සමෘද්ධි උත්සවයේ ටී ෂර්ට් වලට රු.මි. 65 ක් ගෙවීම කඩිනම් කිරීම සැකසහිතයි


සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය අද (6) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2019 වසරට අදාළව සමෘද්ධි සේවකයින් හට ගෙවිය යුතු ගමන් වියදම් හා කාර්යාල දීමනා නොගෙවන ආණ්ඩුව සමෘද්ධි සහනාධාර පත්‍ර බෙදා දීමේ උත්සවයෙහි 125000 ටී ෂර්ට් වල රු.මි 65 ක නාස්තිකාර වියදම් ගෙවීම කඩිනම් කිරීම සැකයක් උපදවන බවයි. 

අදාළ නිවේදනයේ ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 

''2019 වසරට අදාලව සමෘද්ධි සේවකයින් හට ගෙවිය යුතු ගමන් වියදම් හා කාර්යාල දීමනා නොගෙවන ආණ්ඩුව සමෘද්ධි සහනාධාර පත්‍ර බෙදා දීමේ උත්සවයෙහි 125000 ටී ෂර්ට් වල රු.මි 65 ක නාස්තිකාර වියදම් ගෙවීම කඩිනම් කිරීම සැකයක්.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව දිවයින පුරා සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට 2019 වසරට අදාලව ගෙවිය යුතු ගමන් වියදම් දීමනා හා කාර්යාල දීමනා නොගෙවා නව සමෘද්ධි සහනාධාර හිමිකම් පත්‍ර බෙදා දීමේ උත්සව වෙනුවෙන් ටී ෂර්ට් 125000 මිලදී ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ගෙවීම කඩිනම් කිරීම පිළිබදව බරපතල සැකයක් අප සංගමය වෙත මතුව ඇත.

සමෘද්ධි සංවර්ධන දොපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ටී. ආර්. ටී. එම්. එස්. පී. බණ්ඩාර මහතාගේ අත්සනින් දිවයිනේ සියළුම දිස්ත්‍රික් ලේකම්වරු අමතා එවන ලද 2019. 06. 04 දිනැති DSD/HO/SW/18/04/19/1  ලිපිය මගීන් එක් දිස්ත්‍රික්කයකින් ටී ෂර්ට් වෙනුවෙන් බදු ඇතුලත්ව රු.2.837,193.75 මුදලක් කඩිනමින් දෙපාර්තමේන්තුව වෙත එවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

125000 මෙම ටී ෂර්ට් ඇණවුම සම්බන්දව මහත් මතභේදාත්මක ගැටළුකාරී තත්වයක් මතුව ඇති බවට විවිධ පාර්ෂවයන් විසින් චෝදනා කරන අතර දෙපාර්තමේන්තුවෙහි ටෙන්ඩර් කමිටුවද මෙම ගෙවීම අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප වෙත වාර්ථා වේ.

ඇගළුම් කර්මාන්තයෙහි නිරතව ඇති අමාත්‍යවරයෙකු මෙම දෙපාර්තමේන්තුවේ අමාත්‍යධුරය දරණ අවස්ථාවක මෙම 125000 ටී ෂර්ට් ඇනවුමෙහි මුදල් ගෙවීම අධ්‍යක්ෂ ජනරාල් විසින් හදිසි කිරීම අප සංගමයට සාධාරණ සැකයක් මතුව ඇති බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු. 

සමෘද්ධි සේවකයින් හට 2019 වසරට අදාලව මාස 05 ට හිමි ගමන් වියදම් දීමනාව හා කාර්යාල දීමනාව ගෙවීම් කර නොමැති ආණුඩුව සිය දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සදහා රු.මි. 300 ආසන්න විශාල මුදලක් නාස්ති කිරීම කණගාටුවට කරුණක් බව අප මෙයින් අවධාරණය කරන්නෙමු.'' යන්නයි.