්බෝජයට කළ අපහරණය  පොල් පොට් හට තම කණපිට පෙරලීමේ ව්‍යාපෘතිය පහසු කළේය. ඔහුට බිංදුවෙන් පටන් ගැනීමට අවශ්‍ය විය. ඉන් පසු කාම්බෝජයේ වූ දේ ගැන කියවීම ඔබට භාරය. කියවීමට වෙලාව සොයා ගැනීමට නොහැකි නම් නොම්පෙන් හී පිහිටි S21 වධකාගාරයේ එල්ලා ඇති ඝාතනයට ලක් වූ දරුවන්ගේ මුහුණුවල් දෙස බලා සිටීම හෝ වැදගත් වේ. මන්ද, ඔබට ඔබ හමුවන්නේ එතැනදීය. එය එසේ ලෝකයට දැකීමට හෝ පොල් පොට් තම සගයින්ට වාර්තා තැබීමට යැයි නියෝග කළේය. එය සැබවින්ම “හොඳ” දෙයකි.
මොවුන් ප්‍රමුඛ සතුරා ආරක්ෂා කරන්නේය. ප්‍රමුඛ සතුරා වෙනුවෙන් පෙළ ගැසීම අමතක කොට, මුහුද හත්ගව්වක් තිබියදී අඹුඩය ගහති. කුමන දේශපාලන වෙනස්කම් තිබුණද ස්ටාලීන් එකල චර්චිල් සහ ට්රුමන් සමඟ එකතු විය. එය මොවුන් නටමින් කතාකරන කොමියුනිස්ට්වාදයේ සැබෑ ඉතිහාසයය. නමුත් මොවුන්ට මේ රටේ සැබෑ ගැටලුව වෙනුවෙන් පෙළ ගැසීම එක් පයිසයකට හෝ වැදගත්කමක් නැත. මොවුන්ගේ මාක්ස්වාදය එයයි. 

නමුත් මෙරට “විප්ලවවාදීන්” විමුක්ති අරගල කරනවා යැයි කියමින්, තමන් විසින් හෝ තමන්ගේ සතුරා විසින් මරාදමනු ලැබූ සමස්ථ පුද්ගලයින් ගැන තොරතුරු ඇතුලත් පුස්තකාලයක් තබා කෞතුකාගාරයක් හෝ ඉදිකිරීමට සමත් නොවූහ. මෙම විප්ලවදීන්ට අපේ රට මුහුණ දුන් ඛේදවාචක හමුවේ ඔවුහු වෙනුවෙන් මැරුණු එකාට සොහොනක්වත් තැනීමට නොහැකි විය. නමුත් කෛරාටක ස්වයං-විවේචන තිබේ. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි.  

ලිපිය ආරම්භයෙදී අපේ මාක්ස්වාදීයාගේ කතාවේ අවසානයට ලියු කාරණය යළි මතක් කරමු. එනම් මදවේලාවකට ... යළිත් අපි අපේ මාක්ස්වාදියා වෙත හැරෙමු. සැලුන් දොරෙන් ඇතුලට ගොස් ලෙනින් සහෝදරයාට හෝ චේ සහෝදරයාට තිබුන රැවුල වගේ රැවුලක් මටත් හදා ගන්න ඕනෑ යැයි, එහි සිටින බාබර්ට තමන්ගේ නිරුවත වසා ඇති චීනයේ නිපදවූ රෙද්දකින් මසා දැමූ කලිසමේ සාක්කුවේ ඇති, චීනයේ බල්ලන්ගේ සම යොදා තැනු ලෙදර් වොලට්ටුවේ දමා ගත්, රාජපක්ෂගේ අත්සන සහ රුව යෙදු මුදල් නෝට්ටුවක් දී ධනේශ්වරයා යටතේ පාලනය වන බහුජාතික සමාගමක නිපදවූ “ ට්‍රිමරය” (දැලි පිහි නැති නිසා) අල්ලා ජෙලි පැකට්ටුව තැවරීමට පෙර, අපි ඒ ප්‍රශ්නය අපේ සහෝදරයාගෙන් ඇසිය යුතුව ඇත. මන්ද සැලුන් දොරෙන් එළියට එන්නේ “නව මාක්ස්වාදියෙක්” නිසාය.

