තාත්තාගෙන් පුතාට -- ලාංකික ගඩාෆිගේ පුතා දේශද්‍රෝහියෝ නම් කරයි

දිවයින පුවත්පත විසින් වාර්තා කර ඇති පුවත කිසිඳු සංශෝධනයකින් තොරව පහත පල වේ.

අවස්‌ථාව දීලත් එන්නේ නැත්තේ දේශද්‍රෝහියෝ - යෝෂිත රාජපක්‍ෂ

ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවේදී කැපී පෙනෙන දක්‍ෂතා දැක්‌වීමට ශ්‍රී ලංකාවට නොහැකි වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රට දෙවැනියට දමා ක්‍රීඩා සමාජයට ප්‍රමුඛස්‌ථානය ලබාදීමට ක්‍රීඩකයන් පෙළැඹී සිටීම බව පවසන ශ්‍රී ලංකා රග්බි කණ්‌ඩායම් නායක යෝෂිත රාජපක්‍ෂ එසේ කරනවුන් සියල්ලම දේශෙද්‍රෝහීන්ගේ කොටසට වැටෙන බවද සඳහන් කළේය.

මෙම මස 15 වැනිදා සිට පිලිපීනයේදී පැවැත්වෙන එච්. එස්‌. බී. සී. ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (09 දා) පිටත්ව යන අතර ඊට පෙර 'දිවයින' හමුවේ ශ්‍රී ලංකා නායකයා ඉහත අදහස්‌ දැක්‌වීය.

'ගොඩක්‌ ක්‍රීඩකයන් ජාතික කණ්‌ඩායමට වඩා තමන්ගේ අන්තර් සමාජ කණ්‌ඩායම් ප්‍රධාන කරගෙන තියෙන්නේ. එහෙම වණාම කවදාවත් ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට යැමට ජාතික කණ්‌ඩායමක්‌ ගොඩනගන්න බැහැ. අවස්‌ථාවක්‌ දීලත් එන්නේ නෑ කියන්නේ ඔවුන් දේශද්‍රෝහියෝ කියලා කියන්න පුලූවන්' යනුවෙන් යෝෂිත පැවැසීය.

අදාළ තරගාවලිය සඳහා රග්බි තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ නම් කළද එහිදී දක්‍ෂතා ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක්‌ සිය පෞද්ගලික හේතු මත කියමින් කණ්‌ඩායමන් ඉවත්වීය. එම තත්ත්වය මත අලූත් කණ්‌ඩායමක්‌ නම් කිරීමට තේරීම් කමිටුවට සිදුවිය.

'මෙයින් ගොඩ එන්න නම් රටට ආදරය කරන පිරිසක්‌ ගොඩනගන්න ඕන. මොකද තමන්ගේ රටට ක්‍රීඩා කරන එක තමයි ප්‍රධාන. අපි පාසල් කාලයේ ක්‍රීඩා කරද්දීත් බලාගෙන හිටියේ රටට ගහන්නෙ කවද්ද කියලා. ඒ වගේ හැගීමක්‌ ඔය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර තියෙනවා කියලා මට නම් පෙන්නේ නැහැ'.

'හැකියාව තියෙන දක්‍ෂ ක්‍රීඩකයන් ඉදිරියට පැමිණ ක්‍රීඩා කළ යුතුයි. ගොඩක්‌ ක්‍රීඩකයන් ඉන්නවා රටට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව නැතිව. අවස්‌ථාව දීලත් එන්නේ නෑ කියන්නේ හරිම කණගාටුදායක තත්ත්වයක්‌' යනුවෙන් යෝෂිත වැඩිදුරටත් පැවැසීය.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරග 3 කට ක්‍රීඩා කිරීමට සිදුවන අතර එහිදී පළමු තරගය මෙම මස 15 වැනිදා චීන තායිපේ කණ්‌ඩායම සමගින් මැනිලාහි රිසාල් ක්‍රීඩා පිටියේ පැවැත්වේ.

මෙහිදී තමාට හිමිව තිබෙන කණ්‌ඩායමේ ශක්‌තිය පිළිබඳවද අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා ,'ලැබිලා තියෙන කණ්‌ඩායම දිහා බැලූවාම පස්‌සේ ජාත්‍යන්තර තරග අත්දැකීම් අඩු සෑහෙන ක්‍රීඩකයන් පිරිසක්‌ ඉන්නවා. නමුත් මම විශ්වාස කරනවා අපි දැන් හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. මොකද අපි පසුගිය සති කිහිපයේදීම හොඳින් පුහුණුවීම් කළා. මේ තරගාවලියට යන්නේ ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුව ඇතිව,' යනුවෙන් යෝෂිත රාජපක්‍ෂ අවසන් වශයෙන් අදහස්‌ දැක්‌වීය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - යෝෂිත රාජපක්‍ෂ(නායක-නාවික හමුදාව), හෙන්රි ටෙරන්ස්‌(හැව්ලොක්‌), කිෂෝර් ජෙහාන්(මහනුවර), නුෂාල් පීපගේ(යුධ හමුදා), සත්‍ය රණතුංග(නාවික හමුදාව), අසල පෙරේරා(මහනුවර), නාමල් රාජපක්‍ෂ(නාවික හමුදාව), හසිත පෙරේරා(අප්කන්ටි්‍ර ලයන්ස්‌), ෂාරෝ ප්‍රනාන්දු(අප්කන්ටි්‍ර ලයන්ස්‌), ගයාන් රත්නායක(මහනුවර), සුමේද මාලේවන(නාවික හමුදාව), සජිත් සාරංග(මහනුවර), දිරන් වර්ණකුලසූරිය(හැවුලොක්‌ස්‌), ශ්‍රීනාත් සූරියබණ්‌ඩාර(අප්කන්ටි්‍ර ලයන්ස්‌), සුරංග පුෂ්පකුමාර(නාවික හමුදාව), රෙහාන් වීරකෝන්(නාවික හමුදාව), දේව් ආනන්ද(නාවික හමුදවා), චරිත් සෙනෙවිරත්න(ගුවන් හමුදාව), දිනූෂ චතුරංග(නාවික හමුදාව), දිනේෂ් කුමාර(මහනුවර), සඳුන් හේරත්(හැව්ලොක්‌ස්‌), සාලිය හඳපාන්ගොඩ(යුද හමුදාව), රීසා මුබාරක්‌(සී.ආර්. ඇන්ඩ් එµa. සී), මොහොමඩ් ෂෙරිව්(සී. ආර් ඇන්ඩ් එµa. සී.), පිල් ග්‍රීනිං මහතා(පුහුණුකරු), සනත් මාටින් මහතා(සහාය පුහුණුකරු), ලෙනාඩ් රොද්‍රිගු මහතා(කළමනාකරු/ගුවන් හමුදාව)