සිංහල උත්තමවාදය ජයග‍්‍රාහීව ආපසු පැමිණ ඇත

| තිසරණී ගුණසේකර

( 25.01.2012 | lankaguardian.com ) කොටි ත‍්‍රස්තවාදය හා සිංහල උත්තමවාදය එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ලෙස පෙනුණත් නිදහස් ලංකාව තුළ එකිනෙක මත යැපෙන අන්තවාද දෙකක් වේ. සිංහල උත්මවාදය, භාෂා ගැටලූව ඇති කළ අතර එයට විසඳුම් දීමට බාධා කර එය වර්ගවාදී අරගලයක් බවට පත් කළේය.

කොටි ත‍්‍රස්තවාදය. යුද්ධයට සාකච්ඡාවෙන් විසඳුමක් දීම කළ නොහැකි දෙයක් බවට පත්කර වාර්ගික අර්බුදයට බලය බෙදාහැරීම තුළින් විසඳුමක් ඇතිකර ගැනීමට පෙනීසිටි සිංහල හා දෙමළ මධ්‍යස්ථවාදීන් මරා දැම්මේය. මේ දෙගොල්ල එකතුව සාධාරණය හා මධ්‍යස්ථභාවය අකර්මණ්‍ය කොට ශ‍්‍රී ලංකාව හිංසාකාරී ලෙස භේද වූ සාමයෙන් දුරස්ථ ලේ ගලන යුද්ධයකට හැරෙව්වේය. දැන් කොටි ත‍්‍රස්තවාදය තවදුරටත් නැත. එහෙත් සිංහල උත්තමවාදය නම් ඉහළටම නැග තිබේ. රාජපක්ෂ පාලනය යටතේ එය පශ්චාත් යුද සමයේ සාම කටයුතු හා ජාතිය ගොඩනැගීම මෙහෙයවන අතර ශ‍්‍රී ලංකාවේ අනාගතය නිශ්චය කරන බලවේගය බවට පත්ව ඇත. නිදහසෙන් පසු පස් වසර තුළ ඉදිරියට ඇදී ගිය ජාතිය ගොඩනැගීමේ ගමන සිංහල පමණක් ඉල්ලීම තුළින් පීලි පන්නවා විනාශ කර දමා ශ‍්‍රී ලංකාව භීෂණයට හා යුද්ධයට ඇද දැමීමේ මූලික පාපයට වගකිව යුත්තෝ සිංහල උත්තමවාදීහුය. සිංහල පමණක් ඉල්ලීමේ ප‍්‍රධාන අරමුණ වූයේ දෙමළ භාෂාව පැත්තකට දැමීමය. එය කරන ලද්දේ මේ රටේ නියම උරුමක්කාරයන් සිංහලයන් වන අතර අනෙකුත් සුළු ජාතීන් අයිතිවාසිකම් නැති පිටස්තරයන් යන අදහසිනි. සිංහල උත්තමවාදයේ පළමුවන ශික්ෂා පදය වන මේ උරුමක්කාරයන් හා පිටස්තරයන්ගේ සංකල්පය සිංහල බුද්ධාගමේ ශුද්ධ ග‍්‍රන්ථය ලෙස සලකන මහා වංසයට අනුව ගොඩනගා ගත්තකි.

ගෞතම බුදුන් පිරිනිවන් මංචකයේ දී ලංකාව සිංහල ජාතිය හා ථේරවාද බුද්ධාගම පවත්වා ගන්නා එකම භූමිය ලෙස තෝරාගත් බව මහාවංසයේ සඳහන්වන බැවින් ලංකාව අයිති සිංහලයන්ට යැයි සිංහල උත්තමවාදීහු තර්ක කරති. මේ මූලික මිථයාව විසින් ශ‍්‍රී ලංකාව තුළ ජාතිය හා ආගම් එනම් සිංහල හා බුද්ධාගම එකට බැඳ ඇත. රට තුළ සිටින සියලූ පුරවැසියන්ට වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව පිළිගැනේ. නිදහසෙන් පසු ශ‍්‍රී ලංකාව තුළ මේ ප‍්‍රතිවිරෝධතාව විසින් ඇති කළ ආතතිය ක‍්‍රියා කැරේ.