එනම් සැලුන් දොරෙන් ඇතුලට යන ගුණරත්නම් එළියට එන්නේ මුදලිගේ ලෙසය. මෙම මුදලිගේ වූ කලී, චේ වෙනුවට චේගේ රුව පින්තාරු කළ තොප්පි වලට කැමති අයෙකි. මාක්ස්ගේ ප්‍රතිපත්ති වලට වඩා මාක්ස්ගේ රුව යොදා ඇති කෝප්ප වලට කැමතිය. වොඩ්කා වලට වඩා වොඩ්කා ලේබලය සහිත බෝතලයක දමා ඇති ඕස්ට්‍රේලියාවේ නිපද වූ සුදු වයින් වලට කැමතිය. අපේ බාසාවෙන් කිවහොත්, මොහු අසා කරන්නේ ඇතුලට වඩා පිට තියෙන ලේබලයටය. මන්ද මොහුගේ නියම ආතල් එක ඇත්තේ එතැනය.  පවතින ක්‍රමය කණපිට පෙරළීමට අර අදින බොහෝ දෙනෙකුගේ කෛරාටක දේශපාලනය මෙයයි.

මොවුන් ප්‍රමුඛ සතුරා ආරක්ෂා කරන්නේය. ප්‍රමුඛ සතුරා වෙනුවෙන් පෙළ ගැසීම අමතක කොට, මුහුද හත්ගව්වක් තිබියදී අඹුඩය ගහති. කුමන දේශපාලන වෙනස්කම් තිබුණද ස්ටාලීන් එකල චර්චිල් සහ ට්රුමන් සමඟ එකතු විය. එය මොවුන් නටමින් කතාකරන කොමියුනිස්ට්වාදයේ සැබෑ ඉතිහාසයය. නමුත් මොවුන්ට මේ රටේ සැබෑ ගැටලුව වෙනුවෙන් පෙළ ගැසීම එක් පයිසයකට හෝ වැදගත්කමක් නැත. මොවුන්ගේ මාක්ස්වාදය එයයි. 

මෙය සමාන වන්නේ මානසික රෝගී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු පෝය දිනයක ( හිතවත් මාක්ස්වාදී සහෝදරයා, ආගම අබිං නිසා මෙය කියවීමේදී පෝය වෙනුවට පිස්සුව තදවන මාසේ දවස ලෙස කියවා ගන්නේ නම් මනාය.) එළියට පැමිණ හඳට යෑමට උත්සහ කිරීම සම්බන්ධකොට ගෙතුණු කතාවකටය. එය මෙසේය.

එක් මානසික රෝගියෙක් අනෙකාට තම සැලැස්ම කියන්නේය. ඒ තමන්ට ඕනෑම කෙනෙක් හඳට යැවිය හැකි අකාරයය. එනම් , තමන් සතුව ඇති ටෝච් එක ( විදුලි පන්දම )  හඳට ඉලක්ක කර පත්තු කළ විට ඒ ටෝච් එළිය දිගේ හඳට යා හැකි බවය.

එය අසා සිටි ඔහුගේ “මිත්‍ර” මානසික රෝගී පුද්ගලයා මදක් කල්පනාකොට මෙලෙස ප්‍රතිචාර දක්වන්නේය. “සහෝදරයා... මම ටෝච් එළිය දිගේ හෙමින් මෙහින් ගිහින් මැද හරියට යනකොට හෙමීන් සැරේ ටෝච් එක නිවලා මාව බිම දාන්න නේද හදන්නේ..?”.

