‘සමලිංගිකයෙකු වීම ලැජ්ජාවක් නෙමෙයි’ – මිරියම් මා‍ගෝලීස්

 


සම්මානලාභී ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වන මිරියම් මාගෝලීස් බ්‍රිතාන්‍ය වෝග් සඟරා‍වේ ඡායාරූපයට පෙනී සිටිමින් පැවසුවේ ‘සමලිංගිකයෙකු වීම පිළිබඳ මට කවදාවත් ලැජ්ජාවක් තිබුණේ නැහැ. සමලිංගිකත්වය අපරාධයක් නොවන බව මම දැනගෙන හිටියා. ‍කොහොමත් මට අපරාධකාරයෙක් වෙන්න බැහැ’ යන්නයි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මිරියම් පෙන්වාදුන්නේ ‘මම හිතන්නේ සමලිංගික අය හරිම වාසනාවන්තයි. මොකද අපි සාම්ප්‍රදායික නොවන නිසා ටිකක් ඈත්වෙලා ඉන්න පිරිසක්. ඒක අපිට වාසියක්. අපි දක්ෂ කලාකරුවන්, සංගීතඥයින්. ඒ වගේම මම සමලිංගිකයෙකු විදියට ජීවත්වෙන්න කැමතියි. මට හැමදෙයකටම අවංක වෙන්න වුවමනා නැහැ’ යන්නයි.

මේ වනවිට 82 හැවිරිදි වියේ පසුවන මිරියම් මාගෝලීස් Blackadder, Babe හා Harry Potter ආදී රූපවාහිනී කතා මාලාවන් හා සිනමාපට හරහා ජනාදරයට ලක්වූවාය. "LGBTQ+ පුරෝගාමීන්" සමග ඇය මෙවර බ්‍රිතාන්‍ය වෝග් හි ජූලි සඟරාවට පෙනී සිටියාය.

මෙහිදී සම්මුඛ සාකච්ඡාවට එක්වූ මිරියම් පෙන්වාදුන්නේ ‘මිනිසුන්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇතිකිරීමට’ ඇය හැමවිටම උත්සහ ගන්නා බවයි. ‘ඔයා කවුද කියන එක ගැන බය වෙන්නේ නැත්නම්, ඒක ශක්තිමත් පදනමක්‍. අපි හැමෝම අනාරක්ෂිතයි. මිනිස්සු බොහෝ වෙලාවට බය වෙනවා. මම හැමවිටම උත්සහ කළේ මිනිස්සුන්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇතිකරන්නයි’ යන්නයි.

මාගෝලීස් පවුලේ එකම දරුවා ලෙස ඔක්ස්ෆර්ඩ්හි හැදී වැඩුණු අතර ඇගේ පියා වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූවේය. කේම්බ්‍රිජ්හි අධ්‍යාපනය හදාරන අවදියේදී ඇය සමලිංගිකයෙකු බව වටහාගත් අතර එකල (1966) සමලිංගිකත්වය නීතිවිරෝධී විය. සමලිංගිකත්වය අපරාධයක් කිරීමට අදාළ නිශ්චිත නීතියක් නොතිබුණ ද එය තවදුරටත් සමාජ තහනමක් ලෙස මෙකල පැවතුණි.  ඇය මින් කලබල වූවේ නැත. සංක්‍රාන්තික පුද්ගලයන්ට එරෙහි මාධ්‍ය ප්‍රහාර ‍1980 දී සිට ඵෙතිහාසිකව අත්වින්ඳාය.

