සාම්ප්‍රදායික සිංහල සමාජයේ "ලිබරල් මඟුල"

නෝමන් සිරිපාල

සාම්ප්‍රදායික සිංහල පවුල් සංස්‌ථාවේ ඥති සම්බන්ධතා ජාලය මගින් පුද්ගලයාගේ සමාජ ජීවිතය පාලනය විය. විවාහය සඳහා සුදුසු සාමාජිකයන් තෝරාගැනීමේදී ඥතීත්වය ප්‍රධාන ඒකකය වූ අතර විවාහය අන්තර් ජනන හෙවත් එකම කුලයකට හා නෑදැ සමාගමකට ගැනෙන පිරිසක්‌ අතර සිදුවීම, වඩා යෝග්‍ය බව, සමාජය විසින් පිළිගන්නා ලදී.

සමාජ හා මානව විද්‍යාඥයන් විසින් විග්‍රහ කරන ලද පරිදි, විවාහය හා ඥතිත්වය අතර ඥති සම්බන්ධතා සමාන්තර හා හරස්‌ වශයෙන් කොටස්‌ දෙකකට බෙදේ. පිය පස සහෝදරයන් හා ඔවුන්ගේ දූ දරුවෝද මවු පස සහෝදරියන් හා ඔවුන්ගේ දූ දරුවෝ සමාන්තර ඥතීහු වෙති. පිය පස සහෝදරියන් හා ඔවුන්ගේ දූ දරුවෝ සහ මවුපස සහෝදරයන්ගේ දූ දරුවෝ හරස්‌ ඥතීහු වූහ.

සමාන්තර ඥතීන් සමඟ විවාහ සම්බන්ධතා පැවැත්වීම, සමාජය හෙළාදුටු ව්‍යභිචාරි තහංචියක්‌ වූ අතර හරස්‌ ඥතීන් විවාහය සඳහා සුදුසු බව සමාජය පිළිගත්තේය.

ව්‍යභිචාරි විවාහ හා එවැනි මෙවුන්aදම් දණ්‌ඩණීයය. (සිංහලේ ආණ්‌ඩුක්‍රමය. ජෝන් ඩොයිලි - 1966-143 පි.)

සොහොයුරෝ දෙදෙනකුගේ දරුවන්ටද සොහොයුරියන් දෙදෙනකුගේ දරුවන්ටද විවාහ විය නොහැකිය. ඔවුන්ගේ දරුවන් සොයුරු - සොයුරින් ලෙස සලකන බැවිනි." (එම)

බින්න විවාහ හා දීග විවාහය සිංහල ජන සමාජයේ සම්මත විවාහ ක්‍රම දෙකක්‌ විය. බින්න විවාහයේදී මනාලියගේ නිවසේද දීග විවාහයේ දී මනාලයාගේ නිවසේද යුවළ පදිංචි වෙති.

සහෝදරයන් දෙදෙනකුගේ දරුවන් අතර හෝ සහෝදරියන් දෙදෙනකුගේ දරුවන් අතර, විවාහයක්‌ සිදුකිරීම සමාජය පිළිගන්නේ නැත. එකම මවුපිය දෙදෙනාගේ දූ - දරුවන් අතර විවාහය අසම්මත විවාහයකි.

එක්‌ පුරුෂයෙකු එක්‌ භාර්යාවක විවාහ කර ගැනීම, සාමාන්‍ය සම්මතය විය. එය සිංහල සිරිතය. එසේ වුවද බහු භාර්යා සේවනය හා බහු පුරුෂ සේවනය ද පැවැතිණි.

භාර්යාවන්ගේ හා ස්‌වාමිපුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳ සීමාවක්‌ නොමැතිව, බහු භාර්යා හා බහු පුරුෂ සේවනයට අවසර තිබේ. එහෙත් බිරිඳට තම දෙවැනි හවුල් සැමියෙකු ගත නොහැකිය. එසේ වුවද සැමියාට තම බිරිඳගේ අනුමැතිය රහිතව, එම ගෙදරට දෙවැනි බිරිඳක්‌ ගෙන ඒමට අවසර තිබේ. කෙසේ වුවත් භාර්යාව, තම ස්‌වාමිපුරුෂයා ඉල්ලා සිටි නමුත්, ඔහුගේ සොහොයුරෙකු පවා, හවුල් සැමියකු ලෙස භාරගැනීම ප්‍රතික්‍ෂේප කළ හැකිය. යෝජනා කරන ලද හවුල් සැමියා පළමුවැනි සැමියාගේ සොහොයුරෙක්‌ නොවේ නම් එබඳු හවුල් විවාහයක්‌ සඳහා බිරිඳගේ පවුල් අනුමැතිය ලබාගත යුතුය. - (සිංහලේ ආණ්‌ඩුක්‍රමය - ජෝන් ඩොයිලි - 1966-14 පිටුව)

