ජාතියේ අක්‌මුල් පිළිබඳ විදේශීය මූලාශ්‍ර

ඌවතැන්නේ සුමන හිමි

හෙළයේ අක්‌මුල් පිළිබඳව සොයා යැමේදී පුරාවිද්‍යාත්මක ඓතිහාසික මූලාශ්‍ර සේම සාහිත්‍ය මූලාශ්‍රයන් ද ඉවහල් කර ගැනීම ලෝක සම්මතයකි. සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව විමසා බැලීමට අප පෙළඹෙණුයේ එම පසුබිම තුළය. ඒ අනුව විදේශීය මූලාශ්‍ර වෙත අවධානය යොමු කිරීමට මා පෙළඹුණෙමි.

ලොව ඉපැරණිම විදේශීය සාහිත්‍ය කෘති ලෙසින් සැලකෙනුයේ ග්‍රීකයන් විසින් රචනා කරන ලද කෘතීන්ය. ඒ අනුව ලක්‌දිව සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සඳහන් කෙරෙනුයේ ඇරිස්‌ටෝටල් දාර්ශනිකයාගේ කෘතියක්‌ වන "ඩිමුන්ඩෝ" නමැති ග්‍රන්ථයේය. ක්‍රි.පූර්ව සිව්වෙනි සියවසේ ජීවත් වූ ඔනෙසික්‍රීටස්‌ගේ ග්‍රන්ථයේ ද වයඹ දිග ඉන්දියාව හා ලක්‌දිව අතර වෙළෙඳ සබඳතා පිළිබඳ යම් යම් කරුණු අනාවරණය වී තිබේ. ඒ වගේම මෞර්ය රාජ පෙළපතේ පුරෝගාමියා වූ චන්ද්‍රගුප්තයන් ගේ රාජසභාවේ ග්‍රීක තානාපති වශයෙන් සේවය කළ මෙගස්‌තීනිස්‌ රචනය කළ සුපතළ ඉන්ඩිකා ග්‍රන්ථයේත් ලක්‌දිව පිළිබඳ සමකාලීන තොරතුරු ඇතුළත් කර ඇත්තේ සංචාරකයන් හෝ වෙළෙඳුන්ගෙන් ලබාගත් තොරතුරු ඇසුරු කර ගෙනය. මෙගස්‌තීනිස්‌ මෙරට සංචාරය කළ බවත් ඉතිහාසයේ දක්‌නට නැත.

ඒ වගේම ක්‍රි. පූර්ව තෙවැනි සියවසේ විසූ ජගත් සුපතළ භූගෝල විද්‍යාඥයකු වන ඉරටොස්‌තීනීස්‌ එවක ලක්‌දිව තුළ නගර නොතිබුණු බවත් ගම්මාන 700 ක්‌ පමණ පැවැති බවත් සඳහන් කර ඇත්තේ ද තමන් ලත් තොරතුරු පදනම් කර ගනිමිනි. විදේශීය වෙළෙ¹ම පිළිබඳව ද එහි විස්‌තර දක්‌වා ඇත.

ක්‍රි. වර්ෂ පළමු සියවස වන විට නාවික ක්‍ෂේත්‍රයේ ද වර්ධනයක්‌ ඇතිවිය. එහෙයින් එම ක්‍ෂේත්‍රයේ නියෑළුණු අය පාදක කරගෙන නාවිකයකු විසින් "පෙරිපල්ස්‌ ඔෆ් ද එරිත්‍රියන් සී" නමැති සුවිශේෂ කෘතියක්‌ රචනය කර ඇත. එකල ලක්‌දිව මුතු මැණික්‌ කපු රෙදිපිළි නිපදවන ලද බවත් එහි සඳහන් කර තිබේ. ක්‍රි.වර්ෂ දෙවැනි සියවසේ විසූ සුපතල "ටොලමිගේ නිර්මාණයක්‌ වන භූගෝල විද්‍යා ප්‍රවේශය" නමැති ග්‍රන්ථය තුළින් පවා ලංකාවේ භූමි විෂමතා ලක්‍ෂණ ලොව හමුවේ ඉදිරිපත් කරමින් එම ක්‍ෂේත්‍රයේ ප්‍රථමයා බවට පත්විය. ක්‍රි. වර්ෂ 6 වැනි සියවසේ ජීවත් වූ "ප්‍රකෝපියන්" විසින් රචිත "පර්සියානු යුද්ධ" නමැති ඓතිහාසික ග්‍රන්ථයේ ද ලක්‌දිව පිළිබඳ යම් යම් කරුණු ඇතුළත් කර තිබේ. ලක්‌දිව තුළ ඉතාමත් තරගකාරි වෙළෙ¹මක්‌ පැවැති බව එම කෘතියේ සඳහන් වේ. ලක්‌දිව වරායන් (තොටුපළක්‌) වෙතින් රෙදිපිළි මිලදී ගැනීමේ තරගයක්‌ ඉතියෝපියානුවන් (ඇබීසිනියානුවන්) හා පර්සියානුවන් අතර පැවැති අයුරු ද එම කෘතියේ පෙන්වා දෙයි.

