අපරාධකරණය හා පාදඩකරණය

| වික්ටර් අයිවන්

ණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ දුමින්ද සිල්වා හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හා ජනාධිපති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර අතර ජන්ද දිනයේදී කොලොන්නාවේ ඇතිවූ ගැටුම හා ඒ ආශ‍්‍රයෙන් ඇතිවූ ඛේදවාචකය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ ආණ්ඩු පක්ෂයට පමණක් නොව, රටේ සියලූ දේශපාලන පක්ෂවලට සේ ම, සමාජයටද අනතුරු ඇඟවීමේ සංඥාවක් ලබාදෙන බලවත් සිද්ධියක් ලෙස සැලකිය හැකිය.

පාතාල ලෝකය සමග සම්බන්ධකම් නැති දේශපාලකයකු සොයා ගැනීමට බැරි තරමට අපරාධ කල්ලි දේශපාලන ලෝකයට අනුගත වී සිටියෝය. අපරාධ කල්ලි තමන්ගේ පෞද්ගලික වුවමනාවන් සඳහා පමණක් නොව තමන්ට සම්බන්ධ දේශපාලකයන්ගේ වුවමනාවන් සඳහා ද අපරාධකාරී ක‍්‍රියාවල යෙදුණෝය. එසේ ඇති කරගන්නා සම්බන්ධකම් මගින් දේශපාලන රැුකවරණය ලබන විශේෂ පිරිසක් බවට පත්වූහ.
කලක් එජාපයේ ප‍්‍රබල ආධාරකරුවකු වී සිට ආණ්ඩු පක්ෂයට එකතු වී පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට ආණ්ඩු පක්ෂයේ මනාප ජන්දවලින් දෙවැනි ස්ථානය හිමිකරගත් දුමින්ද සිල්වා විශාල ධන බලයකට සේ ම මැර බලයකටද උරුමකම් කී මන්ත‍්‍රීවරයෙක් විය. ඔහු සිය ජනබල පදනම ලෙස පාවිච්චි කළේ කොළඹ පැල්පත්වාසී දුප්පත්ම ජනයාය. ඔහු සිය ජන්ද කටයුතුවලදී දුප්පතුන්ගේ ගණයට වැටෙන මිනිසුන්ගේ හැර ඉන් පිටස්තර අයගේ සහාය ලබාගැනීමට උනන්දුවක් දැක්වූ බවක් පෙනෙන්නට නැත. මෙම මන්ත‍්‍රීවරයාට ධනය ලැබුණු මාර්ග පැහැදිලි නැතත්, දුප්පත්ම ගණයට වැටෙන ජනයාගේ සුබ සාධන කටයුතු සඳහා අත දිගහැර වියදම් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඔවුන් අතර ලොකු පිළිගැනීමක් ඇති දේශපාලකයකු බවට පත්වීමට ඔහු සමත් විය. ඒ සමග කොළඹ මැර බලයක් තිබූ සියලූ දේශපාලකයන් අබිබවා කොළඹ වැඩිම මැර බලයක් ඇති දේශපාලකයා බවට පත්වූයේය. කොලොන්නාවේදී ඇතිවූ ගැටුමේදී ඔහු තමන්ට තිබූ මැර බලය පාවිච්චි කළේ ද සාමාන්‍ය මිනිසකුට එරෙහිව නොව ප‍්‍රදේශයේ ආණ්ඩු පක්ෂයට හිතවත් මහජනයා අතර පිළිගැනීමක් තිබුණු හිටපු මන්ත‍්‍රීවරයකුට හා ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශකයාට එරෙහිවය. භාරත ලක්ෂ්මන් ශ‍්‍රීලනිපයට ලොකු ලේ නෑකමක් තිබූ පුද්ගලයකු ලෙසද සැලකිය හැකිය. ජනමාධ්‍ය වාර්තාකර තිබුණු ආකාරයට ඔහු භාරත ලක්ෂ්මන් ගමන් ගත් වාහනයේ මග අවහිර කොට ඔහුට පහර දුන්නේය. මන්ත‍්‍රීවරයා සමග සිටි නිල හා නිල නොවන ආරක්ෂකයන් අත ටී 56 ගිනි හතක් තිබූ බවද ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. ඔහු එල්ල කළ පහරදීමෙන් බිම වැටී සිටි භාරත ලක්ෂ්මන්ට ඔහු සමග සිටි මැරයෙක් වෙඩි තැබුවේය. ඒ නිසා භාරත ලක්ෂ්මන් මරණයට පත්වන විට භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක භටයකු එල්ල කළ වෙඩි පහරකට ගොදුරුවීමට දුමින්ද සිල්වාටද සිදුවිය. ඒ නිසා ඔහු මියගියේ නැතත් ඔහුගේ තත්ත්වයද යහපත් නැත.