ලංකාවේ දයලෙක්තිකය විමසා බලන පිරිසද එසේය. එකෙක් මාක්ස් කකුල් දෙකෙන් සිටවූ ඈත පෙනෙන දයලේක්තිකය දෙසට ඉලක්ක කොට අහවල් මාසේ දිනය බලා ටෝච් එකක් ගහන්නේය. අනෙකාට ටෝච් එළිය දිගේ නගින්න යැයි කියන්නේය. අනෙකා...ටෝච් එළිය දිගේ බාගෙට නැගීමෙන් පසු එය නිවීම තමන්ට යෝජනා කරන්නාගේ අරමුණ බව සිතන්නේය. මොවුන් අතර ඇත්තේ බරපතළ සැකය පමණි. එපමණක්ද? නැත.

රටේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය විනාශ මුඛයට ඇද දමමින්, ගොන් රැලකට මෙරට අහිංසකයින් හූරා කෑමට අවශ්‍ය භූමිකාව හදමින්, රටේ බුද්ධිය නැත්තට නැති කරමින්, අමු අමුවේ දහස් ගණන් අසරණ දෙමාපියන්ට දාව උපන් මොළේ ඇතිවුන් සොහොනක් හෝ නැතුව මිය යෑමට අවශ්‍ය අඩිතාලම සකස්කොට, ඔවුන්ගේ මරණයට හෝ නිසි ගරුත්වයක් හෝ නොදැක්වීමට හැකි වූ රැළක් යළිත් මාක්ස්, එංගල්ස්, ලෙනින් ගැන දොඩති.

මොවුහු සිදුකරමින් සිටින්නේ හින්දු බමුණන් බුදුදහමට කළ අපහරණයම මේ ලෝකයේ ඒ ඒ අවධිවල ඒ  ඒ තත්වය අනුව පහල වූ මහා පරිමාණ චින්තන ධාරාවන් අපහරණය කිරීම පමණක් බව දශක ගණනාවක් තිස්සේ මොවුහු කළ දේශපාලනයෙන් පැහැදිළිය. 

මොවුහු කරනු ලැබුවේ මාක්ස්වාදය පෙන්වා ව්‍යාකූල විප්ලවයකට ගොස් මදාවිවාදයට අවශ්‍ය මාර්ගය සකස් කිරීමය. රාජපක්ෂ වූ කලී මෙහි ප්‍රතිඵලයකි. මේ නිසා මොවුහු පළමුව තම දේශාපලන සම්මුතිය ජනතාව සමඟ ආරම්භ කළ යුත්තේ ඔවුහු විසින් තැනු මදාවිවාදයේ ප්‍රතිඵලය,  1994 දී එකඟ වූයේ යැයි කුමාර් ගුණරත්නම් කියන, “ප්‍රජාතන්ත්‍රවාදී” මුලධර්මයට අනුකූලව පරාජය කිරීමෙන් මිස අපායේ විවේකය ගැන සිතා යකාගේ හූනියමට කත් ඇදීම නොවේ. මෙය මොවුන් සතු වගකීමකි.

අපේ මාක්ස් වාදියා මෙසේ කියන්නේය. “මාක්ස් කියපු දේවල් අරගෙන දුෂ්ඨිවාදයක් හදපු අය වගේ නෙමෙයි? අපි මාක්ස්ව ගන්නේ ගෙඩිපිටින්.එහෙම ගන්න මාක්ස් අපි අපේ පසුගාමී සමාජයට ආදේශ කරනවා.” ඒ කොහොමද සහෝදරයා? පිළිතුර ලබාදීම නොයෙල් මුදලිගේට බාරය. මුදලිගේ යනු කුමාර් නොවේ. මුදලිගේට කුමාර් වීමට  නොහැකි බව ඔහු ඊයේ ඉතා හොඳින් පෙන්නුවේය.

මොවුහු අමතක කරන මුලික කාරණයක් තිබේ. එනම් මොවුන්ගේ සිහින මන්දීරය තුළ සිටින කොමියුනිස්ට් වාදය නමැති දරුවා, යුද්ධය මඟින් හෝ දූෂණය මඟින් හෝ එම දෙකම මඟින් කුණු වූ සමාජයක උපත ලබන්නේ නැති බවය. මෙම මුලික යථාර්තයට පිටු පාන්නේ නම්, ලොම් හැලුණු බැටලුවෙකුගේ තත්වයට පත් වී ඇති ලංකාවේ මාක්ස්වාදය නොහොත් ලංකාවේ වම, කිසිඳු කාලයක බලයට එන්නේ නැත. එය සිදු කරමින් සිටින්නේ ගුණරත්නම්ලා මුදලිගේලා කිරීම පමණි. මොවුන් වඩාත් හානිකර කොටසකි.