මේ අතර ක්‍රි.වර්ෂ 6 වෙනි සියවසේ ම දිවි ගෙවූ "කොස්‌මස්‌" රචනය කළ "ටෝපෝග්‍රැෆියා ක්‍රිස්‌ටියානා" නමැති කෘතිය තුළින් ද ලක්‌දිව හා පෙරඅපර දෙදිග රටවල් අතර පැවැති වෙළෙ¹ම පිළිබඳ කදිම විස්‌තරයක්‌ ඉදිරිපත් කර ඇති අයුරු නූතන ඉතිහාසඥයන් පෙන්වා දෙයි.

ක්‍රි. වර්ෂ පළමු සියවසේදී රෝමය හා ලක්‌දිව අතර පැවැති සබඳතා පිළිබඳව "ප්ලීනි" සිය "නැවරාලිස්‌ හිස්‌ටෝරියා" නමැති කෘතියෙහි සඳහන් කරයි. රෝමයේ ජුලියස්‌ සීසර් පාලන සමයේදී ලක්‌දිව හා රෝමය අතර ගිවිසුමක්‌ ඇති කරගත් ආකාරය "ඇමිනස්‌ මර්සලින්" නමැති ඉතිහාසඥයාත් සඳහන් කරයි. මහාවංස ටීකාවේ සඳහන් වන ආකාරයට "භාතිකාභය" රජ පාලන සමයේදී (ක්‍රි.වර්ෂ 22-42) "රෝමනුක" නමැති රටට දූතයන් යවා තිබේ. ප්ලීනිගේ කෘතියෙහි ද සඳහන් වනුයේ එම සිද්ධියම වීම සුවිශේෂ කාරණයකි.

මෙම වාර්තාවට අතිරේකව අරාබි ජාතිකයන් වන සුලෙයිමාන් අබුසයිද්, අල්බරුනි හා මසූදි වැනි ලේඛකයනුත් තම තමන්ගේ කෘතීන් තුළ ලක්‌දිව පිළිබඳ විවිධ තොරතුරු පෙළගස්‌වා තිබේ.

මේ අතර ලක්‌දිව පිළිබඳ ඓතිහාසික වාර්තා රැසකට උරුමකම් කියන චීනයේ එවැනි ප්‍රථම වාර්තාව සටහන් කර ඇත්තේ ක්‍රි.වර්ෂ 412 සිට 414 දක්‌වා වසර දෙකක කාලය තුළ ලක්‌දිව සංචාරය කළ චීන ජාතික පාහියන් හිමියන් විසිනි. උන්වහන්සේ වසර දෙකකට ආසන්න කාලයක්‌ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ වැඩ විසූහ. එවක අභයගිරියේ තුන්දහස්‌ නමක්‌ද, මිහින්තලයේ දෙදහස්‌ නමක්‌ද වැඩ වාසය කළ ආකාරයත් අභයගිරියේ පැවැති දළදා උත්සවය පිළිබඳව සේම, චීන ජාතික වෙළෙඳුන් අනුරාධපුරයේ රැඳී සිටිමින් වෙළෙඳ කටයුතුවල නිරත වූ ආකාරයත් උන්වහන්සේ සඳහන් කර තිබේ.

එහෙත් හියුං සාං භික්‍ෂූන්වහන්සේගේ දේශාටන චාරිකාවට ලක්‌දිව ඇතුළත් නොවුනු නමුත් උන්වහන්සේ ඉන්දියාවේ ගතකළ කාලය තුළදී ලබාගත් තොරතුරු සිය ඓතිහාසික කෘතියට ඇතුළත් කිරීමත් සුවිශේෂ කාරණයකි. එම කෘතියේ එකොළොස්‌වැනි පරිච්ඡේදයේ සෑහෙන කොටසක්‌ සිංහල දේශය හෙවත් ලක්‌දිව පිළිබඳ විස්‌තර වෙනුවෙන් වෙන්කර තිබේ.

විශේෂයෙන්ම ලංකාවේ ජනාවාස ඇරඹීම, නිකාය බෙදීම, දළදා මාලිගාව, මහාපාලි දාන ශාලාව ආදී මාතෘකා එහි සාකච්ඡා වී ඇත. "මේ අතර පුරාණ භාරතයේ රචනා කරන ලද ලොව පතළ කෘති ගණනාවක ද ලක්‌දිව පිළිබඳ තොරතුරු අඩු වැඩි වශයෙන් සඳහන් කර තිබේ. ක්‍රි. පූර්ව සිව්වන සියවසේ මෞර්ය චන්ද්‍ර ගුප්තයන්ගේ රාජසභාවේ සිටි කෞටිල්‍ය පඬිවරයාගේ "අර්ථ ශාස්‌ත්‍රය", "දිව්‍යාවදාන", ස්‌කන්ධ පුරාණය, සීලපදිකාරම්, මණිමේකලා නිට්‌ටුප්පත්කු, පට්‌ටින්ජපාලියෙ වැනි සුවිශේෂ කෘති ඒ අතර කැපී පෙනේ.