පාතාල බලය තරවීම

1977න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවකටම පාතාල ලෝකය සමග සමීප සම්බන්ධයක් තිබුණි. 1977න් පසුව උතුරෙත් දකුණෙත් ඇතිවූ ප‍්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපාර හා ඒවාට එරෙහිව කැරුණු යුද්ධ ව්‍යාපාර නිසා වෙනදා සමාජයේ පුංචි තීරුවකට සීමාවී තිබූ පාදඩකරණය මුළු මහත් සමාජයම වෙලාගත් බලවත් සමාජ ප‍්‍රවණතාවක් බවට පත්වීයැ යි කිව හැකිය. දකුණෙත් උතුරෙත් ඇතිවූ ප‍්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපාර නිසා එක් අතකින් දේශපාලන අරමුණු සඳහා ආයුධ අතට ගත් කණ්ඩායම් ඇතිවිය. අනෙක් අතට ඒ නිසා එම දේශපාලන ප‍්‍රචණ්ඩ ව්‍යාපාරවලින් එල්ල වන කැරලි මර්දනය කිරීම සඳහා ආරක්ෂක හමුදාවන්ගේ ප‍්‍රමාණයේ අතිවිශාල වර්ධනයක් ඇතිවිය. නිල දේශපාලකයන්ට ආරක්ෂාව සඳහා ආයුධ දෙන්නට සිදුවූ අතර ආණ්ඩුව විසින් සපයන නිල ආරක්ෂක භටයන්ට අතිරේකව ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂක කණ්ඩායම් පවත්වාගෙනයෑමේ අයිතියද ලබාදෙන ලදි. බොහෝ විට පුද්ගලික කණ්ඩායම් සමන්විත වූයේ පාතාල ලෝකයට සම්බන්ධ අපරාධකරුවන්ගෙනි. එල්ටීටීඊයෙන් එල්ල වන පහරදීම්වලින් ගම් ආරක්ෂා කරගැනීම සඳහා ආයුධ සන්නද්ධ ග‍්‍රාමාරක්ෂක භට හමුදා හා සිවිල් ආරක්ෂක භට හමුදා හදන්නට ද සිදුවිය. මෙම වටාපිටාව ආයුධ පරිහරණයේ අතිවිශාල ව්‍යාප්තියක් ඇති කළේය.

ජේවීපී දෙවැනි කැරැල්ලේදී ජේවීපීය මර්දනය කිරීම සඳහා නිල නොවන අතිරේක හමුදාවක් ලෙස ආණ්ඩුව හා ආණ්ඩුවේ දේශපාලකයන් පාතාල කල්ලි ද යොදා ගත්තෝය. ඒ මගින් ආයුධ අත ඇතිව සිටීමේ නිල බලයක් එම කල්ලි හිමි කරගත් අතර ඒ මගින් ඔවුහු රාජ්‍ය බලයට සමීප සම්බන්ධයක් ඇති පිරිසක් බවට පත්වූහ. ජවි පෙරමුණද සිය දේශපාලන හතුරන් ඝාතනය කරවීම සඳහා තමන්ගේ නිල හමුදා යොදා ගන්නවාට අතිරේකව ආණ්ඩුවට හිතවත් පාතාල කල්ලිවලින් බැටකන පාතාල කල්ලි යොදා ගත්තේය. එල්ටීටීඊයද ඔවුන්ගේ දේශපාලන අරමුණු සපුරා ගැනීම සඳහා කොළඹ සමහර පාතාල කල්ලි සමග මනා සහයෝගයකින් ක‍්‍රියා කළේය. ඒ මගින් පාතාල කල්ලි සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂවල පමණක් නොව විප්ලවකාරී ව්‍යාපාරවලද පිළිගැනීමට හේතුවූ වැදගත්කමක් හිමි කරගත් දේශපාලන ප‍්‍රවණතාවක් බවට පත්විය.

විප්ලවකාරී ව්‍යාපාර අතහැර යන්නන්ගෙන් සමහරෙක් පාතාල කල්ලිවලට එකතු වූහ. නැතිනම් ඔවුන්ගේම පාතාල කල්ලි ඇතිකරගත්තෝය. නිල හමුදාවලින් පැනයන්නන්ගෙන් කිසියම් පිරිසක්ද පාතාල කල්ලිවලට එකතු වූහ. නැතිනම් තමන්ගේම පාතාල කල්ලි ඇතිකර ගත්තෝය. පාතාල කල්ලිවලට නිල හමුදාවලින් හෝ ප‍්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපාරවලින් එකතුවන්නන් සාම්ප‍්‍රදායික පාතාල කල්ලිවලට වෙනස්ව ආයුධ පරිහරණය හා සටන් කිරීම පිළිබඳව විධිමත් පුහුණුවක් ලැබූ අය වීම හා ඔවුන් පාතාල කල්ලිවලට එකතු වන විට නවීන අවි ආයුධ ද රැුගෙන ඒම නිසා අපරාධ කල්ලිවල කාර්යක්ෂමතාව ඉහළ ගියේය. අපරාධ කල්ලිවලට එකතු නොවී පොලීසියේ හෝ ආරක්ෂක හමුදාවල සේවය කරමින් සිටියදීම පාතාල කල්ලි කරන දේවල් කරන පිරිසක් ද ඇතිවිය.