විශ්වාස කළ නොහැකි මිථ්‍යා කතා අවිචාරාත්මකව ඉතිහාසය ලෙස පිළිගන්නා සමාජ වොල්ටෙයාර් විසින් සිය ‘දාර්ශනික ශබ්දකෝෂ’ ග‍්‍රන්ථයේදී සමච්චලයට ලක් කළේය. යුග ගණනාවකට පෙර ඇල්බා නගරයේ කන්‍යාවක කළයට දිය ගෙන ඒමට ගිය විට හිංසා කරනු ලැබ රොමියුලස් හා රිමස් දරු දෙදෙනා ප‍්‍රසූත කළ අතර ඔවුන් පෝෂණය කරන ලද්දේ වෘක ධේනුවක විසින් යයි ෆේබියස් පික්ටර් පවසා ඇත. රෝමන් ජාතිකයෝ මේ පුරාවෘත්තය විශ්වාස කළෝය. ඒ යුගයේ ලැටියම්හි කන්‍යාවන් සිටියේද, රජ දියණියක කන්‍යාරාමයේ සිට දිය ගෙන ඒමට කළය රැගෙන යන්නේද, වෘක ධේනුවක දරු දෙදෙනා කා නොදමා කිරි දී පෝෂණය කරන්නේද යන්න ඔවුහු ප‍්‍රශ්න නොකළෝය.

මහාවංසයේ මෙබඳු කතා අපමණ තිබේ. සිංහයකු හා ස්ත‍්‍රියක සංවාසයෙන් දරුවන් බිහිවීම එබඳු කතාවකි. අනෙකුත් කතා වාර්ගික සබඳතා හා දේශපාලනයට බලපාන ඒවා බැවින් වඩා භයානක වේ. දුටුගැමුණු රජු හා බැඳුණු බොහෝ කතාද එසේමය. දරුවන් නොමැති විහාරමහා දේවිය තම කුසේ උපදින ලෙස රෝගී සාමණේරවරයකුගෙන් ඉල්ලා සිටීමත්, ඔහු අපවත්වීමෙන් පසුව බිසවගේ කුසේ ඉපදීමත් මෙබඳු කතාය. ඒ අනුව බිසවගේ කුස තුළ වු පිළිසිඳීම අද්භූත ආශ්චර්යමත් එකකි. මේවා ආගමකි සාහිත්‍යය ලෙස මිස ඉතිහාසය ලෙස නොසැලකේ. මේවා සතය හා ඓතිහාසික කරුණු ලෙස දරුවන්ට ඉගැන්විය යුතු නැත. මහාවංස කතා තර්කයට හා විද්‍යාවට නොගැලපෙනවා පමණක් නොව බුදුන්වහන්සේගේ ඉගැන්වීම් සමඟද එකඟ නැත. විජය වැනි අපරාධකරුවකුගේ දේශපාලනය වෙනුවෙන් කටයුතු කළ බව කීම බුදුන්ටද අපහාසයකි. දුටුගැමුණු රජුගේ යුද්ධයේදී දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිත නැති කිරිම ඔවුන් මිථ්‍යා දෘෂ්ටිකයන් වීම නිසා යුක්තිසහගත කිරීම රහතන් වහන්සේ කෙනෙකුට කෙසේ ගැළපේද? බුදු දහමේ පළමු ශික්ෂා පදයෙන්ම පරපණ නැසීම පාපයක් බව පැවසෙන අතර ‘ශුද්ධ යුද්ධ කිරීම’ බුද්ධ ධර්මයට කිසිසේත් එකඟ නැත.

මහාවංස කතුවරයාට තිබී ඇත්තේ වෙනත් අරමුණුය. මහා විහාර වාසියකු ලෙස අභයගිරි වැනි ප‍්‍රතිවාදී නිකායයන්ට පහරගැසීමේ න්‍යයා පත‍්‍රයක් ඔහු සතු විය. ශුද්ධ අරමුණකින් කරන ලද්දේ නම් මිනීමැරීමද සාධාරණ ලෙසින් ඔහු පිළිගනි. දුටුගැමුණු කතාව කුරුස යුද්ධ හා ජීහාඞ් වැනි ආගමික යුද්ධ හා ගැළපෙතත් අහිංසාව පදනම් වූ බුදුසමය හා කිසිසේත් නොගැළපේ. දුටුගැමුණු කුමරු බිහිකිරීමට ගැබ්බරව සිටි විහාරමහා දේවියගේ දොළදුක ලේ පිපාසිත ම්ලේච්ඡුභාවයක් දක්වන අතර මඳක් හෝ ගැළපෙන්නේ හින්දු ආගමේ කාලිදෙවඟන පිදීමටය.