කෙසේවුවත්, සමලිංගිකයෙකු බවට පත්වීම සම්බන්ධයෙන් ඇගේ මාපියන්ගේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවුණි. ටෝරා (හිබෘ බයිබලය) මත දිවුරුම් දෙමින් නැවත කිසිදා වෙනත් කාන්තාවක සමග ලිංගිකව එක්නොවන බව සපථ කරන‍ ලෙස ඇගේ මව මිරියම්ට බලකළාය. මේ සිද්ධිය ගැන සිහිපත් කරන ඇය පවසන්නේ, ‘එය ඔවුන්ව දැඩි ලෙස රිදෙව්වා. තවත් කෙනෙක්ව රිදවන්න මට වුවමනා වුණේ නැහැ’ යන්නයි. මේ සිද්ධියෙන් මාස ගණනාවකට පසු ඇගේ මව දරුණු ලෙස ආබාධයට පත්වී එක්තැන් වූ අතර ඊළඟ වසර කීපය තුළ මරණය දක්වාම මිරියම් ඇ‍ගේ මවව රැකබලා ගත්තාය. 1995 දී වයස අවුරුදු 96 දී ඇගේ පියා මියගියේය. මිරියම්ගේ මව හෝ පියා හෝ ඇගේ ලිංගිකත්වය කිසිවිටක පිළිගත් බව ඇය විශ්වාස නොකරන නමුත්, ඔවුන්ට ආදරය කිරීම මිරියම් කිසිදා අත්නොහැරියාය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු මාර්ගෝලීස් විශ්වකෝෂ අලෙවි කර රංගන ශිල්පිනියක වීමට අවශ්‍ය ආදායම් උපයාගැනීමට උත්සහ දැරුවාය. ඇය බීබීසී ගුවන්විදුලි නාට්‍යයකට රංගනයෙන් දායක වන තෙක් කුඩා චරිත නිරූපණය කළාය. ඇගේ සහකාරිය වන හෙදර් මුණගැසෙන්නේ මේ අතරතුරේදීය. ඇය ඇම්ස්ටර්ඩෑම් හි ජීවත් වූ අතර වසර 54 ක් පුරා ඔවුන් එක්ව ජීවත්විය. ‘අපේ ජීවිත බාල කරගන්නේ නැතුව පවත්වා ගන්න හැකිවුණා. ඇය කිසිවක් අත්හරිනවා දකින්න මට වුවමනා වුණේ නැහැ. ඒ වගේම මට කිසිම දෙයක් අත්හරින්න ඕන වුණෙත් නැහැ.’

ඔවුන්ට සිවිල් හවුල්කාරීත්වයක් ඇති නමුත්, බොහෝදුරට එය නීතිමය ආරක්ෂාවකි. ‘සමලිංගික අයට තමන්ට අවශ්‍ය සම්බන්ධතාව හැඩගස්වා ගන්නට හැකි වාසනාව තියෙනවා’ යැයි මිරියම් පවසයි.‍

මරියම් දැවැන්ත සමාජ වෙනසක් සිදුවූ කාල පරිච්ඡේදයක් තුළ ජීවත් වූවාය‍. HIV අර්බුදය පැවති සමය විශේෂයෙන්ම අඳුරු කාල පරිච්ඡේදයක් විය. HIV නිසා මරියම්ට මිතුරන් 34ක් අහිමි විය. ‘සුවිශේෂී හැකියාවන්ගෙන් පිරුණු, ලස්සන තරුණ ජීවිත රැසක් අහිමි වුණා’

එකල සිටි ‍බොහෝ සමලිංගික කාන්තාවන් මෙන්ම ඇය ද සමාජ සත්කාරක කටයුතු වල නියැලුණි. ලොස් ඇන්ජලීස්හි ජීවත් වන අතරතුරදී Project Angel Food ව්‍යාපෘතියට සම්බන්ධ වී දැඩි රෝගාතුරව පසුවූවන්ට ආහාරප‍ාන බෙදාදුන්නාය. මේ ගිලනුන් පිළිබඳ පවසමින් මරියම් පවසන්නේ ‘මං ඔවුන්ගේ නම් දැනගෙන හිටියේ නැතත් ලිපිනයන් දැනගෙන හිටියා. මුළු දවසම ඔවුන් හිටියේ තනිවමයි.'' 



The Age of Innocence සිනමාපටයේ රංගනයෙන් වෙනුවෙන් ඇය BAFTA සම්මානයෙන් ඇගයීමට ලක්වූවාය. හැරී පෝටර් සිනමා මාලාවේ ප්‍රොපෙසර් ස්ප්‍රවුට්‍ගේ චරිතයට පණ‍ පොවමින් මරියම් තරුණ පරම්පරාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වූවාය. ‘හැරී පෝටර් සිනමාපටය මට එතරම් වැදගත් නැහැ. මට ඒ චරිතයට රංගනයෙන් පණ පොවන්නට ලැබීම ගැන සතුටුවෙනවා. එහිදී විවිධ පුද්ගලයින් ඇසුරු කරන්න ලැබුණා.’

නුදුරේදීම සිදුකරන්නට නියමිත හෘද සැත්කම ගැන පවසමින් ඇය පවසන්නේ ‘මම බය නැහැ’ යන්නයි. ‘තරුණ වියේදී කිසි විටෙකත් මරණය ගැන හිතන්නේ නැහැ. ඊළඟට මොනවද කරන්නේ කියලා හිතනවා. මං මරණය ගැන ගොඩක් හිතනවා. හැම දවසකම උදේට අවදි වෙද්දී මං හිතන්නේ, ම් ම් ම්. තවත් දවසක්’ යන්නයි.


මූලාශ්‍ර

Vogue 

The Guardian