පාතාල ලෝකය සමග සම්බන්ධකම් නැති දේශපාලකයකු සොයා ගැනීමට බැරි තරමට අපරාධ කල්ලි දේශපාලන ලෝකයට අනුගත වී සිටියෝය. අපරාධ කල්ලි තමන්ගේ පෞද්ගලික වුවමනාවන් සඳහා පමණක් නොව තමන්ට සම්බන්ධ දේශපාලකයන්ගේ වුවමනාවන් සඳහා ද අපරාධකාරී ක‍්‍රියාවල යෙදුණෝය. එසේ ඇති කරගන්නා සම්බන්ධකම් මගින් දේශපාලන රැුකවරණය ලබන විශේෂ පිරිසක් බවට පත්වූහ.

අපරාධකරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳව පොලිස් තොරතුරු කාර්යාංශය ප‍්‍රකාශ කර තිබෙන සංඛ්‍යාවන්ට අනුව මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත‍්‍රී දුෂණ වැනි අපරාධවලට සම්බන්ධ එක වරක් හෝ ඊට වැඩි වාර ගණනක් දඬුවම් ලබා සිටින ශ‍්‍රී ලංකාවේ අපරාධකරුවන්ගේ මුළු සංඛ්‍යාව ලක්ෂ 5කි. මිලියන 21ක ජනගහනයක් සහිත රටකට එම සංඛ්‍යාව අසාමාන්‍ය තරමේ විශාල සංඛ්‍යාවක් ලෙස සැලකිය හැකිය. ජනගහනයේ සෑම පුද්ගලයන් 42 දෙනකුටම එක අපරාධකරුවකු සිටින බව ඉන් පෙනේ. හැම පුද්ගලයන් 5 දෙනකුටම නිවසක් තිබෙන්නේයැ යි උපකල්පනය කළහොත් රටේ තිබෙන නිවාස සංඛ්‍යාව ලක්ෂ 42කි. එම හැම නිවාස 8.4කටම එක අපරාධකරුවකු සිටින බව පෙනේ. මෙය රජය විසින් හා සියලූ දේශපාලන පක්ෂ විසින් පමණක් නොව, මුළු මහත් සමාජයම බැ?රුම් ලෙස සලකා බැලිය යුතුව තිබෙන බිහිසුණු උවදුරක් ලෙස සැලකිය හැකිය.

දශක තුනකට ආසන්න දීර්ඝ කාලයක් ආයුධ සන්නද්ධ අරගලවල හා යුද ව්‍යාපාරවල පැටලී සිටි රටක් මෙවැනි තත්ත්වයකට තල්ලූවීම ගැන පුදුම විය යුතු නැත. එහෙත් මෙහි ඇති බැ?රුම් තත්ත්වය ප‍්‍රමාණවත් තරමින් වගකිවයුත්තන්ගේ අවධානයට ලක්වී නොතිබීම සිත් සසල කරවන හේතුවක් බව කිව යුතුය.

මෙය යුද්ධය අවසන් කිරීමෙන් පසුව රජයේ සේ ම විරුද්ධ පක්ෂවලද බැ?රුම් අවධානයට යොමුවිය යුතුව තිබුණු සමාජ ප‍්‍රශ්නයකි. කොලොන්නාවේ ඇතිවූ ඛේදවාචකයෙන් පසුවවත් ඒ සියලූදෙනාගේ බැ?රුම් ආ අවංක අවධානය ඒ වෙත යොමු කළ හැකි නම් මෙම බිහිසුණු ප‍්‍රවණතාව වර්ධනය වීම වළකා පිළිගත හැකි මට්ටමකට ආපසු හැරවීමට බැරිකමක් නැත. එහෙත් එය සරල හෝ පහසු හෝ දෙයක් නොවන බවද කිවයුතුය.

සැලකිල්ලට ගත යුතුව තිබෙන බරපතළම කාරණය වන්නේ පාතාල ලෝකය නීති සම්පාදකයන් සමග පමණක් නොව නීතිය ක‍්‍රියාත්මක කරවන පොලීසිය සමග පමණක් නොව, යුක්තිය පසිඳලන අධිකරණය සමගත් නැවත රාජ්‍ය නිලධරතන්ත‍්‍රය හා පෞද්ගලික අංශය සමගත් ඇති කරගෙන තිබෙන අන්තර් සම්බන්ධය බිඳ දමන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි.