අනියම් භාර්යා පරිහරණය හා බහු භාර්ය සේවනය, ආගම විරෝධ නමුදු සිංහලයෝ මේ දෙකටම ඉඩදෙති. දෙවැනි විශේෂයි. තිබ්බනයෙහි මෙන් උඩරටද බහු භාර්යා සේවනයට වඩා බහු පුරුෂ සේවනය පැවැතීම අපූර්වය. එහි ස්‌ත්‍රියකට බොහෝවිට පුරුෂයෝ දෙදෙනෙක්‌ වෙති. ස්‌වාමිපුරුෂයන් සත් දෙනකු සිටින ස්‌ත්‍රියක්‌ ගැනද මට අසන්ට ලැබිණි. මේ අසාමාන්‍ය චාරිත්‍රය කුලයකට හෝ පන්තියකට සීමාවූවක්‌ නොවේ. පවුලේ සැමියන් හැමවිටම සොහොයුරෝය. වරක්‌ මට මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ තම සොහොයුරා සමඟ පොදුවේ එක්‌ භාර්යාවක්‌ පාවාගෙන සිටි ඉතා තිබුණු මහලු උඩරට රදළවරයකු විසිනි. ළමයි වැඩිමහල් සොහොයුරා ලොකු අප්පච්චි යනුවෙන්ද, බාල සොහොයුරා කුඩප්පච්චි යනුවෙන්ද ඇමතූහ. පවුලේ සම්පූර්ණ සමගිය පවත්නා බව පෙනුනි.

(ඩේවි දුටු ලංකාව -1967-149 පිටුව)

සම භාර්යාවන් හෙවත් එක ගෙයි කෑම පැවැති බවත් හෙළි වේ.

කවර ස්‌ත්‍රියක වුවද පුරුෂයන් දෙදෙනකු එකවිට සරණපාවා ගත හැකිය. මේ රටේ සිරිත අනුවත්, පවුලේ සහෝදරයන් දෙදෙනකුට එක බිරියක සරණපාවා ගත හැකිය. ඔවුන්ගෙන් ලැබෙන දරුවෝ පුරුෂයන් දෙදෙනාටම "පියා" යෑයි අමතන්නේය.

(එදා හෙළදිව රොබට්‌ නොක්‌ස්‌ 1989-272 පිටුව)

මේ බව ජන කවියෙන් ද හෙළි වේ.

රාළෙ රාළෙ නරකයි හොර වෙළෙඳාම

දවස දනක්‌ දුන්නෑකොට කීවාම

දන්නේ නැද්ද උඹෙ අයියාගේ තරම

හිඟා කතත් නරකයි එක ගෙයි කෑම

භාර්යාව වඳ තැනැත්තියක වූ විට දෙවන ස්‌ත්‍රියක පාවා ගැනීමට පෙළඹුණු අවස්‌ථාද උදාවිය. ඊට අමතරව අනාචාරයේ හැසිරෙන අවස්‌ථාවන්ද ජන කවියෙන් හෙළි වේ.

බින්න විවාහය ට එළඹෙන තැනැත්තා තම බිරිඳ සමඟ නැන්දා මාමලාගේ නිවසේම පදිංචි වෙයි. මේ ක්‍රමය අනුගමනය කෙරෙන්නේ මනාලිය දේපළ හිමිකාරියක්‌ හෝ පුතුන් ටික දෙනකු ඇති ධනවත් පවුලක දියණියක වූ විට පමණකි.

බින්න විවාහය පිළිබඳ තොරතුරු රැසක්‌ සිංහල ජනකවියෙන් අනාවරණය වේ.

එක්‌ තරුණයෙක්‌ බින්න විවාහයට එළඹෙන්නේ තමාගේ පවුලේ ප්‍රශ්න විස¹ගැනීමට හා අඹුවත්, ගෙදරත් එක තැනකින් ලබාගැනීමේ අපේක්‍ෂාවෙනි.

අප්පගෙ අඹුවට මාව එපා වී

කළුවර රැයකදි පිට කෙරුවයි

පසුදා කැලයෙන් ළී දඬු ගෙනවිත්

ගෙයක්‌ තනන්නට මුල පිරුවයි

විසිවිය ලැබිලත් අඹුවක්‌ නැති කොට

ගෙයක්‌ කුමටදැයි මට සිතුනයි

කළු මාමගෙ දුව ගන්නට ලැබුණොත්

අඹුවත් ගෙදරත් එක තැනමයි

මේ විසි විය එළඹි තරුණයෙකි. ඔහු කුඩම්මාගේ වෛරයට ලක්‌ වී රාත්‍රි කාලයේදී නිවසින් පිටමං විය. තනිවම වෙහෙසී නිවසක්‌ සාදාගැනීමට කටයුතු කරගෙන යන අතර තුරදී ඔහුට මෙසේ සිතෙයි.

කළු මාමගෙ දුව ගන්නට ලැබුණොත්

අඹුවත් ගෙදරත් එක තැනමයි

බින්න විවාහය සඳහා එවැනි සාමාජික හේතූන් බෙහෙවින් බලපෑ බව පැහැදිලිය. එහෙත් බින්න විවාහය නිසා, අඹුවගේ නිවස හා දේපළවල අයිතිය, අහිමි වූ අවස්‌ථාද එළඹී ඇත. ඇතැම් විට, බිරිඳගේ හා එම නිවසේ වෙසෙන සෙසු අයගේ අණසකට ද නතුවීමට ඔහුට සිදු වේ.

