මගෙ පුතා මළේ නෑ: කොටි එරිත්‍රියාවෙ හිර කරගෙන ඉන්නවා


මම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ යුද්දයෙ අවසන් අවස්ථාවේ වගකීම් දැරූ හමුදා නිලධාරීන් සහ රජය සමඟ සහයෝගෙන් කටයුතු කරන එල්.ටී.ටී.ඊ. හිටපු නායකයන් සම්බන්ධ කොමිසමක් හෝ පත්කර අතුරුදන් වූ දරුවන් ගැන සොයා බලා අපට සහනයක් ලබාදෙන ලෙසයි"
 මැයි 18 වැනිදා ඓතිහාසික යුද ජයග්‍රහණයේ සිවුවන සමරු උළෙල සඳහා රජය මේ දිනවල කටයුතු කරමින් සිටී. සන්නද්ධ හමුදාවන් සහ රජයේ මැති ඇමැතිවරුන් ගාලු මුව‍ෙදාර පිටියේ විජයග්‍රහණය උත්කර්ෂවත් ලෙස සමරනු ඇත. එහෙත් තවමත් කම්පාවෙන් යුතුව සැනසිලි සුසුමක් නොහෙළා අපේක්‍ෂා සහගත දෙනෙත් දල්වා හඬාවැටෙන පිරිසක් සිටිති.

 ඒ පිරිසට අයත් වන්නේ අතුරුදන් හමුදා සාමාජිකයන්ගේ අම්මාවරුන්ය. මේ අම්මාවරුන් හඬාවැටෙන්නේ තවමත් ජීවත්ව සිටීදැයි තොරතුරක් නොලද තම අතුරුදන් වූ පුතුන් පිළිබඳවය. කිසියම් දිනෙක අනපේක්‍ෂිත මොහොතක අතුරුදන් වූ සිය පුතා පැමිණ ‍ෙදාරට තට්ටු කරනු ඇතැයිද නොඑසේ නම් ගෙදර දුරකතනයට කොහේ හෝ සිට අමතනු ඇතැයිද මේ අම්මාවරු අපේක්‍ෂාවෙන් සිටිති. එවැනි එක් අම්මා කෙනකුගේ සොවින් පිරි කතාව අපි මෙසේ දිගහරින්නෙමු.

 1997 දී ගුවන් නියමුවකු වශයෙන් ක්‍රියාන්විත රාජකාරියක යෙදී සිටියදී අතුරුදන් වූ සිය පුතු මරණයට පත්වූ බව ඇය විශ්වාස කරන්නේ නැත. පුතු ජීවත්ව සිටින බවත් 2009 වන විට ලංකාවෙන් බැහැරට ගෙන ගිය තම දරුවා වූ ගුවන් නියමු දිල්රුක් දර්ශන නානායක්කාර එරිත්‍රියාවේ හෝ එවැනි රටක රඳවාගෙන සිටින බව කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජීවත් වන චාන්දනී නානායක්කාර මහත්මිය කියන්නීය. අපි ඇගේ කතාව අසමු.

"මගේ පුතා දර්ශන නානායක්කාර කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ගුවන් නියමුවකු වීමේ බලවත් ආසාව නිසාම ඔහු ගුවන් හමුදාවට බැඳී ගුවන් නියමුවකු ලෙස පුහුණුව අවසන් කොට රත්මලාන ගුවන් හමුදා ඒකකයේ සේවය කළා. ඔහු අවු. 23ක දරුවෙක්.

 1997 ජනවාරි 19 ඔහු වයි-12 ගුවන් යානය රැගෙන පලාලි ගුවන් කඳවුර බලා පියාසර කර තිබෙනවා. එදින රාත්‍රියේ පලාලිවල සිට පුතා ඊ.පී. නානායක්කාර වන මගේ මහත්තයා සමඟ කතා කළා. එදා තාත්තයි පුතයි බොහෝ වේලා කතා කරමින් සිටියා.

පසු දින ඒ කියන්නේ ජනවාරි 20 අලුයම 3.30ට පුතාට විශේෂ රාජකාරියක් පවරා තිබෙනවා, මුලතිව් මුහුදු ප්‍රදේශයට ළඟාවෙමින් තිබෙන ආයුධ නැවක් නිරීක්‍ෂණය කරන්න. පුතා පලාලිවලින් සහාය නියමු වෙත්තසිංහත් සමඟ ගුවන්ගතවී අඩි 6000ක් ඉහළ අහසේ ගමන් කරමින් සිටියදී ආයුධ ගෙන එන බවට සැක කළ නැව දැක තිබෙනවා. ඉන් පසු ගුවන් හමුදාවේ අවසරය ලබාගෙන තිබෙනවා "නැවක් දකිනවා පැහැදිලි මදි පහතට යන්නද" කියා පලාලි ටවර් එකෙන් අසා තිබෙනවා. එහිදී අඩි 1000 දක්වා පහතට ගැනීමට අවසරය ලබාදී තියෙනවා. ඒ අනුව වයි-12 පහතට ගෙන නොබෝ වේලාවකින් පලාලි ටවර් එකට සම්බන්ධතාව නැතිවී තිබෙනවා.