දශක තුනකට ආසන්න කාලයක් මෙම විශේෂ ප‍්‍රවණතාව කෙරෙහි උනන්දුවෙන් බලා සිටි පුද්ගලයකු වශයෙන් මට කිවහැක්කේ යුද්ධය අවසන්වීමෙන් පසු දැන්වත් මෙම ප‍්‍රවණතාව වැඩිදුර වර්ධනය වීම වළකා එය ආපසු හැරවීම සඳහා ක‍්‍රියාකරන තැනකට නොගියහොත් පාතාල ලෝකය මේ රටේ ගමන් මග තීරණය කරන්නා බවට පත්විය හැකි බවය.

අතීතය හා වර්තමානය

මම 71 කැරැල්ලේ සිරකරුවකු වශයෙන් හිරගෙදර සිටියදී එකල පාතාල ලෝකයේ නාමධාරී පුද්ගලයන් ගණනාවක් සමග ඔවුන්ගේ ලෝකයේ දේවල් සිදුවන ආකාරය ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත්තෙමි. සාකච්ජා කළ පුද්ගලයන් අතර චීනා, මරුසිරා, කියුටෙක්ස් පියදාස හා ධර්මෙ ප‍්‍රධාන වූහ. ඔවුන් මගින් රටේ නමගිය වෙනත් අපරාධකරුවන් ගැනද කිසියම් ප‍්‍රමාණයක විස්තර දැනගැනීමේ හැකියාව මට ලැබුණේය. ඔවුන් වෘත්තීය අපරාධකරුවන් වුවද ඔවුන් අතරද අගේ කළයුතු ප‍්‍රතිවිපාක හා ගති ලක්ෂණද තිබුණි.

හිරගෙදරින් නිදහස් වී ජනමාධ්‍ය ලෝකයට එකතුවීමෙන් පසුව නවීන පාතාල ලෝකයේ කැපී පෙනෙන පුද්ගලයන් ගණනාවක් සමග සාකච්ජා කිරීමේ හැකියාව මට ලැබුණි. ඊට අතිරේකව පාතාල ලෝකයේම සමහර නමගිය අපරාධකරුවන් පොලීසියට ලබාදී තිබූ කටඋත්තර ගණනාවක් කියවීමට විටින් විට මටද අවස්ථාව ලැබුණි.

දීර්ඝ වශයෙන් කරුණු සාකච්ජා කිරීමට ලැබුණු එක පුද්ගලයකු වූයේ චින්තක පෙරේරාය. චින්තක පසුකලක ලංකාවේ අංක එකේ අපරාධකරුවා බවට පත්ව සිටි ධම්මික පෙරේරාගේ සහෝදරයාය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේදී රජගෙදර වුවමනාවන් සඳහා කැරුණු අපරාධ කටයුතු සම්බන්ධීකරණ කටයුතු භාරව ක‍්‍රියා කළ බැද්දගානේ සංජීව මරා දමන ලද්දේ ධම්මික පෙරේරා විසිනි. ධම්මික පෙරේරාගේ සහෝදරයා වන චින්තක මරා දමන ලද්දේ පේ‍්‍රමදාස පාලන යුගයේදී රජගෙදර සිට රජගෙදර වුවමනාවන් සඳහා කැරෙන අපරාධ කටයුතු සම්බන්ධීකරණය කළ පුද්ගලයා ලෙස සැලකිය හැකි උපාලි අමරසිංහ හෙවත් සොත්ති උපාලි විසිනි. ධම්මික පෙරේරා සිය සහෝදරයා මරා දැමීමේ පළිය ගත්තේ සොත්ති උපාලි මරා දමා ඔහුගේ කඳෙන් වෙන් කළ හිස චින්තක මරා දැමූ ස්ථානයේ ප‍්‍රදර්ශනයට තැබීමෙනි. සොත්ති උපාලි මරා දමන වැඩසටහනට සංජීව ද සහභාගි විය. සොත්ති උපාලි මරා දමන ලද්දේ එක ප‍්‍රදේශයකදීය. හිස ප‍්‍රදර්ශනය කළේ තවත් ප‍්‍රදේශයකය. මෙම කණ්ඩායම සොත්ති උපාලිගේ කඳෙන් වෙන් කළ හිස ප‍්‍රදර්ශනයට තබන ලද ස්ථානයට රැගෙන ගියේ ප‍්‍රධාන ආරක්ෂක මුරට කුටි ගණනාවක් පසු කොටය. මෙම අපරාධය සිදුකළ කල්ලියේ එක පුද්ගලයකු ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයකු වීම නිසා පරීක්ෂාවට ලක්වීමේ බියකින් තොරව ආරක්ෂක මුර කුටි පසුකර යෑමේ හැකියාව ඔවුන්ට ලැබී තිබුණි.