මහාවංස මිථ්‍යාවන් සුළු කොට නොතැකිය හැක්කේ ශ‍්‍රී ලංකාව යුද්ධය වෙත තල්ලූ කළ මානසික ස්වභාවයන් ඇති කරන ලද්දේ ඒ තුළින් බැවිනි. සිංහල උත්තමවාදය, සිංහල බෞද්ධයා ක‍්‍රිස්තියානි ඉස්ලාමික හා හින්දු ලෝකය සමඟ සටන් වැදීමට පොළඹවයි. පසුගිය සහශ‍්‍ර දෙක හමාර තිස්සේ ශ‍්‍රී ලංකාව අල්ලා ගැනීමට පැමිණි පිටස්තර ජාතීන්, ආගම් හා ශිෂ්ටාචාර හා නිරන්තර අරගලයක යෙදීමට සිදුවිය. මේ ලෝක දෘෂ්ටිය අනුව සුළු ජාතීහු කිසිම විශ්වාසයක් තැබිය නොහැකි පිටස්තරයෝ වෙති. ඔවුන් භුගෝලීයව එලවා දැමිය නොහැකි බැවින් ඔවුන් සිටිය යුත්තේ ඔවුන්ට නියමිත ස්ථානයේය. රටේ එක්සත් භාවය රැුක ගත යුත්තේ ඊට ගැළපෙන සිංහල පමණක් පනත වැනි නීති පැනවීම තුළිනි.

සුළු ජාතීන් තමන්ට හිමිතැන පිළිගන්නේ නම් කිසිම ගැටලූවක් නැත. එසේ කිරීමෙන් පමණක් ඔවුන් ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් ලෙසට ඇතුළත් කර ගැත හැකිය. දේශපාලනය හැර අන්සෑම ක්ෂේත‍්‍රයකම ඔවුනට ඉහළටම නැගිය හැක. ජනාධිපති හෝ අගමැති වැනි තනතුරුවලට පත්වීමට සුුළු ජාතිකයන්ට ව්‍යවස්ථාමය හෝ නීතිමය අවහිරයක් නැතත්, දේශපාලනිකව අවාරණයක් වැටී ඇත. කොටි විරෝධී අදහස් ඇති බවට පිළිගැනුණත් සිංහල බෞද්ධ භාර්යාවක් සිටියත් දෙමළ ක‍්‍රිස්තියානියකු වූ ලක්ෂ්මන් කදිරගාමර්ට අගමැතිකම නොලැබී අඩු සුදුසුකම් ඇති මහින්ද රාජපක්ෂට ලැබුණේ ඒ හේතුවෙනි.

වාර්ගික අර්බුදයක් ඇතැ’යි සිංහල උත්තමවාදීහු පිළිනොගනිති. ඔවුන්ගේ දැක්මට අනුව යුද්ධය ඇති වූයේ දමිළයන් ඔවුන්ගේ තත්ත්වය අමතක වී අසාධාරණ ඉල්ලීම් කළ බැවිනි. මුලින් භාෂා ඉල්ලීම්ද පසුව වෙනම රාජ්‍යයක් ඉල්ලීමද කරන ලදී. සිංහල උත්තමවාදීන්ගේ දැක්මට අනුව බලන විමධ්‍යගත කිරීම අනවශ්‍ය වනවා පමණක් නොව භයානක දෙයක්ද වේ. සුළු ජාතිකයන් ද සමාන හිමිකරුවන් ලෙස පිළිගැනුණොත් පරම්පරාගත උරුමය යට ගොස් රට ජාතිය ආගම විනාශවීමට ඉඩ තිබේ. සිංහල උත්තමවාදීන්ට අනාගමික තත්ත්වය පිළිගත නොහැකිවේ. ඔවුන් තම පදනම ගොඩනගා ඇත්තේ ආගමික මිථ්‍යාවන් තුළින් බැවිනි. රට පවරාදීමේ පුරාවෘත්තයන්. දුටුගැමුණු මිථ්‍යාවන් නොමැතිව සිංහල උත්තමවාදීන්ට තමන්ගේ උරුමයන් සාධාරණීකරණය කරගත නොහැකිය. සිංහල ජාතිවාදය ආගමික ජාතිවාදය හා බැඳී පවතින්නකි.

