ඩග්ලසුයි , එස්. බි දෙන්නා සෙට් වෙලා යාපනේ ප්‍රශ්නේ විසඳුවාලු!!!

ඇමති ඩග්ලස් දේවානන්ද විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහත පල වන්නේ කිසිඳු සශෝධනයකින් තොරවය. ඔහුට අනුව යාපනේ විශ්ව විද්‍යාලයේ තිබු ගැටලූ රැසක් විසඳා ඇත. ඒ නිසා මින් පසුවට කිසිඳු ගැටළුවක් මතු නොවනු ඇත. නමුත් දේවානන්ද මහාචාර්ය හූල් ගැන ප්‍රකාශ කිරීම තොත්ත බබා සේ අමතක කොට ඇත. මේ බබාලා අපිව අන්දන හැටි දැන ගැනීමට ඔහු විසින් අද දිනේදී එවූ නිවේදනයද කදිමය.

යාපනය විශ්වවිද්‍යාලයේ ඇති සියලූ ප්‍රශ්න දේවානන්දා සහ එස්. බී. දිසානායක අමාත්‍යවරු සාකච්ඡා කොට විසඳති

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා සහ සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමග යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනී මහචාර්ය වසන්ති අර්සරත්නම් මහත්මිය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුලූ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූ සාකච්ඡාවකදී යාපනය විශ්ව විද්‍යාලයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රශ්න රාශියක් විසඳා අවසන් කළේය.

මෙම සාකච්ඡාව අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතාගේ ඉල්ලීම පරිදි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කැඳවා තිබූ අතර 2011.08.30 වැනි දින පැවැත්විනි.

මෙහිදී, පළමුවෙන්ම යාපනය විශ්ව විද්‍යාලයේ අමාත්‍ය දේවානන්දාගේ ඉල්ලීමෙන් අතිගරු ජනාධිපතිතුමි විසින් ලබා දී අලූතින් පිහිටුවීමට යන කෘෂිකර්ම විද්‍යා පීඨය සහ ඉංජිනේරු පීඨයේ වැඩකටයුතු ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා විය. කෘෂිකර්ම පීඨය කිලිනොච්චියේ පිහිටුවන අතර, ඒ සඳහා ඉන්දියානු ආධාර ඇ.ඩො. මිලියන 02ක් ලැබී ඇති බව හෙළිදරව් විය. ඉංජිනේරු පීඨයට රු. මිලියන 375ක් වැය කරන අතර නවීන ශ්‍රවණාගාරයක් ද ඊට ඇතුළත්ය. මේවායේ ඉදි කිරීම් මෙම වර්ෂය අවසාන වීමට පෙර ආරම්භ කළ යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුනි. මෙහිදී වවුනියාව විශ්ව විද්‍යාලයේ තත්ත්වය උසස් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය. විශ්ව විද්‍යාලයේ සියලූ පීඨවල සහ විශ්වවිද්‍යාලය තුළ ඇති අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලවල සියලූ ඇබෑර්තු ස්ථීර සේවකයන් බඳවා ගන්නා තුරු තාවකාලිකව හා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා උපකුලපතිවරියට උපදෙස් දෙන ලදී. විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඇති ශල්‍ය වෛද්‍ය ආචාර්යවරුන්ගේ ඇබෑර්තු සඳහා යාපනය ශික‍ෂණ රෝහලේ දැනට සේවය කරන ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු ද, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් ද වහාම පත්කරන ලෙසත්, ඔවුන් තිදෙනා යාපනය ශික‍ෂණ රෝහලෙන් වහාම විශ්ව විද්‍යාලයට අනුයුක්ත කර නිදහස් කරන ලෙසත් සාකච්ඡාව අවස්ථාවේම අමාත්‍යවරු දෙදෙනාම සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කළ ඉල්ලීම එම අවස්ථාවේම ඉටු කිරීමට කටයුතු කෙරින. එම විශේෂඥ වෛද්‍යවරු විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමෙන් රෝහලේ ඇතිවන පුරප්පාඩු පිරවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනත් වැඩපිළිවෙලක් යොදනු ඇත. එසේම, විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇති අඩුපාඩු ද භෝජනාගාරයේ සහ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඇති අඩුපාඩු ද වහාම සපුරාලන ලෙස අමාත්‍යවරයා උපකුලපතිවරියට උපදෙස් දුන් අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට අමාත්‍යාංශ ලේකම් ඇතුලූ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. විශ්ව විද්‍යාලයේ දැනට සිටින රෙජිස්ට්‍රාර්වරයා මඩකලපුව විශ්ව විද්‍යාලයට මාරුවී යාමට ඉල්ලා ඇති බැවින් ඔහු එම විශ්ව විද්‍යාලයට නිදහස් කොට ඔහු වෙනුවට වැඩ බලන රෙජිස්ට්‍රාර්වරයෙකු පත් කරන ලෙස ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ගාමිණී සමරනායක මහතාට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් දෙන ලදී.

දීර්ඝ කාලයක් පුරා පැවති මෙම ප්‍රශ්න විසඳීම ගැන රැස්වීම අවසානයේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා සිය දැඩි ස්තූතිය පුද කලේය.

Tell a Friend