බින්න විවාහයකට ඇතුළත් ස්‌වාමි පුරුෂයකුට තම බිරිඳගේ නිවසෙහි, විශේෂ අයිතිවාසිකම් අහිමි විය. ඔහුට ඇයගේ දේපළ පිළිබඳ බලයක්‌ නැත. බිරිඳ හෝ ඇයගේ දෙමාපියන් විසින් ඔහු කවර මොහොතක වුවද බැහැර කරනු හෝ දික්‌කසාද කරනු ලැබිය හැකිය. එහෙත් සැමියා තම දියණියට විවාහ කරදෙන ලද්දේ මවු පසින් විසින් නම්, ඔවුන්ගේ මරණයෙන් පසු බිරිඳගේ අනුමැතිය නොමැතිව, ඇයගේ සොහොයුරන්ට, ඔහු බැහැර කළ නොහැකිය.

"සිංහලේ ආණ්‌ඩු ක්‍රමය ජෝන් ඩොයිලි 1966-142 පිටුව)

බින්න ක්‍රමය අනුව පුරුෂයා මනමාලියගේ ගෙදර පදිංචියට පැමිණේ. මේ ක්‍රමය දේපළ පාලනය කිරීමේ අවශ්‍ය තත්ත්වය නිසා, ඇතිවූවකි. එසේ වුවත් බින්න විවාහය ස්‌ත්‍රියට යටත්වීමේ ක්‍රමයකැයි සලකන පහත රට ජනයා එය ආත්ම ගෞරවයෙන් යුත් තරුණයෙකුට තරම් නොවෙතැයි හෙළාදකී. එසේ විවාහ වූ තැනැත්තා නැන්දනියගේ යටතේ සිටිය යුතුය. මෙය තවත් ප්‍රශ්නයකට තුඩු දෙන කාරණයකි.

(ලංකා ජනතාව නන්දදේව විඡේසේකර - 1969-81 පිටුව)

බින්න විවාහයක්‌ කරගන්නා තැනැත්තා නැන්දා මාමලා සමඟ ජීවත් වීමට යයි. තම දෙමාපියන්ගෙන් හා සහෝදර සහෝදරියන් ගෙන් වෙන්වී එසේ ගොස්‌ කාලය ගතකරන විට ඔහුට උපන් රටට යැමට පවා සිතුණු අවස්‌ථා ජනකවියෙන් හෙළි වේ.

අප්පගෙ පෙරැත්තේ බැරුවා නිසාවට

බින්න මඟුලකට බහදී මෙමා හට

සැමියා ලෙසට උනි අඹුවත් එදා සිට

උපන් රටට යැමට දැන් සිතෙයි මට

කල්ගත වන විට නැන්දාට හා මාමාට බෑනා එපාවීම, බින්න විවාහයේදී දක්‌නට ලැබෙන ආකාරයද ජනකවියෙන් හෙළිවේ.

අලුත් පිටම බෑනා ගෙදර එන විට

මලුත් පුදා දුව කැන්දා දෙයි ළඟට

කලුත් ගොසින් බෑනා ගෙදර එන විට

බලුත් නොවටීය බෑනා නැන්දාට

පළමුවෙන් බෑනා දුටු දා නැන්දාට

සුරපුරෙන් පැමිණි සුර කුමරකු ලෙසට

ටික ටිකෙන් මෙසේ පසුවී යන කලට

නැත සිඟන්නෙකුට වැඩි වෙනසක්‌ ඔහුට

අලුත් පිටම නැන්දාට බෑනා සුරකුමරෙක්‌ලු යන පිරුළ ජනකවියා සනාථ කළ සේය. කල් පසුවන විට "බලුත් නොවටී" හිඟන්නෙකුට වැඩි වෙනසක්‌ ඔහුට නැත. දෙන්නට අතේ ඇති තෙක්‌ම, නෑනාට ආදරය දක්‌වන නැන්දා, ඔහුගෙන් ලාභ ප්‍රයෝජනයක්‌ නොලැබෙන විට, විසුමක්‌ නොවන පරිද්දෙන් මැසිවිලි නගන ආකාරය ජන කවියා හෙළි කළේය.

දෙන්නට අතේ ඇතිතෙක්‌ මීපැණි වාගේ

උන්දැට හිඟ වුණොත් විසුමක්‌ නැත දීගේ

ගෙන්ගෙට ඇවිද විසුවත් කාගෙන දීගේ

ඉන්නට එපා එකගෙයි නැන්දම්මාගේ

බින්න විවාහය, සමාජය අනුමත නොකළා සේය. ජනශ්‍රැතියේ එන තව තවත් ප්‍රස්‌තාව පිරුළු මගින්ද එය සනාථ වේ.