මන්ද ගුණරත්නම් මේ වන විට රඟ දක්වමින් සිටින්නේ මීට සති කිහිපයකට පෙර හෙළ උරුමයෙන් ආණ්ඩුවට එක් වූ එම උරුමයේ මුසිලයාගේ හෙවත් ගම්මන්පිලගේ රංගනයේම  අනුකරණයකි. මොහුගේ සැබෑ ගැටලුව රාජපක්ෂ හෝ මෛත්‍රී නොවේ. මොහුගේ සැබෑ ගැටලුව ජවිපෙ සහ අනුර කුමාරය.

රටක තීරණාත්මක දේශපාලන වෙනසක් සඳහා ප්‍රඥාව මෙහෙය විය යුතු මොහොතක තමන්ගේ වෛරය පිරිමසා ගෙන පැත්තකට වී සූත්තියක් ඇදීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ හිස් වින්දනයක් පමණි. එම වින්දනය හුදෙක් ඔබේ මානසික අවුල විසඳා ගැනීම සඳහාය.

මෙම සම්පූර්ණ රඟපෑම හමුවේ මතුවන මුලික න්‍යායික ගැටලුවක් තිබේ. එනම්, ගුණරත්නම් රුසියාව හෝ කියුබාව වෙනුවට ඔස්ට්‍රේලියාව තමන්ගේ ආරක්ෂක ස්ථානය ලෙස තෝරා ගත්තේ මන්ද? ඔහු මීට මාස කිහිපයකට පෙර ලංකාවේ දී මුහුණ දුන් කටුක යථාර්තය හමුවේ ඔහු ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකු නොවී රුසියාවේ හෝ කියුබාවේ පදිංචි පුද්ගලයෙකු වූයේ නම් අනෙකාට ඔහුව කියවීමට හැකි වනු ඇත.

අරාජික වූ රාජ්‍යක පළමුව පළවා හැරිය යුත්තේ එම අරාජිකත්වයට ඇද දැමූ මුලික ව්‍යුහීය සැකැස්ම යොදාගෙන ඔබේ අසල්වැසියාගේ අයිතිය කොල්ල කන මුලික විෂය මිස, “ අපායේ විවේකය දැක”, තමන්ගේ නිවට ආස්ථානය සොයා එය තහවුරු කරගැනීම නොවේ.

කුමාර් ඇතුළු “මාක්ස්වාදීන්” කළ දේශපාලනය නිසා මේ රට යකාගේ හූනියම් කම්මලක් බවට පත් වී ඇති බව බොහෝ දෙනා දනිති. 

කුමාර් අනුගමනය කළ එහෙත් මුදලිගේ ප්‍රතික්ෂේප කොට ඇත්තේ, “සතුරාගේ සතුරා ඔබේ මිතුරාය යන”, මුලික ප්‍රයෝගික දේශපාලන විඥානයයි. මාක්ස්  සහෝදරයා මළවුන්ගෙන් නැගිටවිත් රාත්‍රී සිහින දකින කුමාරගේ තට්ටය රත්වීමට ටොකක් හෝ ඇන මෙම  මුලාවෙන් ඔහු මුදා ගන්නේ දැයි දන්නේ නැත.

එහෙත් මාක්ස්වාදීන් නටන නාඩගම් දැක ටොකු අනිනු වෙනුවට මාක්ස් පිම්මේ දුව ගොස් යළිත් නොපෙනෙන ලෙස සැඟවී ගියහොත් ඒගැනද පුදුම විය යුතු නැත. මන්ද මොවුන්ගේ නාඩගම් එපමණකට අමිහිරි සහ තක්කඩි ස්වභාවයක් ගෙන ඇත.