කතු වැකිය: ලිංගික ලෙඩ්ඩු

තක්කඩි "ආසියාවේ අශ්චර්යේ" වසලයින්

කුරැස්ස තෙලිජ්ජවිල අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේදී විභාගය අවසන්වීමෙන් පසුව අවුරුදු දහයක දැරියක කෙළෙසීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හිටපු සෙබළකු ද විභාග රාජකාරි කළ රජයේ සේවකයන් නව දෙනකු ද සැකපිට අත්අඩංගුවට ගත්බව අකුරැස්ස පොලිසිය උපුටා දක්වමින් අද ( සැප්තැම්බර් 05 ) පුවත් පත් වාර්තා කළේය.

අදාළ පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන පරිදි , "උසස් පෙළ පොදු පරීක්ෂණය අවසානයේදී විභාග ශාලාධිපති ඇතුළු පිරිස මත්පැන් සාදයක් පවත්වා ඇතැයිද පාසල පවිත‍්‍ර කිරීම සඳහා සිය මව හා නැගණිය සමග ආ දැරිය එහි සෙල්ලම් කරමින් සිටියදී මත්පැන් සාදයට සහභාගි වූ බව කියන කොස්තාපල්ගේ සහෝදරයකු වන හිටපු ගුවන් භටයා ඇය පන්ති කාමරයකට එක්කරගෙන ගොස් කෙලෙසා ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ."

වයස අවුරුදු දහයක දැරියක් දූෂණය කිරීම වූ කලි මොහොතක ක්‍රියාවලියක් නොවේ. එම අවස්ථාවේ එහි රැඳී සිටි සියලුම දෙනාගේ දැනුවත් කම ඔස්සේ එය සිදු වූ විය හැකිය. වාර්තා වන අන්දමට අත්අඩංගුවට ගත් අනිකුත් වසලයින් බීමත්ව සිටි බැවින් අපි දැක්කේ නෑ යැයි කිව හැකිය. නමුත් අදාළ අවස්ථාවට එනම් පාසල තුළට අදාළ තිරිසනුන් වද්දා ගෙන තමන්ට රිසි සේ මත් පන් බීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමද රාජපක්ෂ උතුමානන්ගේ මතට තිත වැඩ පිළිවෙලට කළ නිග්‍රහයෙකි. මෙතරම් ජනතාවට කීකරු සුවච රජෙක් සිටින කාලයක ඒ රජා රටේ සිටින වසලයින් ගැන සැබෑ අවබෝධයෙන් බලා කටයුතු කළ යුත්තේ කප්පරක් සුරංගනා කතා රටේ රට වැසියනට කියා ඇති හෙයිනි.

ඉතින් රජෝ මං මක්ක කොරන්නද කියා තමන්ගේ මාලිගයට වෙලා කුරහන් සාටකය එල්ලගෙන කුරක්කන් රොටි ගිල ගිල එන එන ඉස් ගෙඩියාට දත් විලිස්සීමෙන් පලක් නැත. මේ අපරාධය සිදු වී ඇත්තේ තමුන්නාන්සේ ආවය කියන අර ඈත ගිරුවාපත්තුවට ගම් හතක් එහාට වන්නටය. දැන් ඔබ කළ යුතේ ඔය හමුදාවෙන් අයින් වූවා කියන වසලයේගේ අර අහවල් එකෙන් එල්ලා යුක්තිය ඉටු කිරීමය. ඒ සඳහා දින කිහිපයක් තුළ පිළිතුර ලබා දී 18 න් මෙන්ම ඉදිරියේදී 19 න් ද ගොඩ ගසා ගැනීමට නියමිත බලය තියාගෙන ඇට බෝල නොගසා අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලබා දී ඔවුන්ගේ ගොදුරු වලට යුක්තිය ඉටු කිරීමය. තමන්ට එය කළ හැකි යැයි පෙන්වීමය. එසේම තමන්ගේ සාක්කුවේ සිටින වසලයින්ද යුක්තිය ඉදිරියට ගෙන ඒමය. ඔබේ ඇති විශේෂ තක්කඩි සමාව යටතේ ස්ත්‍රීන් කෙළසා මරා දමා නිදහස ලැබුවෝ ඒමට සිටින බව ඔබම නොදන්නවා නොවේ.

අප දන්නා පරිදි කොටි සංවිධානය අතුගා දැමීමෙන් පසු සිදු කළ සෑම අපරාධයක්ම පාහේ සිදු කොට ඇත්තේ එක්කෝ හමුදාවේ සිටින අයෙක්ය. එසේත් නොවේනම් ඉන් ඉවත් වී ගෙදරට වී තමන්ගේ මෝල රත් වෙනතෙක් බලා අහිංසක ස්ත්‍රීන්ගේ මාංශ උරාබොන උන්ය.

මේ රටේ ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් වන්නේ ලිංගිකත්වයයි. එය සමාජ ප්‍රශ්නයකි. ඉහල සිට පහලටම පිළිකාවක් මෙන් මෙකි රෝගය පැතිරී පවති. මහා මඟ යන පොදු බස් රථයකවත් යෑමට නොහැකි මට්ටමට රටේ පිරිමි මෙන්ම ඇතැම් ගැහැණුද වල් මත් වී ඇත. යමක් ක්‍රමානුකූලව අවබෝධ කර ගැනීමේ සහ ඒ අනුව කටයුතු කිරීමේ විනයක් රට තුළ නොමැත්තේ නම් මතට තිත මෙන්ම ලිංගිකත්වයට තිත තබා , රෙද්ද උස්සගෙන ආසියාවේ අශ්චර්යට යන මේ මහා සංවර්ධනයට උර දීම ඔබේ වගකීමක් යැයි එදා වේල හොයා ගන්න නැති උන්ට චන්ඩි කම් පෑමෙන් වැඩක් නැත. වයස අවුරුදු 10 දැරිය සෙලල්ම් කරමින් සිට ඇත්තේ පාසල පිරිසිදු කිරීමට පැමිණි අම්මා සමඟ පැමිණි තමන්ගේ නැගණිය සමඟය. ඇය පාසලට පැමිණියේ බම්බු ගැසීමට නොවේ. ඇය එහි අවේ පාසල අතුගා කීයක් හරි සොයා ගැනීමටය. ආණ්ඩුවේ රෙද්ද පල්ලෙන් වැටෙන සංවර්ධනයේ සැබෑ නිරුවත වන්නේ මෙයයි.

මෙකි වසලයින් සමඟ තව දුරටත් රට ගෙනියන්නේද. එසේත් නොවේනම් මොවුන්ට නිතීයේ නාමයෙන් නිසි දඬුවම් ක්ෂණිකව ලබා දී රට හදන්නේද යන්න ජනතාවටම භාරය.

Tell a Friend