යාපනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු රජයේ අපේක්‍ෂකයන්ට පමණක්‌ සීමා වෙලා - එම්. කේ. සිවාජිලිංගම්

යාපනයේ බැනර්, කටවුට්‌ ඉවත් කිරීමට පොලිසියට මුදල් ලබා දී නෑ - යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නෙවිල් පද්මදේව

දිනසේන රතුගමගේ යාපනයේ සිට

එදා යුද්ධයෙන් උණුසුම් වූ යාපනය මේ දිනවල පළාත් පාලන මැතිවරණ සටන නිසා උණුසුම් වී තිබේ. ප්‍රධාන දේශපාලන පක්‍ෂ පහක්‌ වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, එක්‌සත් ජාතික පක්‍ෂය, ඉලංගෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්‌ති පෙරමුණ, සහ එක්‌සත් සමාජවාදී පෙරමුණ මැතිවරණ සටනට අවතීර්ණ වී තිබේ.

යාපනයේ වැල්වැටිතුරෙයි, චාවකච්ෙච්රි හා පෙදුරුතුඩුව යන නගර සභා තුන ප්‍රාදේශීය සභා 13 ක්‌ සඳහා අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් 267 දෙනෙකු තරග කරණ අතර මේ පිරිසෙන් සුදුස්‌සන් තෝරා ගැනීමට ලියාපදිංචි වී සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව හයලක්‍ෂ හයදහස්‌ දෙසිය පනස්‌ තුනකි.

යාපනය දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ තේරීම්භාර නිලධාරිනී හා දිස්‌ත්‍රික්‌ ලේකම්වරිය වන එමිල්ඩා සුකුමාර්Êමහත්මිය ප්‍රකාශ කළේ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා තමන් සියලුම පාර්ශ්ව වලින් පූර්ණ සහයෝගය අපේක්‍ෂා කරණ බවයි. මේ වනවිට පළාත තුළ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා 8 ක්‌ වී ඇති බවත් ඒවා දරුණු අන්දමේ ප්‍රචණ්‌ඩ ක්‍රියා නොවන බවත් දිස්‌ත්‍රික්‌ ලේකම්වරිය ප්‍රකාශ කළාය.

යාපනයේ පළාත් පාලන මැතිවරණයත් සමඟ ඇති වූ මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාවල පරීක්‍ෂණ කටයුතු පිළිබඳව සොයා බැලීමටත්, පළාත් පාලන මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳව කරුණු සොයා බැලීමටත් මැතිවරණ කොමසාරිවරයාගේ උපදෙස්‌ මත නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්‌ එම්. එම්. මොහොමඩ් මහතා පසුගිය 13 වැනිදා යාපනයට පැමිණියේය. දින ගණනක්‌ම යාපනයේ රැඳී සිටි ඔහු සියලු පක්‌ෂ නියෝජිතයන්, ආරක්‍ෂක අංශ ප්‍රධානීන් හා මැතිවරණ නිලධාරීන් හමුවී යාපනයේ සිදුවූයේ යෑයි කියන ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක්‌ද සිදුකොට තිබේ.