මොරටුව සමන් ද පාතාල ලෝකයේ පළමු ගණයේ අපරාධකරුවෙක් විය. කුමාර් පොන්නම්බලම් ඝාතනයට ඔහුගේ නම ඈඳෙන ලෙස පුවත් පළකිරීම නිසා ඔහුගේ නම තවදුරටත් එසේ පළවීම වළකා ගැනීම සඳහා මා හමුවී සාකච්ජා කිරීමට ඔහුට අවශ්‍ය වී තිබුණි. ඒ නිසා ඔහු හමුවී දීර්ඝ සාකච්ජාවක යෙදීමේ අවස්ථාව මට ලැබුණි. කුමාර් පොන්නම්බලම් ඝාතනය පිටුපස සිටි ප‍්‍රධාන පුද්ගලයා මොරටුව සමන් බව මට පළමු ඉඟිය ලැබී තිබුණේ අපරාධ පරීක්ෂකයකුගෙනි. මා ඒ ඔස්සේ කරුණු සොයා බලන තැනකට ගිය විට මට ඒ ගැන අලූත් කරුණු සොයාගත හැකිවිය. ඒ ගැන හොඳම තොරතුර මට ලැබුණේ පොන්නම්බලම් ඝාතනය කිරීමෙන් පසු එදින රාත‍්‍රියේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා ලැගුම් ගත් නිවසේ කාන්තාවකගෙනි. පොන්නම්බලම් ඝාතනය කිරීම සඳහා ඔහු නිවසින් පිටතට රැගෙන ආ පොලිස් උප සේවා බලඇණියේ කොස්තාපල්වරයකු වූ සුගත් රණසිංහ කුමාර් පොන්නම්බලම් පරිහරණය කරන ලද ජංගම දුරකතනය මෙම ක‍්‍රියාවේ මතක සටහනක් ලෙස තමා ළඟ තබා ගන්නා බව මොරටු සමන් සමග ප‍්‍රකාශ කරන ලද බව මට තොරතුරු දුන් කාන්තාව කියා තිබුණි. ඒ ගැන මා කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන ලියන ලද සටහනේ සඳහන් කළෙමි. සුගත් රණසිංහ එය කියවා බියට පත්වී තමා ළඟ තිබූ පොන්නම්බලම්ගේ ජංගම දුරකතනය සීආර් සමාජ ශාලාව අසලින් ගලා යන ඇළට විසි කළේය. පසුව පොලීසිය එම ඇළෙන් ජංගම දුරකතනය සොයා ගන්නා ලදි.

