ගෝඨාබයට ගරු කරනවා - ඒ.ජ.ප නගරාධිපති මුසම්මිල්

කොළඹට අධිකාරියක්‌ ගෙනාවොත් කරන දේ ඒ වෙලාවට බලාගමු

| සාකච්ඡා කළේ : පියසේන දිසානායක

"ප්‍රශංසා කළ යුතු අයට ප්‍රශංසා කළ යුතුයි. ගෞරවය හිමිවිය යුතු අයට ඒ ගෞරවය දිය යුතුයි. ඒ අනුව කොළඹ නගරය අලංකාර කිරීමේ ගෞරවය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හිමි වෙනවා," යැයි පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහනගර සභාව එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළ අතර එහි නව පුරපති ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතා සමග දිවයින පුවත් පත කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. එහෙදී හෙතම තවදුරටත් මෙසේ පැවසීය .

ප්‍රශ්නය - පසුගිය මැතිවරණවලින් රටම සන්ධානය ජය ගන්නා විට කොළඹ පමණක්‌ ඔබ සහ ඔබේ පක්‍ෂය ජයග්‍රහණය කළා. මේ ලද ජයග්‍රහණයත් සමග නව පුරපතිවරයා වශයෙන් මොනවද ඔබේ බලාපොරොත්තු...?

පිළිතුර - එක්‌සත් ජාතික පක්‍ෂයේ පරාජයට තිත තබමින් ජය මාවතේ ගමන කොළඹ නගර සභා ජයග්‍රහණයෙන් ආරම්භ කිරීමට අපට හැකි වුණා. මේ ජය මාවත විවෘත කරමින් පක්‍ෂය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සැමට ස්‌තුති කිරීමට මෙය අවස්‌ථාවක්‌ කර ගැනීමට මා කැමැතියි.

ඒ වගේම අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ සහ ඡන්දය පාවිච්චි නොකළ ජනතාවට ද මගේ ස්‌තුතිය පළ කර සිටිනවා. මොකද මම එක්‌ කණ්‌ඩායමක නගරාධිපති නොවෙයි. කොළඹ නගර සභා බලප්‍රදේශයේ ජීවත්වන සෑම පුද්ගලයකුගේම නගරාධිපති ලෙසයි කටයුතු කරන්නේ. එහිදී ඔබ සැමට එක හා සමානව සැලකීම මගේ අරමුණයි.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සැම මා කෙරෙහි පූර්ණ විශ්වාසයක්‌ තබා නගරාධිපති අපේක්‍ෂක ධුරයට මා පත් කළා. පක්‍ෂයේ සැමෝගෙම සහයෝගය මට ලැබුණ නිසා ඒ විශ්වාසය ආරක්‍ෂා කරමින් නගරාධිපති ධුරයට පත්වීමට මට හැකි වුණා.

කොළඹ නගරයේ ජීවත්වන සියලුම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින් යටිතල පහසුකම් උපරිම ලෙස සලසා දෙමින් කොළඹ නගරය අලංකාරවත් නගරයක්‌ බවට පරිවර්තනය කිරීම මගේ අරමුණයි. ඒ ගමනේදී කිසිදු පුද්ගලයකුට මදිපුංචිකමක්‌වීමට මා ඉඩ තබන්නේ නැහැ. අපි හැමෝම එක පවුරක්‌ සේ එකට අත්වැල් බැඳගෙන මේ ගමන යා යුතුයි.

ප්‍රශ්නය - කොළඹ නගර සභාව ජයග්‍රහණය කරමින් එක්‌සත් ජාතික පක්‍ෂය එහි පාලක පක්‍ෂය බවට පත් වුණත් ලැබී තිබෙන්නේ මන්ත්‍රීධුර 24 ක්‌ පමණයි. නමුත් සන්ධානය ප්‍රමුඛ විරුද්ධ පක්‍ෂයට මන්ත්‍රී ආසන 29 ක්‌ ලැබී තිබෙනවා. මෙවැනි පසුබිමක්‌ තුළ අයවැයකදී හෝ වෙනත් තීරණාත්මක අවස්‌ථාවකදී හෝ නගරාධිපතිවරයා වශයෙන් සභාවේ බලය රැකගෙන ඉදිරියට යැමට ඔබ සතු උපාය මාර්ගය කුමක්‌ද?