යාපනය දිසාපති කාර්යාලයේදී අපට හමුවූ එම්. එම්. මොහොමඩ් මහතා කියා සිටියේ යාපනයේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවල සැකකරුවන් පිළිබඳව සඳහන් නොවීම නිසා පරීක්‌ෂණවලට එය විශාල බාධාවක්‌ වී ඇති බවයි. කෙසේ වෙතත් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුවන බව ද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්‌වරයා අප සමග පැවසීය.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්‌වරයා සමග සියලුම පක්‍ෂ නියෝජිතයින් යාපනය දිසාපතිවරියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාව ඉතා උණුසුම් තත්ත්වයකට පත්විණි. කෑකෝ ගැසීම්, වචන හුවමාරුවීම් මැද සාකච්ඡාව අවසන් වූයේ කිසිදු වැදගත් තීරණයකට හෝ සම්මුතියකට එළඹීමෙන් තොරවය.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෝ දිගින් දිගටම චෝදනා කළේ තම පක්‍ෂ නියෝජිතයන්ට, අපේක්‌ෂකයන්ට හා ආධාරකරුවන්ට යාපනය ආර්ධද්වීපය තුළ නිදහසේ මැතිවරණ කටයුතු කරගෙන යැමට නොහැකි බවයි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හා ඊට ආධාර කරන ඊ.පී.ඩී.පී. පක්‍ෂය ඇතුළු සෙසු පක්‍ෂ තම ආධාරකරුවන්ට පහර දෙන බවත් තර්ජනය කරන බවත් පෙන්වා දුන් දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ නියෝජිතයෝ දැනට සිදුවී ඇති ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කිරීමේදී ආරක්‍ෂක අංශ හා මැතිවරණ නිලධාරීන් පක්‍ෂ භේදව කටයුතු කරන බව ද චෝදනා කළේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේ යාපනයේ දූපත් ප්‍රදේශවල කිසිදු අයෙකුට මැතිවරණ කටයුතු කරගෙන යැමට නොහැකි අන්දමට ඩග්ලස්‌ දේවානන්ද අමාත්‍යවරයා දූපත් පළාත නිජබිමක්‌ කරගෙන සිටින බවය. තම පාක්‍ෂිකයන්ට පහරදීම තර්ජනය කිරීම පමණක්‌ නොව මැතිවරණ ව්‍යාපාරයේ තම පත්‍රිකාවක්‌ බෙදීමටවත් දූපත් ප්‍රදේශවල ඉඩක්‌ නොමැති බව ශිවාජිලිංගම් මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය දේපල හා රාජ්‍ය සම්පත් ද රාජ්‍ය නිලධාරීන්ද යාපනයේ මැතිවරණ සටනට අමාත්‍යවරුන් විසින් බලහත්කාරයෙන් යොදාගෙන තිබීම නිසා යාපනය තුළ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ බලාපොරොත්තු විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සරවනබවන් මහතා පැවසීය. මේ තත්ත්වය නිසා රාජ්‍ය නිලධාරීන් මැතිවරණයේදී මධ්‍යස්‌ථාන කටයුතු කරණු ඇතැයි කිසිවෙකුටත් සිතිය නොහැකි බව ද ඔහු පැවසීය.

මේ තත්ත්වය හමුවේ දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායම් කෙරෙහි සිය විශ්වාසය පළුදුවී ඇතැයි මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පැවසීය. තමන් ඉදිරිපත් කරණ පැමිණිලි කඩදාසිවලට පමණක්‌ සීමාවන නිසා ජාත්‍යන්තර මැතිවරණ නිsරීක්‍ෂණ කමිටුවක්‌ මැතිවරණ පැවැත්වීමට පෙර යාපනයට කැඳවිය යුත යෑයි ඔහු යෝජනා කොට ඒ වෙනුවෙන් ඉල්ලීමක්‌ද කළේය. නමුත් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට නිලධාරීන් කිසිවකුගෙන් සාර්ථක ප්‍රතිචාරයක්‌ නොලැබිණි.

මේ අවස්‌ථාවට පැමිණ සිටි යාපනය කොට්‌ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නෙවිල් පද්මදේව මහතා ප්‍රකාශ කළේ දැනට යාපනය දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ප්‍රචණ්‌ඩක්‍රියා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිලි 8 න් එක්‌ පැමිණිල්ලක පමණක්‌ සැකකරුවන් හඳුනා ගෙන ඇති බවයි. එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වා දෙපිරිස සාමදාන කළ බවද පද්මදේව මහතා පැවසීය. ගල්ගැසීමේ සිද්ධියක්‌ හැරෙන්නට වෙනත් ජීවිතවලට තර්ජනය වන අන්දමේ සිදුවීම් කිසිවක්‌ සිදුවී නොමැති බව ද ඔහු පැවසීය.

