මාටින් ලුතර් කිං සහ ද්‍රවිඩ ජනතාව

| අමිල ගුණරත්න

මාටින් ලුතර් කිං ගේ විශාල ප්‍රතිමාවක් නොබෝදා ඇමරිකාවේ නිරාවරණය කෙරුණි. මාටින් ලුතර් කිං ඇමරිකාවේ වර්ගවාදය නිසා පිඩාවට පත්ව සිටි කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ලබාගැනීම පිණිස අවිහිංසා සටනක යෙදුනේය. මෙම සටනේදී මාටින් ලුතර් කිං සුදු ජනතාවට මිත්‍රත්වයේ හස්තය දිගු කළේය. ගැටළු නිරාකරණය සඳහා සුදු ජාතිකයන් සමග සහයෝගීතාවෙන් ක්‍රියා කල යුතු බවට කළු ජාතිකයන්ට කරුණු පෙන්වා දුන්නේය. ඔහුගේ සටන සැලකිය යුතු මට්ටමකට ජයග්‍රහණය කලේ වර්ගවාදය ඇමරිකානු නීති පොතෙන් ඉවත් කිරීමෙනි. එදා මෙන් නොව අද කළු ජාතිකයෙකුට අවන්හලකට ගොස් සුදු ජාතිකයන් සමග එකට වාඩි වී කෝපි කෝප්පයක්‌ පානය කල හැකිය. අනෙකුත් ජාතින් යන පාසලකට රැකියාවකට යා හැක, උසස් රැකියාවක් කල හැක. වර්ගවාදය තවමත් ඇමරිකාවේ ඇතත් අවසානයේදී කළු ජාතිකයෙකු ජනාධිපති පුටුව දක්වා ගෙන ඒම ලුතර් කිං ගේ බහුජන වියාපාරය සමත් විය.

ඇමරිකාවේ කළු ජාතිකයන්ට හමේ වර්ණය නිසා අවන්හල් , පාසල් , රැකියා ස්ථාන තහනම් අඩවි බවට පත් වෙද්දී එම කාලයේදී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට එවැනි පාතෙයිඩ් පීඩනයක් සිංහල ජනතාවගෙන් තිබුනේ නැත. ද්‍රවිඩ ජාතිකයන් රජයේ උසස් තනතුරුවල සිටියහ. ශ්‍රී ලංකා යුද හමුදාවේ මුල්ම හමුදාපතිවරයා වුයේද ද්‍රවිඩයෙකි. ඉංග්‍රීසි පාලනයෙන් පසු මහා ජාතිය රටේ පාලනය අතට ගත් විටද පොලිසිය , හමුදාව, පරිපාලන සේවය , ආදී ක්ෂේත්‍ර වල ද්‍රවිඩයන් උසස් තනතුරු දැරුහ. නමුත් සිංහල වර්ගවාදීන් පිලිනොගත්තද ද්‍රවිඩයන්ට ලංකාව තුල යම් යම් ගැටළු තිබුනේය. ඒම ගැටළු සාමකාමිව විසඳා ගැනීම වෙනුවට මෙම ජාතින් දෙක කළේ විනාශකාරී යුද්දයකට අවතීර්ණ වීමය. එහි ප්‍රතිපල අප අද සියැසින් දකිමු.

ද්‍රවිඩ ජනතාවට මාටින් ලුතර් කිං වැනි දුරදිග දකින නායකයෙකු සිටියේ නම් ඔවුන් මෙලෙස අනාථ වන්නේ නැත. කිසිම ද්‍රවිඩ නායකයෙකු අවංකව සිංහලයන් සමග සහයෝගිතාවක් අපේක්ෂා කළේ නැත. ඔවුන් සිංහල මහා ජාතිය සමග සහයෝගීතාවෙන් සහෝදරත්වයෙන් වාසය කිරීමට ද්‍රවිඩ ජනතාව සුදානම් කළේ නැත. ඔවුන්ට අවශ්‍ය වුයේ දෙමල ජනතාව කුපිත කොට සිංහල දෙමල සාමයේ පාලම කඩා බිඳ ඈත් කිරීමයි. ඉන් ඔවුන් කෙටිකාලින වාසි ලබා ගැනීම , පවත්නා ආණ්ඩුව සමග හෙට්ටු කිරීම් කොට ලාභ ආදිය ලැබුවද සමස්ත වශයෙන් ද්‍රවිඩ ජනතාවට සෙතක් වුයේ නැත. ඔවුන් කළේ විකාර රූපී විරෝධතාවයන්ය. අවිහිංසාවාදී විරෝධතා එනම් උපවාස කළේ අහාර ගැනීමට උපවාස අතරමග නවත්වමිනි. සිංහල පාලකයන් සමග සන්ධානයේ අසීරුතාව යම් කෙනෙකුට මෙහිදී ප්‍රශ්න කල හැකිය. එහෙත් මතක තබාගන්න මාටින් ලුතර් කිං ගනුදෙනු කළේ වර්ගවාදය ආගම ලෙස සැලකු සුදු ඇමරිකානු දේශපාලකයන් සමගය. මාටින් ලුතර් කිංගේ අවංකත්වය , කැපවීම , අවිහිංසාව , සුදු ජාතින් සමග සහයෝගිතාවේ ඇති අවංක අභිලාශය නිසා ඔහු වර්ගවාදී ගෝත්‍රවාදී සුදු ඇමරිකානු දේශපාලකයන් ජයගත්තේය.