පිළිතුර - පළාත් පාලන ආඥ පනතට අනුව යම්කිසි පක්‍ෂයක්‌ හෝ කණ්‌ඩායමක්‌ වැඩිම ආසන සංඛ්‍යාවක්‌ ජයග්‍රහණය කළොත් එහි පාලන බලය ගෙන යා යුත්තේ ඒ පක්‍ෂය හෝ කණ්‌ඩායමයි.

අයවැයකදී හෝ විශ්වාසභංගයකදී හෝ ඡන්දයෙන් පරාජය කර ඒ පාලන බලය වෙනස්‌ කරන්න බැහැ. නීතිය එය වුවත් දූෂණ අක්‍රමිකතා සිදු කර තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වා වැරැදිකරු බවට ඔප්පු වුණොත් නගරාධිපති පමණක්‌ ඉවත් කළ හැකියි. එහෙත් නගර සභා පාලක පක්‍ෂය ඉවත් කළ නොහැකියි.

මේ තත්ත්වය මුසම්මිල් නමැති නගරාධිපතිට අදාළ වන්නේ නැහැ. මොකද මා ළඟ හොරකම, දූෂණය, වංචාව නැහැ. ඡන්දයට පෙර මම ජනතාවට ප්‍රතිඥ දුන්නේ වංචාවෙන්, දූෂණයෙන් හා හොරකමින් තොර විනිවිධභාවයකින් යුත් යහපාලනයක්‌ ගෙන යන බවයි. ඒ පොරොන්දුව අකුරට මා ඉටු කරනවා. මේ නගර සභාව තුළ හොරකමක්‌, දූෂණයක්‌, අක්‍රමිකතාවක්‌ ගැන පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට තරම්වත් හැකිවන පරිදි වැඩ නොකරන බව මා සහතික වෙනවා.

ප්‍රශ්නය - "රජයේ මුදල් ශතයක්‌වත් ලබා නොගෙන කොළඹ දියුණු කරනවා" මැතිවරණයට පෙර ඔබ කළ ඒ ප්‍රකාශය අදටත් වලංගුද?

පිළිතුර - පැහැදිලිවම ඔව්. එය අදටත් එලෙසින්ම වලංගුයි.

ප්‍රශ්නය - රජයේ මුදල් නොමැතිව මෙවැනි විශාල නගරයක සංකීර්ණ ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ කොහොමද?

පිළිතුර - අද මේ ආණ්‌ඩුවේ ආර්ථික තත්ත්වය දෙස බලන විට නගර සභාවේ කටයුතු සඳහා මුදල් ලබාදීමට හැකියාවක්‌ නැහැ. නගර සභාව ක්‍රියාත්මක කරගෙන යැමට මේ බලප්‍රදේශය තුළ තිබෙන ආදායම අපට ප්‍රමාණවත්.

නමුත් මහල් නිවාස සංකීර්ණ ඇති කරමින් මහා පරිමාණ කටයුතු කරගෙන යැමට මුදල් අවශ්‍යයි. විදේශ ආධාර ලබාගෙන මෙවැනි නගර සංවර්ධනය කිරීමේ අත්දැකීම, පළපුරුද්ද සහ හැකියාව වෙන කාටත් වඩා හොඳින් අපේ පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙනවා. ඒ විදේශ සබඳතා තුළින් විදේශ ආධාර ලබාගෙන ඉදිරියට යන විට ආණ්‌ඩුවේ ඒ ගමන නතර කළොත් එය ජනතාවට කරන ද්‍රෝහිකමක්‌.

ප්‍රශ්නය - ඔබ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන වැඩපිළිවෙළට මධ්‍යම රජයේ සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාසයක්‌ තිබෙනවාද?

පිළිතුර - කොළඹ දියුණු කිරීම සඳහා මා ගෙන යන වැඩපිළිවෙළට රජයේ සහයෝගය ලැබෙන බව මට විශ්වාසයි. ඒ සහයෝගයට අපි කිසිවිටෙකත් පයින් ගහන්නේ නැහැ.

මැතිවරණයේදී ආණ්‌ඩුවත් අපිත් අතර විවිධ මතවාද තිබුණා. අපේ වැඩපිළිවෙළ අපි ජනතාව අතරට ඉදිරිපත් කරනා විට ආණ්‌ඩුව ඒ අයගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකටම ජනතාව ඡන්දය දුන්නා. එයින් බහුතරය අපිට ලැබුණ නිසා අපි ජයග්‍රහණය කළා. දැන් මැතිවරණය ඉවරයි. එහෙමනම් ජනතාව වෙනුවෙන් අපි එකට වැඩ කළ යුතුයි. කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ සුබසිද්ධිය ඇති කිරීම වෙනුවෙන් රජයේ සහයෝගය ලබාගැනීමට නොහැකි නම් මම හොඳ නගරාධිපතිවරයෙක්‌ නොවෙයි.

