රටවල් 120ක නායිකාව වෙලත් රටේ නායකකම මැතිනිට නැතිවුණු හැටි

  නොබැඳි ජාතීන්ගේ සම්මේලනයට පසු බණ්ඩාරනායක මැතිනියටයි, ගාන්ධි මැතිනියටයි දෙන්නාටම ගෙදර යන්න සිදු වූවා සේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට පසු සෝනියා ගාන්ධිටයි මහින්දටයි දෙන්නාටම ගෙදර යන්න සිදු වෙයිද දන්නේ නැත.

 උපුල් ජෝශප් ප්‍රනාන්දු

1976 ලංකාවේ පවත්වපු නොබැඳි ජාතීන්ගේ සම්මේලනයට සහභාගි වීමට ආ එකල ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධිට නවාතැන් දෙන්න බණ්ඩාරනායක මැතිනිය අරලියගහ මන්දිරයෙන් තාවකාලිකව ඉවත් වූවාය. ඇය එම තීරණය ගත්තේ ඉන්දිරා ගාන්ධි කෙරෙහි තිබුණු හිතෛෂීවන්තභාවය නිසාය. ලංකාවේ අගමැති නිල නිවෙසේ ඉන්දිරා ගාන්ධිට නවාතැන් දෙන්න ඇය හිතන්න ඇත්තේ ඇයව හෝටලයක නතර කිරීම ඇයට කරන මදිකමක් ලෙස සලකා විය යුතුය. එය ඉන්දියාවට කරන ගෞරවයක්' යැයි ඇය සිතන්නට ඇත.

 එකල බණ්ඩාරනායක මැතිනියගේ සහ ඉන්දිරා ගාන්ධිගේ මිත්‍රත්වය ලොව පුරා ප්‍රචලිත වූවකි. එයින් වඩාත්ම අපහසුතාවට පත්ව සිටියේ එකල විපක්ෂ නායක ජේ. ආර්. සහ යූ.ඇන්.පී.යය. මේ ඒ ගැන ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය කියන කතාවය.

 "1977දී පැවැත්වීමට නියම කරගෙන තිබුණු මහ මැතිවරණය තවත් වසර දෙකකින් කල් දැමීමට බණ්ඩාරනායක මහත්මිය දැරූ වෑයම බාහිර සාධකයකින් ශක්තිමත්ව තිබූ බව ජේ. ආර්. මෙන්ම එ.ජා.පක්‍ෂයද දැන සිටියේය. එනම් ඉන්දිරා ගාන්ධි මහත්මියගේ බලපෑමයි. ගාන්ධි මහත්මිය, 1973 අප්‍රේල් 27 වැනිදා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය සමඟ දෙදිනක සාකච්ඡා සඳහා දිවයිනට පැමිණියාය. එතැන් පටන් දෙරටේ අග්‍රාමාත්‍යවරියන් හැටියට, ඔවුන් දෙදෙනාගේ නිල කාලය මුළුල්ලේ දෙරට අතර ඇති වුණු අපූර්වාකාර සබඳතා වර්ධනය ඒ වූ පරිද්දෙන් සිදුවෙතැයි එම අවස්ථාවේදී බලාපොරාත්තු වූයේ ඉතා ටික දෙනෙකි. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පමණක් නොව, ඔවුන්ගේ පවුල් දෙක අතරද පෞද්ගලික වශයෙන් ගොඩනැඟුණු සුහද සබඳතාව නවසිය අසූ ගණන්වල දෙරට අතර සබඳතා කෙරේ වැදගත් බලපෑම් ඇති කරනු ඇතැයි එම අවස්ථාවේදී කිසිවකුටත් අනාවැකි පළ කරන්නට නොහැකි වූවාට සැක නැත. 1975 සහ 1976 වර්ෂවලදී ඔවුන් දෙදෙනා අතර අදහස්වල සාම්‍යයක් කොතරම් දුරට වර්ධනය වී තිබුණේද යත්, ශ්‍රී ලංකාවේ සිටි විවේචකයෝ, විශේෂයෙන්ම ජේ.ආර්. ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික මිත්‍රත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය කෙරේ අනර්ථකර බලපෑම් ඇති කළ හැකි යැයි කල්පනා කළේය. 1975දී ගාන්ධි මහත්මිය ඉන්දියාවේ හදිසි අවස්ථා නීතිය පැනවූ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය කම්පනයට පත්වූ අතර එම පියවර පුළුල් ලෙස විවේචනයටද භාජන විය. එහෙත් හදිසි අවස්ථා නීතිය යටතේ ඒකාධිපති තත්ත්වයට ආසන්න බලතල පාවිච්චි කිරීමට යොමුවූ ගාන්ධි මහත්මියගේ ක්‍රියා කලාපය අනුදනිමින් කිසියම් ප්‍රකාශයක් නිකුත් කළ ස්වල්ප දෙනා අතර බණ්ඩාරනායක මහත්මියගේ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුවද විය. තවත් නිදසුනක් දක්වතොත්, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය වයි. බී. චවාන් විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ටී. බී. ඉලංගරත්න වෙනුවෙන් 1976 පෙබරවාරියේදී නවදිල්ලි නුවරදී පැවැත්වුණු භෝජන සංග්‍රහයකදී ඉලංගරත්න මෙසේ පැවැසූ බව වාර්තා වී ඇත. "ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සැලසී ඇති නිදහස ප්‍රයෝජනයට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට ඉඩ දිය යුතු නැත" දෙරටේම ආණ්ඩු 1976දී හෝ 1977දී මහ මැතිවරණයකට මුහුණ දුන්හ. දෙරටේම නායකයෝ මැතිවරණ කල් දැමීමට ප්‍රයත්න දැරූහ; මෙහිදී බණ්ඩාරනායක මහත්මිය ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරිය අනුගමනය කරන්නේ යැයි ජේ. ආර්. විශ්වාස කළේය."

