එල්ටීටීඊ මහා ධනස්කන්ධය අද්දවා ගත් ගුවන් නියමුවන් ඝාතනය කළ හැටි

මිනීමරු රෙජීමයේ තවත් ලේ පැල්ලමක් මෙන්න

භාරත ඝාතනයට දින හතරකට පෙර පැය 6 ක් ගුදමක හිර කරලා


දෙදහස් නවය වසරේ නොවැම්බර් 27 දා බුත්තලදී හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියේ යැයි කී ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් ඇසල දොඩම්මලූවගේ සහ ස්කොඩ්‍රන් ලීඩර් රෙහාන් ප්‍රනාන්දුගේ මරණයන් පාලක රෙජීමය විසින් කරන ලද ඝාතන කුමන්ත්‍රණයක් බව අභාවප්‍රාප්ත ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් මහතා පවසා තිබේ.

මෙම කුමන්ත්‍රණයේ සියළු තොරතුරු භාරත මහතාගේ සමීපතම ඥාතීන් කණ්ඩායමකට ඔහු ඝාතනය වන්නට දින කිහිපයකට පෙර පැවසූ බව එම පිරිස විසින් "ලංකා ඊ නිව්ස්" වෙත හෙළි කරන ලදී.

භාරත ලක්ෂ්මන් මහතා විසින් හෙළි කර ඇති තොරතුරු අනුව ඉහත කී ගුවන් හමුදා නියමුවන් දෙදෙනා කුමන්ත්‍රණය කර ඝාතනය කර ඇත්තේ පාලක රෙජීමයට එරෙහි සාක්කි වසන් කර ගැනීම සඳහා ය. භාරත මහතා හෙළිකර ඇති තොරතුරු වලින් බිඳක් මෙසේය.

එල්ටීටීඊ කලාපයෙන් අල්ලා ගන්නා ලද ගණනක් මිම්මක් කොතැනක හෝ නිශ්චිත ලෙස සටහන් කර නැති අතිශය වටිනා රත්තරන්, සුදු රත්තරන්, ප්ලැටිනම් සහ ඩොලර් එල්ටීටීඊ ප්‍රදේශයන් හි සිට රෙජීමය වෙත ප්‍රවාහනය කරවා ගෙන ඇත්තේ ඉහත කී ගුවන් නියමුවන් දෙදෙනා ලවා ගුවනිනි. එම අති විශාල ධනය ගොඩ බා ඇත්තේ ශ්‍රී ලංකාවේ ගොඩබිමේ නොවන අතර ඒ රහස දැන ගෙන ඇත්තේ ද රෙජීමය හැරුණු විට ඉහත කී දෙදෙනා පමණි. මේවා ඉටුකරගෙන ඇත්තේ 2009 වසරේ ජූලි-අගෝස්තු කාලයේ දී ය. එම වටිනා සම්පත් සහ ධනය රෙජීමය සතු කර ගත් ආකාරය ගැන ප්‍රායෝගික සාක්කි ලෙස ජීවත්ව ඇත්තේ ඉහත කී ඇසල, රෙහාන් යන දෙදෙනා සහ කලක් තිස්සේම රෙජීමයේ අභ්‍යන්තරය ඉතා හොඳින් දන්නා භාරත ලක්ෂ්මන් මහතා පමණි.

හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා මෙම රත්‍රන් ගැන දැන ගෙන තිබුනද, මැයි මාසයේ යුද්දයේ අවසානයත් සමගම ඔහුව කපා දැමීම නිසා බොහෝ තොරතුරු ඔහුට සඟවා තබා ගැනීමට රෙජීමයට හැකි වුවද ෆොන්සේකා ගැන විශ්වාසයක් නැති වී තිබේ. ඔහු නිශ්චිත ලෙසම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන බව ප්‍රකාශයට පත්වන්නේ 2009 නොවැම්බර් 25 වෙනිදා ය. නොවැම්බර් 27 දා රත්තරන් සාක්කි ගුවන් හමුදා පුහුණුවකදී තාක්ෂණික හේතුවක් නිසා හෙලිකොප්ටරය කඩා වැටී මිය යන්නේ ය.