පුරාවිද්‍යා මූලාශ්‍ර

පුරාවිද්‍යා මූලාශ්‍ර පිළිබඳව සඳහන් කරන විට එම ගණයට අයත් වන අභිලේඛන කාසි, නටබුන් හා මූර්ති කැටයම් ආදී පුරාවස්‌තු ඇතුළු දෑ විවිධත්වයක්‌ ගනී. ලක්‌දිව තුළ මේ දක්‌වා සිදුකළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් හමුවී ඇති පැරණිතම ශිලා ලේඛන වනුයේ ක්‍රි.පූර්ව තෙවැනි සියවසට අයත් මිහින්තලේ හා වෙස්‌සගිරිය ආදී ප්‍රදේශවලින් සොයාගත් ඒවා වේ. ආර්ය ජනාවාසයන්හිත් බුදුදහමේත් ව්‍යාප්තිය පිළිබඳ ඓතිහාසික තොරතුරු ගෙන එන ආදි බ්‍රාහ්මී ලිපි රටේ මධ්‍යම කඳුකරය හැර සෙසු බොහෝ ප්‍රදේශ තුළින් අනාවරණය කර ගැනීමට හැකි මෙම සෙල්ලිපි ඉතා කෙටි ඒවා බවත් තහවුරු වී ඇත.

ක්‍රි.පූර්ව තෙවැනි සියවසේ සිට ක්‍රි.වර්ෂ පළමුවැනි සියවස පමණ කාලය තුළ රචනා කර ඇති මෙම ලිපි ආදී බ්‍රාහ්මී සෙල්ලිපි වශයෙන් සැලකේ. එහෙත් පළමු සියවසේ සිට දෙවැනි සියවස දක්‌වා වූ කාලයට අයත් සෙල්ලිපි "මෑත බ්‍රාහ්මී" ලෙසින් සැලකේ. මෙම සෙල්ලිපිවල වෙනස වනුයේ මුල් ඒවා කෙටි ඒවාත් දෙවන වර්ගය වඩාත් දිගු සෙල්ලිපි වීමත්ය.

ඒ වාගේම මෙම සෙල්ලිපි දෙවර්ගය එක්‌ව ගත්විට සිංහල අක්‍ෂරයන්හි විකාශය, නොයෙක්‌ සංකේත, සිංහල වියරණ, රාජකීය නාම, ප්‍රාදේශීය රජවරුන්, කුමාරවරුන් හා රාජකීය විරුදනාම, බ්‍රාහ්මණ, පරුමක, ගමක, ගපති සහ වෙනත් ඒ ආකාරයේ කණ්‌ඩායම් පිළිබඳව ද තොරතුරු රාශියක්‌ අනාවරණය වී තිබේ.

මෙම සෙල්ලිපි මගින් ආගමික ඉතිහාසය හා සම්බන්ධ තොරතුරු රාශියක්‌ ද හමුවේ. මේ අතර සෙල්ලිපි ලිවීමේ තෙවැනි අවධිය වශයෙන් ක්‍රි.වර්ෂ දෙවැනි සියවසේ සිට හත්වැනි සියවස පමණ දක්‌වා අයත් වේ. මෙම ආදි බ්‍රාහ්මි ලිපි බෙහෙවින්ම ලෙන්වල, කටාරම්වලට පහළින් කොටන ලද ඒවා වේ. ඉන්පසු යුගවලදී ඒවා ලියා ඇත්තේ පර්වත, ටැම් හා පුවරු ආදියෙහි වීමත් කැපීපෙනෙන කාරණයකි.

ශිලා ලේඛනවල පැතිරීම රජවරුන්ගේ පාලන බලය රටේ කොතෙක්‌ දුරට ව්‍යාප්තව තිබේද යන්න අවබෝධ කරගැනීමට ද දායක වේ. එහෙත් සෙල්ලිපිවල සඳහන් ඇතැම් රජවරුන් නිශ්චය වශයෙන් වෙන්කොට හඳුනා ගැනීමේ ගැටලු මතු කිරීමක්‌ සිදුවී ඇත. ඊට බලපා ඇත්තේ තිස්‌ස, ගාමිණී, අභය වැනි තනි නාම පදයක්‌ පමණක්‌ සඳහන් කිරීමය. එහෙත් කාල නිර්ණය කිරීම උදෙසා ඉදිරිපත් කළ හැකි වැදගත් සාධකය සෙල්ලිපි වේ.

මේ අතර අභිලේඛන පිළිබඳව අවධානය යොමුකරන විට සීsගිරි කුරුටු ගී නොතකා හළ නොහැකි. ක්‍රි. වර්ෂ හයවැනි සියවසේ සිට පොලොන්නරු යුගය දක්‌වා මෙම ලිපි ලියවී තිබේ. මේවා සීගිරියේ ඉතිහාසයට සීමා නොකරමින්, සමාජ ඉතිහාසය, කාන්තා සමාජය, ගමන්බිමන්, පුද්ගල හා ස්‌ථාන නාම ආදිය පිළිබඳව අධ්‍යයනයට පවා මෙම අභිලේඛන තුළින් ලබාදෙන දායකත්වය අපරිමිතය.
Tell a Friend