පවුලේ අය හැර අන් අය සමඟ බලය බෙදාගැනීමට අකමැති රාජපක්ෂලාට සිංහල උත්තමවාදය විමධ්‍යගත කිරීමට එරෙහි තම ප‍්‍රතිපත්තිය හා තුවක්කුව තුළින් සාමය ගෙන ඒමේ ක‍්‍රියාවලිය නිවැරදි බව පෙන්වීමට සුදුසු දැක්මක් වේ. මෙසේ සිංහල උත්තමවාදය හා රාජපක්ෂ පවුල් ව්‍යාපෘතිය එකට බැඳී ම නව හා පැරණි මුලධර්මවාද ගොඩනැගීමට හොඳ තෝතැන්නක් වේ.

සිංහල උත්තමවාදයද අනික් දේශපාලන ආගම් සේ ම රජය තෝරාගත් සුළු පිරිසක සඳහා ඔවුන් විසින්ම පවත්වා ගැනීමට අනුබල සපයයි. තෝරා ගැනීමේ පදනම අනන්‍යතාව, වාර්ගිකත්වය හා ආගමයි. එමෙන්ම වාර්ගික හා ආගමික ‘අනෙකා’ ගැන සැක උපදවන අතර ඔහු කොන්කරනු ලබයි. මෙය එකම ශුද්ධ වාර්ගික ආගමිකත්වයකට මුළු රට පවරාදීමකි. බහුවාදී සාමජයක ඉන් ගෙන එන්නේ පීඩාව, මරණය හා විනාශයයි. වාර්ගිකත්වය ආගම සංස්කෘතිය හා භාෂාව පදනම් වූ අනන්‍යතා ගොඩනැංවෙන්නේ පිරිහීගෙන යන සමාජ තුළය. අපට ඇතිවන වෙනස්කම් දරාගැනීමට නොහැකි හෝ ඊට බියපත් වනවිට මිනිස්සු වඩ වඩා ජාතිවාදී ආගම්වාදී වෙති. මෙය සියලූ ආකාරයේ මූලධර්මවාද බිහිවීමට සුදුසු බිමක් ඇතිකර දෙයි. එක වර්ගයක මූලධර්මවාදයක් පිළිගැණුනු විට අනෙකුත් සියලූ උමතු අදහස්ද ඉන් පෝෂණය වේ. සිංහල උත්තමවාදය හා කොටි ෆැසිස්ට්වාදය එකිනෙක පෝෂණය කරමින් වැඩුණේ ඒ ආකාරයටය. සංයුතිය අතින් එතරම් විවිධ නොවූ සමාජයකට වඩා බහුවාර්ගික හා ආගමික රටවලට අනාගමික අදහස් බොහෝ වැදගත් වේ. එබඳු බහුවාර්ගික හා ආගමික රටක වෙනස් ප‍්‍රජාවන්ට ඉහළින් සිටීමටත් සියල්ලන්ට සාධාරණ පාලනයක් ඇති කිරීමටත් රජයක් අවශ්‍යයෙන්ම අනාගමික වියයුතු වේ. බහුවාදී රටක වාර්ගික ආගමික ධ‍්‍රැවීකරණයන් වළක්වා ගැනීමටත් නිරතුරු ගැටුම් ඇතිවීම් හා බෙදීම් වළක්වා ගැනීමටත් සුදුසුු වන්නේ රජයත් අනාගමික හා සමාජයක් අන්‍යයන් ඉවසන සුළුවීමය.

ඓතිහාසිකව ආගම් කර ඇත්තේ රටවල් හා ප‍්‍රජාවන් භේදභින්න කිරීමට කටයුතු කිරීමය. නූතන ආගමික ජාතිවාදයන්ද ජාතීන් වෙත ඇති කරන්නේ විනාශකාරී බලපෑමකි. එබැවින් ජාතික රාජ්‍යයක් කැඩිබිඳී යෑමෙන් වළක්වා ගැනීමට සමාජය වැරදි තැන්වලට ඇදගෙන යන මේබලවත් ආගමික ජාතිවාදය පසෙකින් වෙනම තැබිය යුතුවේ.

පරිවර්තනය හේමන්ත රණවීර - රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.