ආණ්‌ඩුවේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ආණ්‌ඩුව සමග හෝ රජයේ ආයතන සමග මට කිසිම ගැටලුවක්‌ නැහැ. ඒ ආයතන සමග එකතු වී සාකච්ඡාකොට ජනතාව වෙනුවෙන් වැඩකටයුතු කිරීමට මා සූදානම් බව කිවයුතුයි.

පුරවර දැක්‌ම නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා මා ජනතාවට පොරොන්දු ලබාදෙන විට ආණ්‌ඩුවත් පොරොන්දු දුන්නා. ඒවායෙත් හොඳ කරුණු තිබෙනවා. මේ සියල්ල කැටි කොට ජනතාවට වඩාත් හොඳ දෙය අපි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වැඩකටයුත්තට ජනාධිපතිතුමාගේත්, ආණ්‌ඩුවේත්, රජයේත් සහාය අවශ්‍යයි. ඒත් එක්‌කම මගේ මිත්‍ර මිලින්ද මොරගොඩ මහතාට ද මා ආරාධනා කර සිටින්නේ අපේ නගරය හා අපේ ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා අප සමග අත්වැල් බැඳගන්නා ලෙසයි.

ප්‍රශ්නය - කොළඹින් පෑලියගොඩට ගෙන ගිය මාළු වෙළෙඳපොළ නැවත කොළඹට ගෙන එන බව ඔබ ප්‍රකාශ කළා. මේ පොරොන්දුව ඉටු කිරීමට කොපමණ කාලයක්‌ ගතවෙයිද?

පිළිතුර - කොළඹින් ගෙනගිය මාළු වෙළෙඳපොළ නැවත කොළඹට ගේනවා කියා මා ප්‍රකාශ කර නැහැ. එතැන පොඩි පැටලැවිල්ලක්‌ සිදුව තිබෙනවා.

අධික වියදමක්‌ දරලා පෑලියගොඩ මාළු වෙළෙඳපොළ සංකීර්ණය සකස්‌ කර තිබෙනවා. දේශපාලනඥයන් වශයෙන් අපි කළ යුත්තේ එය නැවත කොළඹට ගෙනඒම නොවෙයි. කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වන ජනතාවට පහසුවෙන් මාළු ලබාගත හැකි වෙළෙඳ සංකීර්ණයක්‌ මේ බලප්‍රදේශය තුළ ඇති කිරීමයි. ඒ අනුව අලුතින් මාළු වෙළෙඳ සංකීර්ණයක්‌ අපි කොළඹ ඉදිකරනවා. එය නගර සභාවට පහසුවෙන් කළ හැකියි.

ප්‍රශ්නය - ඉතිහාසයේ කවරදාටත් වඩා වර්තමානය වන විට කොළඹ කැළිකසළ ඉවත්කරමින් පිරිසිදු අලංකාර නගරයක්‌ බවට පරිවර්තනය කිරීමට පැවැති පාලනය කටයුතු කර තිබෙන බව ඔබ පිළිගන්නවද?

පිළිතුර - පැහැදිලිව ඔව්. අපි හොඳ දෙය හොඳයි කිව යුතුයි. ප්‍රශංසා කළ යුතු අයට ප්‍රශංසා කළ යුතුයි. ගෞරවය හිමිවිය යුතු අයට ඒ ගෞරවය දිය යුතුයි. ඒ අනුව කොළඹ නගරය අලංකාර කිරීමේ ගෞරවය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හිමි වෙනවා.

ප්‍රශ්නය - කොළඹ නගරයේ මේ අලංකාරය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරියට යැමට ඔබට ඇති වැඩපිළිවෙළ කුමක්‌ද?