යාපනයේ මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිවල සැකකරුවන් සවිස්‌තරාත්මකව හෝ සෘජුව ඉදිරිපත් නොවීම නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව ද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා පැවසීය. එක්‌ පක්‍ෂයක්‌ ඉස්‌මතු කරමින් ලැබෙන පැමිණිලිවලදී එම පක්‍ෂයේ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකි බව පද්මදේව මහතා සඳහන් කළේය.

මේ අවස්‌ථාවේදී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කියා සිටියේ පොලිස්‌ ස්‌ථාන හමුදා කඳවුරු ඉදිරිපිට ජනාධිපතිවරයාගේ ඡායාරූප යොදා යාපනයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හා ඊ.පී.ඩී.පී. සංවිධානයේ පාක්‍ෂකයන් නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වන බවය. පොලිසිය මෙම නීති විරෝධී දේ ඉවත් කිරීමට ක්‍රියාකොට නොමැතිකම තුළින් යාපනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල තත්ත්වය ඉතා පැහැදිලිවම රාජ්‍ය පාක්‌ෂිකයන්ට පමණක්‌ සීමා වී ඇති බව ද පැවසීය.

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී නෙවිල් පද්මදේව මහතා සඳහන් කළේ පොලිසියට යාපනයේ බැනර් හා කටවුට්‌ ඉවත් කිරීමට කම්කරුවන් යෙදවීමට මැතිවරණ කාර්යාලයෙන් මුදල් ලබාදී නොමැති බවය. නිල ඇඳුම් දාගත් නිලධාරීන්ට මහමග පෝස්‌ටර් ගැලවීමට නොහැකි බව ද පද්මදේව මහතා පැවසීය.

ඩග්ලස්‌ දේවානන්ද අමාත්‍යවරයාට එරෙහිව නැගුණු චෝදනා සම්බන්ධයෙන් අප ඩග්ලස්‌ දේවානන්ද අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් චින්තක ද සිල්වා මහතාගෙන් කරුණු විමසූ අවස්‌ථාවේදී ඔහු කියා සිටියේ යාපනයේ එවැනි තත්ත්වයක්‌ නොමැති බවය. ඇතැම් අවස්‌ථාවලදී ඩග්ලස්‌ දේවානන්ද අමාත්‍යවරයාද පාපැදියෙන් ජනතාව අතරට ගොස්‌ ඡන්ද ව්‍යාපාරය දියත් කරද්දී රාජ්‍ය දේපළ යොදාගෙන යාපනයේ මැතිවරණය සිදුකරණ බවට දෙමළ ජාතික සන්ධානය විසින් කරන චෝදනාවන්වල සත්‍යතාවක්‌ නොමැති බවය. යුද සමයේදී තුවක්‌කු බලයට හසුවී සිටි ජනතාවට නිදහස ලැබුණු පසුව ඔවුන් කැමති දේශපාලනයේ නිරත වීම කෙරෙහි ඇති ද්වේෂය මෙම චෝදනාවලට පසුබිම බව ද චින්තකද සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් යාපනයේ මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට කොළඹ සිට යාපනයට ගිය නිලධාරීන්ගෙන් යාපනයේ හෝටල් කාමර සියල්ලම පිරීගොස්‌ තිබේ.

රජයේ පාක්‍ෂිකයන් සිය විරුද්ධ පාක්‍ෂිකයන්ටත්, විරුද්ධ පාක්‌ෂිකයන් රජයේ පාක්‌ෂිකයන්ටත් චෝදනා නගමින් කරගෙන යන යාපනයේ පළාත්පාලන මැතිවරණයේ ජනතා කැමැත්ත තීරණය වන්නේ ලබන ජුලි මස 23 වැනිදාටය. ඡන්ද මධ්‍යස්‌ථාන 459 කදී ඡන්දය ප්‍රකාශ කරනු යාපනයේ වැසියෝ තමන්ට සුදුසු පුද්ගලයන් එදාට තෝරාගනු ඇත.

Tell a Friend