 අපට දැනගන්න ලැබුණා ගුවන් යානය ප්‍රහාරයට ලක්වීම නිසා මුහුදට ගොඩබැස්වූ බව. එය පුපුරා විනාශ නොවූ බව මම ස්ථිරවම දන්නවා. මට ඒ තොරතුරු ලැබුණේ එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවේ රඳවා ගෙන සිට නිදහස් කළ මිෂීන් නෞකාවේ කපිතාන් සුජිත් තේනුවර මහතාගෙන්. තේනුවර මහතා කොටි අත්අඩංගුවට ගෙන සිටියදී මගේ පුතයි සහාය ගුවන් නියමු ප්‍රසන්න වෙත්තසිංහයි දෙන්නම ඔහු සමඟ හිරේ ඉඳල තියෙනවා. තේනුවර මහතා සිටියේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය දැනුම්වත්ව. අපේ පුතාලා ගැන එහෙම දන්වලා නැහැ. ඒ නිසා දෙගොල්ල වෙනම සිරගතව සිට ඇත්තේ. පයිලට්ලා දෙන්න වෙනම ඉන්න බව ඔවුන්ට කෑම දෙන කොටි නිතර සඳහන් කර තිබෙනවා.

 රතු කුරුසය දැනුම්වත්ව සිටි අයට ගෙවල්වලට ලිපි එවන්නත් අවසර දී තිබුණා. තේනුවර මහතා එවූ ලිපියක කොටින්ට තේරුම්ගත නොහැකි ආකාරයට කවියකින් ලියා එවා තිබුණා. අපේ දරුවන්ගේ නම් සඳහන් කර ඔවුන් අත්අඩංගුවේ සිටින බව ගෙවල්වලට දන්වන්න කියා. ඒ වන විටත් පුතාල ඉන්න බවට අපට වෙනත් වෙනත් තොරතුරු ලැබී තිබුණා.

 වයි-12 යානයේ සුන්බුන් කිසිවක් හමු නොවූ බව ඒ දිනවලම ගුවන් හමුදාව මාධ්‍යවලට කියා තිබුණා. ගුවන් හමුදාවේ සතුරා අතට පත් යානා ලැයිස්තුවක වයි-12 යානයත් සඳහන්ව තිබෙනවා මා දැක්කා. ගුවන් හමුදාව දන්නවා කොටි මේක අල්ලගත්ත කියලා.
 
මගේ දරුවා හොඳ බෞද්ධ පරිසරයක හැදුණු අහිංසක දරුවෙක්. කැලණි පන්සලේ ‍ෙදාරකඩඅස්න කිව්වා. මස් මාළුවලින් තොරයි.මට මේ තොරතුර ගුවන් හමුදාව දැනුම් දුන් අවස්ථාවෙත් මා ඔවුන්ට කීවා නැහැ මගේ පුතා තවමත් හුස්ම ගන්නවා ඒක මට ස්ථිරයි විශ්වාසයි අර ධර්මපාල ජාතකේ වගේ මම පිළිගන්නේ නැහැ දරුවා ජීවතුන් අතර නැති බව. මම අඟලක්වත් පස්සට යන්නැහැ දරුවා ඉන්නව කියන මතයෙන්. තේනුවර මහතා සමඟ එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවේ සිටි බහිවාන් කියන කොටි සාමාජිකයා ඔහුට කියා තිබුණා අපේ පුතාලා ගැන විස්තර. වයි-12 යානයට වෙඩිතබා තිබෙන්නේ මේ බහිවාන් කියන දෙමළ තරුණයා. ඔහු පසුව සංවිධානයෙන් පැනයන්න තැත් කර අසුවී තමයි අත්අඩංගුවේ තබා සිට ඇත්තේ.

 එයා තේනුවර මහතාට කිව්වලු මම පයිලට්ල දෙන්නෙක් ගත්තා කියලා. මට වෙඩි තියන්න තිබුණ තටුවට. එහෙම කළා නම් ගිනි ගන්නවා. මම අල්ල ගන්න හැකි විදියට ටේල් එකටයි වෙඩි තිබ්බේ. පයිලට් ඒක අෑතට ගොස් මුහුදේ ලෑන්ඩ් කළා කිව්වලු. ගුවන් යානය වතුරෙ පැය ගාණක් පාවෙමින් තිබිලා. ඒ වෙලාවේ පුතා කතා කළ බවටත් අපිට නිල නොවන ආරංචි ලැබුණා. අපිව බේරාගන්නැයි ඔහු ඉල්ලා තිබුණා. තේනුවර මහතා කොටි අත්අඩංගුවෙන් නිදහස් වී ආව ගමන් මේ බොහෝ විස්තර පත්තරවලට කිව්වා.
 