මොරටු සමන් හැඩි දැඩි පෙනුමක් ඇති පුද්ගලයෙක් නොවීය. බාහිර වශයෙන් බලන විට ඔහුට තිබුණේ අහිංසක මිනිසකුගේ පෙනුමකි. කුමාර් පොන්නම්බලම්ගේ ඝාතනයට තමන්ගේ සම්බන්ධයක් ඇති බව ඔහු පිළිනොගත්තේය. ඒ නිසා පොන්නම්බලම් ඝාතනයට ඈඳෙන ලෙස තමාගේ නම පුවත්පතේ පළ කිරීමෙන් වළකින ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. මම ඊට එකඟ වූයේ නැතත් ඔහු සමග දීර්ඝ සාකච්ජාවක යෙදීමට එය අවස්ථාවක් කර ගතිමි. වරක් ඔහු මා මරා දැමීමේ අදහස ඇතිව, මගේ ගමේ මා වෙසෙන නිවස ළඟටම පැමිණි බවත්, නිවස අසලට පැමිණි පසු ඒ අදහස වෙනස්වීම නිසා හිස් අතින් ආපසු හැරී ගිය බවත් ඔහු මට කීවේය. මාගේ නිවස පිහිටි ස්ථානය ගැන ඇසූ විට ඔහු නිවැරදිව එය විස්තර කළේය. ඔහු මේ සාකච්ජාවේදී පොන්නම්බලම් ඝාතනය ගැන කරුණු සැඟවූ මුත් වෙනත් බොහෝ දේ පැකිළීමකින් තොරව මට විස්තර කළේය. සටන පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර ඝාතනය ගැනද ඔහු දන්නා විස්තර මට කීවේය. ඔහු විසින් කරන ලද වෙනත් අපරාධ ගැනද කීවේය. ඇසුරු කරන දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් ගැනද කීවේය. ඔහුට තිබුණු දේශපාලන සම්බන්ධකම් මගේ විස්මයට හේතුවූයේ නැතත් පාතාල ලෝකය හා දේශපාලන ලෝකය එකට ගැට ගැසී තිබෙන තරම ගැන හොඳ චිත‍්‍රයක් ඇතිකර ගැනීමට මට එම තොරතුරු ප‍්‍රයෝජනවත් විය. මොරටු සමන් ඉල්ලා සිටි ආකාරයට කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන ලියන විට ඔහුගේ නම සඳහන් කිරීමෙන් මා වැළකී නොසිටීම නිසා ඔහු නැවත මා කෙරෙහි කෝපයෙන් පසුවන බව පසුව මට දැනගන්නට ලැබුණි. එහෙත් ඔහු ඝාතනයට ලක්වන්නට ටික කලකට පෙර නැවත මා හමුවන්නට උත්සාහ කළේය. මොන හේතුවක් නිසා හෝ ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට මට නොහැකි වූ අතර ඔහු නීතිඥ දයා පෙරේරා හමුවී කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන දිවුරුම් පෙත්සමක් මගින් සියලූ විස්තර හෙළිදරව් කළේය. මොරටු සමන් දයා පෙරේරා හමුවන්නට පැමිණි අවස්ථාවේදී කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන ඔහු කරන ලද පාපෝච්චාරණයෙන් පසුව දයා පෙරේරා, කුමාර් පොන්නම්බලම්ගේ පුත් ගජන් පොන්නම්බලම්ට දුරකතනයෙන් කතා කොට ඔබේ පියාගේ ඝාතකයා දැන් තමා ඉදිරියේ සිටින බව කියා ඔහු හමුවීමට කැමති නම් එහි එන ලෙස ගජන් පොන්නම්බලම්ට කියා ඇතත්, ඔහු මොරටු සමන් හමුවීමට කැමති වී නැත. මෙම පාපෝච්චාරණයෙන් ටික කලකට පසුව මොරටුව සමන්ද ඊට පසුව ඔහු සමග එම අපරාධයට සම්බන්ධවූ ඊළඟ පුද්ගලයා වන සුගත් රණසිංහද වෙඩි තබා මරා දමන ලදහ.

බැද්දගාන සංජීව ද ඔහුගේ අවසාන කාලයේදී ජාත්‍යන්තර සඟරාවක සම්බන්ධ ජනමාධ්‍යවේදියකු මගින් මා මුණගැසීමට උත්සාහ කළේය. එයාට ඔයාව හම්බුවෙන්න ඕනෑවෙලා තියෙනවා. සමහරවිට එයා දන්නා ඔක්කොම දේවල් කියන්නත් බැරි නැහැ. හම්බුවෙලා බලන්නැ යි ඔහු මගෙන් ඉල්ලා සිටියේය. එහෙත් සංජීව හමුවීමට මට හිත දුන්නේ නැත. සමහරවිට ඔහු පිළිබඳව මගේ හිතේ ඇතිව තිබූ අප‍්‍රසන්න හැඟීම නිසා විය හැකිය.

බැද්දගාන සංජීව සිය පෙම්වතිය සතුටු කිරීම සඳහා පමණක් දිනකට වැය කළ මුදල රුපියල් ලක්ෂයකි. ඔහු සිය පෙම්වතිය බවට පත්කරගෙන සිටියේ ඝාතනයට ලක්වූ රග්බි ක‍්‍රීඩක ජොයෙල් පේ‍්‍රරාගේ පෙම්වතිය වූ වැනේසාය. ඇය කැසිනෝ ක‍්‍රීඩාවට ඇබ්බැහිවී සිටි අතර ඒ සඳහා ඇය එක රාත‍්‍රියකට වැය කළ මුදල රුපියල් ලක්ෂයක් බව මට පිළිගත හැකි මාර්ගයකින් අසන්නට ලැබිණි. සංජීව ධම්මික පෙරේරා අතින් ඝාතනයට ලක්වූයේ වැනේසා වෙනුවෙන් එදින රාත‍්‍රියේ වැය කරන්න නියමිත රුපියල් ලක්ෂයද රැගෙන ඇය හමුවන්නට යමින් සිටියදීය.

පාතාල දේශපාලනය

වරක් රටේ නමගිය අපරාධකරුවෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුගේ වෙඩි පහරින් මරණයට පත්විය. අපරාධකරුවා වෙඩි තබන්නට සූදානම් වූ නිසා ආරක්ෂාව සඳහා තමා ඔහුට වෙඩි තබන ලද බව අධිකරණයේදී පොලිස් නිලධාරියා ප‍්‍රකාශ කළේය. මෙම පොලිස් නිලධාරියා හමුවූ අවස්ථාවකදී ඇත්තටම එහි සිදුවූයේ කුමක්දැ යි මම අසා සිටියෙමි. ඔහු සිදුවූ ඇත්ත මට නොවළහා ප‍්‍රකාශ කළේය.