වෑ පස්‌සෙන් හිර පස්‌සෙන් ඉන්න එපාලු

වෑ පස්‌සේ සිටියත් හිරපස්‌සේ ඉන්න එපාලු

නැන්දම්මාගේ ගෙදර අවදානම්ලු

නැන්දම්මාගේ ආදරය වගෙයිලු

යන පිරුළු තවමත්, සමාජයේ ව්‍යවහාර වේ. වෑ පස්‌සේ සිටීමෙන් අනතුරු සිදුවිය හැකිය. හිර පස්‌සේ නොහොත් නැන්දම්මලාගේ නිවසේ සිටීම, විපත් ඇතිවීමට හේතුවකි.

බින්න විවාහයට පිවිසි තැනැත්තාට ගතකළ හැකිවූයේ අවදානම් ජීවිතයක්‌ බවත් ඔහු කොයි මොහොතේදී හෝ නැන්දා මාමලාගේ නිවසින් පිටත්ව යැමට සූදානම්ව සිටිය යුතු බවත් ජන කවියෙන්ම හෙළිවේ. මේ රබන් පදය ජනකවියාගෙන් කියෑවුණේ එවන් අත්දැකීමක්‌ සන්නිවේදනය කරනු පිණිසය. බින්න විවාහය සරදමට ලක්‌වූ ආකාරය ඉන් වනිත වේ.

තක්‌ක තරිකිට බින්න දොංදොං

පැලේ යට හැරමිටිය දොංදොං

බොලේ කෝ තලඅත්ත දොංදොං

මලේ දිය හුළු අත්ත දොංදොං

බින්න සැමියා තම බිරිඳගේ, ගේ දොරකඩ හැරමිටියක්‌, තල අත්තක්‌ හා පන්දමක්‌ සූදානම්කොට තබාගත යුතුය යනු ප්‍රස්‌ථාව පිරුළකි. ඔහු රෑ දවල් කොයි වේලාවේ වුවද කාලගුණය හා තම සෞඛ්‍ය තත්ත්වය කුමක්‌ වුවද නියම කරනු ලැබූ විට, ඇයගේ ගෙදර හැර යැමට සූදානම් වී සිටිය යුතු බව මෙයින් වැටහේ.

(සිංහලේ ආණ්‌ඩුක්‍රමය ජෝන් ඩොයිලි 1966-142 පිටුව)

දීග විවාහය බින්න විවාහයට වඩා සුලභ විය. දීග ක්‍රමයට විවාහයට එළඹෙන තැනැත්තා මනාලිය සිය නිවසට කැන්දාගෙන ඒම සිරිත විය. මෙහිදී මනාලිය සිය පවුල අතහැර ගොස්‌ සැමියා සමඟ ඔහුගේ නිවසේ පදිංචි වෙයි. තම දෙමාපියන්ගෙන් හා සහෝදර සහෝදරියන් ගෙන් වෙන්වී දීග විවාහයට ඇතුළත්ව නුහුරු නුපුරුදු පළාතක පදිංචියට ගිය තරුණිය, අකමැත්තෙන් තොරවම තම සැමියාට අවනත වූවාය. බොහෝ තරුණයෝ කැමැත්ත දැක්‌වූයේ දීග විවාහයටය.

මවුපියන්ගේ පෙළඹවීම මත සිය කැමැත්තෙන් තොරව දීග විවාහයකට එක්‌වූ තරුණියක විඳි දුක්‌ ගැහැට ජන කවියෙන් හෙළිවූයේ මෙලෙසිනි.

යන්න බැරි ගහට කෙකි අවුලන්න එපා

කන්න බැරි කෑම බෙදවා ගන්න එපා

ගොනා කරේ මීමා ඇදගන්න එපා

අප්පච්චියේ මං ඕකට දෙන්න එපා

යන්න බැරි ගසට කෙකි ඇවිලීම, කන්න බැරි කෑම බෙදා ගැනීම, ගොනා කරේ මීමා ඇදීම වැනි නොගැලපෙන නොසැසඳෙන දේ මෙන්, නොගැලපෙන දීගයද අවදානම්ය. මාව ඕකට දෙන්න එපා" යන කියුමේ ඇයගේ විරුද්ධතාව, අකමැත්ත හා වෛරය ද රැඳී ඇත. "ඕකට" යන "යෙදුම" විෂඝෝර සර්පයෙකුට කරන අමිහිරි ඇමතුමක්‌ වැනිය.

මෙවැනි අවස්‌ථා ජන කවිය අතර සුලභය.

පොල් පැලෙනා අව්වේ මට ඉන්න බැරී

කට කහනා අලකොළ මට කන්න බැරී

ඒදණ්‌ඩෙ පා දණ්‌ඩේ යන්න බැරී

අප්පච්චියේ ඔය දීගේ යන්න බැරී

දීග ක්‍රමයට අනුව සැමියාගේ නිවසේ ස්‌ථිර ලෙස පදිංචි වී, ඔහුගේ ප්‍රධානත්වය පිළිගෙන ජීවත්වීමට බිරිඳට සිදුවිය. එහෙයින් තම විවාහයෙහි අනාගත පැවැත්ම ගැන බිරිඳ බියෙන් හා සැකයෙන් සිටියයුතු වූවාය. එවැනි දීග විවාහයක එළඹි බිරිඳට ජන කවියාගෙන්ද උපදෙස්‌ ලැබිණි. තම දීගය රැකගැනීමේ සම්පූර්ණ වගකීම, බිරිඳටම පවරා දීමට ජනකවියා උත්සාහ කළේය.