අපි එල්.ටී.ටී.ඊ. එක හමුවන්න තුන්වරක් ගියා. අපේ මහත්තයා මුල්වෙලා "අතුරුදන් වූ හමුදා නිලධාරීන්ගේ සංවිධානය" පිහිටුවා ගත්තා. එල්.ටී.ටී.ඊ. නායකයන් හමුවුණේ ඒ සංවිධානය හැටියට. මේ ගැන ඔක්කොම විස්තර දයා මාස්ටර් දන්නවා. අපේ පුතාලා ගැනත් ඔහු දන්නවා. ආණ්ඩුවට වුවමනාවක් තියෙනවා නම් ඔහුගෙන් අපේ දරුවන්ට සිදුවුණේ කුමක්දැයි ප්‍රශ්න කර දැනගන්න පුළුවන්. මම රජයෙන් ඉල්ලන්නෙ මේ ගැන දයා මාස්ටර්ගෙන් අහන්න කියලා.

 අපි මල්ලවිවලට ගිහින් එහිදී තමිල් සෙල්වම්, පුලිදේවන්, සුදාකරන්, දයා මාස්ටර්, ජෝර්ජ් මාස්ටර් හමුවුණා. අපේ නියෝජිතයන් සමඟ ලොකු කොන්ෆරන්ස් එකක් එහේදි තිබ්බා. ඒකෙදි මගේ මහතත්තය ඉල්ලීමක් කළා දෙපැත්තෙ තරුණ ජවය නේද විනාශ වෙන්නෙ මොකක්ද ආණ්ඩුවට දෙන්න තියෙන පණිවුඩය කියල. ඒගොල්ල කිව්වේ ඔය නිජභූමි කතාව. සිංහලට පරිවර්තනය කළේ ජෝර්ජ් මාස්ටර්.

 2009 යුද්දෙ අවසන් වෙලා දහස් ගණනින් එනකොට අපි හිතුවා අපේ ළමයත් එයි කියලා. ඒ දින කීපය අවසන් වෙලා දරුව ආවෙ නැතුවම අපට මහ දුකක් දැනුණා. අතුරුදන් වෙච්ච වෙලාවෙ දැනිච්ච වේදනාව, කම්පනය ආයෙ අලුත් වුණා. අපි බලාපොරොත්තු වුණා එයින් පස්සෙ අතුරුදන් වූ අය ගැන ආණ්ඩුව පුළුල් පරීක්‍ෂණ ආරම්භ කරයි කියලා. නමුත් අපේ අවාසනාවටද මන්දන්නෑ එහෙම දෙයක් නම් වුණේ නැහැ.

 අපේ ළමයි ගුවන් නියමුවො හැටියට පිටරටකට ගෙනිච්චා කියන මතය අපට තිබෙනවා. ඒක දන්නව හොඳට කේ.පී ඒ ගැන එයාගෙන් අහන්න පුළුවන්. නමුත් එහෙම ඇසූ බවක් නම් දැනගන්න නැහැ. කේ.පී. වරක් කියා තිබුණා ගුවන් නියමුවන් එරිත්‍රියාවේ පුහුණු කරවන බව. මේව අහන්න ඕන ඒ අයගෙන්. කවුද දන්නෙ මේ පයිලට්ල දෙන්න වෙනත් රටක ගරිල්ලා සංවිධානයක් එක්ක හුවමාරු කරගෙන ඔවුන් ඒ සංවිධානය බාරේ ඉන්නව වෙන්නත් පුළුවන්. කවුද ඉතින් මේ තොරතුරු ඔස්සේ හඹාගෙන යන්නේ.

 අපේ ගෙදර ෆෝන් නම්බර් එක පුතා දන්නවා. මම ෆෝන් එක කපන්න නොදී හරියට ගෙවල පරිස්සම් කරගෙන ඉන්නෙ ලෝකෙ කොහේ හරි ඉඳල මගේ පුතා කිසියම් අවස්ථාවක මේ අංකයට කතා කරවි කියලා. ලෑන්ඩ් ලයින් එකේ කෝල් එකක් එනකොට දැනටත් මගේ හිත ගැස්සෙනවා. දෙවියනේ මගේ පුතාගෙන් නම් කියල මට හිතෙනවා.

කොහොම වුණත් අපි එල්.ටී.ටී.ඊ. නායකයන් හමුවූ අවස්ථාවේ කළ කතාබහවල ප්‍රතිඵල හැටියට අපිට පුළුවන් වුණා හමුදාවෙ අය 10 දෙනෙක් නිදහස් කරවා ගන්න. අපි ඒ අය අපත් සමඟම ගෙනත් හමුදාවට බාරදුන්නා.

විජයග්‍රහණයේ සිවුවැනි වසර සමරණ මේ වෙලාවේ අතුරුදන් වූවන්ගේ අම්මාවරුන්ගේ සංගමයේ සභාපතිනිය විදියට මම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ යුද්දයෙ අවසන් අවස්ථාවේ වගකීම් දැරූ හමුදා නිලධාරීන් සහ රජය සමඟ සහයෝගෙන් කටයුතු කරන එල්.ටී.ටී.ඊ. හිටපු නායකයන් සම්බන්ධ කොමිසමක් හෝ පත්කර අතුරුදන් වූ දරුවන් ගැන සොයා බලා අපට සහනයක් ලබාදෙන ලෙසයි"


උදේනි සමන් කුමාර

උපුටා ගැනිම මවුබිම