එවැනි අවංක, කැපවූ සහයෝගීතාවයට අත වැනූ ද්‍රවිඩ නායකයෙක් ද්‍රවිඩයන්ට නොසිටි නිසා ඔවුන් අද විනාශකාරී යුද්දයක සුන්බුන් අතර වැතිරී සිටිති. ද්‍රවිඩ ජනතාව තරම් දේශපාලන වශයෙන් ගණිකා වෘතියේ යෙදවූ ජාතියක් මිහිපිට නොමැති තරම්ය. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කිරීමට කියා ඉන්දියාව කළේ කලාපයේ තම ආධිපත්‍ය පැතිරීමය. ඉන්පසු ඉන්දියානු හමුදාවක් එවා උතුරේ තන්ගම්මලා දුෂණය කළහ. LTTEසංවිධානය ද්‍රවිඩ ජනතාවගේ මුදල්, දේපොළ, ළමුන් පමණක් නොව අවසන් හුස්මපොද ද උදුරා ගත්තේය. දෙමල ඩයස්පෝරාවේ නායකයන් යුරෝපයේ හා ඇමරිකාවේ සීතලේ කුණු අදින දෙමළාගෙන් පවා මුදල් බලාත්කාරයෙන් ලබාගෙන සුරසැප වින්දේය. දකුණේ එන්ජිඕ කාරයන් ද දෙමල ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් බවට පත් කරගෙන ඉන් තම බඩ වියත සොයා ගත්තේ උතුරේ දෙමල ජනතාව මන්දපෝෂණයෙන් සිටින විටය.

සුදු ජාතිකයන්ගෙන් කළු ජාතිකයන්ට පිඩා තිබුනද මාටින් ලුතර් කිං එම ප්‍රශ්න රැගෙන ලෝකේ වටේ ගොස් ඇමරිකාව වර්චස් කළේ නැත. ඔහු ඇමරිකාවට ආදරය කළේය. නමුත් අපගේ දෙමල නායකයන් පිටරට ගොස් ලංකාවේ ප්‍රතිරූපයට හානි කළහ. එය උඩ බලාගෙන කෙල ගැසීමක් විය. අද යුරෝපයේ හා ඇමරිකාවේ ලාංකිකයෙකු කියූ විට බලන්නේ වපර ඇසිනි. කොතරම් උගත් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වුවද දෙමල නම් ගුවන්තොටේ සුදු ආරක්ෂක නිලධාරීන් ඔහු දෙස බලන්නේ කොටි ත්‍රස්තවාදියෙකු දෙස බලන බැල්මෙනි. මෙතරම් විනාශයකින් පසු වුවද සිංහල දෙමල ජාතින් දෙක අතර සාමය සහයෝගිතාවය වර්ධනය කිරීමට කිසිදු නායකයෙකු උත්සහ ගන්නේ නැත. තුවාල තව තවත් පාරවමින් ජාතින් දෙක අතර වෛරය වගා කරනවා මිස දකුණු අප්‍රිකාව උදාහරණයට ගෙන මෙම ජාතින් දෙක සහයෝගිතාවේ මේසයට කැන්දාගෙන යාමට නායකයෙකු තවම පහල වී නොමැත.

චෙල්වනායගම්ගෙන් , අමිර්තලිංගම්ටද අමිර්තලිංගම් ගෙන් ප්‍රභාකරන්ටද අතිනත ගිය ද්‍රවිඩ ජනතාව දැන් සම්බන්ධන් අත්පත් කරගෙන සිටයි. මාටින් ලුතර් කිං වැනි දුරදර්ශි අවංක නායකයෙකු පහල වන තුරු මෙසේ ද්‍රවිඩ ජනතාව නන්නත්තාරාව ඔහේ යනු ඇත.

Tell a Friend