දීගය ඇවිත් පිරිමින් හා උරණ එපා

එගෙයි තිබෙන දේ පිටතට දෙන්න එපා

වේගෙය වෙලා තම හිමි හට බැනුම් එපා

දීගය ඇරී කණවැන්දුම් වෙන්න එපා

දීග විවාහයට එක්‌වී දුක්‌ විඳින අඹුවන්ගේ අඳෝනාවන්ද ජනකවියෙන් හෙළිවේ.

ගුණ යුත් වචන මගෙ බස අසනුය නැන්දේ

එක සිත්වෙලා සිටි නට මම කල් බැන්දේ

දැන ගත්දා පටන් මවු ළඟ සැප වින්දේ

එහෙමත් සැප ලැබේවිද දීගෙන් නැන්දේ

(පුරාණ පන්නන් කතුර - 29 )

අම්මාගෙන් ලැබුණු සැප, නැන්දම්මාගෙන්ද ඒ ආකාරයටම බලාපොරොත්තු විය හැකි නොවේ.

නැන්දම්මා වැඩ ගනී. මාමණ්‌ඩි ඇනුම්පද කියයි. දීග විවාහයට එක්‌ වූ තරුණියකගේ අඳෝනාව ජනකවියා මෙසේ හෙළි කළේය.

අපෙ අම්මා අපි හැදුවේ විකුණන්ට

නැන්දම්මා ගෙයි ඉඳගෙන වැඩ ගන්ට

මාමණ්‌ඩී ඇනුම් පදයක්‌ නොකියන්ට

බැරි අම්මේ මේ දීගේ කරලන්ට

මේ අඳෝනාව තවත් පිට ගමකට දීග ගිය තරුණියකගේය. නුග පිටියට මම දුන්නේ මරන්ටද? එම පුවතද ජනකවියා සන්නිවේදනය කළේ මෙලෙසිනි.

උණ පඳුරට ගිනි දුන්නේ නොදන්ටද

යන වතුරේ ඉර ඇන්දේ තිබෙන්ටද

කදුරු ගහට අල හැදුනේ නොකන්ටද

නුග පිටියට මම දුන්නේ මරන්ටද

මේ තරුණිය දීග ගියේ අගහිඟකමින් පිරි ගම ගෙදරකටය.

උකුණු කනේ පීනේ පීරන්නට පනා නැතී

ඉනිකුණු කනේ නොවලන්නට රෙදිත් නැතී

කටේ කුණට කන්නට දළු බුලත් නැතී

අප්පච්චී මා දුන් තැන මොකුත් නැතී

මහනුවර යුගය වන විට ඉතාම සුදුසු විවාහය ලෙස පිළිගැනුනේ ඇවැස්‌ස විවාහයයි. නෑනා හා මස්‌සිනා අතර ඇතිවුණ ඇවැස්‌ස විවාහය හා එය අනුමත කෙරෙන ජනකවි මෙන්ම නෑනා හා මස්‌සිනා අතර හුවමාරු වූ ආලය පිළිබඳ ජනකවිද අප අතර සුලභය.

මධ්‍යකාලීන ලංකාවේ ඇවැස්‌ස විවාහය සුලභව පැවැති බව සඳහන් වේ.

නැන්දා මාමලාගේ දූ පුතුන් අතර ඇතිවූ මේ විවාහය වර්තමානය දක්‌වාත් පිළිගැනුනක්‌ සේ පෙනේ. මේ ක්‍රමය අනුව සහෝදරයකුගේත්, සහෝදරියකගේත් දූ දරුවන් අතර, විවාහය සිදුකළ හැකිවිය.

(මධ්‍යකාලීන ලංකා සමාජය - ඇම්. බී. ආරියපාල - 1996.290 පි.)

මහාවංශයෙහි 2(15 සිට බුදුන්ගේ පෙළපත දී ඇත. මේ විස්‌තරය අනුව දකුණු ඉන්දියාවේ සාමාන්‍ය සිරිතක්‌ වූ ඇවැස්‌ස විවාහය සාක්‍ය වංශයෙහි පරම්පරා තුනකට සිදුවූ බව, කියෑවෙන හෙයින් මේ වාර්තාව වැදගත් වෙයි.

(මධ්‍යකාලීන ලංකා සංස්‌කෘතිය විල්හෙල්ම් ගයිගර් - 1969)

සිංහල කුල ක්‍රමයේ ඇවැස්‌ස විවාහ චාරිත්‍රය, සමාජය විසින් අනුගමනය කරන ලද්දේ නෑනා හා මස්‌සිනාගේ ලේ සබඳකම දුරස්‌ සේ පිළිගැනුනු බැවිනි. ඇවැස්‌ස විවාහයෙන් ඥති සම්බන්ධතා වඩාත් තහවුරු විය.