ඔහු රටේ නමගිය අපරාධකරුවෙකි. ඔහු අතින් සිදුවී තිබුණු මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව පමණක් 20කට වැඩිය. මංකොල්ලකෑම් විශාල සංඛ්‍යාවක්ද ඔහු කර තිබුණි. ඉතාම වැදගත් දේ මෙම අපරාධකරුවා හා සමහර දේශපාලන බලවතුන් අතර තිබූ සමීප සම්බන්ධකම්ය. ඔහු ඒ තොරතුරු මට විස්තර කළේය. ඔහු විස්තර කළ සමහර බලවත් ඇමතිවරුන්ගේ නිවෙස්වල රාත‍්‍රී කාලයට ලැගුම් ගැනීමේ වරප‍්‍රසාදය පවා ඔහු භුක්ති වින්දේය. මා මේ යකාට වෙඩි නොතබා අත්අඩංගුවට ගත්තේ නම් දේශපාලන බලපෑම් නිසා මට ඌව නිදහස් කරන්න වෙනවා. ඒ නිසා අවසානයේ වෙන්නේ රාජකාරිය කරපු නිලධාරියා අවඥාවට ලක්වීම පමණක් නොවෙයි, සමහරවිට මට ඌ අතින් මැරුම් කන්නත් ඉඩ තිබුණා. ඒ නිසා මට තෝරාගැනීමට තිබුණු හරි දේ මා තෝරාගත්තායැ යි ඔහු කීවේය.

මෙම පිළිකාව ඔඩුදුවා තිබෙන තරම කොතරම්ද යන්න ඉන් පෙන්නුම් කරයි.

මා අදටත් දැඩිව විශ්වාස කරන්නේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය හා ජනාධිපති පේ‍්‍රමදාස ඝාතනය එල්ටීටීඊය විසින් කරන ලද ඝාතන දෙකක් නොවන බවය. පේ‍්‍රමදාස පාලන කාලය තුළ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේද අනුග‍්‍රහය යටතේ ගොඩනැගී තිබුණු අභ්‍යන්තර මාෆියා කල්ලියක් විසින් සිදුකරන ලද අපරාධ දෙකක් වන බවය. ඒ අදහස මා විසින් ඒ කාලයේම ප‍්‍රකාශ කර තිබුණි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ ලේකම් ලෙස ක‍්‍රියා කළ බ‍්‍රැඞ්මන් වීරකෝන් සිය අත්දැකීම් අළලා ලියා තිබෙන කෘතියේ පේ‍්‍රමදාස ඝාතනය පිළිබඳව ඔහු පළ කර තිබෙන නිරීක්ෂණ මගින් මාගේ නිරීක්ෂණය සනාථ කැරෙන බව ද කිව යුතුය.

දෙක වෙන් කිරීමට පහසු නැති ආකාරයට පාතාලය හා දේශපාලනය එකට ගැට ගැසී ඇතැ යි කිව හැකිය. මේ තත්ත්වයේ බිහිසුණු වර්ධනයක් ඇතිවන්නේ 1977න් පසුවය. එය සිදුවූ ආකාරය පිළිබඳ විස්තරාත්මක විග‍්‍රහයක් මාගේ චෞර රාජ්‍යය නමැති පොතට ඇතුළත්ය. එය විවෘත ආර්ථික ක‍්‍රමයේ ඵලයකට වඩා ජේ.ආර්. ජයවර්ධන ඇති කළ දේශපාලන ක‍්‍රමය හා ඒ තුළ ඇතිවූ ත‍්‍රස්තවාදී ව්‍යාපාර, ඒවා මර්දනය කිරීමට දරන ලද ප‍්‍රයත්නයන් තුළ ඇතිවී තිබෙන අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. දැන් ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලින් එල්ල වී තිබෙන අභියෝගය පරාජය කර ඇති බැවින් එහිම අතුරු ඵලයක් ලෙස ගොඩනැගී තිබෙන මෙම විනාශකාරී ප‍්‍රවණතාවේ වැඩිදුර වර්ධනය පාලනය කොට එය ආපසු හැරවීම සඳහා ක‍්‍රියාකිරීමේ වැදගත්කම වගකිවයුතු සියලූදෙනා විසින් අප‍්‍රමාදව තේරුම් ගත යුතුය. මේ තත්ත්වය වර්ධනය වන්නට ඉඩ හැර බලා සිටියහොත් කොලොන්නාවේ ඇතිවූවා වැනි ඛේදවාචකයන් වෙනත් තැන්වලද සමහර විට මහපාරේ පමණක් නොව ලොකු මන්දිරවලද සිදුවිය හැකිය. ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගත් රට පාතාල ලෝකයට බාරදිය යුතු නැත. එය සැබෑ නිදහස් රටක් බවට පත්වනු ඇත්තේ වර්ධනයවෙමින් තිබෙන පාතාල ග‍්‍රහණයෙන්ද රට නිදහස් කරගැනීමෙනි. රටේ පාතාල ග‍්‍රහණය මර්දනය කිරීමට අවශ්‍ය නම් එහි වර්ධනය කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධාන උල්පත් වසා දැමිය යුතුය.