 කෙසේ හෝ 1976 ලංකාවේ අගමැති නිල නිවෙසේ නවාතැන් ගත් ඉන්දිරා ගාන්ධිට ඉන්දීය මහ මැතිවරණයෙන් අන්ත පරාජයකට ලක් වී ගෙදර නොව හිරේ යන්න සිදු විය. නොබැඳි සමුළුව පැවැති දිනවල තාවකාලිකව අගමැති නිල නිවෙසින් ඉවත් වී අසල්වැසි රටේ අගමැතිනියට එහි නවාතැන් දුන් බණ්ඩාරනායක මැතිනියටද 1977 මහ මැතිවරණයෙන් අරලියගහ මන්දිරය පමණක් නොව විපක්ෂ නායක නිල නිවෙස වන ශ්‍රාවස්තියද අහිමි වූවාය. 1977 මහ මැතිවරණය වනවිට රටවල් 120ක නායිකාව වූ බණ්ඩාරනායක මැතිනිය මැතිවරණයට පසු අත්තනගල්ලේ නිකම්ම නිකන් මන්ත්‍රි වූවාය.

 එදා මැතිනිය නොබැඳි ජාතීන්ගේ සම්මේලනය පවත්වද්දී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ හිටපු ළාබාලතම මන්ත්‍රිවරයා විය. අද ඔහු රටේ ජනාධිපති වී පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පවත්වන්න සූදානමින් සිටී. මැතිනිය 1976 නොබැඳි සම්මේලනය පවත්වා 1977 මහ මැතිවරණය පැවැත්වූවා සේ මහින්දත් 2013 පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම පවත්වා 2014 ජනාධිපතිවරණයකට යන්න සැලැසුම් සකස් කරමින් සිටී.

 මහින්දට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පවත්වන්න චාන්ස් එක අරන් දුන්න ඉන්දියාවත් 2014 මහ මැතිවරණයට යන්න සූදානම් වේ.

ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය බලයට ආවේ 2004 දීය. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කළ මැතිවරණය පැවැත්වූයෙත් 2004 දීය. රජීව් ගාන්ධි ඝාතනයට පසු සෝනියා ගාන්ධි අගමැති අපේක්ෂිකාව වී දින්න

 පළමු ඡන්දය 2004 ඡන්දයය. සෝනියා අගමැති ධුරයට මන් මෝහන් සිං නම් කරද්දී චන්ද්‍රිකා අගමැති ධුරයට මහින්දව නම් කළාය.

2005 මහින්ද ජනාධිපති වූ පසු නෝර්වේ සටන් විරාමය කඩාකප්පල්කොට යුද්ධයට යන්න උදවු කළේද සෝනියා ගාන්ධිය. තම සැමියා ඝාතනය කළ ප්‍රභාකරන්ගෙන් පළි ගන්න සෝනියා ගාන්ධිට අවශ්‍ය වූවාය. යුද්ධය නතර කරන්න බටහිර රටවලින් බලපෑම් එල්ල වනවිට ඒවා නතර කළෙත් සෝනියාගේ ආණ්ඩුවය. මහින්ද ප්‍රභාකරන්ව විනාශ කරනකොට සෝනියා ගාන්ධි 2009 මහ මැතිවරණයට මුහුණ දෙමින් සිටියාය. ඇය එයින් අති විශිෂ්ට ජයක් ලැබුවාය. මහින්දත් ඉන්දියාවේ ආරක්ෂාව, රැකවරණ සහ ආශීර්වාදය මැද දියත් කළ යුද්ධය ජයගෙන 2010 ජනාධිපතිවරණයට ගොස් අති විශිෂ්ට ජයක් ලැබීය.

 2009න් පසු ගාන්ධි පවුල වැටිණි. ආණ්ඩුවත් අප්‍රසාදයට ලක්විය. සෝනියා රෝගී වූවාය. පුත් රාහුල් ගාන්ධිව කරළියට ගේන්න පවත්වපු ප්‍රාන්ත මැතිවරණවලින් කොංග්‍රසය පරාජයට පත්විය. මහින්දත් 2010 ජනාධිපතිවරණය දිනා පුත් නාමල් රාජපක්ෂව කරළියට ගෙන ආවේය. කොංග්‍රස් පක්ෂය මෙන් පළාත් පාලන, පළාත් සභා ඡන්ද පැරදුණේ නැති වුවත් ආණ්ඩුව අප්‍රසාදයට ලක්වෙමින් පවතී.

 1976 බණ්ඩාරනායක මැතිනිය පුත් අනුරව දේශපාලනයට හඳුන්වා දුන් වසරය. ඒ වගේම ඉන්දියාවේ ගාන්ධි මැතිනිය පුත් සන්ජේ ගාන්ධිව දේශපාලන කරළියට ගෙන ආවේ මේ කාලයේය. නොබැඳි ජාතීන්ගේ සම්මේලනයට පසු බණ්ඩාරනායක මැතිනියටයි, ගාන්ධි මැතිනියටයි දෙන්නාටම ගෙදර යන්න සිදු වූවා සේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට පසු සෝනියා ගාන්ධිටයි මහින්දටයි දෙන්නාටම ගෙදර යන්න සිදු වෙයිද දන්නේ නැත.