මෙය හෙලිකොප්ටරයේ තාක්ෂනික වරදක් නිසා සිදුවූ අනතුරක් යැයි කීවද ඒ ගැන සිදුකළ පරීක‍ෂණ වලට කුමක් වුවාදැයි ගුවන් හමුදාවේ හෝ කිසිවෙක් දන්නේ නැත. කෘතහස්ත ගුවන් නියමුවන් දෙදෙනෙකු යුද්ධය නිමා වී මාස කිහිපයක් යන්නටත් පෙර හදිසියේ පුහුණු ගුවන් ගමනකට යෙදවූයේ ඇයි? ආදී ප්‍රශ්න එදා නැගුනද භාරත ලක්ෂ්මන් මහතාගේ හෙළිදරව්වත් සමග අද ඊට පිලිතුරු ලැබී තිබේ.

රෙජීමය විසින් සතු කර ගත් එල්ටීටීඊ රත්තරන් සමග අති විශාල ධනයට වූ දෑ දන්නා නිසා ඔවුන් සූදානම් කරන ලද ගුවන් අනතුරකින් ඝාතනයට ලක් කර තිබේ. මේ බව භාරත ලක්ෂ්මන් මහතා ලංකා ඊ නිව්ස් වෙත තොරතුරු හෙළි කළ ඥාති පිරිස සමග පවසා ඇත. "මුන් ගැන මොනව කියන්නද? අර කොටින්ගේ රත්තරන් අද්දෝ ගත්ත රත්තරන් වගේ වටින කොල්ලො දෙන්න මැරෙව්වනෙ." භාරත අවසානයේ දී පවසා තිබේ.

මෙම රත්තරන් වලට කුමක් වීදැයි 2010 දී විශාල වශයෙන් ප්‍රශ්න නැගෙන අතර එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2010 ඔක්තෝම්බර් 20 දා හෙලිකරන්නේ එල්ටීටීඊ වෙතින් අල්ලා ගන්නා ලද රත්තරන් කිලෝ 110 ක් මහා බැංකුවට බාර දුන් බවයි. එහි වටිනාකම ලෙස ඔහු කියන්නේ රුපියල් මිලියන 490 කි.

නමුත් ඊට වසරකට පමණ පෙර රාජ්‍ය මාධ්‍ය විසින්ම වාර්තා කළ ගණන ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. එක් වාර්තාවක පමණක් 2009 ජූලියේදී වෙල්ලමුල්ලිවයික්කාල් වලින් සොයා ගත් රත්තරන් ප්‍රමාණය පමණක් කිලෝ 200 කැයි රජයම කියයි. (එම වාර්තාවේ සේයාරූ මෙහි දැක්වේ) ප්‍රමාණයෙන් සමාන මෙවැනි වාර්තා 6 ක් පමණ ඒ දිනවල රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර ඇත. ඒ සමග රාජ්‍ය මාධ්‍ය විසින් ම කී සුදු රත්තරන්, ප්ලැටිනම්, ඩොලර් ගැන කිසිදු සඳහනක් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට හෙළි කෙළේ නැත. අදද එය රහසකි.

මෙම රහස් දැන ගැනීමම භාරත ලක්ෂ්මන් මහතාට මරණය කැඳවූ බව අප වෙත අදහස් දැක්වූ ඔහුගේ සමීපතම ඥාතීහු කීහ. ඔවුන් පවසන පරිදි මිනීමරු රෙජීමය විසින් භාරත ලක්ෂ්මන් මහතා ඝාතනයට දින 4 කට පෙර කොළඹ වරායේ ගුදමක භාරත ලක්ෂ්මන් මහතාව පැය 6 ක් සිරකර තබා තිබී ඇත. ඔහු ඉන් ගැලවී ඇත්තේ ඉතා අමාරුවෙනි. අද මේ කරන හෙලි කිරීම වනතුරු එවැනි සිදුවීමක් කිසිවෙක් දන්නේ නැත.

රෙජීමාධිපතිවරයා පසුගියදා දැනට ප්‍රතිකාර ලබන භාරත ඝාතකයා සිංගප්පූරුවේදී හමුවීමෙන් පසු තම ඇමැති වරුන් පිරිසක් සමග පවසා ඇත්තේ 'දැන් අපේ එකාට හොඳයි ඌ මාව අඳුනගත්තනේ' කියා ය. ගුවන් විදුලි ලැයිසොමක් වෙනුවෙන් ආණ්ඩුවට පැන්න කුඩු දුමින්දව රෙජීමාධිපති විසින් 'අපේ එකා' යැයි හැඳින්වීම ගැන ඇමැතිවරුන් පිරිස දැඩි ලෙස කළකිරී ඇත.