විශේෂයෙන්ම ආණ්ඩුකරණය හා පාතාල ලෝකය අතර ඇති අන්තර් සම්බන්ධයත්, දේශපාලකයන් හා පාතාල ලෝකය අතර ඇති අන්තර් සම්බන්ධයත් කඩා බිඳ දැමිය යුතුය. සමාජය නිරායුධ කළ යුතුවා සේ ම දේශපාලනඥයන්ද නිරායුධ කළ යුතුය. දැන් ත‍්‍රස්තවාදී තර්ජනයක් නැති නිසා දේශපාලකයන්ට දෙන ආරක්ෂක භටයන්ගේ සංඛ්‍යාව අවම කළ හැකිය. ආයුධ සන්නද්ධ භටයන් හා පරිවාර රථ සමග ගමන් කිරීම තහනම් කළ හැකිය. නිල නොවන ආයුධ සන්නද්ධ ආරක්ෂකයන් ළඟ තබා ගැනීමද තහනම් කළ හැකිය.

රටේ ප‍්‍රචණ්ඩ සටන් පැවති කාලයේ දේශපාලකයන් වැඩි පිරිසක් විශාල ආරක්ෂක කණ්ඩායම් සමග ජීවත්වීමට හුරු පුරුදු වූයේය. නිල හා නිල නොවන ආරක්ෂක කණ්ඩායම් නඩත්තු කිරීම සඳහා පමණක් දේශපාලකයන්ට විශාල වියදමක් දරන්නට සිදුවිය. ඒ සඳහා රජයටද විශාල අතිරේක වියදමක් දරන්නට සිදුවිය. දේශපාලකයන්ගේ මෙම ආරක්ෂක භට කණ්ඩායම්, දේශපාලනඥයන් මැර බලයක් ඇති පිරිස් බවට පත්කිරීමට හේතුවිය. ඒ නිසා අවශ්‍ය නම් අනුන්ට පීඩා කළ හැකි අතිරේක බලයක් ඔවුන්ට ලැබුණි. මේ තත්ත්වය නැති කළ යුතුය. දේශපාලනඥයන් 1977ට පෙර සිටි තත්ත්වයකට ගෙනා යුතුය. ආරක්ෂක භට සේනා නැතිව ජනතාව අතර වැඩ කරන තැනකට ඔවුන් යොමු කළ යුතුය. පාතාල කල්ලි සමග සහයෝගයෙන් වැඩ කරන දේශපාලකයන් සම්බන්ධයෙන් දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. අපරාධ පරීක්ෂණ කටයුතුවලට මැදිහත්වීමට හෝ ඇඟිලි ගැසීමට දේශපාලකයන්ට තිබෙන බලයද නැති කළ යුතුය.

අපරාධකාරී පසුබිමක් ඇති අයට දේශපාලනඥයන් බවට පත්වීමට තිබෙන ඉඩ අහුරන නීති ඇති කිරීම ද වැදගත්ය. අපරාධකාරී පසුබිමක් ඇති දේශපාලනඥයන් වීරයන් බවට පත්කිරීමෙන් වැළකී සිටීමේ වගකීමක් ජනමාධ්‍යවලටද ඇත්තේය.

මැතිවරණ නීතිවලද ප‍්‍රතිශෝධනයක් විය යුතුය. මැතිවරණ වියදම් සඳහා සීමා නීති ඇති කළ යුතු අතර නැවත අපේක්ෂකයන් මැතිවරණ අරමුදල් හා වියදම් පිළිබඳව ගිණුම් වාර්තා ලබාදීම අනිවාර්ය කළ යුතුය. වාර්ෂිකව පක්ෂ අරමුදල් පිළිබඳව සහතික කළ ගිණුම් වාර්තා මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීම අනිවාර්ය කරන නීති ඇති කළ යුතුය. මනාප ජන්ද ක‍්‍රමය ද වෙනස් කළ යුතුය. පොලීසිය හා පාතාල ලෝකය අතර පවත්නා නොමනා සම්බන්ධයද නැති කළ යුතුය. සමහර පාතාල කල්ලි වැඩකරන්නේ සමහර දුෂිත පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිවය.

උපුටා ගැනීම :- රාවය පුවත්පතෙනි

Tell a Friend