ඇවැස්‌ස යන්නෙන් සිදුවිය යුතුම වූ හෝ අත්‍යවශ්‍ය යන අර්ථ ගෙන දෙයි. මෙම විවාහ ක්‍රමය වර්තමානයේදී ද පිළිගැනේ. ජන කවියා ඇවැස්‌ස විවාහය අනුමත කළේ ස්‌වභාවධර්මයෙන්ම සිදුවිය යුත්තක්‌ ලෙසිනි. වැසි දිය සමුදුරටත් මල්පැණි බඹරාටත් ස්‌වභාව ධර්මයෙන්ම ලැබෙන බැවින් ජන කවියා විසින් නෑනා මස්‌සිනාටම හිලව් කරන ලද්දේ විය.

වැසි දිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි

මල් පැණි අයිති වට ගුමුදෙන බඹරාටයි

මීරා අයිති කිතුලේ කල වැද්දාටයි

නෑනා අයිති කාටද මස්‌සිනාටයි

නෑනා, මස්‌සිනාටම හිමි කළ ජන කවියා නෑනා කෙනෙක්‌ නැතිව සිටි මස්‌සිනාට උසුළු විසුළු පෑය.

සාගතේ මොටද මිනිහෙක්‌ සතෙක්‌ නැතී

මාවතේ මොටද ගමනට ඉමක්‌ නැතී

රාමතේ මොටද මග පෙරලුමක්‌ නැතී

ජීවිතේ මොටද නෑනා කෙනෙක්‌ නැතී

තමාට වයසින් ගැලපෙන නෑනා කෙනකු සිටින මස්‌සිනා මෙන්ම, තමාට ගැළපෙන මස්‌සිනා කෙනකු සිටින නෑනාද ඉතා සතුටින් කල් ගත කළහ.

ඇවැස්‌ස විවාහය සමාජ සම්මතයක්‌ වුවද, ඊට අප්පා සහ මහප්පා උරණ වූ අවස්‌ථාවන්ද ජනකවියා හෙළි කළේය. මේ අප්පා සහ මහප්පා එකම බිරිඳකගේ සැමියන් දෙදෙනා විය හැකිය.

අප්පත් මහප්පත් මඟුලට හරස්‌ වෙතේ

රෑ තනි රැයක්‌ තනි යහනේ නිදිද නැතේ

මගෙ නෑනා මා සමඟම දීග යතේ

කාටත් නොකියාම අපි යමු පහළ කතේ

උඩරට පළාතේ සිටි මේ දෙදෙනා පහත රටට පැන ඒමට සිතූ අවස්‌ථාවකි. නෑනාගේ කැමැත්ත ලැබූ මස්‌සිනා, දෙමාපියන්ගේ අකමැත්තෙන් වුවද විවාහයට පත්වූ අවස්‌ථා තිබුණි.

ඇවැස්‌ස විවාහය සාම්ප්‍රදායික සමාජය තුළ මුල්බැස ගැනීමට හේතු වූ කරුණු කිහිපයක්‌ සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

සමාජ සමීක්‍ෂණ මංගල කලාපය, කැලණිය විශ්වවිද්‍යාලය - 1994-77 පිටුව) දේපළ උරුමය, සාම්ප්‍රදායික පවුල හා ඥතීත්වය තුළම ආරක්‍ෂාවීම, ඥති පිරිසක්‌ විවාහය වටා වඩාත් සමීපවීම තුළින් විවාහය බිඳවැටීමේ ප්‍රවණතා අඩුවීම හා කුඩාකල සිටම ඔවුනොවුන් හඳුනා ගැනීම ඇසුරුකිරීම, ප්‍රේමයෙන් කාලය ගතකිරීම යන කරුණු නිසා අඹු සැමියන් අතර අනොන්‍ය අවබෝධය වර්ධනය වීමය. විවාහ වීමට පෙර නෑනා, මස්‌සිනාලා ප්‍රේමයෙන් ගතකළ අවස්‌ථා ජනකවියා හෙළි කෙළේය.

මස්‌සිනා පැමිණ කැන්දාගෙන යන තෙක්‌ ඉවසාගෙන සිටීමට මේ නෑනාට නොහැකිවීද

ලස්‌සනේ බැරිය බඹරුන් රොන් ගන්න

උස්‌ උනේ ළමැද සෙනෙහස උතුරන්න

ඇස්‌ රිදේ බිරිය මඟ බල බල ඉන්න

මස්‌සිනේ ඇවිත් කැන්දාගෙන යන්න

සෙනෙහස උතුරා, උස්‌වී වැඩීගිය පියවුරු, බඹරුන් රොන් ගන්නා විකසිත වූ පිරිපුන් මලක්‌ වැනිය. නෑනාගේ ඇමතුම, මස්‌සිනා පිළිගත්තේ විහිළුවෙනි.

පායාලා තිබේ අහසේ වළාකුළු

මෝරාලා තිබේ ළමැදේ තන කැකුළු

පීරාලා බඳින කොණ්‌ඩේ මුතු පබළු

අපි නැතිදා නෑනාලා නිකම්මලු

නෑනාගේ ළමැදේ වැඩී එන පියයුරු, වළාකුළු අතර මෝරා වැටෙන පුන්සඳ සේය, මස්‌සිනා දුටුවේ.