පිළිතුර - නගරය අලංකාර කිරීම සඳහා ආරක්‍ෂක ලේකම්තුමා ගෙන යන වැඩපිළිවෙළට අපි ඇඟිලි ගහන්නේ නැහැ. ඒ වැඩකොටස ඊටත් වඩා හොඳින් කරගෙන යැමට හැකිවන පරිදි අපේ දායකත්වය ලබාදෙනවා. මා මුලසිටම කියා සිටියේ කොළඹ අලංකාරය හා සුන්දරත්වය භුක්‌ති විදිය යුත්තේ අහිංසක දුප්පත් පොඩි මිනිහයි. අපි බලයට ගෙන ආවේ ඒ පොඩි මිනිහයි. ඒ නිසා පොඩි මිනිහා අපි ආරක්‍ෂා කළ යුතුයි. ඒ අයගේ ගෙවල් දොරවල් ආරක්‍ෂා කළ යුතුයි. ඔවුන්ගේ රැකියා සහ ආදායම් මාර්ග ආරක්‍ෂා කළ යුතුයි. පොඩි මිනිහා දියුණු කළ හැකි ක්‍රමවේදයක්‌ අපි ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් මා කැපවී ක්‍රියා කරනවා.

ප්‍රශ්නය - පොඩි මිනිසා ආරක්‍ෂා කරන්න ඕනෑ කියන ඔබ ඒ පොඩි මිනිසගෙ පැල්පත් කඩන්නේ නැතිව ඔවුන්ගේ නිවාස අයිතිය සුරක්‍ෂිත කිරීමට හෝ යටිතල පහසුකම් වර්ධනය කරදීමට කොහොමද ක්‍රියා කරන්නේද?

පිළිතුර - මේ ගැන එක්‌සත් ජාතික පක්‍ෂයට හොඳ පළපුරුද්දක්‌ හා කළ පුරුද්දක්‌ තිබෙනවා. පැල්පතක ජීවත්වන පොඩි මිනිහාගේ ඒ පැල්පත කඩා ඔහු මහමඟට ඇදදැමීමට පෙර මුලින්ම කළ යුත්තේ ඔහු ජීවත්වීමට නිවහනක්‌ තනාදීමයි. ඒ කටයුත්ත අතීතයේ එක්‌සත් ජාතික පක්‍ෂය කළ නිසා මහල් නිවාස රැසක්‌ කොළඹ ඉදි වුණා.

ඒ අනුව නැවත අපි ඒ සංවර්ධන යුගය ආරම්භ කරනවා. නිවාස කැඩීමට පෙර ඒවායේ ජීවත්වන ජනතාවට මහල් නිවාස තනාදීම අපේ අරමුණයි. පසුගිය මැතිවරණයේදී අපි පොරොන්දු වුණෙත් නිවාස කඩන්නේ නැහැ කියලයි. ඒ වගේම ආණ්‌ඩුව පොරොන්දු වුණෙත් නිවාස කඩන්නේ නැහැ කියලයි. ඒ නිසා දැන් මට ප්‍රශ්නයක්‌ නැහැ. අපි දෙගොල්ල එක තැනකට දැන් පැමිණ තිබෙනවා. ඒ නිසා ආණ්‌ඩුවට තවත් කොළඹ නගරයේ ගෙවල් කඩන්න බැහැ. අපි සියලු දෙනා දැන් කළ යුත්තේ එකට එකමුතුවී ජනතාවට නිවාස තනා දීමයි. ඒ කටයුත්ත කිරීමේදී කිසිදු නිවාසලාභියකුට මදිපුංචිකමක්‌ සිදු නොවිය යුතුයි.

ප්‍රශ්නය - නගර සභාවක්‌ ඕනෑම අවස්‌ථාවක අධිකාරියක්‌ බවට පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුයි. බැරිවෙලාවත් කොළඹ නගර සභාව අධිකාරියක්‌ බවට පත් කළොත් ඔබ ගන්නා පියවර කුමක්‌ද?

පිළිතුර - මේක ජනතා ඡන්දයෙන් බලයට පත් වූ මහ නගර සභාවක්‌. අධිකාරියක්‌ බවට පත් කළොත් ඒ වෙලාවට ගත යුතු පියවර කුමක්‌ද කියා තීරණය කරමු.

කොළඹ නගරයේ ජීවත්වන සියලුම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින් යටිතල පහසුකම් උපරිම ලෙස සලසා දෙමින් කොළඹ නගරය අලංකාරවත් නගරයක්‌ බවට පරිවර්තනය කිරීම මගේ අරමුණයි. ඒ ගමනේදී කිසිදු පුද්ගලයකුට මදිපුංචිකමක්‌වීමට මා ඉඩ තබන්නේ නැහැ. අපි හැමෝම එක පවුරක්‌ සේ එකට අත්වැල් බැඳගෙන මේ ගමන යා යුතුයි.

Tell a Friend