නෑනා කෙරෙහි මස්‌සිනා තුළ වූ පවිත්‍ර ආදරය ජනකවියා හෙළි කළේය. සූර්යයා වැනි දීප්තිය බැබිල මල් වැනි ගෝමය, පෙරාපු රත්තරන් වැනි පවිත්‍රත්වය, මස්‌සිනා දකින්නේ නෑනාගේ රුව තුළිනි.

එගොඩ ගොඩට යනකොට සූරියා වගේ

මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ

දැත දෙපය පෙරාපු රත්තරන් වගේ

උඹනං නෑනො මට සිත ඇති කෙනෙක්‌ වගේ

නෑනාගේ දර්ශනය පවා මස්‌සිනාගේ සිතට ආනන්දය ගෙන දුන්නේය. නෑනා පිළිබඳව මස්‌සිනා තුළ වූ බලාපොරොත්තු ජනකවියා නිතර නිතරම හෙළි කොට ඇත.

කැඳවා කුද කැකුළු කදිරන් කැට ලෙසට

කැඳවා යටින් එළි බැසලා දොර පිලට

මෙතෙක්‌ කෙළි සිනා නාටක දැකපු මට

මන්ද පොඩි නෑනො පිටු පා ගියේ ගෙට



ගෝණා නම් පඳුරේ දළු කඩාවී

හුණා නම් චි: චි: ගා හඬාවී

ලේනා නම් පොඩි අතුවල දුවාවී

නෑනා නම් මට ගෙට අත වනාවී

දඟකාර හුරුබුහුටි නෑනා, යන - එන ආකාරය, මස්‌සිනා දුටුවේ ඒ ආකාරයෙනි. ඒ අතර, නෑනා කෙරෙහි මස්‌සිනාගේ බලාපොරොත්තු ඇතිවිය.

අත්තක්‌දෝ හෙළ පනතේ වැනෙන්නේ

පෙත්තක්‌දෝ රුව ඇඳලා තියෙන්නේ

උල්පත දෝ නිතරම කඳුළු එන්නේ

ගල්හිත දෝ නෑනා මගෙ නොඑන්නේ



මහවැලි ගඟේ දිය උඩහට ගලාදෝ

අමාවකට සඳ පායා තිබේදෝ

ලේනගෙ ඉරි මහ වැස්‌සට මැකේදෝ

නෑනෝ උඹව මට අත්වී නොයාදෝ

මහවැලි ගඟේ දිය උඩහට ගලන්නේ නැත. අමාවකට සඳ පායන්නේ ද නැත. ලේනාගේ ඉරි වැස්‌සට තෙමීමෙන් මැකී යන්නේද නැත. එසේම නෑනාද මටම අත්වෙනු ඇත. යනු මස්‌සිනාගේ පැතුමයි. නෑනා හීනෙකින් හෝ දැක ගැනීමට ලැබීම තරම් වෙනත් සතුටක්‌ මස්‌සිනාට ඇද්ද

වානේ වතුර යනවාදෝ ඇසෙන්නේ

පානේ එළිය දෝ නෑනේ පෙනෙන්නේ

ගෝමර ලියේ සිටගෙන දත් මදින්නේ

රුවට මල් විලයි නෑනා පෙනෙන්නේ



අඳින අඳින සේලේ රැළි වැටීයන්

බඳින බඳින කොණ්‌ඩේ මල් පිපීයන්

එළළු බඳේ මල් ගෝමර ඉසීයන්

මගෙ නෑනා මට හීනෙන් පෙනීයන්

නොගැලපෙන විහිළු තහළුවලින් නෑනලාගේ සිත් පලුදු වූ අවස්‌ථාවන්ද ජන කවියා හෙළි කළේය. නෑනා නාන තැනට නොදුරින් වූ අකුල යට සිටි මස්‌සිනා ඇයට ලේන්සුවක්‌ දීමට අත වැනුවේය. ඒ විහිලුව ඇයට රිසි නොවීය.

කුඹුකේ ළිඳේ මම තනියම නාන කොට

අකුල යටින් අත වැනුවේ කවුද මට

අතේ තිබුණු පොඩි ලේන්සුව එපා මට

මුකුළු පුරුදු නැත බුදු මස්‌සිනේ මට

නෑනා ඊට අමනාප වූයේ නැත. තැන, නොතැන නොබලා කරන විහිළු, ඇයට නොරුස්‌නා බවයි ඇය පැවසුවේ. ඊට ඇයගේ අමනාපයක්‌ නොවූ බවත්, ඇය ඔහුට භක්‌ති පූර්වක ආදරයක්‌ දැක්‌වූ බවත් "බුදු මස්‌සිනේ" යනුවෙන් වනිත වේ.

"ඇවැස්‌ස මස්‌සිනේ දවල් බතට වරෙන්" මේ ඇවැස්‌ස නෑනාගේ ආදර ආරාධනයයි.

පන් ගොල්ලේ පන් මල නෙල නෙලා වරෙන්

නා ගොල්ලේ නාමල නෙල නෙලා වරෙන්

කිල්ලෝටේ දම්වැල ගොත ගොතා වරෙන්

ඇවැස්‌ස මස්‌සිනේ දාවල් බතට වරෙන්

ඇවැස්‌ස විවාහය සමස්‌ත සමාජය විසින් පිළිගන්නා ලද බැවින්, නෑනා හා මස්‌සිනා එළිපිටම, තම ආදරය ප්‍රකාශ කිරීමට, පෙළඹී ඇති ආකාරයත් නෑනා අයිතිය මස්‌සිනාටය යන සංකල්පය තුළ ඔවුන් නිදහසේ තම අදහස්‌ හා අරමුණු ඉටුකර ගැනීමට පෙළඹුණු ආකාරයත් ඉහත දැක්‌වූ ජනකවිවලින් තහවුරු විය.

පැරැණි උඩරට රාජ්‍යයේ සිදුවූ විවාහ මංගල අවස්‌ථාවලදී ජනප්‍රිය අංගයක්‌ව පැවැති මඟුල් තහංචිය නමැති සාම්ප්‍රදායික චාරිත්‍ර විධි මගින්ද තහවුරු වන්නේ, නෑනාගේ අයිතිය මස්‌සිනා කෙරෙහි බැඳී පැවැති ආකාරයයි. නෑනා ඇවැස්‌ස මස්‌සිනා සිටියදී වෙන ගමක තරුණයකු සමඟ දීග යැමේදී, ඇවැස්‌ස මස්‌සිනාගෙන් අවසර ලබාගත යුතු විය. මනාලිය කැඳවාගෙන යන අවස්‌ථාවේදී, ඇය විසින් කඩුල්ල ළඟදී බුලත් හුරුල්ලක්‌ දී පිළිගන්වා මස්‌සිනාගේ අවසරය ලබාගත් ආකාරය, ජන කවියෙන් හෙළිවේ. මඟුල් තහංචි නම් වූ ජන කවි මේ අවස්‌ථාවේදී ගායනය කෙරේ. කඩුළු තහන්ඩිය, මඟුල්මඩු තහන්චිය, පියවිලි තහන්චිය, ඇඳ පුටු තහන්චිය, බුලත්හෙප්පු තහන්චිය හා කොතල තහංචිය ආකාරයෙන් මඟුල් ගෙදර දී තහංචි පැනවිණ. තහංචි යනු තහනම යන අරුත් දෙන වදනකි.

නාගලොවේ වද බුලත් උපන්නේ

නාරජුමය එය ගෙනවිත් දුන්නේ

ඇවැස්‌ස මස්‌සිනා තමයි බොලන්නේ

කඩුලු බුලත් මට දීලයි යන්නේ



දෙමවුපියන් වැඳ සමාව ගන්නේ

නෑදැයන්ගෙන් සමාව ගන්නේ

අසල් වැසියගෙන් සමාව ගන්නේ

මස්‌සින එන්නේ සමාව ගන්නේ

මඟුල්ගෙදර කඩුල්ල ළඟ රැක සිටින ඇවැස්‌ස මස්‌සිsනා, තම ඉදිරියට එන මනාලිය වූ නෑනාගෙන්, බුලත් ඉල්ලීම හා පිළිගැනීමේ සිරිත, නෑනා හා මස්‌සිනා අතර තිබූ සබඳතා තහවුරු කරන්නා සේම, සංකේතවත් කරන්නක්‌ද වේ.

මස්‌සිනා හැර වෙනත් අයෙකු සමඟ දීග යැමේදී මනාලයාගේ පාර්ශ්වයෙන් පැමිණෙන පිරිසට, කඩුල්ල පනින අවස්‌ථාවේ සිට, මනාලිය කැඳවාගෙන යන මොහොත දක්‌වාම, මනාලයාගේ පාර්ශ්වයේ අයට නොයෙක්‌ අවස්‌ථාවලදී නොයෙක්‌ අන්දමේ තහංචි පැනවීමේ අයිතිය මස්‌සිනා සතුවිය. මෙම තහංචි පැනවීමට විරුද්ධත්වය දැක්‌වූ අවස්‌ථාද හිඟ නොවීය.

අතින් වඩාගෙන බිළිඳුන් අරගෙන

උදේ සිටන් අපි මේ එනවා

හිසින් මල්ල ගෙන කද බැඳගෙන මේ

පිට රටකින් නෑයෝ එනවා

පිටින් ගොල්ල එකතුව ඉඳගෙන මේ

එන්ට නොදී තහනම් කෙරුව

ඉතින් මොකාගෙද නම්බුව නැත්තේ

පෙර සිරිතට හරිවද මෙව්වා

මේ ආකාරයට, සාම්ප්‍රදායික පවුල, ඥතීත්වය හා විවාහ සම්බන්ධතාව පිළිබඳව ජනශ්‍රැතියෙන් හෙළිවන සමාජ තොරතුරු අපමණය.

Tell a Friend